Monday, September 12, 2016

හැරවුමක්

බයිසිකලයේ යකඩ ගොඩ උඩ
හයේ කණිසමෙ පස්ස තිබ්බා
වේලපහ නැහැ වෙලාවට මම
ගරාජයෙ දොර ඇරල දැම්මා
මුහුණු ඇද කරගත්තු එක එක
පුදුම වාහන රවන් හිටියා
රුහුණු කිරි මීපැණිත් එක්කම
බෙදන හැටි මම දැනන් උන්නා

දවල් බත බංකුවක් උඩ
කන්න ඉදගත් පොඩිම කොල්ලා
අවුල් හිතකින් මගේ දෙස
බලා මොනවද ඇහෙන් කිවුවා,
මජන් පොඩ්ඩක් ගෑ වෙච්ච වතෙ
අලුත් ලස්සන කියා කියලා
පරණ වාහන හදන බාසත්
උකුසු ඇහැ කරකවල දැම්මා

ගිලන් ඇද උඩ නිදන අම්මගෙ
රුවත් හද යට තදට තියලා
රුවන් මහතගෙ කාර් එක
අදම ඕනැයි යකා නැටුවා
දුම් ගඳයි, කළු තෙලුයි, ඩීසල්
ගඳට පෙට්‍රල් සුවඳ දැනුණා
හම් පටිය ඉණ වටේ හන්දා
ඇවැසි තැන ආයුධය වූවා

කළුවරත් මැද තරුවලත් එළි
වැහි වලාකුළු ණයට ඉල්ලා
හරියටම වැඩ ඉවර වුනු විට
ගෙදර යන්නද මමත් ඇහුවා
ටිකක් හිටපන් වාහනේ අඩු
පාඩු මොනවද හොදට බලලා
යන්න ඉඩ දෙමි එතෙක් මෙතනින්
ඉන්න බැරිදැයි ලොක්කා ඇහුවා

ඉහ කණත් රත් වෙලා ඇඟ ලේ
ගොජ ගොජව නටනවා දැනුනා
නාකි හිවලට පයින් ඇනලා
ගෙදර එන්නට අම්මෙ හිතුණා
ලඳක් බන් උඹ මොකද මේ හැටි
යකඩ බඩු අල්ලගෙන ඉන්නේ
සුමුදු අත් දෙක දියන් මා හට
සුර සැපය පෙන්නන්න කිවුවා

ඉතින් ඉවසල බැරිම තැන තව
ටිකක් ඉවසන ගතිය බුදු බණක තිබුණේ
අනේ අම්මේ වේස බල්ලට
මදන ගායයි ඉහේ තිබුණේ
ගැහැණු, පිරිමින් කියා මොකටද
වැඩේ වෙනවා නේද ඇහුවේ
හිතට ආවෙම මුගේ තට්ටය
පළල දුවපන් ගෙවල් පැත්තේ

අතට අහුවුණ යතුරු පෙට්ටියෙ
ලොකුම නියනක් අතට ගත්තේ
නාකියා තෝ යන්න දෙනවද
මැරුම් කනවද කියා ඇහුවේ
ආයෙ රස්සා එතන නැහැ මම
ගෙදර ආවම හිතට ගත්තේ
අම්මා එක්කම ගෙදර දොරකඩ
යකඩ වැඩපල අදයි ඇරියේ

4 comments:

  1. එක පැත්තකින් මුහුදු රළ සිඹින වෙරළෙහි සුගායනීය සද්ද රසය මැද්දෙන් තුරුපත් පිරිච්ච කොහොඹ ගස් අතරින් සියොතුන් නා නා ගීත ගයනව. සියොතුන් ගී අසන රිසින් ප්‍රභාකරයාණන් සිසිලස මුදාහරින හිමිදිරි උදෑසන කියෝපු ලස්සනම ලස්සන කවක්...
    ජය වේවා...

    ReplyDelete
  2. හරිම ලස්සනයි දිදී..

    දිරිය ගැහැනියක් ගැන අපුරු කවි පන්තියක්. .

    ReplyDelete
  3. හොඳ කවි පන්තියක්.

    ReplyDelete
  4. ඇත්තටම අපූරුයි

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...