Thursday, March 26, 2015

පස් වසක් සපිරීමෙහි සතුටය මේ




දුක සැප රිය සක ලෙස ගලා වෙලා අප පසු පස එක ලෙස ඒ නම් සම සමව දරන්නට බැරි සිතුවිලි හදවත මත තෙරපී වැලපී යන්නට දී ඉකිගසා හෝ සිනා සී තනිවම ඇතිවන තුටක් නැතිය. එය බෙදා හදාගෙන සදාතන නොවුනත් තාවකාලික තෘප්තියක් දැකීමට අප කවුරුත් කැමතිය. එවන් වූ රුවන් සිහිනයක පියුම් පෙති අතගාන්නට වරම් ලැබීම විටෙක ඇත්ත වශයෙන්ම භාග්‍යයකි. තමන්ට පමණක් විඳින්නට හැකි දේ අනෙකාට දනවන්නට , පෙන්වන්නට යම් මාධ්‍යයක් ඉවහල් වේ නම් එය විසල් සුවයක්ය. පසන් වූ සිතක හසන් නංවා තනිවම රිසින් විදීමම කි.  ඉදින් එදා තැන තැන නිඳැල්ලේ ගිය සිතුවිලි එක එක බඳිමින් පෙළ පෙළ තබන්නට හැකිවීමේ අවස්ථාවකට මඟ කියා දුන් දුකා එහෙම නැත්නම් සුභාෂ් අයියා හැමදාමත් මගේ හදවතේ ගෞරවනීය තැනක සිටින්නෙකි. වසර ගණනක ඈතට දිවෙන ඒ මිත්‍රත්වයේ හස්තයට පින්සිදු වන්නට එදා මා සිංහල බ්ලොග්කාරිණියක් විමි. 

තරඟයක් යනු හුදෙක් රසක් අහිමි වීමය. මා හැමදාමත් හුඳකලාවිමි. මට මා හැරෙන්නට අනෙක් අය දුවනා ලොව දුවන්නට ඇවැසි නොවීම අදටත් මා තනිවම බුක්ති විදින සින්නක්කර සතුටකි. යමෙක් පස් වසරක් සම්පූර්ණ වී යැයි ඇසූ විට ජනප්‍රියත්වය ගැන සිනාසෙති. එසේ නැති නම් ආගිය ඉලක්කම් ගැන අසති. එහෙත් එදා සිට අදටත් මට තිබුණේ තනියම යෑමේ උණකි. හදේ වින්දනයට අකුරින් කැන්දන රසඥතාවය මටම හුරු වූ ඌරුවකි. ඉදින් මා එයට පෙම් කරමි. 

රැඩිකල් නමක් නැති නිසා විටෙක සිනහ වූවෝ අපමණය. එහෙත් නමේ හැටියටම මේ අාලවඩන හුඳකලාවට මම රිසිය. එදත් ෆේස් බුක් එකට ඇබ්බැහි වී සිටයා සේම අදත් මා ෆේස් බුක් එකට ඇබ්බැහි වූවෙකි. එහෙත් හිතෙන වෙලාවක දැනෙන ලෙස බ්ලොග් එක තුල සැරි සැරීම මගේ පුරුද්දය. 

මේ පිටු පුරා මගේ දේවල් කියා දැනෙන්දී මට දැනෙන්නේ සුවයකි. අකුරක් ගානෙ අමුණපු සුවඳකි. යමෙකුට ප්‍රිය නොවුවත් මට මනාප වූ දේ දුරු රට තද දුක ජීවිතයෙහි කොටස් කරුවන් වූ මේ අකුරු මට සිනහ කැන්දවූවන්ය. 

සිංහල බ්ලොග් ලෝකය තුල විවිධ මිතුරන් හදුනා ගැනීමට ලැබීමත් මා මේ පස් වසර තුළ ලැබූ භාග්‍යකි. ඒ අතර සමකය වටේ ගිය නලින් අයියා, සඳහන් කළ යුතුමය. එමෙන්ම අස්වැන්න, අවන්හලවර්ණ, ස්වයාක්ත, අලි සිතුවිලි, සිතක සංකල්පනා , වැසි වැටෙන තැන, දේශක යා ,ඉවාන් ෆවූලූශා බිනරිගේ ලෝකය, වැව් ඉස්මස්ත, කළ්‍යාණ මිත්‍ර වැනි තව බොහෝ අය සිටිති. ඒ සැවොම ඇතුළු අනෙකුත් සහෝදර බ්ලොග්කරුවන් ද ආදරණීයවම මේ අවස්ථාවේ සිහිපත් කරමි. 

විවිධ බ්ලොග් හමු තබමින් සිංහල බ්ලොග් කලාව ඉදිරියට ගෙන යන්නට කැප වන්නෝද අප්‍රමාණය. කිසිම සාදයට හමුවකට බ්ලොග් ලෝකය තුළ යාමට අවස්ථාවක් මට  නැතත් මෙතුලින් මා ලද ආත්ම සැනසුම අමිලය. 

එයට තුති ඔබලාට.

විඩෙන් විඩ වියපත්ව
ලබන විට පරිණත බවක්
මුවෙන් මතුවන හසරැල්
ඇතිව හද සැනසෙමිය මං

වලාකුළු විසිරිලා යන්නට
හැකිය නුබ ගැබ පුරා
අතරමං නොකර අකුරක්
රකින්නට හැක දිවි තුරා

යන එන අයද අතර මැද
ගිහින් එන්නම් කියු අය අපමණය
සුබ අසුබ මත සම සමව
යනෙන එක මටම පමණක් හුරුය

කවි කතා දළුලනා විටක
හද පුරා සිනාසුන උන් උතුම්මය
අවි දරා වනසපු තැනක
බිම හෙලන්නට දැරු උන්ද මතකය

ගලා යන විට දිය කඩක්
නැවතුම බලා දිශානතියට
සලා ආසිරි ඇති නැති වුනත්
හුඳකලාවම හුරුය ගමනට

ඉදින් සැනසෙමි ආ මඟ දෙස බලා
හදින් තුති මල් ඔබ සැම වෙත බෙදා
පුරා පස් වසක් දුක සැප මගෙ බලා
ඉඳින් දුන් සවියට ඇත දැන් හිස නමා 

____________දිනිති 2015 මාර්තු 26 ___________

23 comments:

  1. සුබ පැතුම් ....අවුරුදු පහක් ලියනවා කියන්නෙ ලෙසි දෙයක් නෙවෙයි...කොම වුනත් තව තවත් ලියන්න සුබ පතනවා ...........
    ජය

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ දර. අවුරුදු පහක් තුළ මගේ අකුරු කතා කරමින් සංවර්ධනය වෙච්ච මඟ එකම තැනකදි පෙන්වන තැනක් මේක. බොහොම ස්තුතියි ඔබට.

      Delete
  2. අපේ කරුමෙටම ආපු එකියෙක්.. ඔව් ඉදගෙන.. හැක්..

    ඊයේ සුභ පැතුව නිසා අද ඒවා නෑ හොදේ.. ජය

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද මගෙත් පෙර අවාසනාවකට මේවගේ එකෙක් එක්ක මිත්‍රරු ඇසුරක් ගොඩනගාගන්න පවු කරල තියෙනව. ඊයෙ ඒව මට අයිති නැහැ. :-p
      අදයි උපන් දිනේ.. :-D
      ස්තුතියි දේශක යා හැමදාම වගේ.

      Delete
    2. Cheers Dinithi.. Wish you a healthy blog life

      Delete
  3. අවුරුදු පහ ට තවත් පහක් එකතු වේවා
    බුකි මේනියාව නිට්ටෙටම දුරුවී බ්ලොග් ලෝකේ වැජඹේවා...
    ඔව් ... ඉදගෙන
    හිහි
    ජයෙන් ජයම වේවා අක්කේ දිගටම ලියමු....

    ReplyDelete
    Replies
    1. බුකි මේනියාවක් නෙමෙයි දරුවො බුකිය නිසා තමයි මට බ්ලොග් ලියන්න ඉදන් පාර හැදුනෙ. බුකියෙ එවලෙට හිතෙන දේ ලිවුව දැම්ම. බ්ලොග් පෝස්ට් එකක් එහෙම බැහැනෙ. අනික මේකෙ මිනිසුන් කවුද නොමිනිසුන් කවුද කියල හොයා ගන්න ලැබෙන ඉඩ අවස්ථා අඩුයි. බුකියෙ එහෙම නැහැ. බුකිය නිසා මට කටපුරා මිනිසුන් කියන්න පුලුවන් මනුස්සයො ලැබුණා.

      ඔයට ස්තුතියි මල්ලියේ.

      Delete
  4. ඊයෙම සුභ පැතුවා.. ඒත් ඉතින් කේක් කෑල්ලක් නොකා යන්න බෑනේ.. ඕන් එහෙනම් පස් වසරට පනස් වසරක් ආවඩා ආයුබෝ වේවා!!!

    මාල බැඳන් පාටි එකට සෙට් වෙමුද මෙයා
    තාල අනුව පාද තියල......... නටමු ගී ගයා
    පාල හිනා පස් වසරකි...... සුභ පතමි ලියා
    ආලවන්ත හුදෙකලාවේ..... දිලිනි ඔබ දයා

    ReplyDelete
    Replies
    1. දිනිති දිනිති ඈ.. ඉස්පෙලින් මිස්ටෑක් එකක් හොඳේ :)

      Delete
    2. පාටියක් දාගෙන සමරන්නට
      වාසියක් තියේ දවසක් අපිට
      කාසියක් හිඟ මේ ජීවිතයට
      පායාපු පැතුමකට තුති ඔබට...

      හෙ හෙ මං ඒත් බැලුව ඇයි මේ දිලිනි කියල.. කොහොම වුනත් ස්තුතියි අද කේක් කන්න ආවට මිත්‍ර ඔබට.

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතියි අයියෙ.

      Delete
  6. පස් වසරක් අපි වෙනුවෙන් බ්ලොග් ලිව්ව නුඹට බ්ලොග් ලොවේ බාල සොයුරෙක්ගෙන් උණුසුම් සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිලකසිරි අයියෙ. මේ සුබ පැතුම් මට හියයක්.

      Delete
  7. අවුරුදු පහට සුභ පැතුම්!!
    නිතරම මේ පැත්තේ නොආවත් ඉන්ටර්නෙට් තියන දවසට පොස්ට් එකක් වැටුනොත් මම අනිවාර්යෙන් කියවනවා. එහෙනම් දිගටම ලියන්න ශක්තිය ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියේ.. පුලු පුලුවන් වෙලාවට ඉතින් ලියනව. මාත් නිතර දකින්නෙ නැහැ තමා ඔයාගෙ බ්ලොග් එක අප්ඩේට් වෙනව.

      Delete
  8. වසර 05 ක පමණ කාලයක් බ්ලොග් ලෝකය සරසව්වට බොහොමත් ස්තූතියි දිනිති....ඒත් අන්තිමට ලිව්ව වචන ටික හිතට දුකක් එක් කරා......

    ReplyDelete
    Replies
    1. මම හැමදාමත් මට අවංකයි වැව් ඉස්මත්ත. අන්තිමට ලිවුව වචන ටික කිවුවෙ සුහද හමු අරවට මේවට එන්න වෙන්නැති එක ද.. ඒක නම් ඉතින් එහෙම වෙන්නෙ මං ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ. ඒකයි ඒ. ලංකාවට ආපු දවසක බලමුකො.
      බොහොමත්ම ස්තුතියි ඔබට.

      Delete
    2. නියමයි... නියමයි.....ඒත් මං ඇත්තටම හිතුවෙ ලංකාවෙ ඉදලත් ඒ වගේ දේකට එන්න ඉඩ පරස්තාව නැතුව වත්ද කියල.... ජය වේවා...කරන කියන රැකි රක්ෂාදිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා....!

      Delete
  9. සුබ පැතුම් අක්කේ.. අපි ඉතින් එදා ඉදලම එකට ඉදියනේ..

    තව දිගු ගමනකට සුබ පැතුම්.. අපිත් මේ ලග ලගම පස්සෙන් එනවා ඉතින්..

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් කවියත් එක්ක ඉස්සර දිගටම ඉදියනෙ.. මට මතකයි මල්ලිගෙත් වසර පහට ලග ඇති.
      බොහොම ස්තුතියි මල්ලියේ..

      Delete
  10. අදම තමයි ඔන්න දිනිති අක්කෙ මේ පැත්තට ගොඩවුනේ...
    දැන් ඉතින් වෙලාව හදාගෙන මේ ඔක්කොම කියවන් ඕනි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියෙ මේ පැත්තෙ ආවට. ඉතින් ඉඩ තියෙන තියෙන විදිහට එන්නකො.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.