නමො තෙ මහමානව !!!
මේ මහා විශ්වය තුළ උපන් ඒ අසිරිමත් මිනිසා උන්වහන්සේමය. ඒ උත්තම අසිරිමත් සිරිමතාණන්ගේ එක් ආත්ම භවයක හදවත් නිවාසනහාලන විකාශනයක් කිවූයෙමි. ආනන්දයත් ප්‍රඥාවත් උපරිමයෙන් ලද බව නොසඟවා පවසමි.
පන්සිය පනස් ජාතක කතා අතර වෙසතුරු කතාවට ලැබෙන්නේ අපූර්ව තැනකි. ඒ අපූර්වත්යම සාමාන්‍ය ජන විඥානය තුළත් මහා ප්‍රඥා විද්වතුන් අතරත් තම තම නැණ පරිදිම තැන්පත් වී ඇත.
විවධ චිත්‍ර, ගීත, කතා, සිනමා, නාට්‍ය ආදි විවිධාකාර මාධ්‍ය ඔස්සේ වෙස්සන්තර ජාතකය අපි දැක ඇත්තෙමු. කියවා ඇත්තෙමු. අසා ඇත්තෙමු.
එළෙසින්ම මන දොළ පිනවා හදවත් ස්පර්ෂ කරමින් නිබඳ රසිකාකර්ෂණයක් ලබා ගන්නට සමත් කෘතියක් මම ද කියවා හමාර කලෙමි.
ඒ අන් කිසිවක් නොව ප්‍රේමරත්න සමරනායකයන් විසින් රචිත "මහාමානව" නම් අසමසම කෘතියයි. ප්‍රබන්ධයයි. නවකතාවයි. වරක් කියවූ විට නැවත නැවත කියවන්නට ආසා ඇතිවන පරිදි බෝසත් චරිතය අප හදවතට ඇද බැද තබන්නට එතුමා සමත් වී ඇත.
සැකෙවින් අප දන්නා පුවත අනුව නම් ඇත්තේ පැනයකි. ඒ පියෙක්ට තම දරුවන් දන් දෙන්නට හැකි ද ? කියාය. එපමණකුදු නොව බැල මෙහෙවරට අත පැන් වත්කර දිය හැකි ද ? යන්න ගැටලුවකි. බුදුබවට පෙරුමන් පුරන අසිරිමත් මිනිසුන්ගේ කතා පුවත් එලෙසින්ම දුර්ලබය. අතිශෝක්තයක් නොවූවත් ඒ මහා පාරමිතා බලයන් ගැන අපට අංශු මාත්‍රයකින් හෝ සසදා සිතාගන්නටවත් බැරි බව කිව යුතුමය.
සාරාසක්ඛ්‍යෙ කල්ප ලක්ෂයක් පුරා අනන්ත වූ සසර ගමනක කෙළවර උන්වහන්සේත් දකිමින්, අපටත් දකින්නට ඉඩ හදාදෙන්නට කැපවූ මහාමානවයාණන්ගේ එක් ආත්ම විවරණයක් ප්‍රබන්ධයක් තුළට ගොනු කරන්නට ප්‍රේමරත්න සමරනායනයන් අතිදක්ෂ වී ඇත. ඒ හුරුව අද ඊයෙක ඇති වූවක් යැයි විශ්වාස නොකරමි. එතුමා විසින් සසර ප්‍රගුණ කළ යම් පාරමිතාවක් මෙයට පිටුවහල් වන්නට ඇති බව නොඅනුමානාය. මන්ද යත් මෙය එතරම්ම අතිශෝක්තයක් නොවන අසිරිමත් කෘතියකි.
ලද නිවාඩු සමය තුළ මා විසින් දිනපතා කියවූ පොත් ද මා දිවිය පුරා කියවූ පොත් ද ගත් කළ මේ කෘතිය ඒ කිසිවකට සමකළ නොහැක. බුදුන්ගෙන් දෙව්රමදී බණ පදයක් ඇසුවා නම් කෙතරම් නිවී පහන් වෙනවාදැයි දැන් අමුතුවෙන් සිතිය යුතු නැත.
වෙසතුරු කතා පුවත තුළ ප්‍රේමරත්න මහතා හුදෙක් බුදු බණකට පමණක් සීමා නොකරයි. එතුමා මේ මහා සසර පුරාම පුදුමුත්තර බුදුන්ගේ පටත් මෙතේ බුදුන් දක්වාම සමාජයම ආවරණය කර ඇත.
සමාජය නමැති නිවෙස තුළ සිටින සියලුම මානව කණ්ඩායම් එයට එකතු කර ඇත. විප්ලව කරමින් සමාජවාදය කතා කරන රුසියාවද, ධනවාදය අර්ථකනය කරන මහා සමාජ සංස්ථාද, කුලීන කුලහීන සමාජ ස්ථරයද, ඒ මතින් ගැටෙන පීඩිතයාද එකී මෙකී නොකී සියල්ලන්ම ඇත.
එමෙන්ම රාජ්‍ය පාලනය තුළ අද්‍යතනයේ දක්නට සිටින මුග්ධ දේශපාලකයන්ද, රටත් රට වැසියාත් සුරකින ජන නායකයන්ද මේ මහාමානව පුරාවටම ඇත. විශ්වන්තර රජු එයට කදිම උදාහරණයකි. එමෙන්ම "කෝසිය" සිටාණන් වැන්නවුන්ද "නීලකේතු" බමුණන් වැන්නවුන්ද එදත් අදත් හෙටත් නොඅඩුව අප සමාජය පුරාම සිටිති. තම බලය ධනය උදෙසා මිනී මරා හෝ ජීවත්වන්නට සිතන්නවුන් බොහෝය.
"කුටිල" වැනි පීඩිත පන්තියේ සිට සමාජයෙන් බැට කා, හිස ඔසවන්නට සිතන උන්ගේ යටි හිතේ සඟවා සිටින වෛරයේත් පළිගැනීමේත් නාගයාද සිටින බව නොරහසකි. නමුත් සියල්ල ධර්මය ඉදිරියේ පරාජය ලබන බව සනාතන දහමකි. එය මහාමානව පුරාද නොඅඩුව ඇත.
"ජූජක" වැනි මහළු බමුණන් "අමිත්තතාපා" වැනි සුරූපී දියණියන් වැනි කතුන් විවාහ කරගන්නා යුගය අදටත් වෙනසක් නැතිවම පවතී. තම කුලය රැකගැනීමට එක් පසෙකින් වෙර ගනිද්ද රාගය, කාමය වැනි හැඟීම් නිසාම තම වයසද අමතක කර තිරිසන් වන මිනිසුන් සුලභය. ජීවිතය රැකගන්නට "අමිත්තතාපා" වැන්නවුන් එසේ මහල්ලන් සමඟ විවාහ වුවද ඔහුවද රවටමින් ශුද්‍රයකු සමඟ රහසින් සහවාසයේ යෙදී ගැබ් ගැනීම , එමෙන්ම ඒ ගැබ මහල්ලාගෙ කියා රවට්ටමින් මිල මුදල් සූරාකන ඇඹේණියන් මහාමානව කතාව තුල පමණක් නොව අප වටපිටාවේද සිටිති. ප්‍රේමරත්නයන්ගේ අපූර්වතම ලේඛණත්වයද එයමය. එදා අතීත දඹදිවට අදද හෙටද තුන් කල් ගැලපීමමය.
"මන්ද්‍රි" දේවියන් පාරමී පුරා එන්නේ වෙසතුරු කතා පුවතේ පමණක් නොව. වත්මනේද තම සැමියාගේ දියුණුවට නිවනට කැපවීම් කරන බිරින්දෑවරුන් ඔබ මා අතර ඕනෑතරම් සිටිති. තමන් හැරදා යන බව දැන දැනද තම සැමියාගේ හිත සුව පිණිසම හිතන්නවුන් නැත්තා නොවේ.
එහෙත් " මන්ද්‍රි" දේවියට මා කිසිම එවන් බිරින්දෑවරුන් සම නොකරමි. මන්ද ඇයට සම කතක් මේ විශ්වයේ කොතැනක හෝ නැති බව දන්නා බැවිනි. තම සැමියාගේ උත්තරීතර සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන්ම සාරසංඛ්‍ය කල්ප ලක්ෂය මුළුල්ලේම සියළු පීඩා ඉවසා දරානෙ ඈ ආවාය.
මහාමානව කතා පුවතේ අප දන්නා වෙසතුරු කතා පුවතම වෙනත් මානයකින් හිතන්නට ප්‍රේමරත්න සමරනායක මහතා අවස්ථාව දී ඇත. එනම් තම සැමියාගේ දාන පාරමිතාව සම්පූර්ණ වීමට දරු දෙදෙනාද , ඇයවද දන්දීම ඇය දනී. එය දැනගන්නේ සෘද්ධිමත් "අච්චුත" බමුණාගෙනි. එසේ දැන එය පූරණය කරන්නට ඇය මහෝපකාරී වෙන්නේ දරු දෙදෙනාටද ඒ බව පවසමින්ය. "සහලෙය" "කෘෂ්ණජිනා" නම් දෙදෙරුවන් ද තම පියාණන්ගේ බුද්ධත්වයට උපකාරී වීම පිණිසම අපව ජූජකට දන්දෙන්න කියා සිරිපතුල් සිඹ ඉල්ලති. මන්ද්‍රී දේවියද එසේමය.
අනාගත බුදුවරයෙකුගේ දාන පාරමිතාවට තමන්ට දායකවෙන්න ලැබීමම වාසනාවක්යැයි පවසමින් දරුවන් ජූජක හා යන්නේ සතුටිනි. මන්ද්‍රීද යන්නට සැරසෙන්නේ සතුටිනි.
සාමාන්‍ය ජනයා මෙන් භූමාට දෙවිවරුන් දොස් කියන්නේ මෙසේ බිරිඳ දරුවන් දන්දෙන්නට හැකිදැයි අසමිනි. ඒ පුහුදුන් මිනිසුන්ගේ ස්වරූපය "භූමාට" දෙවියන්ගෙන් "වන" දෙවියන්ගෙන් අපට පෙන්වීමට කතුවරයා සමත් වී ඇත.
වෙස්සන්තර ජාතකයට දී ඇති නව අර්ථකතනය තුළ කියවන්නාගේ හද කම්පා නොකර සිටින්නට එතුමා සුවිශේෂී ලෙසම දක්ෂ වී ඇත. කිසිවෙකු කෙරෙහි ද්වේෂයක්, තරහක්වක් නොඋපදියි. එයද මේ කතුවරයාගේ මනා ප්‍රතිභාවේම අංගයකි.
මන්ද්‍රී දේවියගේ කවි ලිවීමෙහි හැකියාව මෙන්ම ඇය තම ආධ්‍යාත්ම දියුණුවත් සමඟ තමන්ගේ පරිනතභාවියද පෙන්නුම් කිරීම සමරනායක මහතාගේ කවීත්වයේම විශාල සුහුරු බවමය. එළු සඳැස් ලකුණ, ගී විරිත ආදියෙන් මනාව කවි මෙහි ඇත. එපමණක් නොව වෙස්සන්තරය ගැන ලංකාවේ විවිධ පන්සල් වෙහෙර විහාර වල ඇති සිතුවම්වල පින්තූරද සුදුසු පරිදි පොත තුළට ගෙන ඇත. එතුලින් පෙනෙන්නේ මහාමානව ලියන්නට සමරනායක මහතාගේ සුදානම් වීමමය.
යමෙක් තම ජීවිතය තුළ කෙසේ හෝ කියවිය යුතුම පොතක් ලෙස මහාමානව යෝජනා කරමි. විවිධාර්ථයන් කියමින් සම්මාන සහතික දෙන්නේ මොනතරම් අවරගනයේ කොළ ගොඩවල් වලටද කියා වරක් දෙවරක් නොව කිහිප වරක්ම මට සිතුණි.
සමරනායක මහතාණෙනි, සෝවියට් රුසියාවද, මෑත පෙරදිගයද, යුරෝපයද , ඈත ඈත දඹදිවද, අනාගත කලියුගයද ඔබතුමා සුහුරුව ගෙන මනාව යුෂයන් පෙරා පදම බලා අපට පිළිගන්වා ඇත. ඒ අමෘතය බොනවාද නැද්ද යන්න පාඨකයාගේ පින, පව අනුව සිදුවන්නකි. මන්ද යත් මෙවන් අනගි කෘතියක් කියවීමට වාසනා ගුණයද තිබිය යුතුම බව මගේ හැඟීමය.
කතෘ ප්‍රකාශනයක් ලෙස සමාජගත කර ඇති මහාමානව කෘතියේ අලංකාර කංචුක නිර්මාණයත් සිත් බැදගන්නා පොතේ නිමැවුමත් තවත් සුන්දරත්වයක් වෙසතුරු පුවතට බද්ධ කර ඇත.
කංචුක නිර්මාණය මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ.
ඉතින් තම ධනය, කාලය , දැනුම වැය කරමින් ඔබතුමා කළ මෙම නිර්මාණයට මම පුණ්‍යාණුමෝදනා කරමි.
( බණ පොතක් කියා නොසිතන්න. මෙය සුන්දර මානව කතාන්දරයක අලංකෘත නිමැවුමක්මය. )
දිනිති දීපිකා
2020/04/16
Showing posts with label මගේ ලියවිල්ල. Show all posts
Showing posts with label මගේ ලියවිල්ල. Show all posts
Monday, May 11, 2020
Wednesday, July 26, 2017
දුවට නොකිවු කතා
ආදර දියණියට,
දුවේ, මම උඹට පුරුදු ලෙස පුතේ කියා ලියන්නම්.
ඉතින් කොහොමද කියා හලෝ එක දිගේ ඇහුවාට
උඹ නොදකින කතන්දර ගොඩක් මගෙ ඇස් දෙකේ ඇත.
එකින් එක පෙළ නොගැස්සුවත් මුල සිට අගට මේ ලියමන කියවතැයි මම සිතමි.
පුතේ,
ගෙදර දොරකඩ ගාර්ඩිනියා ගහ සුදු රෙද්දකින් හිස වසා ගත් කන්දක් සේමය. ඒත් ඒ මල් සුවඳ දැන් මට ඉස්සර වගේ නොදැනේ,
වැට දිගේ ගිය කැකිරි වැල වෙසක් එකට ලයිට් දැම්මාටත් වඩා එළියෙන් සිනාසෙයි. ඒත් ඒ එළිය මට දැන් පැහැදිලි නැහැ,
පිළිකන්නේ මඤ්ඤොක්කා පඳුරු වහලයට උසය. ඒත් එය ගලවන්න මට දැන් නොසිතේ.
ගේ වටේ ඇති කොස් ගස්වල වැල වරකා කන්නට එන ලේනුන්, නිතර කවි සිංදු කියයි. ඒත් ඒවා මට දැන් නොඇසේ,
වත්ත මැද්දෙන් ගලන දොළ හිටි ගමන් ඉස්සිලා "කෝ දරුවො" කියා අහන්නට අමතක නොකරයි.
ගල්වැටි දිගේ ඇති අන්නාසි පඳුරු වල අන්නාසි ගැට පිටින් කඩන් යන වඳුරන් දකිද්දී මට පන්නන්නට නොසිතෙයි.
කිතුල් ගස්වල මල් ඇවිත් මෝරා ඇට හැදී ගස මුලම වැටී පැල හැදි හැදී යයි. දැන් ඉස්සර වගේ කිතුල් මල් කපන අය නැති එක අපරාධයක් කියල හිතෙනවා. ඒත් එහෙම නැති එකත් හොඳයි. දැන් එහෙම මල් කැපුව නම් මටත් හොරා පාන්දර කිතුල් ගහට නැග තෙල්දිය හොරෙන් බොන්න උඹල නැහැනෙ. මගෙන් කොසු පරාක් කනකම් උඹලව හදන්නත් බැහැනෙ.
ඉතින් පුතේ පහළ ගෙදර මිස්ගෙ මහත්තයත් නැතිවුනා. තව ගෙවල් තුන හතරකම නැන්දල මාමල වගේම ගමේ අපේ වයසෙ හුගක් අය නැතිවුනා. කැන්ද ගහ උඩ ඉදන් නිතර කාක්ක කරව් කරනවා. ඒත් මං කල්පනා කරනවා කවුරු එන්නද නාකි මාව බලන්න කියල. ඉදල හිටල දවසක උඹලගෙ ලොකුමාම නම් දුවගෙන ඇවිත් යනවා.
දැන් කන්දට පහළ ඉදන් වතුර ගේන්න ඕනි නැහැ. මට මතක් වෙනව ළමිස්සියො වෙච්ච උඹලගෙ උකුළ හැඩවුනේ කළේට වතුර ගෙනල්ලමයි. මතකද දවසක් මැටිකළේ උඹ අතින් බිදුනා. උඹට එදා මං ගැහුවෙ ගැහැණු ළමයෙක් වුනහම පරිස්සම ඕනිවට වඩාත් හැමදේටම තියෙන්න ඕනි හින්දා.
පුතේ, ඉස්සර උඹ කොණ්ඩෙ උඩට බැදගෙන පල්ලම දුවද්දි මම කෑගැහුව ඔන්න වෙළඹ යනව කියල. ඒත් අද එහෙම යන්න මැස්සෙක්වත් මේ පැත්තක නැහැ. උඹල තරගෙට හොරා පොලිස් තිබ්බා. සෙල්ලම් ගෙවල් දැම්මා. ගමේ ගෙයක් ගෙයක් ගානෙ ගිහින් කෑව බිව්වා. සොහොනෙ වොලිබෝල් ගැහුවා. වෙලේ එල්ලෙ ගැහුවා. අද අල්ලපු ගෙදර ඉන්නෙ ගැහැණු ළමෙයක්ද පිරිමි ළමයෙක්ද කියල මමවත් දන්නෑ බන්. මිනිස්සු මේ තරම් ආත්මාර්තකාමි වුනේ ඇයි කියල හිතෙනවා.
කොස් ගස්වලට, පුවක්ගස්වලට යැවුව ගම්මිරිස් වැල් වල ගම්මිරිස් ඉඳිලා. මට ඔච්චම් කරනවා පුතේ. ඉස්සර උඹල ගම්මිරිස් කැඩුවෙ නැත්නම් මම හරි ඉණිමග තියල නැගල කඩනවා. අද බිමට වැටෙන ගම්මිරිස් ඇටයක් අහුලගෙන එකතු කරන්න මට වෙලා තියෙන්නෙ. පුවක් වල්ලක් වුනත් ඉදිල වැටෙනකම්ම ඉන්නවා පල් පුවක් කළයකටවත් දාන්න. ඒත් ඊට කලින් ගමේ කවුරු හරි අහුලන් ගිහින්. දැන් මං ඒව පස්සෙ යන්නෙ නැහැ. මොකද පුවක් ටික විකුණලවත් උගන්වන්න මට දරුවො දැන් නැහැනෙ.
උඹට මතකද උඹත් එක්ක හිටවපු රන්තැඹිලි පැළ දෙක. ඒක අන්න පීදිලා. මට උඹව මතක් වෙනව මේ වත්තෙ පිටියෙ හැමදේම දකිද්දි. ඇයි උඹ මගෙ පස්සෙන්ම ඇවිද්ද නිසා. ඉරමුසු ටිකක් පොල්පලා ටිකක් උගුල්ලන්නවත් දැන් මගේ අත පපය හයිය නැහැ. ඊයෙත් ගමේ කවුද වත්ත කෙළවරේ ගොරකා ගහේ ගෙඩි කඩන් යනව මං දැක්කා. උඹලා ඉද්දි නම් ගොරකා ගහට, වෙරළු ගස්වලට, අඹ ගස්වලට හුස්මක් ගන්න ඉඩක් දුන්නැහැ.
සිංහල දෙල් ඇට අහුලන් යන්න කියල ඊයෙ කමලා ආව. කමලලා වගේ පරණ එකෙක් ඇරෙන්න දැන් හැදෙන එවුවො සිංහල දෙල් ඇට වහ කියල තුහ් කියයි.ඒක මට මතක් වුනේ කිරිල්ල පොකුරක් කඩාගෙන මම අයියගෙ දරුවො බලන්න ගිය දවසක දුන්නා. ලේලි ළමයින්ට මොන ජරාව දෙනවද දන්නෑ කියල ඒක විසිකලා පුතේ. මම කටපියාගෙන එදා ගෙදර ආවා. උඹල ලොකු වුනේම ඔය ගඩාගෙඩි කාල කියල මට ලේලිට කියන්න හිතුණත් නාකි මම ඉවසගෙන ඉදියා.
දැනුත් සිරිපාදෙ ලයිට් එක ගෙදරට පේනවා. මට ඉඹේටම අත්දෙක ඉස්සෙද්දි උඹලව ආරක්ෂා කරල දෙන්න කියල කියවෙනවා. ඒක නෙමෙයි මේ පාරත් ගම්මඩුව තියනවා කියල ආරංචියි. ඒත් ඕක තව කී කාලෙකටද දන්නැ. මමත් පුලුවන් විදිහට දෙයියන්ගෙ දානෙට දායක වුනා. උඹට මතකද ඉස්සර දෙයියන්ගෙ දානයක් කිවුවොත් උඹල පාන්දරම යන හැටි. හත්මාළුව එහෙම කාල මටත් බත් එකක් ඔතාගෙන ආපහු හැටි. ගරා යකා නටනවා බලන හැටි.
තව පොඩ්ඩෙන් මට කියන්න අමතක වෙනවා. අතුකෝරල අයියලගෙ කුඹුරු ටික මේ පාරත් වපුරලා නැහැ. ඉස්සර මතකද ඔය කුඹුරු වපුරනහැටි. මීහරක් ටික දාගෙන කයි කිය කියා. ඒ තියා ගොයම් කොළය ගහපුදාට පාවරේ එල්ලන පැට්‍රල් ලාම්පුවෙන් අපේ ගෙදර වත්තටත් එලිය ආපු හැටි. පිදුරු ගොඩ ගහනකම් උඹල බලන් ඉදියෙ ඒකෙ පිනුම් ගහන්න. කුඹුරුවල වැටුණ වී කරල් අරන් ඇවිත් ගෙයි දොරකඩ කුරුල්ලන්ට එල්ලුව මතකද පුතේ. අද ගෙදරට කුරුල්ලෙක්වත් එන්නැති හැටි.
ඊයෙ මිදුලෙ තිබ්බ රට ලාවුලු ගහේ වැටිලා තිබ්බ ගෙඩියක් අහුලන් ආවා. දත් නැති ලොම්බෙන් පොඩ්ඩ පොඩ්ඩ හප හප ඉදියා. කොහොල්ල ලාවුලු ගහනම් කපලා දැම්මා. ආහ් උඹලගෙ අක්කට බටදොඹ ගහයි, දොළගාව තිබ්බ කැටකෑර ගහයි, ගිනිකූරු ගස් දෙකකුයි , ලුනුමිදෙල්ල ගහකුයි කපන්න දුන්නා. එයා හැමදාම නෝක්කඩු කියනවා. එයාට ලියලා දුන්න ඉඩමෙ තිබ්බ ගස් ටිකකපල ඉවරයි. නොදි ඉදියම මැරෙනකොට ගෙනියන්නද අහනවා. මම මේවා මැරෙනකොට ගෙනියන්න නෙමෙයි පුතේ තියන් ඉන්නෙ. උඹලගෙ දරුවෙක් අනාගතයෙ ගහක් කොළක්වත් නමින් දැනගත්තට ඇත්තට පෙන්වන්න නැතිවෙයි. ඒකයි මම මේ එක එක ගස්කොලන් වත්තෙ වවල තියෙන්නෙ.
ඊයෙ වත්ත එළිකරන්න ආව අන්තෝනි. දැන් අන්තෝනිත් හරි වයසයි පුතේ. බඩගින්න නිවාගන්න ඕනි නිසා මොනව හරි කරනවා වගේ. මං එපා කියද්දි තමා වත්ත එලිකලේ. ඒ එලිකරද්දි කන්දෙ ගල උඩ ගොඩගහල තිබ්බ දිරන්නෙ නැති බඩු ගොඩ අස්සෙ තිබිල කෑලි දෙකේ බැටරි දාන රේඩියෝ කෑල්ල තිබ්බ. ඕක එක්ක මම හුගක් ආපස්සට ගියා පුතේ. ඔය බැටරි බැස්සම උඹල අව්වෙ තියල පණ ගන්න හදපු හැටි. ඒ කාලෙ අපිට බැටරි කෑලි දෙකක් ගන්නවත් වත්කමක් තිබුණ මිනිස්සුද ? ඕක වටකරගෙන මුවන්පැලැස්ස අහපු හැටි අද වගේ මට මතකයි.
පුතේ ලියන්න ගියහම අතීතය මතක් වෙනව හොඳටම. ගිරාපලා කොලේ ගැටකොල ගහ ඉදන් පිහිට වෙච්ච හැටි. ඒතියා බිංපොල් ගෙඩිය හිටන් උඹල කාපු හැටි. කොහොම වුනත් දිග වැඩියි කියල උඹ බාගෙට කියවල නිකා ඉදියි. ඒක නිසා මම දැන් ජිවත්වෙන්නෙ අතීතයෙ විතරමයි. වත්මනේ ඉන්න බැහැ. එතකොට පපුව හිරවෙවි උඹලව මතක් වෙනවා. පුලුවන් නම් ලංකාවට ආයෙ ඇවිත් යන්නවත් වරෙන්.
උඹට රත්නත්තරේ පිහිටයි.
අම්මා
Sunday, September 14, 2014
පියාසරවන්තියන්
වතක්
සුන්දර මලක් වෙයි නම් ළඳක් එයි මුදු බවම වෙයි. උපතින්ම සියුමැලි ලද බොළද කම් හමුවේ
සිනාසෙන ළඳුන් ජිවිතය හමුවේ අනේක විදි සිද්දි දාමයන්ගෙන් පරිණතව
යහපත්වත්,අයහපත්වත් සුන්දරවත් අසුන්දරවත් ගලා යන ජීවන ගඟක පිහිනන්නට වෙර දරයි. දරු
නැළවිලි ගී ගැයෙන මුවින් ලොව පාලනය කරන වඳන්ද ඈ සතුව ඇත. දරාගැනිමේ අපිරිමිත ජිව
ගුණය සොබා දහමින් නිරායාසයෙන්ම උරුම කර
ගත් සුකුමොල ලියන් ගැන අඳුරු තැන්ද නැතුවා නෙමෙයි. එහෙත් මේ කතා කරන්න යන්නේ ඈ කොඳු නාරටියක් තරම්
සවියෙන් රටක බර දරාගෙන යන ගමනක පුංචිම සටහනක් තබන්නටය.
විවිධ
අභිමාර්ත හමුවේ නේක විද අවස්ථාවන් නිසා ඇතිවු ප්‍රතිපලයන් නිසා කාන්තාවද අද මුදල්
කියන දේ හමුවේ සක්‍රීයව දායක වන කොටස් කරුවන් වී හමාරය. එදා නිවසට වී දරුවන් පෝෂණය
කරමින් ගේ දොර රැකබලාගත් ස්ත්‍රිය අද එයද කරමින් තම ආර්ථිකයටද හවුල්වෙන හවුල්
කාරිණියකි. අත්කම් විස්කම් වල සිට ලොව ඇති සියළුම ක්ෂේත්‍රයන් අතික්‍රමණය කරමින්
ස්ත්‍රිය දික්විජය කළත්, දන්නදා සිට තුන්වන ලෝකයේ දියුණුවන රටක් වුන අපේ රටේ මෙන්ම
අනෙකුත් දකුණු ආසියාතික රටවල ස්ත්‍රිය උසුලන බර යුරෝපයේ කාන්තාවකට වඩා හාත්පසින්
වෙනස් යැයි මට හැඟෙයි. මෙය ලියන මාත් කාන්තාවක් වුවද මෙය ගැන මට දැනෙන ලෙස මැදහත්ව
ගලපන්නට මා වැර දරමි.
පියෙකුගේ
සෙවණෙහි සොහොයුරෙකුගේ ඇසුරෙහි හැදෙන වැඩෙන කාන්තාවන්ද, මවක් පියෙක් නැතිව කුමක් හෝ
හේතුවකට තනිවම හුස්ම ගන්න අයද මෙලොවෙහි ඇත. මේ කුමක් වුවත් නිවසක සියළු බර පැණ
පිරිමියෙකු මෙන් දරන්නට සිදුවන අවස්ථාවන්හිදි යම් දුරකට අධ්‍යාපන මට්ටම ලබා ඇති
නැති කවුරුත් දැන් විදේශයකට සංක්‍රමණය කරන්නට පුරුදු වී ඇත. මෙය අද ඊයේ නොව දශක
ගණනක් ඈතක සිට පැවත එන්නකි. එහෙත් එදාට වඩා අද එය එන්න එන්නම ඉහළ යයි.
වැටෙන
පෑගෙන රිදෙන ඇවිලෙන දුක්ඛ දෝමනස්සයන් හමුවේ දෙපයින් දිරියෙන් නැගිටින්නට වැර ගන්නා
සියුමැලි ලඳුන් තම දෑතින් තනන සිරිලක අසිරිය මෙපණයි කියන්නට බැරිය. වසර දෙදහස්
දොලහදී සවුදි අරාබියෙන් පමණක් ඩොලර් කෝටි දෙසීයක පමණ ආදායමක් තම මව් රටට හරවන්නට
කතුන් සමත් වී ඇත. ලේ කඳුළු දහදිය සුවඳින්
හැමූ ඒ රුපියල් කෝටි 226400 ක් පමණ ධනස්කන්දය ඈ
සුසුම් ලමින් ඉපැයූ බව අප කවුරුත් දන්නා සත්‍යයකි. දැඩි ආගමික නීතියක් යටතේ
ජිවත්වෙන සමාජයක අත් පා පමණක් නොව ජිවිතයෙන්ද වන්දි ගෙවා එන කාන්තාවන්ද මේ
අවස්ථාවේදී මතක් කළ යුතුමය. තම සෙනෙහස උකස් කොට සත් සමුදුරු තරණයට වීර්යය පාරමිතා
පුරන්නේ උපතින්ම ලැබෙන දරා ගැනීම මතය. හදවතින් ඇවිලෙමින් වසරේ වැඩි හරියක් අධික
උෂ්ණත්වයෙන්ද බැට කමින් මේ කරන මෙහෙවර අමිලය.
අනුනටද බරක් නොවී රටටද බරක් නොවී ජීවත් වන්නට කරන මේ කැප කිරීම සුළු පටු
නැත. සවුදිය හැරුණ කළ තවත් මැද පෙරදික , යුරෝපා සහ ලොව විවිධ රටවල ශ්‍රිංලාංකිකක
ශ්‍රමිකයන් සිටිති. අපේ රටේ මුළු ජන
ගහනයෙන් 21% ක් පමණ මෙසේ විදේශයන්ට යන අතර එයිනිදු 46%ක් පමණ කාන්තාවන්ය. මේ
කාන්තාවන් බොහෝ දුරට රැකියාව ලෙස ගෘහසේවයෙහි නිරත වෙති. ( වෙනත් වෙනත් වෘත්තින්වල
නියැලෙන්නන්ද නැතුවා නොවෙයි )
පිරිමියෙකු යටතේ ආදරය ලබමින් ජීවත්විය යුතු
කතක් මෙලෙස දුරු කතරක යෑම මොනතරම් සාධාරණ නොවේදැයි ඔබට මට නොවැටහෙන්නට පුලුවනි.
එහෙත් නිවී සැනසිල්ලේ සිතා බැලවහොත් එමඟින් මුළු මහත් සමාජයට පමණක් නොව රටටම
සිදුවන්නේ අයහපතකි. විවාහක ස්ත්‍රියක නම් ඈ උණුසුම ලබමින් ලෝකය දකින්නට වැර දරණ
දරුවන්ට මව් සෙනෙහස අහිම්වේ. මවකගෙන් ලැබිය යුතු සියළු වරප්‍රසාද නැතිවී යාමෙන්
සමාජයට ලැබෙන පුද්ගලයා ගැන අපට යහපත් අන්දමින් සිතිය නොහැක. මෙය 100% ක් නොවුවද
බොහෝ දරුවන්ට සිදු වී සහ සිදුවෙන අයහපත් ශාරීරික සහ මානසික පීඩාවන් ගැන අපි
සිතුවාද.?
ඉඳින් ඈ දේශ දේශයන්හි කරක් ගසමින් නැළවිලි ගී
වෙනුවට වැළපිලි ගී ගයද්දී සැනසිලි සුසුම් පිටුවහල් වනවා නම් අපට නිදහසේ මඳහසක්
නැඟිය හැකිවෙද? මා මෙය අසද්දී ඔබ කියාවී නොගිහින් නිකා ඉන්නට හැකිය කියා. එසේත්
නොමැති නම් නැති නිසානෙ යන්නෙ කියා, මේ සියල්ලම අපි අපේ හදවත් රවට්ටා ගැනීමක්
නොවන්නේමද..? ඈ වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම අපතින් වූවාද යන්න අප අප තනි තනිව
සිතමු.
Thursday, May 15, 2014
මා මනස අතරමං කළ " මාගම් සෝලිය "
"කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි "
කල්පනා ලෝකය
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර
ආරම්භක පිටු අතරම මෙය දැමීමෙන් කියවන්නා එය දැකීමෙන් කර්තෘ කියන දේ ගැන තර්ක කිරීමට අවස්ථාවක් පාඨකයාට අහිමි කර ඇතැයි මං සිතමි. පන්සල කේන්ද්‍රීය සාධකය කරගනිමින් පවුලක් වටා ගෙතුන මොහාන් රාජ් මඩවලගේ මාගම් සෝලිය නැමති නව කතාව මා ප්‍රශුස්ථය කර ගනිමින් විවරණයක යෙදෙන්නට හදවතට එකඟ වෙමි.
1818 දී ඉංග්‍රීසින්ගෙන් රට බේරා ගැනීම අරඹයා ඌව වෙල්ලස්ස කැරැල්ල ඇරඹිණි. ලොව දරුණුම ත්‍රස්තවාදීන්ද පරාජය කළ අප ශ්‍රිලංකා හමුදාව අද මෙන්ම එදාද අති බිහිසුණු ලේ ඟගක් මැද බැස තිර සාර අදිටනින් විමුක්තිය සොයා සටන් කළහ. වැටෙමින්ද වැඩෙමින්ද දන දන තුඩ තුඩ රැව් දෙමින් ගමක් ගමක් පාසා ඇවිලෙමින් එය විකාශනය විය. ඕනෑම අයෙකුගේ අවධානය නිතැතින්ම ඇදී යන්නට සලස්වන ඉතිහාසයයෙහි ලොම් ඩැහැ ගැන්වෙන දෙයක්ද කතාව ආරම්භයට පෙර මුල් පිටු ගොන්නට එකතු කරන්නට මොහු දක්ෂය. එම දැකීම් දිගේ ගියද අවසන හදවතෙහි ඉතුරු වන්නේ මෙලොවදී මිහිපිටදී සිදුවිය හැකිදැයි යන සිද්දිදාමයක් කරපින්නාගත් ප්‍රශ්ණාර්ථ ගොන්නකි. කාගෙත් කියවිල්ලට මාද මටම කියා පොතක් ගෙන හති දම දමා කියවා අහවර කලෙමි. මා දෙලොවක අතරමං විමි. ඒ මෙවන් ලොවක මේ දේවල් වේදෝ යන මනෝ විකාරයයි.
පුංචි රාලගේ අනාදරයට නතු වු ගෝමරී නම් බිරිඳත් තම දියණිය හා පවුල් කන සැමියාත් ගිහියෙක් වුද නමුත් පැවිද්දෙකු සතු යුතුකම්ද කරන ගනින්නාන්සේ කෙනෙකුත්ද මැණිකා, පුංචා, ටිකිරි ආදී දරුවන් සමඟින්ම පොඩිනා, ආරච්චිල, සුරඹා, සොබනී යන වෙනත් චරිතද මෙයට ඈදාගෙන ඇත. විවිධ දේ අතින් ලොව නොහිතන දේ වෙද්දී තම දියණිය සමඟ පවුල් කන පියා යන චරිතයට පුදුමයක් නොවේ යැයි යමෙක් තර්ක කළ හැක. එහෙත් එය උලුප්පා පෙන්වන විදිහට අප්පිරියා හිතේ.
අද ලිංගිකත්වය ගැන කතා කිරීම එතරම් දෙයක් නොව. එය මෙලොව සත්වයා බිහිවිම අරඹයා එදා සිට අදත් හෙටත් ලොව පවතින තුරුත් සිදුවන්නකි. නමුත් මෙකී ක්‍රියාව ගැන ලිවීම ප්‍රමාණය ඉක්මවා ගියා යැයි මට සිතේ. ඕනෑම දේක සීමාවක් තිබිය යුතුය. එහෙත් ජුගුස්සාජනක ලෙස එකම දේ විවිධ චරිත වටා පුන පුනා ඉලිප්පීම මත පාථකයාගේ මනස දිගේ ගලා එන්නේ ඔක්කාරයකි. වල්ලී සහ ආරච්චිගේ පුතා දේවාලය තුල හැසිරෙන අවස්ථාව ලියා ඇති ආකාරයත් තව ඕනැ තරම් උදාහරණත් කතාව පුරාම ඇත.
සම්ප්‍රදායික පන්සල යන රමුවෙන් පිට පැන ගත් පන්සලක වින්‍යසය ගෙතන මෙහි ධ්‍යාන ලබා ගත් ලොකු හාමුදුරුවන් අනාගතය දකිමින් පල්ලේගම හාමුදුරුවන්ව ගමින් පිට කර සටන් සදහා වෙහෙස වන්නට යවයි. මෙය පිලිගන්නට හැකිය. මන්ද චිරාත් කාලයක් ගමත් පන්සලත් බද්ධ වෙමින් බුදු දහමත් සිංහල ජනයාත් රකිනු ලැබුවේ ගමේ විහාරස්ථානයේ හිමි නම විසිනි. මෙකී හිමි නමද තම යුතුකම් ඉටුකලා යැයි මට සිතේ. එමෙන්ම උන්වහන්සේ නිවුණු මිනිස් දහමින් පරිපූර්ණ චරිතයකි. ලොකු හිමි ගැන කතාව තුලදි කිසිම අකැමත්තක් ඇති නොවේ. උන්වහන්සේ විය යුතු දේ වෙන්නට ඉඩ හසර තනා දී ඇස් පියාගත්තා යැයි මට සිතේ. නමුත් එතැන් පටන් පන්සල බාරගන්නා සුදු බණ්ඩා එසේත් නොමැති නම් ඇබිත්ත උන්නාස්සේගේ ක්‍රියා කලාපය කෙසේවත් පිළිගන්නට බැරිය. එම චරිතය මවද්දි මෙකී කතුවරයා පැටලිලා ගියාදෝයි මට නොසිතෙනවා නොවේයි. එහෙත් අපට පිළිගන්නට බැරි අධි තාත්වික ලොවක් කරා අප රැගෙන යන්නට වෙහෙසෙන කතුවරයා පාථකයා අතට දෙන්නේ උක් දණ්ඩකි. එය සපන වාරයක් පාසා පැණි රස අඩුවෙනවා සේ මෙයද කියවා යද්දී රසද්දීපනය හීන වී යයි.
මෙලොවෙහි වටිනාම දියරය මව් කිරිය. එයද කිසිදා දරුවෙක් නොවඳපු එහෙත් දරුවන් වඳන්නට උදවු දුන් පොඩිනා නැමැති ගැහැණියට අසීමිතව උරුම වේ. ලොව මවිත කරන රහස් බෙහෙත් තනමින් ඇය මුදල් උපයා ගන්නවා පමණක් නොව බිංදු තනිකරම ජිවත්වන්නේ මව් කිරෙන් පමණි. වෙන යම් අහරක් කිසි විටක ඔහුට නොදෙයි. ඔහුගේ පුරුෂ ලිංගය ස්වාභාවිකත්වය පරයා යමින් විහිළුවක් තරමට පත්වී ඇත. එහි හොඳම සිනා යන තැන නම් පොඩිනා පසුව රහස් බෙහෙතක් තනා පිරිමින්ට එම බෙහෙත අලෙවි කිරිමයි. අද සමාජයේද මෙවැනි චරිත ඇත. තම ලිංගේන්ද්‍රිය ගැන සෑහිමකට පත් නොවු කළ විවිධ වෙද හෙදකම් කරමින් ඒ ගැන සෑහීමකට පත්වෙන්නට වෙර දරණ අවස්ථා නැතුවා නෙවෙයි. වාජීකරණ බෙහෙත් ගැන අදද පුවත්පත් වල ඕනෑ තරම් දැන්වීම් ඇත. එහෙත් මෙතන සිදුවන විහිළුව නම් මෙය මව්කිරෙන් තැනීමය. දොවන්න දොවන්න උණන කිසිදා නොසිදෙන මව්කිරි හරියට මැජික් ඇල්ලක් වැනිය. එක දිගටම කඩා වැටේ. කළයක් දෙකක් නොව ඇතිවෙනතුරු දොවා තැබිය හැක. මේ තරම් දුරට පාඨකයා නූල් බෝලයක මෙන් පටලවා අතරමං කලේ මන්දැයි මට සිතා ගන්නට බැරිය.
එහෙත් මේ සියල්ලන්ගේම ප්‍රධාන අරමුණ මාකටින් විය හැක. අද හොදට විකුණන්නට පුලුවන් දේ ලිංගිත්වය වු නිසා මොහු එය විකිණිමට යොදා ගත්තාදැයි සැක සිතේ. ඕනෑම දෙයක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඔසවා තබන්නට ගිය විට එම පුද්ගලයා අසාර්ථක වේ. මොහාන් රාජ් මඩවල නැමැති මේ කතුවරයාද නොගැලපෙන ලෙස ලිංගිකත්වය කරපින්නාගෙන උස්සා තබන්නට යෑමෙන් ඔහු අච්චාරුවක් කර ගත්තා දැයි මට සිතේ.
යථාර්තය ඉක්මවා ගිය රීතියක් ඔස්සේ යමින් මෙය රචනා කරමින් එදා වෙල්ලස්සේ අහිංසක ගැමියන් ගැන වැරදි රූපයක් සමාජය ඉදිරියේ මවා පෙන්වීම දුක්ඛදායක කරුණකි. අනික් දෙය නම් කතාව ආරම්භ වීමට පෙර 1818 කැරැල්ල ගැන කියන තරම් කිසිවක් කතාව තුල නැත. අවසාන හරියේදි යන්තම් කතාවට එය ඔබා ඇත. අසාර්ථක ෆැන්ටසියක සිට විකෘති, සමාජ විරෝධී, පාඨක මනස නිවී සැනසී සන්තෘෂ්ඨියක් ලබනවා වෙනුවට අප්‍රිය වී අප්‍රසාදය වැපිරී කියවු අපරාධය යැයි යන හැගීම ඉපදීම දුකට කරුණකි.
ප්‍රාථමික ලිංගික අරගලයක් ගෙනයමින් අභුත විකාරයක් තුල හිරවූ කර්තෘ තුමා ඔහුගේ ප්‍රථම නවකතාව හොඳම හොඳ මාකටින් න්‍යායක් බව පමණක් සඳහන් කළ යුතුය. එය පොත මුද්‍රණය කළ දින සිට අද වන තුරු ඔහු දක්ෂ ලෙස හසුරුවා ගෙන යන්නට මෙහි ගැබ් කර ඇති දේ මනා ලෙස පිටිවහල් වී ඇත. පාඨකයා සර්ව බලධාරියා කියමින් ඔහු ඇරඹුමේම අත පිස දමා ගන්නේ එබැවිනි.
Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...


