Tuesday, May 28, 2013

*** ලයිසන් නැති පිටරට සේවය කරන්නාගේ හදවත ***



ආවේ රැකියාවකට මව් රටෙන් පිට
කීවේ කරන්නට බැරි බැරි වැඩ එමට
ජීවේ පිඹින්නට හුස්මක් නැති කමට
නෑ තව සිතුවෙ පැන්නා පිම්මක් පිටට....

____________________________
දණ ගසාගෙන වෙසක් සඳ
බිම බලාගෙන වඩින විට
හඬ තලාගෙන ඉඟිල යන
අහස් යන්තර පාර දිග...

ඉකි ගසාගෙන ඔලිව් මල්
හිස තියයි එ'ගස් පාමුල
හිත හදාගෙන ගසක වෙලි වැල
නගයි හසරැලි කිසිවක් නොදැන....

පැණි දොඩම් අවාරෙදි
මිදි තිත්ත නැහැ,
යූරෝ හරි බරයි සිරිලකට.
ඌරො එළුවොත් මිත්‍රවරු
ඒත්,
ලැබුනෙත් සොච්චමයි වෙහෙසට..

ගිනි ගන්නවා වගෙයි සියොළඟ
ගලා යන රුධිරයත් විසි හතර පැය
ගැස්සෙනව සිනිදු නල රැල්ලටත්
ඇස් කණුත් හරි මහන්සියි දැන්..

මහා මැදියම් කළුවරට
හිඟ තමයි නිදි සුව ඇසට
අතේ නැති රුපියලට
අපෝ විඳවමි හැම තත්පරේකට....

දැනෙන විට කුස ගිනි වෙලාවට
නැහැ රසක් ගිලෙයි බැරිකමට
අහුවුනොත් මානනා උකුසු ඇසකට
සෙනේකම් නැත යකඩ කූරෙත්...

නැගිටිනා විට දෙදණ මත දෙඅතෙ සවියට
පුපුරනා හිත් ඇතිය ළඟ වෙසෙන සඟයගෙත්
දෙවියනේ වරම් දුන්නොත් තවත් සය මසකට
හැකිවේවි බිරිඳ හට සෙවණ මට තන්නට...

4 comments:

  1. අතිශය දුක්ඛිත මහා කතාවක් ඉතාම කෙටියෙන් මේ කියල තියෙන්නේ. මේ හැම හදවතක්ම ගැහෙනා රාවය නොදන්නවා නොවෙයි. ඒත් ප්‍රාග්ධනයක් නොමැති රටක අප වෙන මොනව කරන්නද.
    අගෙයි දිනිති මේ කව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් හැමදාම වගේ ඔබට...

      Delete
  2. Hari lassani neda.

    ReplyDelete
  3. ජීවිතය සටනක්.ඒත් ඒ සටනේ නියැලෙමින් කවිකමත් රැකගෙන අසුන්දර අත්දැකීම් එක විදියට නිර්මානාත්සකට හිතන එක කවිකමට ගේන්නේ නැවුම් අරුතක්.

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....