Sunday, October 19, 2014

මූසල සිතුවිල්ලක් විඳපු හැටි.

ඊයෙ රාත්‍රියෙ සිට මහ මූසල හැඟීම් එක්ක ජීවිතය ගණුදෙණු කරනව කියල මට දැනෙනවා. මෙන්න මෙතන, මෙන්න මෙහෙමයි කියල කියන්නට බැරි තැනක රිදවුමක් දැනෙනව. කියන්නට බැරි වුනත් ගුප්ත සිතුවිලි මා අාක්‍රමණය කරමින් අතික්‍රමණයකට ගොස් හමාරයි. හැම හුස්මකටම කතා කරන්න බැරි වුනත් හැම හුස්මකම කතාවක් තියෙනව කියල මං විශ්වාස කරනව. අලුත් වෙන හැම හුස්ම පොඳකම ජීවිතේ අලුත් වෙනව කියන අධිෂ්ඨානයෙ මං පසුවෙනව.

ආදරණිය ඔබ, දන්නවද අකුරුවලට කතා කරන්න බැරි වුනාට වචන වලට පණ දෙන්න මං පුරුදුවුනේ නොතේරෙන දා ඉදන්.  ඒ ඉස්සර අම්මා රැකියාවකට විදේශගතවෙලා, පුංචි මං ගෙදර මිදුලෙ වැලි ගොඩේ ඉදගෙන කොස් ගහේ "අම්මා" කියල ලිවුවා. අක්ක ඇවිදින් කණ මිරිකල " හැදෙන පැලේ පොත්ත කෑව නේද  " කියල මට ගැහුව. ගහක පොත්තෙන් එලය රැකෙනව කියල මං දැනන් උන්නෑ. අම්ම නැති අඩුව අක්කට කවමදාවත් පුරවන්න බැරිවුනා මගෙ පුංචි හිතේ. හා හා පුරා කියල මට මතකයි මං කවියක් ලිවුවා මගෙ දහම් පාසලේ බිත්ති පුවත්පතට. එදත් ලිවුවෙ
"අනේ අම්මේ ඉක්මනින් ගෙදර එන්නකො" කියල. කොහොම වුනත් අම්මා ආවෙ මං ශිෂ්‍යත්වයත් ලියල අහවර වෙලා තවත් අවුරුද්දක් විතර ගියහම. එදා මට අර තරම් අම්ම ගැන ඕනි වුන් නෑ. ඒ මං අවුරුදු 3ක් 4ක් විතර අක්කගෙ අණසකට යටත්වෙලා ජීවිතේ උහුලගන්න පුලුවන් බරක් තනියම බාර අරගෙන හිටිය නිසා.

 අම්ම ගැන,මං ගැන මෙහෙම ලිවුවෙ අර ඊයෙ රෑ ඉදන් පැටලෙන මූසල සිතුවිල්ල තෝරා බේරාගන්න බැරිකමට. උදෑසනත් ඒකටම හරියන්න කළුකරගෙන. දැන් වෙලාව උදේ දහයයි දහයයි. ඒත් කළුවරම කළුවරක හෙමින් හෙමින් වැහි පොද වැටෙනව. මගේ හිත හිරිවට්ටන ගතියක් තියෙන්නෙ. අම්මව හොයාගෙන දුවගෙන ගිහින් අම්මගෙ උකුලෙ වැටිල හයියෙන් හුස්ම පාරක් අරක් පපුවෙ තියෙන මූසලකම් නැතිකරගන්න හිතුණ වාර අනන්තයි අප්‍රමාණයි.

ඇට, ලේ , මස්, නහර පුරා විතරක් නෙමෙයි කේෂ නාලිකා, අනු නාලිකා හැම අංශුවකම මේ තුප්පහි, අප්‍රිය, ජුගුස්සාජනක සිතුවිලි වෙලාගෙන. එකින් එක ලෙහල මොකක්ද කියල හොයාගන්න පුලුවන් වුනා නම් ප්‍රතිකාරයක් කරන්නට තිබුණ මට. කොහොම වුනත් ඒ හිතත් එක්ක උදේ මුහුණු පොත් සැරිසරනකොට #music #lanka ගෘප් එකේ අපේ #Tharu #Gmage අක්කා සිංදුවක් ෂෙයාර් කරල තිබුණ. මොබයිල් එකෙන්ම ඒක ඇහුව. වෙනදත් අහල තිබුණට අද හිතත් එක්ක ඒක තව තව අහන්න හිතුණ. ප්‍රේමයේ ගිිවිසුම් ලිහායෑමක්වත්, අහිමි වීමක්වත් විරහවක එළියක්වත් මං අසලක නැතිබව දිවුරා කිව හැක. එහෙත් මේ දුක්බර ගීතය මා වශී කරගත්තා. දැන් අනුමානව විසි තිස් පාරක් විතර ඇහුව. මේ දැනුත් අහන ගමන්.


කඳුළු මන්දාකිණියෙ ආදරයේ
නුඹේ ඇස් දෙක තමයි ආදරියේ
තාරකා දුන් කඳුළු ආලෝකේ
වේදනාවේ අඳුර දුරු කරනා
වේදනාවේ අඳුර දුරු කරනා
වේදනාවේ අඳුර දුරු කරනා...

කවමදාවත් සිනහ සඳකැන් නුදුටු ජීවිතයේ
කොපුළෙ දිදුලන තරු රටා
මකන්නද කෙලෙසේ...මකන්නද කෙලෙසේ

කඳුළු මන්දාකිණියෙ ආදරයේ.....

එළිය කඳුළක් දුන්න දෑසට අඳුර හුරු පුරුදුයි
නුඹට එළියක් නුදුන්නොත් හෙට
ඒ පවත් මටමයි...ඒ පවත් මටමයි...

කඳුළු මන්දාකිණියෙ ආදරයේ....


බලන්න මොනතරම් දුක්බර වචන ටිකක්ද? හැම සංවේදී හදක පත්ලටම දැනෙනව නේද? ඒ සංවේදි රට ලියන අය අතුරින් #අමිල #තේනුවර අයියා කවදත් ඉදිරියෙන් මගෙ හදවතේ. වචන කතා කරන තත් රට #දර්ශන අයියගෙ. මහළු නොවූ ආදරයේ, විරහවේ හඩ #පණ්ඩිත් #ඩබ්ලිව් #ඩී #අමරදේවයන්ගෙ. ඉතින් මගේ මූසලකම තව තවත් හදවත වෙලාගනිද්දි මේ පදවලට මං අම්මව ගාව ගත්තෙ ඇයි කියන්නම්,

මුලින්ම හිත හොරාගත්තෙ

"කවමදාවත් සිනහ සඳකැන් නුදුටු ජීවිතයේ
කොපුළෙ දිදුලන තරු රටා
මකන්නද කෙලෙසේ...මකන්නද කෙලෙසේ"

මේ පද ටික මටමයි. මමයි ඒ ඇතුලෙ ඉන්නෙ. සිනහවෙන්න කොච්චර හැදුවත් දුෂ්කර ජීවිතයේ සිනහව උදුරගෙන යන හැටි අනන්ත අප්‍රමාණව මං විඳල තියෙනව. ඒක කවමදාවත් ලියා කියා අහවර කරන්න බැරි හැගීමක්. ඊලගට මගේ අම්මව මැවිල පෙනුන මට මේ වචන වලදි

"නුඹට එළියක් නුදුන්නොත් හෙට
ඒ පවත් මටමයි...ඒ පවත් මටමයි..."

මගේ අම්මට කොයිතරම් ඈ රිසි දේ දුන්නත් ඒ මදියි කියන දේ මට හැමදාම දැනෙනව. විරහවේ ගීතයක් වුනත් මා විඳි විදිහ ඔබට කිවුවෙමි. එය ඔබට වෙනස් ලෙස දැනේවි. අහල බලන්න.

අහන්න මෙන්න මෙතනින් සිංදුව

8 comments:

  1. විරහවෙත් රසයක් තියෙනවා, විදිනි කෙනා හා විදවන කෙනා මත ඒ රසය වෙනස් වෙනවා...

    ReplyDelete
  2. මොකද මේ # ටැග් බ්ලොගර් වලටත් # ටැග් දෙන්න පටං ඇරංද ආ...
    අපිට මොකක් හරි දෙයක් කවුරු හරි කෙනෙක් ඕනම වෙලාවට ළග නැතිවෙනකොට හිතේ ඇතිවෙන ප්‍රතිමාණ බිදීම ගැන කියන්න වචන නෑ... හිතම හෝදන් යන්න පුලුවං වෙලාවල් එනව..
    පොඩි එකෙක් කාලෙ කොහොම දරාගත්තද කියල හිතෙනව...
    අනේමංද බං අක්කෙ මේ වගේ ඒවට කියන්න දේවල්නැ

    ReplyDelete
    Replies
    1. ටැග් එන්නෙ වෙන තැනක ලියල හෙමින් නිදහසේ ලියන ලියවිලි නෙමෙයිනෙ මල්ලි මේව. බුකියෙ ඉන්න ගමන්ම ඔහේ ලියල දාන ඒව මේකටත් කොපි පේස්ට් පාරක් දානව. ඉතින් එතකොට වෙන විපර්යාස තමා. :-)

      Delete
  3. //""කොහොම වුනත් අම්මා ආවෙ මං ශිෂ්‍යත්වයත් ලියල අහවර වෙලා තවත් අවුරුද්දක් විතර ගියහම. එදා මට අර තරම් අම්ම ගැන ඕනි වුන් නෑ"// මම හිතන්නේ දිනිති මුළු කතාවම මේ පේලි දෙකේ ඇතුල් කරලා ..

    ReplyDelete
    Replies
    1. :-) :-)

      හුගක් දුරට. ඉවාන්.. ඒක වෙන්න පුලුවන්.

      Delete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....