Monday, June 1, 2015

ඔලිව් ගස දුක්බරව

අතර පතරින් රොස්වෙච්ච බත් හට්ටියක අඩියක් තරම්
හරවගෙන හිස පහළටම අද ඔලිව් ගස අමනාපයෙන්
සතර අත ඇවිදලා නම නොදන්නා කුරුලෙකු ඇවිත්
කොනිත්තා නිය තුඩෙන් ඇන්නා සොඳුරිට හොරෙන්

ඇගේ අත පතන් ඇරයුම දී තවම හරියට සති පහයි දවසයි
හිතේ හැටියට කියන්නට බැරි වෙච්ච ලතැවුම රිදීමයි
කොහේ හෝ ඇවිදලා යන එන විහඟයින් පිරි කාලයයි
අනේ ඈ රැක ගන්න වැළපෙන හදවතේ දුක මහ මෙරයි

අලුයමම ඈ පිපෙන පිනි බිදි විසික් කරමින් මගේ මුහුණට
කිතිකවන එක හරිම සුවයයි වැළඳගන්නේ පුදුම පෙමකින්
දෙළොවකම තිබු හිත එකක් කරමින් ඈ හා වසන්නට
සිහිනයට මගෙ වැට බදින්නට කුරුල්ලෙක් ඇයි තරහකින්

සුදෝ සුදු පොඩි සුවඳ මල් පිරි ඇගේ සියොළඟ බදා ඉන්නට
ඔහුම තරමට වෙන කෙනෙක් මේ තුන් ලොවට නෑ උපන්නට
නියේ පහරක් වැදී සීරුණු ඇගේ බඳ මැද පෙනෙන තරමට
අනේ ඉපදී මියෙන තරමක් දැනේ සෙනෙහස පිච්ච පඳුරට.

No comments:

Post a Comment

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....