Thursday, December 11, 2014

ආදරණිය අහස්ට.

2005  අවුරුද්දෙ සයිප්‍රස්වල සොඳුරු සර පුවත්පතට ලිවුව කතාවක්. මේක මගෙ කලින් වර්ඩ්ප්‍රේස් බ්ලොග් එකේ දැම්මා. ඒත් ඒක හිටපු ගමන් අතුරු දහන් වුන නිසා මේකට දාල තියන්න හිතුණ. 
______________________________________________
 
ආදරණිය අහස්........
    නොදැක්ක ගානට....නාදුනන ව්දිහට අහක බලාගෙන
යන්නෙපා....
ඔයාට නපුරෙක් වෙන්න...... නපුරුකම් කරන්න බෑ.....,
මහමෙරක් තරමි මං ඔයාට ආදරෙයි.......,
ආපහු එන්න අහස්......සාව් තනියම......

—    කිරිකෝඩු හිතට ¤ ආල නුඹේ දෑස යාවුණා......˜

  භාතිය සන්තුශ්ගෙ ඒ ගී පදය ඇහෙනකොට සාව්ගෙ හිත අතීතෙට දුවගෙන යනවා. අහස් හුගක් ආස කළ සිංදුව. ඒ වගේමයි සාව් ඒ සිංදුව මුලින්ම ඇහුවෙ අහස් එක්ක දුරකථනෙන් කතා කරන අවස්ථාවක.
    මං ආස ලස්සන සිංදුවක් තියෙනවා. ඔන්න අහගන්න..... එහෙම කියලා computer එකේ speker එක ගාවට phone එක තිබ්බා. සාවි අහගෙන ඉඳියා.
    ඇත්තටම ලස්සනයි අයියේ.... මටත් දෙන්න....
    හරි ඉතිං මං දැන් ගෙනත් දෙන්නම්.....ඔයාට නොදෙන දෙයක් මං ගාව නෑ සාව්,
    දැන් එපා, හෙට උදේට ගෙනත් දෙන්න,හා නේද?
    හා තමයි ඉතිං මං බොරු කියනවයැ...
    අයියේ මම පොතක් බැලූවා....ගොඩක් ලස්සනයි....ෂෝක්....
පොත් ගුල්ලියෙක් වෙන්නද හදන්නෙ....?
මං පොත් ගුල්ලියෙක් වුනාම ඔයා පොත් ගුල්ලෙක් වෙයි.....ඒකට අහස් හයියෙන් හිනා වුනා. ඒ සිනාහඩ හැමදාම සාව්ගෙ ලෝකෙ සුන්දර ව්දිහට තැන්පත් වෙලා....
ඉතිං සාව්යො වැඩ තියෙනවා. හෙට දෙන්න computer එකක් හදනවා.
ඔයා නිදි මරාගෙන වැඩ කරන්න එපා ලෙඩ වෙයි.
නෑ...නෑ...සාවියො මං ලෙඩ වෙන්නෑ....ඉතිං නිදාගන්න ඔයා Good night.
good night මගෙ අයියට බුදු සරණයි.
    අහස්, මගෙම සුදු අයියේ....ඔයා ආස කළ ආදරේ කළ ඒ සිංදුව අදත් මම අහනවා. හැමදාම මම අඩනවා. ඔයාගෙ සිනාහඩ, කතාහඩ මගෙ හිතේ රැව් පිළිරැව් දෙනවා. පොත් කියවන්න පුරුදු වෙලා පොත් ගුල්ලියෙක් වෙන්න එපා කිවුවෙ ඔයාමයි මට. ඒත් අද මගෙ තනිකම පාළුව මකාගන්න තියෙන්නෙත් පොත් කියවන එකම විතරයි. හැම මොහොතෙම හිත ඉල්ලන්නෙ ඔයාවමයි. මගෙ අම්මට ඇරෙන්න වැඩියෙන්ම මම ආදරේ කරන්නෙ, කලේ ඔයාට....එහෙව් ආදරයකට මේ තරම් දුක්දෙන්න එපා අහස්....

    —ලියවෙන හැම අකුරකම .....   පිටවෙන හැම වදනකම
     සිහිවෙන හැම සිතුවිල්ලකම.....ඔබ හිඳියි.....˜

    ලස්සන හිමිදිරියක මල් පොකුරකුත් තුරුල් කරගෙන ඔයත් එක්ක දෙව්මැදුරට ගිය හැටි මට මතක් වෙනවා. හුරුබුහුටි සුනදර ඒ දේවස්ථානයට ලංකාවෙ හුග දෙනෙක් කියන්නෙ —වතුර පල්ලිය˜ කියලා.පුජ කරන්න ගත්ත මල් පොතුරෙන් ඔයාටත් භාගයක් දිලා අපි දෙන්නම දෙවියන් ඉදිරියෙන් මල් තිබ්බා.


    යන් වතුර ටිකක් හිසේ ගාගෙන එමු.
    එහෙම කියලා ඔයා ඉස්සර වෙලා ගල් පඩිපෙළ බැස්සා. මාත් ඒ පසු පස්සෙ ආවා. ඔයා වතුර බාල්ඳියක් අරන් මගෙ හිසෙත් ගාලා ඔයාගෙ හිසෙත් ගා ගත්තා.
    හෙමින් සැරේ ආපහු උඩට ඇව්ත් දේව මෑණියන්ගෙ පිළිරුව සිපගෙන එළියට එන්න ආවා.
    —මොනාද සාව්යෙ ප්‍රාර්ථනා කලේ.....?˜


    —හැමදාමත් මට මේ වගේම අයියා ළගින් ඉන්න ලැඛෙන්න කියලා....˜


    මං යන්නෑනෙ මගෙ සාවිව දාලා....˜


    —ඇත්තමද ඔය....?˜


    —ඇත්තමයි සාවියෙ මට උඹව ලෝකයක් තරං වටිනවා....˜


මාව ලෝකයක් තරං වටිනවා කිවුව ඔයා අද මං දිහා ඇහැක් ඇරලා බලන්නැති විත්තිය මං කොහොම විශ්වාස කරන්නද? ඒත් ඇත්ත ඒකමයි. ඔයා එන්න අහස් මම හරි දුකෙන්.......
මේ විදිහට කාලෙ ගෙවිලා ගියත් මට මගෙ හිත හදා ගන්න බෑ අහස්.....අල්මාරිය අස්කරන කොට ඔයා එවපු ලියුමක් හමුවුනා.....


2005/11/13
මගෙම සාවියේ....,
මං මේ ලියුම ලියන්න ගත්තෙ මට පාළුවක් දැනුන නිසා. හැමදාමත් වයර් ගොඩවල් මැද්දෙ ගෙවෙන මගෙ ජීවිතේට උඹ පායපු දා ඉදන් මං අළුත් මිනිහෙක් වුනා. ඔයා එක සතියකට ඔයාගෙ අක්කා බලන්න ගියාම තනිකම මට මෙච්චරම දැනෙයි කියලා හිතුනෙ නෑ. ආව ගමන් මට call කරන්න පැටියෝ.
ඔයා දන්නවද සාවියේ, අද අපේ නවාතැනට ලංකාවෙ ගැහැණු ළමයි දෙන්නෙක් ආවා මගෙ යාළුවා රුවන් හමුවෙන්න. ඒ ගෑණු ළමයි දිහා මට බලන්න අප්පිරියා හිතුනා.
යන්තම් රෙදි කෑල්ලකින් ඇග චුට්ටක් වැහිලා තිබුණා. අඩි ගානක් උස පාවහන් පැළඳලා තිබුණා. හැම පාටක්ම මූණෙ කොතනක හරි ගාලා. එA විතරක් නෙමේ, කොටියෙක් වගේ දිග නියපොතුයි, කෑළි, කෑළි ඛෙදලා පාට කරලා තිබුණ කොණ්ඩෙයි දැක්කම මට පුදුම හිතුණා. ඒ අය මැද්දෙ ඔයා ඉදියනම් අපේ සිංහල කම කොච්චර වටිනවද කියලා මං එයාලට කියලා දෙනවා.
    ඒ අයගෙ අම්මා තාත්තා බටහිර මිනිස්සු නෙමේ. අහිංසක ගැමි සිංහල මිනිස්සු කියලා මං දැන ගත්තෙ රුවන්ගෙන්. තමන්ගෙ මොකක් හරි අරමුණක් වෙනුවෙන් මේ දුරු රටට ආපු ඒ යුවතියන්නට කවුරි හරි කොතනකින් හරි වරද්දලා ඇති. ඒ නිසා තමයි ඒ අය ඒ විදිහෙ වෙනස්වීමකට ලක්වෙන්න ඇත්තෙ.  මට හිතෙන හැටි සාවියේ.
    ඉතිං මං මගෙ සාවිට මෙහෙම කියන්නම්, ගෑණු ළමයෙක් ලස්සන පංච කළ්‍යාණිය රැකගෙන හොඳ චරිතවත් විදිහට ඉඳියොත් විතරයි. ඔයාගෙ ඔය දිග කොණ්ඩෙ කපන්න එපා. මං හුගක් ආදරෙයි සාවිගෙ ඔය දිග කොණ්ඩෙට. ඒ විතරක්ද ඔයා කවදාවත් නියපොතු වවන්නෑ. කිසිම වර්ණයක් ආලේප කරන්නෑ. ගැහැණු ළමයෙකුට ලස්සන ඇදුම් විතරයි අඳින්නෙ. ඒ අතින් ඔයා කොච්චර හොඳද....? ඔයා කොළඹ ඉපදිලා,හැඳිලා, වැඩිලත් ඔය තරම් අහිංසක කෙනෙක් වුන එක ගැන වෙලාවකට මට පුදුමත් හිතෙනවා. සාවියෝ.....මම නවතින්නම්. ඔයා වගේ හොඳ ලස්සන කෙල්ලෙක් ලැබුන එක ගැන මම ආඩම්බර වෙනවා.... බුදු සරණයි.
                                ඔයාගෙ අහස්.

    අයියේ....ඔයා ගියා කියලා මට වෙනස්වෙන්න හිතුණෙ නෑ. ඔයා ආදරේ කළ මගෙ දිග කොණ්ඩෙ ඒ විදිහටම අදත් තියෙනවා. ඒ විතරක් නෙමේ මා නිසා ආඩම්බර වෙනවයි කිවුව ඔයාම අද මාව දාලා ගිහින්.....මං කොහොමද හිතන්නෙ.....බැහැ අයියේ බැහැ.....ආපහු එන්න අහස්......

        —ජීවිත මහ ගිරි දඹට        
        අත්වැලක් වෙන්නම් කියූ නුඹ
        එ් මහගිරි දඹේ අතර මග 
        කඩා බිද දමා යන්න ගිහින්.....
        එන්න...අහස්...යළිත් ඒ මග තනා දෙන්න
        මේ දුර සාවිට තනියම යන්න බෑ
        එන්න....අහස්....එන්න
        මං බලන් ඉන්නවා..... ˜

අවුරුද්දෙන් බාගයක්ම දරන්න බැරි කටුක සීතලට ගෙවිල යන අපේ ජීවිතේ ඉතිරි මාස හය ගෙවිලා යන්නෙ උහුල ගන්න බැරි තරම් දැඩි හිරු රශ්මියෙන්. උපන් බිමේ හිගා කාලා ජීවත් වුනත් හොදයි කියල හිතෙන්නෙ මෙරටේ ස්වදේශිකයන්ගෙන් වෙන හිත් රිදීම්වලදි. ඒ අතරට ඔයත් මට මෙහෙම කරන කොට මේ හැමදේම දාලා ලංකාවට යන්න හිතෙනවා. ගිය අවුරුද්දෙ මේ වගේ දවසක මට මතකයි හදිස්සියෙම වගේ ඔයා දුවගෙන ඇවිත්


—    මගෙ තාත්තා නැතිවෙලා. ඒත් මට ලංකාවට යන්න විදිහක් නෑ. දුකයි සාවි....˜


—    දුක තමයි අයියෙ. ඔයාගෙ තාත්තව නොදැක්කට මාත් හරි ආදරෙයි. අයියා කැමති නම් ලංකාවට යන්න. ආපහු එන්න බැරි බව මං දන්නවා.ඒ වුනාට කමක් නෑ ඔයා යන්න....,˜


—    බෑ සාවි මම මෙහෙන් ගියොත් පස්සෙ මගෙ අම්මයි මල්ලියි ජීවත් කරන්නෙ කොහොමද ? මල්ලි තාම ඉගෙන ගන්නවා. ඒ හින්දා මං පුළුවන් විදිහට පුළුවන් දෙයක් මෙහෙ ඉඳන් කරනවා.˜


—    අයියා කැමති දෙයක්. අපි ජීවිතේ එන දෙයක් බාර ගමු.˜


—    ඔව් සාවි ලැඛෙන දේ දුක වුනත් සැප වුනත් අපිට එපා කියන්න බැහැනෙ. ඒත් ඔයා මාව දාලා යන්න එපා....˜


—    නෑ අයියෙ හීනෙකින්වත් මං ඔයාව දාලා යන්නෑ....˜


දැනුත් මට හොඳටම මතකයි අහස්, එදා ඔයා පොඩි දරුවෙක් වගේ ඇඩුවා. ඒක එඓම වෙන්න ඕන කියලා මං දන්නවා. මොකද තමන්ව මේ ලෝකෙට ගේන්න පිහිට වුන ආදරණීය පියාට අන්තිම මොහෙතෙ සමුදෙන්න බැරි වුන එකට. ඒත් එදා ඔයා කිවුවෙ දාලා යන්න එපා කියලා මට. නමුත්....,


    අද ඔයා මාව දාලා මේ ජීවිත ගමනෙ හුගක් දුර ගිහින්. අතරමං වුන තැන ඉදන් මං බලන් ඉන්නවා. ඉස්සර වගේම මගෙ අතින අල්ලන් මාව එක්ක යන්න එන්න. එදා වගේම එකට මේ ජිවිතේ දුක සැප ඛෙදා ගමු අහස්.....,

    —ඔබ නොමැති සොවින්
    හිත හඩන තරම්....ඔබ දන්නවනම්
    පෙර පුරුදු ලෙසින්, මගෙ තොලට උඩින්
    මුදු සුසුම් සෙමින් ඔබ තවරාවි.......
    ඔබ ගැන මතකෙන් නෙතු හඩන තරම්
    ඔබ දන්නවනම්.......,
    නෙතු නිදන සරින් රෑ සිහින මැදින්
    ඔබ පැමිණේවි.....˜

හුගක් ඉස්සර මං කියවපු පත්තර පිටුවක තිබුණ පද පේළියක් එ්. මොකක්දෝ මන්දා හේතුවකට එදා මම ඒ පද ටික ලියා ගත්තා. ඒ ගැන දැන් බලනකොට මට හිතෙන්නෙ එදා මං ආසාවට ලියාගත්තට අද මට හැබෑවටම ඒ දුක ලැබිලා නේද කියලා. මට තේරෙන්නෑ අහස්....., 

 ඉස්සර මං කිරිල්ලියක් වගේ නිදහසේ උන්න කෙල්්ලෙක්. ඔයා මගෙ ජීවිතේට එබිකම් කරපු දා මං හිතුවෙ මං හුගක් වාසනාවන්ත කෙනෙක් කියලා. ඒත් ඒ වාසනාවත් එක්ක අවාසනාවත් මේ තරම් ඉක්මනට මගෙ ජිවිතේට එයි කියලා මං හිතුවෙ නෑ. 

    දවසක් ඔයා මාත් එක්ක මුහුද අයිනට වෙලා ඉන්නකොට කිවුව දෙයක් මට මතකයි. එක ගෑණු ළමයෙක් අපිට ට්කක් එහායින් ඉඳිය හයියෙන් හිනාවෙලා එයත් එක්ක ඉඳිය අනික් යාළුවන්වත් පෙරලගෙන දිවුවා. ඒ ගෑණු ළමයා දුවලා තියෙන්නෙ එයාගෙ යාළුවගෙ අතේ තිබුන photo එකක් උදුරගෙන.


 —ගෑණු ළමයි ඕනවට වැඩිය දගකාර කම් තියෙන්න හොඳ නෑ˜ කියලා.

    —ඇයි ඒ ?˜ මම ඇහුවා. එතකොට ඔයා දුන්න උත්තරේ තමයි,
    ඕනවට වැඩිය දගකරන ගෑණු ළමයි ගාව එයාලට උරුම ගැහැණුකම නැතිවෙනවා. එතකොට ඒ අයගෙ කැපිලා පේන්නෙ පිරිමිකම. එහෙම ගෑණු ළමයෙකුට ආදරේ කරන්න පිරිමියෙකුට හිතෙන්නෑ.


    මට හරි පුදුම හිතුනා අහස්. ඇයි දන්නවද? ඉස්සර මමත් දග මල්ලක්. ඕන දේටත් එපා දේටත් හයියෙන් හිනාවෙලා කෑගහනවා. අපේ ඉස්කෝලෙ සර් කෙනෙක් දවසක් කිවුවා අලියටයි, පොඩි ළමයටයි එක ඉරියව්වක මොහොතක්වත් ඉන්න බැහැනෙ, සාවිටත් ඒ වගේම තමයි කියලා.
    ඒත්.....කාළය කොච්චර දේවල් වෙනස් කරලද? ඔයා මගෙ දෑසට එබුන දා ඉදන් මං පුදුම තරං සංසුන් කෙනෙක් වුනා. ඔයාගෙ ආදරේ රැකවරණය මාව වෙනස් කලා.


    අහස්.....මට මෙහෙම හිතෙනවා,මගෙ ලෝකෙ හැමදේම වෙනස් වුනේ ඔයා හින්දා කියලා. ඒත්....,අද....

    —නිල්වන් දෑසක් එබිකම් කර පෙරදා
     කිවුව කතා මා සිත් අහසට.......
     අදත් ඇහෙනවා....මේ දැන් වාගේ
     දුකත් හිතෙනවා.....කුමක් කරන්නද?
     යන්න ගියත් නූඹ මා හැරදා
     ආපහු එන්නැයි මං ඉල්ලනවා....˜

—ඉන්දියන් කඩේ ලස්සන සල්වාර් ඇදුමක් දැක්කා මං ඒක ඔයාට අරගෙන ආවා අළුත් අවුරුද්දට අදින්න˜


—ලස්සනයි අයියේ, හැබැයි ඉතිං මං දෙමළ වගේ පෙනෙයිනෙ˜


—මොකටද දෙමළ වගේ පේනනෙ, ඔය නළල මැද්දෙ තිළකෙකුත් තියෙන්නෙ, කොණ්ඩෙට මලකුත් ගඅහැවම දෙමළම තමයි˜


—ඔය ඉතිං මොකටද දෙමළිත් එක්ක යාළු වුනේ˜


—මං ආදරේ කළෙත් මේ දෙමළ කමටමයි˜ කියලා ඔයා මගෙ නහය මිරිකුවා.


—ඌයි මට රිදෙනවා. තරහ වෙන්න හදන්නෙ අළුත් අවුරුද්දෙ....˜


—හා ඉතිං මං දන්නවා යාළු කර ගන්න.˜


එහෙම කියලා එදා දවස ගෙවිලා ගියා. ඒත් අද? 


අදත් ඉන්දියන් කඩේ ලස්සන සල්වාර් ඇදුම් තියෙනවා. තව ටික දවසකින් අළුත් අවුරුද්ද එනවා. ඒත් අහස් ඔයා මං ගාව නෑ. අඩු ගානෙ ඔයාට අළුත් අවුරුද්දට ඔයාට wish කරන්න මම කී පාරක් ඔයාගෙ mobile එකට ring  කළාද? ඒත් ඔයා Answer කරන්නෑ. ඒ මම බව දන්න හින්දද අහස්? බැරිම තැන තමයි මං sms එකක් එවුවෙ. මං දන්නවා ඔයා ඒක කියවන්න ඇති. ඒත් ඇයි ඔහොම ඉන්නෙ අහස්......


    ඔයාගෙ දෙමළ කෙල්ල තරහ වුනාම යළු කර ගන්න ඔයා දන්නවා කිවුවා. ඒත්, මට අහගන්න බැරි වුනා ඔයා තරහා වුනාම මං කොහොමද යාළු කර ගන්නෙ කියලා....

        —රෑ සද නැගුණ - පසලොස්වක දා
        මා අත අරගෙන - නුඹ පියමැන්නා....
        ඒ පිය සටහන් - අදත් තියෙනවා
        කාටත් නොපෙනන - මගෙ හිත් මළුවේ....
        ඇවිත් බැලූවොතින් - ඔබට පෙනේවි
        මගෙ හිත ගැන - නුඹ     දන්න නිසා...˜

    —අම්මා ලියුමක් එවලා. ගෙදර අම්මා තනියම කියලා තිබුණම මට දරා ගන්න බැරි වුනා. මේ හැමදේම දාලා මට ගෙදර යන්න හිතෙනවා. ආපහු ඉස්සර වගේම අම්මගෙ තුරුල්ලෙ උණුසුම විඳගන්න ලෝභ කමක් දැනෙනවා. මං ගියොත් ඔයාවත් දාලා තමා යන්න වෙන්නෙ. ඔයා කතා නොකලට, ඔයාව නොදැක්කට ඔයා හොඳින් බව මම දන්නවා. මං ලංකාවට ගියාම මට ඒ දේවත් දැනගන්න විදිහක් නෑ. ඒ විතරක් නෙමේ 


අහස්,
    අම්මා අහලා තියෙනවා ඇයි අහස් පුතා කතා කරන්නෙ නැත්තෙ කියලා. මං මොකකද අහස් කියන්නෙ. ඔයා මාව දාලා ගිහින් කියලා මං කොහොම කියන්නද? අම්මට දෙන්න උත්තරයක් හොයා ගන්න බැරිව මං අසරණ වෙලා අහස්. අම්මා තව අහලා තියෙනවා අහස් පුතා හොද කෙනෙක් නේද? කියලා. ඔයාට නරක කෙනෙක් වෙන්න බෑ අහස්. ඔයා ඔයාගෙ අම්මව වගේම මගෙ අම්මවත් ආදරෙන් බලාගන්නවා කියලා කිවුව කෙනෙක්. ඔයා යාළුවන්ට එකතු වෙලා දගයෙක් වෙලා. ඒ නැතුව ඔයා නරක කෙනෙක් නෙමේ.


    සයිප්‍ර්‍රස් ආව හුගක් පිරිමි ළමයි ගැණු ළමයි එක්ක යාළුවෙලා ඒ අයගෙ ජිවිතෙත් එක්ක සෙල්ලම් කරලා ගැණු ළමයව අමතක කරනවා. ඒක දැන් මෙහෙ ඉන්න අපේ අයට ස්ටයිල් එකක් වගේ්. ඒත් ඔයා මාව මලක් වගේ පරිස්සම් කලා. ඔයා අවස්ථාවාදියෙක් වුනේ නෑ. හැම තිස්සෙම ඔයා කියන්නෙ විවාහ ජිවිතේදි කරන්න තියෙන දේවල් අපිට දැන්ම ඕන නෑ කියලා. 


    ඉතිං බලන්න අහස්, ඔයා කොච්චර හොඳ කෙනෙක්ද? හරි අපූරුවට ආදරේ කලා. ඒ ආදරේ ඔයා ගාව තාම තියෙනවා. 


    අහස්, බුදුන් වඳින අත් දෙක තරං වටින දෙයක් මට තව නැහැ. ඒ අත් දෙකෙන් වැදලා කියන්නම්.....,ආපහු එන්න මං බලන්  ඉන්නවා,

    —නෙලාගත් මල් දෝත - පුදසුනට තබන කළ
    සිහිවෙනවා නිරතුරුව - හිමි සදුනි නුඔව මට......
    පාරමී පුරාගෙන - සංසාරෙ පුරාවට
    නුඹේ වෙන්නයි අවෙ මං.....
    එපා නම් ඔබට මා - මේ තරම් දුක් දෙනු එපා
    උහුලන්න බැරි තරං - දැවිල්ලක් එයි හදින්
    ඔය තරම් නපුරු වී - රිදවන්නෙ කාට නුඹ......?˜

දරන්න බැරි මේ දුක් විද විද මං තවත් ජිවත්වෙන්නෙ ඇයි කියලා හිතෙනවා. මේ හැමදේටම වඩා හිතේ සතුට, සැනසීම කොයිතරම් වටිනවද කියලා දැනෙනවා. ඒ හැමදේම හමා ආ සුළි සුළගකට පාවෙලා පාවෙලා ඈතට ගිහින්. ඒ සුළගට මං කියනවා ගිය මගේම ආපහු එන්න කියලා. ඇයි දන්නවද? ඒ සුළං කෝඩයකට අහුවෙලා කැබලි වුන මගෙ සෙනෙහස් කුඩුව යළි තනා ගන්න. 


    දකින හැම දෙනාටම මුවපුරා හිනා වුනත් හදවතින් උහුලන්න බැරි මේ නික්ම යාම කාට කියන්නද? 


අහස්, මගෙම සුදු අයියේ, ඔයා ඔය තරම් හිතුවක්කිර ගති පැවතුම් තියෙන කෙනෙක් වුනේ කොහොමද? ඔයාව ඔහොම දකින්න මගේ ඇස් මේ තරම් පව් පුරලා තියෙනවද? කියන්න අයියේ, මං අහම්ඛෙන් වගේ ඈතට දැක්කෙ ඔයාව. මත්පැන් බෝතලයක් කටේ තියාගෙනම බොනවා. මට උන්හිටි තැන් අමතක වෙලා දුවන් ආවෙ ඔයා ළගට.  ඒත්, ඔයා මාව ප්‍රතික්ෂේප කලා. තත්පර ගානක් ඇතුළත යන්න ගියා. මාස ගණනකින් දැක්ක ඔයා මට ඇයි ඔහොම සළකන්නෙ? මං මොන වරදක් කලාටද? ඒ විතරක්ද ඔයාගෙ හැටි බලන්න? දවස් ගාණකින් රැවුල කපලා නෑ. කොණ්ඩෙ තට්ටෙම ගාලා. වැරදීමකින්වත් මත්පැන් තොල ගාන්නෑ කිවුව ඔයාම අද මත්පැන් බෝතලේ තුරුල් කරගෙන. මතකද දවසක්දා ඔයා කිවුවා ඔයා වගේම බීගත් මිනිහෙක්ව දැකලා

—දන්නවද සාවි , මේ මිනිස්සු බොන්නෙ ඇයි?˜


—ඒ මිනිස්සුන්ට මොනාහරි ප්‍රශ්න ඇති ඇයි˜


—මග යන්න බැරි තරම් බීගත්තම ප්‍රශ්ණ විසදෙනවද?˜


—නෑ මොහොතකට හරි අමතක වෙනවනෙ˜
—ඒක වැරදියි සාව්, මං ඒක ව්සදුමක් හැටියට දකින්නෑ. මට නම් හිතෙන්නෙ ඔය බොන මිනිස්සුන්ට ආත්ම ශක්තියක් නෑ කියලා. ඒවට මුහුණ දෙන්න හයිය හිතක් නැතිව ඇති ඒකයි. මං නම් ඔය වගේ දේවල් කරන්නෑ. හැමදේම දරාගන්න මට හයිය හිතක් තියෙනවා.


ආදරණීය අහස්,
    ඕනම දෙයක් දරාගන්න හයිය හිතක් තියෙනවා කිවුව ඔයත් අද මීවිත තොළ ගානවා. ඔය විදිහට බොන්නෙ ආත්ම ශක්තියක් නැති අය නම් අද ඔයාටත් හරියට ආත්ම ශක්තියක් නෑ නේද? කියන්න අහස්, අපි දෙන්නා අතරෙ ගැටලූවක් නම් ඒක කතා බහ කරලා විසදගමු. ඇයි ඒ දේවල්වලට මුහුණ දෙන්න බැරි ? ඔයා ඔය විදිහට ජිවත් වුන කෙනෙක් නෙමේ. මේ දේවලට ඔයා කොහොම හුරු වුනාද?  අහස්.......? එක මොහොතකට මං කියන දේ අහන්න, අර ඉස්සර වගේම ලස්සනට ජීවත්වෙන්න. මට ආදරේ නැති වුනත් කමක් නෑ. ඒ හැමදේම මං දරාගන්නම්. ඔයා හොඳින් ඉන්න සුදු අයියෙ.

    සඳ කුමරි පීදිලා - ඛෙදන විට එළිය විහිදලා
    පිපෙනවා මාලතී මල් - ලොවම ලස්සන වන්න කියලා.....
    වෙලාගත් සදකැන් වලින් - හොරාගෙන මං ටිකක්
    එවන්නම් මුදු සුසුම් තවරා - පා කරලා ඔබ ඉන්න තැනකට.....
    තියෙන විට සද වතුර පෑදිලා - දකින විට ඔඛෙ ඇස් ඇහැරිලා
    හැගීයයි නුඹහට පැහැදිලා - සාවි තාමත් සෙනේවන්තයි.....

—අළුතින් ආව CD ටිකක් copy කරලා රුවන්ට දුන්නා ඉල්ල ගන්න.˜
                        —අහස්˜
අද උදේ මගෙ ජංගම දුරකථනෙට ආව sms පණිවිඩය. අළුත් අවුරුද්දට සුභ පතන්න ඔයාට කතා කලත් පිළිතුරක් නැතිවුන ඔයාගෙන් අද මේ වගේ දෙයක් ලැබුනම දැනෙන සතුට මෙච්චරයි කියලා කියන්න මට බෑ. හැමදාමත් ඔයාගෙ mobile එකට ring කරල කරල Answr කරන්නැති ඔයාගෙන් මේ වගේ පුංචි දේත් මට කොච්චර වටිනවද?

    —ගිලන් වූු මගෙ හදට - ඔබ එවූ හසුන් පත
    අමා සුවයක් ගෙනෙන - පිරිත් පැන් පොදක් විය˜

අහස්, අපි ජිවිතේ කොයිතරම් දුරට එකිනෙකා තේරුම් ගත්තද? මොන තරං කැප කිරීම් කරලද මේ තරං දුරක් ආවෙ. ඒත් අතරමග මෙහෙම වෙයි කියලා මං හිතුවෙ නෑ. ඒකයි මට මේ දුක උහුලන්න බැරි. මම හැමදාමත් නිදා ගන්නෙ , ඇහැරෙන්නෙ ඔයා ගැන සිතුවිල්ලෙන්. ඒ තියා හුස්ම පොදක් ගානෙ , ඇසිපිය සැලෙන වාරයක් පාසා හිතට නැගෙන්න ඔයාව. මේ තරම් හිත ඔයාව ඉල්ලද්දි , මේ තරම් ඔයාට සෙනෙහස පාද්දි ඇයි ඔයා ගොළුවෙක් , බිහිරෙක් වගේ හැගීමක් නැතිව ඉන්නෙ?


    බලන්න අහස් ඉස්සර ඔයා අළුත් සිංදුවක් ආවත් , ඇදුමත් ගත්තත් මටත් දෙනවා. අදත් එහෙමයි. වෙනසකට තියෙන්නෙ ඔයා මාව දකින්න කතා බහ කරන්න එන්නැති එක විතරයි. මට දැනෙනවා ඔයා තාමත් එදා වගේම මට ආදරෙයි. නමුත් කියා ගන්න බැරි මොකක් හරි දෙයක් ඔයාට තියෙනවා. ඒත් නැත්නම් ඔයාට ඔය යාළුවො එක්ක සෙල්ලක්කාර ගති පැවතුම් තියෙන කෙනෙක් වෙන්න ඕන ඇති. ඒ මට හිතන හැටි. ඒත් අහස් ඔයාට එහෙම දේවල් ගැලපෙන්නෑ. ඔයාට තියෙන්නෙ උතුම් නිවුණු ඇවතුම් පැවතුම්. අනුන්ගෙ දුකත් තමන්ගෙම කියලා එකට දුක්වෙන ඔයාට ඒ වගේ කි්‍රයා හරියන්නෑ. ඒ හින්දා ඔයා ඔයාගෙ හිත රවටිට ගන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාට තවත් රිදෙන එත. මමත් මේ දේවල් තව කොච්චරක් නම් බලන් ඉන්නද? මේ විදවන තරම කොයිතරම්ද? ඒ දේවල් ඔයා දන්නවා. ඔයාට තේරෙනවා. පිං සිද්ධ වෙයි අහස්, ආපහු එන්න, අපි නැවතුන තැන ඉදන් මේ ගමන ආයිමත් යමු.

    —ආදරය ගංගාවක් වී ගැළුවදා
    සෙනෙහස කවියක් වී ගැයුනදා
    ප්‍රේමය සුවඳක් වී හැමුවදා
    හිතුනෙ නැහැ මේ තරම් ලසොවක් වෙයි කියා.......
    තනුවක් අහිමි ගීයක් සේම
    වෙරළක් නොමැති සයුරක් සේම
    තරුවක් නොමැති අහසක් සේම
    දැනෙනවා මගෙ හිතට පාළුවක්, තනිකමක්......˜


ඉතිං අහස් ,මගෙම සුදු අයියේ මේ ඔයාගෙ අසරණිට කාත් කවුරුත් නැති මේ දුරු රටෙදි හමුවුන ඔයාගෙන් තමා ආදරේ ගැන ජිවිතේ ගැන ඉගෙන ගත්තෙ. එහෙව් මං ඔයාට ණය ගැතියි. 


    සෙනෙහස නිකළැල්ව පිවිතුරුව රැකගන්න කොයිතරම් දුකක් වේදනාවක් විදින්න ඕනද කියලා මං දන්නවා. ඒ තරම් දුක් විඳලා කැප කිරිම් කරලා ගොඩ නගාගත්ත මගේ පෙම අදත් හුගක් පරිස්සමට තියාගන්න මම වෙන මහන්සිය මෙච්චරයි කියලා කියන්න බෑ. දෙදෙනෙක් එක්ක ගොඩ නගපු පැතුම් ගොන්නක් තනියම එක් අයෙකුට රැකගන්න වුනාම ඒ කෙනා කොය තරම් වෙහෙසක් විඳින්න ඕනද කියලා දැන් මට තේරෙනවා. 


අහස් මගෙම අයියේ.....,
    මේ ගමන මට තවත් තනියම යන්න බෑ. මේ බර උහුලන්න මට අමාරුයි. මගෙ ලෝකෙට පසලොස්වක සඳක වුන ඔයාම අද අමාවකක් වෙලා. ඒ අමාවක කළුවරේ ගැහි ගැහී මං බලන් ඉන්නෙ මේ ආදරේට අසාධාරණයක් කරන්න බැරි කමට. 


    දරුවෙකුට අම්මා කෙනෙක් කොච්චරක් නම් අදරේද? ඒ තරමටම මමත් ඔයාට ආදරෙයි. ඔයාගෙ අම්මා ඇරුනම මේ ලෝකෙ ඔයාට වැඩියෙන්ම ආදරේ කරන ගැහැණිය මමයි කියලා මට හිතෙනවා. ඔය විදිහට වෙනස්කම් කරන්න එපා. මම ඔයාව දැක්කෙ මේ ලෝකෙ හොදම පිරිමියා විදිහට. ඒ තැන අදත් ඔයාට තියෙනවා. ඒ මොකද...? එච්චරටම ඔයාව මගෙ ලෝකෙට වටින හින්දා. දෙවියන් බුදුන් තරමටම මං ඔයාව විශ්වස කරන හින්දා.හැමදාමත් මේ විදිහට ඉන්න බෑ. තනියම, තනිමග, තනිකම මට දැන් එපා වෙලා. තවත් නම් දුර යන්න බෑ. 


    අපි අර ඉස්සර වගේ ලෙංගතුකමින් ආදරෙන් ඉමු. මං ඔයාට ආදරේ වගේම ඔයත් මට ආදරෙයි. ඒත් මේ තේරුම් ගන්න බැරි නිහැඩියාවක් ඇයි.....?
        පාට පාට හීන ඇහිද - ගෙත්තම් කල පැතුම් පොඳිය
        තුරුල් කරන් මං ඉන්නවා - ඔබ එනතුරු පෙන්වන්නට.....
        උහුලගන්න බැරි කදුළක් - වැලපේ මගෙ හද ඇතුලෙම
        කාට කොහොම පවසන්නද - දුර ගියාම ඔබත් ඔහොම
        පණමෙන් රැකගමි - ඔඛෙ මගෙ මේ පෙම
        නපුරක් වෙන්නට කළියෙන් - හැකි විගසින් ඇවිත් යන්න......˜

                                ඔයාගෙ සාවි.
     




4 comments:

  1. සාවිගේ බෑගිරිය.. හැක්

    ReplyDelete
    Replies
    1. :-p හරි හරි පුංචි දවස්වල ලියපුව තමා මේ...

      Delete
  2. 2005 දිම කියවන්න හම්බ උනානම් කියල හිතුනා.. ආදරණීයයි.. ඒත් දුක්බරයි නෙ.. ලියවිල්ලනම් අපූරුයි..

    ReplyDelete
  3. කතාව නියමයි............ ටිකක් විතර දිගයි නොවැ

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....