තරඟයක් යනු හුදෙක් රසක් අහිමි වීමය. මා හැමදාමත් හුඳකලාවිමි. මට මා හැරෙන්නට අනෙක් අය දුවනා ලොව දුවන්නට ඇවැසි නොවීම අදටත් මා තනිවම බුක්ති විදින සින්නක්කර සතුටකි. යමෙක් පස් වසරක් සම්පූර්ණ වී යැයි ඇසූ විට ජනප්‍රියත්වය ගැන සිනාසෙති. එසේ නැති නම් ආගිය ඉලක්කම් ගැන අසති. එහෙත් එදා සිට අදටත් මට තිබුණේ තනියම යෑමේ උණකි. හදේ වින්දනයට අකුරින් කැන්දන රසඥතාවය මටම හුරු වූ ඌරුවකි. ඉදින් මා එයට පෙම් කරමි.
රැඩිකල් නමක් නැති නිසා විටෙක සිනහ වූවෝ අපමණය. එහෙත් නමේ හැටියටම මේ අාලවඩන හුඳකලාවට මම රිසිය. එදත් ෆේස් බුක් එකට ඇබ්බැහි වී සිටයා සේම අදත් මා ෆේස් බුක් එකට ඇබ්බැහි වූවෙකි. එහෙත් හිතෙන වෙලාවක දැනෙන ලෙස බ්ලොග් එක තුල සැරි සැරීම මගේ පුරුද්දය.
මේ පිටු පුරා මගේ දේවල් කියා දැනෙන්දී මට දැනෙන්නේ සුවයකි. අකුරක් ගානෙ අමුණපු සුවඳකි. යමෙකුට ප්‍රිය නොවුවත් මට මනාප වූ දේ දුරු රට තද දුක ජීවිතයෙහි කොටස් කරුවන් වූ මේ අකුරු මට සිනහ කැන්දවූවන්ය.
සිංහල බ්ලොග් ලෝකය තුල විවිධ මිතුරන් හදුනා ගැනීමට ලැබීමත් මා මේ පස් වසර තුළ ලැබූ භාග්‍යකි. ඒ අතර සමකය වටේ ගිය නලින් අයියා, සඳහන් කළ යුතුමය. එමෙන්ම අස්වැන්න, අවන්හල, වර්ණ, ස්වයාක්ත, අලි සිතුවිලි, සිතක සංකල්පනා , වැසි වැටෙන තැන, දේශක යා ,ඉවාන් ෆවූලූශා බිනරිගේ ලෝකය, වැව් ඉස්මස්ත, කළ්‍යාණ මිත්‍ර වැනි තව බොහෝ අය සිටිති. ඒ සැවොම ඇතුළු අනෙකුත් සහෝදර බ්ලොග්කරුවන් ද ආදරණීයවම මේ අවස්ථාවේ සිහිපත් කරමි.
විවිධ බ්ලොග් හමු තබමින් සිංහල බ්ලොග් කලාව ඉදිරියට ගෙන යන්නට කැප වන්නෝද අප්‍රමාණය. කිසිම සාදයට හමුවකට බ්ලොග් ලෝකය තුළ යාමට අවස්ථාවක් මට නැතත් මෙතුලින් මා ලද ආත්ම සැනසුම අමිලය.
එයට තුති ඔබලාට.
විඩෙන් විඩ වියපත්ව
ලබන විට පරිණත බවක්
මුවෙන් මතුවන හසරැල්
ඇතිව හද සැනසෙමිය මං
වලාකුළු විසිරිලා යන්නට
හැකිය නුබ ගැබ පුරා
අතරමං නොකර අකුරක්
රකින්නට හැක දිවි තුරා
යන එන අයද අතර මැද
ගිහින් එන්නම් කියු අය අපමණය
සුබ අසුබ මත සම සමව
යනෙන එක මටම පමණක් හුරුය
කවි කතා දළුලනා විටක
හද පුරා සිනාසුන උන් උතුම්මය
අවි දරා වනසපු තැනක
බිම හෙලන්නට දැරු උන්ද මතකය
ගලා යන විට දිය කඩක්
නැවතුම බලා දිශානතියට
සලා ආසිරි ඇති නැති වුනත්
හුඳකලාවම හුරුය ගමනට
ඉදින් සැනසෙමි ආ මඟ දෙස බලා
හදින් තුති මල් ඔබ සැම වෙත බෙදා
පුරා පස් වසක් දුක සැප මගෙ බලා
ඉඳින් දුන් සවියට ඇත දැන් හිස නමා
____________දිනිති 2015 මාර්තු 26 ___________