Monday, July 14, 2014

සයිප්‍රසයේ ලංකාරාමයේ අතීතාවලෝකනය

" චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය...බහුජන සුඛාය අත්තාය හිතාය "

හිමිදිරියේම ලා හිරු රැස් දහරින් සම්බුදු සිරි පතුල් සිප නහවමින් දිනිසුරු පියමන් කරන්නේ ලොවම ආලෝකමත් කිරීමටමය. අතුපතර විදාලූ සුවිසල් තුරුහිසේ සිට භූමස්තකයෙහි පෙනෙන නොපෙනන තරමින් හිස ඔසවන්නා ලපටි පැලෑටිය තෙක් පළබර වන්නේ ලොවටම පුදන්නටය.. මිහිමව සනහාලමින් සිසිල ඛෙදමින් දිය කඳුරක් පවා ගලා බසින්නේ ලොවක පවස සංසිඳුවන්නටය.. ස්වභාවදහමේ සියලු සංසිද්දීන් තුලින් බැලූ බැල්මට ගම්‍ය වන්නේ සරල සුගම බවක් වූවත් ඒවා සාක්ශාත්වීම තුල ගැඹුරු හේතුඵලරූපී බවක් ඇත. එනම් හුදෙක්ම පරාර්ථචරියාවමය. එයින් ලොවට පුදනවා මිස ඉන් ලබාගන්නා දෙයක් නැති තරම්ය.

එලෙසම ලොවට දීම මිස ඉන් ගනු ගැන නොසිතන උත්තුංග පාරමිථාවේ පරාර්ථ සිතුවිල්ල ගැන ලොවට දේශනා කලේ අප ගෞතම සම්මා සම්බුදුරදුන්මය.. ඒ සම්බුද්ධත්වය ලබාගෙන ප්‍රථම ධර්මදූත කණ්ඩායම ලෙස රහතුන් වහන්සේලා සැට නමක් අමතමිනි.. —මහනෙණි බොහෝ ජනයාගේ හිත සුව පිණිස ගම් නියම්ගම් සිසාර ධර්ම චාරිකාවේ වඩින ලෙසද දෙදෙනෙකු එක මග නොයන ලෙසද උන්වහන්සේ දේශනා කල සේක.. බුද්ධ අනුසාශනාව එලෙසම ඉෂ්ට කරමින් අද්‍යතනයේද  බුදු පුතුන් එමග යන්නේය.. දේව වාදී යුරෝපයේ ග්‍රීක දෙවඟනගේ සුරතලිය වන් සයිප්‍රසයටද එවන් එක් බුදු පුත්‍රයාණෝ නමක් වැඩම කළහ. අපට දැනෙන ලෙස පැවසුවහොත් සයිප්‍රසයට බුදුන්ගේ දහම් පනිවුඩය රැගෙන ආවේ බුදු පුතෙක්මය..


මෙතැන් සිට ඇරඹෙන්නේ ඒ සදහම් චාරිකාවේ සුවඳ දිගහැරුමයි.. මොරවක සෝරත හිමියන් සයිප්‍රසයට ගොඩබැස්සේ අප මෙන්ම කිසිවක් සතුව නොවේ.. හිස් අතින් වූවත් උන් වහන්සේගේ සිත පිරී තිබුන්නේ උතුම් බලාපොරොත්තු ගොන්නකිනි.. ඒ 2005 වසරයි.. උන් වහන්සේගේ ආගමනයත් සමග සයිප්‍රසයට දහම් වසන්තයේ පෙරනිමිති පහල වන්නට විය.. 2005 වසරේ ජූලි මස 10 වන දින සයිප්‍රයසයේ සීතා උද්‍යානය අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගියේ සදහම් සුවඳක් සොයමින් සිටියවුන් කෙතරම්දයි පසක් කරමිනි.. ඒ ආනුභාවයෙන්  සයිප්‍රසයේ බෞද්ධ සංගමයක්ද ස්තාපිත කෙරිනි.. ස්විස්ටර්ලන්තයේ වැඩවසන ස්වාමීන් වහන්සේ නමක් ඇතුලුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එදින සයිප්‍රසය බුදු සසුනේ තවත් කේන්ද්‍රස්ථානයක් විය.. සයිප්‍රසයට අමා වැසි වසින්නට වූයේ එතැන් සිටය..


සුදු වතින් සැරසුනු දස දහස් ගනනක් සෙනග පිරිවරාගෙන සීතා උයනේ ඉදිකල දම් මණ්ඩපයක බුදු සුවඳ පතුරවන මල් පිපුනි.. කුලී පදනමට ගත් ස්ථානයක බුදු කුටියක් නිමවා ලක්දිවෙන් වැඩම කල බුදු පිළිම වහන්සේ තැම්පත්කොට පුද සත්කාර සියල්ලද ඉටුකෙරිනි.. සෙත් පිරිත් සජ්ජායනා මැද රෝපණය කල පැලය අද නාඹර රුක්ෂයක් විලසින් අතු විහිදුවා නැගී සිටී.. මූල බීජය රෝපණය කිරීමේ සිට අතුපතර සිලිසිලිය නගමින් වැජඛෙන අද දින දක්වාම ඒ දෙස බලා සිටි මාගේ හිතට දැනෙන ශාන්තිය මෙපමනැක්යැයි කිව නොහැකි තරම්ය.. රටක බුදු සසුනක් පිහිටවීමේ එවන් පූජණිය මොහොතකට සම්පත් දායකත්වයෙන් ශ්‍රම දායකත්වයෙන් සහභාගීමට  වරම් ලැඛෙන්නෙ පෙර පිනක් නිසාම බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.. ඒ මොහොත මා සන්තානයේද සදාතනික දහම් සමරුවක් ලෙස තැම්පත්වී හමාරය.. එය මතක් වන වාරයක් පාසා සිත නිරාමිස ප්‍රීතියෙන් ඇලලී යයි..


තමන් ශීලයේ පිහිටමින් අනෙකාවද ශීලයට යොමුකරවන්නට මහ හෙලි කරමින් ක්‍රිස්තියානිය මූලික කරගත් රටක සමාජයක ඇවිදීම උඩුගං බලා පිහිනීමකි.. බැලූ බැලූ අත කඳු මිස පල්ලමක් දක්නට නොලැබිණි.. එහෙත් ඒ අවදානමට මනා සූදානමකින් යුතුව ඉවසිලිමත්ව බුද්ධිමත්ව අපේ හාමුදුරුවන් පිය නගන සැටි ලෝකවාසී සියලු බෞද්ධයන්ට අපූරු ආදර්ශයකි..


සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය පන්සල බව නොරහසකි.. අවිඳු අඳුර දුරලමින් එයින් දැල්වුන බුදු දහම නම් පහන්සිලේ ආලෝකය අද විශ්වය පුරාම විහිදෙමින් පවතී.. ලක්දිවේ චතුර ධර්ම කථිකයන් වහන්සේලා මෙන්ම අර්ථයෙන් දහමෙන් පෝශිත ස්වාමීන් වහන්සේලාවද සයිප්‍රසයට වැඩම කරවමින් එදා මෙදා තුර සිදුවූ විදු ඇස අවදිකරවීමේ මහා ක්‍රියාදාමය අද සුවහසක් ජනී ජනයාගේ ආලෝකයටම හේතුවී ඇති බව පැහැදිලිය..
එපමනක් නොව කලා රස හඳුනන ලක්දිවේ දක්ශ පරිනත කලාකරුවන් කැන්දාගෙනවිත් වසරකට වරක් පවත්වන සිංහල අවුරුදු ගම්මානය මුලු ලෝකයේම ජීවත් වන්නන්න්ට පමනක් නොව සිංහල අවුරුද්ද නාඩගමක් කරගෙන ඇති ලංකාවටද කදිම ආදර්ශයකි.. ලක්දිවේ පවා වියැකී දියැවී ශේෂවී යන ජන ක්‍රිඩා ජන ගායනා ඇතුලු සියලු හරවත් තෙදවත් හෙළ දේශීය අභිමානය සයිප්‍රසයේ ලංකාරාමයට හිමිවී ඒතුල ආරක්ෂාවී ඇති බව ආඩම්බරයෙන් පවසන්නට අවශ්‍යමය.. ඒ අරුමය පිළිබඳ තුඩ තුඩ රැව් පිලිරැව් දෙමින් දනන්ගේ ප්‍රසාදය හිමිවන විට රහසින් කඳුලක් පිස දමමින් සතුටු වන අවස්ථා මෙය ලියන මටද නැතුවාම නොවේ..


මේ වසරේ දසවන වරටත් වස් ආරාධනාවට සූදානම් වී සිටින සයිප්‍රසයේ ශ්‍රිලංකාරම දායකයින් අද තමන්ගේම කියන තැනක හයියට විරාජමානව ස්ථාපිත වී හමාරය.. කුලී පදනමේ බර කලක සිට කර තියාගෙන යමින් තමන්ටම කියා තැනක්ද ගන්නට තරම් මෙහි සිටින ශ්‍රිලාංකිකයින්ගේ එකමුතුවත් ධෛර්යයත් සමත්විය.. 


අව්වට වැස්සට දියවෙන යෞවනත්වය පමණක් නොව වින්ටර් සම්මර් ඍතු වලට දෑත්වල පිපෙන කර ගැට රටාවලින් ඔවුන් මේ පුදබිම සවිමත් කරවු බව කවුරුත් දනිති.. සමගියේ සවියෙන් අර්ථ සම්පන්න පුෂ්පයක් ඇත්නම් ඒ සයිප්‍රසයේ ශ්‍රිලංකා බෞද්ධ සංගමයයි.. නොහැක්කක් නොමැති බව ඔවුන් බොහෝ අවස්ථාවල පෙන්වා දී හමාරය.. ඒ සියල්ලට පෙරගමන්කරු වන්නේ පන්සලේ වැඩ වසන නායක ස්වාමීන් වහන්සේත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාත්ය..

ධර්මය පිපාසිත දනන්ගේ විඩාව සංසිදුවමින් පුස්තකාලයක්ද මනාව කලමණාකරනය කරමින් ධර්මඥනය ඛෙදීමේ කර්තව්‍යයද මෙහිදී සිහිපත් කළ යුතුමය. එයින් ඵල නෙලා ගත්තෝ සිය දහස් ගණනකි. මනා ගිහි පැවිදි සම්බන්ධයක් පවත්වා ගනිමින් සියල්ලන්ගේම අධා්‍යාත්මය පෝෂණය කරමින් කාර්ය බහුල ජිවිතවලට සැනසිල්ලේ අමා වැසි පුරා වසර නවයක් පුරාවට වැස්සිනි. දිනෙන් දින මේ කර්තව්‍යය වැඩි දියුණු වුවා මිස අඩු වුයේ නැත. ගිහියන්ගේ දිවි මග සාධනීයව ඉහළ ස්තරයක රඳවන්නට දිවා රෑ නොබලා වෙහෙසවන පෑලැම්පිටියේ මහින්ද පොඩි හාමුදුරුවන්වද මෙහිදී නමස්කාර පූර්වකව සිහි කළ යුතුමය.


මෙලොව අවිද්‍යාව ඇසුරු කරන බහුතරයක් සහ නොයෙකුත් ප්‍රාතිහාර්ය වදන් පවසමින් දනන් මං මුලා කරවන මිනිසුන් පිරි යුගයක මේ බුදු පුතුන් සයිප්‍රසයේ ශ්‍රිලංකාරමය තුල සිදු කරන හරවත් සමාජ සත්කාරයන් අභිමානනීයය.. ප්‍රශංසනීයය.. ඇගයුම් කළ යුතුමය.. විදේශිකයින් පවා පැමිණ දහම් සුවඳ විඳගෙන යන සයිප්‍රසයේ පිංකෙත චිරාත් කාලයක් පවතීවායි යන්න අප කාගේත් පැතුමය.. පැහැදුණ වුන්ගේ පැහැදීම වැඩි කරමින් නොපැහැදුණ උන්ගේ පැහැදීම ඇති කරමින් සම්බුද්ධ ශාසනය පවතින තාක් කල් මේ බිමද පවතීවා...

වසර නවයක සාංවත්සරික පිය සටහන් සවිස්තාරාමකව ලිවීමට හැකි වුවත් එය ඔබට මෙසේ පෙළ ගස්වා තබමින් මෙම සටහන මා නිම කරමි. තෙරුවන් සරණයි.
01)   2005 වසරේ ජුලි මස 10 වන දින තෙරුවන් වැඩ සිටින පන්සලක් ආරම්භ වීම


02)   2005 වසරේ පළමු වරට සඟරුවනක් සයිප්‍රසයේ වස් වැසීම ඇරඹිම.


03) ශීල භාවනා වැඩසටහන් ආරම්භ කිරීම
      ( සෑම පොහෝ දිනක්ම සයිප්‍රසට නිවාඩු දිනයක් නොවුවත් සෑම මසකම පොහොයට සමගාමීව එළඹෙන ඉරු දින පැවැත්වේ. දැනට පසොලොස්වක දින 84 ක් මෙය නොකඩවා ක්‍රියාත්මක කර ඇත.)


04) ලංකාරාම පුද බිමට බෝධින් වහන්සේ නමක් වැඩම කරවීම


05) සමාධි පිළිම වහන්සේ නමක් වැඩම කිරිම.


06) ගර්භ නිධානයත් අටවිසි බුදු මැදුර විවෘත කිරීමත් එක දා සිදු විය


07) දැනුම කුශලතාවය දියුණු කරවන්නට පුස්තකාලය පිහිටුවීම


08) දුකේදී මෙන්ම ඇවැසි අවස්ථාවක පන්සල උපදේශන මධ්‍යස්ථානයක් වීම


09) විවිධ හේතුන් මත අසරණ වුවන්ට හැකි සීමාවේ සිට පිහිට වීම


10) ගුවන් අනතුරින් මියගිය අයට පුන්‍යනුමෝදනා කිරිම ( ලොවම කම්පා කරවමින් සයිප්‍රස් ජාතිකයින් 

එකසිය පනහක් පමණ ජිවතක්ෂයට පත් කරවමින් සිදුවු ගුවන් අනතර)

11) සයිප්‍රසයේ කඨින මහා පිංකමත් වීථී සංචාරය කරමින් කෙරන කඨින පෙරහරත් සෑම වසරකම නොකඩවා සිදු කිරිම. දැනට වසර නමයක් සිදු කර ඇති අතර දසවන වස් ආරාධනාව මෙම මස සිදුවේ. )


12) සයිප්‍රසයෙ ශ්‍රි ලංකාරාමය තුළ දහම් පාසැල ක්‍රියාත්මක වීම (දෙස් විදෙස් සියළුම දරුවන්ට )


13) දෙවන බෝධි රෝපණයද ලිමසෝල් නගරයේ අපේම බිම් කඩක රෝපණය කිරිම.

සටහන - දිනිති දීපිකා


2014/ජුලි 13 ඉරිදා සිළුමිණ  

මෙන්න ඔන්ලයින් බලන ලින්ක් එක මෙතනින්







2014 ජුලි 14 සදුදා ලක්බිම.  



මේ අපේ පන්සලේ ඡයාරුප කිහිපයක්.





අපේම කියන පන්සල



සමාධි ප්‍රතිමාව



බෝධින් වහන්සේ.



චෛත්‍ය වහන්සේ සහ අටවිසි බුද්ධ මන්දිර

                                    ආගමික වැඩසටහනකදි




                                                දහම් පාසැලේ අවස්ථාවක්.


            දහම් පාසැල් දරුවන් සමඟ ස්වාමීන් වහන්සේලා


                    

 අපේම තව ඉඩමක තවත් බෝධින් වහන්සේ නමක් රෝපණයකිරිම.

8 comments:

  1. ම්ම්...
    පත්තර දෙක්කටම ලියල තියෙන්නෙ...
    ස්තූතියි විසිතරයට..
    ඔයා සයිප්‍රස් ඉන්නව කියල මතක් වුනේ අක්කෙ මේ ලිපිය දැක්කම...
    ඒ හාංදුරුවො කෝම හරි සයිප්‍රස් වලත් බුස්ධාගම ඇති කරයි...
    ඒත් මෙහෙ ඉන්න ගවර පාළුවො

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ නම් සැබෑම බුද්ධ පුත්‍රයෙක් කියල දැනෙද්දි අපිට පුංචි අහංකාරකමක් දැනෙනව. මොනව වුනත් ලංකාවෙ මේ වයසෙ අපි ඉදිය නම් මේ වගේ පිනට දහමට ලංවෙන්නෙ නැහැ.

      Delete
  2. Bohoma sathutuyi.. Bohoma sathutuyi.. Lankaawe dan Buddhaagama nathi wena gamanak yanne. Dan thiyanne remix aagamak. Me wage ratakawath eka rakenawa kiyala ahanna labena eka Bauddhayek widiyata loku sathutak. Ewani de karana ayatath, me wage wada gana apita kiyana Dinithi akkatath godaak pin...

    ReplyDelete
    Replies
    1. විදෙස් මිනිස්සු ධර්මය හොයන් එන හැටි පේද්දි ඇත්තටම අපේ රටේ අපි මොනවද කරන්නෙ මෙච්චර වටිනා දහමක් තියෙද්දි කියල හිතනව...

      බොහොම ස්තුතියි මල්ලියෙ..

      Delete
  3. සංතෝශයි ආඩම්බරයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියෙ..

      Delete
  4. මෙහේ පන්සල ගැන හිතද්දී මේවා ගැන ඇත්තටම ආඬම්බර වෙනවා අක්කේ..

    ReplyDelete
    Replies
    1. හැමදේම අපේ මිනිස්සුන් අති සිද්ද වෙන දේවල් මල්ලි. ඒවට නිවැරදි මඟ පෙන්විම ලැබුණ නම් ඔහොම වෙන්නැ.. මාත් හුගක් අහල තියෙනව ඔහේ පන්සල් ගැන..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...