අයියේ,
ඔයාට ලියන්නැ කියලම හිතට තහංචි දාගත්තෙ මීට අවුරුදු දෙක තුනකට කලින්. මං ලියන එකම එක අකුරක්වත් ඔයා කවමදාවත් දකින්නෑ කියල හිත කිවුවා. ඒත් අතහැර දමපු හුගක් දේවල් ආයෙ ආයෙත් කරන්න ආසාවක් ඇතිවුනා.
එදවස ඔයා කොහේ හෝ තැනක අජීවී වස්තුවක්, ඒත් අද, ඔයා මං ගාව සජීවීව ඉන්නවා කියලා දැනෙද්දි මං සමහර වෙලාවට මටම කොනිත්තලා බලනවා. හීනයක්ද දකින්නෙ කියල එච්චරට සැකයි.
හැමදාම වගේ මහ ලොකු කාලයක් අපි මේ ලෝකෙ , මේ ආත්මෙ ඉන්නෙ නැහැ අයියෙ. වෙන වෙන ස්වරූප වලින් වෙන වෙන විදිහට මුණ ගැහෙන්නත් පුලුවන්. නැතිවෙන්නත් පුලුවන්. අපිට අපි අයිති වෙන්නත් පුලුවන්. අපිවත් නොදන්න වෙන වෙන අය ගාව තාවකාලික නැවතුමක නවතින්නත් පුලුවන් .
මහ පාරවල්වල රස්තියාදු වෙවි ඔයාව හොයපු දරුණු කටුක අතීතයක් මට තිබුණා. කවුරුවත් කොහොමටවත් පිලිගන්නැති හිතක් අදටත් මං ගාව තියෙනවා. ඒ ඔයා නිසා.
මේ ලෝකෙ පුදුම තැනක් අයියා . අද කඩවතට එද්දි බස් එකේ සිටි එෆ් එකේ අමිල අයියගෙ හඩින් ආරාධනා ස්වර දැහැන වැඩසටහන ප්‍රචාරය වෙනවා. ඒකෙදි අමිල අයියා කිවුව පුංචි වාක්‍යයක් මතක් වුනා. ආදරය, ප්‍රේමය, ස්නේහය, ලෙංගතුකම මේ මොන නමකින් කිවුවත් ඒ තැන්වල තියෙන්නේ බැදීමක්.
ඇත්ත අයියා . ඒ බැදීම් පටන්ගත්ත තැන හොයනවට වඩා බැදීමට සාධාරණයක් කරන්න පුලුවන් නම් කොච්චර වටිනවද ? කියලා. මට හිතුනා මමත් එහෙම වෙනවා කියලා.
මේ මොහොතෙම ඇම්බියුලන්ස් එකක් කෑගහගෙන යනවා ඇහෙනවා. කවුරු හරි ජිවිතේ ඉල්ලන කෙනෙක් ඒ. හරියට මම අයියගෙන් ජිවිතේ ඉලලනවා වගේ. පුරුද්දට වගේ හිතින් සුවපත්වේවා කියලා මිමිණුනා. මහා ලොකු දේවල්වල නෙමෙයි අයියා සතුට තියෙන්නේ , පුංචි සිංදුවක පද පේලීයක, ඔයාගෙ ඇස් දෙක ඇතුලෙ මාව පේන වෙලාවක, ලඟින් තියාගන්න ආස හිතෙන තත්පරයක ,කටහඩක, බැල්මක, කෙටි පණිවිඩයක ආසාධ්‍ය ලෙඩ ගොඩකට ප්‍රතිකාර තියෙනවා අයියෙ.
දන්නවද ,
පුංචි කෙල්ලෙක් ආදරේ ගැන තේරෙන දවසක ඉදන් එක රූපයක් හෙව්වා කියන්නෙ. විශ්වාස කරන්න අමාරුයි. කොහොම විශ්වාස කරන්නද නේද ? ජීවිත කාලෙම එකට ඉන්නම් කියපු අයත් අපිත් එක්ක ජීවිතය බෙදාගනිද්දි රටේ ලෝකෙ තව තව අයට ආදරෙයි කිය කියා ආදරය බෙදායද්දි කොහොම විශ්වාස කරන්නද ?
එවරස්ට් කන්දට නගින්න කිවුව නම් මං නගිනවා අයියෙ. මැරිලා පෙන්වන්න කිවුව නම් මැරෙන්න තරම් පුදුම හිතක් තියෙනවා. හැම ඇස් පිල්ලමකටම හේතුවක් තියෙන්න ඕනි කියලා ප්‍රශ්න කරන මට, මාවත් ප්‍රශ්නයක් වෙච්ච ලෝකෙක අයියට එහෙම හිතෙන එක සාධාරණයි.
තිරිසන් සත්තු ගාව තියෙන අවංක ආදරේ මිනිස්සු ගාව නැහැ කියලා අපි කතාවට කියනවා. ඒක පිලිගන්න පුලුවන්. ඒත් මං කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලද්දි එහෙම අවංක ආදරේ තියෙන කෙනෙක් පේනවා. ඔයත් බලන්නකො අයියා.
කොළඹ අහස හරි දුප්පත්. මගෙ ගමේ වගේ නෙමෙයි. බුම්මගත්ත වලාකුළු ටිකක් , හරියට තාලයක් නැතිව කියවන ගෙම්ඹො ටිකක්, අල්ලපු කාමරේ පණ තියෙන මනුස්සයෙක් ඉන්නවද කියලවත් දන්නැති කොළඹ රට ගැන මට කැමැත්තක් නැහැ. ඒත් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි නේද 😊😊😊
බළල් තඩියෙක්ගෙ ගාම්භීර හඬක, කණාමැදිරින්ගෙ තොරණ් එළි, ලස්සනම හදවතේ ගීතය කියන කඳු මුදුන. ආදරෙයි ආදරෙයි කියලා හැපෙන සුළඟ, වැල ගෙඩියකට වරකා ගෙඩියකට තටු ගහන වවුලන්, ඔය වගේ තව කොච්චර දේවල් තියෙනවද ? හරියට මට ඔයා ගැන කියන්න තියෙන දේවල් තරම්.
අමරසිරි පීරිස් ගායනා කරන්නෙ , කාලය කෙතරම් නපුරු ද කියලා. මටත් මගෙන්ම ප්‍රශ්න කරන්න තියෙන්නෙ ඒකමයි.
බැදීම් කියන්නෙ තාවකාලික , සදාකාලික ඒවගේ වර්ග කරන්න බැහැ. හරියට අපේ මිනිස්සු කසාද, දික්කසාද , අනියම්, නියම්, අයථා අරක මේක කිවුවත් එ මනුස්සයො විතරයි ඒව දන්නෙ.
ලියන්න හිතපු කිසිම දෙයක් ලියාගන්න බැරිවුනා. අක්කෙ ආදරය ගැන ලියන්න කිය කියා කරදර කරන හේෂානි නංගිවත් මතක් වුනා.
පෙරුම් පුරා දුකසේ ගලපාගත්, මේ බැදීම හුස්ම ඩිංග නවතින මොහොත වෙනකම්වත් තිබුණොත් හොඳටම ඇති අයියෙ.
හැම බැදීමකටම හේතුවක් තියෙනවා. හේතුවක් නැතිව කිසිම ඵලයක් නැහැ. මහාචාර්ය සරත්චන්ද්‍රයන් මනමේ ලිවුවෙ, සිංහබාහු ලිවුවෙ තමන්ට තිබුණ බැදීම් අහිමි වුන තැනදි කියලා මං කියවල තියෙනවා. හිමි වීමට වඩා අහිමි වීම රසවත්. ඒක දන්නෙ අහිමිවීම්ව විතරක් හිමිවෙච්ච මිනිස්සු අයියා. මං වගේ 😊😊😊
#දිනිති 2020/09/24