කරන්ට් වැට ඇවිදලා ගිහින්වද
කළුවරේ සෙවනැල්ල ඇන්දේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද
හූයි හුයි හුයි කියා ගිනිමැල
නටයි වත්තේ හතර කොන
හූ තියාගෙන අලි පෙරළියයි
පලුගහෙත් පිට අතුල්ලාගෙන
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද
වීර ගහ ඇස් පියාගෙන
වීරෙ අයියත් අහක බැලුවා
බඩ ගගා උඩ පැන්න ඉරිඟුයි
අලියා සින්නක්කරට ගන්නේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා ඇයි මේ වගේ වෙන්නේ
හුස්ම හඩටත් සවන් සොලවන
අලියා අණසක තදින් පතුරයි
හුළං විතරක් වැඩිය ලෙංගතු
කුසත් හයියෙන් හූල්ලයි
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
රාත්‍රියෙ තරු එළිත් නිහඩයි
ඇහේ කඳුළුයි බිමට පැන්නේ
ලේවායෙ ලුණු වෙලා නිතරම
දුකම විතරයි එතන මිදුණේ
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
======================
දන්ත දාතුන් වඩම්මන්නට
බුදුන් දැක මතු නිවන් දකිනට
අලි රජුනි මල් පුදා පින් දෙමි
මගේ අම්මා බිමින් තියපන්.
#දිනිති 2017/08/11
Friday, August 11, 2017
Saturday, August 5, 2017
දහදිය උල්පත්
සයුර වටකර ගත්ත කතරක
සුසුම් අහුරත් මුලාවෙනකොට
සියොතුනේ උඹලාට විතරද
සරන්නට හැකි ගගන හැමතැන
වාලුකාවල ඇතිතරම් මල්
පිපෙනවා තනි තනිව ගැහැණු හිත්වල
ඉසින්නට පිනි නැතත් කිසිවිට
කඳුළු දිය පිනිවෙලා වැටෙයි කැකුළු පෙති උඩ
ගිම්හානෙ හැමදාම නැතිබව
සෘතු මාරු කතන්දරවල අසා ඇතිමුත්
වසන්තය වඩාගෙන ආවෙ කවුරුද
සිහින දකිනා රැයකවත් තනියට
සඳුන්හර මිටින් ගෙන
ඉපදෙන්න බැරිවෙච්ච දුකමද
ලඳුන් කර උඩ ටොන් ගණන් බර
කතන්දර ඇත සිනහා හිඟවෙන
තැනින් තැනකට ගාල්වෙන එක
"උන්ගෙ කරුමෙයි" කියා කිවුවට
කතරෙ මැවෙනා දහදියේ උල්පත්
ගලයි මව්රටට හැරි හැරි
සුසුම් අහුරත් මුලාවෙනකොට
සියොතුනේ උඹලාට විතරද
සරන්නට හැකි ගගන හැමතැන
වාලුකාවල ඇතිතරම් මල්
පිපෙනවා තනි තනිව ගැහැණු හිත්වල
ඉසින්නට පිනි නැතත් කිසිවිට
කඳුළු දිය පිනිවෙලා වැටෙයි කැකුළු පෙති උඩ
ගිම්හානෙ හැමදාම නැතිබව
සෘතු මාරු කතන්දරවල අසා ඇතිමුත්
වසන්තය වඩාගෙන ආවෙ කවුරුද
සිහින දකිනා රැයකවත් තනියට
සඳුන්හර මිටින් ගෙන
ඉපදෙන්න බැරිවෙච්ච දුකමද
ලඳුන් කර උඩ ටොන් ගණන් බර
කතන්දර ඇත සිනහා හිඟවෙන
තැනින් තැනකට ගාල්වෙන එක
"උන්ගෙ කරුමෙයි" කියා කිවුවට
කතරෙ මැවෙනා දහදියේ උල්පත්
ගලයි මව්රටට හැරි හැරි
Wednesday, July 26, 2017
දුවට නොකිවු කතා
ආදර දියණියට,
දුවේ, මම උඹට පුරුදු ලෙස පුතේ කියා ලියන්නම්.
ඉතින් කොහොමද කියා හලෝ එක දිගේ ඇහුවාට
උඹ නොදකින කතන්දර ගොඩක් මගෙ ඇස් දෙකේ ඇත.
එකින් එක පෙළ නොගැස්සුවත් මුල සිට අගට මේ ලියමන කියවතැයි මම සිතමි.
පුතේ,
ගෙදර දොරකඩ ගාර්ඩිනියා ගහ සුදු රෙද්දකින් හිස වසා ගත් කන්දක් සේමය. ඒත් ඒ මල් සුවඳ දැන් මට ඉස්සර වගේ නොදැනේ,
වැට දිගේ ගිය කැකිරි වැල වෙසක් එකට ලයිට් දැම්මාටත් වඩා එළියෙන් සිනාසෙයි. ඒත් ඒ එළිය මට දැන් පැහැදිලි නැහැ,
පිළිකන්නේ මඤ්ඤොක්කා පඳුරු වහලයට උසය. ඒත් එය ගලවන්න මට දැන් නොසිතේ.
ගේ වටේ ඇති කොස් ගස්වල වැල වරකා කන්නට එන ලේනුන්, නිතර කවි සිංදු කියයි. ඒත් ඒවා මට දැන් නොඇසේ,
වත්ත මැද්දෙන් ගලන දොළ හිටි ගමන් ඉස්සිලා "කෝ දරුවො" කියා අහන්නට අමතක නොකරයි.
ගල්වැටි දිගේ ඇති අන්නාසි පඳුරු වල අන්නාසි ගැට පිටින් කඩන් යන වඳුරන් දකිද්දී මට පන්නන්නට නොසිතෙයි.
කිතුල් ගස්වල මල් ඇවිත් මෝරා ඇට හැදී ගස මුලම වැටී පැල හැදි හැදී යයි. දැන් ඉස්සර වගේ කිතුල් මල් කපන අය නැති එක අපරාධයක් කියල හිතෙනවා. ඒත් එහෙම නැති එකත් හොඳයි. දැන් එහෙම මල් කැපුව නම් මටත් හොරා පාන්දර කිතුල් ගහට නැග තෙල්දිය හොරෙන් බොන්න උඹල නැහැනෙ. මගෙන් කොසු පරාක් කනකම් උඹලව හදන්නත් බැහැනෙ.
ඉතින් පුතේ පහළ ගෙදර මිස්ගෙ මහත්තයත් නැතිවුනා. තව ගෙවල් තුන හතරකම නැන්දල මාමල වගේම ගමේ අපේ වයසෙ හුගක් අය නැතිවුනා. කැන්ද ගහ උඩ ඉදන් නිතර කාක්ක කරව් කරනවා. ඒත් මං කල්පනා කරනවා කවුරු එන්නද නාකි මාව බලන්න කියල. ඉදල හිටල දවසක උඹලගෙ ලොකුමාම නම් දුවගෙන ඇවිත් යනවා.
දැන් කන්දට පහළ ඉදන් වතුර ගේන්න ඕනි නැහැ. මට මතක් වෙනව ළමිස්සියො වෙච්ච උඹලගෙ උකුළ හැඩවුනේ කළේට වතුර ගෙනල්ලමයි. මතකද දවසක් මැටිකළේ උඹ අතින් බිදුනා. උඹට එදා මං ගැහුවෙ ගැහැණු ළමයෙක් වුනහම පරිස්සම ඕනිවට වඩාත් හැමදේටම තියෙන්න ඕනි හින්දා.
පුතේ, ඉස්සර උඹ කොණ්ඩෙ උඩට බැදගෙන පල්ලම දුවද්දි මම කෑගැහුව ඔන්න වෙළඹ යනව කියල. ඒත් අද එහෙම යන්න මැස්සෙක්වත් මේ පැත්තක නැහැ. උඹල තරගෙට හොරා පොලිස් තිබ්බා. සෙල්ලම් ගෙවල් දැම්මා. ගමේ ගෙයක් ගෙයක් ගානෙ ගිහින් කෑව බිව්වා. සොහොනෙ වොලිබෝල් ගැහුවා. වෙලේ එල්ලෙ ගැහුවා. අද අල්ලපු ගෙදර ඉන්නෙ ගැහැණු ළමෙයක්ද පිරිමි ළමයෙක්ද කියල මමවත් දන්නෑ බන්. මිනිස්සු මේ තරම් ආත්මාර්තකාමි වුනේ ඇයි කියල හිතෙනවා.
කොස් ගස්වලට, පුවක්ගස්වලට යැවුව ගම්මිරිස් වැල් වල ගම්මිරිස් ඉඳිලා. මට ඔච්චම් කරනවා පුතේ. ඉස්සර උඹල ගම්මිරිස් කැඩුවෙ නැත්නම් මම හරි ඉණිමග තියල නැගල කඩනවා. අද බිමට වැටෙන ගම්මිරිස් ඇටයක් අහුලගෙන එකතු කරන්න මට වෙලා තියෙන්නෙ. පුවක් වල්ලක් වුනත් ඉදිල වැටෙනකම්ම ඉන්නවා පල් පුවක් කළයකටවත් දාන්න. ඒත් ඊට කලින් ගමේ කවුරු හරි අහුලන් ගිහින්. දැන් මං ඒව පස්සෙ යන්නෙ නැහැ. මොකද පුවක් ටික විකුණලවත් උගන්වන්න මට දරුවො දැන් නැහැනෙ.
උඹට මතකද උඹත් එක්ක හිටවපු රන්තැඹිලි පැළ දෙක. ඒක අන්න පීදිලා. මට උඹව මතක් වෙනව මේ වත්තෙ පිටියෙ හැමදේම දකිද්දි. ඇයි උඹ මගෙ පස්සෙන්ම ඇවිද්ද නිසා. ඉරමුසු ටිකක් පොල්පලා ටිකක් උගුල්ලන්නවත් දැන් මගේ අත පපය හයිය නැහැ. ඊයෙත් ගමේ කවුද වත්ත කෙළවරේ ගොරකා ගහේ ගෙඩි කඩන් යනව මං දැක්කා. උඹලා ඉද්දි නම් ගොරකා ගහට, වෙරළු ගස්වලට, අඹ ගස්වලට හුස්මක් ගන්න ඉඩක් දුන්නැහැ.
සිංහල දෙල් ඇට අහුලන් යන්න කියල ඊයෙ කමලා ආව. කමලලා වගේ පරණ එකෙක් ඇරෙන්න දැන් හැදෙන එවුවො සිංහල දෙල් ඇට වහ කියල තුහ් කියයි.ඒක මට මතක් වුනේ කිරිල්ල පොකුරක් කඩාගෙන මම අයියගෙ දරුවො බලන්න ගිය දවසක දුන්නා. ලේලි ළමයින්ට මොන ජරාව දෙනවද දන්නෑ කියල ඒක විසිකලා පුතේ. මම කටපියාගෙන එදා ගෙදර ආවා. උඹල ලොකු වුනේම ඔය ගඩාගෙඩි කාල කියල මට ලේලිට කියන්න හිතුණත් නාකි මම ඉවසගෙන ඉදියා.
දැනුත් සිරිපාදෙ ලයිට් එක ගෙදරට පේනවා. මට ඉඹේටම අත්දෙක ඉස්සෙද්දි උඹලව ආරක්ෂා කරල දෙන්න කියල කියවෙනවා. ඒක නෙමෙයි මේ පාරත් ගම්මඩුව තියනවා කියල ආරංචියි. ඒත් ඕක තව කී කාලෙකටද දන්නැ. මමත් පුලුවන් විදිහට දෙයියන්ගෙ දානෙට දායක වුනා. උඹට මතකද ඉස්සර දෙයියන්ගෙ දානයක් කිවුවොත් උඹල පාන්දරම යන හැටි. හත්මාළුව එහෙම කාල මටත් බත් එකක් ඔතාගෙන ආපහු හැටි. ගරා යකා නටනවා බලන හැටි.
තව පොඩ්ඩෙන් මට කියන්න අමතක වෙනවා. අතුකෝරල අයියලගෙ කුඹුරු ටික මේ පාරත් වපුරලා නැහැ. ඉස්සර මතකද ඔය කුඹුරු වපුරනහැටි. මීහරක් ටික දාගෙන කයි කිය කියා. ඒ තියා ගොයම් කොළය ගහපුදාට පාවරේ එල්ලන පැට්‍රල් ලාම්පුවෙන් අපේ ගෙදර වත්තටත් එලිය ආපු හැටි. පිදුරු ගොඩ ගහනකම් උඹල බලන් ඉදියෙ ඒකෙ පිනුම් ගහන්න. කුඹුරුවල වැටුණ වී කරල් අරන් ඇවිත් ගෙයි දොරකඩ කුරුල්ලන්ට එල්ලුව මතකද පුතේ. අද ගෙදරට කුරුල්ලෙක්වත් එන්නැති හැටි.
ඊයෙ මිදුලෙ තිබ්බ රට ලාවුලු ගහේ වැටිලා තිබ්බ ගෙඩියක් අහුලන් ආවා. දත් නැති ලොම්බෙන් පොඩ්ඩ පොඩ්ඩ හප හප ඉදියා. කොහොල්ල ලාවුලු ගහනම් කපලා දැම්මා. ආහ් උඹලගෙ අක්කට බටදොඹ ගහයි, දොළගාව තිබ්බ කැටකෑර ගහයි, ගිනිකූරු ගස් දෙකකුයි , ලුනුමිදෙල්ල ගහකුයි කපන්න දුන්නා. එයා හැමදාම නෝක්කඩු කියනවා. එයාට ලියලා දුන්න ඉඩමෙ තිබ්බ ගස් ටිකකපල ඉවරයි. නොදි ඉදියම මැරෙනකොට ගෙනියන්නද අහනවා. මම මේවා මැරෙනකොට ගෙනියන්න නෙමෙයි පුතේ තියන් ඉන්නෙ. උඹලගෙ දරුවෙක් අනාගතයෙ ගහක් කොළක්වත් නමින් දැනගත්තට ඇත්තට පෙන්වන්න නැතිවෙයි. ඒකයි මම මේ එක එක ගස්කොලන් වත්තෙ වවල තියෙන්නෙ.
ඊයෙ වත්ත එළිකරන්න ආව අන්තෝනි. දැන් අන්තෝනිත් හරි වයසයි පුතේ. බඩගින්න නිවාගන්න ඕනි නිසා මොනව හරි කරනවා වගේ. මං එපා කියද්දි තමා වත්ත එලිකලේ. ඒ එලිකරද්දි කන්දෙ ගල උඩ ගොඩගහල තිබ්බ දිරන්නෙ නැති බඩු ගොඩ අස්සෙ තිබිල කෑලි දෙකේ බැටරි දාන රේඩියෝ කෑල්ල තිබ්බ. ඕක එක්ක මම හුගක් ආපස්සට ගියා පුතේ. ඔය බැටරි බැස්සම උඹල අව්වෙ තියල පණ ගන්න හදපු හැටි. ඒ කාලෙ අපිට බැටරි කෑලි දෙකක් ගන්නවත් වත්කමක් තිබුණ මිනිස්සුද ? ඕක වටකරගෙන මුවන්පැලැස්ස අහපු හැටි අද වගේ මට මතකයි.
පුතේ ලියන්න ගියහම අතීතය මතක් වෙනව හොඳටම. ගිරාපලා කොලේ ගැටකොල ගහ ඉදන් පිහිට වෙච්ච හැටි. ඒතියා බිංපොල් ගෙඩිය හිටන් උඹල කාපු හැටි. කොහොම වුනත් දිග වැඩියි කියල උඹ බාගෙට කියවල නිකා ඉදියි. ඒක නිසා මම දැන් ජිවත්වෙන්නෙ අතීතයෙ විතරමයි. වත්මනේ ඉන්න බැහැ. එතකොට පපුව හිරවෙවි උඹලව මතක් වෙනවා. පුලුවන් නම් ලංකාවට ආයෙ ඇවිත් යන්නවත් වරෙන්.
උඹට රත්නත්තරේ පිහිටයි.
අම්මා
Thursday, July 13, 2017
ඈ අම්මාය
හෙරලි මඳුළුම දෙකට කපලා
තැම්බෙනා බොහො දවස්වල
තාත්තා කොයිවගේ දැයි අහලා
රණ්ඩු වුන හැටි, මතක මංසන්ධිවල,
හයියෙන් බැණවදින අම්මාගෙ වචනවල
පැටලි පැටලී ගොතගැහෙන තැනකදි
" පලයන් යන්න ගිනිපෙනෙල්ලෙන් නොකා"
තරවටු කරපු ඒ රාත්‍රී යාමයක
භුමිතෙල් කුප්පියත් පෙරලා
වකුටු වී ඉකිගස ගසා
මුරණ්ඩුම වුන වෙලාවක තරහින්,
වැස්සට තෙමී අහිමිවී යැයි බියෙන්
රෙදි පෙට්ටියේ මැදක රදවා
සිනාසෙන අම්මාත් , තාත්තාත්
දෝතින්ම වඩාගෙන පෙන්නාපු "අම්මා"
ඇත්තටම හිනාවෙන හැටි මං දැක්කෙ
අම්මගේ ඒ මංගල සේයාරුවෙන්
රෙදි පෙට්ටියේ මැදක රදවා
සිනාසෙන අම්මාත් , තාත්තාත්
දෝතින්ම වඩාගෙන පෙන්නාපු "අම්මා"
ඇත්තටම හිනාවෙන හැටි මං දැක්කෙ
අම්මගේ ඒ මංගල සේයාරුවෙන්
Tuesday, June 13, 2017
සොඳුරුම කවිය ඔබ මට
සංකා කඳුළු වැහි වාසුලි එකට එතී
සැන්දෑ අහස ඇයි විරසක බවට ගැතී
සිඳ දා නපුරු දැඩි තේජස් අඳුරු පැතී
සඟවා ගන්න නල රැල් ඔබ නමට බැතී
සේදී වලාකුළු සායම් ඉවර වෙතී
පේවී නුඹට මිහිකත නිති ඉඩක් දෙතී
පෑදී සසල හද බිත, මහනෙලක ගතී
පීදී එන්න සිසි ඔබමයි හදට නිතී
තැන තැන රැදෙන සිතිවිලි එක පිඬක් කොට
ඔබමොබ යනෙන නෙතුපිය රැකවරණ පිට
ඉඟිබිඟි පාන දම් පැහැ නුබ කුසක් යට
පුරහඳ වෙන්න ඔබ සොඳුරුම කවිය මට
Monday, June 5, 2017
ගැහැණු හිතක් කොයිතරම් කැමතියිද
" දාඩියයි මගෙ ගාව "
" මහන්සියි මැණිකෙ අද"
" උණුවටම තේ එකක් බොමුද"
පිරිමි හඬකින් ඇසෙන එක
ගැහැණු හිතකට කොයි තරම් මිහිරියිද ?
බතක් රොස්වෙන වෙලාවක
අලුත් සබන් සුවඳක් වඩාගෙන
"අපි කඩෙන් කන්න යමු අද"
පිරිමි හඩකින් ඇසෙන එක
ගැහැණු හිතකට කොයිතරම් මිහිරියිද ?
"මගෙ මැණික වැතිරෙන්න
මේ පපුවෙ හරි මැදින් "
පිරිමි රස්නෙට ගුලිකරන් තදවෙද්දි
ගැහැණු හිතකට කොයිතරම් දැනෙනවද
Tuesday, May 23, 2017
ප්‍රබුද්ධ,
හිතවත් ප්‍රබුද්ධ,
ඔබේ පොත් පිටු අතර සිරකරන් ආදරෙන් සුරකින අම්මාද
මගේ හදවත මැද තද කරන් බදා අල්ලා සිටින අම්මාද
දෙදෙනෙකු නොව එකෙකු බව සක්සුදක්සේ මම දනිමි.
එකදු වෙනසක් නිසාවෙන් අප පරස්පරවෙයි ප්‍රබද්ධ
ඒ ඔබේ අම්මා නිවන්පුර ගොස්
මගේ අම්මා අදත් කවි සීපද කියයි
ඉතින් ප්‍රබුද්ධ
ඈත මහා කඳු වළල්ලට යටවී
මෑත සෙවනැලි ඇද කරද්දී
පාට සේදුණු ලිහිණි තටු යුග්මයෙන්
පාර පෙන්වා මුදුනටම නගින්නට කියු අම්මා මට මතක් වේ
එරමිණියා කටු ඇණී රිදුම් දෙන යටිපතුල් අද්ද අද්දා
තේ දල්ලෙන් දල්ලට යායකම තේ පදුරු සිපගත්තේද
බෝවිටියා හිඹුටු මාදං වෙරළු පුරවන් සෝබරව
අරඹකන්දෙන් බැස්ස අම්මාද මට මතක් වෙයි.
මාන, ඉලුක්, පොඩිසිංඤ්ඤොමරං වටකරද්දී
රෑන පිටින් වවුලන් වැල වරකා කජු පුහුලන් සොයද්දී
කෝඩු ගති අහලකවත් නැති තනි ඇතින්නිය වී
කිරිදෙනියෙ ගල් වලට ගල් ගැහුව අම්මා මට මතක් වේ
තේ දල්ලෙන් දල්ලට යායකම තේ පදුරු සිපගත්තේද
බෝවිටියා හිඹුටු මාදං වෙරළු පුරවන් සෝබරව
අරඹකන්දෙන් බැස්ස අම්මාද මට මතක් වෙයි.
මාන, ඉලුක්, පොඩිසිංඤ්ඤොමරං වටකරද්දී
රෑන පිටින් වවුලන් වැල වරකා කජු පුහුලන් සොයද්දී
කෝඩු ගති අහලකවත් නැති තනි ඇතින්නිය වී
කිරිදෙනියෙ ගල් වලට ගල් ගැහුව අම්මා මට මතක් වේ
පැහැඳුල් සඳවතක් සේ උවනත පුරවගෙන
"පුතේ උඹ ජීවිතේ දිනාපන් " කිය කියා
වෙලාවක් කියන්නට දන්නැති කළුවරේ
හනසු පොල්කොල අවුල අවුලා
ඉස්පිරිතාලෙ වාට්ටුවෙන් වාට්ටුවට කඩයප්පන් විකුණූ
අම්මා මගේ නෙතු ඉදිරිපිට සිටගනිමින් අතීතය අවුස්සයි ප්‍රබද්ධ
"පුතේ උඹ ජීවිතේ දිනාපන් " කිය කියා
වෙලාවක් කියන්නට දන්නැති කළුවරේ
හනසු පොල්කොල අවුල අවුලා
ඉස්පිරිතාලෙ වාට්ටුවෙන් වාට්ටුවට කඩයප්පන් විකුණූ
අම්මා මගේ නෙතු ඉදිරිපිට සිටගනිමින් අතීතය අවුස්සයි ප්‍රබද්ධ
එදා ඈ පිරිපුන්ය. මෙදා ඈ කෘෂව ගොස්ය
වැටී ඈ දෙපතුළ පාමුළ දසමාසේ කියද්දී
මගෙ පුතේ කිය කියා අනේ මං බලන්නට උඹ ආවාද අහමින්
මා බදාගත් අම්මා මට මතක් වෙයි.
ආදරණීය ප්‍රබුද්ධ...
ඔබ වගේ ලියන්නට ලියන්නට අහවරක් නැති කතන්දර
මගෙ හිතේ හැපි හැපි පෙළගැහෙද්දී
අනේ අම්මේ වයසට යන්න එපා කියා කිවු
බොළද දියණිය මම වුනා.
ඔව් ප්‍රබුද්ධ,
ඈ මහා සාගරය ලෙහෙන් නැට්ටෙන් හිස්කරමින්
අදත් දාරක ස්නේහයේ උත්තරීතරත්වය රඟ දක්වයි.
වැටී ඈ දෙපතුළ පාමුළ දසමාසේ කියද්දී
මගෙ පුතේ කිය කියා අනේ මං බලන්නට උඹ ආවාද අහමින්
මා බදාගත් අම්මා මට මතක් වෙයි.
ආදරණීය ප්‍රබුද්ධ...
ඔබ වගේ ලියන්නට ලියන්නට අහවරක් නැති කතන්දර
මගෙ හිතේ හැපි හැපි පෙළගැහෙද්දී
අනේ අම්මේ වයසට යන්න එපා කියා කිවු
බොළද දියණිය මම වුනා.
ඔව් ප්‍රබුද්ධ,
ඈ මහා සාගරය ලෙහෙන් නැට්ටෙන් හිස්කරමින්
අදත් දාරක ස්නේහයේ උත්තරීතරත්වය රඟ දක්වයි.
Thursday, March 30, 2017
රස්තා කෙල්ලෙක් වෙන රහස සොයමි
සිහිනිඟ සුඟ මිටට ගන්නට කුමට
පාවෙන බෙල්බොටම රිසිකොට
පිට මැදින් එල්ලෙන රෑන කිතුලක
හැඩ වරල නැති එක නුහුරද ඔය හැටිම
නා දළු ලෙලෙන දෙතොලක පැහැය
සායම් මතින් මතු නොකරමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි
ඇට මාල පාට පාටින් ගෙළ මාල කර පළඳමි
පය තබන ලාලිත ගමන් කුමටද අසමි
නීල පීත නූලකින් වළලු හැඩ පරදමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි
ඇතිනි පැටවුන් කර තියාගෙන ඇතිනි අම්මා වෙලා
පතිනි බල ගැන නොකියමි නොකරමි නොහොබිනා
ලොබු ඩැහැන් වැට අද්දරින් අතු ඉති මුවා කරමින්
බලන උන් හට ඇති තරම් හිපොපිය හැඩ දමමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි
ඉඳහිට ඔතන මලක රස තනියම උරමි
අක්බඹර කෙහෙරැලි රැලි රැලි සදමි
මාර්ජුවානා සුවඳ දැයි හදවතින් අසමි
ටැටූවක් කොටාගෙන අත් නැති හැට්ට අඳිනෙමි
මිනිසත් කමේ අනුහස් මනු හදට පවසමි
බොබ් මාලෙ ගීතම සිවුරුහන් කරනෙමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි.
රෙගේ නැටුමක් දමා දමා හතිලමි
මගේ විජිතයෙ මම අග රැජිණ වෙමි
රස්තා කෙල්ලෙක් වෙලා රහ අත්විඳිමි.
පතිනි බල ගැන නොකියමි නොකරමි නොහොබිනා
ලොබු ඩැහැන් වැට අද්දරින් අතු ඉති මුවා කරමින්
බලන උන් හට ඇති තරම් හිපොපිය හැඩ දමමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි
ඉඳහිට ඔතන මලක රස තනියම උරමි
අක්බඹර කෙහෙරැලි රැලි රැලි සදමි
මාර්ජුවානා සුවඳ දැයි හදවතින් අසමි
ටැටූවක් කොටාගෙන අත් නැති හැට්ට අඳිනෙමි
මිනිසත් කමේ අනුහස් මනු හදට පවසමි
බොබ් මාලෙ ගීතම සිවුරුහන් කරනෙමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි.
රෙගේ නැටුමක් දමා දමා හතිලමි
මගේ විජිතයෙ මම අග රැජිණ වෙමි
රස්තා කෙල්ලෙක් වෙලා රහ අත්විඳිමි.
Wednesday, March 29, 2017
ප්‍රේමයට හැකිවේද දැවි දැවී නොදැවෙන්න
ක්ෂණයකින් ඇවිලෙන ගින්න සේ
ඇසිල්ලෙන් අංශු මාත්‍රයකින් ද,
විමසිල්ල කිසිත් නැති තැනකින්
ප්‍රේමයට හැකිය සියල්ලම දවන්නට
විඩාබර වෙහෙසකින් සැදෑවේ
ඉරමලත් මුකුලිතව යන්න යන විට
හේතුවක් නැති හේතු මැද්දෙදි
ප්‍රේමයට හැකිය සියල්ලම දවන්නට
සෘතු මාරු සංසිද්ධි හිඩැස් සිතුවිලි ගෙනත්
පෙති හැලුන මලකටත් කතාවක් තියෙද්දී
ආදරය බිංදුවෙන් බිංදුවට හැලි හැලි යද්දි
ප්‍රේමයට හැකිවේද දැවි දැවි නොදැවෙන්න
ඇසිල්ලෙන් අංශු මාත්‍රයකින් ද,
විමසිල්ල කිසිත් නැති තැනකින්
ප්‍රේමයට හැකිය සියල්ලම දවන්නට
විඩාබර වෙහෙසකින් සැදෑවේ
ඉරමලත් මුකුලිතව යන්න යන විට
හේතුවක් නැති හේතු මැද්දෙදි
ප්‍රේමයට හැකිය සියල්ලම දවන්නට
සෘතු මාරු සංසිද්ධි හිඩැස් සිතුවිලි ගෙනත්
පෙති හැලුන මලකටත් කතාවක් තියෙද්දී
ආදරය බිංදුවෙන් බිංදුවට හැලි හැලි යද්දි
ප්‍රේමයට හැකිවේද දැවි දැවි නොදැවෙන්න
Monday, March 27, 2017
සඳවතිය ඉඟිලිලා
පුවත -
තම සැමියාද හෘද රෝගියෙක් නිසා විදේශගත වුනු බිරිඳක් විදේශයේදි මිය ගිය පුවතක්. ඒ ගැන අසා මට දැනුණු සිතුවිල්ලක්.
____________________________________
පුංචි තරු කැට බිමට ඇවිදින් කතා කරලා
අතින් අල්ලන් පැතුම් දෙන්නැති හිත පුරෝලා
පාඩුවෙම ඇස් පියාගෙන දිනුදු රහසින් වැලපිලා
යන්න දෙන්නැති සඳවතිය හට දුරු රටට ඉඟිළිලා
පිච්ච සේපාලිකා සුවඳක් හදවතේ මැද සඟවලා
සද්ද නැතිවම බලා ඉන්නැති පිනි බිංදු ඇස් පියවලා
තුනීයට එන සීත සුළඟට රහස් කිසිවක් පවසලා
ඇතින්නිය දුර ඇදෙන්නැති සිහින විමනක් අන්දලා
සෘතු මාරුවක් නැති දිවි ගමන ගිම්හනෙන් හෙම්බත්වෙලා
බලා ඉද්දිම ලපටි පැළ බිමට නැමුණේ හිස කැරකිලා
පලා හද ගැබ බලා යන්නට කවුරුවත් නැත පේවිලා
උරහිසේ බර දරන් සඳ ඒ නිසයි ගියෙ දුක් ඉවසලා
සිඟිති කුසපොතු පිටට අැලවී කැටයමක හැඬ මතුවෙලා
දකින නෙතු යට කඳුළු එන්නැති හිතක දුක්ගිනි ඇවිලිලා
දුගති ජීවිතෙ තිත තබන්නට තිබූ පාදය ගොස් ලිස්සලා
හඩති වැළපෙති කුමුදු මල් අද සඳ දියම නිති ඉල්ලලා
#දිනිති #පරණකවි 2014
සද්ද නැතිවම බලා ඉන්නැති පිනි බිංදු ඇස් පියවලා
තුනීයට එන සීත සුළඟට රහස් කිසිවක් පවසලා
ඇතින්නිය දුර ඇදෙන්නැති සිහින විමනක් අන්දලා
සෘතු මාරුවක් නැති දිවි ගමන ගිම්හනෙන් හෙම්බත්වෙලා
බලා ඉද්දිම ලපටි පැළ බිමට නැමුණේ හිස කැරකිලා
පලා හද ගැබ බලා යන්නට කවුරුවත් නැත පේවිලා
උරහිසේ බර දරන් සඳ ඒ නිසයි ගියෙ දුක් ඉවසලා
සිඟිති කුසපොතු පිටට අැලවී කැටයමක හැඬ මතුවෙලා
දකින නෙතු යට කඳුළු එන්නැති හිතක දුක්ගිනි ඇවිලිලා
දුගති ජීවිතෙ තිත තබන්නට තිබූ පාදය ගොස් ලිස්සලා
හඩති වැළපෙති කුමුදු මල් අද සඳ දියම නිති ඉල්ලලා
#දිනිති #පරණකවි 2014
Sunday, March 26, 2017
Happy Birthday ආලවන්ත හුඳකලාවෙ සිට
සබඳ මේ බ්ලොගයටත් වසර 7 ක් සපිරෙයි. මේ මගේ දෙවන බ්ලොගයයි. පළමු එක මටත් නොකියා යන්න ගිය පසු මගෙ තනියට ආ ආලවන්ත හුඳකලාවට මා ප්‍රිය කරමි.
ඉතින් හිට්ස් ගන්නවත්, ට්‍රැපික් පස්සෙ දුවන්නවත් කිසි හදිස්සියක් නැති ආලවන්ත හුඳකලාව, හුඳෙකලාවෙම ඔහේ යයි.
ඉඳහිට ලියන කවියකට, කතාවකට , ලිපියකට ඉඩක් දී පාඩුවෙම බලා සිටියි.
හැමදාම වගේ දුකා අයියාට තුති.බ්ලොගයක් හදාගන්නා හැටි කියාදුන්නාට. එදා මෙදාතුර ආලවන්ත හුඳෙකලාවට ආ ගිය සැමට ද අපමණක් තුති පුදමි. සුබ උපන් දිනයක් ආලවන්ත හුඳකලාවට.
ඉතින් හිට්ස් ගන්නවත්, ට්‍රැපික් පස්සෙ දුවන්නවත් කිසි හදිස්සියක් නැති ආලවන්ත හුඳකලාව, හුඳෙකලාවෙම ඔහේ යයි.
ඉඳහිට ලියන කවියකට, කතාවකට , ලිපියකට ඉඩක් දී පාඩුවෙම බලා සිටියි.
හැමදාම වගේ දුකා අයියාට තුති.බ්ලොගයක් හදාගන්නා හැටි කියාදුන්නාට. එදා මෙදාතුර ආලවන්ත හුඳෙකලාවට ආ ගිය සැමට ද අපමණක් තුති පුදමි. සුබ උපන් දිනයක් ආලවන්ත හුඳකලාවට.
Tuesday, February 28, 2017
ලේ කඳුළු
සඳක් බැසගෙන යන කලාවට
කවක් ලියවෙයි නොදත් තාලෙට
රැහැයි හඬ ඉල්ලන සවණතකට
බැහැයි නොකියා අඬාපන් උලලේනියේ තරඟයට
කවක් ලියවෙයි නොදත් තාලෙට
රැහැයි හඬ ඉල්ලන සවණතකට
බැහැයි නොකියා අඬාපන් උලලේනියේ තරඟයට
මොර ගෙඩි , පැණි වරකා සුවඳට එල්ලුන වවුලන්ද
කජු ගෙඩි බිම දමන සද්දය හිත වටකර යුධ පිටියක්ය
රඹුටන් ගහේ මැද හරියේ එල්ලුන බකමූණෙක්ද
හූමිටි තලන හැටි පුදුමයි මා ගැන දැනුනාවත්ද
කජු ගෙඩි බිම දමන සද්දය හිත වටකර යුධ පිටියක්ය
රඹුටන් ගහේ මැද හරියේ එල්ලුන බකමූණෙක්ද
හූමිටි තලන හැටි පුදුමයි මා ගැන දැනුනාවත්ද
දේදුනු පිපෙනවද තරුවැල් මඟ කියනකොට
පොරිමල් සුවඳ හිත ඉල්ලයි ගොළුවත සතුටක්ය
පීදුනු රෑකඩුපුලක් ඉවකරනා මැඩියෙක්ද
බෝවිටි පඳුර යට හිටියා දුටුවේ නැහැ කවුරුත්ම
පොරිමල් සුවඳ හිත ඉල්ලයි ගොළුවත සතුටක්ය
පීදුනු රෑකඩුපුලක් ඉවකරනා මැඩියෙක්ද
බෝවිටි පඳුර යට හිටියා දුටුවේ නැහැ කවුරුත්ම
සැලමුතු සිහින ගුලිකර හැට්ටය අස්සෙ ඔබා
පිවිතුරු පිච්ච මල නෙතු සඟලම බිමට යවා
කළුතර බෝධියේ මලසුන හිතින් මවා
අළුකර යැවුව හැටි පුදුමයි සෙනෙහසද අසා
පිවිතුරු පිච්ච මල නෙතු සඟලම බිමට යවා
කළුතර බෝධියේ මලසුන හිතින් මවා
අළුකර යැවුව හැටි පුදුමයි සෙනෙහසද අසා
අම්මේ ප්‍රේම කෙරුවේ හදබිත මත දෙව් රුවක් තනා
යන්නේ කොහෙද නොමඇසුවේ දෙවිදුන් ඔහුය සිතා
දන්නේ දෙයියො විතරයි ලේ කඳුළත් මගෙම තමා
අම්මේ දල්වපන් පහනක්, කළුවර සොහොන මෙමා
යන්නේ කොහෙද නොමඇසුවේ දෙවිදුන් ඔහුය සිතා
දන්නේ දෙයියො විතරයි ලේ කඳුළත් මගෙම තමා
අම්මේ දල්වපන් පහනක්, කළුවර සොහොන මෙමා
Friday, February 24, 2017
කෙටි ඇසුර
අපට තිබුණේ කෙටි ඇසුරවල්
ළඟට ගොස් හැරී එන හමුවීම්
මතක අතරින් අලුත් සඳ සොයන්
පපුව අතගගා හූල්ලන තනිකම්
ළඟට ගොස් හැරී එන හමුවීම්
මතක අතරින් අලුත් සඳ සොයන්
පපුව අතගගා හූල්ලන තනිකම්
දෙතොල් හාදුවක හැඩ රුව මනින
ෆල්යින් කිස් එකකින් මත්වෙන
ගිහින් එන්නම් කියා ඇස්වලින් මතුරන
අපට තිබුණේ කෙටි ඇසුරවල්
ෆල්යින් කිස් එකකින් මත්වෙන
ගිහින් එන්නම් කියා ඇස්වලින් මතුරන
අපට තිබුණේ කෙටි ඇසුරවල්
මුරංඩුම සුළං රැල්ලකට ඉව අල්ලන
පාව යන ගාර්ඩිනියා සුවඳකට සම කරන
ඒ තමයි අපි අතර තිබිය යුතු ස්මරණ
කිය කියා නහය නැටවුව වෙලාවල්
අපට තිබුණේ එවන් කෙටි ඇසුරවල්
පාව යන ගාර්ඩිනියා සුවඳකට සම කරන
ඒ තමයි අපි අතර තිබිය යුතු ස්මරණ
කිය කියා නහය නැටවුව වෙලාවල්
අපට තිබුණේ එවන් කෙටි ඇසුරවල්
රාත්‍රියෙ සයනයේ පෙරලි පෙරලී
වහළයේ සිතුවමක් මවන්නට දගලන
එයා මට ආදරෙයි, මාත් එයාට ආදරෙයි
කොට්ටයක් බදාගෙන නොදන්වම නින්දයන
සිහිනයෙන් පවුල් පන්සල් වෙන
අපිට තිබුණේ කෙටිම කෙටි ඇසුරවල්
වහළයේ සිතුවමක් මවන්නට දගලන
එයා මට ආදරෙයි, මාත් එයාට ආදරෙයි
කොට්ටයක් බදාගෙන නොදන්වම නින්දයන
සිහිනයෙන් පවුල් පන්සල් වෙන
අපිට තිබුණේ කෙටිම කෙටි ඇසුරවල්
2017 පෙබරවාරි 18
Monday, January 30, 2017
නොරිදන්න තව
නිමිත්ත - වේසියක් ලෙස සමාජය විසින් හංවඩු ගැසූ , අහම්බයකින් හෝ කුසට එන කළල විනාශ කරමින්, සමාජයෙන් තල්ලු කළ තැන සිට ජීවිතය මැතිරූ කතක්
=============================================
=============================================
අමාවකට කෙඳිරිලි හඬ මල් මතින් ඇසේ
පලා යන්න බැරි දේවල් කරණමක් ගැසේ
හදාගත්ත හිත වැටේ, දුක මතුවෙයි හිසේ
බදාගන්න ඉඩ දුන්නේ, ගිනි ගනියි කුසේ
පලා යන්න බැරි දේවල් කරණමක් ගැසේ
හදාගත්ත හිත වැටේ, දුක මතුවෙයි හිසේ
බදාගන්න ඉඩ දුන්නේ, ගිනි ගනියි කුසේ
කුරුළු පැටවු සිහින දකියි කණාමැදිරි එලි අතරේ
අරළු ගැටත් පැණි රහකට දැනෙයි වෙහෙස දිවි කතරේ
පරලු පාන් ගැන කවියක් කියාදෙන්න මගෙ මිතුරේ
සළෙලු වුනත් පෙම පුදුමයි යන තරමට උන් අතුරේ
අරළු ගැටත් පැණි රහකට දැනෙයි වෙහෙස දිවි කතරේ
පරලු පාන් ගැන කවියක් කියාදෙන්න මගෙ මිතුරේ
සළෙලු වුනත් පෙම පුදුමයි යන තරමට උන් අතුරේ
ගෑණු ලෙඩේ හැදුන දාට හදවත කෑගසා
නෑර එකක් ඉමි පෙළකට සියල්ල ඉවසා
රෑක පැන්න හරස් ඉණිත් නිතරම ඉකිගසා
පාට දෙන්නෙ කවුරුද බන් අසයි හිතෙන් මුසා
නෑර එකක් ඉමි පෙළකට සියල්ල ඉවසා
රෑක පැන්න හරස් ඉණිත් නිතරම ඉකිගසා
පාට දෙන්නෙ කවුරුද බන් අසයි හිතෙන් මුසා
ලිහෙන ඉරෙන සළුපිලි වල සුවඳ ටිකක් උරා
ඉරට හඳට කවි කිවුවට ඉන්න හැකිද දරා
අතට පයට වෙහෙස අරන් වැඩපල ටික කොරා
කුසට එකෙක් එන පාරට දැමුවෙමි සිතුවිලි මරා
ඉරට හඳට කවි කිවුවට ඉන්න හැකිද දරා
අතට පයට වෙහෙස අරන් වැඩපල ටික කොරා
කුසට එකෙක් එන පාරට දැමුවෙමි සිතුවිලි මරා
ගෑණු හිතක් හෙල්ලෙනවා ඇඟිලි ගනියි හැම වාරෙට
පෑයු හඳක් කෝ අහසට කළුවරමයි හතර කොනට
පෑරු හිතක් පාර පාර එපා ඔබත් තළු මරන්ට
වේසකමත් රැකියාවක් කලේ ඔබයි කාසිවලට
පෑයු හඳක් කෝ අහසට කළුවරමයි හතර කොනට
පෑරු හිතක් පාර පාර එපා ඔබත් තළු මරන්ට
වේසකමත් රැකියාවක් කලේ ඔබයි කාසිවලට
#දිනිති 2017/01/30
Saturday, January 21, 2017
පැමිණි දේ පැණි රසයි.
නිතර මල්වල සුවඳ සොරකම්
කරන සුළඟක් වේය මනරම්
බඹර තුඩුවල ඊය හොඳනම්
මලත් සුළඟත් දෙකෙම සැනසුම්
මලින් මලකට ගියත් සමනල්
අතින් අල්ලන් කරයි ඇවටිල්
හිතින් බැදගෙන සුවඳ බඳවල්
උනුන් වැළපෙයි වසා කටවල්
මලට , සුළඟට බඹර, සමනල
ඇතිය එක එක ලෙසට හැඩතල
හිතට හුරුවට කරන වැඩවල
කුමට සොය සොය ඉතින් පසුතල
ඇතිය එක එක ලෙසට හැඩතල
හිතට හුරුවට කරන වැඩවල
කුමට සොය සොය ඉතින් පසුතල
Wednesday, January 18, 2017
අම්මේ දෙව්ලොව ඔබ සතුටින් ද ?
අම්මේ කියාපන්, දෙව්ලොව ඔබ සතුටින්ද
දන්නා අදුණනා උදවිය ඔහෙ ඉන්නවද
නැන්දා ඇවිත් ගිය සතියේ දන්නවද
කෙල්ලට තවම කරදරදැයි ඇහුවාද
නින්දා වැස්ස දැන් වැඩි වැඩියෙන් එනවා
ඉන්නා තරම් නෑයන් වෙන අත දිවුවා
රවලා බලන ගැහැණුන් ගමෙ හිඟ නැතුවා
අම්මේ යන්න හිටියේ මං, උඹ ඉස්සර වූවා
ගස්සා පස්ස හන්දියෙ මැණිකෙගෙ අක්කා
උස්සා රෙද්ද ආවා තොවිලයෙ බෙර පළුව
මැස්සා වුනත් මොකටද නැති නම් කුණු ගොඩට
කැස්සා මාත් හයියෙන් වේලුන උගුර මැද
උස්සා රෙද්ද ආවා තොවිලයෙ බෙර පළුව
මැස්සා වුනත් මොකටද නැති නම් කුණු ගොඩට
කැස්සා මාත් හයියෙන් වේලුන උගුර මැද
අම්මේ මහන්සිය නිමලා මෙහෙ එනවාද
නැත්නම් කාල නියගල අලයක් දුවන්නද
අරලිය මලක් වත් නොපිපෙයි සොහොන උඩ
විකසිත කුසුම පරවුයේ, පියෙකුගෙ ලිංග මැද
නැත්නම් කාල නියගල අලයක් දුවන්නද
අරලිය මලක් වත් නොපිපෙයි සොහොන උඩ
විකසිත කුසුම පරවුයේ, පියෙකුගෙ ලිංග මැද
Tuesday, January 17, 2017
හදවතක් මගෙත්.
මමත් ඉන්නේ මඩේමයි
පැටවුන්ට දෙන්න බැරි අසූචියි
උඹේ පැටවුන් කිරි උරද්දී
දුකේ බැහැ මහ ඊරියේ
පැදුරෙ උණුහුම හොයා හොයා
තාම පැටියෙක් මගෙ, බත් පිඩක් ඉල්ලයි
අඳුරෙ අතපත ගාන සසරක
දික්ගැසුම් පොලියක්ය කර්මය
පුල්ලි පුල්ලිය රටා හැදිලා
නුඹේ සියොළඟ එලිය වැටිලා
තල්ලු කර කර පේලි හදලා
දිනෙන් දින උඹෙ ළගයි මරණෙට
මමත් මැරෙනවා උඹත් මැරෙනවා
මරන්නට බැරි කෙලෙස් ගිණුමයි
කෑ ගසාගෙන උඹේ පැටියා
උඹව හොයනවා ඊයෙ දැක්කා
ඊරියක් වුන කුසල අකුසල
දනිමි මනසක් උසස් වුන මම
පූරුවේ තව අත්හරින්නට බැරි
ස්නේහෙ දාරක මහමෙරයි බං
උඹේ ඇස අඟ කඳුළු කැළලක්
දිටිමි රැයකදි ලයිට් එලියෙන්
ලොකු කෙලි මගෙ මේ පාර පැන්නේ
දහය වසරට ගෝරි හරියට
"සත්ව ඝාතක, සත්ව ඝාතක "
වචන හරියට දරුණු අවියක්
කුස් පිරෙන්නට ඇස් පියන් මම
අස් කරමි උඹෙ හුස්ම ඩිංගත්
චුන්ද සූකර දරුණු සසරක
පහුණු පෝයට ලොකු සමිදු දෙසුවේ
කරුණ දැන දැන වීසා ගැහුවට
කාසි වෙනසද බඩගින්නකට
වචන හරියට දරුණු අවියක්
කුස් පිරෙන්නට ඇස් පියන් මම
අස් කරමි උඹෙ හුස්ම ඩිංගත්
චුන්ද සූකර දරුණු සසරක
පහුණු පෝයට ලොකු සමිදු දෙසුවේ
කරුණ දැන දැන වීසා ගැහුවට
කාසි වෙනසද බඩගින්නකට
ඉතින් ඊරියෙ උදේ හවසට
මගේ හදවත නුඹට කිවුවේ
නැතත් අවසර උඹෙන් කිසිවිට
හෙටම මේසෙක උඹ, පිපෙයි කරියක
තිත්ත බව දැන දැනම කසායක්
බොන්න වෙනවා දිනක ලෙඩකට
ඇත්ත මම ඌරො මරනවා
පණ පිටින් මැරි මැරී හැමදින
මගේ හදවත නුඹට කිවුවේ
නැතත් අවසර උඹෙන් කිසිවිට
හෙටම මේසෙක උඹ, පිපෙයි කරියක
තිත්ත බව දැන දැනම කසායක්
බොන්න වෙනවා දිනක ලෙඩකට
ඇත්ත මම ඌරො මරනවා
පණ පිටින් මැරි මැරී හැමදින
Tuesday, January 3, 2017
ජීවිතය සීතලද මේ හැටි
නුවරඑළියේ මල් තරම්
හැඩවුනා නම් අපේ ජීවිත
පතනෙ ඉස්සී පිපෙන්නේ
සුසුම් නොව මුතු පබළු දිස්නෙට
හැඩවුනා නම් අපේ ජීවිත
පතනෙ ඉස්සී පිපෙන්නේ
සුසුම් නොව මුතු පබළු දිස්නෙට
කැරට් යායට ලියදි පිරුණට
කැරට් විසි දෙක නොවෙයි ජීවිත
කරන්ට් නැති වෙච්ච හදවත්
කොයිතරම් හමුවෙයිද මඟතොට
කැරට් විසි දෙක නොවෙයි ජීවිත
කරන්ට් නැති වෙච්ච හදවත්
කොයිතරම් හමුවෙයිද මඟතොට
ලීක්ස් ගස්වල සුවඳ බෙද බෙද
ලක්ස් කැටයක් ගනියි දෝතට
බීට් අලවල රතු නෙමෙයි ඒ
යෞවනියො හෙළු කඳුළු පැහැයය
ලක්ස් කැටයක් ගනියි දෝතට
බීට් අලවල රතු නෙමෙයි ඒ
යෞවනියො හෙළු කඳුළු පැහැයය
ගෝව ගෙඩි ගෙඩි හෙට්ටු කර කර
තෝර ගත්තට මුදලාලි හයියට
ගෝව කොළ වගෙ ගැලවිලා විසිවෙයි
තෝරා දෙන්නට බැරිම පැතුමන්
තෝර ගත්තට මුදලාලි හයියට
ගෝව කොළ වගෙ ගැලවිලා විසිවෙයි
තෝරා දෙන්නට බැරිම පැතුමන්
වසන්තය මෙහෙ ගතකරන්නට
දසන්තයෙ උන් ඇවිත් යනවිට
අසන්නට හිත නැමෙයි නිරතුරු
"මහත්තයො ජීවිතය සීතලද මේ හැටි "
දසන්තයෙ උන් ඇවිත් යනවිට
අසන්නට හිත නැමෙයි නිරතුරු
"මහත්තයො ජීවිතය සීතලද මේ හැටි "
Thursday, December 22, 2016
තාත්තා නැතිවෙලා - පණිවිඩය ලැබුණා
නිමිත්ත - පියාගෙ මරණය ගැන කියන්නට පැමිණි බාල නැන්දා ( තාත්තාගේ නැගණිය ) එම පණිවිඩය කියනායුරු මැවි මැවී පෙනුනයුරු අද ට දැනෙනා හැටි. ඇය දෙවෙනි අක්කා යැයි අම්මාට හැමදාමත් ඇමතුවේය.
-------------------------------------------------
දෙදහා අවුරුද්දෙ මුල් දවස් දෙක තුනයි
දොළහෙ කණිසම හිරිවැටුණ වෙලාවයි
දෙලොවක් අතර ඇවිදි ගිය උවනතක්
"දෙවෙනි අක්කේ උඹ ඉන්නවද" කියා ඇහුණේ
දෙනෙත් එක තැන නැවතිච්ච ගමන්මයි
හය හතර නොදන්නා සමනලුන් තුන්දෙනා
කරදඩු නැදුන් බුරතට හයි හත්ති වෙලා බන්
පොඩි එකී කෙල්ලෙක්ද කොල්ලෙක්ද දන්නෙ නැති
අපෙ එකා මහ කාලකන්නියා කියනවා
දූලි පාටට හැරුණු රෙදි කෑල්ලක්
නළල් වට පිසිනවා යන්තමින් දැක්කේ
කොහොම නම් කියන්නද කියල මේ කල් ගත්තෙ
වතුර උගුරත් හිරවෙනව ලේ බරට අක්කේ
නළල් වට පිසිනවා යන්තමින් දැක්කේ
කොහොම නම් කියන්නද කියල මේ කල් ගත්තෙ
වතුර උගුරත් හිරවෙනව ලේ බරට අක්කේ
තළෙලු උස මහත ඔෆීසියෙ මහත්තයා
දෙල්ගොඩට කිට්ටු වත්තක අනේපිඩු සිටුතුමා,
මැසි මදුරු පිඹුරු මාපිල් පොලොන් පිරි ගමේ
උඹෙ පැටවු හීතලෙන් හිටියාද දෙවනි අක්කේ
"අපේ එකා මහ තිරිසනා අවලම්ම බල්ලා
බල්ලෙක්ම කාලා පිස්සුවෙන් පණ ගියා "
ඊයෙ හවසම කනත්තෙදි පිච්චුවා
පණිවිඩේ දෙන්න මං හති දමා ආවා
===================================
දායද නුඹට නැහැ මගෙ හිච්චි දෝණියේ
පිඩුසිඟා වඩින්නෑ කිසිදිනේ නුඹෙ පියා
දෙල්ගොඩට කිට්ටු වත්තක අනේපිඩු සිටුතුමා,
මැසි මදුරු පිඹුරු මාපිල් පොලොන් පිරි ගමේ
උඹෙ පැටවු හීතලෙන් හිටියාද දෙවනි අක්කේ
"අපේ එකා මහ තිරිසනා අවලම්ම බල්ලා
බල්ලෙක්ම කාලා පිස්සුවෙන් පණ ගියා "
ඊයෙ හවසම කනත්තෙදි පිච්චුවා
පණිවිඩේ දෙන්න මං හති දමා ආවා
===================================
දායද නුඹට නැහැ මගෙ හිච්චි දෝණියේ
පිඩුසිඟා වඩින්නෑ කිසිදිනේ නුඹෙ පියා
2016/12/22
Wednesday, December 21, 2016
" අනේ අක්කේ උඹව උ මරනවද "
මටත් කියලා හදවතක් තිබුණා
තුනේ පන්තියෙදි බාගයක් කැඩුණා
තාත්තේ කණාමැදිරියො බනිද්දී
පොල් දතින් බාගයක් කැඩුවා
ගොයම් කොළ ගහන දා කළුවරේ
පැට්‍රල් ලාම්පුව හඳත් බය කරල තිබ්බා
ගොයම් මැස්සෙක් හමා ගිය ගඳ
ගෙදර පිටිපස්ස පැතේතෙ හැමුවා
දෑකැත්ත වක් වෙලා තිබුණට
රෑවෙද්දි හරි සීරුවට හැරිලා
බීඩියක දුමක් ඉඟිලන් කුස්සියේ
වැල් ඇඳෙන් චරබර සද්දෙ ඇහුණා
අහස් යන්තරෙ පෙන්නලා
අම්ම ගමනක් ගිහින් තිබුණා
ගොයම් කයියට අයියා තරගෙට
දහදියෙන් මිළ ගණන් හැදුවා
පුංචි ඇස් දෙක රතුවෙලා මගෙ
නපුරු සිහිනය හැබැහින්ම දැක්කා
බලා ඉන්නම බැරි තැනදි මම
දෑත බදලා දොර පොල්ල ගත්තා
" අනේ අක්කේ උඹව උ මරනවද "
කියාගෙන කෑගැහල කිවුවා
හැරෙන විට ඒ යක්ෂ මිනිහා
මුහුණ පුපුරන්න ගැහුවා
" අම්මෙ අම්මේ " කිය කියා ඌ
මහා හයියෙන් කෑගගහා දිවුවා
තාත්තෙක් නැති මමත් බයටම
බිම බදාගෙන හොඳට ඇඩුවා
2016 / 12/ 21
තුනේ පන්තියෙදි බාගයක් කැඩුණා
තාත්තේ කණාමැදිරියො බනිද්දී
පොල් දතින් බාගයක් කැඩුවා
ගොයම් කොළ ගහන දා කළුවරේ
පැට්‍රල් ලාම්පුව හඳත් බය කරල තිබ්බා
ගොයම් මැස්සෙක් හමා ගිය ගඳ
ගෙදර පිටිපස්ස පැතේතෙ හැමුවා
දෑකැත්ත වක් වෙලා තිබුණට
රෑවෙද්දි හරි සීරුවට හැරිලා
බීඩියක දුමක් ඉඟිලන් කුස්සියේ
වැල් ඇඳෙන් චරබර සද්දෙ ඇහුණා
අහස් යන්තරෙ පෙන්නලා
අම්ම ගමනක් ගිහින් තිබුණා
ගොයම් කයියට අයියා තරගෙට
දහදියෙන් මිළ ගණන් හැදුවා
පුංචි ඇස් දෙක රතුවෙලා මගෙ
නපුරු සිහිනය හැබැහින්ම දැක්කා
බලා ඉන්නම බැරි තැනදි මම
දෑත බදලා දොර පොල්ල ගත්තා
" අනේ අක්කේ උඹව උ මරනවද "
කියාගෙන කෑගැහල කිවුවා
හැරෙන විට ඒ යක්ෂ මිනිහා
මුහුණ පුපුරන්න ගැහුවා
" අම්මෙ අම්මේ " කිය කියා ඌ
මහා හයියෙන් කෑගගහා දිවුවා
තාත්තෙක් නැති මමත් බයටම
බිම බදාගෙන හොඳට ඇඩුවා
2016 / 12/ 21
Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...

