Tuesday, January 17, 2017

හදවතක් මගෙත්.



මමත් ඉන්නේ මඩේමයි
පැටවුන්ට දෙන්න බැරි අසූචියි
උඹේ පැටවුන් කිරි උරද්දී
දුකේ බැහැ මහ ඊරියේ

පැදුරෙ උණුහුම හොයා හොයා

තාම පැටියෙක් මගෙ, බත් පිඩක් ඉල්ලයි
අඳුරෙ අතපත ගාන සසරක
දික්ගැසුම් පොලියක්ය කර්මය

පුල්ලි පුල්ලිය රටා හැදිලා

නුඹේ සියොළඟ එලිය වැටිලා
තල්ලු කර කර පේලි හදලා
දිනෙන් දින උඹෙ ළගයි මරණෙට

මමත් මැරෙනවා උඹත් මැරෙනවා

මරන්නට බැරි කෙලෙස් ගිණුමයි
කෑ ගසාගෙන උඹේ පැටියා
උඹව හොයනවා ඊයෙ දැක්කා

ඊරියක් වුන කුසල අකුසල

දනිමි මනසක් උසස් වුන මම
පූරුවේ තව අත්හරින්නට බැරි
ස්නේහෙ දාරක මහමෙරයි බං

උඹේ ඇස අඟ කඳුළු කැළලක්

දිටිමි රැයකදි ලයිට් එලියෙන්
ලොකු කෙලි මගෙ මේ පාර පැන්නේ
දහය වසරට ගෝරි හරියට


"සත්ව ඝාතක, සත්ව ඝාතක "
වචන හරියට දරුණු අවියක්
කුස් පිරෙන්නට ඇස් පියන් මම
අස් කරමි උඹෙ හුස්ම ඩිංගත්

චුන්ද සූකර දරුණු සසරක

පහුණු පෝයට ලොකු සමිදු දෙසුවේ
කරුණ දැන දැන වීසා ගැහුවට
කාසි වෙනසද බඩගින්නකට
ඉතින් ඊරියෙ උදේ හවසට
මගේ හදවත නුඹට කිවුවේ
නැතත් අවසර උඹෙන් කිසිවිට
හෙටම මේසෙක උඹ, පිපෙයි කරියක

තිත්ත බව දැන දැනම කසායක්

බොන්න වෙනවා දිනක ලෙඩකට
ඇත්ත මම ඌරො මරනවා
පණ පිටින් මැරි මැරී හැමදින

2 comments:

  1. ලස්සනයි අක්කා. හුඟ දවසකින් කවියක් කියෙව්වේ. හිත කොනිත්තන කවියක්..
    ආසාවක් තිබ්බත් රිප්ලයි කවියකට නෑ ඉඩක් පාඩුවක්.
    😊 😊 😊

    ReplyDelete
    Replies
    1. කවිය කියවපු එකත් සතුටක් මල්ලියෙ.. බොහොම ස්තුතියි මේ පැත්තට ආවට.

      Delete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....