උදෑසන හිරුට සිඹින්නට ඉඩ දී
ඉස්සි ඉස්සී කඳුකරයෙ නැළවෙනා හැටි,
හිස් මුදුන අත ගා සිනිදුවට
බෙල්ලෙන්ම කඩන විට
කිසිත් නොඳොඩා බලා ඉන්නා හැටි,
කඳුළු කැට හෙමිහිට බේරුණත්
ආපසු නොහැරීම යනෙන උන්හට
හදවතින් තුටු වෙනා මව්ගසක හැටි,
උරයක, කූඩයක තල්ලු කර
ඔබාගෙන පණ ගියපු හිස්
එල්ල එල්ලා බලන්නට දෙන හැටි,
රත් වෙච්ච තැටියක ගිනි වැදී
ඇඹරිලා දුක් විඳ විඳ යද්දිත්
නොවැළපෙන පුදුමයක හැටි,
ලෝදිය තරම් රත් වතුරෙ
දම දමා ගන්නා විටත්
කාටවත් කිසි වගක් නැති හැටි,
ආයෙමත් මව්කඳ හුස්ම ගන්නා විට
කාගෙ හෝ දෑගිලිවලට බිලි දෙන්න
කිසිත් නොවු ලෙස බලා ඉන්නා හැටි,
සංසාරෙ ගමන් මඟෙ
සා පිපාසා කී දෙනෙකුගේ
"තේ දල්ල" නිව නිවා සැනසෙනව ඇතිද..?
අද උදෑසන තේ එකක් හදාගන්න ගියහම හදවතට ආපු සිතුවිල්ලක්. තේ එක හදන එක පැත්තකින් තිය මම ඇවිත් ඒක ලිවුව.
ඡායාරූපයත් මගෙ. මෙදා සැරේ නිවාඩුවට ලංකාවට ආපු වෙලේ නුවරඑළි යද්දි ගත්තෙ.
තේ දල්ලක් ගැන මෙච්චරම දුක හිතෙන කවියක් කියෙව්වමයි..
ReplyDeleteඔයා නම් හැබෑම දක්ශයි දිනිති !!
තේ දල්ල වගේම ඒ මිනිස්සුන්ගේ ජීවිතද කහට බැඳී ඇත. කවියේ නම් කහටක් නැත
ReplyDelete