Tuesday, February 11, 2014

කොහොම නම් ඉවසනවද මන්දා

අතින් අත අල්ලගෙන පේළිය‍ට
උදෑසන හිරුට සිඹින්නට ඉඩ දී
ඉස්සි ඉස්සී කඳුකරයෙ නැළවෙනා හැටි,

හිස් මුදුන අත ගා සිනිදුවට
බෙල්ලෙන්ම කඩන විට
කිසිත් නොඳොඩා බලා ඉන්නා හැටි,

කඳුළු කැට හෙමිහිට බේරුණත්
ආපසු නොහැරීම යනෙන උන්හට
හදවතින් තුටු වෙනා මව්ගසක හැටි,

උරයක, කූඩයක තල්ලු කර
ඔබාගෙන පණ ගියපු හිස්
එල්ල එල්ලා බලන්නට දෙන හැටි,

රත් වෙච්ච තැටියක ගිනි වැදී
ඇඹරිලා දුක් විඳ විඳ යද්දිත්
නොවැළපෙන පුදුමයක හැටි,

ලෝදිය තරම් රත් වතුරෙ
දම දමා ගන්නා විටත්
කාටවත් කිසි වගක් නැති හැටි,

ආයෙමත් මව්කඳ හුස්ම ගන්නා විට
කාගෙ හෝ දෑගිලිවලට බිලි දෙන්න
කිසිත් නොවු ලෙස බලා ඉන්නා හැටි,

සංසාරෙ ගමන් මඟෙ
සා පිපාසා කී දෙනෙකුගේ
"තේ දල්ල" නිව නිවා සැනසෙනව ඇතිද..?



අද උදෑසන තේ එකක් හදාගන්න ගියහම හදවතට ආපු සිතුවිල්ලක්. තේ එක හදන එක පැත්තකින් තිය මම ඇවිත් ඒක ලිවුව. 



ඡායාරූපයත් මගෙ. මෙදා සැරේ නිවාඩුවට ලංකාවට ආපු වෙලේ නුවරඑළි යද්දි ගත්තෙ. 
 

Tuesday, February 4, 2014

පැංචියේ නුඹට මෙය.

අනුරාධපුරයෙ සිට කොළඹ දක්වා දුම්රියෙන් එනකොට ම'සිත සසල කළ ඒ පුංචි නංගි. දෙහි මලු කිහිපයක් අත්දෙකේ එල්ලගෙන දුම්රියට ගොඩවෙච්ච දසුන තාමත් මගෙ හිතේ තියෙනව නංගියෙ. හැමදාමත් තියේවි. ඒ නුඹ වගෙම මාත් ජිවිතය ගැටගසා ඉරුණු තැන් මහමින් යනෙන නිසාම.
____________________________________
හුස්ම පිඹිනට සිය දහස් පාරක්
සිනසෙයි දෙහි පිරුණු මල්ලක්
උඩරටින් පහලට ඇදෙන මැණිකෙගෙ
දසුනකින් ගේනවද සැනසුමක්

පුංචි කිරි දත හැලී ඉදිරියෙ
නුඹේ හිත ළපටියි පැංචියේ
දෙහි වගෙම ඇඹුලමයි දිවිමඟ
දන්න හින්දයි හසරැල් වියැකුණේ

"මල්ලකට සියයයි නෝනා"
කියන විට දොරටුවෙන් එබිලා
එන්න තහනම් සැප මැදිරියට
උකුසු මුරකා ඇස් ඉඟිකළා..

ගැටගැසී ඇති හිසකෙස් නුඹේ
සංසාරෙ වගෙ පැටලිලා
ඒත් ඒදඬු තනයි වෙහෙසිව
එතෙර වෙන්නට පැතුමන් පතා..

Wednesday, January 29, 2014

දන්නෙහිද නුඹලා

හිරු එළිය විත් වැදෙයි
නෙළුම් පොකුණේ පෙති මතට
සෙවනැල්ල යට ඉදන්
ජීවිතය හොයන උන් හැම තැනම.

සඳ කිරණ වැටෙන විට
වික්ටෝරියා උයන මැද
බඩ මහත උන්දලා
දඟලලා උඩ පනියි පේලියට

බිඳ දමා තාප්පය මේ බලන්
රෑ සිරිය කිවුවාට
දන්නවද අඬන පොඩි උන්
තාම ඉන්නවා පුරහල අවට.

Monday, January 20, 2014

"ආරුක්කු කවියක් යටට එන්න" තුතිය

පැද්දිලා වළාකුළු කොහේ හෝ යනෙන විට
ඉස්සිලා බලන් ඇති තාරකා හතර කොන
මාවතක් සොය සොයා ගගන මත සරණ සිතෙ
සරස්වති දුන් දෑවැද්ද මෙයයි මට...

තත්පරෙන් වෙනස්වෙන මිනිස් සිත ගාව
මතකයක් වී ඉන්නෙ කීයකින් කී දෙනෙක්මද
වරමකින් ලැබෙන කවි කමයි මඳහාස
නැවතුමක් බැහැ දෙන්න ගලන්නේ ඒ නිසයි

අයන්නක් ලියන්නට අතක් හුරු කළ පිනම
මවක් හට තව කොහිද ලබන්නට සැනසුමක්
පොතක් පෑනක් ගෙනත් දුන් සහෝදර ප්‍රේමයට
නව අරුත් බෑ දෙන්න මගෙ ලොවේ අක්කාට අයියාට...

හැමදාම එකම ලෙස ගලා යාවිද දිවි ගඟක්
දිය සිදී වේලිලා යනෙන බැව් දන්නවද
ඒ වගේ කර්කශව ගියපු දා මගෙ ලොවත්
රැකපු දෙවිවවරු අපමණයි හදවතට නැගෙයි දැන්

මලක් වී පිපෙනකොට දියත මත නිදහස්ව
නොවක් ගැරහුම් ලැබෙන බව දන්නවද
නොසෙල්වී හයියටම ඉන්න වෙර ගත්තාම
ගැහැණු හිත කිය කියා බිය වෙන්නෙ කුමකටද

ඇස් ඇරන් දකින කොට සිහිනයක් එකම ලෙස
එබෙනවා ලපටි දල්ලක් කොයිම හෝ දිනක ලොව
එකින් එක පෙති විදහා බලන්නට පොහොර දිය
දමපු අය තමයි මේ ඉන්නෙ ඇස් ඉදිරිපිට...

නංගියේ ලියාපුව එකතු කරපන් ඉතින් දැන්
දන් දුන්න ඇති නේද කාලයක් සයිබරයෙ
එහෙම කිවු  පළිගු කැට ඇස් ඇත්ති එදවසක
අක්කාට උපේක්ෂා තුති මලක් තියමි මම

අමායා නංගි ළග මගේ ඇස් නතර වී
මේ තුතිය ඔයාටයි කියනවා දැන් ඉතින්
සඳලි වී වත පොතේ මම ම වෙස් ගත්තාම
අලුත් වි විකසිතව පැමිණියා කවි හිතම..

පුංචියට ලියා යන පුංචි පද පේලි ළග
මහා ලොකු වදන් දී සවිය දුන් සර්ය මධුරංග
ඒ වඳන් සඳලි හා දොඩමළුව නිතරෝම
වාදයට ආවෙ නම් සිසුවාය සරසවියෙ...

"හිතට එන සිතුවිල්ල මරා යන්නේ මොටද
ඔන්න ඔහේ දානව කාට හෝ බලන්නට
මට එපා පොත් ලියා වදවෙන්න"
කියන විට බැන්න මල්ලියෙ ප්‍රසාද්
ඔයා අද නොවුන නම් මගේ ලග
මට කොහිද කවි පොතක්
මේ වගේ ලෝකයට පුදන්නට....

ඒ වගෙම නිලීකා නංගියේ ඔයාවත්
මතකයට ආවාය මේ දැනුත් හොදද මට
පියෙකුගේ පිය සෙනෙහෙ දැනෙනකොට
අප්පච්චි කියා මං කටපුරා කියද්දී
කිසිම දවසක විරසකව
නොගිය ඒ සහෝදර ප්‍රේමයට
හිස නමා තුති මලක් පුදනවා නිමේෂ් මං
ඔයාටත් ඔබේ ඒ සෙනෙහෙබර පියාටත්..

පාට පාටින් ලෝකයම පිරෙන්නේ
වෙනස් වී කාහටත් සුවය විඳගන්නමයි
ඒ වගේ විවිධ පැති තල වලින්
මගේ කවි බලා දුන් හැමෝටම ස්තුතියි...

කිසිම දවසක නොදන්නා මාව
දන්න අදුනන කෙනෙක් ලෙස බදා වැළඳන්
පොත් වැඩේ සියළු නිර්මාණයන්
හැඩදමා නිමැවුමක් කළ මල්ලියේ මානව
නුඹ නොමැති නම් තනි මෙමං
කොහොම අද සිනා මල් නඟන්නද
"පුරුදු හිත අරන් මව් රටට
අක්කා එන්නකො" කියා
මගේ හිත නිදහස් කල පිනට
තුතියි මල්ලියෙ හුගක්...

තෙත් බවක් හිත් තුලින්
සොයන්නට බැහැ අද ලෝකෙ
විෂ ඝෝර  රළු කමයි
පැතිරෙන්නෙ හැම අතම
එවන් මිනිසුන් පිරුණු මේ පොළව මත
මිනිස්කම් සොය සොයා ගෙනාවේ ඇයයි මට...
සහෝදර ප්‍රේමයේ පිවිතුරක් ගැන
අවැසි නම් මේ ලොවට
නංගි නුඹ පවිත්‍රා යැයි කියනවා මම එවිට
එපමණක් මගේ බර දරාගෙන
ගිය ..යනෙන දෙයට මං මොනව නම් කියන්නද.

හුරු පුරුදු ගහ කොලද නොමැති දුරු ඈත රට
සබඳකම් හරි හිගයි මිනිස් හැගුමන් තියෙන
නොදන්නා මගෙ අකුරු දිගෙ ඇවිදිමින්
මහත් වූ සෙනෙහසින් පෙරවදන ලියා දී
නේක බහුශ්‍රැත අය මැද්දෙ අතින් ඇද ළගට ගෙන
"කිවිදියක් මේ ඇයයි නම දිනිති..."
තිගැස්මක් හදවතේ තියාගෙන
ඔබේ පා කමල් වැද ගනිමි මම ඉතින්
දයාබර ගුරු පියාණෙනි
සුවහස් නැණ පහන් දල්වන
අදත් මේ මෙතන අසුන්ගෙන
දිරිය ශක්තිය පුංචි මට දෙන
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
දයාබර ගුරු පියාණෙනි
ආයෙ ආයෙත් ඔබෙ පා කමල් වදිමි මං..

එපමණක් නොව සීතා මහේන්ද්‍ර මෑනියන්..
සචිත්‍ර මහේන්ද්‍ර අයියා සමඟ
ඒ සියල්ලන්වම එක පෙළට හදවතේ
ඉහළින්ම සිහිවේවි මෙමට..

කවි ලොවේ දිග්විජය කළ
කිවිවර බුද්ධදාස ගලප්පත්ති
දයාබර පියාණෙනි හදවතින් තුති
ඔබට ඒ බෙදාගත් සෙනෙහසට..

දැනෙන දේ හැගෙන දේ
නුඹ ඉතින් ලියාපන්
කාටවත් ඇවැසි ලෙස නොනැමියන්
කිය කියා ඔවදන් දෙමින්
දයාබරවම නංගියේ කියාගෙන
ඇවිත් ගොස් දිරිය ශක්තිය දුන්
අමිල තේනුවර අයියේ ඔයාටයි මගෙ තුතිය.

කොහේ හෝ යන අතරමං සුළඟක්ව
කැරකෙන්න නොදී මට
රැකවල් යෙදූ අය තව අපමණයි..
ඇස් රතුකරන් අඩන විට උණුසුම්ව
දුක බෙදාගන්නට දුවන් යන්නට
බයක් නැති බැදීමක් ඇතොත් මට
ඒ තමයි කුරුල්ලා...විකියා..සහ ගමයා...
නුඹලා මැද මං
එකම සහෝදරිය කරන් රැකගන්න ඒ ප්‍රේමයට
කුමක් නම් කියන්නද...

ලයාන්විත ඈ හඬින්
ගුවන් විදුලියේ මහ ගෙදරදී
සෙනෙහසින් වැළදගත්
උණුසුමේ හැගුමක් තියේවි නම් ඒ ප්‍රියන්තනී ගමගේ මිස්...
හිස නමමි මං ඔබ ළඟත්...

බයක් නැතිවම මහ සෙනඟ මැද
කෙළින් සිටගන්නට මට
හයිය හත්තිය පෙවුව
තරුණ සේවා සභාවට හා මේ පැමිණ සිටින
තරුණ සේවා නිළධාරීන් ආදි යෞවනයන්
සැමට මගෙ ප්‍රණාමය හිස නමා පුද කරමි.

ප්‍රේමයේ අපිරිමිත නිමැවුමක්
මට ගෙනත් දී
සෙවනැල්ල සේ ළඟ ළඟින් හිඳ
මඟ නොමඟ පෙන්වමින්
අතින් අල්ලා එක්ක යන
මගේ නුඹටත් ඒ අම්මටත්
තාත්තා නංගීහටත් සෙනෙහසින් හදවතේ
ආදරය පුද දෙමිය මං...

ඈත රට තනිවෙලා යයි දැනෙන්දී
මව් රටේ සුවඳ යාකළ "ශ්‍රී ටීවී" නාලිකාව
කොහොම නම් අමතක කරන්නද...
අනුර හෙන්නායක මා මිතුර
ඔබට මේ තුති මලක්...

මගේ ගැන ලෝකයට කියන්නට
"ආරුක්කු කවියක් යටට එන්න"ට
කියා සැමටම ආරාධනා කළ;
නවලිය, අද, ලංකාදීප
පුවත්පත් කතුවරුන් ඇතුළු සියල්ලන්ටම
මගෙන් තුති මින් පුද කරමි.

තරු පිරුණු අහස් ගැබ මත
එකම තරුවක් වෙන වෙනම
කොහොම නම් මං කියන්නද
ඒ වුනත් මතක් වෙන තරු කැට
අතර අමතක තැනුත් ඇති.
එපා වෙන්නට අමනාපයක්
කිසිම විට මා එක්ක.

රසික නානායක්කාර...
කැළුම්..උමන්දා..තිලිණි අක්කා..
හර්ෂ අයියා..ප්‍රනීත් අයියා..
බිම්සර මල්ලී...කවීෂා නංගී...
ඔයාලට තුතියි මහ ගොඩක්.
සයිබර් අහසයට දුටු නොදුටු
නුඹලා සැමට හිස නමා අචාර
කරමි මම දැන් ඉතින්.







" ආරුක්කු කවියක් යටට එන්න " ඉතින් කවි පොත දොරට වඩින මොහොතට එන්න කිවුවට පසු වදනක් ලියන්න මට බැරි වුනා. එදා ඒ මොහොතෙ හඳිස්සියෙම ලියාගෙන පැවැත්වූ ස්තුති කතාව මගෙ අතට හමුවුනා. එය ඔබ වෙනුවෙන් පලකරන්න මට හිතුණ. 

නානාවිධි ලෙස මට උදව් උපකාර කළ ඔබ සියල්ලන්ටම අප්‍රමාණව ආදරෙයි. හැමෝටම තෙරුවන් සරණයි.

දැන් අහයි කවි පොත ගන්නෙ කොහොමද කියල...

ඉතින් කවි පොත ගන්න පුලුවන් ගුණසේන පොත් සමාගමේ කොළඹ කොටුව ශාඛාවෙන්. එය කියවා බලා ඔබට දැනෙන දේ මට කියන්න. එය මට අපූර්වතම ශක්තියක් වෙයි.










Wednesday, January 15, 2014

සඳට වුව දුක හිතෙනවද...?



ඉතින් ආයෙත් අහසට සඳ නැගන්
ඔච්චමයි හරි මැදින් හදවතට
නෙතින් නෙත බලා වරු ගණන්
ගෙවුන හැටි පුදුමයක් තාම මට

හිම පොකුරු ඇස් පියාගෙන
සිඹිනවා අතු ඉතිත් මල් ථලද
මම මෙතන හිස නවාගෙන
ආයෙමත් කවි ලියනවා දුකට

අයාලේ යන තුනී නල රැල්ලකට
බිඳින්නට හැකි වුනත් සිතුවිල්ල
පමාවේ නම් වළාකුළු එන්න අහසට
දකින්නට හැකියි නුඹටත් සඳ මඬල

පේන තෙක් මානයේ දුර අනන්තෙට
ශ්වේත කඳු විතරමයි පේළියට
කාත් කවුරුත් නැති හිත් අඟිස්සට
පෝය හඳ වුනත් සුවයක් තනිකමට

හිතුමතේ ඉඟිල්ලෙන සිහින අතරින්
ජීවිතේ අත වනනවා කඳු මුදුනතින්
කෑගසා වැටී යන තාරකාවක් වෙමින්
මාවතේ අතරමඟ නවතින්න බෑ ඉතින්

තෙතමනය දැනෙනවිට කම්මුලට
අතගසා නිකට මත හිඳිමි ඒ වෙලාවට
ගැඹුරු තැන් පෙනෙනකොට දිවි මඟට
සඳට වුව දුක හිතෙනවද රෑ මැදට..

_______2014/01/15_______



( ඡායාරූපය අන්තර් ජාලයෙන් )

Friday, January 3, 2014

" ආරුක්කු කවියක් යටට එන්න "

ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු දැක්කහම..

හුගාක් ලියන්න පුලුවන් මොහොතක නෙමෙයි මං ඉන්නෙ... ඒත් බ්ලොග් ලෝකෙ හැමදාම දුක සැප බෙදාගත්ත ඔයාලට පුංචි ආරාධනයක් කරන්නයි මගේ මේ සුදානම...

මගෙ කුළුදුල් කවි පොත එළි දක්වන මංගල දිනය ජනවාරි 05 වෙනිදට යෙදිල තියෙනව. ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයෙදි උදේ 10 ට. ඊට සමගාමීව මගේ අලුත්ම ගීත නිර්මාණ දෙකකුත් ඔබට පිදෙනව. 

පුලුවන්කමක් තියෙනව නම් ඔයාටත් එන්න කියල පුංචි ආරාධනාවක් මගෙන්...




Saturday, November 16, 2013

උඹත් දන්නැති වෙයි

වැටමාර ඉණි හරහට දාල
සංසාර මඟ පටලවන්න හැදුවට
මැටි කළයක් ඉනේ ගහගෙන
ගල් පර්වතයට බඩ ගෑවෙ
උඹට ඔටුන්න පළදවන්න

දියසෙවල දියපාරෙ අඩි තිබ්බෙ
කටු ඇනිච්ච දෙපාවලට
සීතලක් දැනුන හින්දම නෙමෙයි
දැවෙන ගින්නට නිදහසක් දෙන්න

එහෙන් මෙහෙන් කාරල වීසි කරන
ගමේ ගැහැණුන්ගෙ ඔල්වරසන්
බීරි අලින්ට වීණ ගැහුව වගේ වුනත්
පපුව මැද්දෙ උණු දිය හැළියක් නටන්නෙ

තම්බපු මඤ්ඤොක්කා කෑල්ලක්
බැදපු වඩේ ටිකක් එක්ක
සුදු වීදුරුවකට මිලක් දීල
චීත්තෙ පොටේ ගැට ගහන්නෙ
උඹේ ඔටුන්නට ගල් අල්ලන්න

රබර් කොපුවක් ගැන කියන්න
පෙත්තක් ගැන කොළ බෙදන්න
මීසී ආවට "මට මිනිස්සු ඕනි නෑ" කියන්න
දිව නැමෙන්න නැත්තෙ උඹ හින්ද

"මුලක් නැති ගහ කොයි වෙලේ පෙරලෙයිද ? "
නිකටෙ අත තියාගෙන කවුරු කවුරුත් හීල්ලුවට
ගෙදර ලිපේ ගින්දර පත්තුවෙන්න නම්
පොලීසියෙ රාලහාමිට කළුවරේ කළව අල්ලන්න
නොදුන්නොත් බැහැ කියල උඹ දන්නෙ නෑ

කොයි මිනිහත් ඇවිත් සුද්දවන්තයො වෙලා
හන්දියෙ කරක් ගගහ හිනැහුනාට
"වේස ගෑනි මුලිච්චි වෙන්න හොඳ නෑ" කිවුවට
හැන්දෑවට මං ගාවට ඇවිත්
කෙඳිරි ගාන බලුකුක්කො ගැන හිතන්නෙ
උඹව සැඩ රළ මැදින් පිහිනවන්න

"කසිප්පු ගෑණි" "වේස ගෑණි" මං වුනාට
කොලිජියෙ උඹව නැවැත්තුවෙ
ආදරේ නැතිව නෙමෙයි
තුප්පහි කාලකණ්නි ඇස්වලට උඹව
මුණ නොගස්සන්න කියල උඹටම තේරෙන දවසට
මං කනත්තෙ අරලිය පදුරක් යට
නිදන බව උඹටවත් මතක්වෙන්නැති වෙයි

Tuesday, October 22, 2013

නරකයි නරකයි කියන ෆේස් බුක්


කා අතරත් නරක යැයි සම්මත ව පවතින සමාජ ජාල වෙබ් අඩවි අතරින් වර්තමානයේ දී වඩාත් කතාබහට ලක් වනුයේ ෆේස් බුක් (face book ) නම් සමාජජාල වෙබ් අඩවියයි. මේ පිළිබඳ සාකච්ඡා කිරීම මාගේ අරමුණ බව ආරම්භයේ දී ම පවසනු කැමැත්තෙමි. එසේ වුව ද ඊට පෙර අන්තර්ජාලය සහ සමාජ ජාල යන්න පිළිබඳ ව කෙටි විග්‍රහයක් සිදු කරගැනීමට මම අදහස් කරමි.
ලෝකය වර්තමානයේ දී විශ්ව ගම්මානයකි. එය ඇත්තය. අප විසින් අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි. වර්තමානයේ ලංකාවේ පිටිසරබද ගම්මානයක සිට අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට මුහුණට මුහුණලා කතා කිරීමට තරම් දියුණු සන්නිවේදනයක් මානව සංහතිය වෙත පවතී. අතීතයේ දී හූ හඬකින් නොඑසේ නම් ඝණ්ඨා නාදයකින් පිරිසක් එකතු කිරීමට උත්සාහ කළ යුතු වුව ද වර්තමානය වන විට එක් වචනයක් සමාජ ජාල වෙබ් අඩවියක පළ කිරීමෙන් එය ම සිදු කරගැනීමට පුළුවන. එසේ හෙයින් කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් තවත් පුද්ගලයෙකුට හෝ පිරිසකට කිසියම් වූ තොරතුරක් සන්නිවේදනය සඳහා යොදාගන්නා ඉහළ ම ක්‍රමවේදය අන්තර්ජාලය බව අවිවාදිත ය.

අන්තර්ජාලය යැයි කිවූ සැනින් වර්තමාන ලාංකික - විශේෂයෙන් වැඩිහිටි - බොහෝ පිරිසකගේ ඇග කිළිපොළන සුළු "අපොයි හරි ම නරක තැනක් "යැයි කියැවෙන සුළු තත්ත්වයක් පවතින බව පෙනී යයි. මෙසේ අන්තර්ජාලයට ඔවුන් බිය වන්නේ කුමක් නිසා ද? ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර අන්තර්ජාලය යන්නෙහි තාක්ෂණික පසුබිම මෙසේ විග්‍රහ කළ හැකි ය. අනෝන්‍යය වශයෙන් එකිනෙකට සම්බන්ධ වූ පරිගණක එකතුවකට අන්තර්ජාලය යැයි විවහාර කරනු ලැබේ. එය ලෝකය පුරා විහිදුණු විශ්ව ව්්‍යාප්ත වියමනක් වන අතර ඉන් ලබා ගත හැකි ප්‍රයෝජන ඉමහත් ය. එසේ වුව ද වඳුරකු අතපත් දැළිපිහියක් මෙන් අන්තර්ජාලය පරිහරණය කිරීමේ දී ඒ ඒ පුද්ගලයන්ට විවිධාකාර වූ අවශ්‍යතා මතු වී ඇති සෙයක් පෙනේ. ඒ හේතුව නිසා ම පෙර කී පරිදි, බොහෝ දෙනෙකුට තවමත් "අනේ අපොයි" කියවෙන නරක තැනක් බවට පත් වී ඇති බව පැහැදිලි ය.

ඕනෑ ම දෙයක හොඳ හෝ නරක රඳා පවතිනුයේ එය භාවිත වන ක්‍රමය අනුව බව සත්‍යයකි. අන්තර්ජාලය තුළ ද විවිධ වෙබ්පිටු පවතී. ඉනුත් වර්තමානයේ දී බොහෝ දෙනාගේ අවධානයක් යොමු වී ඇත්තේ සමාජජාල වෙබ් අඩවි වෙතට ය. සමාජ ජාල වෙබ් අඩවියක් යනු අන්තර්ජාල සමාජයක් තුළ ගැවසෙන නොයෙක් මිනිසුන්ගේ අදහස් සහ මතිමතාන්තර එක ම තැනක දී ගැටෙන, විමසෙන ස්ථානයකි. එහි දී විවිධ මිනිසුන් හඳුනාගැනීමට අපට අවස්ථාව ලැබේ. විවිධ අදහස් හුවමාරුකිරීමට අවස්ථාව ලැබේ. අප අවට සාමාන්‍ය සමාජය මෙන් ම මෙම සමාජය ද විෂම ය. විවිධාකාර ය. වෙනසකට ඇත්තේ පුද්ගල සිරුරු අභිමුඛයේ මෙම අදහස් හුවමාරු සිදු නොවීමත් ඒ සියල්ල ඩිජිටල් තිරයකින් වැසී පැවතීමත් පමණි.
සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ අවධානය යොමු කිරීමේ දී 


Face book" Twitter, Google plus, LinkedIn  වැනි වෙබ් අඩවි අනෙකුත් සමාජජාල වෙබ් අඩවි අතරින් ප්‍රමුඛ ස්ථාන ගනී.

මෙකී ප්‍රවේශයෙන් පසු ප්‍රස්තුතය වෙත අවධානය යොමු කිරීම උචිත බව හඟිමි. එනම් සෑම කෙනාට ම නරක වූ ෆෙස්බුක් තුළ වුව ද බොහෝ දෙනා නොදන්නා නමුත් යහපත් භාවිතයන් ද පැවතීම පිළිබඳ විග්‍රහයයි. 2004 පෙබරවාරි මස දිනෙක මාර්ක් සකබර්ග්

(Mark Zuckerberg ) නම් පුද්ගලයාගේ ප්‍රධානත්වයෙන් ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය අමෙරිකාවේ හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමා කරමින් ආරම්භ විය. නමුත් අද වන විට ලොව පුරා මිලියන 845ක පමණ වන පරිශීලක සංඛ්‍යාවකගෙන් සමන්විත මෙම සමාජජාල වෙබ් අඩවිය ශී්‍ර ලාංකිකයින් අතර ද ප්‍රසිද්ධ වචනයකි. ඕනෑ ම අවශ්‍යතාවක් සඳහා අතීතයේ දුරකථන අංක හෝ ලිපිනය ඇසූ ලාංකිකයා අද විමසන්නේ "ඔයා ෆේස්බුක් එකේ ඉන්නවා ද" යනුවෙනි. එතරම් දුරට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය අද ලාංකික සමාජය තුළ ව්‍යාප්ත ව පවතී.
මෙවැනි ජනප්‍රිය ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය පිළිබඳ මාධ්‍ය තුළින් අප දකින්නේ අසන්නේ ඒ තුළ සිදුවන අවභාවිතයන් පමණි. සුභාවිතයක් පිළිබඳ ප්‍රචාරයක් නැති තරම් ය. නමුත් ෆේස්බුක් සමාජජාලය තුළ විවිධ සමූහයන් (Group) නිර්මාණය කරමින් සමාජීය මෙහෙවරයන්හි නිරත වන පුද්ගලයන් බොහෝ ය.
එයින් මුල්තැනක් ගන්නේ පරිගණක සම්බන්ධ ව පැන නගින ඕනෑ ම ගැටලුවකට එසැණින් පිළිතුරු ලැඛෙන "පරිගණක උදව්" සමූහයයි. (
https://www.facebook.com/groups/ pariganakaudau/&   )  පරිගණකයක පවතින ඉතා කුඩා දෝෂයක සිට සංකීර්ණ දෝෂයක් දක්වා විවිධ ගැටළුවලට පිළිතුරු කිසිදු අයකිරීමකින් තොර ව ම මෙම සමූහයෙහි සිටින්නන් විසින් අනෙක් අය සමග හුවමාරු කරගැනීම දක්නට ලැබේ. 2011 මාර්තු 15 වන දින මෙම සමූහයේ ආරම්භය සිදු වූ අතර මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් සමග විවිධ පරිගණක ගැටළු සම්බන්ධ සංවාදයන් සිදු කෙරෙන පරිගණක තක්සලාවක් බවට පත් ව තිබීම පැසසුම් සහගත ය. සියල්ලට ම වාණිජමය වටිනාකමක් එක් කරන වටපිටාවක තම පෞද්ගලික කාර්යයන් සිදු කරන අතර අනෙක් අයට උපකාර කරන මෙම සමූහය පිළිබඳ මෙම ලිපියේ සඳහන් නොකිරීම යුතු නොවේ. මෙම සමූහය 2012 වසරේ දී බලංගොඩ මැදගංඔය ඉතා දුෂ්කර පාසැලකට පරිගණක විද්‍යාගාරයක් තනා දෙන්නට තරම් ශක්තිමත් සමූහයක් බව සටහන් කළ යුත්තේ සමාජජාල වෙබ් අඩවි අවභාවිතයන් ගැන පමණක් පවසන අයගේ දැනගැනීමට ය. එසේ ම එම පරිගණක විද්‍යාගාරය තනා දීමෙන් ප්‍රබෝධමත් වූ මෙම සමූහයේ සාමාජිකයින් ඉදිරියේ දී තාක්ෂණික රැකියා බැංකුවක් පිහිටුවීමත් අන්තර්ජාලයෙන් මුදල් ගෙවීම මගින් පරිගණක උපාංග විශ්වාසනීය ව මිළයට ගැනීමට අවකාශ සැලසීමත් අවසාන වශයෙන් ලංකාවට පමණක් අදාළ සමාජජාල වෙබ් අඩවියක් දක්වා ගමන් කිරීමටත් කටයුතු කරමින් පවතින බව අපේක්ෂා සහගත ව පැවසිය යුත්තකි.

පුරාතනයේ දී ගැමියා තම පාලුව, කාන්සිය මග හරවා ගැනීමට නිර්මාණය කළ පැල්කවි, ගොයම් කවි, පාරු කවි ඇසුරින් ගැමි සාහිත්‍යයක් නිර්මාණය වූ ආකාරයට ම නව තාක්ෂණික යුගයේ ෆෙස්බුක් හෙවත් මුහුණු පොත  මාධ්‍ය කොට ගනිමින් තම හුදෙකලා සිතිවිලි කවි බවට පෙරළමින් හා ඒවා රසවිඳීම් සිදු කරන පසුබිමක් අද්යකතනයේ අද්‍යතනයේ දී ගොඩනැගි ඇත. එවැනි කවි රසවිඳින්නන්ගෙන් සමන්විත ෆේස්බුක් කවි සමූහයන් ද විශාල සංඛ්‍යාවක් විසිර පැතිර පවතී.
      යුරෝපයේ ජීවත් වෙමින් ෆේස්බුක් හරහා ශ්‍රීලාංකික කවි කිවිඳියන්ගේ කවි නිර්මාණ රස විඳිමින් ද කවි පබඳිමින් ද සැරිසරන කවි රසිකයෙකු මෙම සෑම සමූහයකට ම පිවිස කවි කිවිඳියන්ගේ නිර්මාණ අධ්‍යනය කරමින් ඔවුන් සමග සුහද වෙමින් අපූරු අදහසක් සිතේ ඇති කරගත්තේ ය. සිංහල සඳැස් කාව්‍යය සඳහා ම පමණක් වෙන් වූ කවි සමූහයක් ෆේස්බුක්හි ඔහුගේ නෙත නොගැටුණ ද සඳැස් කවිය පිළිබඳ නිසි ප්‍රතිභාවක් ඇති බොහෝ කවි කිවිඳයන් පිරිසක් ෆේස්බුක්හි ඔහුට හමු විය. මේ සියලු දෙනා ම එක් කරමින් ඔවුන්ට සඳැස් කවිය ගැන සහ සඳැස් කවියේ වපසරිය ගැන සංවාද කිරීම තුළින් ඔවුන්ගේ කුසලතාවන් නංවාලීමට අතදීම මූලික අරමුණු කරගනිමින් 2011 සැප්තැම්බර් මස 23 වැනි දින සඳැස නමින් කවි සමූහයක් නිර්මාණය කළේ ය. https://www.facebook.com/groups/331992303541896/)   මෙය ෆේස්බුක් සැරිසරන කවි කිවිඳියන්ට අපූරු අත්දැකීමක් වූ අතර සඳැස කවි පිටුව සඳැස් කවි සඳහා පමණක් ම වෙන් විය. සඳැස් නිසඳැස් කවියෙහි විෂමතා විමසමින් මුල් අවස්ථාවේ දී ඒ පිළිබඳ දැනුම හුවමාරු කරගනිමින් සංවාද ඇතිකළ මෙම සමූහයේ සාමාජිකයන් විසින් කවිපති සේන අම්බලංගොඩයන් සමග එක් වී සරසවි මඳහස කාව්‍යමය පුවත්පත ද පවුරු ජාත්‍යන්තර ගුවන්විදුලිය සමගින් සඳැස් මිණිආර කාව්‍ය විචාර වැඩසටහන ද වැනි නැවුම් වැඩසටහන් දියත් කරන ලදී. එමෙන් ම 2012 වසරේ දී සමස්ත ලංකා කවි සංගමය සමග එකතු වී නවක කවි කිවිඳියන් දිරිමත් කිරීමේ අරමුණින් සමිමාන උත්සවයක් ද පැවත්වී ය. මේ වසරේ ද සඳැස් කවි කිවිඳයන් එක් කරගනිමින් කාව්‍ය ග්‍රන්ථයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කරමින් පවතියි.

කවියෙහි උන්නතිය තකා කි්‍රයාත්මක වන තවත් සමූහයක් නම් මහ කොළඹ කවි පිටුවයි. 2011 නොවැම්බර් මාසයේ දී ආරම්භ වූ මෙම සමූහයේ අරමුණ වූ කලී ආධුනික කවියන්ට ප්‍රවීණයන්ගේ සෙවණේ කවි ලියන්නට හුරු කිරීමත් සඳැස් - නිසඳැස් යන දෙආරෙන් ම කවි ලියන කවියන් එක්කොට සිංහල කවියේ ප්‍රගමනය සඳහා අඩිතාලමක් දැමීමත් ය. ආධුනික කවියන් මෙම සමූහයේ මෙහෙයැවීමෙන් කවියෙහි බුහුටිකම් දක්වන්නේ ෆේස්බුක් සමාජජාලයෙහි ඇති සුභාවිතයන් මොනවට පැහැදිලි කරමිනි.
ඉනුදු ඔබ්බට ගිය 2011 මැයි මාසයේ දී ආරම්භ වූ රූ සහෘද සංසදය වූ කලී ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියෙහි ඩිජිටල් තිරයෙන් පිටතට ව්‍යාප්ත වී සමාජ උන්නතිය වෙනුවෙන් කැප වූ සහෘදයන්ගේ එකතුවකි. ඛෙල්ලන්විල මෙත් සෙවණෙහි දරුවන් උදෙසා ප්‍රජා සත්කාර වැඩසටහනක් ද සමූහය තුළ ලිවීමෙහි සමත්කම් ඇති පිරිස් දිරිමත් කරමින් ඔවුන්ගෙන් සිය දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් මුතු අහුර කාව්‍යය  ග්‍රන්ථය එළිදැක්වීම ද මහරගම පිළිකා රෝහලේ වාට්ටු තුනක තීන්ත ගා පිළිසකර කිරීම ද ලේ දන් දීමේ වැඩසටහන් ද මහතෝරව පාසලේ දරුදැරියන් වෙනුවෙන් පොත් පත් - කෑමබීම  හා ආදරයත් රැගෙන නෑගම් යාම‘ වැඩසටහනක්ද මෙම සමූහයෙන් සිදු කළ අතිවිශාල සමාජ මෙහෙවරයන් අතරින් කිහිපයකි. සාමාන්‍යය සමාජයේ අඩුවෙන් කතාබහට ලක්වන මෙවැනි වැඩසටහන් දෙස් විදෙස් සාමාජිකයන් එක් කරගනිමින් තව දුරටත් ඉදිරියේ දී සිදුවනු නොඅනුමාන ය.

එසේ ම ෆේස්බුක් සමාජජාලයෙහි ඇති —වයි˜ නමැති කණ්ඩායම (https://www.facebook.com/groups/why.socialnetwork/) - රණවිරු උත්තමපූජා නමින් ආබාධිත රණවිරුවන්ට අවශ්‍යය උපකරණ ලබා දීමේ වැඩසටහනනක් දියත් කරන ලද්දේ 2012 වසරේ ඔක්තෝම්බර් මස 29 වන දිනය. කිසි ම විටෙක ප්‍රති උකාරයක් බලාපොරොත්තු නොවෙමින් ම විවිධ වයස් කාණ්ඩවලට අයත් පිරිසකගේ එකතුවෙන් සවිමත් වී පිදිය යුත්තන් පිදීම සැබැවින් ම සාකච්ඡාවට බඳුන් විය යුතු සමාජ සත්කාර්යයන් නොවේ ද?
මීට අමතර ව "අපි"යනුවෙන් ඇති සමූහය ද පසුගිය දිනවල විවිධ සමාජ සත්කාර්යයන් දියත් කළ සමාජ සමූහයකි. (https://www.facebook.com/groups/we.unity/?fref=ts එම සමූහය විසින් සිංහල අවුරුද්දට තෑගි බෝග ගෙන දෙහිවල වැඩිහිටි නිවාසයකට  නෑගම් යෑම මෙන් ම එවැනි ම තවත් නිර්මාණශීලි සමාජ සත්කාර්යයන් රැසක් ඉටු කර ඇත.

වර්තමාන ගෘහණිය ආහාර පිසින්නට නොදන්නා වෙළඳපොලේ ඇති දෑට මුදල් වියපැහැදම් කරන බව පවසමින් දෙස් නගන වැඩිහිටි පරම්පරාවට පිළිතුරු දෙන්නට මෙන් ෆේස්බුක්හි "රස සරණිය" බොහෝ තරුණියන්ට මහගෙදර කුස්සිය වූ බව නොකිව මනා ය. (https://www.facebook.com/groups/rasasaraniya/)එය ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොර ව ම තමන් පිසින කෑම බීම පමණක් නොව එවේලෙහි ම පැන නගින ගැටළුවලට එසැණින් පිළිතුරු ලැඛෙන සමූහයකි. දෙස් විදෙස් කෑම බීම පිළිබඳ දැනුම හුවමාරු වන මෙම සමූහය අලුත් අත්දැකීම්වලින් සපිරි රසවත් මුළුතැන්ගෙයක් බඳු ය.
සයිබර් අවකාශයේ බුදුදහම ගැන වැරදි ප්‍රචාරයන් සිදුවනවා සේ ම ඒ කිසිවකට මැදිහත් නොවී තමන් දන්නා බුදු දහම අන්‍යයන් හා ඛෙදා හදාගනිමින් නිහඬ සේවයක් සිදු කරන ගරුතර ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙකි. පටු ආගමික දෘෂ්ඨීන්ට හසු ව වල්මත් වී සැරිසැරුවත් යහපත් සමාජ කර්ත්‍යයන් සිදු වන බව ද මෙනයින් පැවසීම සාවද්්‍යය නොවේ. ලොව ප්‍රථම ෆේස්බුක් බෞද්ධ ගුවන්විදුලිය වූ "දහම් ගගන " රේඩියෝව ගරුතර ස්වාමීන්වහන්සේ නමකගේ මූලිකත්වයෙන් ආරම්භ වීම මීට කදිම නිදසුනකි. එය දැනටත් විකාශය වන අන්තර්ජාල රේඩියෝවකි. (http://dahamgagana.com/ 

  සිංහල භාෂාව යනු මඳක් සංකීර්ණ අක්ෂර වින්‍යාසයක් ඇති භාෂාවකි. ලේඛනයේ දී නිවැරදි ලෙස අකුරු භාවිත කිරීම අක්ෂර වින්‍යාසයයි. මෙහි දී ප්‍රධානතම සංකීර්ණ භාවිතය වන්නේ න, ණ, ල, ළ අක්ෂර නිවැරදි ව භාවිත කිරීමයි. මෙම අකුරු වැරදියට භාවිත කිරීමෙන් වචනයක සමස්ත අර්ථය ම වෙනස් විය හැකි ය. එබැවින් සිංහල ලේඛනයේ දී මේ ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.
වර්තමානයේ බොහෝ දෙනෙකු විසින් සිංහල බස සදොස් භාවිතයක යොදනු දක්නට ලැබේ. ෆේස්බුක්හි දැන් ගොඩනැගී ඇති සයිබර් සාහිත්‍යයේ සිංහල ලිවීම ඉතා බහුල ව යෙදෙන බැවින් —බස නොමරා බස යොදන හැටි උගනිමු˜ යන මැයෙන් ආරම්භ වූ සමූහයකි —සිංහල වියරණ සහ පදරුත් ˜ (https://www.facebook.com/groups/SinhalaBasha/?fref=ts ) නම් සමූහය. පරිණත පිරිස් කිසිවක් පෙරළා බලාපොරොත්තු නොවෙමින් වුව ද මෙම සමූහය තුළ තම දැනුම ඛෙදාහැරීම මෙහි ලා විශේෂයෙන් ම සඳහන් කළ යුත්තකි.

අද බිහිවන දරුවා තමා අවට පරිසරය පිළිබඳ ඉතා අල්ප අවධානයක් යොමු කිරීම තත්කාලීන යාන්ති්‍රක ජීවිතවල ඇති අභාග්‍යය සම්පන්න භාවයේ ප්‍රතිඵලයකි. මේ තත්ත්වයට පිළියමක් ලෙස ආරම්භ වූ         "සාමාන්‍යය දැනීම සහ බුද්ධි පරීක්ෂණය " නම් සමූහය කිසිදු නොගැළපෙන දෙයක් පළ නොකරන්නා වූ ද බොහෝ දෙනාට තමන් නොදන්නා බොහෝ දෑ පිළිබඳ දැනුම ලබාගැනීමට තෝතැන්නක් සේ කි්‍රයාත්මක වන ෆේස්බුක් සමූහයකි.
ෆේස්බුක් රැකියා බැංකු නමින් ආරම්භ වී ඇති සමූහයන් බොහෝ සංඛ්‍යාවකි. විවිධ පුද්ගලයින්ගේ සම්බන්ධතා භාවිත කරමින් රැකියා අවස්ථා පිළිබඳ කදිම වේදිකාවක් මෙමගින් නිර්මාණය වී ඇත. එහි දෙස් විදෙස් රැකියා පිළිබඳ තොරතුරු සහ රැකියා අවශ්‍ය අයගේ විස්තර පවතින අතර මෙසේ නව රැකියා අවස්ථා ලබාගත් අය ලියුම්කරුට ෆේස්බුක්හි මුණගැසී ඇත. මෙයට අමතරව ලංකාවෙහි ඈත දුෂ්කර ගම්මානවල දුවා දරුවන්ට පාසැල් වලට පොත් පත්  ඇදුම් පැළදුම් පුස්තකාල තනා දීම් ආදී නොයෙකුත් දේද සිදුවී සහ සිදුවෙන බවද නොරහසකි.

 ඉහත සියල්ල ම නරක යැයි සම්මත ෆේස්බුක්හි ශි්‍ර ලාංකික අපට එකිනෙකා හා සුහදත්වයෙන් නිර්මිත සමූහයන් කිහිපයකි. මීට අමතර විදේශයන්හි කි්‍රයාත්මක සමූහයන් ද බොහෝ සංඛ්‍යාවක් පවතී. එසේ ම පෞද්ගලික ව තම ෆේස්බුක් ගිණුමෙහි සමාජයට ඉතා යහපත් දෑ පමණක් ඛෙදා හරින පුද්ගලයින් පිළිබඳ ව ද ලියුම්කරුට අත්දැකීම් පවතී.
 දැන් තවත් ප්‍රශ්නයක් මතු වනු ඇත. මෙම සමූහයන්ට කිසිදු ආරක්ෂණ වැඩපිළිවෙලක් නොමැති සමාජසේවා වැඩපිළිවෙළ බව යමෙකුට හැගෙනු ඇත. නමුත් තාක්ෂණික වශයෙන් එකී සියලු ආරක්ෂණ කි්‍රයාමාර්ග මෙම සියල්ලක් සමගම භාවිත කළ හැකි ය. තෝරාගැනීම් කිහිපයක් තුළින් තමාට රිසි ආරක්ෂණ කි්‍රයාමාර්ගයක් ගැනීමට හැකියාව පවතී. එසේ ම අන් අය පිවිසීම සීමා කිරීම ද ඉනුදු ඔබ්බට යමින් වෙනත් අයෙක් තමන්ගේ පෞද්ගලික ගිණුමකට ඇතුළුවීමට තැත් දරන අවස්ථාවක දී අයි පී අංකය (
Internet Protocol ) විද්යු ත් තැපෑලෙන් එවීමේ තාක්ෂණයක් ද පවතී.. එබැවින් කිසිදු ආරක්ෂණ වැඩපිළිවෙලක් නැතැයි පැවසීම සත්‍යය නොවන බවත් පවතින ආරක්ෂණ කි්‍රයාමාර්ගයන් නිසි පරිදි භාවිත නොකිරීම පමණක් සත්‍යය බවත් පැහැදිලිය.
 තරගකාරී ලෝකයත් සමග දියුණු සන්නිවේදන ක්‍රම හා ලෝකය සමග ගනුදෙනු කළ යුතු වේ. එහි දී හුදෙකලා ව සිටීම යනු සිතිවිලි මාත්‍රයක් පමණි. එය භාවිත කරන පිළිවෙල නිසි පරිදි දැනගත යුතු ය. සියල්ල නරක යැයි සිතමින් බැහැර කිරීම ද කළ නොහැක්කකි. ඕනෑ ම දෙයක් නිසි ආකාරයෙන් භාවිත කරන විට ඕනෑ ම අයෙකුට වැරදීම් අවම වීමත් අන්යැයන්ගේ නිර්දය විවේචනයන් අවම වීමත් වැළැක්වීම අසීරු ය.

සටහන - දිනිති දීපිකා  2013/10/22 රිවිර

http://www.rivira.lk/epaper/daily/tue/2013/10/22/index.html#20/z 

( ඉතින් මේ වගේ පළමුවෙනි පත්තර ලිපිය. නොයෙක් අඩුපාඩුකම් ඇති. )



Sunday, October 20, 2013

ආදරේ රකින්නන් තව ඉන්නවා.

පෙම්වත,
ඔබයි සිදුහත් කුලේ කුමරුන්
දුර දුර ගව් ගණන් ඈත සිට
ආදරේ වඩින තුරු
සත් මුහුදු තොට ළඟ
ඇසි පිය සල සලා මඟ බලන,

පිය සක්විති රජානෝ
උණුනොවන හදක් ඇති
මව් බිසෝ බරණැසින්
පෙළවහක් සොයන්නිය
හිටිවනම නොසෙල්වෙන හද ඇතිව
නුඹයි දින ගැන ගැන මඟ බලන්නා,

පිටස්තර දේස දීපංකරේ
පැලැස්තර ගසන්නට ගිය මා
වනන්තරෙ මෘග යකුන් අතරේ
රන් කාසි අහුලන්න ගත්තියයි
නොවෙනස්ව එක හිතින් ආදරේ පුදා 
මඟ බලන කුමරුන් ඔබය තාමත්.

කිරිල්ලියො කූඩු අතහැර පියාඹන විට
සුළි සුලං දරන්නට බැරි කුණාටුත් එයි
තදින් බඳ අල්ල ගෙන පෝසත් හිතින්
ඉවසමින්,පාරමී පුරන්නට පුරුදු කළ
ආදරේ ඇදුරා ඔබයි මඟ බලා ඉන්නා.

රංචු ගැසෙමින් සමනල්ලු
සිරිපාදේ වඳින්නට යනවිටදි
නඩේ කාගෙත් සිනහ උහුලන්
මහ ගිරත් තනිවම සීතලෙන්
කරුණා කරනු හැකි කිය කියා
සමනල කන්ද මුදනේ පඩුරක් බැන්ද
ආදරේ දෙවියන් ඔබම විය මා පතන.

හත්දින්න තරු එකින් එක ගැන
සිකුරු තරුවත් නෙලාගෙන
ආපහු ඉගිල්ලෙන තුරු මෙමං
කාමරේ සයනයේ වම් පසින්
ඉඩ තියන් සිටියි ඔබ තවම නොනිදාම.

____________________________
හිතුවක්කාර කොලු හිත් නොසංඩාලයි කිවුවාට
ආදරේ රකින බෝසත් රජවරුන් සිටියි මිහිබට.

Thursday, October 3, 2013

ප්‍රේමයේ මුදු සබඳකම් ගෙන ගියේ ඇයි කිසිකෙනෙක් නොදැනම

මැඳුරු මන්දිර අතර තෙරපෙන බේබිලා සුර ලොවට ඉඟිලෙන
පැදුරු පත්තර උඩත් නිදියන දනන් ඇත මහපොළවෙ හැංගුණ
දුකද සතුටද කියන්නට බැරි හේතුවක් හදවතේ ගුලිවෙන
පඳුරු කැලිඩෝ අතරෙ හැංගෙන තරුණකම කඳුළැල්ද වැගිරෙන...

කාම රංගන විසල් සුවිසල් දෙනෙන් අතරින් එබී බැබළෙන
තාම හිරිගති නොගිය මල්වල රේණු ටික ටික හෙමින් පොඩිවෙන
පාර මැද්දෙන් ගලා යන කළු ඟං දියත් ඇස් ඉතින් හංඟන
සාර විටයක් වගේ හපවෙන යෞවනය දුක්බරද එපමණ...

ස්වේත වර්ණය අරන් සිහිනෙන් වඩින් නැහැ ඇත් පැටවු මැදියම
ප්‍රේත වනයක් වගේ පෙම් ලොව දුර්ගදත් හමනවා තුන්යම
සේද සළු සුව යහන් නැතිමුත් ලේ කැටිත් දියවෙලා රහසෙම
ප්‍රේමයේ මුදු සබඳකම් ගෙන ගියේ ඇයි කිසිකෙනෙක් නොදැනම.....

Wednesday, September 25, 2013

දුවේ උඹට උඹ විතරයි

ගසක් හිස නමා කඳුළුම බෙදන විට
වසත් කලක් කෝ දුවණී ඉඩෝරෙට
හිතත් එක්ක නුඹ අතැගිලි ගනිනකොට
පවක් වුනත් එයි නොහිතන වෙලාවට...

මලක් ඉඟි පපා කියනා කතාවට
නලක් වුනත් නවතියි හරි සීරුවට
නමක් ගමක් නැති සිහිනය පුරාවට
රුවක් දෙකක් ඇදපන් හරි කලාවට...

ගමක් එක්ක ගණුදෙණු වෙන සුයාමෙට
තිතක් වුනත් ඇති හිනැහෙයි විනාසෙට
දුවක් නිසා හැම කියමන් කසාදෙට
හරස් වෙතැයි බය ඒකයි පියා හට...

ඇළක් දොළක් බෑ හිරකර තියන්නට
නුඹත් හිතත් බෑ තනිකර දුවන්නට
සඳත් හිරුත් නුඹෙ අහසේ රකින්නට
මවත් පියත් මං විතරයි හිතන්නට...

මලින් මලට යන බඹරුන් ඇදෙන්නට
දිනක් තැනක් නෑ බැරිවෙයි මිදෙන්නට
කවක් දෙකක් උන් කිවුවට වසන්තෙට
දුවේ උඹට උඹ විතරයි ආත්මෙට..

Saturday, September 7, 2013

මචං උඹ

ඉර බැහැල අඬ හෝරාව ළග
මචං වැල්ලේ උඹ උන්න
බීර පෙන දදා හති නගනකොට
ගනිං බන් කිවුවෙ හීනියට....

හප හපා රටකජු එකින් එක
තාලයට අළු කළා උඹ හිතම
කැරලි ගසමින් ආකහට ගිය
දුම් වළලු කොපමණද පැයකට...

නිය අගින් තට්ටුවක් මේසයට
ගස ගසා සිවුරුහන් කළ හඩට
තැනින් තැන නැවතිච්ච රෑ බදුල්ලට
මොනවදෝ උඹ කිවුවෙ නෑසෙන්ට

අතගගා පපුවෙ කෙහෙරොඳ හොඳට
එකින් එක ඇද්දෙ උඹ සීරුවට
දණ ගසාගෙන වැල්ලෙ අඬ සඳ
ගන්න තුරුළට කිවුවෙ උඹටම..

මඳක් රතුපාට උඹේ ඇස් දෙක
නාය ගියෙ කඳු හෙල් කඩාගෙන
වේගයෙන් දුවගොස් වැල්ල මැද්දට
අඬගැසූවා උඹ මැරුණු ප්‍රේමෙට...

Wednesday, September 4, 2013

පැරඳුම

මේ බිනර අහස යට
ජීවිතේ හැරවුම් ලක්ෂයේ
කවිය ලියා යන්නට හැකිය.

ඇස් පිල්ලම් ගැහෙන
තුරු පතක
එකදු නිමිත්තක්වත් නොතියා
ගී කියූ කුරුල්ලා
ඉගිලෙන්න තටු ගසන
හෝරාවක
කවියේ
ශෝකීම වචන
ඇමිණිය හැකිය.

මේ උදෑසන
රාත්‍රිය තරමට
හිස්ය.
හදවත කළුවරය.

නිද්‍රාගත සප්නයක
කෙනිත්තුමකට ගැස්සී
ලබ් ඩබ් ගැස්මටත්
ගුලි ගැසී හැංගෙන
මූසලම උදෑසනක
අපරාජිත ප්‍රේමයේ නටබුන්
උගුල්වා විසි කරන්නට
අකුරු එල්ලන
කවියක්ය.

මනමාලකම් පෑ සුළඟත්
පැත්තකට වී අතපය සඟවා
බියපත් ඇස් උලුප්පා
ආවඩන්නේ
ආලවන්ත ඇස්වල
තෙතමනය නොගෙන්වන්න කියා නම්
මේ කවිය ඔබට බලන්නට හැකිය.

සදුදාවක සන්ධ්‍යාවක
හිරු ගිලී හෝරා දෙක තුනකදී
පාංශකූලයට
සංඝයා පැමිණි
නිශ්චිතම වෙලාවේ
අවිනිශ්චිත ගැඹුර
කවියෙන් බලන්නට නොහැකිය.
ඒත් මේ කවිය මං ලියමි.

ප්‍රේමයේ උඩුගං බලා පිහිනූ
කින්නාරාවිය
සියල්ල හැරපියා දියේ ගිලී
මියගිය පුවත
අද උදෑසන සයනයේ සටහන්ව තිබුණි.


2013/09/03 

Friday, August 23, 2013

මගේ ප්‍රේමය

ප්‍රේමය
ගොළුවා දුටු හීනයක් වගේමයි
කිය කියා
හිස ලූ ලූ අත දුවන්නිය වු
සෙනෙහෙවන්තිය මා විය.

ඌරන් ඉදිරියේ මුතු නොදමන්
පුන පුනා කීවත්
මා උගුරට හොරා බෙහෙත් බිවුවෙමි.

ආරේ ගති නෑරේ මුත්
මා
ඉවසීමෙන් සැනසීමම පැතුවෙමි.

ආප්ප පනමට ඉඩමක් දුන්නා
සේ හදවතේ සියල්ලම
සූර සූරා වෙන්දේසි කළ
සෙනෙහෙවන්තිය මාම විය.

අත හයිය නම් බත වරදීදැයි
සිත සිතා ඇඟිලි පහම එක වගේ
නොවේයැයි මතුර මතුරා
හිල් කූඩෙන් වතුර ඇද්දෙමි.

හැමදාම දකින කුකුළගේ
කරමලේ සුදු වගේ
කබලෙන් ලිපට වැටුණ
අසරණිය මාම විය.

ඉහේ ඇම්මට කොට්ටෙ මාරු කළ
ජම්මෙට වඩා පුරුද්ද ලොකු
තුන් සිතම මායාවක් වූ
ඔහු අසල
මරණ තුනක් ඇති මිනිහෙක්
පැණි කන්නා සේ ලද ප්‍රේමය
ළඟ හෙම්බත්ව වැළපුනෙමි.

අට වම්බොටු නව සුංගම්
අය කළ පරිද්දට
අත්තටු කපා පියාඹන්නට කියා
ප්‍රේමයෙන් මා නිදහස ලැබුවෙමි.

උනු හින්ද බොන්න බැරි
කිරි හින්ද හලන්න බැරි
මගේ ප්‍රේමය
අන්ධයෝ අලියාගේ හැඩ කිවුවාට සමාන විය.

Thursday, August 15, 2013

සොයනු කුමකටද...

අතරමං හිතක ලතැවිල්ල
නතර නොවෙනා වැලපිල්ල
කතර දුර වුනත් කියවිල්ල
අතර මැද ඇතිය ඇරඹිල්ල...

කවියකට කවියක් සමකළ හැකිද
හදවතක හැගුම් මිල කරණු කුමටද
කුලියකට ගන්න බැරි කමද
කවි හිතක ඇති ගැඹුර දැක්කද...

ඉස්සිලා හසරැල්ල නගන විට
ඇලවෙලා ඇලපිළි දමනකොට
වැරදිලා ලියවුනා කියා කුමකට
කවිවෙලා කවි හිත් පිපෙනකොට...

හඳිස්සියෙ අවදි වුන කුරුල්ලෙක්
තටු ගසා අසන විට රංචුවක්
හිස් අහසෙ ඇවිද යන සිතුවිල්ලක්
වගෙයි ජීවිතෙ තනිකම බරක්

සිසිරයට එන්න යැයි නොකිවුවට
හැමදාම වසන්තය කෝ ඔබට මට
තනිකමට ගසක මල්ඵල හැදුණාට
අයිති නැති හැටි දැක්කාද ගසකට...

ඇල් මැරුණ තැන් හමුවුණත්
ඔප දැමූ කවියක ඇසෙයි වෙණ නද
පිස දමා නිදහස්ව කොනින් කොන
විඳින්නට හැකිය කවි දන්නවද ....

නිදි නැතිව බලා ඉන්නා රාත්‍රියකට
කවි කතා බිම වැටෙයි නොකියාම
සඳ කිණිති එක දෙක හැපි හැපී තිබුණාට
අසන්නට එපා හදවත රිදෙයි හොඳටෝම....

අහුමුළු වලින් එබිකම් කරන විට හඳිස්සිය
මඟහැරෙන තැන් අනන්තය මේ විශ්වයෙම
හැව ඇරල ඉස්මොළ ඇතුළෙ පිරිසිඳුව
බලනු මැන කවියෙක් සොයා යනු කුමකටද.....

Saturday, August 3, 2013

පරදමු අමන කැළ

නිදහස ලබා ඔල්වරසන් ගැසුව දිනේ
නුඹලා වුනිය මහ විරුවන් සතර කොනේ
මඳහස පපා රට කරනා උන්ගෙ විනේ
පිපිරී ගියා නොවෙදැයි නුඹලාට අනේ...

හරි හෝ වැරදි අණසක ලැබුණාය කියා
හිත හෝ නොහිත උණ්ඩය දුර ගියා කියා
අද හෝ හෙටත් මේ බිම අපගේම කියා
සුරකින නුඹලාම ඇයි කලෙ එවැනි නියා

උඩ යට දෙපැත්තෙම ඉන්නේ හොරුයි රටේ
මුල මැද අගින් කොතනිත් කනවාය ඇටේ
දුක කිය කියා ගියහොත් වැරදෙනව රටේ
පෙර දින ගිහින් මනුදම් නැව් නැගල රටේ

පෙනි පෙනි වරද ඇස් පියවන් ඉන්න විට
පැන පැන හුරේ තියනව උන් හතර වට
නුඹ මෙන් මමත් ඉපදුන මේ උතුම් රට
තිරිසන් අමන කැළ පරදමු නොදී හෙට

_____________________දිනිති _______

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...