Saturday, February 15, 2014

අත් හැරුණ රෝස මල - දෙවන කොටස

පළමු කොටස මෙතනින්

දහස් වතාවකටත් වඩා ඔබේ ඇස් කතා කරනවා යැයි සිත සිත මා එතනම උන්නෙමි. 

ඔයාගෙ අතේ ඉඳුල් නැහැනෙ..මං අත හෝදගෙන එන්නම්...

එහෙම කියා ඔබ විහාර ගේ පිටුපස ඇති ටැප් එක වෙතට ගියේය. අත සෝදාගෙන ඇවිත් වතුර බිංදු කිහිපයක් මා දෙසට විසි කරන තුරුත් මා සිටියේ කුමක් සිදුවූවාදැයි සිතමින්ය.

ඒයි බයවුනාද...? යන් අර පැත්තෙ ඇවිදින්න...

එහෙම කියා ඔබ පාර පැත්තට අත දිඟු කලේය. එවිටම වාගේ මගේ දෑස ලස්සන විදේශිය තරුණ යුවලක් පන්සල දෙසට එනවා දුටුවෙමි. ඒ තරුණිය බොහෝම ආදරයෙන් අර තරුණයාගේ අතක එල්ලී පඩිපෙළ නැගීමට යයි. අනික් අත වූ කැමරාව පද්දවමින් ඇය තව මොනවදෝ කියනවා මම දුරට දැක්කෙමි. ක්ෂණයකින් මගේ හිතේ මාත් විසල් අයියා අතක එල්ලී ඇවිද යන චිත්ත රූප පෙළක් හිතේ මැවුනි.


හලෝ....සිහින ලොවින් බහින්න...

කියමින් විසල් අයියා මගේ අතින් ඇල්ලුවේය. ලෝභ කමින් ඔහුගේ අත මුදාහල මා ඔහු හා පාර දෙසට ගියෙමි. නුවර අහස හැමදාම වගේ වැහි බීරුමෙන් පිරිල තිබුණත් ලස්සනට පිපිල තියෙන කහපාට මල් කඩමින් පයින් ගස් අතරින් මම ඔහු ඇවිද ගියෙමි. සූරියකාන්ත මලට හුරු ඊට වඩා පුංචි ඒ ලස්සන කහපාට මලක් නහයට ලංකර බැලූවත් එයින් සුවඳක් හමා ආවේ නැත. ඒත් හරි අපූරු සුන්දරත්වයක් ඒ මලින් මම විඳගත්තෙමි.

ඒ ගමන මල දිහාබල බල ඉඹ ඉඹ මොනාද ඔබ තනියම හිතන්නෙ....? 

මොකුත් නෑ...

මොකුත් නැතිවෙන්න බෑ..හරි දැන් කියන්න මං කියපු දේට මොකද කියන්නෙ..

මොකක්ද...මට මතක නැහැනෙ...

දැන් ඔය ගුටි කන්න හදන්නෙ...

ආහ්..හිතේ ඇති..හරි ඔයාම කියන්න කීයක් ජාති කිවුවද දැන්...මං දන්නවයැ එයින් කෝකද කියල...

නිම්මි නංගියේ................

හරි හරි බලමු අයියා...

ආ....හරි....බලමු...ඒ කියන්නෙ ඔයා මට කැමතියි...

නෑ..නෑ...එහෙම එකක් නෑ....ඒත්...

ඇයි ඒත් කිවුවෙ...? කවුරු හරි ඉන්නවද ඔයාට...

මට කවුරුත් නෑ...ඒ වුනාට අම්මට මං හුගක් ආදරෙයි..

ඉතින් මං කිවුව අම්මට ආදරේ කරන්න එපා කියල... අම්මටත් ආදරේ කරන්න . මටත් ආදරේ කරන්න. ම්...ආදරෙයි නේද...?

මන්දන්නෑ අයියා...

මේ බලන්න නංගි...අර සුදු ලොකු බුදු පිළිමෙ දිහා බලන්න. ඒක දිහා බලාන මං කියන්නෙ. කවමදාවත් මං ඔයාව දාල යන්නෑ. මට පොරොන්දු වෙන්න. මට ආදරෙයි නේද.....?

අයියා කැමති දෙයක් හිතා ගන්න. 

මා එහෙම කියනවාත් සමඟ මගෙ දෑතම තදකර අල්ලාගෙන

මගෙ හොද නංගි
යැයි කීවේය.

කතා කර කර අපි ආපහු එනකොට හැමෝම යන්න සුදානම් වෙලා බස් එක පැත්තට එනව. මලිත් අක්කත්
"හරි මහන්සියි"
කියාගෙන සීට් එකක වාඩිවෙලා දෑස් පියාගත්තා. 

"මං ඔයා ගාවින් ඉඳගන්නවා"
කියමින් ඔහු මගේ අසල හිඳ ගත්තේය. ඉන් පසු බසය දළදා මාළිගාව බලා පිටත් විය.

මං ඔයාටත් එක්ක මල් ගත්තා. 

එහෙම කියමින් විසල් අයියා මගෙ අතට සමන් පිච්ච මල් වට්ටියක් දිගු කළෙමි. 

මම දෑතින්ම එය රැගෙන උඩ මළුවට නඟින සෙනඟ අතරට එකතු වුනෙමි. මා සමඟ එක පෙළට ඔහුත් පැමිණෙන බව මට දැනුනත් ගැහැණු සිතට දැනෙන කෝල බවට හා නුහුරු ගතියට ලැජ්ජා වී මම බිස බලාගෙනම පඩිපෙළ නැග්ගෙමි. එතරම් සෙනඟක් නොවූයෙන් කරදරයකින් තොරව මල් පූජා කරන්න පුළුවන් යැයි සිතමින් මම මල් අසුන වෙතට ගියෙමි. 

මමත් ඔයා ළඟින්ම මල් පූජා කරනවා

දඩබ්බර කොළු ගති පෙන්වමින් විසල් අයියා තනිවම කියවයි. මල් පූජා කර ඒ අසලම දණ ගසා වැඳ පඩුරක්ද දමා මම එළියට ආවෙමි.

නංගි අනික් අය දැම්ම එන එකක් නෑ අපි යං බස් එක නවත්තපු පැත්තට...

මමද ඔහුට කීකරු වී මඟට බැස්සෙමි. පොඩි දරුවෙකු රැකගන්නා සේ මගේ අතින් අල්ලා පාර පැන වැව අයින දිගේ උඩට ආවේය. අසල කඩයකට ගොඩ වැදී අපි කැසට් පීස් තේරුවෙමු.

මේක ලස්සනයි...

එහෙම කියමින් මම කරුණාරත්ත දිවුල්ගනේගෙ "මා ඔබත් එක්ක සුහද කතාවක්" සිංදුව තියෙන කැසට් පීස් එක ගත්තෙමි.

කීයද...? ඉන්න මං ගෙවන්නම්...
විසල් අයියා ඉස්සර වුනි.

නෑ..නෑ..මං ගාව තියෙනව..

පණ්ඩිතය නොවී ඉන්නව. හරි දැන් යමු. 

එක දිඟට වදින හෝන් සද්දයකින් මා කල්පනා ලොවින් මිදෙනවාත් සමඟම මගේ අතකින් අදින බවක් දැනුණි. 

මාමා කොච්චර හෝන් කළාද...මෙයා බස් හෝල්ට් එක ඇතුලෙ නිදි...

නෑ අයියා..තව වෙලාව තියෙන හින්දා ඉඳගෙන ඉඳියෙ. මං ආවෙ 10.10 ට විතර.

හා..හා ඒවයින් කමක් නෑ...එන්න නගින්නකෝ...

මා ඔබව අනුගමනය කරමින් බසයට නැග්ගෙමි. බසය පුරා ඒ තරම් සෙනඟක් නොවුවත් අසුනක් දෙකක් හැර අනික්වා සියල්ලේම සෙනඟ සිටියේය. තනි අසුනක වාඩි වු මා විසල් අයියා දෙස බැළුවෙමි.

මොන ලෝකෙද අර හෝල්ට් එකට වෙලා ඉඳියෙ...

අයියගෙ ලෝකෙ...

දෙයියනේ මගෙ ලෝකෙ හිටිය නම් මං දැන් එන වෙලාව බව දැන දැන නිදාගන්නවද...

නෑ අනේ..මට නුවර ගිය දවස මතක් වුනා...

අප්පෝ...මෙයාගෙන් කැමතියි කියල අහගන්න මම කාපු කට්ටක්...

යනව යන්න...

යනව යන්න නෙමෙයි..යං මතුගම..ආ....

අනේ අයියා මං අම්මට ආච්චි බලන්න යනව කියල ආවෙ....

හරි ඉතින් එන ගමන් දෙන්නම බහිමු. ආච්චිලගෙ ගෙවල් ළගින්. ඔයා ආච්චි බලල එනකම් මං බස් හෝල්ට් එකට වෙලා ඉන්නම්...

බසයට ගෝලයකු සිටියත් විසල් අයියා ඔහුට හවුල් වී සිටියේය. එහෙයින් මම මගේ පාඩුවේ දෑස වසා ගත්තෙමි. 

නංගි ...නංගි...මේ...ඇස් අරින්නකෝ...

ඇයි අයියා...

මේ හරිය ඉද්දමල්ගොඩ...අර අතන පාරෙන් අපේ ගෙදරට යන්නෙ..බහිමුද...

අනේ...අයියා...බයයි...වෙන දවසක යන්.

ඔහොම බය තිබුණොත් ඇති.. අපෙ අම්මා ඔයාව ගිලින්නෑ..

ඒ වුනාට මට බයයි..

හා..හා..අද එක්කන් යන්නෑ...හැබැයි අනික් දවසෙ එන්න ඕනි...

තව විනාඩි පහෙන් මතුගම...

එච්චර වෙලා ගියා...මට දැනුනෙත් නෑ...

දැනෙන්නෙ කොහොමද...ඔයා ඇස් පියාගෙන " කල්පනා ලොව මල්වනේ - සිහින රජ දහනේ"
 නේද...?
තාලයට කියමින් විසල් අයියා මගෙ අතින් ඇද්දේය.


ඔය සෙනඟත් ඉන්නවා..

ඉතින් මට මොකෝ...ඔයා මගෙ..බස් එක මගෙ..

ඔයාගෙ බස් එක වුනාට මට බෑ...

අප්පේ...මෙයාගෙ තියෙන අහංකාර කම. 

එහෙම කියාගෙන විසල් අයියා බසයේ ඉදිරි දොර වෙත ගියේය. මා බසය මතුගම නැවතුම් පළ තුළ නතර කළ පසුත් බසය ඇතුළටම වී හිඳියෙමි.

යං මොනා හරි බීල කතා කරමු...

අනේ මේ...මොනා හරි නම් බොන්න මට බෑ...

පිස්සි...හොදටම දන්නව මං එහෙම දේවල් බොන්නෙ නැහැ කියල..මේකි නම්...

කියා මගේ අතින් ඇදගෙන ස්නැක් බාර් එකක් තුළට ආවෙමු.

අපි ක්‍රීම් සෝඩා බී ඉන් එළියට ඇවිත් බුලත්සිංහල දෙසට ඇවිද ගියෙමු.

නංගි මං ඔයාට කියන්න හිටියෙ..

මොකක්ද අයියෙ...

තාත්ත නසීප නැතුව ඉස්පිරිතාලෙ..

ඇයි අයියෙ මට කලින් නොකිවුවෙ. අපි යං තාත්තව බලන්න..

දැං බෑ නංගි..ඔයාට පරක්කු වෙනවා. ඊලග ටර්න් එකට දැන් බස් එක ගහලත් ඇති.

ඒ වුනාට අයියෙ...

ඒ වුනාට නෙමෙයි..අපි ආච්චලගෙ ගෙදර ගිහින් දෙර යමු. ඔයාට තමයි හැමදාම මගෙ අම්මවයි තාත්තවයි බලාගන්න වෙන්නෙ. ඒ දෙන්නට ඉන්නෙ මං විතරනෙ.

අනේ කොච්චර ෂොක්ද.

හරි එහෙනම් අපි යන් දැන්....


මතු සම්බන්ධයි. 

( මෙය මා විසින් මීට වසර හයකට හතකට පමණ පෙර ලියූවකි. )





2 comments:

  1. ඉතුරු ටිකත් ඉක්මණට දාන්න අක්කේ :)

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.