Wednesday, August 27, 2014

කුණු මාළු

මේ දවස් ටිකේ බ්ලොග් අවකාශෙ මහේෂ් මල්ලිගෙ බ්ලොග් පෝස්ට්වල යන්නෙම පාසැල් මතක කතන්දර ටිකක්මයි. ඉතින් ඕක කියවන වාරයක් පාසා මගේ හිතත් නිතැතින්ම ඇදිල යනව ඒ කාලෙට. මං හිතන්නෙ ජිවිතේ සුන්දරම කරපු තරමක් විසේකාර වැඩ කරපු කාලෙ තමයි ඒක. ඉතින් මහේෂ් මල්ලි ක්‍රිකට් ගහපු හැටි කිවුවම මම අපි කුණු මාළු ගහපු හැටි කමන්ට් කලා. ඉතින් ඔන්න අර දේශක යා මට කුණු මාළු දිනිති කියලත් තිබුණෙ.  :-D අහුවෙද්දෙන්කො දවසක ඔය දේශක යව. මුහුණ ගලවල අතට දෙනව බල බලා ඉන්න.  :-p

ඉතින් ඔන්න මං අපේ අම්ම ගිය අම්මලගෙ ගමේ ඉස්කෝලෙටමයි ගියෙ. හැමෝම ටවුමෙ ඉස්කෝලවලට යන්න බස්වලට පොරකන කොට අපි නිදහසේ අනික් පැත්තට ඉස්කෝලෙ ගියා. ඉතින් අපේ ඉස්කෝලෙ කොටස් දෙකකට තියෙන්නෙ. ප්‍රාථ්මික අංශය වෙනම. ඒකෙ එක වසරෙ ඉදන් හතර වසර වෙනකම් තියෙන්නෙ. ඒ ප්‍රාථමික කොටසෙ තමයි යන්තම් වොලිබෝල් පිට්ටනියක් වගේ පිට්ටනියක්වත් තියෙන්නෙ. අපේ පහ වසරෙ ඉදන් උසස් පෙළ දක්වා තියෙන එකේ උදේ රැස්විම තියෙන ඉඩ ටික විතරයි තියෙන්නෙ. පාසැල් වත්ත පුරා ගොඩනැගිලි. අපිට ඉතින් නිවාසාන්තර ක්‍රිඩා කරන්න ඉදන් තිබුණෙ අර පුංචි පිට්ටනි කෑල්ලම තමා. පස්සෙ කාලෙ අපි උසස් පෙළ ලියන කාලෙ ඉස්කෝලෙට එහා පැත්තෙ ගෙදරක කෙනෙක් ඉඩමක් පරිත්‍යාග කලා පිට්ටනියකට. ඊට පස්සෙ ලොකු පිට්ටනියක් ලැබුණ අපට.  ඔන්න අතරින් පතර කතා එක්ක මං දැන් අර කුණු මාළු කතාවට යන්න එපැයි. 

ආහ් මෙහෙමයි ඊට කලින් අපේ ඉස්කෝලෙ ලොකු ඒ කියන්නෙ අපෙ අම්මලගෙ කාලෙ ඉදන් විතර තියෙන මැංගුස් ගස් හතරක් පහකුත් තියෙනව. අර උදේ රැස්විම තියෙන ඉඩ කොටසෙ දෙපැත්තෙ තියෙනව  මේ මැංගුස් ගස්. මැංගුස් කාලෙට කරපු වැඩ පස්සෙ දවසක කියන්න බැරියැ. ඉතින් කුණු මාළු ගහන්නෙ මෙහෙයි.

සෙල්ලම් කරන්න ඉන්න කට්ටිය මුලින්ම කවුරුහරි දෙන්නෙක්ව මුල්කරගෙන දෙපිළකට බෙදෙනව. ඒකට ඉතින් බෙදෙන්නෙ කතාවෙලා එනව. අර මල ද ගල ද නැත්නම් රෝස ද රතු ද වගේ.. ඒ දෙපිළටම අයිති ස්ථාන දෙකක් තියෙනව. හුඟක් වෙලාවට අපි ගන්නෙ ගස් දෙකක්.. අර කිවුව ලොකු මැංගුස් ගස්වලින් දෙකක් තමා හුඟක් වෙලාවට ගන්නෙ අපි. මේ ස්ථාන දෙක දෙපැත්තක තියෙන්න ඕනි. ඒ කියන්නෙ අඩුම මීටර සියයක් එකසිය පනහක්වත්. ඔන්න දැන් දෙපැත්තට බෙදුණ අය තමන්ගෙ ගස් දෙකට යනව. ( ගස්ම නොවුනට කමක් නැහැ. ඔය බිල්ඩිමක කොණක් හරි කොහොම හරි නිශ්චිත සීමා කරපු තැනක් තියෙන්නෙ ඕනි ස්ථිරව. ) දැන් අර පැත්තෙ කෙනෙකුයි මේ පැත්තෙ කෙනෙකුයි යනව. කවුරු හරි අනික් කෙනාගෙ ඇගේ අත ගහපු කෙනා කුණු වෙනව. තමන් කුණු නොවී බේරෙන්න දුවන්න පුලුවන් ඕනි දිහාවක. අපි ඉතින් ඉස්කෝලෙ බිල්ඩිම් අස්සෙ ඒ දවස්වල මේරියන් ජෝන්ස් පරදන්න වගේ දුවනව. හැබැයි ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඉස්සරහදි වේග බාලවෙලා බිම බලාගෙන ඇවිදිනව. ආයෙ පහුවුන ගමන් දුවනව. ඉතින් ඔහොම කවුරු හරි කුණු වුනොත් එයා විරුද්ද පැත්තෙ ගහ අල්ලගෙන අත දික් කරගෙන ඉන්න ඕනි. තමන්ගෙ පැත්තෙ කෙනෙක් ඇවිත් අතට ගහල කුණු අරන් යන කම්. ඒ අතරෙ කුණු ගන්නකෝ කියල අතරින් පතර කෑ ගගහ ඉන්න ඕනි අර කුණු මාළු වෙච්ච අය. ඉතින් ඔය කුණුවෙන ගාන වැඩි වෙන්න වැඩිවෙන්න අර අත් අල්ලගෙන ඉන්න වැල දික්වෙනව. එතකොට ඉතින් කුණු මාළු රකින එකත් ලේසි නැහැ. 

ඉතින් දැන් කුණු මාළු කොයි පැත්තක හරි වැඩි වෙන්න වෙන්න අනික් පැත්තෙ අයගෙ ගහ බේරගන්න ඒ අයට අමාරුයි. ඉතින් ඒ අයගෙ ස්ථානය අනික් පැත්තෙ අය ගිහින් 'ගහ ගත්තෝ ' කිවුව ගමන් ඒ අය දිනුම්. හැංගිලා වටකරල දන්න වැඩ දාල ගහ ගන්න ට්‍රයි කරනව වගේම කුණු බේරගන්නත් ට්‍රයි කරනව. මොකද හැමෝම වටවෙලා ගහ ගන්න යන්නෙත් නැහැ. කවුරුහරි කෙනෙක් හොරාට ඇවිත් '  කුණු ගත්තෝ' කියල කෑගහගෙන කුණු මාළු ටික අරන් ගියොත් ආයෙත් අර පිල ශක්තිමත් වෙනව. එක පැත්තක හැමෝම කුණු වෙලා එක්කෙනෙක් විතරක් ඉතුරු වුනොත් අනිවාර්යෙන් ඒ ගහ ගන්නව අනික් පැත්තෙ අය. මොකද තනිවම හරි අමාරුයි කෙනෙක්ට ගහ රකින්න. ඉතින් ඔන්න ඔහොමයි අපි කුණු මාළු කියන සෙල්ලම කරන්නෙ. 

විවේක වෙලාවක් ආවද කරන්නෙ කුණු මාළු ගහන එක තමා. සමහරවෙලාවට ඉවර කරගන්න බැරිවුනාම ඒ පිල්ම ආයෙ කන්ටිනිවු යනව. දණහිස් කඩාගෙන හොම්බවල් කඩාගෙන කුණු නොවී දුවපු හැටි පුදුමයි. ආහ් මේක පිල් දෙකටම ගැහැණු / පිරිමි කවුරුත් කළමනේ වුනත් එකට දෙගොල්ලන්ටම සෙල්ලම් කරන්න පුලුවන්. බොරුවක් කියන්න ඕනි නැහැ මාව නම් කුණු කරන්න අමාරුයි. මොකද අපේ ඉස්කෝලෙ මං ඉන්න කාලෙ හොදටම දුවන්න පුලුවන් කෙනා මං ඇහ්..  :-D ඉතින් මං වැටුණ පිලේ අය හුගක් වෙලාවට තමන්ගෙ පැත්ත දිනනව කියල දන්නව. මේ සයිබර් එකෙත් අපේ ඉස්කෝලෙ කවුරු හරි ඉදල මේක දැක්කොත් ඔය කුණු මාළු සීන් එක මතක් වෙයි ඇහ්..

දැන් ඉතින් ඔය අලි වගේ ඉන්න දේශක යා එහෙම කුණු මාළු සෙල්ලම් කරන්න යන්න එපා ඇහ්.. මහේෂ් මල්ලි ඔන්න ඔයාගෙ පෝස්ට් එකේ කමන්ට් එකක අහපු කුණු මාළු සිද්දිය. 

එහෙම නම් ආයෙ දවසක පාසැල් කතන්දර ගෝණියෙන් එකක් ලියන්න චාන්ස් එකක් ආවොත් හමු වෙමු ඇහ්.

Sunday, August 24, 2014

මං වැරදි නෑ රත්නේ....

පාං වත් බෑ කියාගන්නට
ඒ වුනත් ඇහෙනවද රත්නේ
හාංකවිසිය නොදන්වම මට
ඇයිද රිංගුවෙ මංගලා අස්සේ

චූන් වෙනකොට තොලුත් රතුවී
රාත්තිරි කීයක්ද නාවේ
මාත් පොඩි වුන් වටකරන් හිටි
හැටිත් මතකද කියන් රත්නේ

සෑම දාකම උදේ විතරයි
නුඹට සිහියක් එහෙම තිබුණේ
පාන තිය තිය කියපු දුක
දන්නෙ බුදු රුව සාලෙ මැද්දේ

ලැමේ පොඩි උන් හිටපු තැන
තාම දැනෙනව රස්නෙ පෙරසේ
හීනයෙන් මං ඇවිත් නිතරම
උන්ගෙ සුවදුක් අහනවා රහසේ

මගේ තරහක් මතුත් නෑ නොවැ
නුඹේ සතුටයි හෙටත් පැතුවේ
අපේ දීගය කැඩුණ වරදට
මගේ අම්මා එල්ලිලා මැරුණේ

කොතෙක් තව පඩි මාස අරගෙන
ඇවිද යාවිද නුඹ වැල්ලවත්තේ
ඉතින් දැන්වත් නවත්තනවද
ගියේ නෑ මං වෙන එකෙකු පස්සේ


මා මිත්‍ර කරුළු බුකියෙ දාල තිබුණ කවියට දැම්ම පිළිතුරු කවක් මේ.
  පහළින් මේ තියෙන්නෙ ඒ කවිය
 - දුක තමයි රංජනී පඩි හම්බෙනකං -
තාම ඉස්සර
වගේමයි බං
අඬනවා පොඩි
එවුන් ගින්නේ..

මාසෙ අන්තිම
ලගට එනකං
දින ගණියි ලොකු
පුතා චන්නේ.. (චන්න)

පොඩි එකී ගෙට
වුණා ගිය "බක්" (බක් මාසය)
මං තමයි ඒ
සේරෝම බැලුවේ

ඉස්සරත් මට
අමාරුයි රං
ඒනිසයි මං
බින්න බැස්සේ

රංජනි පඩි
තාම නං නෑ
නුඹ ගියත් වෙන
එකෙකු පස්සේ

හිතේ තරහක්
මගේ දැං නෑ
හීනෙනුත් මුන්
කියයි අම්මේ

එනවනං උඹ
ඇවිත් බලපං
යතුර ඇති
පා පිස්ස අස්සේ

-කුරුළු-----

Friday, August 8, 2014

කරන්න බැරි මඟුල් කරන්නට යාම පළමු පියවර. :-)

මං ඉතින් හැමදාම එක එක ලේඛකයන්ගෙ කවි කියෙවුවට කවදාවත් හිතුවෙ නැහැ ඒ කවියක් සිංහලට නඟන්න. ඒත් මං උත්සහයක් ගත්තා. පලමු උත්සහය ටිකක් අවුල් කියල දැනුණෙ විවිධ ප්‍රතිචාර මුහුණු පොතේ පල කල කවියට සහ මගේ ඉන්බොක්ස් එකට පිරෙද්දි. ඉතින් මං දෙවන උත්සහයකුත් ගත්තා. බ්ලොග් කියවන ඔයාලට දැනෙන විදිහත් කියල යන්නකො වෙලාවක් තිබුණොත්.

මේ තමයි මං තෝරගත්ත කවිය.
I Do Not Love You Except Because I Love You by Pablo Neruda

I do not love you except because I love you;
I go from loving to not loving you,
From waiting to not waiting for you
My heart moves from cold to fire.

I love you only because it's you the one I love;
I hate you deeply, and hating you
Bend to you, and the measure of my changing love for you
Is that I do not see you but love you blindly.

Maybe January light will consume
My heart with its cruel
Ray, stealing my key to true calm.

In this part of the story I am the one who
Dies, the only one, and I will die of love because I love you,
Because I love you, Love, in fire and blood. 
ඔන්න මගේ පළමු උත්සහය
 
මම ඔබට ආදරේ නොකරමි.
හේතුව විනා මම ඔබට ආදරෙයි
මම ආදරය කරනව. ඔබට දැනෙන්නෙ නැහැ
බලා ඉන්නව. ඔබ වෙනුවෙන් බලා ඉන්නෙ නැහැ
මගෙ හදවත සීතලේ සිට ගින්දරට මාරුවෙනව

මම ඔබට ආදරෙයි. ඒ ඔබ තමයි මම ආදරය කරන එකම කෙනා
මම තදින් වෛර කරමි ඔබට, ඔව් ගැඹුරින්ම.
ඔබ දෙසට හැරෙන විට පියවරෙන් පියවර ඒ ආදරය වෙනස් වෙනව
ඒක හරියට මං ඔබව දැක්කෙ නැහැ. නමුත් අන්ධයෙක් සේ ආදරය කරනව වගේ

ජනවාරියේ එළියත් සමහරවිට නැතිවේවි
මගේ හදවතේ අනුකම්පාවත් නැතිවේවි
සංසුන්තාවයේ මගෙ යතුර ආරම්බයේදිම සොරකම් කරල

මේ කතාවේ මගේ කොටස මම කවුද කියන එකයි.
ඒවගෙම එකම එක දෙයක් කියන්න පුලුවන්
මේ ආදරය, මමමැරෙයි..
හේතුව ඒ මම ඔබට ආදරෙයි.
ඔව්
මම ඔබට ආදරේ කරමි.
ගින්දර වගේ මගෙ ලේවලත් ඒ ආදරය තියෙනව.




ඉතින් හුගක් අයගෙ විවිධ අදහස් ලැබුණ නිසා ආයෙම උත්සහ කලා.. මේ මගේ දෙවන උත්සහය.


කුමට නම් මම ආදරේ කරමිද
ඔබට මා ආදරෙ බැවින්
නොදැනෙනා ඔබ දන්නෙ කොහොමද
බලා ඉන්නේ ඇයිද මා
ඔබේ නාමෙන් රැදෙන හන්දා

සීතලයි මේ හදවත මගේ
උණුසුමක් දැනෙමින් තිබේ


මගේ ආදරෙ ලබන්නේ ඔබම පමණයි
ඉතින් මං ඔබහට ආදරෙයි
ටිකෙන් ටික වෙනස් වීමයි
තදින් දැනනො ඒ වෛරයයි

අන්ධකාරයෙ ආදරය වාගේ
ඔබට ආදරෙ මේ මගේ

දුරුත්තේ රළු එළි පෙනෙයි
මගේ හදවත වෙලාගෙන යයි
නිසංසල බව රහසේම යන්නේ
සොරෙකු විලසින් යතුරුලාගෙන

කතාවක් මේ මගේ කොටසේ
ආදරය නම් මගෙම හන්දා
මිය යාවි මං ඒ ඉසව්වේ
නිමාවක් නැති ආදරය රන්දා

ඔබට මං ආදරෙයි
ඔබට මං ආදරෙයි
රත්වෙච්ච ලේ මගෙ කියන්නේ
ඔබට මං ආදරෙයි.
 

Wednesday, July 23, 2014

පැරදුමෙන් දිනපන් දුවේ.

නිමිත්ත -
------------------
"නාවික හමුදාව විසින් වටකරගෙන තිබෙන කාරයිනගර් ඌරි ගම්මානයේ මුල්ලක ජීවත්වූ පවුලක ඉපැදුනු දුවේ, ඇඟපත වෙව්ලන නුඹේ පියාට රැකියාවක් නැත. මවගේ කුලී රැකියාව විස්වාසකර ජීවත් වන පවුලකි,

දිළිඳුකමින් ජීවිතය ගෙන යන පවුලක අන්තිම දරුවා නුඹයි, නුඹ එකලොස් හැවිරිදි කුඩා මොට්ටුවකි, දුව පැන සෙල්ලම්කර ඉගෙනුම ලබාගත යුතු ළදැරියකි, මිනිසුන් නැති පාළු කැලෑබද පාරකින් දිනපතා පාසල් යන එන නුඹව ඉලක්ක කර නාවික හමුදා සෙබළුන් පැහැරගෙන ගියෝය. ඔවුන් තම ම්ලේච්ඡ කාමාශාවන් සංසිඳවා ගැනීමට තැත්කළ විට නුඹ අඞා වැලපී තිබේ... විරුද්ධවී... ප්‍රතික්‍ෂේපකර තිබේ... නමුත් ඔවුන් නුඹව අතහැරියේ නැහැ, පිහිය පෙන්වා බෙලි කපනවා මරනවා යැයි තර්ජනය කර තිබේ, එම පාරෙන් ගිය වයසක පුද්ගලයකු නුඹේ අඞා වැලපීම දැක “කුමක්ද කරන්නේ පව් ඇයව අතහැරින්න“ යැයි ඉල්ලා තිබේ. නමුත් සෙබළුන් තර්ජනය කිරීමෙන් බියට පත්වූ ඔහුද එතැනින් ඉවත්ව ගොස් තිබේ."
____________________________________________

පෙරී එන හිරු රැස් යටින් නුඹ
වෙලාගත්තේ බියකරුම වලසෙක්
හැරී බලලා යන්න දන්නැති
දුවේ මලකට පිපෙන්නට තහනම්

කුසේ ගින්දර
ඇසේ පතුලෙන් නොදුටුවට
නුඹේ අම්මා කඳුළුයි දියකලේ
ඇයගෙ හද,
ගිනි ගන්නවා ඇති නොදැක්කට
නුඹේ බර,
ඈම පමණයි ඉහිලුවේ

"ඌරි" ගම් මැද ඌරු ගඳකට
නාස් හකුලන්නට බැරි යුගේ
කාසි බලයට නාකි හිවලට
හැකියි කන්නට තව මිදි වනේ

දෙව් සඳිසි මිත් කැළක් යැයි
කිය කියා පැන් කළ වත්කලේ
හව්හරණ නැති බිම් මලට ඇයි
පා පහස දී උඹ පොඩි කලේ

ලොවේ දහමක් කියා ඇත්නම්
අනේ පල දී උඹ පැලී මැරියන්
දුවේ වැරදුණ තැනින් නැගිටින්
අයුක්තියකට හෙට හඬ නගන්.


විස්තරය කියවන්න මෙතනින් 

Monday, July 14, 2014

සයිප්‍රසයේ ලංකාරාමයේ අතීතාවලෝකනය

" චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය...බහුජන සුඛාය අත්තාය හිතාය "

හිමිදිරියේම ලා හිරු රැස් දහරින් සම්බුදු සිරි පතුල් සිප නහවමින් දිනිසුරු පියමන් කරන්නේ ලොවම ආලෝකමත් කිරීමටමය. අතුපතර විදාලූ සුවිසල් තුරුහිසේ සිට භූමස්තකයෙහි පෙනෙන නොපෙනන තරමින් හිස ඔසවන්නා ලපටි පැලෑටිය තෙක් පළබර වන්නේ ලොවටම පුදන්නටය.. මිහිමව සනහාලමින් සිසිල ඛෙදමින් දිය කඳුරක් පවා ගලා බසින්නේ ලොවක පවස සංසිඳුවන්නටය.. ස්වභාවදහමේ සියලු සංසිද්දීන් තුලින් බැලූ බැල්මට ගම්‍ය වන්නේ සරල සුගම බවක් වූවත් ඒවා සාක්ශාත්වීම තුල ගැඹුරු හේතුඵලරූපී බවක් ඇත. එනම් හුදෙක්ම පරාර්ථචරියාවමය. එයින් ලොවට පුදනවා මිස ඉන් ලබාගන්නා දෙයක් නැති තරම්ය.

එලෙසම ලොවට දීම මිස ඉන් ගනු ගැන නොසිතන උත්තුංග පාරමිථාවේ පරාර්ථ සිතුවිල්ල ගැන ලොවට දේශනා කලේ අප ගෞතම සම්මා සම්බුදුරදුන්මය.. ඒ සම්බුද්ධත්වය ලබාගෙන ප්‍රථම ධර්මදූත කණ්ඩායම ලෙස රහතුන් වහන්සේලා සැට නමක් අමතමිනි.. —මහනෙණි බොහෝ ජනයාගේ හිත සුව පිණිස ගම් නියම්ගම් සිසාර ධර්ම චාරිකාවේ වඩින ලෙසද දෙදෙනෙකු එක මග නොයන ලෙසද උන්වහන්සේ දේශනා කල සේක.. බුද්ධ අනුසාශනාව එලෙසම ඉෂ්ට කරමින් අද්‍යතනයේද  බුදු පුතුන් එමග යන්නේය.. දේව වාදී යුරෝපයේ ග්‍රීක දෙවඟනගේ සුරතලිය වන් සයිප්‍රසයටද එවන් එක් බුදු පුත්‍රයාණෝ නමක් වැඩම කළහ. අපට දැනෙන ලෙස පැවසුවහොත් සයිප්‍රසයට බුදුන්ගේ දහම් පනිවුඩය රැගෙන ආවේ බුදු පුතෙක්මය..


මෙතැන් සිට ඇරඹෙන්නේ ඒ සදහම් චාරිකාවේ සුවඳ දිගහැරුමයි.. මොරවක සෝරත හිමියන් සයිප්‍රසයට ගොඩබැස්සේ අප මෙන්ම කිසිවක් සතුව නොවේ.. හිස් අතින් වූවත් උන් වහන්සේගේ සිත පිරී තිබුන්නේ උතුම් බලාපොරොත්තු ගොන්නකිනි.. ඒ 2005 වසරයි.. උන් වහන්සේගේ ආගමනයත් සමග සයිප්‍රසයට දහම් වසන්තයේ පෙරනිමිති පහල වන්නට විය.. 2005 වසරේ ජූලි මස 10 වන දින සයිප්‍රයසයේ සීතා උද්‍යානය අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගියේ සදහම් සුවඳක් සොයමින් සිටියවුන් කෙතරම්දයි පසක් කරමිනි.. ඒ ආනුභාවයෙන්  සයිප්‍රසයේ බෞද්ධ සංගමයක්ද ස්තාපිත කෙරිනි.. ස්විස්ටර්ලන්තයේ වැඩවසන ස්වාමීන් වහන්සේ නමක් ඇතුලුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එදින සයිප්‍රසය බුදු සසුනේ තවත් කේන්ද්‍රස්ථානයක් විය.. සයිප්‍රසයට අමා වැසි වසින්නට වූයේ එතැන් සිටය..


සුදු වතින් සැරසුනු දස දහස් ගනනක් සෙනග පිරිවරාගෙන සීතා උයනේ ඉදිකල දම් මණ්ඩපයක බුදු සුවඳ පතුරවන මල් පිපුනි.. කුලී පදනමට ගත් ස්ථානයක බුදු කුටියක් නිමවා ලක්දිවෙන් වැඩම කල බුදු පිළිම වහන්සේ තැම්පත්කොට පුද සත්කාර සියල්ලද ඉටුකෙරිනි.. සෙත් පිරිත් සජ්ජායනා මැද රෝපණය කල පැලය අද නාඹර රුක්ෂයක් විලසින් අතු විහිදුවා නැගී සිටී.. මූල බීජය රෝපණය කිරීමේ සිට අතුපතර සිලිසිලිය නගමින් වැජඛෙන අද දින දක්වාම ඒ දෙස බලා සිටි මාගේ හිතට දැනෙන ශාන්තිය මෙපමනැක්යැයි කිව නොහැකි තරම්ය.. රටක බුදු සසුනක් පිහිටවීමේ එවන් පූජණිය මොහොතකට සම්පත් දායකත්වයෙන් ශ්‍රම දායකත්වයෙන් සහභාගීමට  වරම් ලැඛෙන්නෙ පෙර පිනක් නිසාම බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.. ඒ මොහොත මා සන්තානයේද සදාතනික දහම් සමරුවක් ලෙස තැම්පත්වී හමාරය.. එය මතක් වන වාරයක් පාසා සිත නිරාමිස ප්‍රීතියෙන් ඇලලී යයි..


තමන් ශීලයේ පිහිටමින් අනෙකාවද ශීලයට යොමුකරවන්නට මහ හෙලි කරමින් ක්‍රිස්තියානිය මූලික කරගත් රටක සමාජයක ඇවිදීම උඩුගං බලා පිහිනීමකි.. බැලූ බැලූ අත කඳු මිස පල්ලමක් දක්නට නොලැබිණි.. එහෙත් ඒ අවදානමට මනා සූදානමකින් යුතුව ඉවසිලිමත්ව බුද්ධිමත්ව අපේ හාමුදුරුවන් පිය නගන සැටි ලෝකවාසී සියලු බෞද්ධයන්ට අපූරු ආදර්ශයකි..


සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය පන්සල බව නොරහසකි.. අවිඳු අඳුර දුරලමින් එයින් දැල්වුන බුදු දහම නම් පහන්සිලේ ආලෝකය අද විශ්වය පුරාම විහිදෙමින් පවතී.. ලක්දිවේ චතුර ධර්ම කථිකයන් වහන්සේලා මෙන්ම අර්ථයෙන් දහමෙන් පෝශිත ස්වාමීන් වහන්සේලාවද සයිප්‍රසයට වැඩම කරවමින් එදා මෙදා තුර සිදුවූ විදු ඇස අවදිකරවීමේ මහා ක්‍රියාදාමය අද සුවහසක් ජනී ජනයාගේ ආලෝකයටම හේතුවී ඇති බව පැහැදිලිය..
එපමනක් නොව කලා රස හඳුනන ලක්දිවේ දක්ශ පරිනත කලාකරුවන් කැන්දාගෙනවිත් වසරකට වරක් පවත්වන සිංහල අවුරුදු ගම්මානය මුලු ලෝකයේම ජීවත් වන්නන්න්ට පමනක් නොව සිංහල අවුරුද්ද නාඩගමක් කරගෙන ඇති ලංකාවටද කදිම ආදර්ශයකි.. ලක්දිවේ පවා වියැකී දියැවී ශේෂවී යන ජන ක්‍රිඩා ජන ගායනා ඇතුලු සියලු හරවත් තෙදවත් හෙළ දේශීය අභිමානය සයිප්‍රසයේ ලංකාරාමයට හිමිවී ඒතුල ආරක්ෂාවී ඇති බව ආඩම්බරයෙන් පවසන්නට අවශ්‍යමය.. ඒ අරුමය පිළිබඳ තුඩ තුඩ රැව් පිලිරැව් දෙමින් දනන්ගේ ප්‍රසාදය හිමිවන විට රහසින් කඳුලක් පිස දමමින් සතුටු වන අවස්ථා මෙය ලියන මටද නැතුවාම නොවේ..


මේ වසරේ දසවන වරටත් වස් ආරාධනාවට සූදානම් වී සිටින සයිප්‍රසයේ ශ්‍රිලංකාරම දායකයින් අද තමන්ගේම කියන තැනක හයියට විරාජමානව ස්ථාපිත වී හමාරය.. කුලී පදනමේ බර කලක සිට කර තියාගෙන යමින් තමන්ටම කියා තැනක්ද ගන්නට තරම් මෙහි සිටින ශ්‍රිලාංකිකයින්ගේ එකමුතුවත් ධෛර්යයත් සමත්විය.. 


අව්වට වැස්සට දියවෙන යෞවනත්වය පමණක් නොව වින්ටර් සම්මර් ඍතු වලට දෑත්වල පිපෙන කර ගැට රටාවලින් ඔවුන් මේ පුදබිම සවිමත් කරවු බව කවුරුත් දනිති.. සමගියේ සවියෙන් අර්ථ සම්පන්න පුෂ්පයක් ඇත්නම් ඒ සයිප්‍රසයේ ශ්‍රිලංකා බෞද්ධ සංගමයයි.. නොහැක්කක් නොමැති බව ඔවුන් බොහෝ අවස්ථාවල පෙන්වා දී හමාරය.. ඒ සියල්ලට පෙරගමන්කරු වන්නේ පන්සලේ වැඩ වසන නායක ස්වාමීන් වහන්සේත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාත්ය..

ධර්මය පිපාසිත දනන්ගේ විඩාව සංසිදුවමින් පුස්තකාලයක්ද මනාව කලමණාකරනය කරමින් ධර්මඥනය ඛෙදීමේ කර්තව්‍යයද මෙහිදී සිහිපත් කළ යුතුමය. එයින් ඵල නෙලා ගත්තෝ සිය දහස් ගණනකි. මනා ගිහි පැවිදි සම්බන්ධයක් පවත්වා ගනිමින් සියල්ලන්ගේම අධා්‍යාත්මය පෝෂණය කරමින් කාර්ය බහුල ජිවිතවලට සැනසිල්ලේ අමා වැසි පුරා වසර නවයක් පුරාවට වැස්සිනි. දිනෙන් දින මේ කර්තව්‍යය වැඩි දියුණු වුවා මිස අඩු වුයේ නැත. ගිහියන්ගේ දිවි මග සාධනීයව ඉහළ ස්තරයක රඳවන්නට දිවා රෑ නොබලා වෙහෙසවන පෑලැම්පිටියේ මහින්ද පොඩි හාමුදුරුවන්වද මෙහිදී නමස්කාර පූර්වකව සිහි කළ යුතුමය.


මෙලොව අවිද්‍යාව ඇසුරු කරන බහුතරයක් සහ නොයෙකුත් ප්‍රාතිහාර්ය වදන් පවසමින් දනන් මං මුලා කරවන මිනිසුන් පිරි යුගයක මේ බුදු පුතුන් සයිප්‍රසයේ ශ්‍රිලංකාරමය තුල සිදු කරන හරවත් සමාජ සත්කාරයන් අභිමානනීයය.. ප්‍රශංසනීයය.. ඇගයුම් කළ යුතුමය.. විදේශිකයින් පවා පැමිණ දහම් සුවඳ විඳගෙන යන සයිප්‍රසයේ පිංකෙත චිරාත් කාලයක් පවතීවායි යන්න අප කාගේත් පැතුමය.. පැහැදුණ වුන්ගේ පැහැදීම වැඩි කරමින් නොපැහැදුණ උන්ගේ පැහැදීම ඇති කරමින් සම්බුද්ධ ශාසනය පවතින තාක් කල් මේ බිමද පවතීවා...

වසර නවයක සාංවත්සරික පිය සටහන් සවිස්තාරාමකව ලිවීමට හැකි වුවත් එය ඔබට මෙසේ පෙළ ගස්වා තබමින් මෙම සටහන මා නිම කරමි. තෙරුවන් සරණයි.
01)   2005 වසරේ ජුලි මස 10 වන දින තෙරුවන් වැඩ සිටින පන්සලක් ආරම්භ වීම


02)   2005 වසරේ පළමු වරට සඟරුවනක් සයිප්‍රසයේ වස් වැසීම ඇරඹිම.


03) ශීල භාවනා වැඩසටහන් ආරම්භ කිරීම
      ( සෑම පොහෝ දිනක්ම සයිප්‍රසට නිවාඩු දිනයක් නොවුවත් සෑම මසකම පොහොයට සමගාමීව එළඹෙන ඉරු දින පැවැත්වේ. දැනට පසොලොස්වක දින 84 ක් මෙය නොකඩවා ක්‍රියාත්මක කර ඇත.)


04) ලංකාරාම පුද බිමට බෝධින් වහන්සේ නමක් වැඩම කරවීම


05) සමාධි පිළිම වහන්සේ නමක් වැඩම කිරිම.


06) ගර්භ නිධානයත් අටවිසි බුදු මැදුර විවෘත කිරීමත් එක දා සිදු විය


07) දැනුම කුශලතාවය දියුණු කරවන්නට පුස්තකාලය පිහිටුවීම


08) දුකේදී මෙන්ම ඇවැසි අවස්ථාවක පන්සල උපදේශන මධ්‍යස්ථානයක් වීම


09) විවිධ හේතුන් මත අසරණ වුවන්ට හැකි සීමාවේ සිට පිහිට වීම


10) ගුවන් අනතුරින් මියගිය අයට පුන්‍යනුමෝදනා කිරිම ( ලොවම කම්පා කරවමින් සයිප්‍රස් ජාතිකයින් 

එකසිය පනහක් පමණ ජිවතක්ෂයට පත් කරවමින් සිදුවු ගුවන් අනතර)

11) සයිප්‍රසයේ කඨින මහා පිංකමත් වීථී සංචාරය කරමින් කෙරන කඨින පෙරහරත් සෑම වසරකම නොකඩවා සිදු කිරිම. දැනට වසර නමයක් සිදු කර ඇති අතර දසවන වස් ආරාධනාව මෙම මස සිදුවේ. )


12) සයිප්‍රසයෙ ශ්‍රි ලංකාරාමය තුළ දහම් පාසැල ක්‍රියාත්මක වීම (දෙස් විදෙස් සියළුම දරුවන්ට )


13) දෙවන බෝධි රෝපණයද ලිමසෝල් නගරයේ අපේම බිම් කඩක රෝපණය කිරිම.

සටහන - දිනිති දීපිකා


2014/ජුලි 13 ඉරිදා සිළුමිණ  

මෙන්න ඔන්ලයින් බලන ලින්ක් එක මෙතනින්







2014 ජුලි 14 සදුදා ලක්බිම.  



මේ අපේ පන්සලේ ඡයාරුප කිහිපයක්.





අපේම කියන පන්සල



සමාධි ප්‍රතිමාව



බෝධින් වහන්සේ.



චෛත්‍ය වහන්සේ සහ අටවිසි බුද්ධ මන්දිර

                                    ආගමික වැඩසටහනකදි




                                                දහම් පාසැලේ අවස්ථාවක්.


            දහම් පාසැල් දරුවන් සමඟ ස්වාමීන් වහන්සේලා


                    

 අපේම තව ඉඩමක තවත් බෝධින් වහන්සේ නමක් රෝපණයකිරිම.

Tuesday, July 8, 2014

ලොවේ හැටි ඔහොමයි.

පැතලි වැතිරුණු නෙලුම් කොලයට
ඇඟිළි ඇන ඇන පිනි බිඳක්
කැරලි ගසමින් සිනහ එක්කොට
සරැලි නංවයි ලද ඉඩෙන්..

අසල ගැවසුණ දිගැටි හොටකින්
නිසල දිය වෙත පහර ගැසුමෙන්
සසල පත්‍රය බියෙන් වෙව්ලා
ගසල දැම්මා උඩඟු කරුවන්.

එසැණ ළඟකින් ඇවිඳ ගිය නල
විගස අත්පුඩි තාල තියමින්
කරන්නට බැරි හරිය මේ මට
කරපු විහඟට තුති නඟයි

සියල් හැරවුම් එකම ලෙසකට
දරාගෙන සිටි දිය කඳම්බය
විසල් ලෝකයෙ රැදුණු පැතිකඩ
ඔන්න ඕකයි කීවෙ නිහඩව.

Thursday, July 3, 2014

කට කහනවට


හේමමාලා කොණ්ඩෙ අස්සක සඟවගෙන ආ වට දතක්
කිසිම දවසක අල්ලන්න බැහැ වුනෝතින් නුඹ නම් ළඳක්
හතර පේරුව දණ ගසාගෙන කියන විට පම්පෝරියක්
අතුරෙ යන බොදුනුවන් අපෙ නොදුටුවේ ඇයි සැණකෙලි බිමක්


දන්ත කුමරුගෙ අතින් අල්ලා නටන රෂියන් සුදු කතක්
තිසර තණපට තිබුණ එකවත් කියන්නට බැරිවෙන සැකක්
පුංචි සමනල පැටවු ඉගිලෙන විටදි මළුවෙන් දිස්නයක්
දැකපු උන් දණ ගසා වදිනවා හැරි හැරි පුදුම ගතියක්

වැවේ සැනහුනු මාළු ඇවිදින් මත් වෙලා ඇස් පියවෙන බවක්
අනේ කවුරුත් දන්නෙ නැහැ නිතර ඇහෙනා පිරිතේම බලයක්
ඇසේ රිදවුම් දරා බහිරව කන්දෙ පිළිමය හිටියට රැයක්
වනේ වන හතුරෙකුටවත් ඔය ලෙස වෙනු එපා කිසිදු නපුරක්

සිව් දෙසින් සීරුවෙන් හිටියට මහා හිමිවරු පුටුවට බරක්
ඇස් ඇරන් හිස දන් දුන් මද්දුම කුමරුට වුනේ නම් කැළලක්
ගුණේ පිහිටයි ඇතා නිතරම ඉන්නෙ දම්වැල් දමා ගොන්නක්
ලොකු පුතා රජවෙච්ච දවසට දායි ඔතනම තව පාටියක්

Tuesday, July 1, 2014

එන්න ගීතයක් අහමු..

"ගැහුණු ළමයි කවදත් අහංකාරයි. ඒත් පිරිමි ළමයෙක් අහංකාර වුනාම තරහයි ..දුකයි..රිදෙනව. ඔව් අයියෙ මටත් හොඳටම දුකයි.

ඔහොම ලොකු කම් පෙන්වන්නෙ කාටද ඔයා..?
ඔයාටනෙ....
මං නිසාම හොදයි නේද...
ඔව් ඔයා හින්දම තමයි...
අනේ යනව යන්න....
මං තියනවා...
හා... බුදුසරණයි.

හප්පේ ආයෙමත් පපුව රිදෙන්න ගන්නව. රෑ එළිවෙනකම් ආයෙ රෑ වෙනකම් දකින සිහින ඔක්කොම කඩා වැටෙනව. මොකක් හරි හේතුවක් හදාගෙන කතාකරන්න අවස්ථාවක් ගන්නෙ මං කොච්චර අමාරුවෙන්ද.. ඒ අවස්ථාවත් විනාඩියක්වත් නැහැ. මේකා නම් පුදුම පිරිමියෙක්.. ගලක්ද මන්දා පපුවෙ තියෙන්නෙ. මං මටම කියාගන්නව.
කොච්චර මෙලෙක් කරන්න හැදුවත් තව තවත් ගනන් උස්සන හැටි.

නටාගන්නව. මං අද ඉදන් මොනම හේතුවකටවත් කතා කරන්නෙ නැහැ. ඔයාව හමු වුනත් මඟ අරිනව. ඔව් ඇත්තමයි. එයාට විතරක්ද ලොකු කම් පෙන්වන්න පුලුවන්. හුහ් .. මටත් පුලුවන්. හරි බලමුකො කවුද දිනන්නෙ කියල. දවසක ඔයාටම කතා කරන්න වෙයි. එතකන් මං ඉවසගෙන ඉන්නව. දින සති මාස අවුරුදු ගණන් ගියත්. මගෙ හිත රිදෙයි ඉතින් ඇතුලින්..මගෙ ඇස් ඔයා පස්සෙ පන්නයි. මං දන්නව මගෙ හිතේ තියෙන හැම දේම මුහුණෙන් පේනව කියල. ඒ වුනාට කමක් නැහැ. මං දරාගන්නව ගන්නවමයි.
ඔන්න ඉතින් මං මගෙ හිතටම කියා ගත්ත"

අද වත්මනේ ඉදන් සිහිවෙද්දි පුදුමත් හිතෙනව. ඒ අහංකාර ප්‍රථම ආදරේ. අපි කාගෙත් නොමැරෙන සිහිවටනයක්. එකී ප්‍රේමයේ වියෝව ගැන සරල දැනෙන බසින් මේ සුගායනීය ගීතයෙහි පද රචනය ධම්මික බණ්ඩාරයන්ගෙන්ය. සුමියුරු සංගීතය ඩෙනිෂ්ටර් පෙරේරාගේය. එදත් අදත් කවදත් මා වශීවන ගායන හඬ අමරසිරි පීරිස්ගේය. වචනින් වචන මා පැහැදිලි කරන්න යන්නේ නැත. මගේ ප්‍රථම ප්‍රේමයේ වචන අතරින් ඔබ ඔබේ ප්‍රථම ප්‍රේමය සිහියට නංවා ගන්න. ඔබෙ ්මනසින් ඔබ විදියි කියා මා සිතමි.

හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....

පාසැලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේලියක්
තවම වටහා ගන්න බැරිවුණි
ඇසුරු කෙරුවත් කාලයක්..

හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....

මතක ගොක්කොළ රැහැන් අතරින්
යලි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදාගන්නට
දෙන්න අරලියා මල් මිටක්...

හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....



ගීතය මෙතනින් අහන්න. මේ යූ බටේ..

Sunday, June 29, 2014

පසුතැවුම් මොනතරම් රිදෙනවද

ගිම්හානෙ කොයි තරම් රළුදැයි
මලානික කුරුල්ලෙක්ගෙන් අහන්න
සන්තානෙ මොන තරම් දේ ඇතිද
තනිවෙච්ච හිතකින් දැනගන්න

කෝඩුකාර සමනලුන් නැති අවකාශයක
පුරුදුකාර මල් පිපෙයි පෑවිල්ලෙ
වැරදිකාර සිතුවිල්ල තියෙනකන්
සංසාර ගමන දිඟයි කැරකිල්ලෙ

අත්ලකට පුරුදු ස්පර්ශ වැදෙනකොට
හද පත්ල නින්නාදදෙයි ඇතුළතට
පත්‍රයකට පිනි බිඳක් වැටෙනකොට
සිනාසෙන්නෙත් ඒ වගෙයි පුරුද්දට

කවිකාර බැල්මක් තියෙන වලාකුළකට
අත වනා එන්නැයි කියන්නට පුළුවන්ද
මඳහාසෙ නැතිවෙලා යන දේදුන්නකට
රවා රවා ඉන්න එක හොඳ නැහැ නේද

පසුකරන් යන සෙවනැලි පේනකොට
හරි හමන් දුකක් එන්නේ කී දෙනෙක්ටද
මඟහැරුණු තැන් පසුපසින් කෑගසනකොට
දුවන් යන්නට බැරි අය කොච්චරද

Friday, June 27, 2014

සදා වැජඹෙන සිරි අසිරි මේකද..?

පුරසඳට ආවඩන මඟියෙක්
තරු එළිය දැක බැන වඳිති
මට සිලිටු කම් ගිය දෑතකට
කඩු කිණිසි හුරුයි හරියට

කුසගිනි කාටත් පොදු දහම
ඇවිලෙන විටදි ඉවසනු බැරිම
මදුවිත හිස් කරන කුසලානම
කෙළ ගිලිති දුගියට හැමදාම

මැදුරු මන්දිර සීත කාමර
උකුසු ඇස් කැරකෙන අතර
ලපටි දළු එන මල් පොකුර
කඩති අතකොළු සිතා බොහොවර

කිරි පැණි එක්ක සුර යහන් මැද
තිර රෙදි වලින් සැඟවෙයි දුඟද
කුණු කානු පල්ලක තියෙන එළියද
බොඳ කර සිනාසෙයි විල්ලුද

සොබා දම් නියතිය මොටද
සබාගැබ් මැද තිබෙයි අවජාත
සදා මනදොල පිනයි සාරෙට
අපේ සුරපුර මෙයයි අසිරිය

අතකින් කිසිත් නොගනියි
යටකින් කුරුමාණ අපමණයි
"අඩෝ මං පුතෙක් අරයගෙ" කියයි
සාදු කියමින් එහෙයියන් නැමෙයි

පින් කරයි වෙහෙර බැබලෙයි
අනාගතයක පපු නහර දියවෙයි
වැරදිලා කොතනකට යන්නද
පැරදිලා පොඩි උන් පෙරෙසේම

කැරකිලා රුයිතෙට ඔය බඹර
අනේ යන්නේ නැතිද ආපිට
සිංහයෙක් කැණහිලෙක් කර
සදා වැජඹෙන සිරි අසිරි මේකද..?

Saturday, June 21, 2014

නැවුම් බංකුව වෙමියි මං හැමදාම මිතුරු බෝතලයට


ප්‍රේමයේ වර්ණය හොයන නෙක සිරිය පිරි උයන් මැද
බංකුවක් වෙලා මං නොකියන කතාවක් නොදැක්කද
සිනහවේ බරත් සම කදුළු හා රසයක් අතර මැද
දන්නෙ කවුරුද ඉතින් මොනතරම් සැඟවුම් මා ළඟද

නිල්, රතු පාට කමිසම යති සති මැද සහ මුලට
සුදු කහ පාට යති පෝයට සහ සෙනසුරාදට
බිම බලා පොඩි ඇස් තියෙන මල් පිපෙයි ඉරිදාට
අනේ මගෙ ඇඟ රිදෙයි බර උසුලලා හැමදාට

මහන්සිය කොයිතරම් කීවත් අසන්නෑ කවුරුවත් කිසිමවිට
හාන්සිය විතරක්ම ඉල්ලනා හැටි යන එන බවක් නොකිවුවට
කොනිත්තන විට සමහරක් දිග නියපොත්ත අරගෙනම හයියකට
නාඩ ඉඳියත් මං ඉකි ගැසෙයි පෙනෙන දුර සිටිනා මගෙ සොඳුරියට

රැය එද්දි සියොළඟම මගෙ ගැහෙනවා එක සීරුවට‍
මහත උන්දලා අපුල්ලයි කුණු පිට උඩ පෝලිමට
කෙලෙහි ගුණ නොදන්නා උන් පයින් පාගා පදමකට
කෙළත් විසිකර යනෙන එක කොහෙන් ආවද උනුන්හට

එකම මල් විවිධ වෙස් ගෙන ඇදෙයි එලෙසට බඹරු එක්කම
"අනේ මෙහෙමත් ලෝකයක්" කියා යයි ඇස් මගෙ නළලටම
අතැර මැද යම් දුරක් තිබුණත් මගේ පෙම්වතිය සමඟම
කතාවෙයි මිනිස්සුන් කරන තරමක් රැවටුම තමන්ටම

උයන්පල්ලා විසිල් කරමින් ගැස්සෙනා උන් හදවතට
ගවුම් කර ඉස්සිලා යන හැටිත් පුදුමයි ඒ වෙලාවට
සියුම් තටු ගසමින් ඉඟිළිලා එන කුරුල්ලන් රෑනකට
නැවුම් බංකුව වෙමියි මං හැමදාම මිතුරු බෝතලයට

Tuesday, June 10, 2014

සීදේවී

ඇපල්වත්තෙ මාගරට්ගෙ බාල දුවත් සීදේවියි
කුරුඳුවත්තෙ අස්වැන්නට හුඟක් පරාදයි
දහය දොළහ අතර රෑට නිතර නිතර බිසී වැටෙයි
හැපෙන රසය මස් පිරිලා කටු යට හින්දයි

ගාන මොනරු කී දෙනාද
ටැක්සි එකට හයර් දෙන්නෙ මාසෙ අඟට
පාන ලීලෙ කොයි වගේද
දස්සි ඇයයි දත් ගලවන ගජරාමෙට

තොල් සායම් නිය දේදුණු
රතට රතේ රතු කිකිළි
කුණු කාණුවෙ ගඳ වැහෙන්න
පැරිස් යනව හරි පුසුඹයි

ඕකි එක්ක මොන කතාද, යන්න එපා කිය කියා
එහා ගෙදර චන්ද්‍ර අක්කා රකුසු මුහුණ දික්කලා
පන්දාහයි හයදාහයි ගාන ඩබල් සැප අනුවයි
නාකි හිපොටු මනමාලයො නිතර නිතර සෙවල පෙරයි

"හිතේ ඇත්තෙ පත්තිනි" යැයි නිතර ගැයෙන තාලයයි
ගතේ ඉතින් "හොරිත් ඇතෙයි" පිටින් වහපු සෝබනයයි
පුතේ අනේ ඔය හැතිරිට අහුවෙන්නට එපා එපා එපා තමයි
අතේ සතේ නැතිම දාට කොයි කාටත් සීදේවිගෙ පිහිටමයි

ළමයි ටවුමෙ ඉස්කෝලෙට දාගන්නට
වීල් එකක් පාර්ක් එකේ ගාල් කොරන්ට
ණයක් ,අලුත් රස්සාවක් හදාගන්නට
කොයි කාටත් සීදේවියි ඉන්නෙ ළඟකට

"උලත් එකයි පිළත් එකයි ළමයි මොටද බන්
මාස දෙකේ, තුනේ බඩත් හිස් කරනව මන් "
වැඩකාරයො කොයි කවුරුත් දණ ගැහුවා බන්
කොහොම වුනත් සීදේවිත් අපේ එකෙක් බන්

Thursday, May 29, 2014

ආදරේ පිරෙයි..ඔබ එන්න ප්‍රියේ



සංසාර කෙතේ අස්වැන්න වෙලා
නුඹ බලා සිටී මුදු සිනා සලා
ඉසිඹුවක් ලබා මම ඇදෙමි සොයා
පෙම් කවක් ලියා මුළු හිතම පුරා...

සෙනහසින් අරුණැලි ගලා
පුබුදුවයි හැගුමන් නුරා
නුඹේ හදවත් ආරණ්‍යයේ
ගී ගයමි ගිරවිය වෙලා...

සදා පැදකුණු කරන බෝමැඩ
වගෙම ඔය හිත නැමදලා
නෙළා දෝතට ගන්න අවසර
එන්න පෙරඹර දසුනක් වෙලා



ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...