Monday, May 11, 2020

මහාමානව

නමො තෙ මහමානව !!!

‍මේ මහා විශ්වය තුළ උපන් ඒ අසිරිමත් මිනිසා උන්වහන්සේමය. ඒ උත්තම අසිරිමත් සිරිමතාණන්ගේ එක් ආත්ම භවයක හදවත් නිවාසනහාලන විකාශනයක් කිවූයෙමි. ආනන්දයත් ප්‍රඥාවත් උපරිමයෙන් ලද බව නොසඟවා පවසමි.

පන්සිය පනස් ජාතක කතා අතර වෙසතුරු කතාවට ලැබෙන්නේ අපූර්ව තැනකි. ඒ අපූර්වත්යම සාමාන්‍ය ජන විඥානය තුළත් මහා ප්‍රඥා විද්වතුන් අතරත් තම තම නැණ පරිදිම තැන්පත් වී ඇත.

විවධ චිත්‍ර, ගීත, කතා, සිනමා, නාට්‍ය ආදි විවිධාකාර මාධ්‍ය ඔස්සේ වෙස්සන්තර ජාතකය අපි දැක ඇත්තෙමු. කියවා ඇත්තෙමු. අසා ඇත්තෙමු.
එළෙසින්ම මන දොළ පිනවා හදවත් ස්පර්ෂ කරමින් නිබඳ රසිකාකර්ෂණයක් ලබා ගන්නට සමත් කෘතියක් මම ද කියවා හමාර කලෙමි.

ඒ අන් කිසිවක් නොව ප්‍රේමරත්න සමරනායකයන් විසින් රචිත "මහාමානව" නම් අසමසම කෘතියයි. ප්‍රබන්ධයයි. නවකතාවයි. වරක් කියවූ විට නැවත නැවත කියවන්නට ආසා ඇතිවන පරිදි බෝසත් චරිතය අප හදවතට ඇද බැද තබන්නට එතුමා සමත් වී ඇත.

සැකෙවින් අප දන්නා පුවත අනුව නම් ඇත්තේ පැනයකි. ඒ පියෙක්ට තම දරුවන් දන් දෙන්නට හැකි ද ? කියාය. එපමණකුදු නොව බැල මෙහෙවරට අත පැන් වත්කර දිය හැකි ද ? යන්න ගැටලුවකි. බුදුබවට පෙරුමන් පුරන අසිරිමත් මිනිසුන්ගේ කතා පුවත් එලෙසින්ම දුර්ලබය. අතිශෝක්තයක් නොවූවත් ඒ මහා පාරමිතා බලයන් ගැන අපට අංශු මාත්‍රයකින් හෝ සසදා සිතාගන්නටවත් බැරි බව කිව යුතුමය.

සාරාසක්ඛ්‍යෙ කල්ප ලක්ෂයක් පුරා අනන්ත වූ සසර ගමනක කෙළවර උන්වහන්සේත් දකිමින්, අපටත් දකින්නට ඉඩ හදාදෙන්නට කැපවූ මහාමානවයාණන්ගේ එක් ආත්ම විවරණයක් ප්‍රබන්ධයක් තුළට ගොනු කරන්නට ප්‍රේමරත්න සමරනායනයන් අතිදක්ෂ වී ඇත. ඒ හුරුව අද ඊයෙක ඇති වූවක් යැයි විශ්වාස නොකරමි. එතුමා විසින් සසර ප්‍රගුණ කළ යම් පාරමිතාවක් මෙයට පිටුවහල් වන්නට ඇති බව නොඅනුමානාය. මන්ද යත් මෙය එතරම්ම අතිශෝක්තයක් නොවන අසිරිමත් කෘතියකි.

‍ලද නිවාඩු සමය තුළ මා විසින් දිනපතා කියවූ පොත් ද මා දිවිය පුරා කියවූ පොත් ද ගත් කළ මේ කෘතිය ඒ කිසිවකට සමකළ නොහැක. බුදුන්ගෙන් දෙව්රමදී බණ පදයක් ඇසුවා නම් කෙතරම් නිවී පහන් වෙනවාදැයි දැන් අමුතුවෙන් සිතිය යුතු නැත.

‍වෙසතුරු කතා පුවත තුළ ප්‍රේමරත්න මහතා හුදෙක් බුදු බණකට පමණක් සීමා නොකරයි. එතුමා මේ මහා සසර පුරාම පුදුමුත්තර බුදුන්ගේ පටත් මෙතේ බුදුන් දක්වාම සමාජයම ආවරණය කර ඇත.

සමාජය නමැති නිවෙස තුළ සිටින සියලුම මානව කණ්ඩායම් එයට එකතු කර ඇත. විප්ලව කරමින් සමාජවාදය කතා කරන රුසියාවද, ධනවාදය අර්ථකනය කරන මහා සමාජ සංස්ථාද, කුලීන කුලහීන සමාජ ස්ථරයද, ඒ මතින් ගැටෙන පීඩිතයාද එකී මෙකී නොකී සියල්ලන්ම ඇත.

එමෙන්ම රාජ්‍ය පාලනය තුළ අද්‍යතනයේ දක්නට සිටින මුග්ධ දේශපාලකයන්ද, රටත් රට වැසියාත් සුරකින ජන නායකයන්ද මේ මහාමානව පුරාවටම ඇත. විශ්වන්තර රජු එයට කදිම උදාහරණයකි. එමෙන්ම "කෝසිය" සිටාණන් වැන්නවුන්ද "නීලකේතු" බමුණන් වැන්නවුන්ද එදත් අදත් හෙටත් නොඅඩුව අප සමාජය පුරාම සිටිති. තම බලය ධනය උදෙසා මිනී මරා හෝ ජීවත්වන්නට සිතන්නවුන් බොහෝය.

"කුටිල" වැනි පීඩිත පන්තියේ සිට සමාජයෙන් බැට කා, හිස ඔසවන්නට සිතන උන්ගේ යටි හිතේ සඟවා සිටින වෛරයේත් පළිගැනීමේත් නාගයාද සිටින බව නොරහසකි. නමුත් සියල්ල ධර්මය ඉදිරියේ පරාජය ලබන බව සනාතන දහමකි. එය මහාමානව පුරාද නොඅඩුව ඇත.

"ජූජක" වැනි මහළු බමුණන් "අමිත්තතාපා" වැනි සුරූපී දියණියන් වැනි කතුන් විවාහ කරගන්නා යුගය අදටත් වෙනසක් නැතිවම පවතී. තම කුලය රැකගැනීමට එක් පසෙකින් වෙර ගනිද්ද රාගය, කාමය වැනි හැඟීම් නිසාම තම වයසද අමතක කර තිරිසන් වන මිනිසුන් සුලභය. ජීවිතය රැකගන්නට "අමිත්තතාපා" වැන්නවුන් එසේ මහල්ලන් සමඟ විවාහ වුවද ඔහුවද රවටමින් ශුද්‍රයකු සමඟ රහසින් සහවාසයේ යෙදී ගැබ් ගැනීම , එමෙන්ම ඒ ගැබ මහල්ලාගෙ කියා රවට්ටමින් මිල මුදල් සූරාකන ඇඹේණියන් මහාමානව කතාව තුල පමණක් නොව අප වටපිටාවේද සිටිති. ප්‍රේමරත්නයන්ගේ අපූර්වතම ලේඛණත්වයද එයමය. එදා අතීත දඹදිවට අදද හෙටද තුන් කල් ගැලපීමමය.

"මන්ද්‍රි" දේවියන් පාරමී පුරා එන්නේ වෙසතුරු කතා පුවතේ පමණක් නොව. වත්මනේද තම සැමියාගේ දියුණුවට නිවනට කැපවීම් කරන බිරින්දෑවරුන් ඔබ මා අතර ඕනෑතරම් සිටිති. තමන් හැරදා යන බව දැන දැනද තම සැමියාගේ හිත සුව පිණිසම හිතන්නවුන් නැත්තා නොවේ.

එහෙත් " මන්ද්‍රි" දේවියට මා කිසිම එවන් බිරින්දෑවරුන් සම නොකරමි. මන්ද ඇයට සම කතක් මේ විශ්වයේ කොතැනක හෝ නැති බව දන්නා බැවිනි. තම සැමියාගේ උත්තරීතර සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන්ම සාරසංඛ්‍ය කල්ප ලක්ෂය මුළුල්ලේම සියළු පීඩා ඉවසා දරානෙ ඈ ආවාය.

මහාමානව කතා පුවතේ අප දන්නා වෙසතුරු කතා පුවතම වෙනත් මානයකින් හිතන්නට ප්‍රේමරත්න සමරනායක මහතා අවස්ථාව දී ඇත. එනම් තම සැමියාගේ දාන පාරමිතාව සම්පූර්ණ වීමට දරු දෙදෙනාද , ඇයවද දන්දීම ඇය දනී. එය දැනගන්නේ සෘද්ධිමත් "අච්චුත" බමුණාගෙනි. එසේ දැන එය පූරණය කරන්නට ඇය මහෝපකාරී වෙන්නේ දරු දෙදෙනාටද ඒ බව පවසමින්ය. "සහලෙය" "කෘෂ්ණජිනා" නම් දෙදෙරුවන් ද තම පියාණන්ගේ බුද්ධත්වයට උපකාරී වීම පිණිසම අපව ජූජකට දන්දෙන්න කියා සිරිපතුල් සිඹ ඉල්ලති. මන්ද්‍රී දේවියද එසේමය.

අනාගත බුදුවරයෙකුගේ දාන පාරමිතාවට තමන්ට දායකවෙන්න ලැබීමම වාසනාවක්යැයි පවසමින් දරුවන් ජූජක හා යන්නේ සතුටිනි. මන්ද්‍රීද යන්නට සැරසෙන්නේ සතුටිනි.

සාමාන්‍ය ජනයා මෙන් භූමාට දෙවිවරුන් දොස් කියන්නේ මෙසේ බිරිඳ දරුවන් දන්දෙන්නට හැකිදැයි අසමිනි. ඒ පුහුදුන් මිනිසුන්ගේ ස්වරූපය "භූමාට" දෙවියන්ගෙන් "වන" දෙවියන්ගෙන් අපට පෙන්වීමට කතුවරයා සමත් වී ඇත.

‍වෙස්සන්තර ජාතකයට දී ඇති නව අර්ථකතනය තුළ කියවන්නාගේ හද කම්පා නොකර සිටින්නට එතුමා සුවිශේෂී ලෙසම දක්ෂ වී ඇත. කිසිවෙකු කෙරෙහි ද්වේෂයක්, තරහක්වක් නොඋපදියි. එයද මේ කතුවරයාගේ මනා ප්‍රතිභාවේම අංගයකි.

මන්ද්‍රී දේවියගේ කවි ලිවීමෙහි හැකියාව මෙන්ම ඇය තම ආධ්‍යාත්ම දියුණුවත් සමඟ තමන්ගේ පරිනතභාවියද පෙන්නුම් කිරීම සමරනායක මහතාගේ කවීත්වයේම විශාල සුහුරු බවමය. එළු සඳැස් ලකුණ, ගී විරිත ආදියෙන් මනාව කවි මෙහි ඇත. එපමණක් නොව වෙස්සන්තරය ගැන ලංකාවේ විවිධ පන්සල් වෙහෙර විහාර වල ඇති සිතුවම්වල පින්තූරද සුදුසු පරිදි පොත තුළට ගෙන ඇත. එතුලින් පෙනෙන්නේ මහාමානව ලියන්නට සමරනායක මහතාගේ සුදානම් වීමමය.

යමෙක් තම ජීවිතය තුළ කෙසේ හෝ කියවිය යුතුම පොතක් ලෙස මහාමානව යෝජනා කරමි. විවිධාර්ථයන් කියමින් සම්මාන සහතික දෙන්නේ මොනතරම් අවරගනයේ කොළ ගොඩවල් වලටද කියා වරක් දෙවරක් නොව කිහිප වරක්ම මට සිතුණි.

සමරනායක මහතාණෙනි, සෝවියට් රුසියාවද, මෑත පෙරදිගයද, යුරෝපයද , ඈත ඈත දඹදිවද, අනාගත කලියුගයද ඔබතුමා සුහුරුව ගෙන මනාව යුෂයන් පෙරා පදම බලා අපට පිළිගන්වා ඇත. ඒ අමෘතය බොනවාද නැද්ද යන්න පාඨකයාගේ පින, පව අනුව සිදුවන්නකි. මන්ද යත් මෙවන් අනගි කෘතියක් කියවීමට වාසනා ගුණයද තිබිය යුතුම බව මගේ හැඟීමය.

කතෘ ප්‍රකාශනයක් ලෙස සමාජගත කර ඇති මහාමානව කෘතියේ අලංකාර කංචුක නිර්මාණයත් සිත් බැදගන්නා පොතේ නිමැවුමත් තවත් සුන්දරත්වයක් වෙසතුරු පුවතට බද්ධ කර ඇත.
කංචුක නිර්මාණය මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ.
ඉතින් තම ධනය, කාලය , දැනුම වැය කරමින් ඔබතුමා කළ මෙම නිර්මාණයට මම පුණ්‍යාණුමෝදනා කරමි.

( බණ පොතක් කියා නොසිතන්න. මෙය සුන්දර මානව කතාන්දරයක අලංකෘත නිමැවුමක්මය. )

දිනිති දීපිකා

2020/04/16

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.