Thursday, May 29, 2014

ආදරේ පිරෙයි..ඔබ එන්න ප්‍රියේ



සංසාර කෙතේ අස්වැන්න වෙලා
නුඹ බලා සිටී මුදු සිනා සලා
ඉසිඹුවක් ලබා මම ඇදෙමි සොයා
පෙම් කවක් ලියා මුළු හිතම පුරා...

සෙනහසින් අරුණැලි ගලා
පුබුදුවයි හැගුමන් නුරා
නුඹේ හදවත් ආරණ්‍යයේ
ගී ගයමි ගිරවිය වෙලා...

සදා පැදකුණු කරන බෝමැඩ
වගෙම ඔය හිත නැමදලා
නෙළා දෝතට ගන්න අවසර
එන්න පෙරඹර දසුනක් වෙලා



Thursday, May 15, 2014

මා මනස අතරමං කළ " මාගම් සෝලිය "



"කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි "
කල්පනා ලෝකය
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර

ආරම්භක පිටු අතරම මෙය දැමීමෙන් කියවන්නා එය දැකීමෙන් කර්තෘ කියන දේ ගැන තර්ක කිරීමට අවස්ථාවක් පාඨකයාට අහිමි කර ඇතැයි මං සිතමි. පන්සල කේන්ද්‍රීය සාධකය කරගනිමින් පවුලක් වටා ගෙතුන මොහාන් රාජ් මඩවලගේ මාගම් සෝලිය නැමති නව කතාව මා ප්‍රශුස්ථය කර ගනිමින් විවරණයක යෙදෙන්නට හදවතට එකඟ වෙමි.

1818 දී ඉංග්‍රීසින්ගෙන් රට බේරා ගැනීම අරඹයා ඌව වෙල්ලස්ස කැරැල්ල ඇරඹිණි. ලොව දරුණුම ත්‍රස්තවාදීන්ද පරාජය කළ අප ශ්‍රිලංකා හමුදාව අද මෙන්ම එදාද අති බිහිසුණු ලේ ඟගක් මැද බැස තිර සාර අදිටනින් විමුක්තිය සොයා සටන් කළහ. වැටෙමින්ද වැඩෙමින්ද දන දන තුඩ තුඩ රැව් දෙමින් ගමක් ගමක් පාසා ඇවිලෙමින් එය විකාශනය විය. ඕනෑම අයෙකුගේ අවධානය නිතැතින්ම ඇදී යන්නට සලස්වන ඉතිහාසයයෙහි ලොම් ඩැහැ ගැන්වෙන දෙයක්ද කතාව ආරම්භයට පෙර මුල් පිටු ගොන්නට එකතු කරන්නට මොහු දක්ෂය. එම දැකීම් දිගේ ගියද අවසන හදවතෙහි ඉතුරු වන්නේ මෙලොවදී මිහිපිටදී සිදුවිය හැකිදැයි යන සිද්දිදාමයක් කරපින්නාගත් ප්‍රශ්ණාර්ථ ගොන්නකි. කාගෙත් කියවිල්ලට මාද මටම කියා පොතක් ගෙන හති දම දමා කියවා අහවර කලෙමි. මා දෙලොවක අතරමං විමි. ඒ මෙවන් ලොවක මේ දේවල් වේදෝ යන මනෝ විකාරයයි.

පුංචි රාලගේ අනාදරයට නතු වු ගෝමරී නම් බිරිඳත් තම දියණිය හා පවුල් කන සැමියාත් ගිහියෙක් වුද නමුත් පැවිද්දෙකු සතු යුතුකම්ද කරන ගනින්නාන්සේ කෙනෙකුත්ද මැණිකා, පුංචා, ටිකිරි ආදී දරුවන් සමඟින්ම පොඩිනා, ආරච්චිල, සුරඹා, සොබනී යන වෙනත් චරිතද මෙයට ඈදාගෙන ඇත. විවිධ දේ අතින් ලොව නොහිතන දේ වෙද්දී තම දියණිය සමඟ පවුල් කන පියා යන චරිතයට පුදුමයක් නොවේ යැයි යමෙක් තර්ක කළ හැක. එහෙත් එය උලුප්පා පෙන්වන විදිහට අප්පිරියා හිතේ. 

අද ලිංගිකත්වය ගැන කතා කිරීම එතරම් දෙයක් නොව. එය මෙලොව සත්වයා බිහිවිම අරඹයා එදා සිට අදත් හෙටත් ලොව පවතින තුරුත් සිදුවන්නකි. නමුත් මෙකී ක්‍රියාව ගැන ලිවීම ප්‍රමාණය ඉක්මවා ගියා යැයි මට සිතේ. ඕනෑම දේක සීමාවක් තිබිය යුතුය. එහෙත් ජුගුස්සාජනක ලෙස එකම දේ විවිධ චරිත වටා පුන පුනා ඉලිප්පීම මත පාථකයාගේ මනස දිගේ ගලා එන්නේ ඔක්කාරයකි. වල්ලී සහ ආරච්චිගේ පුතා දේවාලය තුල හැසිරෙන අවස්ථාව ලියා ඇති ආකාරයත් තව ඕනැ තරම් උදාහරණත් කතාව පුරාම ඇත. 




සම්ප්‍රදායික පන්සල යන රමුවෙන් පිට පැන ගත් පන්සලක වින්‍යසය ගෙතන මෙහි ධ්‍යාන ලබා ගත් ලොකු හාමුදුරුවන් අනාගතය දකිමින් පල්ලේගම හාමුදුරුවන්ව ගමින් පිට කර සටන් සදහා වෙහෙස වන්නට යවයි. මෙය පිලිගන්නට හැකිය. මන්ද චිරාත් කාලයක් ගමත් පන්සලත් බද්ධ වෙමින් බුදු දහමත් සිංහල ජනයාත් රකිනු ලැබුවේ ගමේ විහාරස්ථානයේ හිමි නම විසිනි. මෙකී හිමි නමද තම යුතුකම් ඉටුකලා යැයි මට සිතේ. එමෙන්ම උන්වහන්සේ නිවුණු මිනිස් දහමින් පරිපූර්ණ චරිතයකි. ලොකු හිමි ගැන කතාව තුලදි කිසිම අකැමත්තක් ඇති නොවේ. උන්වහන්සේ විය යුතු දේ වෙන්නට ඉඩ හසර තනා දී ඇස් පියාගත්තා යැයි මට සිතේ. නමුත් එතැන් පටන් පන්සල බාරගන්නා සුදු බණ්ඩා එසේත් නොමැති නම් ඇබිත්ත උන්නාස්සේගේ ක්‍රියා කලාපය කෙසේවත් පිළිගන්නට බැරිය. එම චරිතය මවද්දි මෙකී කතුවරයා පැටලිලා ගියාදෝයි මට නොසිතෙනවා නොවේයි. එහෙත් අපට පිළිගන්නට බැරි අධි තාත්වික ලොවක් කරා අප රැගෙන යන්නට වෙහෙසෙන කතුවරයා පාථකයා අතට දෙන්නේ උක් දණ්ඩකි. එය සපන වාරයක් පාසා පැණි රස අඩුවෙනවා සේ මෙයද කියවා යද්දී රසද්දීපනය හීන වී යයි.

මෙලොවෙහි වටිනාම දියරය මව් කිරිය. එයද කිසිදා දරුවෙක් නොවඳපු එහෙත් දරුවන් වඳන්නට උදවු දුන් පොඩිනා නැමැති ගැහැණියට අසීමිතව උරුම වේ. ලොව මවිත කරන රහස් බෙහෙත් තනමින් ඇය මුදල් උපයා ගන්නවා පමණක් නොව බිංදු තනිකරම ජිවත්වන්නේ මව් කිරෙන් පමණි. වෙන යම් අහරක් කිසි විටක ඔහුට නොදෙයි. ඔහුගේ පුරුෂ ලිංගය ස්වාභාවිකත්වය පරයා යමින් විහිළුවක් තරමට පත්වී ඇත. එහි හොඳම සිනා යන තැන නම් පොඩිනා පසුව රහස් බෙහෙතක් තනා පිරිමින්ට එම බෙහෙත අලෙවි කිරිමයි. අද සමාජයේද මෙවැනි චරිත ඇත. තම ලිංගේන්ද්‍රිය ගැන සෑහිමකට පත් නොවු කළ විවිධ වෙද හෙදකම් කරමින් ඒ ගැන සෑහීමකට පත්වෙන්නට වෙර දරණ අවස්ථා නැතුවා නෙවෙයි. වාජීකරණ බෙහෙත් ගැන අදද පුවත්පත් වල ඕනෑ තරම් දැන්වීම් ඇත. එහෙත් මෙතන සිදුවන විහිළුව නම් මෙය මව්කිරෙන් තැනීමය. දොවන්න දොවන්න උණන කිසිදා නොසිදෙන මව්කිරි හරියට මැජික් ඇල්ලක් වැනිය. එක දිගටම කඩා වැටේ. කළයක් දෙකක් නොව ඇතිවෙනතුරු දොවා තැබිය හැක. මේ තරම් දුරට පාඨකයා නූල් බෝලයක මෙන් පටලවා අතරමං කලේ මන්දැයි මට සිතා ගන්නට බැරිය.
එහෙත් මේ සියල්ලන්ගේම ප්‍රධාන අරමුණ මාකටින් විය හැක. අද හොදට විකුණන්නට පුලුවන් දේ ලිංගිත්වය වු නිසා මොහු එය විකිණිමට යොදා ගත්තාදැයි සැක සිතේ. ඕනෑම දෙයක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඔසවා තබන්නට ගිය විට එම පුද්ගලයා අසාර්ථක වේ. මොහාන් රාජ් මඩවල නැමැති මේ කතුවරයාද නොගැලපෙන ලෙස ලිංගිකත්වය කරපින්නාගෙන උස්සා තබන්නට යෑමෙන් ඔහු අච්චාරුවක් කර ගත්තා දැයි මට සිතේ.

යථාර්තය ඉක්මවා ගිය රීතියක් ඔස්සේ යමින් මෙය රචනා කරමින් එදා වෙල්ලස්සේ අහිංසක ගැමියන් ගැන වැරදි රූපයක් සමාජය ඉදිරියේ මවා පෙන්වීම දුක්ඛදායක කරුණකි. අනික් දෙය නම් කතාව ආරම්භ වීමට පෙර 1818 කැරැල්ල ගැන කියන තරම් කිසිවක් කතාව තුල නැත. අවසාන හරියේදි යන්තම් කතාවට එය ඔබා ඇත. අසාර්ථක ෆැන්ටසියක සිට විකෘති, සමාජ විරෝධී, පාඨක මනස නිවී සැනසී සන්තෘෂ්ඨියක් ලබනවා වෙනුවට අප්‍රිය වී අප්‍රසාදය වැපිරී කියවු අපරාධය යැයි යන හැගීම ඉපදීම දුකට කරුණකි.

ප්‍රාථමික ලිංගික අරගලයක් ගෙනයමින් අභුත විකාරයක් තුල හිරවූ කර්තෘ තුමා ඔහුගේ ප්‍රථම නවකතාව හොඳම හොඳ මාකටින් න්‍යායක් බව පමණක් සඳහන් කළ යුතුය. එය පොත මුද්‍රණය කළ දින සිට අද වන තුරු ඔහු දක්ෂ ලෙස හසුරුවා ගෙන යන්නට මෙහි ගැබ් කර ඇති දේ මනා ලෙස පිටිවහල් වී ඇත. පාඨකයා සර්ව බලධාරියා කියමින් ඔහු ඇරඹුමේම අත පිස දමා ගන්නේ එබැවිනි.


Tuesday, May 6, 2014

හිතන්න...ඔබට බාරයි.

ජීවිතය කියන්නෙ නවාතැනක්..සංසාරෙ කියන්නෙ ගමනක්.. මේ ගමන යනවිට අපි විවිධ විෂම විපර්යාසයන් මැද ඉපදීම, ඇවිදීම, මිය යෑම ආයෙමත් ඉපදීම ලෙස නානප්‍රකාර ලෙස යන්නෙමු. කොහේ හෝ සංධිස්ථානයක ගැලපුමක් ලෙස මේ මනුසත් ලොව උපත ලබා ඇත. එහි ඇරඹුමේ සිට අවසන දක්වා වැඩෙමින්ද, වැටෙමින්ද අප යන්නෙමු. හමුවෙන, ලැබෙන,දැනෙන, වැරදෙන, හරියන මේ කෝකත් හිමි අහිමි කම යැයි බොහෝ දෙනා කියන ඇත. එහෙත් හිමි අහිමි කමටද හඬක් නඟන්නට අයිතියක් ඇද්දැයි දැන් මට සිතෙන වාර අනන්තය. එය ඔබටත් එසේම යැයි මා සිතමි.


මා මේ කියන්න යන්නේ සොඳුරු සෞන්දර්යාත්මක පැතිකඩක් නොව. අඳුරු දුක්බර යථාර්ථයක කැඩපතකි. මා උදාහරණයට මා ගනිමි. මගේ අම්මා කෙසේ හෝ මාසෙ මුලදීම පාසැල් යෑම සඳහා මට මාසික වාර ප්‍රවේශ පත්‍රය ( සීසන් එක ) අරන් දෙමි. එය නොපිරිහෙලා පුරා වසර 12 ක් ඈ අතින් සිදු විය. ඉඳින් කුසට අහරක් වැටුණද නොවැටුණද මගේ පාසැල් ගමන ස්ථිරය. අසනීපයක් නැහැදුනා නම් එය අනිවාර්යය. අපේ භාෂාවෙන් කිවුවොත් බුදු ෂුවර්ය. පයට සපත්තු දෙකක් සෙරෙප්පු දෙකක් තිබුණා නැතා දෙවියනේ කියා අපේ පාසැලේ ගේට්ටුව අපිට විවෘතය. උදෑසන රැස්වීමේදි අනන්තවත් මහ පොළව මහපට ඇඟිල්ලෙන් හාර හාරා උන්නු අවස්ථා අපමණය. එය ආපසු හැරි බලද්දී සිනහ යන්නේය. නිදහස් අධ්‍යාපනයේ පියාට පින්සිදු වන්නට අච්චු පොත් ටික නිළ ඇඳුම ලැබෙද්දී අකුරු කරන සිහිනය අපට සිහිනයක් නොවුණි. හැක වෙර යොදා දුප්පත් මව් පියන් වෙහෙස ගත්තේ තමන් නොදැකපු ලෝකයට තම දරුවන් ඔසවා තබන්නටය. ඒවා සාර්ථක විය. ඒ අහිංසක දුප්පත් අම්මලා තාත්තලා සිනහ විය. සතුටු විය. ඒ ඔවුන්ගේ දරුවන් සිප් කිරි බී නැණැති දනන් වී සමාජගත වන හන්දා.



එහෙත් අද අපේ රටේ නිදහස් අධ්‍යපනයක් ඇද්දැයි මට සිතේ. එය හුදෙක් ව්‍යාපාරයක් බව නොකියාම බැරිය. ජනාකීර්ණ කොළඹ සහ නගර අපි අපමතක කරමු. එහෙත් ඈත දුර හම්බන්තොට වැනි ප්‍රදේශයක දුප්පත් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තම දරුවාට අකුරු ඉගැන්වීම අද සිහිනයක් වී හමාරය. මෙවැනි තත්වයක සිට එම දෙමාපියන්ගේ දරුවන් සමාජයට එද්දී මොනතරම් විපර්යාසයන් අනාගතයේදී වේදැයි මට සැක සිතේ.



මේ හොඳම සත්‍ය සිද්දියකි. දරුවා තුන්වන වසරේ ඉගෙනුම ලබයි. ඔහුට තිබෙන එකම සපත්තු දෙක දැන් දාන්නට බැරිය. ඒ පුංචි කකුල් තරමක් දික් වී ඇති නිසා. අම්මාට සපත්තු දෙකක් අරන් දෙන්නට බැරිය. හරියට කන්න නැතිව ඉන්න හිටින තැනත් මහ වැස්සට ගංගාවක් සේ වතුර පිරෙද්දී අර අම්මාට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්නට හැකියාවක් නැත. " අනේ අම්මෙ බනින්න එපා. මට මේ සපත්තු දෙක දාගෙන යන්න බැහැ. මේ මගෙ චුටි ඇඟිල්ල බලන්න. රිදෙනව." දරුවා දිය පට්ට ඇවිති ඇති කකුළ් දෙකම තම මවට පවසමින් පවසා ඇත. එහෙනම් පුතා හෙට සෙරෙප්පු දෙක දාගෙන යන්න කියා අම්මා පවසා ඇත. පහුවදා සෙරෙප්පු දෙක දාගෙන ගිය පුතුට පන්තියේ ගුරුවරිය සෙරෙප්පු දාගෙන එන්නට එපා කියා ඇත. පසු දිනත් දරුවා එසේ ගිය විට අම්මාට එන්න කියා ඇත පාසැලෙන්.. අම්මා කාරණය දන්නේය. එහෙත් ඇයට කරන්න දෙයක් නැත. අවසන ඇය දරුවාට පවසා ඇත්තෙ පුතේ ඔය සපත්තු දෙක අමාරු වුනත් දාගෙන යන්න. මයෙ පුතා පන්තියෙදි සපත්තු දෙක ගලවගෙන ඉන්න. මිස්ට කියන්න අම්මට සපත්තු දෙකක් අරන් දෙන්න විදිහක් නැහැ කියල. මෙහෙම මේ සිද්දිය වෙද්දි අහම්බෙන් මා ඒ මවට දුරකථනයෙන් කතා කලෙමි. ඒ මා ඇයට කාලයක් තිස්සේ උදව් උපකාර කරන බැවිනි. සිද්ධිය පැවසූ විට අවශ්‍ය සපත්තු දෙක මිළදී ගැනීමට මා මුදල් යොමු කලෙමි.



ඉන්පසු නැවත සතියකින් පසු මම එම මවට කතා කළෙමි. ඒ දරුවා දැන් සතුටෙන් පසැල් යනවද කියා අසන්නටය. අනේ අද දරුව පාසැල් ගියෙ නැහැ. ඒ මොකද කියා මා ඇසු විට ඉස්කෝලෙන් රුපියල් දෙසීයක් ගෙනෙන්න කියල. මේ වහිනව මෙහෙ හොදටම. දරුවව මම වෙන ගෙදරකට පිටත් කරල යවල තෙමෙන ගේ ඇතුලෙ මං ඉන්නෙ. ඊයෙ රැ ඉදන් උයාගෙන කෑවෙ නැහැ. උයන්න දේකුත් නැහැ. මුළු ගේම ගංවතුර වගේ..මැටි බිත්තිය දැන් වැටෙයි කියන බයකින් ඉන්නෙ. ඈ පැවසුවේ මෙයට සමාන වඳන්ය. ඉකි ගස ගසා හූ කිය තියා ඇයි මටම මෙහෙම වෙන්නෙ කිය කියා ඈ පැවසූ දේ අසා සිටින්නට මගෙ හදවත වාරු නැහැ. එහෙත් මා ඇයට කිවුවෙ අඩන්න එපා. ජිවත්වෙන්න තියෙන හයිය දියවෙලා යනව. කොහොම හරි ජිවිතේට මුහුණ දෙන්න කියාය.



ඉතින් මම අසන්නේ මෙයයි...



සපත්තු දෙක දාන්න බැහැ දරුවගෙ කකුළ ලොකු නිසා දිය පට්ට එනව. සෙරෙප්පු දෙක දාල යැවුවම දරුවගෙ අම්මව ඉස්කෝලෙට ගෙන්වනව. ප්‍රින්සිපල් ලගට දරුවව ගෙන්නල තරවටු කරවනව. ඊලග දවසෙ දරුව බැනුම් අහන්න බැරි නිසා ඉස්කෝලෙ යන්න බැහැ කියනව.



ඊට පස්සෙ හැමදාම රුපියල් පනහයි, විස්සයි , සීයයි, දෙසීයයි අරක මේක. සතියෙ දවස් පහට මොනව හරි පස් දෙයක් තියෙනව. . ඉන්න ගේ දණක් වතුර පිරෙද්දි දරුවගෙ ඉස්කෝලෙන් රුපියල් දෙසියක් ඉල්ලද්දි ඒ අම්මගෙ තත්වය කොහොම ඇද්ද...



ඇයි අද දරුවෙක්ට නිදහස් අධ්‍යපනය ලබාගන්න අවස්ථාවක් නැත්තෙ... මෙහෙම බිස්නස් මට්ටමට අධ්‍යාපනය වැටුනෙ ඇයි...හැමදේම යමක් කමක් තියෙන මිනිස්සුන්ට විතරමද.. ලෝකෙට කෑගසා කියන ආශ්චර්යය මෙයමද.. ලෝක තරුණ සමුළුව හම්බන්තොට පවත්වද්දි හම්බන්තොටම අනාගතයෙ තරුණයෙක් වෙන්න ඉන්න දරුවෙක්ට උරුමය වී තියෙන්නෙ මේකද...? හිතන්න ඔබට බාරයි. 

Thursday, April 24, 2014

" ඔබ මේඝයක් "



කිසි දිනක සිත් අහසෙ නොරැදුන

ඝණ සළුවෙ කළු පැහැය පැතිරුණ

ඔබ මේඝයක්....මේඝයක්

චණ්ඩ ගෙරවුම් අකුණු සැරයෙන්

හිත් අහස ඉරිතලා දෙපසට කෙරූ

එක තැනක නොරැදුණ

ඔබ මේඝයක්....මේඝයක්...



විසිරිලා සී සී කඩව යන්නට  සැදූ

පැරදිලා හඬන පොළවටම කඳුලෙන් ගැසූ

ජීවිතේ හුස්මටත් ඉරෙහිව බිය ගෙනා

ඔබ මේඝයක්....මේඝයක්..

ඝණ සළුවෙ කළු පැහැය ඇතිරුව

ඔබ මේඝයක්...මේඝයක්..



කැඩී අතපය රිදෙන මල් පෙත්තේ

විලාපය කිසි දිනක නොඅසා

කැඩූ කූඩුවෙ නටබුන්ද උදුරලා ගත්තේ

විනාසයෙ හැඩ වැඩ බල බලා
සිනාසුණු ඔබ මේඝයක්...මේඝයක්...මේඝයක්... 

Tuesday, April 22, 2014

අතීතයේ සුවඳ සොයා

ඇල් මැරුණ කවි හිත ළගින් මං අතීතයට ඇස් හරෝනව. හරියටම මගෙ උපන් දිනයක් දවසක මං නාරාහේන්පිට පොලිස් රෝහලේ හෙඳ සිසුවියක් විදිහට හා හා පුරා කියල පුහුණුවට ගිය දවස. එදා අපෙ අයියා ( මගෙ නැන්දගෙ පුතා ) මාව එක්කගෙන ගිය හැටි අදත් මතක් වෙනව. මම මුලින්ම රෝගීන් එක්ක ගැවසෙන්න පටන් ගත්තෙ පොලිස් රෝහලේදි. ඒ භයානක යුද්ධය ඇවිලෙන කාලෙ. කොයි වෙලේ බ්ලාස්ට් එකක් වෙලා ඇම්බියුලන්ස් එයිද කියල කවුරුත් හරිම සෝදියෙන් ඉන්නෙ.


එහෙට පැද්දි පැද්දි මෙහෙට පැද්දි පැද්දි රෝහලේ ගේට්ටුව ගාවින් යන දුම්රිය වෙලාවකට මහම මහ කරදරයක්. ගේට්ටුව ගාවම තිබුණ ඉන්ජෙක්ෂන් රූම් එක මගේ පලමු පුහුණු ස්ථානය වුනා. කොයි අත බැලුවත් කටු කටු කටු විතරයි. ලේ ගන්නව බෙහෙත් විදිනව මගේ හිත ගැස්සෙනව ඒ හැම පාරකම. ඇයි ඉතින් අපි පන්ති කාමරයෙදි පුහුණුවට කලේ එක එක්කෙනාට B12 එකක් විදල අතට ඉන්ජෙක්ෂන් කට්ට ගත්ත විතරයි.


එදා ඒ ඉන්ජෙක්ෂන් කාමරේ හිටිය ආදරණියම හෙඳිය තමයි නන්දනි මිස්. ඒක බාරව හිටියෙ කුලතුංග සර්. සහායට හිටියෙ වාසනා මිස්. ඊලග කෙනා තමා අලුතෙන්ම ගිය පුංචි මං. ලොකු සද්දන්ත ඇගවල් තියෙන පොලිසියෙ අයත් ඇවිත් එන්නත් විදින්න ඉදගන්න පුටුවෙ ඉදගත්තම මුහුණවල් හැකිලෙනව. පුංචි තිගැස්මක් එනව. ඒව මං දැක්කා. මට මුලින්ම කිවුවෙ පුලුන් බෝල කරල තියන්න කියල. ඊට පස්සෙ ඒ අය කරන දිහා බලා ඉන්න කිවුව. එදා දවසම මගෙ රාජකාරිය වුනේ ඒ දේ තමා.


පස්සෙ දවස් දෙකකින් විතර බෙහෙත් ජාති ගැන කියල දිල ඔන්න මටත් එන්නත් කටුව අල්ලන්නෙ මෙහෙමයි ඒකට බෙහෙත් දාන්නෙ මෙහෙමයි කියල කියල දුන්නා. ඔන්න මුල්ම එන්නත මට විදින්න ලැබුණ දවස. ඒක එන්නත් කරන්න වුනේ ගැහැණු කෙනෙක්ට. ඒකත් ඩීප්‍රොප්‍රොවේරා එකක්. හප්පා කිරි සුදු පාට කුප්පිය අරගෙන දැන් සිරිංජරයට ගන්නව මං. මගෙ පපුව ඩිග් ඩිග් ගානව. කකුල් දෙක පණ නැහැ වගේ. බය වැඩි කමටම දාහඩියත් දැම්ම මට. පිට දිගේ දහඩිය බිංදු යනව මට දැනෙනව. මුහුණු රතු කරගෙන අත ගැහෙද්දි මං දැන් පුලුන් කෑල්ලෙන් අතේ ඒ එන්නත ලබා දෙන තැන පිරිසිදු කලා. නන්දනි මිස් මං ගාවම දකුණු පැත්තෙ හිටගෙන නැමිල උදව්වට බලා ඉන්නව. ඇයගෙ හුස්ම ටික මගෙ මුහුණට වදිනව.. "රෝගියෙක්ට අපි බය බව දැනුනොත් ඔවුන් එන්නත ගන්න එක ප්‍රතික්ෂේප කරනව" කියල මට මුලින්ම නන්දනි මිස් කියල තිබුණ. අනේ ඉතින් දෙවියන් බුදුන් සිහිකරගෙන එන්නත විදින්න යද්දි මෙන්න දඩස් බඩස් ගගා කෝච්චියක් යනව. මාව නිකන්ම ගැස්සුණා. කෝ ඕක විදින්න කියල නන්දනි මිස් කියද්දි කොහේවත් නැති හයියක් අරන් එක හුස්මට මං එන්නත ශරිරගත කලා. ඊට පස්සෙ රිදුණද කියලත් ඇහුව.  :-D  නෑ මිස් කියල ඇය කියද්දි තමා මං ඉහළට අරන් තිබුණ හුස්ම පාරක් නිවි හැනහිල්ලෙ පහලට දැම්මෙ. 


එන්නත් කාමරේ හොදම එක ඒක නෙමෙයි. පිලිගැනීමේ කවුන්ටරය ඉදිරිපසින් තියෙද්දි එතනට එන සෑම සියළු දෙනාවම පේන්න පුටුවක් තියන් වැඩක් නැති වෙලාවට බල බලා ඉන්න එක. ඒ දවස්වල වයසත් අවුල්නෙ ඉතින්. ලස්සන තරුණ පොලිස් කාරයො එද්දි චුට්ටක් ඇස් උස්සල බලනව තමයි. ඒත් ඉතින් මගෙ පවුලෙ නෑදැ කෙනෙක් ඉහළම තනතුරක් දරපු නිසා මට දඟ වැඩක් කාරිය කරන්න බැහැ. මොකද එයා හිටි ගමන් පොලිස් රෝහලට එද්දි හතර වටේම අය සැලියුට් ගහල ඇයව පිලිගනිද්දි මං ඉතින් අර නම්බුවද මොකක්ද එක රකින්න එපැයි.  :/ 

මේ මතක වල මං වැඩියම ආස ඔෆිසර් වාට්ටුවට තමා. ඒකෙ එකක් සංවේදිම කතාවක්. අනික මට සමිප කතාවක්. සංවේදිම කතාව මං කියන්නම්කො. ඒ උතුරෙ බ්ලාස්ට් එකකින් පිරිමි ඇඟ එහෙම නැත්නම් පුරුෂ ලිංගයට හානිවෙලා හිටිය විශේෂ කාර්ය බලකායෙ නිළධාරිය. ඔහුට දවසක් ඇර දවසක් තුවාල වලට බෙහෙත් දමද්දි ඔහු විදින වේදනාව දෙවෙනි වෙන්නෙ අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරන එකට විතරයි කියල මට හිතුණ වාර අනන්තයි. ඒ වගෙම ඔහුගෙ දකුණු කකුලත් නැහැ ඒ බ්ලාස්ට් එකෙන්ම. මට රැට හිනෙන් ඉදන් පේන තත්වෙට ඒ දේ පත්වුනා. 

මට ටිකක් සමීප දේ කියන්නෙ උණ හැදිල ඒ වාට්ටුවට ඇතුලත් වෙලා හිටිය ජනාධිපති ආරක්ෂක අංශයෙ කෙනෙක්. එයා දකුණෙ තෙලිජ්ජවිල හරි කඩවම් කෙනෙක් ඇහ්. ඔහුට ප්‍රතිකාර කරන්න යන වාරයක් පාසා මොකක්දො ගතියක් මටත් දැනුණ. අන්තිමට ඔහු වාට්ටුවෙන් යද්දි  ලිපිනය දෙන්න චුටි මිස් කියල මගෙන් ඉල්ලගෙනම ගියා. ඊට මාස තුනකට විතර පස්සෙ මෙන්න මට ලියුමක් ආව. පස්සෙ අපි හුගාක් සමීප අය වුනා. ඒත් අද නම් ඔහු කොහෝ කොතන ඉන්නවද කියල මං දන්නෙ නැහැ. 

ඉතින් පොලිස් රෝහලේ මෙස් එකට වෙලා යෝගට් කකා මගෙ හොදම යාලුව වුන හෂිනි එක්ක කියෝපු දේවල් අනන්තයි. අප්‍රමාණයි. ඒ දයාබර මිතුරිය අද කොහේද දන්නෙ නැහැ. හැමදාම හවස 3ට වැඩ නිමාවුනාම අපි දෙන්න කොහුවලට ඇවිත් පළතුරු කඩෙන් පළතුරු නොබිවු දවසක් නැහැ. ඒ සැහැල්ලු අතීතය අද එන්නෙ නැහැ.


ඩොක්ටර් මංජුලා රත්නවීර මැඩම්ගෙ ක්ලිනික් දාට ක්ලිනක් එකේ ෆයිල් එහෙ මෙහෙ ගෙනිහිල්ලම කකුල් කඩෙත්තුව හැදුනම පඩිපෙලේ හොරාට කොච්චර වාඩිවෙලා ඇද්ද... මේට්‍රන් මැඩම්ගෙ තොප්පිය ඈතින් පෙනෙද්දි නැති වැඩක් හරි හොයන් කරපු හැටි මතක් වෙද්දි අද හොදටම හිනා යනව. ඒ හැමදේටම වඩා සුන්දර ඩ්‍රෙසින් රූම් එකේ විහිළු කතා කිය කියා ඩ්‍රෙසින් කරපු හැටි. බෙතඩීන් සුවඳට මං දන්නදා හිටන් හරි ආසයි. ඉතින් ආසාවෙන්ම උන්න එක තැනක් එතන. 

තුංමුල්ලෙ පොලිස් ක්‍රිඩාංගනයෙ පවත්වපු පොලිස් රෝහලේ අවුරුදු උත්සවයෙදි කණාට කණා කිරි කවල දිනපු හැටි. අපේ එන්නත් කාමරේම වාසනා මිස් අවුරුදු කුමාරිය වෙච්ච හැටි. හප්පේ.... අතීතෙ සුවඳ අස්සෙ ඇවිදිද්දි පුදුම තරම් ආදරේ හිතෙනව. නුගේගොඩ පාරවල් දිගේ හවසට ඔෆ්වෙලා මායි යාලුවයි රස්තියාදු ගහල ගහල බර්නාඩ් එක ගාව තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ගිහින් හෂිනිගෙ අයියගෙන් බැනුම් අහනකම් කකා බිබි ඉදපු හැටි. ( ඇයගෙ අයියා ඒ දව්වල ඒකෙ රැකියාව කලේ ඒකයි ) 


කවදාවත් නැතිව අද හිත ආපස්සට ගියෙ ඇයි කියල මටවත් හිතාගන්න බැහැ. ඒත් මේ ලිපිය හදිස්සියෙව් අහම්බෙන් හරි මගෙ යාලුව හෂිනිට දකින්නට ලැබුණොත් එයයි මගෙ තියෙන සතුට. ඈ කොහේ කොතනද කියා මංවත් දන්නෙ නැහැ. පිලියන්දල මඩපාත බොල්ගොඩ ගඟ ඇගේ නිවසෙ ඉදිරිපසම තිබුණෙ. ඉතින් මොනයම් හෝ හාස්කමකින් ඇය මෙය දකීවා කියායි මගේ එකම පැතුම.

"දිවි මගේ ඉසිඹුවක හුන්....දයාබර ඈ මට හමුවුනෝතින් "

Wednesday, April 9, 2014

විඳන්නට හැකි නම් ඔබට...

හෙමින් හෙමින් එබිකම් කරමින්
එරබොදු මල් ඇවිදින්
වරෙන් වරෙන් නෑ ගම් යන්නන්
කොවුල් ගීත ස්වරයන්...

සොබා දහමේ අපූර්වතම අසිරිය මවා පාන්නෙ වසන්ත සෘතුවයි. සිරිලක් වැසි සියල්ලන්ටම එය අප්‍රේල් සහ මැයි මාසයෙහි බව පිළිගැනේ. සිංහල මාස ක්‍රමයේ භාග්‍යවන්ත මාසය හෙවත් බක් මාසය මහ කන්නයේ අස්වනු කපා කොටා අටු කොටු සිනා නගද්දී දනන් ප්‍රීතියෙන් ඉපිළෙයි. එකී ජනයාට මඳක් වෙහෙස නිවාගන්නට කියමින් විහඟුන්ද ගීත කියමින් පිපී වැනෙන මල් වටා යමින් රොන් උරමින් වසන්ත සෘතුවේ සතුට භුක්ති විඳිති. කෘෂිකාර්මික ජීවනෝපයකට උරුමකම් කියන අපි බක් මාසය සැණකෙලි සිරි විඳගන්නට සුදානම් වෙයි.

දුර අතීතයෙත් පණ්ඩුකාභය රජු චිත්තරාජ යක්ෂයා සමඟ සම අසුන් ගෙන නැකැත් කෙළි නැරුඹුවා යැයි අපේ ඉතිහාසයේ මහාවංශයේ සඳහන් වේ. රොබට් නොක්ස් නම් විජාතිකයා නුවර යුගයේ රජවරු අවුරුදු උත්සවය ඉහළින්ම සැමරූ බවටද සඳහන් කරයි. රජයේ නැකැත්රාල, මුහන්දිරම් ආදිය ලහි ලහියේ මූලික වැඩ සුදානම් කරමින් ද නැකතියා නානු දියර සකසමින් නාථ දේවලායේ සීල් තබා සුරක්ෂිතව තබමින්ද කටයුතු කළ බවට වැඩිදුර සඳහන්වේ. මේ සියල්ලගෙන්ම පසක් වන්නේ අප්‍රේල් මාසය අප ඉතාමත් සංතෘෂ්ඨියෙන් සැමරූ බව නොවෙද..?

කෝණ තහංචි දමමින් සංස්කෘතියෙන් එන රීතීන් පිළිපඳිමින් ලොව හසුරුවන ප්‍රධාන බලවේගය වූ හිරුගේ ගමන් මගේ නව සංක්‍රමණයට පූජෝපාහාර කරන්නට මෙය අවස්ථාවක් කරගත්තා යැයි කීවොත් වඩා යෝග්‍ය යැයි මට සිතේ. පුරා දින 365 ක වෙහෙසකර ගමන් මඟ නිමා කරමින් මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන ඒ අලුත් ගමනාරම්භය ආසියාතික අප කළගුණ දක්වමින් සැමරීම කොයිතරම් නම් අපූරුද.

එදා සිට අද දක්වා සිංහල ජන සමාජය දෙස විමසිලිමත්ව සුපරික්ෂාවෙන් බැලුවිට අපට පෙනෙන විශේෂත්වය නම් සමූහිකත්වය මුල් කොටගෙන සමාජයේ සිරිත් විරිත් ක්රිටයාවට නංවා ඇති බවයි. හරවත් ධර්මතාවයන් සමඟින් සාරධර්මයන් රැකෙන්නේද මේ සිරිත් විරිත් නිසාමය. අළුතින් ලබා ගන්නා අස්වැන්නෙන් අලුත් සහල් මංගල්‍යය පවත්වා වැව ළඟ සංහිඳේ කිරි උතුරවා දැකුම් දිය යුත්තන්ට දැකුම් දී සුදානම් වෙන ප්‍රීතිමත් සමය මොනතරම් සුන්දර ජනකද?

අසල්වැසි හිත මිත්‍රාදීන්ද සමඟින් මොනයම් හෝ හිත් නොහොදක් ඇති නම් ඒ සියල්ලද අමතක කරමින් මිත්‍රත්වයේ දෑත දිගුකරමින් ඇරඹෙන නව ගමන් මඟ අපේ සංස්කෘතියේ ප්‍රබෝධමත් කාලයක්වේ. නිවෙස් තුළ පංච දැමීමෙන්, ඔංචිල්ලා පැදීමෙන්, බක්මහ සැණකෙලි සංවිධානය කරමින් ලොව කවුරුත් මවිත කළ ජාතියක් වූ අප එකම මොහොතක එකම විදිහේ ආහාර අනුභව කළහ. අපටම පමණක් ආවේණික කෑම බීම වලින් ලොව මවිත කළහ. කුස රජුගේ මුහුණ සිහි ගන්වන කැවුමේ වුවත් වර්ග 7 සැදූහ. ඒ අතර මුං කැවුම් , නාරං කැවුම්, කොණ්ඩ කැවුම් ප්‍රධානය. ඔබට මට අතීතයට දිව යන්නට හැකි නම් ඒ කාලය ලොබ කමින් හදවතින්ම බදා වැළඳගන්නවා නොඅනුමානය.

පරම්පරා ගැටුමක් ඇති වන බව අනිවාර්යය. සංස්කෘතියද විවිධ වකවානුවල වෙනස් වෙන අවස්ථා ඇත. එහෙත් සියල්ල වානිජකරණය වූ තැන සමඟිය, මිත්‍රත්වය, සහයෝගිත්වය අපෙන් දුරට යන බව අපිවත් දන්නවාදැයි සැක සහිතය. මුදලට කෝකත් කරන්න පුලුවන් යැයි සිතන බොහෝ දෙනාගෙන් මට අසන්නට ඇත්තෙ ගෙදර ලිප ළග වාඩිවී තෙල් හැන්දක් කූරක් අතේ තියන් කොකිස් අච්චුවක් සුදුම සුදු පිටි දියරකට ඔබ එය රත්වෙච්ච තෙල් තාච්චියේ බුබුළු දමා රන්වන් පැහැවෙද්දි දරුවන් වටවෙලා ඒ දෙස නඟන සිනහ ඔබ විඳ ඇද්ද? දෙමාපිය වැඩිහිටියන් මගේ දුවට යමක් හදාගන්න පුලුවන් යැයි කියමින් උදම් අනනවා ඇසෙන එක ඔබ විඳ ඇද්ද? යන්නය.

මිනිසා ආර්ථික භාණ්ඩයක් වී මනුස්සකම විකුණා ඇත. කඩේට දුව ගොස් කේක් ගෙඩියක් බිස්කට් ටිකක් ගෙනත් දී මේ වසන්ත සමයේද දරුවන් රවටති. ගහකොළ සතා සිවුපා ඇළ දොළ ගංඟාද සමරන වසන්තය අද බොහෝ මිනිසුන්ට අමතක වී ඇත. එක හැළියේ බත් කා අනෙකාට ද්‍රෝහිවන මානසිකත්වයක් අද බොහෝ දෙනෙක් ළඟ ඇත.
මේ උදාවන අලුත් අවුරුද්දේවත් ජිවිතයෙ සැබෑ මිහිර විඳින්නට ඔබට හැකි නම් ඔබට සැබෑවටම වසන්ත සැණකෙලියක තෘප්තිමත්ම මිනිසෙකු වෙනවා ඇතැයිමට සිතේ.

Tuesday, April 1, 2014

ප්‍රේම තටාකේ..............

ගුවන් විදුලියෙන් කලාව වෙනුවෙන් එහෙම නැත්නම් සංගීතය වෙනුවෙන් සිද්ද වෙච්ච අර්ථ සුබ සිද්ධිය මෙච්චරයි කියන්න බැහැ. අදත් කටක් ඇර ගායකයෙක් කියන්න පුලුවන්, නිවේදකයෙක් කියන්න පුලුවන් බොහෝ මිනිසුන්ගේ උපත ගුවන් විදුලියේය. උදේ සිට රෑ වෙනතුර කණ් බිහිරි කරන එෆ් එම් නාලිකා වලින් හතු පිටින් ගායක ගායිකාවන් නිවේදකයින් වෙනත් අයවලුවන් බිහි කරන්නට නොයෙක් විදිහේ දේ කළත් එදා ගුවන් විදුලියෙන් සිදුවුන දෙයින් දශමයක්වත් සිද්ද වෙනවාදැයි සැක සහිතය.

වේදිකාවට නඟින සැණින් බසින්නට හිමිවන එවන් මිනිසුන් කොපමණ බිහි කළත් කුමකටද..? එහෙත් එදා ගුවන් විදුලියෙන් උප්පත්තිය ලද උනුන් අදත් රසාස්වාදයේ ඉහළම තැනින් රසිකයා පිනවනවා යැයි කීවොත් ඔබ අමනාප නැත.

පණ්ඩිත ඩබ් ඩී අමරාද්ව ශූරීන් ගැන කතා කරද්දී අමට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කෙසේ නම් අමතක කරන්නද..? ආනන්නයෙත් ප්‍රඥාවේත් සියුම් ඉසිඹු සොයමින් ශ්‍රාවකයා පිනවන්නට ඔහුගේ තෙළි තුඩින් පිපුණ මල් නම් කොපමණ ඇද්ද...? වරෙක අමරදේවයන් කියා තිබුණේ චන්ද්‍රරත්න මානවසිංහන් මුණ නොගැසුණා නම් අමරදේවයන් කෙනෙකුත් මෙතරම දුරක් නොඑන බවය. ඒ නම් අමරදේවයන්ගේ දිවි ගමනේ වටිනා සංස්ධිස්ථානයක් වන්නේ ශ්‍රී චන්ද්‍රරක්න මානවසිංහන් නිසාය.
  
එතරම් දක්ෂ පද රචනා කළ මානවසිංහයන් " රන්මුතු දූව" සිනමා පටය සඳහා එකකට එකක් වෙනස් විදිහේ ගීත ලියා ඇත. අදත් පොඩි දරුවාගේ පටන් මහල්ලා දක්වා මතක තියෙන " පාරමිතා බල පූජිත " පිපී පිපී රේණු නටන" සහ ගලන ගඟකි ජීවිතේ ගීතද මානවසිංහයන්ගේ තෙළි තුඩේ විශ්මිත සිතුවම්ය.

ඉතින් ගුවන් විදුලිය ගැන මා අර තරම් පැවසුවෙ ගුවන් විදුලි ගීත නාටකය පෝෂණය කිරීමෙහිලා මානවසිංහයන් දැක්වූ නිර්මාණාත්මක කෞෂල්‍යය ද එතෙක් මෙතෙක් කිසිදු පද රචකයකු සිදු කරන ලද කාර්යභාරයට වඩා ඉතා පුළුල් වූ ද, සෞන්දර්යාත්මක වූ ද, ශ්‍රැති රම්‍යතාවෙන් යුත් විදග්ධ ව්‍යායාමයක් නිසාමය. “මනෝහාරි” ගීත නාටකය එහි කූට ප්‍රාප්තිය සලකුණු කරනු ලබන අතර ඔහු විසින් රචනා කරන ලද, පණ්ඩිත් ඩබ් ඩී අමරදේවයන් විසින් සංගීතවත් කොට වජිරා බාලසූරිය සමඟ ගායනා කරනු ලබන ‍"ප්‍රේම තටාකේ මේකයි මැණිකේ” ගීතය ගුවන් විදුලි ගීත නාටක සාහිත්‍යයෙහි තවත් එක් සන්ධිස්ථානයක් විය. එමෙන්ම මෙහි ගායනය සම්බන්ධයේදී කිව යුතු අනික් දෙය නම් , වත්මනෙහි මෙම ගීතය රශ්මි සංගීතා සමඟද ගයා ඇත. 


එම ගීතයෙහි පද වැල පුරා ගලා හැලෙන ප්‍රේමණීය හැඟීම් සමුදාය ඇසුරෙහි බිහිවන පාරිසරික වැනුම ද, අර්ථ ධ්වනිය සමඟ මුසු වූ ශබ්ද ධ්වනිය ද, ගායන අලංකරණය ද උක්ත ගීතය සැබෑ ප්‍රේම ගීතයක් ලෙස ඕනෑම අයෙකුට කිව හැකිය. එහෙයින් එහි ඇත්තේ ඕනෑම යුගයකට සරිලන රස ප්‍රවාහයකි. ඕනෑම අයෙකුට දැනෙන භාෂා ශෛල්‍යයකි. 

හදවතේ සියුම් නහර වලට පවා දැනෙන ආදරය පිරුණු මෙම ගීතය ඔබටත් රසවිඳින්න කියල මං කියනව.

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ //
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ


ප්‍රේම තටාකේ..............

මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ
තාලේට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ


චම්පා චම්පා කියලයි ‍මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ //
ඔබේ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටවු මේ දිවගෙන එන්නේ

ප්‍රේම තටාකේ..............

හිමියනි ඔබගේ පුළුලුර තලයේ හි
වැව් ඉවුරේහි නැහැ වෙනස පෙනෙන්නේ
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරි තිබෙන්නේ


අනාගතේ මෙහි පෙම් රස විදිනා
හදවත් වලටයි රසය දැනෙන්නේ //
එකයි මැණිකේ  මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ


ප්‍රේම තටාකේ..............


 මා ඉහත කිවු ගීතයේ පද රචකයා මේ ඉන්නෙ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. 






මේ ගායනය සහ සංගීතය යෙදූ පණ්ඩිත් ඩබ් ඩී අමරදේවයන්.




සහාය ගායිකාව වජිරා බාලසූරිය.








">

Sunday, March 30, 2014

දන් දෙන්න බැරි ස්නේහේ

නුමා නුඹ නොඑන්නම ගියානම් වනයට
සිරස ගිරිහිස ගා නොවැලපෙමි මෙමං
පෙමා උපමා තනන්නද තව ළමෝ දෙ‍දෙනට
උරහිසක සවි දෙන්න බැරි වෙයිනං


වනේ පීරා කෑගසා හිවලුන් දෝංකාරෙට
තළයි හූ හඬ නිනවුවක් නැත ඉසවුවේ
තනේ දෙන්නට බැරි ගැටවු වයසේ පුතුන්
අසයි බිඳලන්න දොරගුළු පර්වතේ


පිරී කිතුගොස ධජ නගා කේසර ස්වරේ
හැරී එන්නට බැරි බවයි නුඹෙ ඇඟවුනේ
හැපී හිරු අවරට යන විටදි බය හදවතේ
මැරී යන්නට බැරි මවක් මං සනුහරේ...

Wednesday, March 26, 2014

සුබ උපන් දිනයක්

එකම දවසෙ පෝස්ට් දෙකක් දාන්න වුනාට සමාවෙන්න කියල ඔන්න මුලින්ම කියනව. අද විශේෂ දවසක් මට. ඉතින් මේක අද නොදැම්මොත් දාන්න වෙන දවසක් නැහැනෙ. ඒක නිසා පුංචි සටහනක් තියන්නම්.

පෙරී එන සඳරැස් මතින්
ජීවිතේ සුව සිහින දැකිදා
නැගී එන හිරු ළඟදි
දා හෙලා වෙහෙස වුනි මා

එවන් ගමනක යනෙන විට මට
සුහුද සිත් හමුවුනා හිතවත්
හිතට එන ඒ දඩබ්බරකම්
ලියන්නට පෙළඹුනා තනියම

සැරිසරා සයිබරයෙ කිරිලිය වගෙ
මටත් ඉඩ ඇද්දැයි විමසුවා
පුරුදු ලෙංගතු සහෝදරකම
 දුකා අයියා කියා දුන්නා

දුකාගේ පෝස්ට් බල බලා
කිති කැවෙන විට මගේ සිතුවිලි
අනේ අයියේ මටත් ආසයි
මෙහෙම පිටුවක් තනාගන්නට

කිවු සැනින් හරි මඟ පෙන්නලා
දුන්නු ඔවදන් අද වගේ මතකයි
ලියන විට අකුරක් මගේ පිටුවේ
ඔබට අයිතියි තුතිය අයියේ..

නිතර මෙහෙ එන යනෙන උන් ගැන
නොකියා කොහොමද මෙමං..

වර්ණ තවරණ මල්ලියේ
වැහි වැටෙන තැන නංගියේ
සමකය වටේ යන යන අයියෙ
අස්වැන්න නෙලනවා අපි පොදියෙ

දේශකය  මධුරංග බඩී අය හා
විටින් විට ඇවිදින තහනම් අඩවිය
කුරුටු ගෑ ගීපවුර පෙනෙද්දි
හිතේ තුති මල් පිපෙනවා මගෙ...

එදා මෙදාතුර බ්ලොග් ලෝකයේ හමුවුන අප්‍රමාණ හිතවතුන්ට ඇවිත් ගිහින් දිරිය ශක්තිය දුන්න ආදරණියන් සැමට මුළු හදවතින්ම ස්තුතියි.

" සුබම සුබ උපන් දිනයක් ආලවන්ත හුඳකලාවට  "


ඉඳින්  සිව් වසරක් පිරෙන මගේ බ්ලොග් එකට ඇවිත් යන කොමන්ට් දමා යන සියළුම ආදරණියයන්ට හදවතින්ම ස්තුතියි.... මගේ බ්ලොග් එක දැකලා මුහුණු පොතට විවිධ දිරි ගැන්වීම් කරමින් පණිවිඩ එවන ආදරණිය ඔබටත් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....කාලයක් නොලියා ඉදියත් කවමදාවත් අමතක කරන්න බැරි මගේ ප්‍රේමණිය ....ආලවන්ත හුඳකලාවට..... සුබම සුබ උපන් දිනයක් වේවා.....

2010 - 03 - 26 / 2014 - 03 - 26



අත් හැරුණ රෝස මල - අවසාන කොටස

_________________________________________________________
ඉතින් එදා ආච්චිලගෙ ගෙදර ගොස් පැමිණියට පසු මා උසස් පෙළට සුදානම් විය. ඒ හරියටම මැයි මාසයයි. වෙනද වගේම සුදු ඇදුම පිටින් පුස්තකාලයට ගොස් නිසවට එන්නේ අයියාගේ බසයෙනි. නිවසින් බසින තැනට එනකම් වචන දෙකක් තුනක් කතා කරනවා හැර වෙන කිසිවක් අපට නැත. සිහිනයියාද මගේ විභායට මා සැනසුමින් තැබුවේය.

ඉදින් හඳිසියේම පුස්තකාලයට ගොස් මා නිවසට ඒමට අයියාගේ බසය සෙවු මුත් ඒ වෙලාවට ඊට පසුව යන බස් රථය තිබුණි. හදවතෙහි සියුම් තිගැස්සමක් ඇති නොවුනාම නොවේ. හෙමින් හෙමින් ඒ බසයේ කොන්දොස්තර ළගට ගොස්,

අයියෙ සිහිනයියලගෙ බස් එක ගියාද...

ආහ් නංගිනෙ අද සිහිනල දිවුවෙ නැහැ නංගි

අර මොකෝ..මා සැනින් බිරාන්ත විය.

සිහිනලට පොඩි කරදරයක් වෙලා..

මොකක්...

ඔව් නංගි...කලබලවෙන්න දෙයක් නැහැ..

හරි මොකක්ද කියන්නකො අයියෙ

විශේෂයක් නැහැ නංගා..ඔයාට සිහිනම කියයි.

මට කියන්න බැරිද අයියා..

නංගිට කියන්න එපා කිවුව. එයාම කියන්නම් කිවුව. අනිද්ද දිහාට බස් එක පාරට දායි. සිහින එනව කිවුව ඔයාව මුණ ගැහෙන්න

එන්න මේකෙ යමු නංගි.

සිහිනයියාගෙ මිතුරා එහෙම පැවසුවත් මා සිටියේ දොලොවක් අතරය. වෙනදා පුරුද්දට නිවස ගාවින් බැස්සත් කොහොම ආවාද කියාවත් මට මතක නැත.

නිවසට එනවිට අම්මා නිවසෙහි නොසිටි එකම මට සැනසිල්ලක් ගෙනාවේය.

මා ඇදුම්වත් මාරු නොකර ඇදට වි කල්පකා කළෙමි.


බසයත් පාරෙ නොදුවන්න තරම් කුමක් සිදු වුවාද...මා දස අතේ සිතුවක් කිසිවක්ම කල්පනා නොවුණි. 

______________________________________________

වෙහෙසකර සහ දුෂ්කරම දින දෙකක් ගෙවා අවසන ඒ දිනය උදා විය. සෙනසුරාවක් වූයෙන් මා උදෑසනම අවදි වී පෞද්ගලික පන්ති යන්න පෙර සුදානම් විය.  උදේ 9. 00 ට පමණ ගෙදර ටොමියා එක දිගටම බුරනවා ඇසී අම්මා එළියට බැස බලද්දි මා කාමරයේ ජනේලයෙන් එබී බැලුවෙමි.

ඒ අරුණැලි වැටී පැය කිහිපයක් ගිය වේලෙහි අපේ නිවසම සොයාගෙන ඇවිත් තිබුණේ සිහිනයියාය. ඔහුගේ හඳිසි පැමිණීම මා උන් තැනින් ඉඹේටම නැගිට්ටුනි. අම්මා මේ කිසිවක් දන්නෙ නැත. මට මියෙන්නට තරම් බයක් නොදැනුණා නොවේ.

කාවද බලන්නෙ

මේ නිම්මි නංගිලගෙ අම්ම නේද...?

ඔව්.

මං අම්මව හමුවෙන්න ආවෙ

එන්න ගෙට එහෙනම්.....නිම්මියේ කේතලේට ගින්දර ටිකක් දාපන්

ඒ අම්මාගෙ විධානයකි.

කේතලේට ගින්දර මගේ පපුවේ බව අම්මා දන්නෙ නැත. ගැහෙන දෙපා අද්ද අද්දා මං කුස්සියට ගියෙමි. එහෙත් කණ සාලයේය. 

දැන් මේ ළමය කොහේ ඉදන්ද ආවෙ

මං ඉද්දගොඩ අම්මෙ.. මතුගම ඉද්දගොඩ..

ආපු කාරණේ...

මං ආපු කාරණේ එකපාරටම කියන්නම්කො අම්මෙ. මං නිම්මි නංගිට ආදරෙයි. එයත් මට කැමතියි. අම්මගෙන් ඒ ගැන අහල කතා බහ කරගන්නයි මං ආවෙ. 

හපොයි ළමයො නිම්මි තාම ඉස්කෝලෙ යනව. හෙට අනිද්ද විභාගෙ ලියන්න ඉන්න එකි. 

ඒ සේරම මං දන්නව අම්මෙ. අද හෙට නෙමෙයි. ඒත් අම්මට කියන්න ආවෙ. මොකද මගෙ ගෙදරත් මං විතරයි. ගැහැණු ළමයෙක්ගෙ අවශ්‍යතාව ගෙදරට දැනෙනව.

බැහැ ළමයො. ඒකට කොහොමවත් කැමතිවෙන්න බැහැ. අවුරුදු 20 ක්වත් නැතිව ඒකිව බන්දන්න මගෙ අදහසක් නැහැ.

විස්සෙන් බැන්දත් තිහෙන් බැන්දත් වෙනසක් නැහැනෙ අම්මා.

කෝ නිම්මියෙ වතුර එක රත් වෙලාද..

අම්මා කතාව වෙනතකට යවන්න හැදු බව මට නොවැටහුණා නොවෙයි. එහෙත් ඇයට එරෙහිව යන්න මට පුලුවන් කමක් නැතිබව මා දනිමි. සිහිනයියාගෙ මුහුණ බැලිමට මට සාලයට යන්න හිතේ. එහෙත් අම්මාගේ ප්‍රතිචාරය හමුවේ මා අසරණවෙන තරම දන්නේ මාම පමණකි.

කෝ තේ එක හැදුවද?

අම්මා කුස්සියට ඇවිත් අසනවිට මා ගැස්සුණි.

හිටපන් ඒ ළමය යනකම්. 

මගේ කණට කර අම්මා කියුවේය. දැන් මට හොද හැටියට බැනුම් අසන්නට වෙන බව මා දන්නෙමි. 
තේ එකද සාදාගෙන අම්මා කුස්සියෙන් ගිය විට මට මහා හයියෙන් හඩන්නට සිතුණි.

මේ ළමයට තේ ටිකක්..

නෑ අම්ම එපා මං යන්නම්. මං කිවුව දේ ගැන අම්ම පස්සෙ කල්පනා කරන්නකො.

පස්සෙ කිවුවත් දැන් කිවුවත් වෙනසක් නැහැ. ඒක අත් ඇරල ඔය ළමය වෙන වැඩක් බලාගන්න. 

මා දිවුවා නොව දිවුනි එකපාරටම.

අනේ අම්මා.....කියා ඇගේ අතින් ඇල්ලුවෙමි.

අර බල්ලව පිටුපස්ස පැත්තට ගෙනියපන් නිම්මියෙ මේ ළමයට යන්න..

අම්මාගේ ඒ හැසිරිම මා තුෂ්ණිම්භූත කළෙමි. එකතකින් කඳුළු පිසිමින් මා එතනින් නික්මුණි.

යන්නම් නංගි

සිහිනයියා කියනවා මට ඇසුණි. හිස උස්සා බලන්නට බැරිව 

"හා අයියේ" යැයි මට උගුරින් කියවුණි.

___________________________________________________

සිහිනයියා ඇවිත් ගිය පසු මට අම්මාගෙන් අසන්නට ලැබුණ බැනුම් ගැන කිව යුතු නැත. මට අමතර පන්ති යාමද තහනම් වුනු අතර කොහේ හෝ යතොත් කවුරුන් සමඟ හෝ යැමට මට සිදුවිය.

කාලය ගෙවී ගොස් මා විභාගයද ලිය ප්‍රථිපලද පැමිණ තිබුණි. සරසවි වරම් ලබා තිබුණත් නිවසේ දුෂ්කරතා මත මා එය සිතින් අයින් කළෙමි.  රැකියාවකට යාම සඳහා මා සුදානම් වුනෙමි. 

අම්මාටද පහුගිය සිද්දි අමතකව ගොස් තිබුණ බැවින්දෝ මට තනියම යන්න ඉඩ කඩක් තිබුණි. වෙනද වෙලාවට සිහින අයියාගේ බසය පැමිණියේ නැත. 

එහෙත් එදා වගෙම ඔහු දන්න කියන මා දන්න කියන ඔහුගේ මිතුරෙකුගේ බසයක් එනතුරු සිට එහි සිටි ඔහු හා මා දොඩමළු විය.

ඒ දවස්වලම සිහිනගෙ තාත්ත නැති වුනානෙ නංගි. ඉස්පිරිතාලෙනෙ අන්තිම දවස්වල ඉදියෙ.

මගේ මතකය වේගේ එදා මතුගම ගිය දිනයට ආපස්සට ගියෙමි. සිහිනයියා ඔහුගේ පියා රෝහලේ බව මට කිවු බවත් මතක් වුනි.

ඒ කොයි කාලෙද අයියෙ තාත්ත නැතිවුනේ...

දැන් නම් මාස 5කටත් වැඩියි නංගි. 

ඒ කියන්නෙ සිහින අයියා දින දෙකක් පමණ බසය වැඩ කලේ නැත්තේද ඊට පසුව අපේ ගෙදරට පැමිණියේද ඔය කාල වකවානුවල බව මට වැටහුණි. නිවසට එකම දරුවා වු ඔහු මා කැන්දාගෙන යන්නට කැමති කරගන්නට හිතන්නට ඇත්තේ එහෙයිනි. 
අනේ මගෙ සිහිනයියා.

දැන් සිහිනයිය කෝ අයියෙ

සිහින මැරි කලා නංගි. එයාලගෙ අම්ම ප්‍රොපෝසල් එකක් කතා කලා. 

මගේ දෙපා සීතල වී මට මාවත් රා සිටින්නට බැරි තත්වයක් ඇති විය. හයියෙන් හුස්ම ගනිමින් මේ මතක පිරි නගරයද...උපන් රටද දමා යන්නට මා එම මොහොතේම සිතාගත්තෙමි.


හිමි අහිමි කම් මැද
වැරදිලා අපි දෙපසකය
දිවි ගමන යනෙන මුත්
මතක හදවතෙ තදය.

 පලමු කොටස  මෙතනින්

දෙවෙනි කොටස  මෙතනින්

( මෙය මා විසින් මීට වසර හයකට හතකට පමණ පෙර ලියූවකි. )

මට කතාව ලියා තිබුණ පොත් පිටු ටික හමුවුවාට එය ටයිප් කිරිමට සිදු වු ප්‍රමාද දෝෂය ගැන කිසිවක් නොසිතන්න...  :-p :-D


ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...