Wednesday, July 23, 2014

පැරදුමෙන් දිනපන් දුවේ.

නිමිත්ත -
------------------
"නාවික හමුදාව විසින් වටකරගෙන තිබෙන කාරයිනගර් ඌරි ගම්මානයේ මුල්ලක ජීවත්වූ පවුලක ඉපැදුනු දුවේ, ඇඟපත වෙව්ලන නුඹේ පියාට රැකියාවක් නැත. මවගේ කුලී රැකියාව විස්වාසකර ජීවත් වන පවුලකි,

දිළිඳුකමින් ජීවිතය ගෙන යන පවුලක අන්තිම දරුවා නුඹයි, නුඹ එකලොස් හැවිරිදි කුඩා මොට්ටුවකි, දුව පැන සෙල්ලම්කර ඉගෙනුම ලබාගත යුතු ළදැරියකි, මිනිසුන් නැති පාළු කැලෑබද පාරකින් දිනපතා පාසල් යන එන නුඹව ඉලක්ක කර නාවික හමුදා සෙබළුන් පැහැරගෙන ගියෝය. ඔවුන් තම ම්ලේච්ඡ කාමාශාවන් සංසිඳවා ගැනීමට තැත්කළ විට නුඹ අඞා වැලපී තිබේ... විරුද්ධවී... ප්‍රතික්‍ෂේපකර තිබේ... නමුත් ඔවුන් නුඹව අතහැරියේ නැහැ, පිහිය පෙන්වා බෙලි කපනවා මරනවා යැයි තර්ජනය කර තිබේ, එම පාරෙන් ගිය වයසක පුද්ගලයකු නුඹේ අඞා වැලපීම දැක “කුමක්ද කරන්නේ පව් ඇයව අතහැරින්න“ යැයි ඉල්ලා තිබේ. නමුත් සෙබළුන් තර්ජනය කිරීමෙන් බියට පත්වූ ඔහුද එතැනින් ඉවත්ව ගොස් තිබේ."
____________________________________________

පෙරී එන හිරු රැස් යටින් නුඹ
වෙලාගත්තේ බියකරුම වලසෙක්
හැරී බලලා යන්න දන්නැති
දුවේ මලකට පිපෙන්නට තහනම්

කුසේ ගින්දර
ඇසේ පතුලෙන් නොදුටුවට
නුඹේ අම්මා කඳුළුයි දියකලේ
ඇයගෙ හද,
ගිනි ගන්නවා ඇති නොදැක්කට
නුඹේ බර,
ඈම පමණයි ඉහිලුවේ

"ඌරි" ගම් මැද ඌරු ගඳකට
නාස් හකුලන්නට බැරි යුගේ
කාසි බලයට නාකි හිවලට
හැකියි කන්නට තව මිදි වනේ

දෙව් සඳිසි මිත් කැළක් යැයි
කිය කියා පැන් කළ වත්කලේ
හව්හරණ නැති බිම් මලට ඇයි
පා පහස දී උඹ පොඩි කලේ

ලොවේ දහමක් කියා ඇත්නම්
අනේ පල දී උඹ පැලී මැරියන්
දුවේ වැරදුණ තැනින් නැගිටින්
අයුක්තියකට හෙට හඬ නගන්.


විස්තරය කියවන්න මෙතනින් 

13 comments:

  1. අනේ ....
    ඇත්තම කතාවක්ද...
    කවිය හොදයි කීවට ඒකෙන් කියවෙන දේ ගැන නං හොදයි කයන්න බැ...
    මිනිස්සු ඉන්නව...හුගක්ම මිනිස් වෙසින් ඉන්න නොමිනිස්සු...
    ඒ අතරෙ තැනිං තැන හැංගිලා වගේ මනුස්සකම තියෙනව..
    ඒත් එළියට එන්නෑ..
    බයයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් මල්ලි. ඔන්න ප්‍රවෘත්තිය කියවන්න. මං කියවපු වෙබ් ලිපිනයම දැම්මා.. :-)

      සමාජය ගැන කතා කරල වැඩක් නැහැ. එන්න එන්නම් පිරිහෙනව. මනුස්සකම කතා කරන්න ගියොත් ගුටිකන්න වෙනව මල්ලි මේ කාලෙ.

      Delete
  2. මගෙත් පපුව දාලා ගියා ඕක දැක්කාහම.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද..අපි ජිවත්වෙන වටපිටාවමයි නේද ඉතින්..

      Delete
  3. මේ සිද්ධියට සම්බන්ධ නාවික හමුදා සෙබළුන්ට එරෙහිව සිවිල් අධිකරණ ක්‍රියාමාර්ග නොගත්තොත් තවත් මානව හිමිකම් චෝදනා අපේ රටට එල්ලවීමට ඉඩ තිබෙනවා. වැරද්දක් කලානම් දඬුවම් විදිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. හැම එකම කරයි..හැබැයි වැරදි කරුවන්ට නියම වෙන දඩුවම සතියෙන් අහවර වෙයි. මොකද අපේ රට ආශ්චරයයමත් රටක්නෙ..

      Delete
  4. සංවේදී කවි පෙලක්... සිද්ධිය ගැනනම් ඒ හැටි තොරතුරක් දැනන් හිටියේ නෑ මම..

    ReplyDelete
    Replies
    1. මං නිවුස් එකත් ඇටැච් කරල මල්ලි.. අහිංසක දරුවෙක්ගෙමුළු අනාගතයම අදුරෙ.

      Delete
  5. හරිම ලස්සනයි හිතට වදිනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරිඳු

      Delete
  6. කවියත් කවියට නිමිත්ත වුණ පුවතත් සංවේදියි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ. ඒ සංවේදි නිමිත්ත විසින් මාව පෙළඹුව කවියකට.. බොහොම ස්තුතියි අයියෙ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...