Saturday, June 1, 2013

** අලුත් හිතවතී **

( සිරීපාදෙ වඳින්න පෙර පාට සේදුන සමනලයෙකු )

"මේ ප්‍රථම වසන්තයයි.....
දිවි අරණේ මදුමල් පිපෙනා......"

හේයි...මේ බලපන්කො....මූ හීන දකින හැටි....

හඳිස්සියෙම කණ ගාවින්ම ඇසුණ චිරාත්ගෙ හඩින් මා ගැස්සුණි.

යකෝ මගෙ මුළු ලෝකෙම කුඩු කරන්නද උඹ හදන්නෙ....

නෑ නෑ...උඹ මෙහෙම කියව කියව යයි ටික දවසකින්

"ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
මම ඉන්නම් ඉහ ඉද්දර පවන් සල සලා...."

ආහ් හරි නැද්ද.....පුලුවන් නම් කියපන් මචෝ නැහැ කියල...

..සිරාවටම මං ඒකිට ලව් බන්....

...අනේ මේ උඹයි මායි දන්න සිරා ලව්.... ඇයි උඹේ ධමනිය ලව් නැද්ද...

නෑ බන් චිරා මං මේ ඇත්තටම කියන්නෙ....මට ඒකිට මාරම විදිහට හිත ගියා....ඒ ඇස්...ඒ කොණ්ඩෙ...ඒ ගමන..අනේ මන්දා බන්..කොල්ලෙක්ට දෙපාරක් හැරිල බලන්න හිතෙන අමුතුම ගතියක් ඒකි ගාව තියෙනව....

මේ....හැබැයි පුතෝ ඔය රෝග ලක්ෂණ වලට දැම්ම ඩොක්ටර් කෙනෙක් චැනල් කරපන්...උඹට මතකයිනෙ නෙක්ස්ට් ජනවරි ෆයිනල් එක්සෑම්....

හරි හරි බන්...මං දන්නව. ඒත් මෙච්චර කෙල්ලො ඉන්න මේ කැම්පස් එකේ බලපන් ඒකි හාවියක් වගේ....

හාවියො තමයි බන් සැක වැඩි....

මොකක්ද බන්...පටන් ගත්ත වෙලාවෙ ඉදන් උඹේ අඩවැඩියාව..මාව ධෛර්යමත් කරපන්කො...

උඹව ධෛර්යමත් කරන්න මට තිබුණ...ඒත් අර ඈත ගමේ රබර් කිරි කප කප උඹව මෙච්චර දුර එවපු උඹෙ අම්මව මං නොදැක්ක නම් කවමදාකවත්....

ඉතින් බන් මං අම්මව අත් අරිනව කිවුවද...කෙල්ලෙක්ට ආදරේ කරන එක වැරදිද...අනික හැමදාම සාහිත්‍ය සංගම්...කලා සංගම්..වළ බැහැල නට නටා ඉදිය මිසක් කරේ ආව එක උඩැක්කියක් මං එල්ල ගත්තද..හා කියපන්....

ඒකම තමා මචෝ මට බය...මං වගේ එකෙක් උඹ නොවුන නිසා.....

මචං චිරා...මට මේ කෙල්ල ඕනි බන්....

කවුද බන් දන්නෙ ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල...උඹ අහසෙ මාළිගා හදනව මෙතන....

නෑ නෑ ඒකිට කොල්ලෙක් නැහැ...ඒ ඇස්වල එහෙම දෙයක් ලියවිලා නැහැ බන්...

අනේ උඹ දන්න මඟුල කෙල්ලො ගැන...උඹ මැත්ස් නෙමෙයි කරන්න තිබුණෙ ආර්ට්...එහෙම වුනා නම් හොඳ ඇස් දොස්තර කෙනෙක් වෙන්න තිබුණෙ...

ප්ලීස් බන්..ජෝක් ගන්න එපා...අයි හාර්ට්ලි ලව් හර් (  I heartily love her )

මේ මේ මට නම් උඹට කිසිම හෙල්ප් එකක් දෙන්න බැහැ සදුනො...උඹ මං වගේ කෙල්ලො ආශ්‍රය කරපු එකෙක් නෙමෙයි...බලපන් මං මාසෙට එකා ගානෙ තියා ගත්තත් මටත් බැරිවුනා කෙල්ලො කියන්නෙ මොක්කුද කියල තේරුම් ගන්න...

ඒ උඹ දැකපු විදිහ...එහෙම නෙමෙයි චිරා....නැවතිල්ලෙ හිතපන්..ගෑණු ලමයෙක් කියන්නෙ හරිම සුමට නිර්මාණයක්..කොල්ලෙක් දැක්ක ගමන් ඒ කෙල්ල ඇදන් ඉන්න ඇදුම් ගලවල විසි කරල ඇඳක බුදිය ගන්න හැටි හිතෙන් මවන එක නෙමෙයි..බලපන් කඩා වැටෙන කෙහෙරැලි...ඒව හුළගට පැද්දි පැද්දි පිරිමියෙක්ගෙ මුහුණෙ වදිනකොට කොයි තරම් සුන්දර...ඒ කෙල්ලගෙ හැම ඉරියව්වක්ම ඈත ඉදන් බලාගෙන ඉන්දැද්දි හිත පුරා උණුසුම්ව ආදරේ පිරෙන හැටි.. ඇත්තටම ගැහැණියක් කියන්නෙ ලස්සන කලාවක් බන්...ඒක මස් කෑල්ලක් විතරක්ම නෙමෙයි...සිරුරෙ හැම රේඛාවකම පිරිමියෙක්ව ඇද බැදගන්න පුලුවන් ආකර්ෂණයක් තියෙනව...

හෝව්...හෝව්...මේ මේ උඹේ ඔය අන්ඩර දෙමළ මට තේරෙන්නෙ නැහැ...මට නම් කොයි ගෑණිත් එකයි...ඇදට අරන් ඒකි එක්ක බුදිය ගන්නව මිස ඔහොම පිට ඉදන් අත ගගා ඉන්න පුරුද්ද මට නැහැ....

ඒක තමයි උඹට වෙච්ච වැරැද්ද..යකෝ උනුත් යන්ත්‍ර නෙමෙයි..මේ සොබාදහමෙ මනරම්ම නිර්මාණයක්...

උඹ ඕන ඉටි ගෙඩියක් කරගනින්..මං යනව අංජලි එනව කිවුව නුගේගොඩට....හැබැයි පුතෝ අයි සේ යූ එගේන්...( i say you again ) නෙක්ස්ට් ජනවරි ෆයිනල් එක්සෑම්...හරි...සී යූ ....

_________________________________________________________________


            ඈ කොහේ කොහි සිට ආවාදැයි මා සිතමි...මුවැත්තියක් වගේ නිතරම ගැස්සෙන ඒ ඇස්...මොකක්දෝ බියකින් සැලෙන බවක් කියනවාදැයි මා සිතමි. රවුම් වටකුරු සුදු මුහුණ මගේ හදවතේ හැම අස්සකින්ම එබී මට ප්‍රාර්ථනා දෙනවදෝ සිතෙයි..ඈ...චිත්‍ර ශිල්පියකු අතින් නිමවූ අඟනා සිතුවමක් වැනිය...වසර පහකට ආසන්න ගෙවී යන කැම්පස් ජීවිතයේ හිතින්වත් යුවතියකට ලං නොවු මගෙ පිරිමි හිත යට ඈ ගැන ස්නේහයක් දළුලා වැඩුණේඇයි දැයි මා තාමත් සිතයි...

           සංසාර මංසන්ධිවල ඒ ඉව පසු පස මා දිව ආවාදැයි බාග වෙලාවට හිත කියයි.  මේ සුන්දර යුවතිය ඊයෙ හවස දේශන ශාලාව ඉදිරිපිට පුංචි මල් ලේන්සුවකින් මුව පිස පිස සිටි ආකාරයට මා වශි වී ගියේය...හෘද ස්පන්ධනයක් ගානේ අලුත් අලුත් බලාපොරොත්තු මල් පොහොට්ටු මේ පිරිමි හිත මත පිපෙන්නට වෙර දරන බව නම් ඇත්තම ඇත්තක්ය.


                                                  ඒ කෙස් කළඹ යටින් ඇඟිලි තුඩු යව යවා ඒ හිස පිරිමඳින්නට...හීනියට අඩක් පියවෙන ඇස් දෙකත් බර කරන් මේ පිරිමි උරහිසට ඇලවෙන ඇය නළල සිඹින්නට..දිගු ඇඟිලි අතර ඒ දෑත සඟවගෙන උනුසුම දෙන්න..ගැස්සිලා උස්සන ඇස් දෙකත් එක්කම මේ දෝත මැද හිර කරගන්න...අනේ මගෙ දඩබ්බර කොළු හිත...

           කිති කැවි කැවි ඇඹරෙද්දි හුස්ම ගන්න බැහැ කියල කෑ ගහද්දි තව තවත් ඒ සොඳුරු ඈ හුරතල් කරන්නට....හෙමින් හෙමින් හිස තියාන මේ පපුව උඩ ඈ සතපවන්න....දකුණත ඈ වටා දමා ගෙන මගෙ අස්සක ගුලි කරන් සඟව ගන්නට....

මගෙ පුංචි තාරකාවියේ...මේ සිහින කොදෙව්ව ගැන කොහොම නම් කියන්නද...ඈට හැකි නම් මගේ හිත විනිවිද දකින්න...

___________________________________________________________________

උඹ කොහෙද මේ උදේ පාන්දර යන්න ලැහැස්ති වෙන්නෙ...ඇහ්....

මං යනව ලයිබ්‍රිය පැත්තෙ...

පාඩම් කරන්න යන පාටක් නම් ඔය මුහුණෙ නැහැ මචං....

නෑ මං යන්නෙ අර සුන්දර කෙල්ලව බලන්න.....

උදේ පාන්දරම දුවන්න තරම් උඹට තියන හදිස්සිය මොකක්ද.....මං උඹට එදත් කිවුව..කවුද දන්නෙ ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල......

ඒක හින්දම තමයි කියන්නෙ....කොල්ලෙක් අයිති කරගන්න කලින් මං මේ හිත පෙන්නන්න....

මේ අහපන් සඳුනො...ඔය නැව ඇවිත් දැන් මාස පහක් හයක් වෙනවනෙ බන්.....අනිවා..අපේ එකෙක් බැහැල ඇති.....

උඹ මාව ධෛර්යමත් කරනව වෙනුවට කරන්නෙම අනික් පැත්ත.....

ඔව් ..ඒ තමයි ඇත්ත...අනික උඹට උඹව මතක් කරන්න.....

හා හරි....එතකොට උඹට හොදයි එක එක කෙල්ල එක්ක බුදියන්න යන්න..එහෙමවත් නැති මට ලව් කරන්නවත් තහනම්ද ....

අහපන් බං...උඹ දන්නව..මට ඩ්‍රිග්‍රි ගැහුවත් එකයි නැතත් එකයි...අපේ අප්පච්චිගෙ විසි කරන්න තියෙන සල්ලි වලට කරන්න දෙයකුත් එපැයි....අනික බන් මං පුංචි කාලෙ ඉදන් හැදුන විදිහ උඹට කියලනෙ තියෙන්නෙ...අපෙ අම්මයි අප්පච්චියි එක දවසක් හිනාවෙලා සතුටෙන් ඉදල තියෙනවද..නෑ...ඉතින් එහෙම ගෙදරක ඉන්නවට වඩා මට උඹත් එක්ක මේ බෝඩිං කාමරේ සැපයි බන්.....අනික ගැහැණු ඉහේ කෙස් ගානට පාවිච්චි කරල ඇති මං...උන් එකෙක් ගාවවත් උඹ ඔය කියන කෙහෙල්මල් නැහැ බන්......

ඒ උඹ හොයන් ගිය එවුවො එහෙම නිසයි ඒ...මේකි එහෙම නැහැ....

ආහ් උඹ කොහොමද කියන්නෙ ඒක...ඇයි ස්කෑන් කොපියක් අරන් උඹ බැලුවද....අනේ සදුනො ඔය විදිහ අත ඇරපන්....හරි මට කියපන් ඇයි උඹ ඔච්චරම වහ වැටිල....

බං චිරා...ඒ හැඩරුව...ඒ ගමන...ඒ ඉරියව්...මට මගෙම කියල හිතෙනව.....මට ඒ හඩ විතරයි තාම අහන්න බැරිවුනේ.....

අනේ මන්දා.ඊට කලින් මට කියපන් උඹ හෙට ගෙදර යනවද....

ඔව් බන් මං හෙට උදේම යනව...හරි මං උඹව කොටුවට දාන්නම්.....

______________________________________________________________


දහවල් දෙක පමණ වන විට නිවසට ළගාවන විටත් අම්මා ගෙදර නොසිටිම හිතට කණගාටුවක් ඇති වුවද ඇය තවමත් කිරි බාල්දි බාර දී නොපැමිණෙන බව මා දන්නා කරුණයක්ය...කුස්සියට ගියත් ඈ උදේටවත් යමක් කා ඇති බවක සළකුණක් නැත. මේ සියළුම දුක්ක දෝමනස්සයන්ට මා ඈ හට සිනහ දිය යුතුය... කුස්සියේ වැල් පටේ එල්ලා තිබු අම්මාගෙ චීත්තයක් නහයට ළං කර ඒ සවඳ මා විදගත්තමි...එක් වරම අර සුන්දර අහිංසකාවියත් මගේ හිත පුරා අරක් ගත්තේය... ඈ ළග මා හිත නවතින්න තරම් හේතු කාරාණා බොහොමයක් මතින් මගෙ අම්මාගෙ අහිංසක දුප්පත් මුහුණ පුන් සඳක් සේ දැකීමම යැයි මට දස දහස් වර සිතේ....

අනේ මං කොහොමද මහත්තයො එහෙම කරන්නෙ...අනික ඒ දරුව කොහොමද මේ මුඩුක්කුවකට එන්නෙ....

නැහැ නැහැ සීලවතී...මහ පාරක හරි ඒ දරුවට අම්ම ඕනි කියනව. අනික දැන් වික්‍රමසිංහ හාමිනේට බාල දූවල දෙන්නයි පුතෙකුයි ඉන්න නිසා සමනලීට හරිම කරදරයි. හාමු මහත්තයට බලා ඉන්න බැරිම නිසයි මට පණිවිඩේ එවල තිබුණෙ. හාමු මහත්තයට අසාධාරණය පෙනි පෙනි බලා ඉන්න බැහැ කියල සීලවති දන්නවනෙ.....

අනේ මහත්තයො මගෙ කිරිකැටිය ගෙනිච්චෙ ඇස් දෙක වගේ බලාගන්නව කියල නේද....

මිදුලෙන් ඇසෙන හඩට මා තව තවත් ළංවෙද්දී අම්මාගෙ ඉවට මා අහුවිය...

අනේ මෙහා පුතා ගෙදර ඇවිත්....මේ ඉන්නෙ මහත්තයො මයෙ කොල්ලා.....

එසේ කියුවද වෙනදා අම්මා මා දුටු විට නැගෙන පියකරු සිනහව ඇගේ මුවේ නොවීය. ඈ බියවී ඇති බවට නම් අමුතුවෙන් සාක්ෂි උවමනා නොවේ. නමුත් ඈ අපූරුවට ඒ හැගුම් පරයමින් වචන ගලපයි.

ඇස් වහක් කටවහක් නැහැ සීලවතී හරි සිරියාවන්තයිනෙ.....

මං රබර් ගස් වටේ කැරකිච්චවල බර අරින්නෙ මගෙ රත්තරන් පුතා තමයි මහත්තයො කවදහරි...අම්මා එහෙම කියාගෙන මා පිට අතගාමින් නිවසට ගොඩවිය...

පුතේ මේ අපේ වත්තෙ සුපිරින්ටන් මහත්තය...ඉස්සර හිටපු....

ඔහුටද සිනහවකින් සංග්‍රහ කර පෙරළා ඔහු ඇසු..

දැන් පුතා කොයි අවුරුද්දෙද කැම්පස් අවුට් වෙන්නෙ....

ලබන අවුරුද්දෙ...

කියා පිළිතුරු දෙමින් මා නැවතත් කුස්සිය පැත්තෙන් පිටුපස අඹ ගස යට ඇති බංකුව මත වාඩි විය.....

මගේ හිත දෙමෝලකින් කොටනවා වැනිය...මට නොතේරුණ ඒ කතාවේ මුල මැද කුමක්ද කියා මා සිතමි. හවස් වෙනතුරු හොර ගල් අහුලමින් සිටි මා රාත්‍රිෙය් නිදි පැදුරට වැටුණ අම්මා අමතමින්

අම්මෙ කවුද අර දවාලෙ කියපු ගෑල්ලමය...

මයෙ පුතාට මේව කොහොම කියන්නද මං....

කොහොම නොකිවුවත් කමක් නැහැ...මට දැන් කියන්නකො....

මගෙ පුතාට මතක නැතුව ඇති. ඒත් ඉස්සරහ ගෙදර අමර නැන්දල දන්නව පුතාට නංගියෙක් හිටිය කියල....

අම්ම කිවුවෙ ඩෙංගු හැදිල මැරුණ කියල...මතකද මං මොන්ටිසෝරි ගිහින් එනකොට නංගි කෝ ඇහුවම අම්ම කිවුව....

එක පාරටම ඒ ඇස් ගැස්සී ඈ වත වෙනස් වෙන හැටි කුප්පි ලාම්පු එළියෙන් මා දුටුවෙමි...හරි දැන් කියන්නකො...මගෙ නංගි මැරුණෙ නැද්ද....

නැහැ මයෙ පුතේ..මං වත්තෙ හාමු මහත්තයට දුන්න..ඒ දවස්වල හාමු මහත්තයට දරුවො නැහැ....පුතාලගෙ තාත්තත් අර කඩේ වැඩට හිටිය එකිත් එක්ක වහංවෙච්ච වෙලේ මං බැරි වුනත් හිතල හිතල ඒ තීරණය ගත්ත...

ඇයි අම්මෙ මට බොරු කිවුවෙ...

ඒ දවස්වල මයෙ පුතාට මං වෙන මොනව කියන්නද....

ජීවිතේ මේ තරම්ම නීරසදැයි හිතමින්,
දැන් කියන්න නංගි කෝ..එයාට මොකද....

නංගිව අම්ම ගාවට ගෙනියන්න කියල නොකා නොබි දැන් දවස් 3ක් වෙනවලු..ලොකු නෝනට නංගිව ගෙනිච්චට පස්සෙ තව දරුවො තුන් දෙනෙක්ම ලැබිල...නංගිට කියල එයාගෙ අම්ම ලොකු නෝන නෙමෙයි කියල....අපේ හාමු මහත්තයට බලා ඉන්න බැරිම තැන මට පණිවිඩේ එවල....

දැන් දෙන්න...නංගි ඉන්නෙ කොහේද කියල...මං රෑ බස් එකේම ගිහින් එක්ක එනව.....

ඉදින් පුතේ මං සුපිරින්ටන් මහත්තයගෙන් හෙට උදැහැනක්ම අහල උඹට ඇඩ්‍රස් එක කොළ කෑල්ලක ලියාන එන්නම්....

ජීවිතයේ අනේක විධ දුක්ක දෝමනස්සයන් හමුවේ ගලා යද්දී අර පුංචි යුවතියද මට සිහියට නොනැගුණා නොවේ...ගම දුවන් ආවෙ අම්මට ඈ ගැන කියන්නට කියා දන්නේ මහිත පමණි...හීනියට හිනාවෙන ඒ වතේ පිපෙන හැම සිනා රැල්ලක්ම දුර ඉදන් විඳින මට අම්මාට නොකියා ඉන්නට බැරි නිසාම හති දමාගෙන ආවත් නොසිතු විරු ලෙස ජිවිතය හරවා ඇත....

   හදවතේ අප්‍රමාණ දුක්ක දෝමනස්සයන් උතුරද්දී ඈ අලුයම රබත් වත්තට යන තෙක් මට නොඉවසිල්ලක් නැති විය...අද සුපිරින්ටන් මහත්තයා හමුවේවිද...ඒ ලිපිනය ඇයට ලබා ගන්නට හැකිද....කිසිදු අරමුණකින් තොරව ඕවිල්ලක් මෙන් සිතිවිලි එහෙටත් මෙහෙටත් පැද්දෙයි...අනේ මා ගම දුව ආ සතුට ඒ කාරණය ඇයට කියන්නට හැකි වුවා නම්....

අදත් පෙරදා වගේම දහවල් තුනත් පසුවෙද්දී අම්මා වැටෙන් එබෙන රුව මා දුටුවෙමි....මා හීයක වේගයෙන් ඈ අසලට දිවුවෙමි...

කෝ අම්මෙ ලිපිනය හම්බවුනාද.....එක හුස්මට මා අසද්දී.....

නැවතිල්ලේ ඇය හුස්ම ගැනීම මට පුදුමයට සහ හිත තුළ කුතුහලය ත්‍රිව් කරවන්නට විය. කිසිවක්ම නොපවසා
අම්මා හැට්ටය අස්සේ සඟවාගෙන ආ තුණ්ඩුව මහානර්ඝ වස්තුවක් සේ මා අත තැබුවෙමි.

මට ඔය අකුරු සාස්තරේ තේරෙන්නෙ නැහැ පුතේ...කොළඹ රටේ පුතාට හොයාගන්න පුලුවන් වෙයිද.....

අම්මෙ මං අවුරුදු පහකට කිට්ටු වෙන්න කොළම රටේ ඉන්නෙ..අනික චිරාට පුලුවන් වෙයි මටත් වඩා ඉක්මනට මේක කරන්න..මං හෙටම යනව අම්මෙ චිරානය එක්ක....

අංක 24,
දාබරේ මාවත,
නාරාහේන්පිට.

ඒ අකුරු දිගේ මගෙ අස් දුවද්දි මා ඇදුම් මාරු කරගෙන රෑ බසයෙන්ම කොළඹ බලා පිටත්වෙන්න සුදානම් විය..

____________________________________________________________________

ආහ්..මොකෝ මේ මනමාලය ගිය පයින්ම ආපහු.....කුකුළ අතේ තියන්...

මා දුටු මතින්ම චිරානය ඇසුවෙමි.

මට පොඩි ප්‍රශ්නයක් බන්..මේ වෙලාවෙ ඉන්නෙ ඒක කියන්න මට උඹ විතරයි...

ඇයි කෙල්ලව උස්සමු කියන්නද....උඹ දන්නවනෙ මේ මගෙන් උඹට ඕන සපෝට් එකක්...

නැහැ බන්...මේ ඒ මගුලක් නෙමෙයි....

ඇයි අම්ම උඹට වෙන කෙල්ලෙක් බදින්න කිවුවද....අර සිහින කුමාරිට අකමැතියි කිවුවද....

යකෝ පිස්සු නොකර අහපන්කො....මට ඒකි ඕනි...ඒකිට මං ආදරෙයි...ඒක කියා ගන්න අම්මට මට බැරි වුනා...

කියා ගන්න බැරිවුනා..ඇයි උඹ දියෙන් ගොඩ දැම්ම මාලුවෙක් වගේ ගැහුණද...ආහ්...

මචං මේක සීරියස් බන්.....

එසේ කියමින් මා සියළු තතු මුල මැද අද වනතුරු කියුවෙමි..වරින් වර වෙනස් වෙන චිරාගේ වත වෙනදාට නොදුටු සෝබරක් නම් මා දුටුවෙමි. හැමදේටම පිස්සු කියවන ඔහු ගොලු විය.. හිට ගමන්....

සදුනයෝ.....මට පුලුවන් හැමදේම මං කරනව බන්...සහෝදරයෙක් සහෝදරියක් නැතුව ගෙවිච්ච ජිවිතේ මචං උඹ මට මගෙම එකා වුනා...එක බඩවැල කඩන් නාවට උඹ මගෙ සහෝදරය බන්...ඒ අපේ නංගි...බලපන් උඹ දැකල තියෙනවද මේ ඇස්වල තෙත...මේ බන්...මට දරාගන්න බැහැ මේක.... මේ කොළඹ නෙමෙයි මුළු ලෝකෙම පීරල හරි අපි හොයමු...මං උඹට හොයල දෙනව කියල පොරොන්දු වෙනම සදුනයො....

එසේ කියමින් චිරා මා තදින් වැළඳ ගත්තේය. මේ ගෙවී ගිය කාලයට උ මෙසේ මා සමඟ කතා බහ කළාමදැයි මට සිතේ...කොයි දේත් සෙල්ලක්කාරව දුටු චිරානයාගේ මේ හැඟුම්බර බව මහා හයියක් දුන්නේය..මේ ලෝකයේ තවත් එක් අයෙක් හෝ අප වෙනුවෙන් ඉන්නා කියනා අසීමිත සැනසුමක්ද හදවතට දැනුණි...

මගෙන් මිදුණ චිරා

ආ...වරෙන් මචං අපි දැන් යමං...මං දන්නව ඒ පැත්ත..හිටපන් මං ටග්ගාල ඩෙනිම දාගෙන එන්න......

ඒ විනාඩි ගණනද මට දැනුන හැගුම් මෙපණයැයි කියන්නට බැරිය. පුංචිම දා මේ දෙකකුල් මත අම්මා එනතුරු ඈ නැලවුවා මට මතකය..එදවස මට අවුරුදු 4 ක් පමණ ඇත. යන්තම් ඡායා මාත්‍රයක ඇති ඒ සිදුවිම් අද මෙසේ මෙහෙමම දිග ඇරෙතැයි මා කිසිදු දිනක නොසිතුවෙමි...

හදවතේ ඉස් ඉස්සෙල්ම උපන් ආදරණීය කුමාරිකාව ගැන අම්මාට කියන්නට දිවු මට ඒ හැගුම් සියල්ලම වළලා දමා මගේම ලෙයින් උපන් මා නැගණිය සොයා දුවන් එන්නට වෙතැයි මා නොසිතුවෙමි....

වරෙන් බන්....

චිරා එසේ කියමින් බයික් එකේ යතුර කරකවමින් එළියට ආවෙමි....

අද අර අලුත් බැජ් එකේ උන්ගෙ ඩාන්සින් ෂෝ එක...අරකිට බහියි තව දෙතුන් දෙනෙක් ටෝක් කරන්න....
මං මේ උඹ අද එයි එයි කිය කියා හිටියෙ...ඒත් මෙහෙම දෙයක් ....

ඒ ඔක්කොම අපතක කරල නැගපන්....මං මගෙ නංගි තරමටම උඹෙ නංගිව හොයනව..ප්‍රොමිස් මචං....

___________________________________________________________

විනාඩි විසි පහක පමණ ගමනාන්තයකින් පසු අම්මා දුන් තුන්ඩු කෑල්ලට අනුව අදාල ස්ථානයට අපි පැමිණියෙමු...

මචං සදුනො තැන නම් මෙතන තමයි..හිටපන් බලන්න මම ම බෙල් එක ගහල....

මාත් එනව චිරා....

හරි වරෙන්....

සිනුව නාද කර විනාඩි තුන හතරක් ගතවෙද්දීද් කිසිවෙකු පැමිණියේ නැත..දැන් දැන් මේ විසල් තාප්පයට ඉහලින් පනින්නට මගේ සිතුවිලි පෙරලි කරයි...ගේට්ටුවට අතින් පයින් තඩි බාමින් එය කඩා ඇතුළට යන්න මහිත තල්ලු කරයි...ආයෙමත් නොඉවසිලි අතකින් මා විදුලි සිනුව එබුවෙමි..

වයස අවුරුදු පනහක් පමණ ඉක්මවු පිරිමි අයෙකු ගේට්ටුවෙන් හිස දමා

කාවද මහත්තය හෙවුවෙ....

මේ වික්‍රමසිංහ මහත්තයලගෙ ගේද....

මට පෙර චිරා ඉස්සර විය....

ඔව්...

ආහ් අපි මේ වික්‍රමසිංහ මහත්තය කිවුව පණිවිඩේකට ආවෙ....කියන්න සීලවති අම්මගෙ ගෙදරින් ඇවිත් කියල....

එය කියනවිටම,

අනේ මහත්තයො මේ අපේ ලොකු බේබිගෙ ගෙදර අයද......අනේ රත්තරං මහත්තයො මගෙ ලොකු බේබිව මේ අත් දෙකෙන් හුරතල් කර කර හැදුව මට දරාගන්න බැහැ...අදට දවස් 4 ක් වෙනව වතුර උගුරක් බොන්නෙ නැහැ...ඒ දවස්වල ලොකු මැණිකෙ දරුවො නැති කමට ගෙනාවට පස්සෙ පස්සෙ ටික ටික වෙනස් වුනා...
පුංචි බේබිල ඉගෙන ගන්නෙ නැතුව ඇවිදිද්දි ලොකු බේබි පාඩම් කරල ඔන්න දැන් විස්ස විද්දාලෙ යනව...
අපේ ලොකු මැණිකෙට ඒක දරාගන්න බැරුව මේ ළගදි ලොකු බේබිට බැනල බැනල අම්ම කියන්න එපා කියල ඔය හැම විජ්ජුම්බරයක්ම කලේ....

හරි දැන් කෝ ඒ නංගි...

මගේ දෙපා අප්‍රාණිව වචන පිට නොවෙද්දි ආයෙමත් පෙරලා චිරා ඇසුවේය...

එන්න මහත්තයො ඇතුලට...මේ පිටිපස්සෙන් එන්න...අර ගැරිජ් කාමරේ දවස් හතර තිස්සෙම ලොකු බේබි වැළහින්න වගේ අඩ අඩ....

අඩියට දෙකට පියවර තබමින් ගිය අපි දොර අසල නැවතුණි..අනේ වයස අවුරුදු හතරකදී පහකදී වයසකදී මිය ගියා යැයි කිවු මගෙ බෝණික්කි ය වන් නැගණිය මේ බිත්ති හතරක් ඇතුළත පණ පිටින් යැයි දැනෙද්දී මගේ හැගීම් මැඩ පවත්වා ගන්නට මටම බැරිව කඳුළු ගලා හැලෙයි..ඇය වත කොයි හැඩයෙන් ඇද්ද...ඈ මා මෙන්මද...නැත්නම් ඇය අම්මා මෙන්ම රවුම් වටකුරු මුහුණින් පිරි යුවතියක්ද...ඇගේ රුවෙහි විවිධ හැඩතල මා හදවත ඉදිරියෙහි තත්පරයට දහස් වතාවකට වඩා මැවිණි.

ලොකු බේබි...මයෙ රත්තරං ලොකු බේබි මේ අම්ම ගෙදරින් ඇවිත්....කෝ දැන්වත් එන්න එළියට ලොකු බේබි....

ඒ මිනිසාගේ හඩ පිටවෙන විටත් මේ නොඉවසිලි මගෙ හදවත බුර බුරා නැගෙන සහෝදර ප්‍රේමයේ අපිරිමිත හැගුම් සමඟින් යුධ වදිමින් සිටියෙමි. මා ඇය පිළිගන්නේ කෙසේද...ඇයට මා අයියා යැයි කියන්නද...ඇය අයියා සේ මා බාර ගනියිද...ඇය අපිව ප්‍රතික්ෂේප කරයිද...මෙතුවක් කල් ඈ ගැන නොසිතුවා යැයි කියා දොස් කියා හඬයිද...එකම පෙරළියකින් හදවත ගැහෙද්දී

එක පාරට දොරගුළු හඩටත් බිය වී ඇස් උලුප්පාගෙන මා බලා උන්නෙමි....

යන්තමට විවර වෙන අර හිඩැස් අතරින් මා නෙත එකවරම ඒ රුව දකිද්දී මගේ ලෝකය ..මගේ දෛවය මේ තරම්ම අවාසනාවන්තදැයි  හිතමින් මා ගැල් ගැසුණි. චිරානයා ඇස් දෙක පොල් ගෙඩි දෙකක් තරම් ලොකු කරමින් මා පිටට තට්ටුවක් දැම්මේය....එහි නොකියු බොහෝ දේ මට සන්කළේය...
__________________________________________________________


(සංසාරයේ හුරු ඉවකින් මා ඈ සොයා ආවද දෙයක් ලැබෙද්දී දෙයක් අහිමි වී යන ලෝක ධර්මතාවයට මා මුහුණ දුන්නෙමි. )

__________________________නිමි _______________________________

4 comments:

  1. චික් නංගියෙක් උන්න නම් කියල හිතෙනව.
    ලස්සනයි අක්කේ..

    ReplyDelete
  2. කෙටිකතාව අපූරුයි. යමක් ලැබෙන විට කැමතිම තවත් දේවල් අහිමි වෙනවා ස්වභාය එයයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි අයියෙ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.