Wednesday, August 27, 2014

කුණු මාළු

මේ දවස් ටිකේ බ්ලොග් අවකාශෙ මහේෂ් මල්ලිගෙ බ්ලොග් පෝස්ට්වල යන්නෙම පාසැල් මතක කතන්දර ටිකක්මයි. ඉතින් ඕක කියවන වාරයක් පාසා මගේ හිතත් නිතැතින්ම ඇදිල යනව ඒ කාලෙට. මං හිතන්නෙ ජිවිතේ සුන්දරම කරපු තරමක් විසේකාර වැඩ කරපු කාලෙ තමයි ඒක. ඉතින් මහේෂ් මල්ලි ක්‍රිකට් ගහපු හැටි කිවුවම මම අපි කුණු මාළු ගහපු හැටි කමන්ට් කලා. ඉතින් ඔන්න අර දේශක යා මට කුණු මාළු දිනිති කියලත් තිබුණෙ.  :-D අහුවෙද්දෙන්කො දවසක ඔය දේශක යව. මුහුණ ගලවල අතට දෙනව බල බලා ඉන්න.  :-p

ඉතින් ඔන්න මං අපේ අම්ම ගිය අම්මලගෙ ගමේ ඉස්කෝලෙටමයි ගියෙ. හැමෝම ටවුමෙ ඉස්කෝලවලට යන්න බස්වලට පොරකන කොට අපි නිදහසේ අනික් පැත්තට ඉස්කෝලෙ ගියා. ඉතින් අපේ ඉස්කෝලෙ කොටස් දෙකකට තියෙන්නෙ. ප්‍රාථ්මික අංශය වෙනම. ඒකෙ එක වසරෙ ඉදන් හතර වසර වෙනකම් තියෙන්නෙ. ඒ ප්‍රාථමික කොටසෙ තමයි යන්තම් වොලිබෝල් පිට්ටනියක් වගේ පිට්ටනියක්වත් තියෙන්නෙ. අපේ පහ වසරෙ ඉදන් උසස් පෙළ දක්වා තියෙන එකේ උදේ රැස්විම තියෙන ඉඩ ටික විතරයි තියෙන්නෙ. පාසැල් වත්ත පුරා ගොඩනැගිලි. අපිට ඉතින් නිවාසාන්තර ක්‍රිඩා කරන්න ඉදන් තිබුණෙ අර පුංචි පිට්ටනි කෑල්ලම තමා. පස්සෙ කාලෙ අපි උසස් පෙළ ලියන කාලෙ ඉස්කෝලෙට එහා පැත්තෙ ගෙදරක කෙනෙක් ඉඩමක් පරිත්‍යාග කලා පිට්ටනියකට. ඊට පස්සෙ ලොකු පිට්ටනියක් ලැබුණ අපට.  ඔන්න අතරින් පතර කතා එක්ක මං දැන් අර කුණු මාළු කතාවට යන්න එපැයි. 

ආහ් මෙහෙමයි ඊට කලින් අපේ ඉස්කෝලෙ ලොකු ඒ කියන්නෙ අපෙ අම්මලගෙ කාලෙ ඉදන් විතර තියෙන මැංගුස් ගස් හතරක් පහකුත් තියෙනව. අර උදේ රැස්විම තියෙන ඉඩ කොටසෙ දෙපැත්තෙ තියෙනව  මේ මැංගුස් ගස්. මැංගුස් කාලෙට කරපු වැඩ පස්සෙ දවසක කියන්න බැරියැ. ඉතින් කුණු මාළු ගහන්නෙ මෙහෙයි.

සෙල්ලම් කරන්න ඉන්න කට්ටිය මුලින්ම කවුරුහරි දෙන්නෙක්ව මුල්කරගෙන දෙපිළකට බෙදෙනව. ඒකට ඉතින් බෙදෙන්නෙ කතාවෙලා එනව. අර මල ද ගල ද නැත්නම් රෝස ද රතු ද වගේ.. ඒ දෙපිළටම අයිති ස්ථාන දෙකක් තියෙනව. හුඟක් වෙලාවට අපි ගන්නෙ ගස් දෙකක්.. අර කිවුව ලොකු මැංගුස් ගස්වලින් දෙකක් තමා හුඟක් වෙලාවට ගන්නෙ අපි. මේ ස්ථාන දෙක දෙපැත්තක තියෙන්න ඕනි. ඒ කියන්නෙ අඩුම මීටර සියයක් එකසිය පනහක්වත්. ඔන්න දැන් දෙපැත්තට බෙදුණ අය තමන්ගෙ ගස් දෙකට යනව. ( ගස්ම නොවුනට කමක් නැහැ. ඔය බිල්ඩිමක කොණක් හරි කොහොම හරි නිශ්චිත සීමා කරපු තැනක් තියෙන්නෙ ඕනි ස්ථිරව. ) දැන් අර පැත්තෙ කෙනෙකුයි මේ පැත්තෙ කෙනෙකුයි යනව. කවුරු හරි අනික් කෙනාගෙ ඇගේ අත ගහපු කෙනා කුණු වෙනව. තමන් කුණු නොවී බේරෙන්න දුවන්න පුලුවන් ඕනි දිහාවක. අපි ඉතින් ඉස්කෝලෙ බිල්ඩිම් අස්සෙ ඒ දවස්වල මේරියන් ජෝන්ස් පරදන්න වගේ දුවනව. හැබැයි ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඉස්සරහදි වේග බාලවෙලා බිම බලාගෙන ඇවිදිනව. ආයෙ පහුවුන ගමන් දුවනව. ඉතින් ඔහොම කවුරු හරි කුණු වුනොත් එයා විරුද්ද පැත්තෙ ගහ අල්ලගෙන අත දික් කරගෙන ඉන්න ඕනි. තමන්ගෙ පැත්තෙ කෙනෙක් ඇවිත් අතට ගහල කුණු අරන් යන කම්. ඒ අතරෙ කුණු ගන්නකෝ කියල අතරින් පතර කෑ ගගහ ඉන්න ඕනි අර කුණු මාළු වෙච්ච අය. ඉතින් ඔය කුණුවෙන ගාන වැඩි වෙන්න වැඩිවෙන්න අර අත් අල්ලගෙන ඉන්න වැල දික්වෙනව. එතකොට ඉතින් කුණු මාළු රකින එකත් ලේසි නැහැ. 

ඉතින් දැන් කුණු මාළු කොයි පැත්තක හරි වැඩි වෙන්න වෙන්න අනික් පැත්තෙ අයගෙ ගහ බේරගන්න ඒ අයට අමාරුයි. ඉතින් ඒ අයගෙ ස්ථානය අනික් පැත්තෙ අය ගිහින් 'ගහ ගත්තෝ ' කිවුව ගමන් ඒ අය දිනුම්. හැංගිලා වටකරල දන්න වැඩ දාල ගහ ගන්න ට්‍රයි කරනව වගේම කුණු බේරගන්නත් ට්‍රයි කරනව. මොකද හැමෝම වටවෙලා ගහ ගන්න යන්නෙත් නැහැ. කවුරුහරි කෙනෙක් හොරාට ඇවිත් '  කුණු ගත්තෝ' කියල කෑගහගෙන කුණු මාළු ටික අරන් ගියොත් ආයෙත් අර පිල ශක්තිමත් වෙනව. එක පැත්තක හැමෝම කුණු වෙලා එක්කෙනෙක් විතරක් ඉතුරු වුනොත් අනිවාර්යෙන් ඒ ගහ ගන්නව අනික් පැත්තෙ අය. මොකද තනිවම හරි අමාරුයි කෙනෙක්ට ගහ රකින්න. ඉතින් ඔන්න ඔහොමයි අපි කුණු මාළු කියන සෙල්ලම කරන්නෙ. 

විවේක වෙලාවක් ආවද කරන්නෙ කුණු මාළු ගහන එක තමා. සමහරවෙලාවට ඉවර කරගන්න බැරිවුනාම ඒ පිල්ම ආයෙ කන්ටිනිවු යනව. දණහිස් කඩාගෙන හොම්බවල් කඩාගෙන කුණු නොවී දුවපු හැටි පුදුමයි. ආහ් මේක පිල් දෙකටම ගැහැණු / පිරිමි කවුරුත් කළමනේ වුනත් එකට දෙගොල්ලන්ටම සෙල්ලම් කරන්න පුලුවන්. බොරුවක් කියන්න ඕනි නැහැ මාව නම් කුණු කරන්න අමාරුයි. මොකද අපේ ඉස්කෝලෙ මං ඉන්න කාලෙ හොදටම දුවන්න පුලුවන් කෙනා මං ඇහ්..  :-D ඉතින් මං වැටුණ පිලේ අය හුගක් වෙලාවට තමන්ගෙ පැත්ත දිනනව කියල දන්නව. මේ සයිබර් එකෙත් අපේ ඉස්කෝලෙ කවුරු හරි ඉදල මේක දැක්කොත් ඔය කුණු මාළු සීන් එක මතක් වෙයි ඇහ්..

දැන් ඉතින් ඔය අලි වගේ ඉන්න දේශක යා එහෙම කුණු මාළු සෙල්ලම් කරන්න යන්න එපා ඇහ්.. මහේෂ් මල්ලි ඔන්න ඔයාගෙ පෝස්ට් එකේ කමන්ට් එකක අහපු කුණු මාළු සිද්දිය. 

එහෙම නම් ආයෙ දවසක පාසැල් කතන්දර ගෝණියෙන් එකක් ලියන්න චාන්ස් එකක් ආවොත් හමු වෙමු ඇහ්.

15 comments:

  1. අක්කෙ අපිත් ඕක කොරල තියේ නෙව... ඒත් ඒකට කීවෙ නං දෙකස් හරි දෙගස් හරි නමක්...
    ඔය සිස්ටම් එකම තමා නම විතරයි වෙනස්...
    මතක් කරනකොටත් හිනායන ඉස්කෝල සීන් නං එමට නේහ්...
    කම්මැලි කං නැතිව ලීව නං...
    මේක බුකියෙ ෂෙයා කරනවකො මනුස්සයො...
    ඕන නං මං ගෲප් කීපයක් දෙන්නං

    ReplyDelete
    Replies
    1. ඔය වැඩ කරන ගමන් කවියක් ලියල ගියාට මේව ලියන්න බෑ දරුවො. දන්නවනෙ ඉතින්. ඉදල හිටල හරි මොකක් හරි ලියන්නම්. කෙටි කතාවක්වත් ලියාගන්න බැරිවුනා. හිතේ තියෙනව. කාලය තමා අවුල.
      මං ඉතින් බුකියෙ ෂෙයාර් කරන්නෙ නැහැ. සමහරු පිස්සු කියනවනෙ. ඒකයි. :-(

      Delete
  2. හම්බ වෙච්ච වෙලාවක බලමු කාගේ මුනේ තියෙන උපන්ලපද ගැලෙවෙන්නේ කියලා.. හැක්..

    ඈ බං දිනිතියෝ මේ කුනුමාළු කියන්නේ අපිත් කරපු සෙල්ලමක් නෙව.. ඒකට කිව්වේ දෙගස් ගැහිල්ල කියලයි.. මරු හොදේ..

    ReplyDelete
    Replies
    1. :-p

      ආහ් හා හා බලමුකො. බලමුකො.

      කොහොම වුනත් කුණක් ගහමු කියල තමා අපි කියන්නෙ. අපි කරන එකම සෙල්ලම අපේ ඉස්කෝලෙ ඉඩත් එක්ක කුණු මාළු තමා. අද තමා දෙගස් කතාව ඇහුවෙ. පැත්තෙන් පැත්තට නම් වෙනස්. ඒකෙත් හැටි.

      Delete
    2. නම ඉතරයි වෙනස්..

      Delete
  3. ආ මේ කියන්නේ ගස් ඔට්ටු ගැන නේ .... අපෙත් තිබ්බා කජු කැලයක් එකේ ගස් දෙකක තමා අපි ගස් ඔට්ටු තියන්නේ... අම්මට සිරි පට්ට යුධ ස්ට්‍රැජඩි ගහලා ගහන්නේ.. හෙන ඈතින් වටෙන් ගිහින් ඒ ගහ අල්ලන්න ..ඒ අතරේ අනික් උන් ඒ ගහේ ඉන්න උන් බිසී කරවන්න එක එක වැඩ කරනවා ... පට්ට ආතල්

    ReplyDelete
    Replies
    1. අපි ගස් ඔට්ටු කියන්නෙ මේකට නෙමෙයි නිමේෂ්.. ගස් පනිනව කියල අර තමන්ගෙ ගහ තව කෙනෙක්ට අයිති නොවෙන්න රැක ගන්නෙ. ඒ සෙල්ලම කරන්න නම් ගස් ගොඩක් ඕනි.

      හප්පේ ඒ කාලෙ කරන යුධ සංදර්ශන නේද.. දැන් ඕව කොරන්න මේ කාලෙ ඉන්න පොඩි උන්ට පින නැහැ.

      Delete
  4. මේ ගස් පැනිල්ල ගැනනේ ලියල තියෙන්නේ. අයියෝ අපිත් මේ සෙල්ලම කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ගස් පැනිල්ල නෙමෙයි අනේ.. ගස් පනින්නෙ දහ දෙනෙක් ඉන්නව නම් ගස් 9 ක් ගන්නවා. එක්කෙනෙක් ඉතුරු වෙනව ගහක් නැතිව. ඒ කෙනාව අර ටක් ටික් ටුක් කියන කවි එක්ක මොනාද ගණන් කරල ඉතුරුවෙන්නෙ. අනික් අය ගහෙන් ගහට මාරුවෙනව. අර ගහක් නැති කෙනා අනික් අය මාරුවෙන අතර මන්ට ගහක් අයිති කරගන්න දුවනව අර ගස්වලට. කාගෙහරි ගහක් ලැබුණ මන් ආයෙ ඉතුරු කෙනා ගස්වලට පොරකනව. ඒවගේනෙ ගස් පැනිල්ල.

      Delete
    2. ඒකට කියන්නේ ගස් පැනිල්ල කියල නෙමෙයි නේ දිනිති.. ඔය දිනිති කුනු මාළු කියන්නේ නං දෙගස් පැනිල්ල කියල මට විස්වාසයි..

      Delete
  5. මාරු සෙල්ලමක් නේ එක, මම නම් අහලවත් තිබ්බේ නෑ.

    ඔය දේශකයාගේ හොම්බ තලන වෙලාවක් මටත් කියන්න ඈ, මමත් එන්නම් තඩි පොල්ලක් අරං ...

    ReplyDelete
    Replies
    1. හරි හරි.. බැටළු ගාතේ රෙඩි උනාම කියන්නං..

      Delete
  6. අපිනං කීවෙ කොඩි ගස් පනිනවා කියල.. ඒ කාලෙ අපෙත් ප්‍රියතම සෙල්ලම තමා ඕක.. ඉන්ටවල් එක පටන් ගත්තු ගමන් කටට දෙකට බත් ටික කාල යන්නෙ කොඩි ගස් පනින්න..
    ආයි ඉන්ටවල් එක ඉවර වෙලා ඊළඟ පීරියඩ් එකෙනුත් භාගයක් විතර සෙල්ලං කරල ඇවිල්ලා ටීචර්ලගෙන් ගුටිත් කනවා.. :D

    ReplyDelete
  7. අෆ්ෆා අක්කේ ඉස්කෝලේ කාලේ කරපු සෙල්ලම් ගැන ලියන්න ගියොත් මෙතන පෝස්ට් එකක්ම දාන්න වෙනවා.. ඒ නිසා ඒක වෙනම පෝස්ට් එකකට ලියන්නම්.. මම ඒත් බැලුව මොකද්ද මේ කුණු මාළු දිනිති කතාව කියල..

    ReplyDelete
  8. ගස් මාරු කියලා අපිත් කලේ ඒ කාලේ මෙකමද මන්දා.. නම වෙනස් හන්දා මේ කල්පනා කලේ..

    මට පේන්නේ එක එක අය වෙනස් විදිහට සෙල්ලම් කරලා වගේ..

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...