Sunday, October 29, 2017

තනිකඩ එල්සා


" ජීවිතේ කියන්නෙ අනික් පැත්ත බලන කණ්ණඩියක් නෙමෙයි "
" කණ්ණඩිය වුනත් හැමදේම පේන්නැහැ "
" හදවත කතා කරන්න නම් කණ්ණඩිය ඉස්සරහට යන්න "

" ඇත්තටම ඔයා ඇයි අද මාත් එක්ක මෙතනම නැවතුණේ "
" මට හිතුණා ඔයාව අදුන ගන්න "

" මාව අදුන ගන්නවා කියන්නෙ ඔයාව අදුන ගැනීමක් තමා "

" වෙන්න පුලුවන් "

" වෙන්න පුලුවන් නෙමෙයි. ඒක තමයි ඇත්ත "
----------------------------------------------

සිරි සිරි නදින් අයිස් වැටෙන හඬ පිටින් ඇසෙද්දි, සති අන්ත මොඩ්ලින් මැගසින් එකත් අරන් ගිනි උදුන ගාව වාඩිවෙච්ච එල්සා තාලයකට කකුළක් පද්දනවා. ඒ කකුලෙ සෙවනැල්ල යට බූල් පුස් තඩිය වැතිරගෙන.

ගිනි උදුන ගාවට පුච්චන ඇට වර්ගයක් ලං කරපු එල්සා සඟරාවෙ මුල පිටුව දිහා හොඳට බැලුව. කවද හරි එල්සගෙ ඡයාරූපයකින් මේ මුල් පිටුව සැරසෙන්නෙ කවදද කියල ඇයට නොහිතුනා කියන්නත් බැහැ.

නිලට නිලේ දිලිසෙන ඇස් දෙක මවිත කරගෙන පද්දන කකුල එක්ක එල්සගෙ අරමුණ වෙනස් වුනේ. එකපාරට විදුලිය විසන්ධි වීමත් එක්ක. මේ කදුකරයෙ සීත කාලෙට කවදත් ඔහොමයි. තත්පර ගානක් ඇතුළත ආයෙත් යථා තත්වයට පත්වෙනවා. පුරුදු ජීවන රටා නිසා අමුතු තිගැස්සමක් නැති වුනත්, නුහුරු ශබ්දයකට එල්සගෙ කණ යොමුවුනා.

හතර පැත්තෙන්ම විශාල තාප්පයක් බැදපු මහල් 2 කින් යුක්ත නිවසක්. තාප්පයට පිටින් වෙනම යකඩ දැල් වලින් ද ආරක්ෂාවක් දාල. වත්ත පුරාම ඇවිදින කළු දඩයම් බල්ලො දෙන්නෙක්. දත් විලිස්සාගෙන එද්දි ජීවිතයට ආස කෙනෙක් ඒ පැත්තක්වත් බලන්නෑ.

තාරාවන්ගෙ බිත්තර උදේ පාන්දරම හිල් කරල බොන්න ආස නිසාම තාරාවන් හදන එල්සට උන්ගෙ ආරක්ෂාවත් ලැබුණෙ මේ දඩෝරියන්ගෙන්මයි.

වයස අවුරුදු 54 ක් වුනත් ඒ තරම් පෙනුමක් නොතිබුණ එල්සට ආයෙත් අර නුහුරු ශබ්දය ඇහුණ.

" ඔය විදිහට නෙමෙයි, මේ විදිහට හොදයි "
" නැහැ නැහැ මේ පාට තමා ලස්සන "

" ඔයා මම කිවුවට අහන් නැහැනෙ. මේ බලන්නකො "

" පොඩ්ඩක් පිටත් ගැවිලා මේ බලන්නකො "

" ඔයා කියන කියන විදිහට මට ඉන්න බැහැ "

" කොච්චර කළත් ඔයාම තමා "

මේවගේ එක එක දේවල් ඇහෙද්දි එල්සගෙ අතේ තිබ්බ සඟරාවත් එක්කම වෙව්ලන්න ගත්තා. ඇය පාවහන් දෙක පළදමින් දොර අරිනවදෝ නැද්ද කියන කල්පනාවෙන් ආයෙ ආයෙ සවණ් යොමු කළා.

එක එක විදිහෙ දෙබස් වලින් එක එක දිශාවලින් ඇහෙද්දි ඇයට තනියම ජීවත්වෙන එක ගැන තරහකුත් නාව කිවුවොත් බොරු.
===============================

" එල්සා.. මේ ඔයාට මගෙන් තිළිණයක්.. "
" අනේ ඒක හරිම ලස්සනයි පීටර් "

" ලස්සන වගේම ඔයත් ලස්සන වෙයි ඔය පාටින් සැරසුණහම "

" ආදරවන්තයින්ගෙ දවසෙ ආදරය අමතක නොවෙන්නම ජීවිතකාලෙ පුරාම මම මේක තියාගන්නවා "

" ඕක පාවිච්චි කරද්දි ඉවර වෙනව ලමයො "

" මම මේක ආදරෙන් මට පේන ඉසව්වකම තියාගන්නවා. පරිස්සමට "

" මැරුණත් මම ඔයාගෙ ආදරවන්තයා තමයි ඉතින් "

" අයි ලව් යු සෝ මච් පීටර් "
===============================

එක පාරටම ඤාව් කියාගෙන ළඟ සිටිය බූල් පූස් තඩියා සාලයෙ තිබ්බ කණ්ණඩි මේසයට පැන්නා.

ඒ එක්කම එතන තිබුණ ලිප්ස්ටික් එක බිමට වැටිල පිපිරුවා. 

ඒ සද්දෙත් එක්කම එතනට දිවුව එල්සට තමන්ගෙ ප්‍රතිබිම්බය පෙනුනා.

ලිප්ස්ටික් කූර දිලිසි දිලිසි පෙරලෙනවා පෙනුනා.

එතකොටම තමන් තවමත් අවිවාහකව බව එල්සට මතක් වුනෙත්, හරියටම පීටර් මෙලොව හැර ගිහින් හත්වසර ගෙවෙන්නෙත් ඒ රාත්රි්ය පහන් වන දිනටමයි.

මෙච්චරවෙලා අර දෙබස් ඇහුණෙ තමන්ගෙන්ම ඇතුලතින් බව දැනෙද්දි එල්සා පපුවට අත තියාගෙන එතනම බිම ඉදගත්තා.

--------------නිමි----------------

දුවට මවක මිස වෙන කවුරුද

සළු ලිහී නිරුවතින් රුක් ගොමුත් සිටියාට
හිම පොකුරු දෑත පා ලැජ්ජාව වැහුවාට
වටපිටේ සැරිසරන දූවිලුත් හූ සද්ද දැම්මාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම


අහස කැහැපොට ගහන් වැනි වැනී රැවුවාට
සුළඟ හකුලන් නහය වලාකුළු උදුරන් දිවුවාට
පොළව රිදවුම්, ඉඳිමුම්, පැළුම් සඟවගෙන සිටියාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම


ඇන ඇනම රිද්දනා වෙරළකට වාරකන් තිබුණාට
පැන පැනම නටන රැල්ලක උස් හඬක් ඇසුණාට
සිප්පි, පොඩි බෙල්ලො, මින්රැලක් කරතියන් ආවාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම

වසන්තය ඒ තමයි විසිල් පාරක් අතීතයෙ තිබ්බාට
අනන්තය පෙනෙන පපු කුහරෙ ඇරඹුමක් නොදැක්කට
බමන්නට බඹරුනුත් සමනල්ලු පරදවා ගී සිංදු කියුවාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම

වන්දනා නඩ පිටින් සංචාර පක්ෂියො එහෙ මෙහෙට පැන්නාට
සංසාර වංගුවේ තනි අතින් අතිපුඩිය ගසන්නට නොගියාට
විනය කර්මය බලන්නට සනුහරේ අලුයමම ඉණිවැටත් පැන්නාට
ලප පිරුණු සඳවතක පිරිමදියි තටු ලිහිණි අම්මා තවම
2017/10/28


Monday, October 23, 2017

මුහුදු දෙයියො මා ගත්තා

අම්බා කවි කිය කියා
අම්මේ මාදැල ඇදෙයි
හද්දා වැහි නොවැස්සාට
හිත පාරන තැන් පෙනේවි

තැනින් තැනට වෙට්ටු දමා
මාළු මාරුවෙන්න බලයි
හයියෙන් ඇදපන් කිය කිය
මුදලාලිගෙ හඩ ප්‍රබලයි

සුලං කෝඩ කැරකීලා
ගොඩබිමකට අඩගසනවා
පල්ලියෙ විහිදෙන එළියෙන්
පපුවෙ නිතර කුරුසෙ ඇදෙයි

පොලවෙ වැතිරිලා සැගවීගත්
මඩුවෙක් කකුලට හැපුවට
හූ තිය තිය බෑ අඩන්න
අම්මේ උඹ ළඟ නෑ පෙනෙන්න

මුහුදු යනව‍ දැල් අදිනව
පාන් කකා වතුර බිබී
බීඩි කොටේ දුම් කැරැල්ල
හදවත් දුක කොටුකරන්නෙ

පපුවෙ මැද්දෙ උඹෙ එල්ලෙන
ඔය ලස්සන කුරුස කණුව
අම්මේ සිඹ සිඹ නිදිනැතිවම
වැල්ලේ උඹ කවි ලිවුවද

නෙතට උළෙලවල් අම්මේ
මේ සාගර වටපිටාව
හිතට අවුල වැඩි වැඩියෙන්
මාළු හිඟය නැති වරුවට

ජෙරුසෙලමට යන පාරේ
වෙහෙස නිවාගන්න අපිත්
කල්වාරිය කඳු මඳුනත
සිප එන සුළඟට බාරයි

ඉකිය වසා ගනිම් අම්මෙ
මුකාරි ගී හඬ නොනගන්
කරඳිය සුළඟට කැරකී
මුහුදු දෙයියො මා ගත්තා.

Saturday, October 21, 2017



"විස්ඩම් " කෙටි කතාව.

=======================


"කෝ කෝ පරක්කුයි හාමිනේ "

" ආහ් මේ එනවා පොඩ්ඩක් ඉන්න "
" පොඩ්ඩක් ඉන්න කිය කියා දැන් කොච්චරද "
" මොකද අනේ හඳිස්සිය "
" හඳිස්සි කියන්නෙ කට්ටිය ගියහමද අපි යන්නෙ "
" සාදය ඉවරවෙන්නෙ රෑටනෙ "
" ඉතින් "
" ඉතින් ගාන්නෙ හැමෝම රෑ වෙනකම් ඉන්නවද ? "

" ආහ් මට තේරුණා.. මෙයාට අලුත් වංසක්කාරියො ටිකක් මඟ ඇරෙයි කියල. මතක කියාගන්නව මං නොකිවුවයි කියන්න එපා. ඔය එක එක සුනඛිගාව කූන් කූන් ගාල මට අහුවෙන්න එපා ...'
" හරි හරි මං කීන් කීන් ගාන්නම්කො. දැන්වත් යමුද ? '

' මේ බලන්න මගෙ වලිගෙ අග මල හරියට ගැටගැහිල නැහැනෙ '
" ඔය වලිගෙ මලක් ගැටගැහුවට කවුරු බලන්නද ? වංසක්කාර සුනඛයොද ? "

" හපොයි මෙයාගෙ කට. යං ඩාලින් "

------------------------------------------------------------
වෙල්කම් සාදය නිව් ස්ට්‍රීට් ඇවනිව් එකේ හතරවෙනි ශාලාවෙ තිබුණෙ. පරම්පරාවට එකතුවෙච්ච අලුත් සාමාජිකයන්ගේ ඡායාරුප මුද්‍රණය කරල බැනර් දෙපස එල්ලලා තිබුණ නිසා අලුත් ස්වරූපයක් ගත්තා.

මම හෙන්රි ද විස්ඩම්. මගෙ පරම්පරාව තමයි ද එලෝන් පටුමගෙ භාරකාරයො. මගෙ බිරිඳ තමයි මිසිස් විස්ඩම්. අපට තවම දරුවො නැහැ. බිරිඳව කරකාර බැන්දෙ දැනට මාස අටකට කලින්. අපේ වර්ගය බුල් ඩෝග්. ඒත් ඒක මිශ්‍ර වෙච්ච දෙයක් තමා මගෙ බිරිඳට තියෙන්නෙ.

" කෝ කොහෙද ඉන්නෙ "

අල්ලපු මේසෙ හිතවතාගෙ තට්ටු කිරිල්ලෙන් මං ගැස්සුනා

" චියර් පාරක් දානවද "

ෂැම්පේන් වීදුරුව අතේ තියාගෙන ටයි එක අතින් හද හදා ඔහු කිවුවෙ.

මිසිස් විස්ඩම් මගෙ ඉදිරිපස පුටුවෙ. ඇය මස් අඩු කට්ටක් නියපොතු පරිස්සම්කරගෙන සූප්පු කර කර ඉන්නවා. ඊයෙ නේල් පොලිෂ් එකට ගිහින් රෑ ගෙදර වැඩත් නොකර ඉදිය හැටි මට මතක් වුනා.

" හාමිනේ.... ඔයත් ගන්නකො ෂැම්‍පේන් ග්ලාස් එක. "
කණේ කරාබුව වටේට හෙල්ලෙන්න ඔලුව උස්සල බලන ගමන්

" වේට් ඩාලින් "

" ඕකේ ඕකේ "

" සෝ සෝ මිස්ටර් විස්ඩම්... කොහොමද තොරතුරු "

ආයෙමත් අල්ලපු පුටුවෙ කෙනා

" නතින් ඉස්පෙෂල්. "

" නැද්ද අලුත් ආරංචි එහෙම "

එහෙම අහද්දි කට කණ දක්වා ගිය බව මම දැක්කා. ඒ නොකිය අහන්නෙ අපිට තාම දරුවො නැද්ද කියල. මගෙ වයිෆ් හයික්ලාස් ෆැමිලි එකක බව හැමෝම දන්නව. ඒ වංසක්කාර අහංකාරකම ඇගේ බාහිරිනුත් පේනවා. පේනව විතරක් නෙමෙයි පෙන්වනවා.

" අයෑම් රෙඩි ඩාලින් "

" එහෙනම් හැමෝටම චියර්ස්...."

" චියර්ස් ..චියර්ස්.. "

කිය කියා අහල පහල අය එක්කත් ශබ්ද නැගෙන්න ග්ලාස් හප්පගත්ත.

ඔය අතර හාමිනේ යට ඇසින් මං දිහා බැලුව ෂැම්පේන් උගුරක් තොලගාන්න හදන අතර. මට තේරුණා මොකක් හරි නුහුරක් බව

" වයි ඩාලින් "

" අනේ ඩාලින් මගෙ වලිගයෙ මල් පොකුර නොට් ෂුවර් වගේ "

" ආහ් ඒකද ? "

වයිෆ් එහෙම කියද්දි අල්ලපු මේසෙ කෙනාගෙ බිරිඳත් සමච්චලයට කට කොනින් හිනා වුනා

දැන් දැන් පරමාණු මිසයිල එක තැන හැප්පිලා පිපිරෙන්න යන බව මට පුරුදු ඉවට තේරුණා. ඒත් එක පාරටම

" මිස්ටර් විස්ඩම් කම් විත් අස් එන්ජෝයි "

ආයෙමත් අල්ලපු තැන කෙනාගෙ කටහඩ

එහෙට පනිනවද මෙහෙට පනිනවද හිතාගන්න බැහැ මට.

ගෑණිගෙ පස්සෙන් ගියොත් මගෙ පරම්පරාවම බිංදුවට දැම්ම කියල සාදය පුරා විතරක් නෙමෙයි සාදය ඉවරවෙලත් මාස ගානක් රැව් පිළිරැව් දෙයි.

එහෙම නොගියොත් සාදය කියල නොබල මගෙ ප්‍රිය බිරින්දෑ ගොරවගෙන මගෙ ඇගට පනින බවත් ඇත්ත.
ඔය අතර ;

" ගෑණියෙක් හදාගන්න ඕනි තමන්ට ඕනි විදිහට "

" ගෑණිට බයවෙලා ඉන්නෙ පොන්නයො "

" හරියට ගෑණි කන්න බොන්න අදින්න දෙනව වගේ "

" වංසෙ කබල්ගාන්න ගියහම ඔහොම තමයි "

" අපේ ගමේ එකියක් ඉදියෙම නැහැනෙ "

" දැන් ඉතින් ගලේ රීපු බළල වගේ තමයි "

එකපාරටම සීතල දෙයක් මුහුණට වදිනව වගේ දැනෙද්දි මං හයියෙන් බුහ් බුහ් ගාගෙන පුටුවෙනුත් නැගිට්ටුනා. බලද්දි අල්ලපු මේසෙ කෙනා අයිස් වතුර ටිකක් ඉහල. මගෙ ඇගේ ලේ රත්වුනේ මගෙ ගැණි අතේ තිබ්බ එකෙන් දමල ගැහුව කියල .

-------------------------------------------------------------

සංගීත සාදයට එක එක වර්ගයෙ සුනඛ රංචු රංචු නටන්න ගත්තා. අලුතින් සාමාජික වෙච්ච නාඹර සුනඛියක් මා වටා කැරකෙනවා කියල මට දැනුනා. ඒත් මගෙ ඇස් හෙව්වෙ බිරින්දෑ කොහෙද කියල. ඇය තාලෙට හිස පද්දමින් නර්තනයක.

මමත් හෙමින් හෙමින් ඉව අල්ල අල්ල කිට්ටු කලා. ඇයත් හීන් කෙඳිරියක් නගමින් නැට්ට වන වනා බිම හෑරුවා.

මම ආයෙමත් මගෙ බිරිඳ දිහා බැලුවා. ඇස දෑසද අඬවන්ව නර්තනයට සමවැඳිලා

කසාදයක් බැන්දට මගෙ පිරිමි හිත පත්තුවෙලා රත්වෙලා නලියන්න ගත්තා. හැමදාම එකම හොඳි කනව වගේ මට මාස ගානක ඉදන් වෙන රහ ලැබුණෙම නැහැ. ඉස්සර නම් රැලේ රජා වගේ හැම එකියක්ගෙම දුක සැප බැලුවා. හිතේ ඇතිවුන නොහිතපු සොවත් එක්ක මම නාඹුර සුනඛිට වල්ගෙන් තට්ටුවක් දැම්මා

" අනේ මෙයා "

කියල ඒකි ඇඹරෙන්න ගත්තා.

මෙච්චර වෙලා මට පැණි හල හල ඉඳල දැන් ඒකි බබාවෙන්න හදනවද ? ඒ සිතුවිල්ලෙන්ම ආයෙත් මිසිස් විස්ඩම් දිහා බැලුනා. ඇය නර්තනයට දැහැන්ගතවෙලා. පිරිමි පෞරුෂය හිතට අරගෙන මම අර සුනඛි වටේ හිනාවෙවි කැරකුණා.

මේකි නැට්ට මගෙ මූණෙ උලාගෙන ටිකක් එහාට ගියා.

"යකූ අලුත් බඩුවල ගණන් " කියල නොසංඩාල මගෙ හිතට නාව කියන්න බැහැ.

මේකිගෙ කැරකිල්ලට රහ බලන්න හිතුණට හැමදාම රැකගත්ත මිස්ටර් විස්ඩම් පරම්පරා අභිමානය මගෙ හිතට ආව. ඒ ක්ෂණයෙන් මං බිරිඳ ඉන්න තැනට ගිහින් ඇයත් එක්ක නර්තනයට එකතු වුනා.
-------------------------------------------------------

විනාඩි දහයක් පහලොවක් ඔහොම යද්දි සංගීත කණ්ඩායමේ සද්දය පරයා ඝෝෂාවක හඩක් ඇහෙන්න ගත්තා. බිරිඳයි මායි එකපාරට ඒ සද්ද එන පැත්ත බලද්දි

සාදයට ඇවිත් හිටපු ගැහැණු ටිකක් අර සුනඛිට වටකරගෙන ගහනවා. මම මොනවත්ම සිද්ද නොවන වගේ

" මොකක් හරි කලබලයක් වගේ නේද ස්විටි " කියල බිරිඳගෙ අත අල්ල ගත්තා

" ගෑණු කෙහෙවලු පටලවගෙන මචං " අල්ලපු මේසෙ ඉඳපු එකා මගෙ පිටට තට්ටුවක් දැම්මා.

ඒ තට්ටුවට මම ඒ පැත්ත බලද්දි

අර ගෑණුන්ගෙන් ගුටි වරුසාවට මැදිවෙලා හිටිය සුනඛි දුවගෙන ඇවිත් මගෙ බෙල්ල බදාගෙන

" මයි ස්විට් හාර්ට් මාව බේරගන්නකො "

කියල එල්ලුනා
මිසිස් විස්ඩම් ඇස් ලොකු කරගෙන දත් විරිත්තාගෙන වල්ගෙ පුප්පගෙන මගෙ ඇඟට පනිනව විතරයි මට මතක.

-----------------------නිමි ---------------------

#දිනිති 2017/10/20

Friday, October 13, 2017

ඇරඹුම - අවසන



අතපය කකුල් එක විලසට කෙඳිරිල්ල ඇසේ
අසරණ සිතින් නෙත් යුග අද නැටුමකම විසේ
යන එන සුළං ඇයි මොකදැයි දැන් රංචු ගැසේ
පද ලිය ලියා ගිය ලියකගෙ හද දොරටු වැසේ


සඳරැස් බොන්න ආ තරුවැල් මුකුළු කතා
ආගිය කතා කී තුරුලිය නින්ද පතා
කවුළුව අසල තනිකම කෙහෙරැළිත් ගොතා
තරඟෙට තනයි යුවතිය හිනැහේය සිතා


ගිලිහුණ පසුව වැහි බිංදුව සෙනෙහසක් සොයා
වැරදුණ තැනක් ගැන නොබලයි යළි දෙනෙත් අයා
පැරදුන පසුව හදබිත නොපතයි කිසිම දයා
ඇරඹුණ තැනම ඇත මලකට අවසනත් ලියා





#දිනිති 2017/ 10/ 13

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...