Monday, June 20, 2016

තම සැමියාට බයිපාස් සැත්කමක් කරන්න වුනු හදවත් වෛද්‍යවරිය මොහොතකට


පිරිමි පපුවක අලුත් උණුසුම
වින්ද සුන්දර සවස් යාමෙක
කිති කැවෙන ඝන ලෝම අස්සෙන්
ඇඟිලි තුඩු මං යැවුවෙ තිස්සේ
එහෙම මොහොතක ඇස් වසාගෙන
නුඹත් වින්දා හිතින් සුවසේ
ඔහොම දවසක් දෙකක් නොව
සිය ගණන් අපි ගෙවී ගිය විට
මෙහෙම දවසක් කොහොම ආවද?


පුංචි දහදිය බිංදු ඇවිදින්
මගේ කම්මුල සිඹින විටකදි
නුඹේ පපුමත තියා හෙමිහිට
මගේ හිස පිරිමැද්ද මිහිරෙන්
අවදි වී මං අරන් කතුරක්
කොහොම ඔය පපුවට තියන්නද?


එදා මා දෙස විහිළු කියමින්
හාදු වැසි මට නිතර දුන් නුඹෙ 
දොතොළ පියවී තියෙන විට මං
 දරාගන්නේ කොහොම හිමියනි
එකම වදනක් කියනවානම් 
හිතේ බර මගෙ ටිකක් අඩුවෙයි 
මාව දැනුනත් නොදැනුනා සේ
ඔහොම ඉන්නට ඔබට හැකිමද ?

කොළම කොළ පාට තිර රෙදි 
නුඹ ආස කළ පාට කොළමයි
අතින් ඇද ඇස්වලින් කඳුළු පොඩි 
දුර ගමන් මගෙ කොපුල් මැද්දෙන් 
ලයිට් එළියට කිසිත් නොකියම
දෑස් යුග ඔබ තදින් පියවා
ඉන්න විට කටු ඇණෙන හදවත
නුඹෙ නොවෙයි මගෙ දන්නවද ?


හදවතට හදවතක් දෙන්නට
තිබුණ නම් මම නොයමි පස්සට
පපුව මැද්දෙන් දෙකට පැලුවම
නහර අස්සෙත් ආදරය කඳු කඳු
තියෙන විට අහකටම පෙරලා
කොහොම අල්ලන් සීරුවට
තවත් ගැටයක් දමන්නද අද?

No comments:

Post a Comment

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....