Saturday, September 24, 2022

සිහිනයියේ

 අයියේ, 


ඔයාට ලියන්නැ කියලම හිතට තහංචි දාගත්තෙ මීට අවුරුදු දෙක තුනකට කලින්. මං ලියන එකම එක අකුරක්වත් ඔයා කවමදාවත් දකින්නෑ කියල හිත කිවුවා. ඒත් අතහැර දමපු හුගක් දේවල් ආයෙ ආයෙත් කරන්න ආසාවක් ඇතිවුනා. 


එදවස ඔයා කොහේ හෝ තැනක අජීවී වස්තුවක්, ඒත් අද,  ඔයා මං ගාව සජීවීව ඉන්නවා කියලා දැනෙද්දි මං සමහර වෙලාවට මටම කොනිත්තලා බලනවා. හීනයක්ද දකින්නෙ කියල එච්චරට සැකයි.


හැමදාම වගේ මහ ලොකු කාලයක් අපි මේ ලෝකෙ , මේ ආත්මෙ ඉන්නෙ නැහැ අයියෙ. වෙන වෙන ස්වරූප වලින් වෙන වෙන විදිහට මුණ ගැහෙන්නත් පුලුවන්. නැතිවෙන්නත් පුලුවන්. අපිට අපි අයිති වෙන්නත් පුලුවන්. අපිවත් නොදන්න වෙන වෙන අය ගාව තාවකාලික නැවතුමක නවතින්නත් පුලුවන් .


මහ පාරවල්වල රස්තියාදු වෙවි ඔයාව හොයපු දරුණු කටුක අතීතයක් මට තිබුණා. කවුරුවත් කොහොමටවත් පිලිගන්නැති හිතක් අදටත් මං ගාව තියෙනවා. ඒ ඔයා නිසා.


මේ ලෝකෙ පුදුම තැනක් අයියා . අද කඩවතට එද්දි බස් එකේ සිටි එෆ් එකේ අමිල අයියගෙ හඩින් ආරාධනා ස්වර දැහැන වැඩසටහන ප්‍රචාරය වෙනවා. ඒකෙදි අමිල අයියා කිවුව පුංචි වාක්‍යයක් මතක් වුනා. ආදරය, ප්‍රේමය, ස්නේහය, ලෙංගතුකම මේ මොන නමකින් කිවුවත් ඒ තැන්වල තියෙන්නේ බැදීමක්. 

ඇත්ත අයියා . ඒ බැදීම් පටන්ගත්ත තැන හොයනවට වඩා බැදීමට සාධාරණයක් කරන්න පුලුවන් නම් කොච්චර වටිනවද ? කියලා. මට හිතුනා මමත් එහෙම වෙනවා කියලා. 


මේ මොහොතෙම ඇම්බියුලන්ස් එකක් කෑගහගෙන යනවා ඇහෙනවා. කවුරු හරි ජිවිතේ ඉල්ලන කෙනෙක් ඒ. හරියට මම අයියගෙන් ජිවිතේ ඉලලනවා වගේ. පුරුද්දට වගේ හිතින් සුවපත්වේවා කියලා මිමිණුනා. මහා ලොකු දේවල්වල නෙමෙයි අයියා සතුට තියෙන්නේ , පුංචි සිංදුවක පද පේලීයක, ඔයාගෙ ඇස් දෙක ඇතුලෙ මාව පේන වෙලාවක, ලඟින් තියාගන්න ආස හිතෙන තත්පරයක ,කටහඩක, බැල්මක, කෙ⁣ටි පණිවිඩයක ආසාධ්‍ය ලෙඩ ගොඩකට ප්‍රතිකාර තියෙනවා අයියෙ.


දන්නවද , 

පුංචි කෙල්ලෙක් ආදරේ ගැන තේරෙන දවසක ඉදන් එක රූපයක් හෙව්වා කියන්නෙ. විශ්වාස කරන්න අමාරුයි. කොහොම විශ්වාස කරන්නද නේද ? ජීවිත කාලෙම එකට ඉන්නම් කියපු අයත් අපිත් එක්ක ජීවිතය බෙදාගනිද්දි රටේ ලෝකෙ තව තව අයට ආදරෙයි කිය කියා ආදරය බෙදායද්දි කොහොම විශ්වාස කරන්නද ? 


එවරස්ට් කන්දට නගින්න කිවුව නම් මං නගිනවා අයියෙ. මැරිලා පෙන්වන්න කිවුව නම් මැරෙන්න තරම් පුදුම හිතක් තියෙනවා. හැම ඇස් පිල්ලමකටම හේතුවක් තියෙන්න ඕනි කියලා ප්‍රශ්න කරන මට, මාවත් ප්‍රශ්නයක් වෙච්ච ලෝකෙක අයියට එහෙම හිතෙන එක සාධාරණයි. 


තිරිසන් සත්තු ගාව තියෙන අවංක ආදරේ මිනිස්සු ගාව නැහැ කියලා අපි කතාවට කියනවා. ඒක පිලිගන්න පුලුවන්. ඒත් මං කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලද්දි එහෙම අවංක ආදරේ තියෙන කෙනෙක් පේනවා. ඔයත් බලන්නකො අයියා.


කොළඹ අහස හරි දුප්පත්. මගෙ ගමේ වගේ නෙමෙයි. බුම්මගත්ත වලාකුළු ටිකක් , හරියට තාලයක් නැතිව කියවන ගෙම්ඹො ටිකක්, අල්ලපු කාමරේ පණ තියෙන මනුස්සයෙක් ඉන්නවද කියලවත් දන්නැති කොළඹ රට ගැන මට කැමැත්තක් නැහැ. ඒත් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි නේද 😊😊😊


බළල් තඩියෙක්ගෙ ගාම්භීර හඬක, කණාමැදිරින්ගෙ තොරණ් එළි, ලස්සනම හදවතේ ගීතය කියන කඳු මුදුන. ආදරෙයි ආදරෙයි කියලා හැපෙන සුළඟ, වැල ගෙඩියකට වරකා ගෙඩියකට තටු ගහන වවුලන්, ඔය වගේ තව කොච්චර දේවල් තියෙනවද ? හරියට මට ඔයා ගැන කියන්න තියෙන දේවල් තරම්.


අමරසිරි පීරිස් ගායනා කරන්නෙ , කාලය කෙතරම් නපුරු ද කියලා. මටත් මගෙන්ම ප්‍රශ්න කරන්න තියෙන්නෙ ඒකමයි. 


බැදීම් කියන්නෙ තාවකාලික , සදාකාලික ඒවගේ වර්ග කරන්න බැහැ. හරියට අපේ මිනිස්සු කසාද, දික්කසාද , අනියම්, නියම්, අයථා අරක මේක කිවුවත් එ මනුස්සයො විතරයි ඒව දන්නෙ.


ලියන්න හිතපු කිසිම දෙයක් ලියාගන්න බැරිවුනා. අක්කෙ ආදරය ගැන ලියන්න කිය කියා කරදර කරන හේෂානි නංගිවත් මතක් වුනා. 


පෙරුම් පුරා දුකසේ ගලපාගත්, මේ බැදීම හුස්ම ඩිංග නවතින මොහොත වෙනකම්වත් තිබුණොත් හොඳටම ඇති අයියෙ. 


හැම බැදීමකටම ⁣හේතුවක් තියෙනවා. හේතුවක් නැතිව කිසිම ඵලයක් නැහැ. මහාචාර්ය සරත්චන්ද්‍රයන් මනමේ ලිවුවෙ, සිංහබාහු ලිවුවෙ තමන්ට තිබුණ බැදීම් අහිමි වුන තැනදි කියලා මං කියවල තියෙනවා. හිමි වීමට වඩා අහිමි වීම රසවත්. ඒක දන්නෙ අහිමිවීම්ව විතරක් හිමිවෙච්ච මිනිස්සු අයියා. මං වගේ 😊😊😊


#දිනිති 2020/09/24

Thursday, September 22, 2022

"ඔබ මිස වෙන අය නොපැතූ

 සීමිත ලෝකෙක

අසීමිත බන්ධනය

ඇස් ඉස්සරහ මතුවෙද්දී

උස්ම උස් තැනකින් හදවතේ

මම ඔබව වැළඳගමි.

සිප ගනිමි. සඟවගමි.


මැණික,

නිද්‍රශීලී මන්දස්මිතයකට

සප්ත ස්වරයම එකවර නින්නාද කරවූ

නිශ්ශබ්ද ඉරණමක නැවතුම තැබූ

ගසල් ගීයක මිහිර කැන්ද වූ

මගේ වෛවර්ණ හීනය...


සියලු හැඟීම් එකවර එකතුකර

ප්‍රේමණීය බැල්මකට වශීවන

මගේ මන්ත්‍රකරු

මා ඔබේ දැහැනෙන් අත් නොහරිනු

ඒ නේත්‍ර ගැටීමට මා මනාපය.


"ඔබ මිස වෙන අය නොපැතූ "

❤️❤️❤️❤️❤️


#දිනිති

Monday, September 5, 2022

"කිසිම කවියකට ජීවිතේ ගලපන්න එපා සාරදා"


සතර වරම් දෙවියන්වත් නැති

හතරමං හන්දියක වෙන් වුන

"හත්වලාමේ එහෙම වුනාදැයි "

හත්මුතු පරම්පරාවම අහන දවසකට,


‍පෝරුවේ හයියෙන්ම සිනාසුන හැටි

පපුවෙ උණුවතුර නටපු ලස්සන

අෂ්ඨක කියද්දිත් සභාවට විරිත්තුව

‍හේතුව කවුරුවත් දන්නෙ නැහැ සාරදා


"ලස්සනම ජෝඩුව ඉටි රූප පරද්දන"

‍"කොහොම ගැලපෙනවද ඒ වගේ" අහන

මධු සාද, මධු බඳුන් යටි හිතින් රවන

අලංකාරම මඟුල අහවර තමයි ඇරඹුම


ඔයා මාවම තුරුල්කරගෙන ගත්

පළමු ඡායාරූපය මේසයක් කොන

මකුළු දැල් මිතුරු සඳ වී පොරවගෙන

ඇත්තටම එතන අපි හිටියද සාරදා


කන්න ගත්තත් උගුර මුල හිරවෙන

ඔයාගේ හොඳම විතරක් මතක්වෙන‍‍

‍කොතනකවත් වැරැද්දක් නොපෙනෙන

ඔයාවම ගැලවිලා විසික් වුන හැටි සාරදා


ආදරේ කියන්නෙම අල්ලාගැනීමම

ආදරේ කියන්නෙම අත හැරීමම‍‍

‍දෙකම එකලෙස දරාගෙන ඔබම

වැස්සකටවත් මතක්වෙනවද අපි ගැන


‍දොසක් නොකියමි මනමෙ කුමරිට

ඇසක් සේ රැකි ඔබ ගැන දනිමි

එකක් කියනෙමි ඔබට පෙර ලෙස

කවක් තුළ ජීවිතේ නැහැ කිසි දින



Monday, August 29, 2022

මා තබා ඔබ යන්න

 සැරිසැරූ හැම තැනම මේතාක්

සෙවූ කිසිවක් හමුනොවුණි

ඉඳින් මා ප්‍රිය හිතවතුනි,

තැනිතලා තෙත් බිම් දියවී හමාරය

ලියූ ගී එකින් එක ලෙහූ විට

හුස්මකින් අහුර ගානේ එතී ඇත

දසැ'ගිලි මතින් රූටා වැක්කෙරන

නමක් නැති පැතුමන් බිදී ඇත


වැහිකෝඩ සුළි සුලං කලුවරට

වෙව්ල වෙව්ලා පෑරෙන ජීවිතයකි

පාවෙලා ගලාගෙනවත් නොයන

ඇහිදාර අඟිස්සක උණුදිය බුබුළුය


චරිතාංග නළු නිළි වරප්‍රසාද අහිමි

මෙගා ටෙලියක අතුරු චරිතයකි

බිම වැටී පෑගෙන්න කියූ විට

සියළු රංඟනයන් නතරවී ඇත


උක්ත ආඛ්‍යාත සමබර නොවන

රචනාවක කොමාවක් තිතත් නොවුණි

අක්ෂර වින්‍යාසය පැටලිච්ච ලියවිලි

වැහි දියෙන් දියබත්ව දියවී ගොස්ය


හිතාදර මිනිසුනි

ඔබ කොහෙද කොතැනකද කා සමඟද

අතුරු ප්‍රශ්නාවලී නොනගනතාක්

බොහෝ සුන්දර ගීතාවලි නොනැවතී

සබඳකම් ඉතා මිහිරිව ගලායයි


සුවෙන් සතුටින් කෙලවර ලියායන්නට

ඔබලා ඉන්න තැනකම ඉන්න

හුස්ම වැටේදැයි විමසා බලන්නට

තනිව මා තබා වෙනතකට යන්න

❤❤❤❤❤




Monday, May 11, 2020

මහාමානව

නමො තෙ මහමානව !!!

‍මේ මහා විශ්වය තුළ උපන් ඒ අසිරිමත් මිනිසා උන්වහන්සේමය. ඒ උත්තම අසිරිමත් සිරිමතාණන්ගේ එක් ආත්ම භවයක හදවත් නිවාසනහාලන විකාශනයක් කිවූයෙමි. ආනන්දයත් ප්‍රඥාවත් උපරිමයෙන් ලද බව නොසඟවා පවසමි.

පන්සිය පනස් ජාතක කතා අතර වෙසතුරු කතාවට ලැබෙන්නේ අපූර්ව තැනකි. ඒ අපූර්වත්යම සාමාන්‍ය ජන විඥානය තුළත් මහා ප්‍රඥා විද්වතුන් අතරත් තම තම නැණ පරිදිම තැන්පත් වී ඇත.

විවධ චිත්‍ර, ගීත, කතා, සිනමා, නාට්‍ය ආදි විවිධාකාර මාධ්‍ය ඔස්සේ වෙස්සන්තර ජාතකය අපි දැක ඇත්තෙමු. කියවා ඇත්තෙමු. අසා ඇත්තෙමු.
එළෙසින්ම මන දොළ පිනවා හදවත් ස්පර්ෂ කරමින් නිබඳ රසිකාකර්ෂණයක් ලබා ගන්නට සමත් කෘතියක් මම ද කියවා හමාර කලෙමි.

ඒ අන් කිසිවක් නොව ප්‍රේමරත්න සමරනායකයන් විසින් රචිත "මහාමානව" නම් අසමසම කෘතියයි. ප්‍රබන්ධයයි. නවකතාවයි. වරක් කියවූ විට නැවත නැවත කියවන්නට ආසා ඇතිවන පරිදි බෝසත් චරිතය අප හදවතට ඇද බැද තබන්නට එතුමා සමත් වී ඇත.

සැකෙවින් අප දන්නා පුවත අනුව නම් ඇත්තේ පැනයකි. ඒ පියෙක්ට තම දරුවන් දන් දෙන්නට හැකි ද ? කියාය. එපමණකුදු නොව බැල මෙහෙවරට අත පැන් වත්කර දිය හැකි ද ? යන්න ගැටලුවකි. බුදුබවට පෙරුමන් පුරන අසිරිමත් මිනිසුන්ගේ කතා පුවත් එලෙසින්ම දුර්ලබය. අතිශෝක්තයක් නොවූවත් ඒ මහා පාරමිතා බලයන් ගැන අපට අංශු මාත්‍රයකින් හෝ සසදා සිතාගන්නටවත් බැරි බව කිව යුතුමය.

සාරාසක්ඛ්‍යෙ කල්ප ලක්ෂයක් පුරා අනන්ත වූ සසර ගමනක කෙළවර උන්වහන්සේත් දකිමින්, අපටත් දකින්නට ඉඩ හදාදෙන්නට කැපවූ මහාමානවයාණන්ගේ එක් ආත්ම විවරණයක් ප්‍රබන්ධයක් තුළට ගොනු කරන්නට ප්‍රේමරත්න සමරනායනයන් අතිදක්ෂ වී ඇත. ඒ හුරුව අද ඊයෙක ඇති වූවක් යැයි විශ්වාස නොකරමි. එතුමා විසින් සසර ප්‍රගුණ කළ යම් පාරමිතාවක් මෙයට පිටුවහල් වන්නට ඇති බව නොඅනුමානාය. මන්ද යත් මෙය එතරම්ම අතිශෝක්තයක් නොවන අසිරිමත් කෘතියකි.

‍ලද නිවාඩු සමය තුළ මා විසින් දිනපතා කියවූ පොත් ද මා දිවිය පුරා කියවූ පොත් ද ගත් කළ මේ කෘතිය ඒ කිසිවකට සමකළ නොහැක. බුදුන්ගෙන් දෙව්රමදී බණ පදයක් ඇසුවා නම් කෙතරම් නිවී පහන් වෙනවාදැයි දැන් අමුතුවෙන් සිතිය යුතු නැත.

‍වෙසතුරු කතා පුවත තුළ ප්‍රේමරත්න මහතා හුදෙක් බුදු බණකට පමණක් සීමා නොකරයි. එතුමා මේ මහා සසර පුරාම පුදුමුත්තර බුදුන්ගේ පටත් මෙතේ බුදුන් දක්වාම සමාජයම ආවරණය කර ඇත.

සමාජය නමැති නිවෙස තුළ සිටින සියලුම මානව කණ්ඩායම් එයට එකතු කර ඇත. විප්ලව කරමින් සමාජවාදය කතා කරන රුසියාවද, ධනවාදය අර්ථකනය කරන මහා සමාජ සංස්ථාද, කුලීන කුලහීන සමාජ ස්ථරයද, ඒ මතින් ගැටෙන පීඩිතයාද එකී මෙකී නොකී සියල්ලන්ම ඇත.

එමෙන්ම රාජ්‍ය පාලනය තුළ අද්‍යතනයේ දක්නට සිටින මුග්ධ දේශපාලකයන්ද, රටත් රට වැසියාත් සුරකින ජන නායකයන්ද මේ මහාමානව පුරාවටම ඇත. විශ්වන්තර රජු එයට කදිම උදාහරණයකි. එමෙන්ම "කෝසිය" සිටාණන් වැන්නවුන්ද "නීලකේතු" බමුණන් වැන්නවුන්ද එදත් අදත් හෙටත් නොඅඩුව අප සමාජය පුරාම සිටිති. තම බලය ධනය උදෙසා මිනී මරා හෝ ජීවත්වන්නට සිතන්නවුන් බොහෝය.

"කුටිල" වැනි පීඩිත පන්තියේ සිට සමාජයෙන් බැට කා, හිස ඔසවන්නට සිතන උන්ගේ යටි හිතේ සඟවා සිටින වෛරයේත් පළිගැනීමේත් නාගයාද සිටින බව නොරහසකි. නමුත් සියල්ල ධර්මය ඉදිරියේ පරාජය ලබන බව සනාතන දහමකි. එය මහාමානව පුරාද නොඅඩුව ඇත.

"ජූජක" වැනි මහළු බමුණන් "අමිත්තතාපා" වැනි සුරූපී දියණියන් වැනි කතුන් විවාහ කරගන්නා යුගය අදටත් වෙනසක් නැතිවම පවතී. තම කුලය රැකගැනීමට එක් පසෙකින් වෙර ගනිද්ද රාගය, කාමය වැනි හැඟීම් නිසාම තම වයසද අමතක කර තිරිසන් වන මිනිසුන් සුලභය. ජීවිතය රැකගන්නට "අමිත්තතාපා" වැන්නවුන් එසේ මහල්ලන් සමඟ විවාහ වුවද ඔහුවද රවටමින් ශුද්‍රයකු සමඟ රහසින් සහවාසයේ යෙදී ගැබ් ගැනීම , එමෙන්ම ඒ ගැබ මහල්ලාගෙ කියා රවට්ටමින් මිල මුදල් සූරාකන ඇඹේණියන් මහාමානව කතාව තුල පමණක් නොව අප වටපිටාවේද සිටිති. ප්‍රේමරත්නයන්ගේ අපූර්වතම ලේඛණත්වයද එයමය. එදා අතීත දඹදිවට අදද හෙටද තුන් කල් ගැලපීමමය.

"මන්ද්‍රි" දේවියන් පාරමී පුරා එන්නේ වෙසතුරු කතා පුවතේ පමණක් නොව. වත්මනේද තම සැමියාගේ දියුණුවට නිවනට කැපවීම් කරන බිරින්දෑවරුන් ඔබ මා අතර ඕනෑතරම් සිටිති. තමන් හැරදා යන බව දැන දැනද තම සැමියාගේ හිත සුව පිණිසම හිතන්නවුන් නැත්තා නොවේ.

එහෙත් " මන්ද්‍රි" දේවියට මා කිසිම එවන් බිරින්දෑවරුන් සම නොකරමි. මන්ද ඇයට සම කතක් මේ විශ්වයේ කොතැනක හෝ නැති බව දන්නා බැවිනි. තම සැමියාගේ උත්තරීතර සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන්ම සාරසංඛ්‍ය කල්ප ලක්ෂය මුළුල්ලේම සියළු පීඩා ඉවසා දරානෙ ඈ ආවාය.

මහාමානව කතා පුවතේ අප දන්නා වෙසතුරු කතා පුවතම වෙනත් මානයකින් හිතන්නට ප්‍රේමරත්න සමරනායක මහතා අවස්ථාව දී ඇත. එනම් තම සැමියාගේ දාන පාරමිතාව සම්පූර්ණ වීමට දරු දෙදෙනාද , ඇයවද දන්දීම ඇය දනී. එය දැනගන්නේ සෘද්ධිමත් "අච්චුත" බමුණාගෙනි. එසේ දැන එය පූරණය කරන්නට ඇය මහෝපකාරී වෙන්නේ දරු දෙදෙනාටද ඒ බව පවසමින්ය. "සහලෙය" "කෘෂ්ණජිනා" නම් දෙදෙරුවන් ද තම පියාණන්ගේ බුද්ධත්වයට උපකාරී වීම පිණිසම අපව ජූජකට දන්දෙන්න කියා සිරිපතුල් සිඹ ඉල්ලති. මන්ද්‍රී දේවියද එසේමය.

අනාගත බුදුවරයෙකුගේ දාන පාරමිතාවට තමන්ට දායකවෙන්න ලැබීමම වාසනාවක්යැයි පවසමින් දරුවන් ජූජක හා යන්නේ සතුටිනි. මන්ද්‍රීද යන්නට සැරසෙන්නේ සතුටිනි.

සාමාන්‍ය ජනයා මෙන් භූමාට දෙවිවරුන් දොස් කියන්නේ මෙසේ බිරිඳ දරුවන් දන්දෙන්නට හැකිදැයි අසමිනි. ඒ පුහුදුන් මිනිසුන්ගේ ස්වරූපය "භූමාට" දෙවියන්ගෙන් "වන" දෙවියන්ගෙන් අපට පෙන්වීමට කතුවරයා සමත් වී ඇත.

‍වෙස්සන්තර ජාතකයට දී ඇති නව අර්ථකතනය තුළ කියවන්නාගේ හද කම්පා නොකර සිටින්නට එතුමා සුවිශේෂී ලෙසම දක්ෂ වී ඇත. කිසිවෙකු කෙරෙහි ද්වේෂයක්, තරහක්වක් නොඋපදියි. එයද මේ කතුවරයාගේ මනා ප්‍රතිභාවේම අංගයකි.

මන්ද්‍රී දේවියගේ කවි ලිවීමෙහි හැකියාව මෙන්ම ඇය තම ආධ්‍යාත්ම දියුණුවත් සමඟ තමන්ගේ පරිනතභාවියද පෙන්නුම් කිරීම සමරනායක මහතාගේ කවීත්වයේම විශාල සුහුරු බවමය. එළු සඳැස් ලකුණ, ගී විරිත ආදියෙන් මනාව කවි මෙහි ඇත. එපමණක් නොව වෙස්සන්තරය ගැන ලංකාවේ විවිධ පන්සල් වෙහෙර විහාර වල ඇති සිතුවම්වල පින්තූරද සුදුසු පරිදි පොත තුළට ගෙන ඇත. එතුලින් පෙනෙන්නේ මහාමානව ලියන්නට සමරනායක මහතාගේ සුදානම් වීමමය.

යමෙක් තම ජීවිතය තුළ කෙසේ හෝ කියවිය යුතුම පොතක් ලෙස මහාමානව යෝජනා කරමි. විවිධාර්ථයන් කියමින් සම්මාන සහතික දෙන්නේ මොනතරම් අවරගනයේ කොළ ගොඩවල් වලටද කියා වරක් දෙවරක් නොව කිහිප වරක්ම මට සිතුණි.

සමරනායක මහතාණෙනි, සෝවියට් රුසියාවද, මෑත පෙරදිගයද, යුරෝපයද , ඈත ඈත දඹදිවද, අනාගත කලියුගයද ඔබතුමා සුහුරුව ගෙන මනාව යුෂයන් පෙරා පදම බලා අපට පිළිගන්වා ඇත. ඒ අමෘතය බොනවාද නැද්ද යන්න පාඨකයාගේ පින, පව අනුව සිදුවන්නකි. මන්ද යත් මෙවන් අනගි කෘතියක් කියවීමට වාසනා ගුණයද තිබිය යුතුම බව මගේ හැඟීමය.

කතෘ ප්‍රකාශනයක් ලෙස සමාජගත කර ඇති මහාමානව කෘතියේ අලංකාර කංචුක නිර්මාණයත් සිත් බැදගන්නා පොතේ නිමැවුමත් තවත් සුන්දරත්වයක් වෙසතුරු පුවතට බද්ධ කර ඇත.
කංචුක නිර්මාණය මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ.
ඉතින් තම ධනය, කාලය , දැනුම වැය කරමින් ඔබතුමා කළ මෙම නිර්මාණයට මම පුණ්‍යාණුමෝදනා කරමි.

( බණ පොතක් කියා නොසිතන්න. මෙය සුන්දර මානව කතාන්දරයක අලංකෘත නිමැවුමක්මය. )

දිනිති දීපිකා

2020/04/16

Wednesday, November 13, 2019

පිපීගේ සිහිනය




එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනිපිරියට " පිපී " කියල පූස් පැටියෙකුත් හිටියා. ඒ මිනිපිරියගෙ නම තමයි " හීන කුමාරි."

ඔන්න ඉතින් කාලය ඔහොම ගෙවිලා යද්දී, හීන කුමාරිට අවුරුදු හතක් විතර වෙනවා. මෙයාගෙ වයසක ආච්චියි සීයටයිත් දැන් හොඳටම වයසයි. මේ මිනිපිරී දවසක් අහනවා,

" ඇත්තටම ආච්චියේ, සීයෙ, කෝ මගෙ අම්මයි, තාත්තයි "

කවදාහරි මිනිපීරී ඕක අහන බව දැනගෙන ආච්චියි සීයයි කතා කරගෙන හිටපු විදිහට කතාව කිවුවා.

" මෙහෙමයි දුවේ. ඔයාව මේ කන්ද මුදුනෙ මාලිගයට අපට ගෙනත් දුන්නෙ සුළං කුමාරියි, සුළං කුමාරයයි තමා. ඒ දෙන්නට නිතරම ලෝකෙ පුරා ගමන් යන්න තියෙන නිසා ඔයාව අපට හදාගන්න දුන්නා. වයසක අපි දෙන්නටත් කවුරුත් නැති නිසා අපි ඔයාට " හීන කුමාරි" කියල නම තියල හදාගත්තා. "

" එහෙනම් ඇයි අම්මයි තාත්තයි මාව බලන්න එන්නැත්තෙ? "

" ඒ අයට ලෝකෙටම හුළං බෙදාහරින්න තියෙනවනෙ දුවේ. "

" ආච්චියි සීයයි මේ මාලිගයෙ නැතිවෙච්ච දාකට මං මොකද කරන්නෙ ? "
" ඒක අපි ඔයාට කියල දෙන්නම්කො. තවම ඔයා පුංචියිනෙ. "
-----------------------------------------------------
කාලෙ ඔහොම ගෙවිලා තව අවුරුද්දකින් හීන කුමාරි වයසට ගියා. ආච්චියි, සීයයි එයාව අර අහස උසට තියෙන මාලිගයෙ උඩම තට්ටුවට එක්කගෙන ගියා. ගිහිල්ලා ඒ දෙන්නම හීන කුමාරිගෙ අතින් අල්ල ගත්තා. අල්ලගෙන මෙහෙම කියනවා

" හීන කුමාරි..අපේ චූටි දුවේ.. අපි දෙන්නා මැරිලා ගිය දවසට ඔයා මේ කාමරේ මෙන්න මේ කවුළුව ගාවට ඇවිත් ඇස් දෙක පියාගන්න. ඊට පස්සෙ ඔයා හිතන පතන දේවල් ඔයාට ඉෂ්ට සිද්ධ වෙනවා. හැබැයි අපි ජීවතුන් අතර ඉන්නකම් නම් මේ දේ කරන්න එපා. "
කියල ආච්චියි සීයයි හීන කුමාරිගෙ ඔළුව සිපගත්තා.
---------------------------------------------------------------
හීන කුමාරිට යාළුවොත් කවුරුත් නැහැ. එයාට හිටිය එකම යාළුවා පිපී විතරයි. දවසක් හීන කුමාරිට ඕනි වුණා පූස් පැටියව එයාට ලැබුණෙ කොහෙන්ද කියල බලාගන්න.

ආච්චිගෙනුයි සීයගෙනුයි ඇහුවම කිවුවෙ පූස් පැටියවත් සුළං කුමාරයයි, සුළං කුමාරියි ගෙනත් දුන්නා කියලමයි.

හීන කුමාරිට ලොකු ආශාවක් ආව මේ සුළං කුමාරියි, සුළං කුමාරයයි කවුද කියල දැනගන්න. එයා දවසක් පිපීගෙන් ඇහුවා.
පිපී කිවුවෙ,
" මං ඇස් දෙක අරිනකොටම හිටියෙ ඔයාගෙ ළඟ " කියල.

" ඔයාව ගෙනත් දුන්නෙත් සුළං කුමාරයයි, කුමාරියි " කියල ආච්චියි සීයයි කියන්නෙ.

" මටත් එහෙම තමයි හීන කුමාරියෙ කියල තියෙන්නෙ. "
"ඉතින් කවුද දන්නෙ ඒක ඇත්තක්ද කියල "

" අපිට බොරු කියල මොකකටද හීන කුමාරියෙ "
-----------------------------------------------------
හැමදාම රෑට නිදාගන්න ගියාට හීන කුමාරිගෙ හිත හරිම නොසංසුන්. පූස් පැටිය කොච්චර කිවුවත් වැඩිය හිතන්න එපා කියල. එයාට ඕනි වුණේම සුළං කුමාරයයි, සුලං කුමාරිවයි කවුද කියල බලාගන්න. පිපී හිටියෙත් හීන කුමාරි ගැන බයකින්මයි. එයා කොයි වෙලේ මුරණ්ඩු වෙයිද දන්නෑ කියල.

අහස උසට තියෙන මාලිගයක කොච්චර දේවල් තිබ්බත් නැති දේකටම හීන කුමාරි දුක් වුනා. සුළං කුමාරයයි, කුමාරියි දකින හීනයක්ම හිත හිතා හිටියා.
----------------------------------------------------------------------------
ඔන්න එක දවසක් හීන කුමාරි කන්නෙ නැතිව බොන්නෙ නැතිව මේ ගැන හිතන්න ගත්තා. පිපී බලෙන් වගේ හීන කුමාරිගෙ කටට කෑම ජාති දානවා. ඒත් හීන කුමාරි දවස් දෙකක් විතර ඔහොම ඉද්දි,

මාළිගයෙ සද්දයක් නැති බව දැනුන පිපී මාළිඟෙ පුරා ඇවිදලා බැලුවා. ඒ බලද්දි වයසක ආච්චියි සීයයි පේන්න නැති බව දැක්කා. ඒ අයගෙ ඇඳ උඩ ලියුමක් තිබුණා. පූස් පැටිය ඇවිත් හීන කුමාරිට මේක දුන්නා,
ආච්චියි සීයයි මාළිඟයෙන් පිටට ගිහින්.ඒ අතර හීන කුමාරිට හිතුණා ආච්චියි සීයයි දවසක් කියල දුන්න දේ කරල බලන්න.

ඒත් පිපී ඒකට අකමැති වුනා.

" අපිට කිවුවෙ ආච්චියි සීයයි මැරුණම නේද ඒක කරන්නකියල. අපෝ මට නම් බැහැ හීන කුමාරියෙ ඒක කරන්න "

ඔය විදිහට දෙන්නා බහින් බස් වෙද්දි හීන කුමාරිව එක පාරටම වැටුණා. පූස් පැටියා බය වුනා. එයා හිතුවෙ දවස් දෙකක් විතර නොකා නොබී හිටිය නිසා හීන කුමාරිට කලන්තෙ හැදුනා කියලා. එයා දුවගෙන ගිහින් වතුර ටිකක් ගෙනත් හීන කුමාරිගෙ මුහුණට ඉස්සා.

ඒත් ඇස් ඇරියෙ නැහැ. පිපී ගියා ආච්චියි සීයයි ආපහු ඇවිත්ද කියල බලන්න එයාලගෙ කාමරයට. ඒ යනකම් හිටිය හීන කුමාරි
එකපාරටම ඇස් ඇරලා මාලිගයෙ උඩට දුවගෙන දුවගෙන ගියා. හීන කුමාරි ගිය අඩි සද්දෙ ඇහිලා පිපී ආපහු ආව. පිපීත් හීන කුමාරි පස්සෙන් ගියා.

හීන කුමාරි නැවතුණේ අහසෙ ගෑවෙන කවුළුව ගාව. නැවතිලා බලද්දි පිපිත් ඉන්නවා. පිපී කකුළෙ වෙලි වෙලී හීන කුමාරිට කිවුවා

" අනේ කවුළුව නම් අරින්න එපා. ආච්චියි සීයයි මැරිලා නැහැ. ඒ අය දැන් ආපහු එනවත් ඇති. අපි ඒ අය එනකම් ඉමු කියල."

ඒ වුනාට හීන කුමාරිට කවුළුව ඇරලා එයාගෙ හිතට හිතෙන දේවල් හිතන්න ඕනි වුණා. ඒ විතරක් නෙමෙයි ආච්චියි සීයයි කියපු විදිහට සුලං කුමාරයයි, කුමාරියි ඇත්තටම එයාගෙ අම්මයි තාත්තයි ද කියල බලන්න ඕනි වුණා.

පිපී ගවුමෙ එල්ලිලා " එපා " කියද්දි හීන කුමාරි කවුළුව අරින්න හැදුවා. පිපීට වඩා ශක්තිමත් වෙච්ච හීන කුමාරි කවුළුව ඇරියා. සුදු පාට පුළුන් ගුලි ගුලි මාලිගේ ඇතුළට එනවා පිපී දැක්කා. ඒ සුදු පාට ඇතුළෙ හීන කුමාරි හැංගෙනවත් පිපී දැක්කා.

පිපී " හීන කුමාරී " කියල කෑ ගැහුවා. ඒත් ඒවා එයාට ඇහුණෙ නැහැ. එයාව පුළුන් ගුලි එක්ක තව තව ඇතුළට යනව විතරයි දැක්කෙ.

පිපී අඬ අඩ හීන කුමාරිට ඇඬ ගැහුවත් එක පාරටම හයියෙන් කවුළු පියන් වැහුණා. ඒත් එක්කම පිපී නිදාගෙන හිටිය සයනයෙන් අඩි ගානක් උඩට විසික් වුණා.

ඇස් පිසදාල වටපිට බලද්දියි පිපී දැක්කෙ තමන් නිදාගෙන ඉන්නෙ හීන කුමාරි ගාවම කියල. ඒ තද නින්දට දැකපු හීනයක් විතරයි කියල පිපීට තේරුණා.


නිමි




සිහිනයියේ

  අයියේ,  ඔයාට ලියන්නැ කියලම හිතට තහංචි දාගත්තෙ මීට අවුරුදු දෙක තුනකට කලින්. මං ලියන එකම එක අකුරක්වත් ඔයා කවමදාවත් දකින්නෑ කියල හිත කිවුවා. ...