ඉතින් සොඳුර ,
ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න,
ඔබ ගිය තැන සිට
මා දරාගත්තේ කෙසේ දැයි
නොඅසන්න
ආදරයක අකුරු අතරට වැඩි යමක්
ඔබේ ඇසුරෙහි මා විඳි බව දැනගන්න
විටින් විට හැමූ සුළං කැරලි මැදදී
ඔබ අතනෑරිය බව මම අදද දනිමි.
අසංවර මල් පෙති බිමට වැටී
ඔබ අසල දැවටුණයුරු මා දුටිමි
අදද ඔබ හා ගැවසී සුවඳ තවරන්නට
වෙර දරන බවද දනිමි.
සොඳුර ,
ආදරයේදී මා ඔබ අතික්‍රමණය කර හමාරය
දිනුමක්ද පැරදුමක්ද අදාල නැතිබව පවසමි
අහස වැහි බිංදු අත්හරින්නා සේ ඔබ මා
ඉවතහළ බව දැනුදු දන්නෙමි.
ප්‍රේමයේ වියෝවෙහි චමත්කාරය කැටිකර
මේ දැන්ද මම ඔබට ලියන්නෙමි.
ඔබ ගැවසුණු දැවටුණු සියල්ලකම
දැවිල්ලක් රිඳුමක් නැත්තා නොවේ.
එහෙත් අතීතයේ සේම මම හුස්ම ගන්නේ
ඔබේ ඇස්වල උතුරාගිය ස්නේහය නිසාමය.
සොඳුර ,
ආ ගමන කෙසේදැයි නොඅසනු
අප වෙන්ව ගිය තැන සිට
පරිච්ඡේද ගැණිය නොහැකි තරමටය.
ඒත් ,
වසන්තය ඔබේ දෑත මැද බව මම තවත්
විශ්වාස කරමි.
යන එන මඟකදී හමුවෙතැයි සිතමි.
එතෙක් මම හොඳින් බව ඔබට පවසමි.
❤❤❤❤❤❤