Friday, October 10, 2014

යහමින් මිතුරුකම ඉගිලුවා, සකි සඳුනෙ නුඹ දුරට


වන්දනාවක් වගෙ මතක් වෙන අතීතෙන්
පනින්නට බැහැ කුමරු පැන ගිය ගල මතින්
ආඳ දොළ ගලා යනවා අදත් ආඳන් එක්ක
පෑගු දිය අපෙ දෙපා දැන් දුරයි ඒ දෙසට

රෙමුණෙ වැවෙ මල් පිපී අත වනනකොට
බෑ කියා ගලා යයි කළු ගඟේ දිය රැල්ල
සාදු කියමින් යන සමනලුන් සිරිපාදෙට
අදත් ඉගිලෙනව ඇති අපේ ගම මැද්දකින්

යායකට පැහී එන නිල් ගොයමෙ සුවඳකින්
හාදුවක් අරන් එන සුළඟවත් නෑ ළඟ පාතකින්
පාරුවක් තනාගෙන යන්න යන හිත අාපසට
බෑ කියා නවතන්නෙ නුඹ නිසා හීනියට

මොළවගෙන මිට අත් තියා එකක් උඩ එක
පෙරලගෙන කරපු සෙල්ලම මතකයිද උඹට
පහේ පන්තියෙ ඉලක්කම් අරගෙන වැඩිය
සිදාදියෙ ගිය නුඹ පාරවල් තව හොයනවද

සිනාවක සැඟවිච්ච අර්ථයක් දකින්නට
නොදන්නා දා හිනාවුන හැටි අපි මතකයිද
දන්න හිත් එක්ක හැප්පෙන්න බැරිකමට
යන්න ගියෙ වෙන්වෙලා ඒකමයි වෙනනතකට

පැහැදුල් සුරන් සිල්වත් වත්කම් පුරවගෙන යසට
මහනෙල් දෙනෙත් විය බාලෙදි නුඹ ළඟ රුවට
කහවන් කාසි මිටි බැද බැද ගෙයි පිරෙනකොට
යහමින් මිතුරුකම ඉගිලුවා,සකි සඳුනෙ නුඹ දුරට

* ප. ලි
කුමරු පැන = කළුතර - හොරණ, නෑබඩ පාර මතුගම- හොරණ බස් මාර්ගයේ රෙමුණෙ හන්දියට පේන කුමරුන් පැන්න ගලයි.

ආඳ දොළ = කුමරුන් පැන්න ගල පාමුලින් ගලා යන දොළයි

_____________________________________________

ගම් තුලානෙ ඉඩමක් ඉඩමක් ගානෙ දුව පනිමින් වැටවල් ගසා සීමාවක් නැතිවුන ළමා කාලෙය මා මිත්‍රෙයක් අද අහම්බෙන් මුහුණුපොතෙන් හමුවුණා. ඒත් මුදල් කොයිතරම් යාලුකම් අමතක කරනවද කියල මට ආයෙ ආයෙ මතක් කෙරව්වා ඒ හමුවීම. රිදිච්ච මගෙ හිතට නොරිදෙන්න කියල අකුරු ගැලපුව දුක වැහෙන්න.

මේ මහා ජීවිත ගමනෙ එකිනෙකාට මුණ ගැසී වෙන්වෙලා ගිය අය කොයි තරම්ද? එවන් තවත් එක් අයෙක් පමණක් නුඹ කියා සිතට පහදමින් මෙය නුඹේ ඇස ගැසේවායි මං තනිව පතමි.

3 comments:

  1. කාලය මිනිස්සු වෙනස් කරනවා , කාලයට වඩා ඉක්මනින් මිනිස්සුනව වෙනස කරන්නේ මුදල් .

    ReplyDelete
  2. ඇඩ්ඩරස් එක කියන්න...

    ReplyDelete
  3. හැම මනුස්සයම එක වගේ නෑ දිනිති අක්ක...
    අපි මිනිස්සු ගැන හිතන විදියට මිනිස්සු අපි ගැන හතන්නෑ....
    ඒ හැටි....
    දුක සැප නිති පෙරලේ රිය සක ලෙස ලෝකේ

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...