මාල හතක් බැද දෝනි පෝරුව මත නැගුනා
ලෝල හැගුම් ටික ඇගෙ නෙත ඉගිබිගි පානා
කෝල සිතත් ගෙන ඇගෙ විමනට ඈ යන්නා
මොලකැටි මගෙ සුදු රෝසමල ඔබයි
කිරිකැටි සිනහව ඔඛෙ අදත් මහද මැවෙයි
හුරතල් මගෙ බෝනික්කිය ඔබමයි
නෑගම් යන්නට ඈ සැරසී ඉන්නයි
ඉස්සර වාගේ මිදුල පුරා දුවපැන යන්නට
බෝනික්කන් ගෙන දෝතදරා සෙල්ලම් කරනට
මා එන පෙරමග දසුන් පපා බලා හිදින්නට
හෙට සිට නෑ නොවෙ දොනිය නිවස පුරා මාහට
කැදැල්ලෙ පාළුව දැනේවි නුඹ ගිය පසු නම්
නිදැල්ලෙ යයි හැමතැන සිතුවිලි වැල නම්
දැවිල්ලෙ හද ඇවිලී යයි දෝනියෙ මගෙ නම්
සෙවිල්ලෙ ඉන්නකො නුඹ ඔඛෙ ලොව ගැන නම්
මිනි පහනක් වූවා ඔබ නිවසේ ආලෝකේ
මදපවනක්සේ සිහිලස දුන්නා නිවනට සෝකේ
හිරු කිරණක්සේ විහිදා හිදියා අපගේ ලෝකේ
දුක් ගින්නක් මේ ඇවිලී යන්නේ දරනට බැරි සෝකේ
පුංචි ගවුම් ටික පූසි පැටවු ටික තැන තැන ඇත මුළුගැන් වීලා
සිංදු කියන්නට නැටුම් නටන්නට එන්නේ නෑ ඔබ අපගේ සිනහව වීලා
පුංචි කදුළු බිදු ඇස් අග උනනවා දුක වැඩි වීලා
පැංචි මගේ ඔබ හුරතල් දියණිය අද හැඩවී ඇත මනමාලිය වීලා
පතනෙමි සුදු දෝනියෙ ඔබහට බුදු සරණයි
ගෙනඑමි රැකවරණය ඔබහට දෙවි පිහිටයි
දෙන්නෙමි අපගේ ආලය ඔබහට එක ලෙසටයි
ඉන්නෙමි අපහැම ඔබ ළග දුක සැපටයි
යන්න යන්න ඔබ මෙන්න අපේ අවසරයයි
ඉන්න ඉන්න ඔබ හැමදා නිදුකින් වැජ ඹෙන්නයි
දෙන්න දෙන්න ඔඛෙ අත ඒ සුන්දර මනමාලයා වෙතටයි
ඔන්න ඔන්න මගෙ දු කුමරිය කුළගෙට යන්නයි
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.