Thursday, July 28, 2016

ඕල්ඩ් ලයිෆ් එක

( හේතුව —අ පො ස (සා. පෙ. ) ප්‍රථිපල එනතුරු හොරණ පෞද්ගලික ඇගලූම් කර්මාන්ත ශාලාවක මාස කිහිපයක් වැඩ කිරීමේ දී මා ලබා ගත් ජීවිත කමටහන් සිහිවීමෙන් උපන් හැඟුමකි.)

ඔතා ගෙන බත් එකක් උස්සන්

හතාමාරට පාරටම දිවුවා
හිතාගන්නට බැරිම මොහොතක
කතා නැතිවම කතා කෙරුනා
බොසා එන්නේ උදේ දහයට
කොකා කන්නේ හරියටම අටටය
නවා හිස බිම බලා හෙමිහිට
ඇසේ තියනා කවිය වැටුණා

බාටැක් එකේ කෝකිලා

හාවෙක් වගේ අත් උස්සලා
කාටත් හිනා ඛෙද ඛෙද වෙන්කලා
පෑහුනත් නැති වුනත්
හා කියා හිස සන් කලා
ඇගේ එල්ලෙන ජිප්සි ජෝඩුව
කම්මුලට හාදුව මුසු කලා
රඟේ දම දම එහෙම මොහොතක
ඇසේ තියෙනා කවිය වැටුණා

කංස මැෂිමට කකුළ දිඟ නැහැ

ඒකෙ වැඩ ගැන දන්නෙ දෙන්නයි
හංස ගමනින් ලයින් එක මැද
බොස්ගෙ පුතු එයි සුදුම මුහුණයි
කෙල්ලො දෑතින් රෙද්ද අල්ලන්
පපුව ඇතුලෙන් සද්ද කර කර
හිතෙන් එක එක කතා ගොත ගොත
බොස්ගෙ පුතුටම ලෝබ එමටයි
මැෂින් එක යට දෑත් උස්සන්
වැටුණු කවි වල අකුරු බොහොමයි

එක්කෙනෙක් පොඩ්ඩක් ලෙඩ වුනොත්

පේලියක් හිර වෙනව එක්ස්ප්‍රස්
මල්ලිකා මිස් කියන්නේ සුපවයිසර්
හැම වෙලේටම කට පුරා
ටාගට්...ටාගට්..ටාගට්...
තුන් සුත්‍රය වගේ තුන්වරුවම
තුසිතා මිස් කියන්නෙම
"කෙල්ලනේ අත ඉක්මන්ම කරපන් "
බැරිවෙලා හරි වුනෝතින් ඩැමේජ්
එදා දවසම හදවතත් ඇම්බියුලන්ස්
සයිරන් හඬක් පිට කර කරම
ඇස් වලින් වුනත් විසික් වෙයි
මාකටින් නෝනගෙන් මිසයිල

"ඕඩරේ හඳිසියි

ඕවර් ටයිම් ඉන්න වෙයි
චෙකින් එක ෆයිනල් බලන්නට
කෝ එන්න කටින් එකෙ අය "
කෑ ගහන්නේ බොස්ගෙ නෝනා
රෑ කියන්නෙත් දහවල වෙලා
දෑගිලිත් වෙහෙසට කොරවෙලා
කිරිත් නැති කිරි තේ හිරවෙලා
කෙල්ලො ටික ඕඩරේකට යටවෙලා
කවියකට එල්ලපු අකුරු යට කිමිදිලා
යෞවනය උන් රහසින්ම ගොලූ කලා
ජීවිතය ගැන මොනවද මුමුණලා
කවි කතා නොකියම ඉගිලූණා


6 comments:

  1. උපරිමයි...

    //කෙල්ලො ටික ඕඩරේකට යටවෙලා
    කවියකට එල්ලපු අකුරු යට කිමිදිලා
    යෞවනය උන් රහසින්ම ගොලූ කලා
    ජීවිතය ගැන මොනවද මුමුණලා
    කවි කතා නොකියම ඉගිලූණා//

    මේ ටික තමයි නියමෙටම වැදෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ජීවිතේ විදපු දේවල් ඒ විදිහටම ලියවුනා ආර්යන්..
      ස්තුතියි ඔබට මේ පැත්තෙ යන එන එකට.

      Delete
  2. ඇත්තටම ලස්සනයි. හැම වචනයක්ම හිතට තදින්ම දැනුනා. නියමයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ බොහොම ස්තුතියි මල්ලියෙ.

      Delete
  3. මමත් කාලයක් ගාමන්ට් ෆීල්ඩ් එකේ හිටිය.
    කරේ වර්ක් ස්ටඩි.. මොකක් හරි හේතුවකට මට ඒ ජොබ් එක විතරක් නෙවෙයි ඒ ෆීල්ඩ් එකම රුස්සන්නෙ නැතිව ගියා...
    උදේට හිනා කටක් පුරවන් එ කෙල්ලො දවල් වෙද්දි අපිටත් බයින්න පටං ගන්නව හවස ආපහු යන්නෙ අම්ම කියන්නත් බැරිව හාඩප් වෙලා..
    අක්ක කෙනෙක් හිටිය හබිය දාල ගිහිං එයාව. පොඩි එකාට කිරි දෙන්නවත් ගෙදර නවතින්න විදියක් නෑ මොකද වැඩ කරල හම්බ කරන්න කෙනෙක් නැති හංද හැමදාම දවල් වෙද්දි බ්ලව්ස් එක තෙත් වෙලා කිරට..
    හරි පව් හිතුන. අපි කියල මොනව කරන්නද ඉතිං..
    ඕවැං මේවැං වර්ක් ස්ටඩි වගේ ජොබ් එකකුත් එපා වෙලා ආව එන්ට...

    ලස්සනයි කියන්න පුලුවං ඒත් ඒ තරංම දුක හිතෙන කවි කතාවක් දිනිති අක්කා...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මට තිබුණෙ නූල් කපන අයගෙ ටාගට් දාන්න සහ හරියට කැපුවද, ඩැමේජ් කලාද බලන්න. මහ පාන්දර 3 වෙද්දිත් උදේ අටට ගිය පිම්ම වැඩ කරනව කියන්නෙ එපා වෙනව. පාන්දර හතරට ගෙදර ආවත් ආයෙ උදේ 8 වෙද්දි වැඩට ඉන්න ඕනි.
      බොහොම ස්තුතියි මල්ලියෙ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...