Tuesday, April 14, 2015

අපේ ගෙදර අවුරුදු තියෙන්නෙ මෙහෙම

සයනයේ උඩුකුරුව 
වැතිර හිඳිමි මං
ගලා එයි පිළිවෙලට
මගේ ගම සැරසෙනා'යුරු
මට අහිමි අවුරුද්දට
මා නැතිව "

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලම අවුරුද්ද ගැනම 

බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුණ. හැමදාමත් අප්‍රෙල් 14 කියන්නෙ මගෙ පපුව පිහියක් අරගෙන හාර හාර එළියට දානව වගේ. ඒ වගේ අවුරුදු දවස් 11 ක් 

එහෙම නැත්නම් 2004 අප්‍රෙල් 14 සිංහල අවුරුද්ද සැමරුවට පස්සෙ 


අදටත් සිංහල අවුරුද්දක් සමරන්න වාසනාවක් මට නැතිවුනා. ඒත් මේ දැන් සිද්ද වෙනව වගේ අපේ ගෙදර අවුරුද්ද මගේ හිත මැද්දෙම තියෙනව. සමහර දාකට රෑට හිනෙනුත් පේනව වගේ. එහෙම ආත්මීයව බැදුන අපේ ගෙදර සිංහල අවුරුද්දයි මේ. 


අප්‍රෙල් පළමුවැනිදා ලබනව කියන්නෙ අපේ ගෙදර මම අක්කා අයියා අපි කවුරුත් අකමැතිම දවසක්. එදා ඉදන් තමයි අපේ අම්මා සියල්ල පටන් ගන්නෙ. අප්‍රෙල් දෙවෙනිදට යෙදි තියෙන මගේ උපන් දිනය
කවදාවත් සමරන්නෙ නැහැ. මගේ තියා අපේ ගෙදර කාගෙවත්. අපෙ අම්මා එදාටකරන්නෙත් බුද්ධ පුජාව තියල මල් පහන් පත්තු කරන්න පුරුදු කරපු එක. බත් මුලක් දෙකක් ඔතල හිඟන්නෙක්ට බෙදල එන්න කියල අපිව යවපු එක විතරයි. අම්මා හැමදාමත් කිවුවෙ උපන් දින සමරන්නෙ සුද්දො. උඹල ධර්මයෙන් ජිවිතය ඉගෙන ගනින් කියල. ඈ තදින් සිරිත් විරිත් ගරු කළ තැනැත්තියක්. අන්න ඒ නිසයි අපි අකමැති අප්‍රෙල් ලබනකොට. 

ඉතින් ඔන්න අප්‍රෙල් 01 වෙනිදා ඉදන් පටන් ගන්නව අපෙ අම්මා
දොඩන්න. වත්ත පිටිය සුද්ද කරපන්. කිය කියා. ඉතින් ගෙට බරවෙච්ච ගස් වල අත කපල පෑහල ඒව දරට අඩුක් කරන අරව මේව වැඩ තමයි මුල් දවස්වල තියෙන්නෙ. අපේ වත්තෙ වැටට ඒ දවස්වල එරබොදු සහමල්ලින්න කියන ඒව හිටවල තිබ්බෙ. 

ඉතින් මේ වෙද්දි දේට පාර පිරෙන්නම රතුයි රෝසයි මල් වැටිල. ඒ
මදිවට කොස් කොළ පිරිල, වැල වරකා හැමදාම ඉදිල වැටෙනව ගෙඩි තුන හතරක් වත්තෙ කොහේ හරි. අපේ ගෙදර මිදුල අතුගානව කියන්නෙ ඉතින් පැය දෙකක තුනක රාජකාරියක්. මිදුල අතුගාන කෙනා පාරත් 
අතුගාන්න ඕනි. අද කොන්ක්‍රිට් කරල රිටක් වගේ කරල තිබ්බට එදා බොහොම ලස්සන පාරක් අපිට තිබුණ. 

ඔන්න වත්ත පිටිය සුද්ද කරන වැඩ මුල් දවස් දෙක තුනේ ඉවර වුනහම
ඊලගට අම්මා කියවන්න පටන් ගන්නෙ ගේ සුද්ද කරපල්ලා කියල. ගෙදර මකුළු දැල් කඩන්නත් ඕනි කැප්පෙට්ටියා කොළ වලින්. අපේ වතුවල ඉස්සර නිතර තිබුණ කැප්පෙනට්ටියා කොල. ඔය කැප්පෙට්ටියා 
අතු ටිකක් දිග පොල්ලක ගැට ගහල ඕකෙන් මුළු ගෙයිම මකුළු දැල් කඩන්න ඕනි. ඔය මකුළු දැල් කඩනකොට රංකුඹල් ගෙවල් වලට එහෙම අනින්න  බැහැ. ඒවයේ මැටි පොඩ්ඩක් එහෙම කැඩිල තිබුනොත් අම්මගෙන් හොද බැනුම්. ගෙවල් සුද්ද කරල හමාර වෙනකොට ඇද ඇතිරිලි , දොර රෙදි අරව මේව සියල්ල සුද්ද කරල නැවත දාන්න ඕනි. 

ඒ වැඩ ඉවර වේගෙන එනකොට අම්මා කොත්තමල්ලි, සුදුරු, මාදුරු,
මිරිස් අරව මේව හෝදල අව්වෙ දාල හරිගස්සල තියනව. ඒව මෝලට ගිහින් කොටන් ඇවිත් බෝතල්වලට අහුරන වැඩ මට තමයි පැවරෙන්නෙ. අක්කා අපි පොඩි දවස්වල ඉදන් හිටියෙ පිටරට නිසා. ඊට පස්සෙ ආයෙ 
පටන් ගන්නව හාල් දියේ දාන්න. ඒ කියන්නෙ අම්මා කෑම හදන්න ලැහැස්තිය. ඒ එක්කම වත්තෙ කෙසෙල් කැනක් දෙකක් අනිවාර්යෙන්ම අයියා කපල වළකට දාල දුම් පිඹින්න ඕනි මේ වෙද්දි. මොකද එහෙම නොවුනොත් අවුරුදු දාට කෙසෙල් ලැහැස්ති වෙන්නැහැ. 

අපේ අම්මා ගෙදරම තමා හාල් කොටල පිටි හදාගත්තෙ. ගල්
වංගෙඩියක් නෙමෙයි අපිට අදටත් තියෙන්නෙ අවුරුදු හතලිහක් පනහක් පරණ ඒ ලී වංගෙඩියම තමා. අම්මා හාල් කිලෝ හතරක් පහක් තනියම කොටනව. අපිත් ආසාවට මෝල් ගස් ගහන්න පුරුදු වෙන්නෙ එතකොට. අම්ම 
ඉතින් ආහ් කොටපන් කියල දිල බලන් ඉන්නව. අනිවාර්යෙන් අම්ම කොටන පිටි හළන්න සිද්ද වෙන්නෙ මට. කුල්ලට පත්තර පිටු දෙක තුනක් එළල ඒකෙ පෙනේරෙන් දෙපැත්තට පද්ද පද්ද හලන්න ඕනි. 

ඔය වෙලාවට කොහේ හරි ඉදන් අපේ පූස කුරුමානම් අල්ලලා අතට පනිනව. එතකොට නම් අර හලපු පිටි කුල්ලම හබක්. අම්මගෙන් පූසටයි මටයි
හොදට අහගන්න පුලුවන් එහෙම වෙලාවල් වලදි. ඔහොම පිටි ලැහැස්ති කරගත්තට පස්සෙ අම්මා කෑම හදන්න ලැහැස්තිවෙනව. හුගක් වෙලාවට මුලින්ම හදන්නෙ මුං කැවුම් තමා. ඔය වෙලාවල් වලට අම්මා තාච්චියට තෙල් දානකොට කාටවත් කතා කරන්න බැහැ. කතා කර කර තෙල් දැම්මම තෙල් වැඩියෙන් වැය වෙනව කියල තමා අම්මා කියන්නෙ. හදන පලවෙනි කැවුම ලිප්ගල උඩ තියා තියනව. ඒකට කෝදුරුවො අරුන් මුන් වහ වහ තියෙනව. 

එතන ඉදන් එක කැවුමක් රස බලන්නවත් අපිට කන්න බැහැ. කෑවොත් අම්මගෙන් ලැබෙනව හොද තෙල් හැඳි පාරක්. මෙහෙම බදින බදින කැවුම් කොකිස් අම්මා මැටි මුට්ටිවල දාල පත්තර 
පිටුවලින් කැට ගැට ගහල කුස්සියෙ අටුව වගේ එකෙන් තියන්නෙ. මේව හොරෙන් කන්නවත් බැහැ. ඒව අරින්නෙ අම්මා නැකතට කෑම මේසෙට තියන්න තමා. කැවිලි පෙවිලි හදල ඉවර වුනාම මට තියෙන අමාරුම රාජකාරියක් තමා රතුලූණු සුද්ද කරන්න සහ වක් පිහිය අරගෙන ගම වටේ ගිහින් හොද මුරුංගා පොත්තක් හොයන් එන එක. ඒ අපෙ අම්මා දාන අච්චාරු මුට්ටිය ලැහැස්තිවෙන්න. අච්චාරුවත් දාල කෙසෙල් කොලේකින් කට බැදල තියා තියනව. 

ඊට පස්සෙ තමා ගෙදර කැන්ද ගස් දෙකක් අල්ලල ලොකු තේඩාවකින්
බැන්ද ඔංචිල්ලාවට යන්නෙ . ඕකෙ ඩබල් නෙමෙයි ට්‍රිබල් ඉදන් දාල ගමේ ඉන්න අපි හැමෝම පදිනව. අපි එක එක්කෙනාගෙ ගෙයින් ගෙට ගිහින් හැමෝගෙම ඔංචිල්ලා පදිනව. ඔය අතරෙ අයියල කැට ගහනව. 

අපිත් පොඩියට දෙක පහ ගහනව. රුපියලට දෙකට තමා. තව ගමේ කඩේ ගාව ලොකු කැට පොළක්. එතන ඉතින් බඩු වලට කැට ගහන්නෙ.
අපි පොඩියට කැට ගහන තැන්වලින් දිනුවම ඒව අරගෙන ලොකුවට  කැට ගහන තැනට යනව. එතන දහ අට කැටයකින් ගහන්නෙ. අඩු වැඩි අල්ලනව.. දිනයි පරදියි අල්ලනව. හම්මේ ඉතින් ඔය ඔක්කොම සෙල්ලම් නොනගතයට ලබනකම් විතරයි. නොනගතය ලබන්න කලින් ගෙදරට ඇවිත් කාල බිල අහවර වුනේ 
නැත්නම් ආයෙ අවුරුදු නැකත ලබනකම්ම බඩගින්නෙ තමා. මොකද අම්මා කැම වළං හෝදල ලිපේ අළුත් අයින් කරල මැටි ගානව ලිපේ. 

ඊට පස්සෙ සාලෙ මැද්දෙ කිරි උතුරවන්න ටකරන්න කෑල්ලකත් ලිපක්
හදල හැමදේම ලංක කරල අම්ම වැඩ නවත්තනව. ඊට පස්සෙ අපිටවත් වැඩක් කරන්න බැහැ. අපේ අයිය කරන එකම වැඩේ උණ වෙඩි සහ රතිඤ්ඤා දදා ඉන්න එක. 

ඊට පස්සෙ අම්ම එක්කම අපි හැමෝම පන්සල් ගිහින් ඒ වැඩ කරල
ගෙදර ඇවිත් වැඩ ඇල්ලීමේ නැකතට ලැහැස්ති වෙනව. එතකොට ගෙදර හරිම බිසි. පැය එකහමාරක් වගේ ඇතුලත හාල් කිලෝ එකක විතර කිරිබත් මුට්ටියක් හදනව අම්මා. ඒ අතරෙ අපි කිරි උතුරවනව. 
අම්මා කිරිබත් කපල කැලි කපල කෑම මෙසේ හදනව. පොල්තෙල් පහනක් තියනව. තව කෙසෙල් කොලේකට වෙනම හැම කෑම ජාතිම තියනව. ඒක පහනක් පත්තු කරල ගෙයින් එළියෙ තියෙනව. නැකතට අම්මා පිළිවෙලට වැඩිමහල් කෙනාගෙ ඉදන් කෑම කවනව. ගෙදර ඉන්න පූස, බල්ලව ඉදන් නිවැරදි දිශාවට හරවල අම්ම කිරිබත් ටිකක් කවනව. ඊට පස්සෙ අපිට ඇතිවෙන්න කන්න කියල අම්ම කිරිබත් පොඩ්ඩක් කටේ තියන් දුවනව වත්තට. ඒ ගිහින් උදැල්ලෙන් මොකක් හරි දෙයක කරනව. හුගක් වෙලාවට අම්මා පොල් පැලයක් හිටවනව.

 ඒ හති දාගෙන දුවගෙන ඇවිත් අම්මා කළෙත් අරන් ළිඳට දුවනව. ඒ යන්නෙත් ඊට කලින් හදල තිබුණ රෙදි පොට්ටනියක් එහෙම අරගෙන ඊට අමතරව සුදු මල් ටිකක් අගුර කෑල්ලක් එහෙම ගෙනියනව. අර පොට්ටනියෙ සියළු කළමනා ( සුදුරු/ හාල්/ අරව මේවා සහ කාසියක් ) එක්ක ළිදට දානව. දාල වතුර කලේ පුරවගෙන ලිදට සුදු මල් ටිකයි අගුරු කෑල්ලයිත් දානව. ඊට අමතරව වෙනම බෝතලේකට ( බිදෙන ) වතුර එකක් ගේනව. ඒක අම්මා අවුරුද්දක් ගේ ඇතුලෙ තියාගෙන ආයෙ වීසි කරන්නෙ ඊලග පාර ගණුදෙනු කරන්න ලිඳට ගියහම. ඒකෙන් ගෙදර වියදම් පෙන්වනව 
කියල තමා අම්මලගෙ විශ්වාසෙ. 

ඔහොම වැඩ ඉවර වුනාම අම්මා කෑම පිගන් හදල අපිට දෙනව. අපි
අහල පහල ගෙවල් වලට ඒව අරගෙන යනව. ඒවයෙ අයත් අපිට කෑම පිගන් අරන් එනව. ඔය ගෙවල් වලට ගියහම ඉන්න හැමෝටම පෙරලි පෙරලි වදින එක අනිවාර්යෙන් කරනව. ඒ මොනව හරි අවුරුද්දටලැබෙන හින්දා. ඊට පස්සෙ අම්මා ගණුදෙනු කරන්න ගමේ කඩේට සහබැංකුවට යනව. අපිට එතන ඉදන් ගම පුරා යන්න අවසර තියෙනව. ඕන දෙයක්  කන්න බොන්න අවසර තියෙනව. අම්මා හැමවෙලේම වැඩිපුර උයල තියනව. කවුරුහරි එයි කියල. ඒ වගේම අර නැකතට උතුරපු කිරි මුට්ටියෙ ඉතිරි ටික නිවුනට පස්සෙ දෙහි ගහක් යටට දානව. වෙන තැන්වලට දාන්න හොද නැහැ කියල අම්ම කියන්නෙ.

ඊට පස්සෙ එන්නෙ තෙල් ගාන දවස. එදාටත් මගේ රාජකාරි තමා
තියෙන්නෙ. අම්මා බෝතල් දෙකයි හිසට සහ පයට මොන කොළද කියල ලිත බලල කියනව. මං බයිසිකලෙත් අරන් පන්සලට යනව. ඒ පන්සල් යනකොට අම්මා වෙනම මලු දෙකකට ගෙදර හදපු කැවිලි ජාති 
දාල දෙන්නෙ. පොඩි හාමුදුරුවො අපේ දහම්පාසලේ යාලුවො නිසා පොඩි හාමුදුරුවන්ට දෙන්න කියල. කැවිලි පාර්සලෙත් දිල සල්ලි කියක් හරි නානු දෙන තැන වට්ටියට දාල මං ආයෙත් ගම පුරා යනව කොළ දෙජාතිය හොයන්න. ඔය අතර නානු ගෙන්න නොගිය අයටත් අර මං 
ගේන ඒවයින් ටික ටික බෙද බෙද තමා මං ගෙදර එන්නෙ.  

ඊට පස්සෙ ගෙදර එනකොට අම්ම තෙල් ගාන තැන හදල. පුටුවකට සුදු රෙද්දක් දාල. හිසට උඩින් සුදු රෙද්දකින් වියනක් බැදල. බිමටත් සුදු රෙද්දක් දාල . ඒකෙ හාල් අරව මේව ඉහල. එතනම කැවිලි මේසයක් එහෙම හදල. ඊට පස්සෙ නැකතට අම්මා වැඩිමල් කෙනාගෙ පටන් තෙල් ගානව. අර නැකතට කෑම කැවුව වගේ අපේ ගෙදර ඉන්න බල්ල පූසගෙ ඉදන් හිස තෙල් ගානව. ඊට පස්සෙ ගිහින් නාගෙන එන්න ඕනි. ඒ නැකැත් වෙලාවල් අතරම නාන්න ඕනි. නැත්නම් ලෙඩදුක් හැදෙනව කියල තමා අම්මා කියන්නෙ. අම්මත් තෙල් ටිකක් ගාගෙන පූසගෙත් ඔලුව හෝදල බල්ලවත් අරගෙන යනව නාන්න.

ඊට පස්සෙ අලුත් ඇදුම් ආයෙ ඇදගෙන අපි යනව අපෙ අම්මගෙ මහ
ගෙදර බුලත් දෙන්නෙ. ඔන්න ඔහොම තමා මූලිකවම අපේ ගෙදර අවුරුදු සිද්ද වෙන්නෙ. හිතේ දුකට ලිවුවා. අදත් මේ දේවල් මේ විදිහටම අපේ ගෙදර වෙනව. අම්ම කතා කලහම කියන්නෙ සිරිත් විරිත් ගෙදරක 
කරන්න ඕනි නැත්නම් මූසලයි කියල.

3 comments:

  1. හ්ම්... අවුරුදු එකොලහකින් අවුරුදු නොකෑවට සිරිත් විරිත් අමතක කරලා නෑ...

    සුබ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  2. අපේ අම්ම නම් එච්චරම සැර නැහැ..එක අතකින් අපි පුංචි කාලෙ හැරුනම අම්ම ලොකු කාලෙ ජීවත් වුනේ නැති නිසාත් වෙන්න ඇති..

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....