Thursday, October 20, 2016

දැළි පිහියෙන් කිරි කෑම

ලෝකය විශ්ව ගම්මානයකි. මෙය අපගේ සවන්පත්වලට බොහෝ කාලයක සිට ඇසෙන්නක් ය. විසිවන සියවසේ අග භාගයේදී පටන් ම මෙය ඇසුණා යැයි කිවහොත් එය අසත්‍යයක් නොවනු ඇත. ලෝකය විශ්ව ගම්මානයක් වී අප සියල්ලෝ ම එක ම ගම්වැසියන් වෙද්දී ඒ ගම්මානය තුළ අප ලබන ඵල ප්‍රයෝජන සහ අප ලබාගෙන තිබෙන ඉඩකඩ අතර බොහෝ සිතන්නට කාරණා ඇත.

මේ විශ්ව ගම්මානය හා අත්වැල් බැඳ ගත් කල ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික, සාහිත්‍ය එකී මෙකී නොකී නිමක් නැති සබ්බ සකල මනාවම අන්තර්ගත බව ඔබත් මමත් දනිමු. ඉදින් මේ තුළට එබී සාහිත්‍යයට ඇති තැන සහ ඉන් අප හරවත්ව උකහා ගන්නා යමක් ඇත්දැයි මොහොතක් හෝ ඔබ සිතුවා ද?
සයිබර් සාහිත්‍යය කිවු සැණින් බොහෝ යාවත්කාලීන නොවූ සාහිත්‍යධරයන්, ලේඛකයන් බියමුසුව, සහ යම් සැකයකින් ඒ දෙස බලන්නට පුරුදු වී ඇත. අප යන්නේ කාලය සමඟ ගමනක් නම් එහිදී මුණගැසෙන දෑ දෙස නොබලා යා හැකි යැයි මම නොසිතමි. හොඳ හෝ නරක සියල්ල සමඟ මනා ගනුදෙනුවක් ඇති කරගැනීම අපගේ දක්ෂතාව විය යුතුය.

සයිබර් අවකාශය යනු දැළි පිහියෙන් කිරි කනවා වැනි මාධ්‍යයක් යැයි කීවොත් වඩාත් නිවැරැදි ය. එවන් තැනකදීම සාහිත්‍ය ගැන අප විපරම් කළහොත් එදා සුළුතරයක් අතට නතුව තිබූ සාහිත්‍ය අද කා අතරත් ප්‍රජාතාන්ත්‍රවාදී අන්දමින් බෙදී ගොස් ඇත. තමන්ට ඇතිවන හැඟීම්, තමන්ට රිසි පරිදි කැමති අයුරකින් නිදහසේ මුදා හැරීමේ වරප්‍රසාදය සයිබරය තුළින් අප කාටත් එක හා සමාන අයිතියකින් ලැබී ඇත. මෙය වඩාත් හොඳ සාධනීය ගුණයකි. මන්ද යත්, යම් යම් බැරියර් දමාගෙන එක එක ගුරු කුලයන්ට යටත් ව පැවති ඒ ඒ අංග අද මුළු මහත් සමාජයට ම බෙදී යාම නිසා අලුත් නිර්මාණාත්මක දේ පිරි මිනිසුන් බොහොමයක් බිහි වී ඇති නිසාය. කොහේට හෝ සැඟවී මුල්ලකට වී වැළලී යන්න ගිය තමාද හඳුනා නොගත් තමාගේ හැකියාවන් වඩාත් සක්‍රීය ව ගුණාත්මක ව ඔප මට්ටම් කරගනිමින් සයිබර් අවකාශය පුරා නෑගම් යන හැකියාවන් පිරි මිනිසුන් අද බිහි වී ඇත. මෙය විශ්ව ගම්මානය තුළ අප ලද විශාලම ජයග්‍රහණයකි.

මේ ලිපියේදී මුඛ්‍ය පරමාර්ථය කරගනු ලැබුවේ අන්තර්ජාලය තුළ සැරිසරන බොහෝ පිරිස් දන්නා ඊ බුක් ගැන ය. ඉලෙක්ට්‍රොනික පොත් වන මෙහි ඇති වෙනස නම් කඩදාසි මත මුද්‍රණය කර නොමැති වීම ය. වෙනත් අයුරකින් පැවසුවහොත් පොතක් ලෙස නොපැවතීම ය. මෙය මූලිකව පරිගණක තිරය මත කියවන්නට හැකි වීම මෙන්ම දැන් වඩාත් දියුණු වී ජංගම දුරකථන වෙත ද පැමිණ ඇත. එපමණක් නොව විශාල පොත් සංඛ්‍යාවක් එනම් පොත් සිය දහස් ගාණක් වුව ඉතාම පුංචි මතක ධාරිතාවක ගබඩා කරගන්නට හැකි වීම මෙහි ඇති තවත් වාසියකි.

ඉඳින් මුද්‍රිත සාහිත්‍යයට තවමත් වැඩි නැඹුරුවක් ඇති ආසියාවේ පළමු ඊ නවකතාව වූයේ 1998 වර්ෂයේ මුදාහරින ලද සාධු ටෙස්ටමන්ට් යන ඊ නවකතාව ය. එහෙත් අවුරුදු 18 ක් ඉක්මවා ගොස් තිබුණ ද අද ඊ පොත් සඳහා තවමත් ආසියාවේ මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ඉඩක් නැති බව අප කවුරුත් දන්නෙමු. බොහෝ දෙනා තවමත් පොතක් කියවීමේ තෘප්තිය විඳින්නේ මුද්‍රිත මාධ්‍ය හරහා ය. එහෙත් අද ලෝකය ඊට වඩා දුර ගොස් ඇත. විශ්ව ගම්මානය ම ප්‍රයෝජනයට ගෙන ඔවුන් තමන්ගේ සිතැඟියාවන් සාහිත්‍ය ලෝකයට එක් කරති. කාලයත් සමඟ විශාල තරගයක නිරත වන අයෙක්ට පොත් සාප්පුවකට ගොස් පොතක් ගෙන කියවන්නට තරම් අවස්ථාවක් ඇතිවීම දුලබ තත්ත්වයට ලෝකයා කාර්යබහුලව ඇත. අද බොහෝ ජාත්‍යන්තර සාහිත්‍ය ඇත්තේ ඊ බුක් ලෙස ය. අපට කැමැති පොත අන්තර්ජාලය හරහා මුදල් ගෙවා හෝ නොගෙවා බාගත කිරීමේ වරම ඇත. එහෙත් ඒ වරමට අප තවමත් බිය වී ඇත්තේ ඇයි?

එදා කටින් කට පවත්වාගෙන ආ සාහිත්‍ය හෝ බොහෝ දෑ කඩදාසි සොයා ගැනීමත් සමඟ ලියන්නටත් මුද්‍රණ යන්ත්‍රය සමඟ අච්චු ගැසීමටත් පුරුදු වූහ. එනම් කාලානුරූපි ව සුදුසු අගෝපාංග යටතේ වෙනස්වීම ම ය. නමුත් අන්තර්ජාලය එසේත් නොමැති නම් සයිබරය පැමිණ මේසා කලක් ගිය ද අප තවමත් ඊ බුක්වලට නැඹුරු නොවන්නේ මන්ද? යමෙක් තර්ක කරනු ඇත්තේ මෙය වෙහෙසකර කාර්යයක් ලෙසය. නමුත් අද ලෝකයේ අලුත් පරම්පරාව මේ වෙනස්වීමත් සමඟ යම් තරමකට අත්වැල් බැඳ ගත්ත ද, ලංකාව වැනි රටක පිළිගත් ආයතන තුළ සාහිත්‍යයට අදාළ වගකීම් දරන තැන්හි ඊ බුක් සඳහා කිසිදු ධනාත්මක සිතුවිල්ලක් නැති බව නම් කිව යුතුමය. බාගදා එය එසේ වනු ඇත්තේ තවමත් යාවත්කාලීන නොවූ පිරිස් ඒ ආයතන තුළ සිටීම ද වන්නට පුළුවන.

පුස්තකාලයක ම දෑ ඔබට කැමති තැනකට රැගෙන ගොස් කැමති අයුරකින් කියවන්නට ඊ - බුක් හරහා මේසා හැකියාව තිබියදී අප ඒ සඳහා යොමු නොවීම එක්තරා අන්දමකට අභාග්‍යයකි. ඊ - බුක් කියැවීම සඳහා දැන් ඊ - බුක් රේඩෙර් ලෙස පරිගණකය තුළ කියැවීමට පහසු ලෙස මෘදුකාංගයක් ද සකසා ඇත.
ඉහත සියල්ල ම කියවා යද්දී යමෙක්ට සිතනු ඇත්තේ සාම්ප්‍රදායික පොත් ක්‍රමයට පයින් ගසන්නට තැනීමක් මේ මඟින් කරනවා කියා ය. එහෙත් මේ එවැන්නක් නොව, අප එදා වැලි පීල්ලේ ගල් ලෑල්ලේ ලියූවත් පසුකාලීනව පොත් පත් තුළ ලියන්නට යොමු වීම මේ සමානම ය. වෙනස මේ මඟින් මනා කාල කළමනාකරණයක් මෙන්ම පහසුවක් අපට ඇතිවීම ය. ඊ බුක්, ඊ සඟරා මෙන්ම නුදුරු දිනක ඇසින් කියවා බලන්නට නොව ශ්‍රවණය කරන්නට ද හැකි වනු ඇත. නුදුරේදීම e-book reader ක්‍රමයට ද පොත් එළි දැක්වීම් ලෝකය පුරා සිදු වනු ඇත.

විශ්වය ම මිටට කර අපේ දෝතට ලබා ගන්නට හැකියාව තිබියදී අප කුමට නම් මේ තාක්ෂණය හා උරණ වන්නේ ද? ඇවැසි වන්නේ කාලයට ගැළපෙන ලෙස අප හැඩගැසීමම නොවේ ද?

4 comments:

  1. //එහෙත් අවුරුදු 18 ක් ඉක්මවා ගොස් තිබුණ ද අද ඊ පොත් සඳහා තවමත් ආසියාවේ මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ඉඩක් නැති බව අප කවුරුත් දන්නෙමු

    සමහරු කියනව අැහිල තියනව, screen එකේ පොතක් කියවන්න අමාරුයි කියල. මටත් මුලදි මේක තිබ්බ, පස්සෙ හුරු උනා. හැබැයි සිංහල අකුරු නං ගානක් නැතුව කියවන්න පුලුවං! :)

    ReplyDelete
    Replies
    1. මටත් මුලදි එහෙම තිබුණා මල්ලි. ඒත් පස්සෙ ටික ටික හුරු වුනා.
      ස්තුතියි මේ පැත්තෙ ආවට.

      Delete
  2. ඊ -බුක් කියවන එක මටත් ටිකක් අමාරුයි, ඇස්වලට වෙහෙසක් දැනෙනවා ටික වෙලාවකින්. පොත් බලනවනම් මෙන්න සයිට් එක මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න ටිකක් කරදරයි. ඔන්ලයින් බලන්න හොඳයි, ගිහිල්ලා බලන්න wayback machine

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත ඔත්තුවට. මාත් උත්සහා කරල බලන්නම්.

      Delete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....