Tuesday, February 28, 2017

ලේ කඳුළු

සඳක් බැසගෙන යන කලාවට
කවක් ලියවෙයි නොදත් තාලෙට
රැහැයි හඬ ඉල්ලන සවණතකට
බැහැයි නොකියා අඬාපන් උලලේනියේ තරඟයට
මොර ගෙඩි , පැණි වරකා සුවඳට එල්ලුන වවුලන්ද
කජු ගෙඩි බිම දමන සද්දය හිත වටකර යුධ පිටියක්ය
රඹුටන් ගහේ මැද හරියේ එල්ලුන බකමූණෙක්ද
හූමිටි තලන හැටි පුදුමයි මා ගැන දැනුනාවත්ද
දේදුනු පිපෙනවද තරුවැල් මඟ කියනකොට
පොරිමල් සුවඳ හිත ඉල්ලයි ගොළුවත සතුටක්ය
පීදුනු රෑකඩුපුලක් ඉවකරනා මැඩියෙක්ද
බෝවිටි පඳුර යට හිටියා දුටුවේ නැහැ කවුරුත්ම
සැලමුතු සිහින ගුලිකර හැට්ටය අස්සෙ ඔබා
පිවිතුරු පිච්ච මල නෙතු සඟලම බිමට යවා
කළුතර බෝධියේ මලසුන හිතින් මවා
අළුකර යැවුව හැටි පුදුමයි සෙනෙහසද අසා
අම්මේ ප්‍රේම කෙරුවේ හදබිත මත දෙව් රුවක් තනා
යන්නේ කොහෙද නොමඇසුවේ දෙවිදුන් ඔහුය සිතා
දන්නේ දෙයියො විතරයි ලේ කඳුළත් මගෙම තමා
අම්මේ දල්වපන් පහනක්, කළුවර සොහොන මෙමා

Friday, February 24, 2017

කෙටි ඇසුර

අපට තිබුණේ කෙටි ඇසුරවල්
ළඟට ගොස් හැරී එන හමුවීම්
මතක අතරින් අලුත් සඳ සොයන්
පපුව අතගගා හූල්ලන තනිකම්
දෙතොල් හාදුවක හැඩ රුව මනින
ෆල්යින් කිස් එකකින් මත්වෙන
ගිහින් එන්නම් කියා ඇස්වලින් මතුරන
අපට තිබුණේ කෙටි ඇසුරවල්
මුරංඩුම සුළං රැල්ලකට ඉව අල්ලන
පාව යන ගාර්ඩිනියා සුවඳකට සම කරන
ඒ තමයි අපි අතර තිබිය යුතු ස්මරණ
කිය කියා නහය නැටවුව වෙලාවල්
අපට තිබුණේ එවන් කෙටි ඇසුරවල්
රාත්‍රියෙ සයනයේ පෙරලි පෙරලී
වහළයේ සිතුවමක් මවන්නට දගලන
එයා මට ආදරෙයි, මාත් එයාට ආදරෙයි
කොට්ටයක් බදාගෙන නොදන්වම නින්දයන
සිහිනයෙන් පවුල් පන්සල් වෙන
අපිට තිබුණේ කෙටිම කෙටි ඇසුරවල්

2017 පෙබරවාරි 18

Monday, January 30, 2017

නොරිදන්න තව

නිමිත්ත - වේසියක් ලෙස සමාජය විසින් හංවඩු ගැසූ , අහම්බයකින් හෝ කුසට එන කළල විනාශ කරමින්, සමාජයෙන් තල්ලු කළ තැන සිට ජීවිතය මැතිරූ කතක්
=============================================
අමාවකට කෙඳිරිලි හඬ මල් මතින් ඇසේ
පලා යන්න බැරි දේවල් කරණමක් ගැසේ
හදාගත්ත හිත වැටේ, දුක මතුවෙයි හිසේ
බදාගන්න ඉඩ දුන්නේ, ගිනි ගනියි කුසේ
කුරුළු පැටවු සිහින දකියි කණාමැදිරි එලි අතරේ
අරළු ගැටත් පැණි රහකට දැනෙයි වෙහෙස දිවි කතරේ
පරලු පාන් ගැන කවියක් කියාදෙන්න මගෙ මිතුරේ
සළෙලු වුනත් පෙම පුදුමයි යන තරමට උන් අතුරේ
ගෑණු ලෙඩේ හැදුන දාට හදවත කෑගසා
නෑර එකක් ඉමි පෙළකට සියල්ල ඉවසා
රෑක පැන්න හරස් ඉණිත් නිතරම ඉකිගසා
පාට දෙන්නෙ කවුරුද බන් අසයි හිතෙන් මුසා
ලිහෙන ඉරෙන ස‍ළුපිලි වල සුවඳ ටිකක් උරා
ඉරට හඳට කවි කිවුවට ඉන්න හැකිද දරා
අතට පයට වෙහෙස අරන් වැඩපල ටික කොරා
කුසට එකෙක් එන පාරට දැමුවෙමි සිතුවිලි මරා
ගෑණු හිතක් හෙල්ලෙනවා ඇඟිලි ගනියි හැම වාරෙට
පෑයු හඳක් කෝ අහසට කළුවරමයි හතර කොනට
පෑරු හිතක් පාර පාර එපා ඔබත් තළු මරන්ට
වේසකමත් රැකියාවක් කලේ ඔබයි කාසිවලට
#දිනිති 2017/01/30

Saturday, January 21, 2017

පැමිණි දේ පැණි රසයි.



නිතර මල්වල සුවඳ සොරකම්
කරන සුළඟක් වේය මනරම්
බඹර තුඩුවල ඊය හොඳනම්
මලත් සුළඟත් දෙකෙම සැනසුම්

මලින් මලකට ගියත් සමනල්
අතින් අල්ලන් කරයි ඇවටිල්
හිතින් බැදගෙන සුවඳ බඳවල්
උනුන් වැළපෙයි වසා කටවල්


මලට , සුළඟට බඹර, සමනල
ඇතිය එක එක ලෙසට හැඩතල
හිතට හුරුවට කරන වැඩවල
කුමට සොය සොය ඉතින් පසුතල

Wednesday, January 18, 2017

අම්මේ දෙව්ලොව ඔබ සතුටින් ද ?



අම්මේ කියාපන්, දෙව්ලොව ඔබ සතුටින්ද
දන්නා අදුණනා උදවිය ඔහෙ ඉන්නවද
නැන්දා ඇවිත් ගිය සතියේ දන්නවද
කෙල්ලට තවම කරදරදැයි ඇහුවාද

නින්දා වැස්ස දැන් වැඩි වැඩියෙන් එනවා
ඉන්නා තරම් නෑයන් වෙන අත දිවුවා
රවලා බලන ගැහැණුන් ගමෙ හිඟ නැතුවා
අම්මේ යන්න හිටියේ මං, උඹ ඉස්සර වූවා

ගස්සා පස්ස හන්දියෙ මැණිකෙගෙ අක්කා
උස්සා රෙද්ද ආවා තොවිලයෙ බෙර පළුව
මැස්සා වුනත් මොකටද නැති නම් කුණු ගොඩට
කැස්සා මාත් හයියෙන් වේලුන උගුර මැද


අම්මේ මහන්සිය නිමලා මෙහෙ එනවාද
නැත්නම් කාල නියගල අලයක් දුවන්නද
අරලිය මලක් වත් නොපිපෙයි සොහොන උඩ
විකසිත කුසුම පරවුයේ, පියෙකුගෙ ලිංග මැද

Tuesday, January 17, 2017

හදවතක් මගෙත්.



මමත් ඉන්නේ මඩේමයි
පැටවුන්ට දෙන්න බැරි අසූචියි
උඹේ පැටවුන් කිරි උරද්දී
දුකේ බැහැ මහ ඊරියේ

පැදුරෙ උණුහුම හොයා හොයා

තාම පැටියෙක් මගෙ, බත් පිඩක් ඉල්ලයි
අඳුරෙ අතපත ගාන සසරක
දික්ගැසුම් පොලියක්ය කර්මය

පුල්ලි පුල්ලිය රටා හැදිලා

නුඹේ සියොළඟ එලිය වැටිලා
තල්ලු කර කර පේලි හදලා
දිනෙන් දින උඹෙ ළගයි මරණෙට

මමත් මැරෙනවා උඹත් මැරෙනවා

මරන්නට බැරි කෙලෙස් ගිණුමයි
කෑ ගසාගෙන උඹේ පැටියා
උඹව හොයනවා ඊයෙ දැක්කා

ඊරියක් වුන කුසල අකුසල

දනිමි මනසක් උසස් වුන මම
පූරුවේ තව අත්හරින්නට බැරි
ස්නේහෙ දාරක මහමෙරයි බං

උඹේ ඇස අඟ කඳුළු කැළලක්

දිටිමි රැයකදි ලයිට් එලියෙන්
ලොකු කෙලි මගෙ මේ පාර පැන්නේ
දහය වසරට ගෝරි හරියට


"සත්ව ඝාතක, සත්ව ඝාතක "
වචන හරියට දරුණු අවියක්
කුස් පිරෙන්නට ඇස් පියන් මම
අස් කරමි උඹෙ හුස්ම ඩිංගත්

චුන්ද සූකර දරුණු සසරක

පහුණු පෝයට ලොකු සමිදු දෙසුවේ
කරුණ දැන දැන වීසා ගැහුවට
කාසි වෙනසද බඩගින්නකට
ඉතින් ඊරියෙ උදේ හවසට
මගේ හදවත නුඹට කිවුවේ
නැතත් අවසර උඹෙන් කිසිවිට
හෙටම මේසෙක උඹ, පිපෙයි කරියක

තිත්ත බව දැන දැනම කසායක්

බොන්න වෙනවා දිනක ලෙඩකට
ඇත්ත මම ඌරො මරනවා
පණ පිටින් මැරි මැරී හැමදින

Tuesday, January 3, 2017

ජීවිතය සීතලද මේ හැටි

නුවරඑළියේ මල් තරම්
හැඩවුනා නම් අපේ ජීවිත
පතනෙ ඉස්සී පිපෙන්නේ
සුසුම් නොව මුතු පබළු දිස්නෙට

කැරට් යායට ලියදි පිරුණට
කැරට් විසි දෙක නොවෙයි ජීවිත
කරන්ට් නැති වෙච්ච හදවත්
කොයිතරම් හමුවෙයිද මඟතොට

ලීක්ස් ගස්වල සුවඳ බෙද බෙද
ලක්ස් කැටයක් ගනියි දෝතට
බීට් අලවල රතු නෙමෙයි ඒ
යෞවනියො හෙළු කඳුළු පැහැයය

ගෝව ගෙඩි ගෙඩි හෙට්ටු කර කර
තෝර ගත්තට මුදලාලි හයියට
ගෝව කොළ වගෙ ගැලවිලා විසිවෙයි
තෝරා දෙන්නට බැරිම පැතුමන්

වසන්තය මෙහෙ ගතකරන්නට
දසන්තයෙ උන් ඇවිත් යනවිට
අසන්නට හිත නැමෙයි නිරතුරු
"මහත්තයො ජීවිතය සීතලද මේ හැටි "

Thursday, December 22, 2016

තාත්තා නැතිවෙලා - පණිවිඩය ලැබුණා


නිමිත්ත - පියාගෙ මරණය ගැන කියන්නට පැමිණි බාල නැන්දා ( තාත්තාගේ නැගණිය ) එම පණිවිඩය කියනායුරු මැවි මැවී පෙනුනයුරු අද ට දැනෙනා හැටි. ඇය දෙවෙනි අක්කා යැයි අම්මාට හැමදාමත් ඇමතුවේය.
-------------------------------------------------
දෙදහා අවුරුද්දෙ මුල් දවස් දෙක තුනයි
දොළහෙ කණිසම හිරිවැටුණ වෙලාවයි
දෙලොවක් අතර ඇවිදි ගිය උවනතක්
"දෙවෙනි අක්කේ උඹ ඉන්නවද" කියා ඇහුණේ
දෙනෙත් එක තැන නැවතිච්ච ගමන්මයි

හය හතර නොදන්නා සමනලුන් තුන්දෙනා

කරදඩු නැදුන් බුරතට හයි හත්ති වෙලා බන්
පොඩි එකී කෙල්ලෙක්ද කොල්ලෙක්ද දන්නෙ නැති
අපෙ එකා මහ කාලකන්නියා කියනවා


දූලි පාටට හැරුණු රෙදි කෑල්ලක්
නළල් වට පිසිනවා යන්තමින් දැක්කේ
කොහොම නම් කියන්නද කියල මේ කල් ගත්තෙ
වතුර උගුරත් හිරවෙනව ලේ බරට අක්කේ

තළෙලු උස මහත ඔෆීසියෙ මහත්තයා
දෙල්ගොඩට කිට්ටු වත්තක අනේපිඩු සිටුතුමා,

මැසි මදුරු පිඹුරු මාපිල් පොලොන් පිරි ගමේ

උඹෙ පැටවු හීතලෙන් හිටියාද දෙවනි අක්කේ
"අපේ එකා මහ තිරිසනා අවලම්ම බල්ලා
බල්ලෙක්ම කාලා පිස්සුවෙන් පණ ගියා "
ඊයෙ හවසම කනත්තෙදි පිච්චුවා
පණිවිඩේ දෙන්න මං හති දමා ආවා
===================================
දායද නුඹට නැහැ මගෙ හිච්චි දෝණියේ
පිඩුසිඟා වඩින්නෑ කිසිදිනේ නුඹෙ පියා
2016/12/22

Wednesday, December 21, 2016

" අනේ අක්කේ උඹව උ මරනවද "

මටත් කියලා හදවතක් තිබුණා
තුනේ පන්තියෙදි බාගයක් කැඩුණා
තාත්තේ කණාමැදිරියො බනිද්දී
පොල් දතින් බාගයක් කැඩුවා

ගොයම් කොළ ගහන දා කළුවරේ

පැට්‍රල් ලාම්පුව හඳත් බය කරල තිබ්බා
ගොයම් මැස්සෙක් හමා ගිය ගඳ
ගෙදර පිටිපස්ස පැතේතෙ හැමුවා

දෑකැත්ත වක් වෙලා තිබුණට

රෑවෙද්දි හරි සීරුවට හැරිලා
බීඩියක දුමක් ඉඟිලන් කුස්සියේ
වැල් ඇඳෙන් චරබර සද්දෙ ඇහුණා

අහස් යන්තරෙ පෙන්නලා

අම්ම ගමනක් ගිහින් තිබුණා
ගොයම් කයියට අයියා තරගෙට
දහදියෙන් මිළ ගණන් හැදුවා

පුංචි ඇස් දෙක රතුවෙලා මගෙ

නපුරු සිහිනය හැබැහින්ම දැක්කා
බලා ඉන්නම බැරි තැනදි මම
දෑත බදලා දොර පොල්ල ගත්තා

" අනේ අක්කේ උඹව උ මරනවද "

කියාගෙන කෑගැහල කිවුවා
හැරෙන විට ඒ යක්ෂ මිනිහා
මුහුණ පුපුරන්න ගැහුවා

" අම්මෙ අම්මේ " කිය කියා ඌ

මහා හයියෙන් කෑගගහා දිවුවා
තාත්තෙක් නැති මමත් බයටම
බිම බදාගෙන හොඳට ඇඩුවා

2016 / 12/ 21

Saturday, December 17, 2016

අමාවකටත් හඳ පිපෙයි ගේ දොරකඩට

හිම කැටත් ගිනි තියන හද දුකට
හරි මඟක් කියන්නට බැරි සුළං කුමකටද
හැමදාම එක ළගින් යන්,
දුක සැපත් අපි දෙන්නට
ඒ වුනත් සෙවනැලිත් අතැර යයි ජීවිතේ එක දිගට

වළාකුළු විසිරිලා අහස හැම තැන ආතුරව

සදාකාලික පෙම්වතුන් ඉන්නවද හමුවෙලා ඔබට මට
වැහි බිංදු අත්හරින තැන තමයි
අහස දුක්වෙන්නෙ හොඳටම
ඇහිපියන් නැවතිලා තියෙන දවසට හිමිවේද සැනසුම

හැමතැනම මතක සැමරුම් විතරමයි තත්පරෙන් තත්පරයෙ

අතීතය කියන්නේ දැවි දැවී යන වත්මනේ කණිසමට
පියල්ලෙන් පියල්ලට දියව ගිය හිම මලක් හද දුකට
අඬන බව දැක දැකත් අහක බැලුවේ ඇයිද විගහට

හිතේ අස්සක් මුල්ලක් නෑරවම ඇතිල්ලෙන

කැලතිලා එළියට එන වමනයක් වාගෙයි අපුල
හොර වෙදෙක් ළඟට ගොස් මරා දැමු කළලයක් විලසකට
හැර දමා යන්න හැකිනම් මටත්, නුඹ මෙන් අනාගතයට

ප්‍රියේ .., වසන්තය කියන්නේ සෘතු මාරු ක්‍රමයකට

හිතේ අළු දූලි පිසින්නට හැකි නම් පිළිවෙලට
අමාවකටත් හඳ පිපෙයි ඔබේ ගෙයි දොරකඩට


2016//12/17

Friday, December 16, 2016

දුකට කියන කවි

නාහෙන් ගලන සොටු දිය නැත වෙන්නේ ඉවර
මාසෙන් වැඩි හරිය රිදෙනව නිතරම උගුර
තාමත් උරුම වින්ටර් ස(ම්)මර් දෙක විතර
මාගෙත් පැතුම් ඇත ඉන්නට මව්බිමෙ නිතර
කෑවත් බඩට දැනුනද නැහැ දැනෙන්නේ
ගෑරුපු ,පිහිය විතරයි රඟ දෙවන්නේ
නෑවත් නොනෑවාමයි හිත කියන්නේ
ආයෙත් කවද මගෙ උන් හා හිදින්නේ
යන එන ගමන් සැප පහසුව ලැබෙන්නේ
ගල් වැලි බොරළු නැහැ දෙපයට ගැටෙන්නේ
ළඟ උන් මළත් නැහැ අනෙකට පෙනෙන්නේ
මේවන් දුකක් හතුරෙක්ටද නොවන්නේ
ඉපදුණ රටත් මඟහළ බව දැනෙන්නේ
ගහකොළ සුවඳ නහයයි ඉව කරන්නේ
ඇළ දොළ මතක් වී හද ඉකි බිඳින්නේ
මට මගෙ එකෙක් ළඟ නැති දුක තියෙන්නේ

2016//12//14 

Wednesday, November 16, 2016

මාගරට් මම

අලුත පීදුනු නැවුම් ලැම උඩ
ලපටි රැවුලෙන් සිඹපු දවසෙම
පපුවෙ උතුරන ප්‍රේම සිත්තම
උඹට විල්සන් එක හිතින් පිදුවා.

වැල්ල මැද්දට පෝය හඳ ආ
බක්මහේ ගී සිංදු ඇහුණා
රැල්ල එක්කම සේදිලා ගිය
ගැහැණුකම ගැන ලෝභ හිතුණා

" මගේ පණ මාගරට් උඹ දැන් "
අත් අරින්නට බැරි හැගුම් කිවුවා
අතේ සතයක් නැතිවුනත්
සිහින මාළිග විල්සන්ම බැන්දා

යනෙන එන විට විසිල් කරමින්
කොල්ලො වැල්ලෙදි විහිළු කෙරුවා
දුවන මුවෙකුට පලා දුන් බව
ගෑණු හැමතැන කියනවා ඇහුණා

පපුව මැද කුරුසියක් ඇද ඇද
ඉරිදා හතරම සුරුවමට වැන්දා
බඩට හත්මහ පිරෙන විට
ඔරු කඳක් පෙරලිලා තිබුණා

අප්පා නැති දුක දරාගෙන
විලිරුදා මැද යුද්ධ කෙරුවා
කුප්ප පිරිමින් සෙවල පෙර පෙර
නිධානය වගෙ ගේ වටේ පැද්දා

ඉතින් විල්සන්,
බලා ඉදලම බැරිම තැන
ඇන්ටනය එක්කම එකට වැටුණා
දුකින් දුව දෙස බල බලා මම
රැල්ල ජය ගන්නවා හිතුවා

වාරකන් හරි සැරට ඇවිදින්
ජීවිතේ සුළි සුළං හැමුවා
ඇන්ටා එක්කම පැනලා යන්නට
අපේ නංගිට හුස්ම තිබුණා.

හැට්ටෙ මැද්දේ සුරය පැටලී
දැළක නූලක් කැඩිල තිබුණා
ගසාගෙන ආ රැල්ල එක්කම
සිනහ වත නංගිගේ දැක්කා

මේව ඔක්කොම දරාගෙන මම
ප්‍රථම ප්‍රේමය හිතින් බැලුවා
ගෑණු පපුවක හැඩය දකිනට
පිරිමි හිත් අකමැතිද හිතුණා.


2016 ඔක්තෝම්බර් 18 

Thursday, October 20, 2016

දැළි පිහියෙන් කිරි කෑම

ලෝකය විශ්ව ගම්මානයකි. මෙය අපගේ සවන්පත්වලට බොහෝ කාලයක සිට ඇසෙන්නක් ය. විසිවන සියවසේ අග භාගයේදී පටන් ම මෙය ඇසුණා යැයි කිවහොත් එය අසත්‍යයක් නොවනු ඇත. ලෝකය විශ්ව ගම්මානයක් වී අප සියල්ලෝ ම එක ම ගම්වැසියන් වෙද්දී ඒ ගම්මානය තුළ අප ලබන ඵල ප්‍රයෝජන සහ අප ලබාගෙන තිබෙන ඉඩකඩ අතර බොහෝ සිතන්නට කාරණා ඇත.

මේ විශ්ව ගම්මානය හා අත්වැල් බැඳ ගත් කල ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික, සාහිත්‍ය එකී මෙකී නොකී නිමක් නැති සබ්බ සකල මනාවම අන්තර්ගත බව ඔබත් මමත් දනිමු. ඉදින් මේ තුළට එබී සාහිත්‍යයට ඇති තැන සහ ඉන් අප හරවත්ව උකහා ගන්නා යමක් ඇත්දැයි මොහොතක් හෝ ඔබ සිතුවා ද?
සයිබර් සාහිත්‍යය කිවු සැණින් බොහෝ යාවත්කාලීන නොවූ සාහිත්‍යධරයන්, ලේඛකයන් බියමුසුව, සහ යම් සැකයකින් ඒ දෙස බලන්නට පුරුදු වී ඇත. අප යන්නේ කාලය සමඟ ගමනක් නම් එහිදී මුණගැසෙන දෑ දෙස නොබලා යා හැකි යැයි මම නොසිතමි. හොඳ හෝ නරක සියල්ල සමඟ මනා ගනුදෙනුවක් ඇති කරගැනීම අපගේ දක්ෂතාව විය යුතුය.

සයිබර් අවකාශය යනු දැළි පිහියෙන් කිරි කනවා වැනි මාධ්‍යයක් යැයි කීවොත් වඩාත් නිවැරැදි ය. එවන් තැනකදීම සාහිත්‍ය ගැන අප විපරම් කළහොත් එදා සුළුතරයක් අතට නතුව තිබූ සාහිත්‍ය අද කා අතරත් ප්‍රජාතාන්ත්‍රවාදී අන්දමින් බෙදී ගොස් ඇත. තමන්ට ඇතිවන හැඟීම්, තමන්ට රිසි පරිදි කැමති අයුරකින් නිදහසේ මුදා හැරීමේ වරප්‍රසාදය සයිබරය තුළින් අප කාටත් එක හා සමාන අයිතියකින් ලැබී ඇත. මෙය වඩාත් හොඳ සාධනීය ගුණයකි. මන්ද යත්, යම් යම් බැරියර් දමාගෙන එක එක ගුරු කුලයන්ට යටත් ව පැවති ඒ ඒ අංග අද මුළු මහත් සමාජයට ම බෙදී යාම නිසා අලුත් නිර්මාණාත්මක දේ පිරි මිනිසුන් බොහොමයක් බිහි වී ඇති නිසාය. කොහේට හෝ සැඟවී මුල්ලකට වී වැළලී යන්න ගිය තමාද හඳුනා නොගත් තමාගේ හැකියාවන් වඩාත් සක්‍රීය ව ගුණාත්මක ව ඔප මට්ටම් කරගනිමින් සයිබර් අවකාශය පුරා නෑගම් යන හැකියාවන් පිරි මිනිසුන් අද බිහි වී ඇත. මෙය විශ්ව ගම්මානය තුළ අප ලද විශාලම ජයග්‍රහණයකි.

මේ ලිපියේදී මුඛ්‍ය පරමාර්ථය කරගනු ලැබුවේ අන්තර්ජාලය තුළ සැරිසරන බොහෝ පිරිස් දන්නා ඊ බුක් ගැන ය. ඉලෙක්ට්‍රොනික පොත් වන මෙහි ඇති වෙනස නම් කඩදාසි මත මුද්‍රණය කර නොමැති වීම ය. වෙනත් අයුරකින් පැවසුවහොත් පොතක් ලෙස නොපැවතීම ය. මෙය මූලිකව පරිගණක තිරය මත කියවන්නට හැකි වීම මෙන්ම දැන් වඩාත් දියුණු වී ජංගම දුරකථන වෙත ද පැමිණ ඇත. එපමණක් නොව විශාල පොත් සංඛ්‍යාවක් එනම් පොත් සිය දහස් ගාණක් වුව ඉතාම පුංචි මතක ධාරිතාවක ගබඩා කරගන්නට හැකි වීම මෙහි ඇති තවත් වාසියකි.

ඉඳින් මුද්‍රිත සාහිත්‍යයට තවමත් වැඩි නැඹුරුවක් ඇති ආසියාවේ පළමු ඊ නවකතාව වූයේ 1998 වර්ෂයේ මුදාහරින ලද සාධු ටෙස්ටමන්ට් යන ඊ නවකතාව ය. එහෙත් අවුරුදු 18 ක් ඉක්මවා ගොස් තිබුණ ද අද ඊ පොත් සඳහා තවමත් ආසියාවේ මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ඉඩක් නැති බව අප කවුරුත් දන්නෙමු. බොහෝ දෙනා තවමත් පොතක් කියවීමේ තෘප්තිය විඳින්නේ මුද්‍රිත මාධ්‍ය හරහා ය. එහෙත් අද ලෝකය ඊට වඩා දුර ගොස් ඇත. විශ්ව ගම්මානය ම ප්‍රයෝජනයට ගෙන ඔවුන් තමන්ගේ සිතැඟියාවන් සාහිත්‍ය ලෝකයට එක් කරති. කාලයත් සමඟ විශාල තරගයක නිරත වන අයෙක්ට පොත් සාප්පුවකට ගොස් පොතක් ගෙන කියවන්නට තරම් අවස්ථාවක් ඇතිවීම දුලබ තත්ත්වයට ලෝකයා කාර්යබහුලව ඇත. අද බොහෝ ජාත්‍යන්තර සාහිත්‍ය ඇත්තේ ඊ බුක් ලෙස ය. අපට කැමැති පොත අන්තර්ජාලය හරහා මුදල් ගෙවා හෝ නොගෙවා බාගත කිරීමේ වරම ඇත. එහෙත් ඒ වරමට අප තවමත් බිය වී ඇත්තේ ඇයි?

එදා කටින් කට පවත්වාගෙන ආ සාහිත්‍ය හෝ බොහෝ දෑ කඩදාසි සොයා ගැනීමත් සමඟ ලියන්නටත් මුද්‍රණ යන්ත්‍රය සමඟ අච්චු ගැසීමටත් පුරුදු වූහ. එනම් කාලානුරූපි ව සුදුසු අගෝපාංග යටතේ වෙනස්වීම ම ය. නමුත් අන්තර්ජාලය එසේත් නොමැති නම් සයිබරය පැමිණ මේසා කලක් ගිය ද අප තවමත් ඊ බුක්වලට නැඹුරු නොවන්නේ මන්ද? යමෙක් තර්ක කරනු ඇත්තේ මෙය වෙහෙසකර කාර්යයක් ලෙසය. නමුත් අද ලෝකයේ අලුත් පරම්පරාව මේ වෙනස්වීමත් සමඟ යම් තරමකට අත්වැල් බැඳ ගත්ත ද, ලංකාව වැනි රටක පිළිගත් ආයතන තුළ සාහිත්‍යයට අදාළ වගකීම් දරන තැන්හි ඊ බුක් සඳහා කිසිදු ධනාත්මක සිතුවිල්ලක් නැති බව නම් කිව යුතුමය. බාගදා එය එසේ වනු ඇත්තේ තවමත් යාවත්කාලීන නොවූ පිරිස් ඒ ආයතන තුළ සිටීම ද වන්නට පුළුවන.

පුස්තකාලයක ම දෑ ඔබට කැමති තැනකට රැගෙන ගොස් කැමති අයුරකින් කියවන්නට ඊ - බුක් හරහා මේසා හැකියාව තිබියදී අප ඒ සඳහා යොමු නොවීම එක්තරා අන්දමකට අභාග්‍යයකි. ඊ - බුක් කියැවීම සඳහා දැන් ඊ - බුක් රේඩෙර් ලෙස පරිගණකය තුළ කියැවීමට පහසු ලෙස මෘදුකාංගයක් ද සකසා ඇත.
ඉහත සියල්ල ම කියවා යද්දී යමෙක්ට සිතනු ඇත්තේ සාම්ප්‍රදායික පොත් ක්‍රමයට පයින් ගසන්නට තැනීමක් මේ මඟින් කරනවා කියා ය. එහෙත් මේ එවැන්නක් නොව, අප එදා වැලි පීල්ලේ ගල් ලෑල්ලේ ලියූවත් පසුකාලීනව පොත් පත් තුළ ලියන්නට යොමු වීම මේ සමානම ය. වෙනස මේ මඟින් මනා කාල කළමනාකරණයක් මෙන්ම පහසුවක් අපට ඇතිවීම ය. ඊ බුක්, ඊ සඟරා මෙන්ම නුදුරු දිනක ඇසින් කියවා බලන්නට නොව ශ්‍රවණය කරන්නට ද හැකි වනු ඇත. නුදුරේදීම e-book reader ක්‍රමයට ද පොත් එළි දැක්වීම් ලෝකය පුරා සිදු වනු ඇත.

විශ්වය ම මිටට කර අපේ දෝතට ලබා ගන්නට හැකියාව තිබියදී අප කුමට නම් මේ තාක්ෂණය හා උරණ වන්නේ ද? ඇවැසි වන්නේ කාලයට ගැළපෙන ලෙස අප හැඩගැසීමම නොවේ ද?

Tuesday, October 18, 2016

මටත් තිබුණා ‍ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්,
කිවිසුමක් ගියවිටත්
තැතිගත්ත ඇස් දෙකින් බලන,
මහා හුස්ම රැල්ලකටත්
ගැස්සිලා අත තබා බලන,
තනිමඟක යන්න හැර
පිටුපසින් යනෙන යුරු බලා සිටින,
පුංචි අව්රැලි පොදටත්
හිසට අත්ල තියා රැකවරණ සදන,
බත් පිඩක් ගානේ ආදරේ
තවර තවරා කවන,
අාදරේ කියන්නෙම
දුන් දෙයක්මයි කියන,
මටත් තිබුණා ප්‍රේමයක්
කවියක ඉගිලිලා මඟ හැරුණ
යලි කිසිම දවසක හමුනොවන.

2016/ඔක්තෝම්බර් 10

2016 ඔක්තෝම්බර් 16 ඉරුදින පුවත්පත.

Monday, September 12, 2016

හැරවුමක්

බයිසිකලයේ යකඩ ගොඩ උඩ
හයේ කණිසමෙ පස්ස තිබ්බා
වේලපහ නැහැ වෙලාවට මම
ගරාජයෙ දොර ඇරල දැම්මා
මුහුණු ඇද කරගත්තු එක එක
පුදුම වාහන රවන් හිටියා
රුහුණු කිරි මීපැණිත් එක්කම
බෙදන හැටි මම දැනන් උන්නා

දවල් බත බංකුවක් උඩ
කන්න ඉදගත් පොඩිම කොල්ලා
අවුල් හිතකින් මගේ දෙස
බලා මොනවද ඇහෙන් කිවුවා,
මජන් පොඩ්ඩක් ගෑ වෙච්ච වතෙ
අලුත් ලස්සන කියා කියලා
පරණ වාහන හදන බාසත්
උකුසු ඇහැ කරකවල දැම්මා

ගිලන් ඇද උඩ නිදන අම්මගෙ
රුවත් හද යට තදට තියලා
රුවන් මහතගෙ කාර් එක
අදම ඕනැයි යකා නැටුවා
දුම් ගඳයි, කළු තෙලුයි, ඩීසල්
ගඳට පෙට්‍රල් සුවඳ දැනුණා
හම් පටිය ඉණ වටේ හන්දා
ඇවැසි තැන ආයුධය වූවා

කළුවරත් මැද තරුවලත් එළි
වැහි වලාකුළු ණයට ඉල්ලා
හරියටම වැඩ ඉවර වුනු විට
ගෙදර යන්නද මමත් ඇහුවා
ටිකක් හිටපන් වාහනේ අඩු
පාඩු මොනවද හොදට බලලා
යන්න ඉඩ දෙමි එතෙක් මෙතනින්
ඉන්න බැරිදැයි ලොක්කා ඇහුවා

ඉහ කණත් රත් වෙලා ඇඟ ලේ
ගොජ ගොජව නටනවා දැනුනා
නාකි හිවලට පයින් ඇනලා
ගෙදර එන්නට අම්මෙ හිතුණා
ලඳක් බන් උඹ මොකද මේ හැටි
යකඩ බඩු අල්ලගෙන ඉන්නේ
සුමුදු අත් දෙක දියන් මා හට
සුර සැපය පෙන්නන්න කිවුවා

ඉතින් ඉවසල බැරිම තැන තව
ටිකක් ඉවසන ගතිය බුදු බණක තිබුණේ
අනේ අම්මේ වේස බල්ලට
මදන ගායයි ඉහේ තිබුණේ
ගැහැණු, පිරිමින් කියා මොකටද
වැඩේ වෙනවා නේද ඇහුවේ
හිතට ආවෙම මුගේ තට්ටය
පළල දුවපන් ගෙවල් පැත්තේ

අතට අහුවුණ යතුරු පෙට්ටියෙ
ලොකුම නියනක් අතට ගත්තේ
නාකියා තෝ යන්න දෙනවද
මැරුම් කනවද කියා ඇහුවේ
ආයෙ රස්සා එතන නැහැ මම
ගෙදර ආවම හිතට ගත්තේ
අම්මා එක්කම ගෙදර දොරකඩ
යකඩ වැඩපල අදයි ඇරියේ

Friday, September 9, 2016

අතීතය - වත්මන - නංගි සහ මම

පරපුරෙන් පිළිවෙලට ආපු දන් සීට්ටුව
අම්මගෙ ඉහ ඉද්දරක තියෙනවා
පන්සලේ නමට ඇති ඉඩ කඩම් කුඹුරු මැද
කුස්සියේ ලිප අතීතය දන්නවා

ගිලන්පස ගෙනියන්න සීනි කොච්චර ද
පැත්තකින් නංගි ඇල් වතුර ගිලිනවා
හතර පෝයට සිල් නැතත් උතුරු සළුවෙන්
වහගත්ත කුණු කයක් බොහෝ උන් දරනවා

පුංචි දා විසි කරපු පන්සලේ දානෙ මලු
දෙස බලා හීල්ලුව පොඩි උනුත් ලොකු වෙලා
අව්ව වැස්සට කිසිම වෙනසක් නැතිව
බල්ලා පන්සලෙ බුර බුරා ඉන්නවා

හන්දියේ කඩේකට මලු පිටින් පූජාවෙන
දැහැත් වට්ටිය අතින් අත ගැටෙනවා
නංගියේ පන්සලේ පොල් වත්තෙ බිම වැටුණ
අතීතයෙ අපි තාම ඉන්නවා


ඝණ්ඪාර කුළුණ ළඟ සොරකමෙහි අනුහස්
තඩිම තඩි ලොකු අකුරු නටනවා
හැන්දෑවෙ දේවාලෙ දෙවියො ඇවිදින්
සිකිපිලින් ඔළු මතට තළනවා

අඳනකඩ ඇදන් ක්‍රිකට් පිටි සිරි මවන
හිමිවරුන් තවම එහි වැඩ වසනවා
බඳුනකට ගන්න බැරි ජීවිතේ අතරමං
කවි කතා උඹ එක්ක මම හොයනවා

පෝය දොළහට පන්සලේ සල්පිලේ
යකඩ කටකින් වතගොතය ඇහෙනවා
පැත්තකින් බිම ඉදන් ඒ දෙසට කණ යොමන
අපිත් උන්නද මම තාම හොයනවා

Tuesday, September 6, 2016

හෙටයි හොඳ කුසුම්

කළුවෙච්ච අත් දෙකට කරගැටත් රවනවා
ගැලවිච්ච තැන් වලින් බඩ වියත පිරෙනවා
ඇඹරිච්ච නණ එක්ක අතැගිලිත් රිදෙනවා
තැම්බිච්ච අව්වටත් දැන් වෙහෙස දැනෙනවා

බාටා කඩයක් ළඟ පියැස්සක ඉඩෙ නැවතිලා
බාධා වෙන්නට එපා,යන හඬ එයි කැරකිලා
කාට කාටත් බයාදුවෙ සිනහවක් දල්වලා
පාට පාටින් සපත්තුත්, කුඩ හදමි පේවිලා

හයි හීල්ස් දාපු කණ්ණඩිය කළුම කළු නෝනගේ
දෙයියොවත් දන්නෙ නැහැ කොච්චි පරදින සැර ඇගේ
හයිය හත්තිය තියෙන ලොකු උන්ගෙ පුරාජේරුව තොගේ
ඉරුණු ගැලවුන තැන් මැහැහුවත් බැහැ උන් හරි රගේ

ලයිට් බිල් වතුර බිල් අතර, කෙල්ල ගවුමක් ඉල්ලලා
ෆයිට් කර කර ඇඟිලි තුඩු යයි ඉතා වේගෙන් වෙව්ලලා
රයිට් කියමින් දිවුවා මතකයි ජීවිතේ දුර හති හළ හළා
බයිට් ඩිංගක රහ බලන්නත් බැරි තරම් හිත බරවෙලා

ලෝක ධර්මය වගේ පාටින් තියෙන කුඩයක් ඉහළලා
සෝක වෙන අඩි නැති සෙරෙප්පුවෙ කඳුළු පිහිමින් හැඩකලා
කෝක කිවුවත් පැත්ත මාරුව තියෙන රටකම ගල්වෙලා
සෝමෙ අයියත් ඡන්දෙ ඉල්ලුව බාර් එක ළඟ රජවෙලා

පොඩි එකී තව කිරි උරයි මගෙ එකීගේ පපුවෙ ලැගලා
තඩි බඩක් උස්සගෙන ආවා ලොකු එකී මඟ වැරදිලා
කඩි ගුලක් වගෙ වත්තෙ එවුවොත් කයි කතන්දර වැඩිවෙලා
අඩි ගගහා යමු කුසුම් අපි "හෙටයි හොඳ" හිත රවටලා



Sunday, September 4, 2016

ඒ මහා බය අදටත් තියෙනවා.

හිතන්නත් බැරිම මොහොතෙදි
පාසැලේ කොටු දැලෙන් එබිලා
වෙරළු අහුරක් මෙමට පාලා
ආදරේ හැටි මේ වගේමයි
කිවුව ඇස් දෙක මැවෙනවා

බිදුණු වීදුරු කැබලි වාගේ

දස අතේ විසිරිච්ච සිතුවිලි
නුඹේ නොඉදුල් විකසිතව ගිය
හදවතේ හැටි අහනවා
එදා වාගෙම ආදරේ බර දැනෙනවා

හොරණ නගරෙට ඉහළ අහසේ

සරණ විහගුන් කෑගසනු ඇහුනේ
පරණ හැගුමන් අලුත් කර කර
අපේ පෙම යලි යලිත් ලිවුවේ

බිදෙන් බිද මීවිතට කිට්ටුව

හිස් කරද්දී පෙම් සිහින ඔක්කොම
දවා අළුවී දුම් කැරලි මැද
නුඹේ උවනත තමයි මැවුනේ

ඉකිගසන්නට උරහිසක් නැති දා

මගෙ කියන්නට ප්‍රේමයත් නැතිදා
පොරබදින හුස්මකත් දැල්වෙන
ආදරේ ගිනි තමයි තිබුණේ

අතීතයෙ හිල්වෙච්ච හදවත

හිතින් වහගෙන සයනයට වැද
දම්මියේ මම තාම බෝඩිමෙ
නුඹේ සිතුවම පාට කරනවා
නැතිවෙලා ගිය බැල්ම හොයනවා

ආදරේ හැටි මේ වගේමයි

කියන්ට එන්නට හිතෙනවා
සමාවෙන්නැයි නුඹ කියයි මට
මහා බය අදටත් තියෙනවා

Thursday, July 28, 2016

ඕල්ඩ් ලයිෆ් එක

( හේතුව —අ පො ස (සා. පෙ. ) ප්‍රථිපල එනතුරු හොරණ පෞද්ගලික ඇගලූම් කර්මාන්ත ශාලාවක මාස කිහිපයක් වැඩ කිරීමේ දී මා ලබා ගත් ජීවිත කමටහන් සිහිවීමෙන් උපන් හැඟුමකි.)

ඔතා ගෙන බත් එකක් උස්සන්

හතාමාරට පාරටම දිවුවා
හිතාගන්නට බැරිම මොහොතක
කතා නැතිවම කතා කෙරුනා
බොසා එන්නේ උදේ දහයට
කොකා කන්නේ හරියටම අටටය
නවා හිස බිම බලා හෙමිහිට
ඇසේ තියනා කවිය වැටුණා

බාටැක් එකේ කෝකිලා

හාවෙක් වගේ අත් උස්සලා
කාටත් හිනා ඛෙද ඛෙද වෙන්කලා
පෑහුනත් නැති වුනත්
හා කියා හිස සන් කලා
ඇගේ එල්ලෙන ජිප්සි ජෝඩුව
කම්මුලට හාදුව මුසු කලා
රඟේ දම දම එහෙම මොහොතක
ඇසේ තියෙනා කවිය වැටුණා

කංස මැෂිමට කකුළ දිඟ නැහැ

ඒකෙ වැඩ ගැන දන්නෙ දෙන්නයි
හංස ගමනින් ලයින් එක මැද
බොස්ගෙ පුතු එයි සුදුම මුහුණයි
කෙල්ලො දෑතින් රෙද්ද අල්ලන්
පපුව ඇතුලෙන් සද්ද කර කර
හිතෙන් එක එක කතා ගොත ගොත
බොස්ගෙ පුතුටම ලෝබ එමටයි
මැෂින් එක යට දෑත් උස්සන්
වැටුණු කවි වල අකුරු බොහොමයි

එක්කෙනෙක් පොඩ්ඩක් ලෙඩ වුනොත්

පේලියක් හිර වෙනව එක්ස්ප්‍රස්
මල්ලිකා මිස් කියන්නේ සුපවයිසර්
හැම වෙලේටම කට පුරා
ටාගට්...ටාගට්..ටාගට්...
තුන් සුත්‍රය වගේ තුන්වරුවම
තුසිතා මිස් කියන්නෙම
"කෙල්ලනේ අත ඉක්මන්ම කරපන් "
බැරිවෙලා හරි වුනෝතින් ඩැමේජ්
එදා දවසම හදවතත් ඇම්බියුලන්ස්
සයිරන් හඬක් පිට කර කරම
ඇස් වලින් වුනත් විසික් වෙයි
මාකටින් නෝනගෙන් මිසයිල

"ඕඩරේ හඳිසියි

ඕවර් ටයිම් ඉන්න වෙයි
චෙකින් එක ෆයිනල් බලන්නට
කෝ එන්න කටින් එකෙ අය "
කෑ ගහන්නේ බොස්ගෙ නෝනා
රෑ කියන්නෙත් දහවල වෙලා
දෑගිලිත් වෙහෙසට කොරවෙලා
කිරිත් නැති කිරි තේ හිරවෙලා
කෙල්ලො ටික ඕඩරේකට යටවෙලා
කවියකට එල්ලපු අකුරු යට කිමිදිලා
යෞවනය උන් රහසින්ම ගොලූ කලා
ජීවිතය ගැන මොනවද මුමුණලා
කවි කතා නොකියම ඉගිලූණා


Saturday, July 23, 2016

ජීවිතේ ඉතින් සොඳුරු වෙද

දකුණින් දැකුම්කළු මුහුදය
ගුවනින් ගුවන් කරණම්ය
හදවතින් ලංසු තැබූ සිතුවිලිය
දෙපයින් ලේ ගලන ගමනක
බඩ ගගා ඇවිදින මරණයකි
ජීවිතේ ඉතින් සොඳුරු වෙද ?

ජංගමය මිතුරු සුමිතුරෙකි

කඳුළු අහුලන හිතවතෙකි
අලුතින් කැකෑරෙන පෑරුමකි
අම්මා නගන හඬ දරු ස්නේහයකි
අත් හරින්නට බැරි බැඳීමකි
ජීවිතේ ඉතින් සොඳුරු වේවිද ?

බඩු මිල දිය සුළියකිය

වේතනය පෙන බුබුළකිය
කටවල් ගණන හතකිය
අත් දොලොසක් නැතිමය
දෙවියන් නොවූ අරුමෙකි
හුස්ම අල්ලන නිලයකි
ජීවිතේ සොඳුරු වේවිද  පැනයකි

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...