Tuesday, March 24, 2015

Face Book එකේ විටින් විට Status විදිහට දාපු පුංචි පුංචි කවි ටිකක්

සියුම් තෙත බිඳු මෘදු නේද අසමින්
වැයුම් වනමින් හිත තනිකර දමා
ගැයුම් ගැයු කොවුලා තටු ගසා
ගිහින් එන්නන් කියමින් ගියා


+++++++++++++++++++++++++++++

කිරිපිරි ලැමක ස්නේහයෙ මුසු හැඟුම් එතී
හරිමැද දැනෙන සිතුවිල්ලක මුදු සුවඳ වෙතී
බැරි බර දරන ගොම්මනෙ බෝ හුවමාරු ඇතී
සඳගල මුදුනෙ හැමදාටම සා පැටවු වෙතී

 
ඇසිපිය සලන ගහකොළ නැළවිල්ල දෙතී
පිනි දිය එක්ක ගගනත සුව යහන වෙතී
කරදිය සිඹින නල රැළි පණිවිඩය දෙතී
කරදහි මතක ගැසු අත්සන් වෙනස් වෙතී


++++++++++++++++++++++++++++++++++++
විලියෙන් සැඟව යන නෙතකට එබී බලා
වැනුමෙන් සපිරි ගී කළසක් තබයි එලා
සැවුළන් නොඑන මැදියම අත්පුඩිය තළා
වවුලන් පෙමින් දඟලති ජීවිතය නෙලා


++++++++++++++++++++++++++++++++++++

 පැහැඳුල් පැහැය අතරින් පවනටද රිසී
මහනෙල් මලක් විලියෙන් ඇස් හකුල ගතී
කිවිසුම් එක්ක වෙහෙසුම් දෙන අතර මැදී
රාගෙන් වෙලෙන දිය හට ඔච්චමම දෙතී


++++++++++++++++++++++++++++++++++++

 දුම් දමන කෝපි බඳුනක කිදා බැස
හොයන්නට හැකිවේද රස තැන් ජීවිතේ
තිත්ත ගතියක් වහන්නට සීනි හැලුවාට
අතරමඟ මුහුණ බෙරිවෙන තැන් කොච්චරද..


 ++++++++++++++++++++++++++++++++++++ 

හිම කැටිති දියකරල පන්නන්න හිරුට හැකිනම් හැමදාම
ගහ වැලට රිද්දන්න, සුළඟ ඉස්සර වෙන්නෙ ඇයි නොකියාම
මලට, බඹරට දොස් කියන හිත් එක්ක නිරතුරුව ගැටුනාම
කුමට මදුවිත පිරුණු වීදුරු මැව්වෙ අකැප නම් බීගන්න


++++++++++++++++++++++++++++++++++++  

හදවතට ඇමිණිච්ච දේට
රිද්දන්න ලේසිය
බැස යන ඉරෙත් නොකිවුවට
කඳුළු පිරිලා ඒකය


++++++++++++++++++++++++++++++++++++  


ගිරිහිසෙන් ගිරි හිසට පා තියා
සමුදුරෙන් සමුදුරට පිහිනලා
දුරකථන කුටියක සිරවෙලා
කෑගසා ආදරය අමුණයි "අම්මලා"



++++++++++++++++++++++++++++++++++++ 

සුළඟ ඇවිදින් කැමති විදිහට
පරාගනයට අත වනනකොට
රිසි ලෙසින් පිබිදෙන්න බැරි නම්
එපා මල් පෙති විහිදන්න කිසිවිට


++++++++++++++++++++++++++++++++++++  

තැන තැන යනෙන බඹරුනි වැට බදින්නද
එහෙ මෙහෙ පනින සාවුන් ඇද බදින්නද
යන එන සුළඟ හැපුනම දොස් කියන්නද
රහ ගුණ දන්න අය අත්පුඩි ගහන්නද ?



++++++++++++++++++++++++++++++++++++ 

හිම බැදුණු පැගිරි අත්තක
උල උලා හොට මහන්සියෙ
කෑගසා පොඩි පැටවු ඉල්ලන
ආදරේ වමාරනවාද කිරිලියෙ ?



දිය පිටක පිපි සහස් මල් වල හැඩය වින්දට සැම දිනේ
විලක් වී ඒ බෙදන සෙනෙහස මවකගේ බව අද දැනේ
විය යුතුම දේ අත් හලොත් මේ මොහොත යලි නැතේ
ගව් දහස් දුර ගෙවාගෙන දුවන් යමි ඒ මව් වෙත මගේ



++++++++++++++++++++++++++++++++++++ 

නොන්ඩි මේසෙක
ෂැන්ඩි නොකරම
බ්‍රැන්ඩි උඟුරෙන්
හැන්ඩි වූයෙමි

සන්දි බිඳගෙන
හන්ඳි ගානෙම
"සුද්දි" නැතුවම
වන්දි ගෙවුවෙමි



++++++++++++++++++++++++++++++++++++ 

හුඟක් කවියන් රෑට තනියම
සඳට ප්‍රේමෙන් ලියනවා
මමත් ඉඳහිට පාළු දැනුනම
පුරුදු කවුළුව අරිනවා.

11 comments:

  1. ලස්සනම ලස්සනයි දිනිති.......අන්තිමට තියෙන කවියට හුගක්ම හිත ඇදිල ගියා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට..

      Delete
  2. සඳ දෙස බලා කවි මුමුණන විට රෑක
    බිඳ අම රසය නව නළු රස ගෙන නේක
    බැඳ තිවු කවි පබලු 'දිනි දී' පෙර දාක
    ඉඳ උන් තැනත් අමතක කෙරුවයි මේක...

    ReplyDelete
    Replies
    1. කවියක් බලා කවි රස දැනුණාම
      කවියක් ලියන්නට සිතකට උපදීම
      හැර වෙන තුටක් ඇතිවෙද සැනසීම
      කවියෙහි කවිය දැනුනම රහසේම

      ස්තුතියි කල්‍යාණ මිත්‍රයා

      Delete
    2. හෙට උපන් දිනේට අදම සුභ පැතුම්.. (උපන්දින ඔත්තුව ගත්තේ දේශාගේ ස්ටේට් එකකට බුකියෙ දාපු කොමෙන්ට් එකෙන් :-)

      Delete
  3. ඉදල හිටල හරි මේම එකක් වක් දාන ව නං කොයි තරං හොදද
    අක්කත් දැං බුකියටම සින්න වෙලා නෙව

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි මට මේකට එන්න බැරිව හිටියෙ මතක නැද්ද? කමන්ට් පෝස්ට්වත් දාන්න බැරිව. අනික බුකියෙ පැයෙන් පැය හිතෙන කවි පෝස්ට් කලත්.. මේකෙ එහෙම බැහැනෙ. මේකෙ අනික් අයට කරදරයක්නෙ. :-)

      Delete
  4. බුකියේ කවියක් ලියපු කාලයක් මතක නෑ අක්කෝ.. ඉස්සර වගේ නෙමෙයි දැන්..

    ReplyDelete
    Replies
    1. මං නම් ඉතින් අර ඉස්සර දවස් වගේම බුකියෙ තමා මල්ලියෙ.. :-)

      Delete
  5. මම නම් මෙව්වා කලින්ම කියෙව්වා :D

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...