Tuesday, June 4, 2013

මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්

සිහින කියන්නෙ බිඳෙන දෙයක්...
ඔව්...ඒත් ඇස් ඇරගෙන සිහින දැක්කම බිදෙන්නෙ නැහැ කියල මං තර්ක කරනව.. ඒ වෙලාවට ඔයා
....අනෙ මගෙ පිස්සි කියල මට හිනාවෙනව...
එකම චැට් හිස්ටොරිය....කතා කරන කෝල් එකක වචන ගැන ඔයා යන්න ගියහම ආයෙ එනකම් මට කඩපාඩම් වෙන තරමට මතකයෙ ගැවසෙනව...
හැම පුංචි අකුරක් ගානෙම..වචනයක් ගානෙම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම මං තනියම හිතනව කියල ඔයා දන්නෙ නැතුව ඇති...
ඒත් ඇත්ත ඒකයි...
අර දවසක් මගෙ හොඳම යාලුවන්ගෙ කෙනෙක් කුරුළුම කියල තිබුණ මේ ෆේස් බුක් එකේ දකුණෙන් යන නිවුස් ෆීඩ් එක බලන්නෙ ඇස් පිල්ලම් ගහන වෙනසටත් ඔයා ගැන මඟ ඇරෙයි කියල වගේ කියල...
මාත් ඒ වගේමයි..හැම වෙලාවකම ඇස් දෙක තියෙන්නෙ නිවුස් ෆීඩ් එකේ... ආදරය කියන එක මේ තරම් හදවතක හැඟුම් දළුලනව කියල මං අත් විඳල තිබුණෙ නැහැ...
දැන් ඉතින් ඔයා කියයි මේක පලවෙනි ආදරය නෙමෙයිනෙ කියල...ඔව් මං ඒක පිළිගන්නව..මං කැමතියි අහන්න පිවිතුරු වෙන්නෙ පළවෙනි ආදරයම විතරද...?
ඇයි අපිට බැරිද හදවතින්ම කිසිම වැරැද්දක් සිතුවිල්ලකින්වත් නොකර ආදරය කරන්න..
හැම කෙනාගෙම හා හා පුරා කියල පටන් ගන්න හැම දේම හරි යන්නෙ නැහැ...
ඒක එහෙම වුනා නම් මේ තරම් ලස්සනට ආදරය කරන අය ලෝකෙ නැහැ...
මං දකින්නෙ එහෙමයි... බොහොම අතලොස්සකට විතරයි පළවෙනි ආදරය හරි යන්නෙ... ඉතින් ඒ කොහොම වුනත් ජීවිතේ හැරවුම් ලක්ෂය වෙලා ඔයා ඇවිදින්...

"මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරි බත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්...."

මං අපේ ආදරයෙත් පළවෙනි පහන පත්තු කරන්නම්. ඕනම සුබ දේකට අපි අදහන ආගම අනුව පහනක් පත්තු කරල ආශිර්වාද ලබා ගන්නව..මාත් ඒ වගේම බුදුන් දෙවියන්ට කියල මේ ආදරේ රැකගන්න පිහිට ඉල්ලන්නම්... කිරිබත් කියන්නෙ අපේ සංස්කෘතියෙ සුබ කටයුත්තකට අනිවාර්යෙන්ම අවශ්‍ය වත් දෙයක්... අළු කොබෙයියන්ට විතරක් නෙමෙයි හැම සතා සිවුපාවටම නොවෙයි මේ ලෝකෙට දෙන්න පුලුවන් නම් කිරිබත් හදල මම දෙන්නම්..ඇත්තමයි... ඒ තරම් මේ ආදරය වෙනුවෙන් මට දේවල් කරන්න පුලුවන් කියල මට හිතෙනව.... ඒ තරම් පේ වෙන්න මට පුලුවන්.....උදේ හවස පහන් පැලට පහන් පත්තු කරන්නම්... මං ඉල්ලන්නෙ මේ ආදරේ රැකදෙන්න කියල විතරමයි.

දැන් ආයෙමත් ඔයා කියයි අනේ මෝඩියෙ මං ඔයාට ඉන්නවනෙ කියල...
ඒක හරි...ඒත් කෙල්ලො කියන්නෙ හරි පුදුම විදිහට සියුම්ව තමන්ගෙ ආදරයෙ චුටිම වෙනසත් දරාගන්න බැරි ජාතියක්.....
ඔන්න කියන්න එපා අපොයි කෙල්ලො ගැන මට කියන්න එපා කියල...
ඇයි දන්නවද ඔයා එහෙම කියන්න කලින් මං මෙහෙම කියන්නම්...
අතේ ඇඟිලි එක සමාන නැහැනෙ..ඒ වගේම හැම කෙල්ලෙක්ම එක වගේ නැහැ..ඒත් පිරිමියෙක්ට වඩා කෙල්ලෙක් හැම වෙලේම තමන්ගෙ කෙනාගෙන් ආදරය හොය හොය ඒ ආදරය අහිමි වෙයි කියන හිතේ පුංචි ගැස්මකින් ඉන්නෙ.
තමන්ගෙ පෙම්වතා දිහා වෙන කෙල්ලෙක් බැලුවත් පොඩි ඉරිසියාවකින් හිත හෙල්ලෙනව... ඒක ස්වබාවයෙන්ම වෙන දෙයක්...

දැන් ඉතින් මූණ හතරැස් කරගෙන ස්ක්‍රින් එක දිහා බලාගෙන මට ඇද කරන්න එපා හොඳද...
මැටි පූසා...

ආදරය කරන කෙල්ලෙක්ගෙ ලෝකෙ දේවාලය එහෙ නැත්නම් පූජනීයම තැන තමන් ආදරය කරන කොල්ල ගාව..
ඔය ඉතින් දැන් ඔයා විතරක් නෙමෙයි මේක කියවන අයත් කියයි අම්ම අප්පච්චිත් ඒ තැන නැද්ද කියල...
මට ඒකට කියන්න තියෙන්නෙ ඒ ආදරයයි මේ ආදරයයි ජීවිතයට වෙනස් කියල විතරයි.
ඉතින් තමන්ගෙ ආදරයෙ හිමිකරුව දෙවියෙක් වගේ සලකන...ඒ තරමට ගරු කරන කෙල්ලො අදත් මේ ලෝකෙ ඉන්නව...
එහෙම උන් ඉපදිලා නැහැ..එහෙම නැත්නම් මැරිලා කියල කියනව මං අහල තියෙනව...ඒත් නිවාඩුවෙ නිදහසේ හෙව්වොත් මේ අපි අතරම ඉන්නව...වෙනස තියෙන්නෙ අපි උඩින් අතපත ගානව වගේ ලෝකෙ දකින එකයි හැම වෙලේම එහෙම අය නැහැ කියල ඉන්න සෘණ අදහසයි නිසයි එහෙම වෙන්නෙ....වටිනා දේවල් දුර්ලභයි කියල අහල නැද්ද...
ගැහැණු ළමයින්ගෙ අහිංසක ප්‍රාර්ථනා...තමන්ගෙ හදවත සුවපත් කරන්න පුලුවන් දේවතාව ඔහු නම් ඔහුනේ ආයාචනා කරනව කවමදාවත් කටුක විරහ වේදනා සිත් තැවුල් නම් ගෙනෙන්නට එපා කියල... ඒ දේට අපි කවුරුත් බයයි තමයි...
මං දන්නව ඔයා එහෙම කරන්නෙ නැහැ කියල...මට සැක මං ගැන තමයි..

" මගෙ ආදරයේ දෙවොල් බිම නුඹයි..
ඒ දේවාලේ දේවතා නුඹයි
මගෙ ජිවිතයට බැල්ම හෙලන
මා හද සුවපත් කරවන දේවතා නුඹයි
කවදාවත් ගෙනෙන්ට එපා
කටුක විරහ සිත් ලතැවුල් නම්... "

දන්නවද ගිම්හානයක ඉදල ඉදල වේලිලා කර කුට්ටම් වෙච්ච පොළවකට වැටෙන වසන්තයෙ දිය බිංදු කොයිතරම්ද කියල... ඒ සිහිලැල් සුවය විස්තර කරන්න බැහැ..
දිවිගමනට වසන්තය එනව කියන්නෙ මං වගේ කෙල්ලෙක්ගෙ නම් හිතේ උපදින හැම හැගීමම මුහුණෙන් ඉදන් පිට පනිනව... ඔව් ඇත්තමයි... මේ අවසන් වසන්තය කියල මං දන්නව... ඒ වසන්තයට පායපු ...ඇවිදින් නතර වුන සඳවත ඔයා...ජීවිත කාලෙදිම වින්ද අනන්ත අප්‍රමාණ දුක් වලට... කළුවරේම ගෙවපු දවස්වලට හරියන්න ආලෝකයෙ සෙවනැල් ගෙනාපු ඔයා ගැන මං කොහොම නම් විස්තර කරන්නද..ජීවිතේම කඳුළු විඳපු කෙනෙක් විතරයි දන්නෙ හිනාව කොයිතරම් වටිනවද කියල...ඇත්තමයි කෙල්ලෙක්ගෙ ලෝකයකට හැමදාම රැකවරණයක් ඕනි..තනියම ජිවත් වෙන්න බැහැ කොයිතරම් හයිය හිතක් තියෙන කෙල්ලෙක්ට වුනත්..මං ඔයාගෙන් ඉල්ලන එකම එක දේ මේ සඳවත කවමදාවත් මගෙ අහසින් මැකිල යන්න එපා...මේ සිහින මං දකින්නෙ ඇස් දෙක ඇරගෙන...ඒක නිසා මේ ආදරයෙ නැවුම් සිහින මං සැබෑකරගන්නව...ඒත් ඒ ඔයා මගෙ ළග ඉඳියොත් විතරයි...
අනේ පිස්සියෙ..මේකි නම් මැටි මෝඩියෙක්ම තමා... මං නැතිවෙන්නෙ නැහැ හොල්මන....

ආයෙත් ඔයා කියන්නෙ ඕක තමා...ඔය වචන අහගන්නනෙ මං හැම තිස්සෙම දඟ කරන්නෙ.. මං විශ්වාස කරනව ඔයාව....මගෙ ආදරය...හැමදාම මං ළග තියෙන්න කියල.....

"මගෙ ජීවිතයේ වසන්තය නුඹයි...
ඒ වසන්තයේ ලැගුම් සඳ නුඹයි
ඝන අදුරින් මා මුදවන
විදිනා දහසක් අණවින
සරාසඳ නුඹයි
කවදාවත් මකන්නට එපා..
මේ ආදරෙයේ නැවුම් සිහින නම්''

****** සත්තටම ඔයා මට නිවනක්..ආදරයේ නිවන මට ඔයා විතරමයි *****

__________________________________________________
( මං ආස කරන රටාවට අකුරු කරන මගෙ මිත්‍රය Kurulu හැමදාම මාව අවුස්සනව... ඒ නිසාම මේ හිතිවිලි හිර කරගෙන ඉන්න මට බැරිම නිසා ගැලපුවා )


ගීතය මෙතනින් රස විඳින්න...http://www.youtube.com/watch?v=jPqGK21LdSU

3 comments:

  1. Hari Shoak neda

    ReplyDelete
  2. ඕකෙ අනිත් පැත්තත් ඔහොමමයි.
    ආදරේ කරන කොල්ලෙක්ට තමන්ගෙ මුළු ජීවිතේම තමන්ගෙ පුංචි කෙල්ල...........

    ReplyDelete
  3. කලකින් ඇහුනෙ නැති ගීයක්.ආයෙත් මතක් වුණා‍ඒ ඔස්සේ මේ සටහන ආදරණිය සටහනක් බව දැනුණා.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...