Monday, January 9, 2023

නික්මුම

 නැවතී එක තැනක ඉන්නට 

හැකි නම් හොඳය

ඇහැරී යන්න වෙන දවසට

හොඳටම දුකය

මිහිරී කියා සිතුවත් හිත යට

සෙවනැලි ඇදය

තනිවී හඩමු අපි ජීවිතයට

ඉඩ දෙමු එහෙම


පිපිලා දෙපස සිනහව ලැබුවත්

දුෂ්කරය

හැරිලා නැවත එන එක තවමත්

සිහින

මිදිලා අපෙන් අපි ඉගිලෙන විට

රිදුම

දැනිලා වැටෙන කඳුලට නම දෙමු

ආදරය


තැවිලා ලැබෙන එක'මෙක දෙය

ඇවිලිල්ල

දුවලා ගිහින් නවතින්නට බැරි

නැවතිල්ල

පැලිලා හදවතේ හැම තැන ලේ

විසිරිල්ල

ලියලා නිම කරනු බැහැ සෙනෙහස්

ගගුලැල්ල


Friday, December 16, 2022

" මල් කැකුලක් ඒ "

 නිමිත්ත -: 

පාසැල අවසන් වූ විට තම දියණිය වඩාගෙන වේගයෙන්  ත්‍රිවිලරයකට නැඟි පියෙක්. ඒ පසුපස දුවගෙන ඇවිත් ත්‍රිවිලරයේ ගමන නැවතූ මවක්. අවසන මවත් පියාත් දෙදෙනා අතටම මාරු වූ දියණිය.😥😥😥 2022/12/15 

=============================

කැකුළකට බෑ කියන්නට

ගසද, සුලඟද ඕනි කියලා

=============================

දරාගෙන දොළදුක ද

විලිබරත් කර තියාගෙන

පොහොර වතුරත් සමබර යොදා

ගසක් කැකුළක් පුබුදුවන්නට

හෙලූ දහදිය නැත ලියා


සියලු ඉහිලුම් ඉකිලුම් හංඟා

මුදු සුමුදු සිහිලැල් පැන් පෙරා

කෑ නොකෑ දේ හිත යට තබා

සුලඟ නිහඬයි කැකුළට හිස තියා


අතරමැද මෝසම් සුලි සුළං වී

කේඩෑරි, නියං සාගිනි උහුලලා

ගසක් පීදුව කැකුලකට අයිතිය ලියා

සුලඟ තනිවෙද සුවඳක් විඳ දරා


ගස ද, සුලඟ ද කවුරු අයිතිද

කැකුළ නොදනී හිස් තැන් පුරා

බදා ගස කෑ ගසා හයියෙන්

සුලඟ ඉල්ලයි කැකුලම මගෙ කියාක


මලක් වෙනවද

පෙති දෙපෙති පිපෙනවද

සුවඳ දෙනවද 

ගස අතැ'ර දුරක යනවද

සුලඟ හා ගතු කියනවද 

උපන් නූපන් හැඟුම් කැටිකොට

කැකුළ ඇත ලෝකය දෙස බලා 


#දිනිති #ජංගමකවි 2022/12/15

Tuesday, October 18, 2022

ඔබට

 අතහැරී ගිය ක්ෂේම භූමියකි

හිස පහත් කරගත් වලාකුළු රෑනකි

අරියාදුවට හමන සුලං කැරැල්ලකි

ඔබ සොයා ආ දුරක වෙහෙස  අපමණකි.


සිසිර, හේමන්ත, ගිම්හාන කලින් කල

මහලු වූ වසන්තය සිහින්ය. කේඩෑරිය

කණාටු ගසකි. මලක පහසක් අහිමි

ඔබ නැතිව ගෙවූ වසර විසි ගණන එහෙමමය


අලි කොටි වලසුන් පිරි මහ වනයක

තනිව අතරමංවෙන පුරුද්දක

හිතට හිතවත් නැති මූසලම දවසක

ඔබ අහිමිවේදෝයි හිතෙන එක පුදුමය


හෙලූ අපමණ කඳුළු තවමත් ඝනව නැත

සුසුම් තවමත් සුලි සුලං වී වරින් වර හමති

"මැණික" තුටකට ලැබුණ ලස්සනම රෝස මල

හෙටත් හදවත් ද්වාරයෙ පිපෙනු ඇත.


කල්ප ගාණක් තරම් නොහිමිකම් මැද

එකම එක හිමිකම ආදරය බව දැන

තව තවත් අගුලුලා හද බිතට තදබල 

ඔබ ඔහොම හිනාවෙනු මැන පෙරලෙස


මඟහැර ගිය භව ගණන අමතකම කර

මේවරත් තනිවම වෙසෙමි ඔබව සිහිකර

අහසකට බරක් නැත කොයිතරම් පෑයුවත් තරු

"මැණික " මම  ආදරේ කරමි  භව භව පුරා


#දිනිති #ජංගමකවි

Friday, October 14, 2022

ඕ. මයි . ගෝඩ්



“ඕ මයි ගෝඩ් !

“මේ මහා සංක්‍රාන්තියක් ලැනරෝල් ”

“හ්ම් හ්ම් ”

“මිස්ටර් ලැනරෝල් දන්නවද ස්ටුවඩ් ස්ටේට් එකේ බ්ලොක් නයින් බිල්ඩින් එකේ තර්ඩ් ෆ්ලෝ නම්බර් ත්‍රී හවුස් එක ”

“පොඩි මතකයක් තියෙනවා මොකක්ද මිස්ටර් බෙන්ජින් විස්තරය ”

“මිස්ටර් ලැනරෝල් ඒකෙ ඉන්න බිස්නස්මන් කෙනෙක් තමයි මේ පාර ටෙන්ඩර් එක අරන් තියෙන්නෙ- මිනිහා පොඩ්ඩක් විතර අමාරුකාරයෙක් කියලත් කියනවා- හැබැයි ඉතින් අපි බලමුකො ”

“මිස්ටර් බෙන්ජින් ක්වින්ස් ගාර්ඩ්න් ඒරියා එකටම අක්කර අටසිය දහයක් තියෙනවනෙ- අපි පොසිටිව් වෙමු- ”

“දැට්ස් රයිට්- බී පොසිටිව් මිස්ටර් ලැනරෝල්- ”

        තැනින් තැන අතු ඉති අතපය හකුලාවගත් දැඩි සීත සෘතුව පරිසරය ආක්‍රමණය කර හමාරයි- කහ රතු කොළ වර්ණවලින් පත් සරසා ගත් මේපල් ගස් සිනාසී එහාට මෙහාට වැනෙන්නේ පත් අහිමි ඔලිව් ගස්වලට සිනහසෙන්නා සේය- වේගයෙන් අහස අතහැර එන හිම කැටිති සිරි සිරි ගගා ගීතවත් තාලයක් අල්ලා වහලයද හිරි වට්ටවමින් රූටා වැටෙමින් මහ පොළව බදාගෙන හාදු පුදන්නේ ජීවිතයේ එකම එක වරක් හිමිවන්නක් බදාගන්නා පරිද්දෙනි- ඉලුක් යායට හෙම්බිරිස්සාවක් සෑදී අතපය හකුලුවාගෙන බිම ගුලිවී එකිනෙකා බදා වැළඳගෙනම තද නින්දකට උරුම කියා ඇති බවක් පෙනේ- පැඟිරි යාය මැද කහ පාට තැඹිළි පාට බල්බ් එල්ලුවා සේ ලෙමන්, දොඩම්, මන්දරීනී සතුටින් සිනාසෙයි- දෙළුම් වත්තම ශීතලට ප්‍රියවෙද්දී මිදි පඳුරු බිම බලා මුහුණු හකුළුවාගෙන ඉබි කටුවක් තුළට රිංගගත්තා පරිදි අතපයත් අහිමිව කල් මරයි-

ප්‍රදේශවාසීන් බොහෝමයක් කඳුකරය අතහැර නඟරයට ගොස් ඇත- වයින් බීර බෝතල් හිස් කරමින් චීස් චිකන් පුළුස්සා කටගැස්සමට හපමින් ගිනි උඳුන වටකරන් සිටින උනුන් මේ කිසිවක් ගැන නොදනියි- ස්ටෙපස් තණ බිම් පුරා බැටලුවන් සුවච කීකරුව තණ උලාකන්නට ද නොමැතිව ගාල් වී සිටින්නේ ස(ම්)මර් සෘතුවේ වේලා තබාගත් තණ හප හපා එකම තැන අතපය හොල්ල හොල්ලා සිටිමින්ය-

උදෑසන ඩෝසර් එක මඟින් මහා මාර්ගයේ හිම තට්ටු කඩා අහක් කරනා ශබ්දය අසමින් මිස්ටර් බෙන්ජමින් ඇස ඇරියේ අද දවසේ කුමක් කරම්දැයි සිතමිනි- මේ ඔහුගේ සිතිවිලි කතාවේ සංෂිප්තයයි-

මෙච්චර හීත කාල කොච්චර නම් අපි පහුකරල ඇද්ද ? මිනිස්සුත් නඟරෙට කොයිතරම් ගිහින් ඇද්ද ? අවුරුද්දෙ මාස හතරක් පහක් මේ සීතල දරාගන්න බැරි මිනිස්සු කොහොම ඉන්නව ඇතිද ? අශ්ව ගාල පැත්තත් පාලුවට ගිහින් වෙනදට තුරඟ තරඟවලට ඔට්ටු අල්ලන මහත්තුරු නෝනලා කොච්චර නම් මේ රේස් පිට්ටනියට එනවද, ඇත්තටම මොකක්ද මේ අවිනිශ්චිතය- ලැනරෝල් හම්බවෙන්න ගියා නම් හොඳයි කියලත් හිතෙනවා- ඒත් ලැනරෝල්ට වෙලාවක් තියෙයි ද මාත් එක්ක කතා කරන්න තරමට

ළමයි පන්ති ගෙනියනවා, ෆුට්බෝල් පැක්ටි්‍රස් යනවා, ඉස්කෝලෙ ගෙනියනවා, අලුත් අලුත් ජීවන ක්‍රමෝපායන් කියලා දෙන්න දේශන පවත්වනවා, තම වැසියන් වෙනුවෙන් උද්ගෝෂණ අරගල කරනවා, ඒ විතරක් ද ලැනරෝල්ගෙ බිරිඳ නානාවිධ සැලුන්වලින් දාන හෙයාර් ස්ටයිල්වලට ලැනරෝල් පැය ගණන් බලන් ඉන්නවා, ෂොපින් යනවා ඇත්තටම ලැනරෝල් කොහොම ඒ ටික කරගන්නව ද ?

නෑ මං යනවා මිස්ටර් දිමිත්‍රි හමුවෙන්න එයා මේ වෙලාවෙ පිජාමා එකත් ඇඳගෙන දුම් පයිප්පෙ කටේ දාගෙන නහයෙන් දුම් වළලු පිට කරන ගමන් ට්‍රැඩිෂනල් මියුසික් එකකට අත්වලින් පුටු ඇන්දට තාල තිය තියා ඇති- එයාගෙ නම් වෙලාවට වයිෆ් නැහැ- හැමදාම වගේ විස්කි වීදුරුවක් තොළගාන ගමන් දිමිත්‍රි සී-එන්- එන්, බී-බී-සී- නිවුස් බල බලා ඉන්ටර් නැෂනල් ප්‍රොබ්ලම් ගැන තනියම තර්ක කරනවා ඇති- 

හොඳම දේ මං යනවා මිසිස් සෙලෙස්තිනා හම්බවෙලා එන්න- එයා එක්ක මේ විපර්යාසෙ ගැන කතාකරන්න පුලුවන්- ඒත් ලංසි සිංදුවකට අලුත් පියානෝවෙ ඇඟිලි යවන මිසිස් සෙලෙස්තිනා වැඩකාර කෙල්ලට බෙරිහන් දෙමින් කටගැස්මට මස් ගේන්න කියද්දි කණ් බිහිරි කරවන ගොරෝසු හඬ ඒ විතරක් ද මිසිස් සෙලෙස්තිනාගෙ අලුත් ලේලිය ප්‍රංශ හාදුවක් ඉල්ල ඉල්ලා බැලේ නැටුමකට පාද තියන්න කතා කරද්දි ඒ නැටුම් කෙලවර වෙන්නෙ ඇයත් එක්ක වයින් බෝතලයක් දෙකක් හිස්කරලා- එහෙට ගෙනත් තියෙන අලුත් මැටි බඳුන්, ආසියාවෙ ඉදන් මිළාධිකව නැවෙන් ආපු කතා අහන් ඉන්න වෙයි මට පැය ගාණක්- ඉස්සර ලොකු කල්දේරම් කතාවත් ආපහු අහන්න වෙයි-

ඒ විතරක් ද මිසිස් සෙලෙස්තිනාගෙ පප්පා එක්කත් කතාබහට වැටෙන්න එපැයි මං- දෙවෙනි එළිසබත් රැජිණට නෑකම් කියන රජ පරම්පරාවෙ වංශවත් කතා අප්‍රිකාවෙ කළු ජාතිකයින්ව යටත් කරගෙන උන්ගෙන් කෝපි තේ විතරක්ද ආසියාවෙ ඇත්තු ඇත් දළ ගජමුතු කරාබු නැටි ගම්මිරිස් කුරුදු ආදිය ගෙනාපු හැටි ඒ රටවල නායකයින්ව අල්ලගන්න සුදු ඒජන්තවරු පත්කරලා යවපු හැටි ඒ නායකයින්ව පාවල දුන්න ඒ රටවල මිනිස්සු ගැන ඒ රටවල ගෑනුන්ගෙ චොකලට් පාට හමට යටින් තියෙන ශෘගාරත්මක ශරීර ගැන කට පාඩමින් දැන් ඒවා අහලම ඇතිවෙලා

“ඇත්තටම මං මොකද කරන්නෙ ”

“මං මේ දේ ගැන කතා කරන්න ඕනි ”

“හොඳම කෙනා කවුද කියලා මටත් හිතාගන්න බැහැනෙ ”

“ම් ම් ම් ප්‍රශ්නය අපේ වුනාට ඒ අයගෙ නෙමෙයි- ඒ නිසා උත්තර දාර්ශනිකව දෙයි ඒත් මේ පම්පොරී අහගෙන ඉන්න එක”

“මම යනව කොෆි ෂොප් එකේ කොස්තා ගාවට කොස්ත ගාව තියෙයි මේකට විසඳුම ඒත් ,”

“කොස්තා කෝෆි එක මීඩියම් ද ? ෂුගර් ද ? ” අරක මේක ගැන අහ අහා ස්ටෙෆානොගෙ වයිෆ්ගෙ හැඬය ගැන කියයි ද අදත් නැත්නම් හැරිස්ගෙ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන කියයි ද කොහොම වුනත් කොස්තා කොට මොඩල් එකක් නිසා ඒකටම ගැලපෙන ව්‍යාපාරයක් කරන්නෙ සැන්විච් එකක් ෂලාදයක් කුකුල් කකුළක් අමතරව විකුණන්න තිසබට කොස්තා කියන්නෙ හරි හිත හොඳ එකා උ තාමත් කසාද නොබැඳ ඉන්නෙ ඇයි කියලා ඇහුවම ගෑනු මෙච්චර මං ගාව ඉන්නව නම් තව මොකට ද බං කසාදයක් කියලත් අහනවා 

මේ හැමෝටම වඩා හොඳම කෙනා සාවා- සාවා නයිට් ක්ලබ් එකේදි අඳුරගන්න ගෑනුන්ට වයින් වීදුරු අරන් දෙන්න සල්ලි වියදම් කරන්නෙ කිසිම ලෝභකමක් නැතිව කොච්චර මිළාධික වුනත් උන්ට කැමති කැමති මත්පැන් වර්ග අරන් දෙන සාවි උන් දෙතුන් දෙනෙක්ව අනිවාර්යෙන්ම එදා දවසට තමන්ගෙ ඇදට අරගෙන යනවා තනි කෙනෙක්ගෙන් මොන සතුටක් ද බං අහන සාවාගෙ ගෙදර ගෑනු රූපයක් දෙකක් වරදින්නෙම නැහැ

ඒ හැම එකටම වඩා වෙනස් මරීනා- මරීනා කියන්නෙ කඳුකර වයින් ෆැක්ටරි කිහිපයකම එකම හිමිකාරිය- මිස්ටර් බෙන්ජමින් කියලා බදාගෙන කතා කරන මරීනා එක්ක කිසිම පිරිමියෙක්ට බය නැතිව ඉන්න පුලුවන් ගෑනි- ඇයි ඉතින් මරීනා විවාහ වෙලා තියෙන්නෙම සමලිංග විවාහයක්නෙ- එක අතකට මරීනලගෙ ජීවිත හොඳයි- තමන්ට කැමති විදිහට තමන් ජීවත්වෙනවා- මිස්ටර් ලැනරෝල් මහත්තයා වගේ හැම පැත්තම හිත හිතා විඳව විඳවා ඉන්නැහැනෙ- 

එක අතකට මං ලැනරෝල් මහත්තය ගැන එහෙම හිතන්න හොඳ නැහැ- පහුගිය හිම කුණාටුව වෙලාවෙ ගෙදර පඩිපෙළ යට අපිට ඉන්න ඉඩ දුන්නා- ඒ හොඳවත් හිතන්න එපැයි 

එහෙමයි කියලා මං මේක කතා කරන්නෙ කාත් එක්ක ද ? නෑ මං යනවා මිස්ටර් ලැනරෝල් හම්බවෙන්න- මේ වෙලාවෙ හොඳම විසඳුම ඒක තමයි- 

දවසක් මිස්ටර් ලැනරෝල් එක්ක මෂුර්කා නැටුමක් බලන්න ගිය වෙලාවෙ සිද්ධවෙච්ච සිද්ධිය කෙළවර උල් නොවිච්ච උස සපත්තු දෙකකින් රතුම රතු පාට චෙරි ගෙඩි මතක්වෙන තොල් සායමින් දෙතොල් ආලේපන කරගෙන සිටි හැම ඉරියව්වකින්ම මන්මත් කරවන අරාධනා සහිතව දෙනයන නලිය නලියා හදවතට කතා කරන ඉක්මනින් මෙන්ම බලා ඉන්න ආස හිතෙන විදිහට පා හරවමින් මෂුර් නැටුම නැටූ ඇයව සිහිපත් විය- උල්පතින් ගලාගෙන එන දිය බිඳක් සේ ඈ කෙරෙහි හදවතෙහි වශීභාවය උතුරා ගිය බව නම් දැනුත් මතක් වෙනවා- මා ඇයට ප්‍රේම කරන්නේදැයි නොදැනත් මට ඈ ප්‍රේම කරතැයි සිත සිතා එදා ඈ දෙස බලා සිටි අයුරු,  උඩුකබාය ද අත් මේස් ද ගලවන් නැතිවම ඈ ගැන සිතමින් සයනයට වී දින දෙක තුනක්ම උණක් හැදුනා සේ ඉන්න වුන හැටි 

ඒ දවස්වල මං සමාජ ආශ්‍රයට එච්චරම ගියෙ නැති කාලයක්- බාල් නැටුමටත් එතරම් ප්‍රිය නැති කාලයක් ඒ මෂූර් නැටුමින් පසු මා තුළ ඇති වූ ප්‍රීතිය

දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ මං ඉක්මනට පිලියමක් හොයාගන්න ඕනි නේද ? එකපාරටම හිසට පොල්ලකින් ගැහුව වගේ හමා ගිය හිම කැටිති නිසා ලොම් ඩැහැගැන්වෙන ස්වභාවය මා තුළ ඇති විය

මොකද කරන්නෙ මං 

එකම විසදුමයි බෙන්ජින් යන්න මිස්ටර් ලැනරෝල් ගාවට

ආයෙ ආයෙත් හිත කියනවා ඒ නිසාම මං මිස්ටර් ලැනරෝල් හමුවෙන්න යනවා

මා මිත්‍රවරුණි,

අපි මේ වෑයම අත් නොහරිමු- සහෝදරවරුනි, මට අනුකම්පා නොකරන්න- අපි නොදන්න මොකක් නමුත් අපිට වෙනවා යටි හිත කෑ මොර දෙද්දී මං එක හුස්මට මිස්ටර් ලැනරෝල්ගෙ නිවස ඉදිරිපට

“ආහ් මිස්ටර් බෙන්ජමින් මං මේ දුවව පන්තියෙන් එක්කන් එන්න යන්න හැදුවෙ”

“මිස්ටර් ලැනරෝල් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න යනවා”

“ඔව් ඔව් මිස්ටර් බෙන්ජමින් ඉක්මනට කියන්නකො බලන්න”

“අපි මේ ක්වින්ස් ගාර්ඩ්න් එකේ පාරම්පරික උරුමක්කාරයො අපේ ඩැඩාලා, ඩැඩාලගෙ ඩැඩාලා ඔය විදිහට ආපස්සට කොයිතරම් කාලයක් ද මේ අක්කර අටසිය ගානෙම අපි ඉන්නෙ”

“ඔව් ඉතින්”

“මේකයි මිස්ටර් ලැනරෝල් රසායනික පොහොරක් එක්ක කෘමි නාශකයක් ගහනවලු මේ පාර ටෙන්ඩර් එක ගත්තු ලොක්කා”

“ඕ මයි ගෝඩ් ! එතකොට අපි ?”

Saturday, September 24, 2022

සිහිනයියේ

 අයියේ, 


ඔයාට ලියන්නැ කියලම හිතට තහංචි දාගත්තෙ මීට අවුරුදු දෙක තුනකට කලින්. මං ලියන එකම එක අකුරක්වත් ඔයා කවමදාවත් දකින්නෑ කියල හිත කිවුවා. ඒත් අතහැර දමපු හුගක් දේවල් ආයෙ ආයෙත් කරන්න ආසාවක් ඇතිවුනා. 


එදවස ඔයා කොහේ හෝ තැනක අජීවී වස්තුවක්, ඒත් අද,  ඔයා මං ගාව සජීවීව ඉන්නවා කියලා දැනෙද්දි මං සමහර වෙලාවට මටම කොනිත්තලා බලනවා. හීනයක්ද දකින්නෙ කියල එච්චරට සැකයි.


හැමදාම වගේ මහ ලොකු කාලයක් අපි මේ ලෝකෙ , මේ ආත්මෙ ඉන්නෙ නැහැ අයියෙ. වෙන වෙන ස්වරූප වලින් වෙන වෙන විදිහට මුණ ගැහෙන්නත් පුලුවන්. නැතිවෙන්නත් පුලුවන්. අපිට අපි අයිති වෙන්නත් පුලුවන්. අපිවත් නොදන්න වෙන වෙන අය ගාව තාවකාලික නැවතුමක නවතින්නත් පුලුවන් .


මහ පාරවල්වල රස්තියාදු වෙවි ඔයාව හොයපු දරුණු කටුක අතීතයක් මට තිබුණා. කවුරුවත් කොහොමටවත් පිලිගන්නැති හිතක් අදටත් මං ගාව තියෙනවා. ඒ ඔයා නිසා.


මේ ලෝකෙ පුදුම තැනක් අයියා . අද කඩවතට එද්දි බස් එකේ සිටි එෆ් එකේ අමිල අයියගෙ හඩින් ආරාධනා ස්වර දැහැන වැඩසටහන ප්‍රචාරය වෙනවා. ඒකෙදි අමිල අයියා කිවුව පුංචි වාක්‍යයක් මතක් වුනා. ආදරය, ප්‍රේමය, ස්නේහය, ලෙංගතුකම මේ මොන නමකින් කිවුවත් ඒ තැන්වල තියෙන්නේ බැදීමක්. 

ඇත්ත අයියා . ඒ බැදීම් පටන්ගත්ත තැන හොයනවට වඩා බැදීමට සාධාරණයක් කරන්න පුලුවන් නම් කොච්චර වටිනවද ? කියලා. මට හිතුනා මමත් එහෙම වෙනවා කියලා. 


මේ මොහොතෙම ඇම්බියුලන්ස් එකක් කෑගහගෙන යනවා ඇහෙනවා. කවුරු හරි ජිවිතේ ඉල්ලන කෙනෙක් ඒ. හරියට මම අයියගෙන් ජිවිතේ ඉලලනවා වගේ. පුරුද්දට වගේ හිතින් සුවපත්වේවා කියලා මිමිණුනා. මහා ලොකු දේවල්වල නෙමෙයි අයියා සතුට තියෙන්නේ , පුංචි සිංදුවක පද පේලීයක, ඔයාගෙ ඇස් දෙක ඇතුලෙ මාව පේන වෙලාවක, ලඟින් තියාගන්න ආස හිතෙන තත්පරයක ,කටහඩක, බැල්මක, කෙ⁣ටි පණිවිඩයක ආසාධ්‍ය ලෙඩ ගොඩකට ප්‍රතිකාර තියෙනවා අයියෙ.


දන්නවද , 

පුංචි කෙල්ලෙක් ආදරේ ගැන තේරෙන දවසක ඉදන් එක රූපයක් හෙව්වා කියන්නෙ. විශ්වාස කරන්න අමාරුයි. කොහොම විශ්වාස කරන්නද නේද ? ජීවිත කාලෙම එකට ඉන්නම් කියපු අයත් අපිත් එක්ක ජීවිතය බෙදාගනිද්දි රටේ ලෝකෙ තව තව අයට ආදරෙයි කිය කියා ආදරය බෙදායද්දි කොහොම විශ්වාස කරන්නද ? 


එවරස්ට් කන්දට නගින්න කිවුව නම් මං නගිනවා අයියෙ. මැරිලා පෙන්වන්න කිවුව නම් මැරෙන්න තරම් පුදුම හිතක් තියෙනවා. හැම ඇස් පිල්ලමකටම හේතුවක් තියෙන්න ඕනි කියලා ප්‍රශ්න කරන මට, මාවත් ප්‍රශ්නයක් වෙච්ච ලෝකෙක අයියට එහෙම හිතෙන එක සාධාරණයි. 


තිරිසන් සත්තු ගාව තියෙන අවංක ආදරේ මිනිස්සු ගාව නැහැ කියලා අපි කතාවට කියනවා. ඒක පිලිගන්න පුලුවන්. ඒත් මං කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලද්දි එහෙම අවංක ආදරේ තියෙන කෙනෙක් පේනවා. ඔයත් බලන්නකො අයියා.


කොළඹ අහස හරි දුප්පත්. මගෙ ගමේ වගේ නෙමෙයි. බුම්මගත්ත වලාකුළු ටිකක් , හරියට තාලයක් නැතිව කියවන ගෙම්ඹො ටිකක්, අල්ලපු කාමරේ පණ තියෙන මනුස්සයෙක් ඉන්නවද කියලවත් දන්නැති කොළඹ රට ගැන මට කැමැත්තක් නැහැ. ඒත් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි නේද 😊😊😊


බළල් තඩියෙක්ගෙ ගාම්භීර හඬක, කණාමැදිරින්ගෙ තොරණ් එළි, ලස්සනම හදවතේ ගීතය කියන කඳු මුදුන. ආදරෙයි ආදරෙයි කියලා හැපෙන සුළඟ, වැල ගෙඩියකට වරකා ගෙඩියකට තටු ගහන වවුලන්, ඔය වගේ තව කොච්චර දේවල් තියෙනවද ? හරියට මට ඔයා ගැන කියන්න තියෙන දේවල් තරම්.


අමරසිරි පීරිස් ගායනා කරන්නෙ , කාලය කෙතරම් නපුරු ද කියලා. මටත් මගෙන්ම ප්‍රශ්න කරන්න තියෙන්නෙ ඒකමයි. 


බැදීම් කියන්නෙ තාවකාලික , සදාකාලික ඒවගේ වර්ග කරන්න බැහැ. හරියට අපේ මිනිස්සු කසාද, දික්කසාද , අනියම්, නියම්, අයථා අරක මේක කිවුවත් එ මනුස්සයො විතරයි ඒව දන්නෙ.


ලියන්න හිතපු කිසිම දෙයක් ලියාගන්න බැරිවුනා. අක්කෙ ආදරය ගැන ලියන්න කිය කියා කරදර කරන හේෂානි නංගිවත් මතක් වුනා. 


පෙරුම් පුරා දුකසේ ගලපාගත්, මේ බැදීම හුස්ම ඩිංග නවතින මොහොත වෙනකම්වත් තිබුණොත් හොඳටම ඇති අයියෙ. 


හැම බැදීමකටම ⁣හේතුවක් තියෙනවා. හේතුවක් නැතිව කිසිම ඵලයක් නැහැ. මහාචාර්ය සරත්චන්ද්‍රයන් මනමේ ලිවුවෙ, සිංහබාහු ලිවුවෙ තමන්ට තිබුණ බැදීම් අහිමි වුන තැනදි කියලා මං කියවල තියෙනවා. හිමි වීමට වඩා අහිමි වීම රසවත්. ඒක දන්නෙ අහිමිවීම්ව විතරක් හිමිවෙච්ච මිනිස්සු අයියා. මං වගේ 😊😊😊


#දිනිති 2020/09/24

Thursday, September 22, 2022

"ඔබ මිස වෙන අය නොපැතූ

 සීමිත ලෝකෙක

අසීමිත බන්ධනය

ඇස් ඉස්සරහ මතුවෙද්දී

උස්ම උස් තැනකින් හදවතේ

මම ඔබව වැළඳගමි.

සිප ගනිමි. සඟවගමි.


මැණික,

නිද්‍රශීලී මන්දස්මිතයකට

සප්ත ස්වරයම එකවර නින්නාද කරවූ

නිශ්ශබ්ද ඉරණමක නැවතුම තැබූ

ගසල් ගීයක මිහිර කැන්ද වූ

මගේ වෛවර්ණ හීනය...


සියලු හැඟීම් එකවර එකතුකර

ප්‍රේමණීය බැල්මකට වශීවන

මගේ මන්ත්‍රකරු

මා ඔබේ දැහැනෙන් අත් නොහරිනු

ඒ නේත්‍ර ගැටීමට මා මනාපය.


"ඔබ මිස වෙන අය නොපැතූ "

❤️❤️❤️❤️❤️


#දිනිති

Monday, September 5, 2022

"කිසිම කවියකට ජීවිතේ ගලපන්න එපා සාරදා"


සතර වරම් දෙවියන්වත් නැති

හතරමං හන්දියක වෙන් වුන

"හත්වලාමේ එහෙම වුනාදැයි "

හත්මුතු පරම්පරාවම අහන දවසකට,


‍පෝරුවේ හයියෙන්ම සිනාසුන හැටි

පපුවෙ උණුවතුර නටපු ලස්සන

අෂ්ඨක කියද්දිත් සභාවට විරිත්තුව

‍හේතුව කවුරුවත් දන්නෙ නැහැ සාරදා


"ලස්සනම ජෝඩුව ඉටි රූප පරද්දන"

‍"කොහොම ගැලපෙනවද ඒ වගේ" අහන

මධු සාද, මධු බඳුන් යටි හිතින් රවන

අලංකාරම මඟුල අහවර තමයි ඇරඹුම


ඔයා මාවම තුරුල්කරගෙන ගත්

පළමු ඡායාරූපය මේසයක් කොන

මකුළු දැල් මිතුරු සඳ වී පොරවගෙන

ඇත්තටම එතන අපි හිටියද සාරදා


කන්න ගත්තත් උගුර මුල හිරවෙන

ඔයාගේ හොඳම විතරක් මතක්වෙන‍‍

‍කොතනකවත් වැරැද්දක් නොපෙනෙන

ඔයාවම ගැලවිලා විසික් වුන හැටි සාරදා


ආදරේ කියන්නෙම අල්ලාගැනීමම

ආදරේ කියන්නෙම අත හැරීමම‍‍

‍දෙකම එකලෙස දරාගෙන ඔබම

වැස්සකටවත් මතක්වෙනවද අපි ගැන


‍දොසක් නොකියමි මනමෙ කුමරිට

ඇසක් සේ රැකි ඔබ ගැන දනිමි

එකක් කියනෙමි ඔබට පෙර ලෙස

කවක් තුළ ජීවිතේ නැහැ කිසි දින



Monday, August 29, 2022

මා තබා ඔබ යන්න

 සැරිසැරූ හැම තැනම මේතාක්

සෙවූ කිසිවක් හමුනොවුණි

ඉඳින් මා ප්‍රිය හිතවතුනි,

තැනිතලා තෙත් බිම් දියවී හමාරය

ලියූ ගී එකින් එක ලෙහූ විට

හුස්මකින් අහුර ගානේ එතී ඇත

දසැ'ගිලි මතින් රූටා වැක්කෙරන

නමක් නැති පැතුමන් බිදී ඇත


වැහිකෝඩ සුළි සුලං කලුවරට

වෙව්ල වෙව්ලා පෑරෙන ජීවිතයකි

පාවෙලා ගලාගෙනවත් නොයන

ඇහිදාර අඟිස්සක උණුදිය බුබුළුය


චරිතාංග නළු නිළි වරප්‍රසාද අහිමි

මෙගා ටෙලියක අතුරු චරිතයකි

බිම වැටී පෑගෙන්න කියූ විට

සියළු රංඟනයන් නතරවී ඇත


උක්ත ආඛ්‍යාත සමබර නොවන

රචනාවක කොමාවක් තිතත් නොවුණි

අක්ෂර වින්‍යාසය පැටලිච්ච ලියවිලි

වැහි දියෙන් දියබත්ව දියවී ගොස්ය


හිතාදර මිනිසුනි

ඔබ කොහෙද කොතැනකද කා සමඟද

අතුරු ප්‍රශ්නාවලී නොනගනතාක්

බොහෝ සුන්දර ගීතාවලි නොනැවතී

සබඳකම් ඉතා මිහිරිව ගලායයි


සුවෙන් සතුටින් කෙලවර ලියායන්නට

ඔබලා ඉන්න තැනකම ඉන්න

හුස්ම වැටේදැයි විමසා බලන්නට

තනිව මා තබා වෙනතකට යන්න

❤❤❤❤❤




Monday, May 11, 2020

මහාමානව

නමො තෙ මහමානව !!!

‍මේ මහා විශ්වය තුළ උපන් ඒ අසිරිමත් මිනිසා උන්වහන්සේමය. ඒ උත්තම අසිරිමත් සිරිමතාණන්ගේ එක් ආත්ම භවයක හදවත් නිවාසනහාලන විකාශනයක් කිවූයෙමි. ආනන්දයත් ප්‍රඥාවත් උපරිමයෙන් ලද බව නොසඟවා පවසමි.

පන්සිය පනස් ජාතක කතා අතර වෙසතුරු කතාවට ලැබෙන්නේ අපූර්ව තැනකි. ඒ අපූර්වත්යම සාමාන්‍ය ජන විඥානය තුළත් මහා ප්‍රඥා විද්වතුන් අතරත් තම තම නැණ පරිදිම තැන්පත් වී ඇත.

විවධ චිත්‍ර, ගීත, කතා, සිනමා, නාට්‍ය ආදි විවිධාකාර මාධ්‍ය ඔස්සේ වෙස්සන්තර ජාතකය අපි දැක ඇත්තෙමු. කියවා ඇත්තෙමු. අසා ඇත්තෙමු.
එළෙසින්ම මන දොළ පිනවා හදවත් ස්පර්ෂ කරමින් නිබඳ රසිකාකර්ෂණයක් ලබා ගන්නට සමත් කෘතියක් මම ද කියවා හමාර කලෙමි.

ඒ අන් කිසිවක් නොව ප්‍රේමරත්න සමරනායකයන් විසින් රචිත "මහාමානව" නම් අසමසම කෘතියයි. ප්‍රබන්ධයයි. නවකතාවයි. වරක් කියවූ විට නැවත නැවත කියවන්නට ආසා ඇතිවන පරිදි බෝසත් චරිතය අප හදවතට ඇද බැද තබන්නට එතුමා සමත් වී ඇත.

සැකෙවින් අප දන්නා පුවත අනුව නම් ඇත්තේ පැනයකි. ඒ පියෙක්ට තම දරුවන් දන් දෙන්නට හැකි ද ? කියාය. එපමණකුදු නොව බැල මෙහෙවරට අත පැන් වත්කර දිය හැකි ද ? යන්න ගැටලුවකි. බුදුබවට පෙරුමන් පුරන අසිරිමත් මිනිසුන්ගේ කතා පුවත් එලෙසින්ම දුර්ලබය. අතිශෝක්තයක් නොවූවත් ඒ මහා පාරමිතා බලයන් ගැන අපට අංශු මාත්‍රයකින් හෝ සසදා සිතාගන්නටවත් බැරි බව කිව යුතුමය.

සාරාසක්ඛ්‍යෙ කල්ප ලක්ෂයක් පුරා අනන්ත වූ සසර ගමනක කෙළවර උන්වහන්සේත් දකිමින්, අපටත් දකින්නට ඉඩ හදාදෙන්නට කැපවූ මහාමානවයාණන්ගේ එක් ආත්ම විවරණයක් ප්‍රබන්ධයක් තුළට ගොනු කරන්නට ප්‍රේමරත්න සමරනායනයන් අතිදක්ෂ වී ඇත. ඒ හුරුව අද ඊයෙක ඇති වූවක් යැයි විශ්වාස නොකරමි. එතුමා විසින් සසර ප්‍රගුණ කළ යම් පාරමිතාවක් මෙයට පිටුවහල් වන්නට ඇති බව නොඅනුමානාය. මන්ද යත් මෙය එතරම්ම අතිශෝක්තයක් නොවන අසිරිමත් කෘතියකි.

‍ලද නිවාඩු සමය තුළ මා විසින් දිනපතා කියවූ පොත් ද මා දිවිය පුරා කියවූ පොත් ද ගත් කළ මේ කෘතිය ඒ කිසිවකට සමකළ නොහැක. බුදුන්ගෙන් දෙව්රමදී බණ පදයක් ඇසුවා නම් කෙතරම් නිවී පහන් වෙනවාදැයි දැන් අමුතුවෙන් සිතිය යුතු නැත.

‍වෙසතුරු කතා පුවත තුළ ප්‍රේමරත්න මහතා හුදෙක් බුදු බණකට පමණක් සීමා නොකරයි. එතුමා මේ මහා සසර පුරාම පුදුමුත්තර බුදුන්ගේ පටත් මෙතේ බුදුන් දක්වාම සමාජයම ආවරණය කර ඇත.

සමාජය නමැති නිවෙස තුළ සිටින සියලුම මානව කණ්ඩායම් එයට එකතු කර ඇත. විප්ලව කරමින් සමාජවාදය කතා කරන රුසියාවද, ධනවාදය අර්ථකනය කරන මහා සමාජ සංස්ථාද, කුලීන කුලහීන සමාජ ස්ථරයද, ඒ මතින් ගැටෙන පීඩිතයාද එකී මෙකී නොකී සියල්ලන්ම ඇත.

එමෙන්ම රාජ්‍ය පාලනය තුළ අද්‍යතනයේ දක්නට සිටින මුග්ධ දේශපාලකයන්ද, රටත් රට වැසියාත් සුරකින ජන නායකයන්ද මේ මහාමානව පුරාවටම ඇත. විශ්වන්තර රජු එයට කදිම උදාහරණයකි. එමෙන්ම "කෝසිය" සිටාණන් වැන්නවුන්ද "නීලකේතු" බමුණන් වැන්නවුන්ද එදත් අදත් හෙටත් නොඅඩුව අප සමාජය පුරාම සිටිති. තම බලය ධනය උදෙසා මිනී මරා හෝ ජීවත්වන්නට සිතන්නවුන් බොහෝය.

"කුටිල" වැනි පීඩිත පන්තියේ සිට සමාජයෙන් බැට කා, හිස ඔසවන්නට සිතන උන්ගේ යටි හිතේ සඟවා සිටින වෛරයේත් පළිගැනීමේත් නාගයාද සිටින බව නොරහසකි. නමුත් සියල්ල ධර්මය ඉදිරියේ පරාජය ලබන බව සනාතන දහමකි. එය මහාමානව පුරාද නොඅඩුව ඇත.

"ජූජක" වැනි මහළු බමුණන් "අමිත්තතාපා" වැනි සුරූපී දියණියන් වැනි කතුන් විවාහ කරගන්නා යුගය අදටත් වෙනසක් නැතිවම පවතී. තම කුලය රැකගැනීමට එක් පසෙකින් වෙර ගනිද්ද රාගය, කාමය වැනි හැඟීම් නිසාම තම වයසද අමතක කර තිරිසන් වන මිනිසුන් සුලභය. ජීවිතය රැකගන්නට "අමිත්තතාපා" වැන්නවුන් එසේ මහල්ලන් සමඟ විවාහ වුවද ඔහුවද රවටමින් ශුද්‍රයකු සමඟ රහසින් සහවාසයේ යෙදී ගැබ් ගැනීම , එමෙන්ම ඒ ගැබ මහල්ලාගෙ කියා රවට්ටමින් මිල මුදල් සූරාකන ඇඹේණියන් මහාමානව කතාව තුල පමණක් නොව අප වටපිටාවේද සිටිති. ප්‍රේමරත්නයන්ගේ අපූර්වතම ලේඛණත්වයද එයමය. එදා අතීත දඹදිවට අදද හෙටද තුන් කල් ගැලපීමමය.

"මන්ද්‍රි" දේවියන් පාරමී පුරා එන්නේ වෙසතුරු කතා පුවතේ පමණක් නොව. වත්මනේද තම සැමියාගේ දියුණුවට නිවනට කැපවීම් කරන බිරින්දෑවරුන් ඔබ මා අතර ඕනෑතරම් සිටිති. තමන් හැරදා යන බව දැන දැනද තම සැමියාගේ හිත සුව පිණිසම හිතන්නවුන් නැත්තා නොවේ.

එහෙත් " මන්ද්‍රි" දේවියට මා කිසිම එවන් බිරින්දෑවරුන් සම නොකරමි. මන්ද ඇයට සම කතක් මේ විශ්වයේ කොතැනක හෝ නැති බව දන්නා බැවිනි. තම සැමියාගේ උත්තරීතර සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන්ම සාරසංඛ්‍ය කල්ප ලක්ෂය මුළුල්ලේම සියළු පීඩා ඉවසා දරානෙ ඈ ආවාය.

මහාමානව කතා පුවතේ අප දන්නා වෙසතුරු කතා පුවතම වෙනත් මානයකින් හිතන්නට ප්‍රේමරත්න සමරනායක මහතා අවස්ථාව දී ඇත. එනම් තම සැමියාගේ දාන පාරමිතාව සම්පූර්ණ වීමට දරු දෙදෙනාද , ඇයවද දන්දීම ඇය දනී. එය දැනගන්නේ සෘද්ධිමත් "අච්චුත" බමුණාගෙනි. එසේ දැන එය පූරණය කරන්නට ඇය මහෝපකාරී වෙන්නේ දරු දෙදෙනාටද ඒ බව පවසමින්ය. "සහලෙය" "කෘෂ්ණජිනා" නම් දෙදෙරුවන් ද තම පියාණන්ගේ බුද්ධත්වයට උපකාරී වීම පිණිසම අපව ජූජකට දන්දෙන්න කියා සිරිපතුල් සිඹ ඉල්ලති. මන්ද්‍රී දේවියද එසේමය.

අනාගත බුදුවරයෙකුගේ දාන පාරමිතාවට තමන්ට දායකවෙන්න ලැබීමම වාසනාවක්යැයි පවසමින් දරුවන් ජූජක හා යන්නේ සතුටිනි. මන්ද්‍රීද යන්නට සැරසෙන්නේ සතුටිනි.

සාමාන්‍ය ජනයා මෙන් භූමාට දෙවිවරුන් දොස් කියන්නේ මෙසේ බිරිඳ දරුවන් දන්දෙන්නට හැකිදැයි අසමිනි. ඒ පුහුදුන් මිනිසුන්ගේ ස්වරූපය "භූමාට" දෙවියන්ගෙන් "වන" දෙවියන්ගෙන් අපට පෙන්වීමට කතුවරයා සමත් වී ඇත.

‍වෙස්සන්තර ජාතකයට දී ඇති නව අර්ථකතනය තුළ කියවන්නාගේ හද කම්පා නොකර සිටින්නට එතුමා සුවිශේෂී ලෙසම දක්ෂ වී ඇත. කිසිවෙකු කෙරෙහි ද්වේෂයක්, තරහක්වක් නොඋපදියි. එයද මේ කතුවරයාගේ මනා ප්‍රතිභාවේම අංගයකි.

මන්ද්‍රී දේවියගේ කවි ලිවීමෙහි හැකියාව මෙන්ම ඇය තම ආධ්‍යාත්ම දියුණුවත් සමඟ තමන්ගේ පරිනතභාවියද පෙන්නුම් කිරීම සමරනායක මහතාගේ කවීත්වයේම විශාල සුහුරු බවමය. එළු සඳැස් ලකුණ, ගී විරිත ආදියෙන් මනාව කවි මෙහි ඇත. එපමණක් නොව වෙස්සන්තරය ගැන ලංකාවේ විවිධ පන්සල් වෙහෙර විහාර වල ඇති සිතුවම්වල පින්තූරද සුදුසු පරිදි පොත තුළට ගෙන ඇත. එතුලින් පෙනෙන්නේ මහාමානව ලියන්නට සමරනායක මහතාගේ සුදානම් වීමමය.

යමෙක් තම ජීවිතය තුළ කෙසේ හෝ කියවිය යුතුම පොතක් ලෙස මහාමානව යෝජනා කරමි. විවිධාර්ථයන් කියමින් සම්මාන සහතික දෙන්නේ මොනතරම් අවරගනයේ කොළ ගොඩවල් වලටද කියා වරක් දෙවරක් නොව කිහිප වරක්ම මට සිතුණි.

සමරනායක මහතාණෙනි, සෝවියට් රුසියාවද, මෑත පෙරදිගයද, යුරෝපයද , ඈත ඈත දඹදිවද, අනාගත කලියුගයද ඔබතුමා සුහුරුව ගෙන මනාව යුෂයන් පෙරා පදම බලා අපට පිළිගන්වා ඇත. ඒ අමෘතය බොනවාද නැද්ද යන්න පාඨකයාගේ පින, පව අනුව සිදුවන්නකි. මන්ද යත් මෙවන් අනගි කෘතියක් කියවීමට වාසනා ගුණයද තිබිය යුතුම බව මගේ හැඟීමය.

කතෘ ප්‍රකාශනයක් ලෙස සමාජගත කර ඇති මහාමානව කෘතියේ අලංකාර කංචුක නිර්මාණයත් සිත් බැදගන්නා පොතේ නිමැවුමත් තවත් සුන්දරත්වයක් වෙසතුරු පුවතට බද්ධ කර ඇත.
කංචුක නිර්මාණය මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ.
ඉතින් තම ධනය, කාලය , දැනුම වැය කරමින් ඔබතුමා කළ මෙම නිර්මාණයට මම පුණ්‍යාණුමෝදනා කරමි.

( බණ පොතක් කියා නොසිතන්න. මෙය සුන්දර මානව කතාන්දරයක අලංකෘත නිමැවුමක්මය. )

දිනිති දීපිකා

2020/04/16

Wednesday, November 13, 2019

පිපීගේ සිහිනය




එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනිපිරියට " පිපී " කියල පූස් පැටියෙකුත් හිටියා. ඒ මිනිපිරියගෙ නම තමයි " හීන කුමාරි."

ඔන්න ඉතින් කාලය ඔහොම ගෙවිලා යද්දී, හීන කුමාරිට අවුරුදු හතක් විතර වෙනවා. මෙයාගෙ වයසක ආච්චියි සීයටයිත් දැන් හොඳටම වයසයි. මේ මිනිපිරී දවසක් අහනවා,

" ඇත්තටම ආච්චියේ, සීයෙ, කෝ මගෙ අම්මයි, තාත්තයි "

කවදාහරි මිනිපීරී ඕක අහන බව දැනගෙන ආච්චියි සීයයි කතා කරගෙන හිටපු විදිහට කතාව කිවුවා.

" මෙහෙමයි දුවේ. ඔයාව මේ කන්ද මුදුනෙ මාලිගයට අපට ගෙනත් දුන්නෙ සුළං කුමාරියි, සුළං කුමාරයයි තමා. ඒ දෙන්නට නිතරම ලෝකෙ පුරා ගමන් යන්න තියෙන නිසා ඔයාව අපට හදාගන්න දුන්නා. වයසක අපි දෙන්නටත් කවුරුත් නැති නිසා අපි ඔයාට " හීන කුමාරි" කියල නම තියල හදාගත්තා. "

" එහෙනම් ඇයි අම්මයි තාත්තයි මාව බලන්න එන්නැත්තෙ? "

" ඒ අයට ලෝකෙටම හුළං බෙදාහරින්න තියෙනවනෙ දුවේ. "

" ආච්චියි සීයයි මේ මාලිගයෙ නැතිවෙච්ච දාකට මං මොකද කරන්නෙ ? "
" ඒක අපි ඔයාට කියල දෙන්නම්කො. තවම ඔයා පුංචියිනෙ. "
-----------------------------------------------------
කාලෙ ඔහොම ගෙවිලා තව අවුරුද්දකින් හීන කුමාරි වයසට ගියා. ආච්චියි, සීයයි එයාව අර අහස උසට තියෙන මාලිගයෙ උඩම තට්ටුවට එක්කගෙන ගියා. ගිහිල්ලා ඒ දෙන්නම හීන කුමාරිගෙ අතින් අල්ල ගත්තා. අල්ලගෙන මෙහෙම කියනවා

" හීන කුමාරි..අපේ චූටි දුවේ.. අපි දෙන්නා මැරිලා ගිය දවසට ඔයා මේ කාමරේ මෙන්න මේ කවුළුව ගාවට ඇවිත් ඇස් දෙක පියාගන්න. ඊට පස්සෙ ඔයා හිතන පතන දේවල් ඔයාට ඉෂ්ට සිද්ධ වෙනවා. හැබැයි අපි ජීවතුන් අතර ඉන්නකම් නම් මේ දේ කරන්න එපා. "
කියල ආච්චියි සීයයි හීන කුමාරිගෙ ඔළුව සිපගත්තා.
---------------------------------------------------------------
හීන කුමාරිට යාළුවොත් කවුරුත් නැහැ. එයාට හිටිය එකම යාළුවා පිපී විතරයි. දවසක් හීන කුමාරිට ඕනි වුණා පූස් පැටියව එයාට ලැබුණෙ කොහෙන්ද කියල බලාගන්න.

ආච්චිගෙනුයි සීයගෙනුයි ඇහුවම කිවුවෙ පූස් පැටියවත් සුළං කුමාරයයි, සුළං කුමාරියි ගෙනත් දුන්නා කියලමයි.

හීන කුමාරිට ලොකු ආශාවක් ආව මේ සුළං කුමාරියි, සුළං කුමාරයයි කවුද කියල දැනගන්න. එයා දවසක් පිපීගෙන් ඇහුවා.
පිපී කිවුවෙ,
" මං ඇස් දෙක අරිනකොටම හිටියෙ ඔයාගෙ ළඟ " කියල.

" ඔයාව ගෙනත් දුන්නෙත් සුළං කුමාරයයි, කුමාරියි " කියල ආච්චියි සීයයි කියන්නෙ.

" මටත් එහෙම තමයි හීන කුමාරියෙ කියල තියෙන්නෙ. "
"ඉතින් කවුද දන්නෙ ඒක ඇත්තක්ද කියල "

" අපිට බොරු කියල මොකකටද හීන කුමාරියෙ "
-----------------------------------------------------
හැමදාම රෑට නිදාගන්න ගියාට හීන කුමාරිගෙ හිත හරිම නොසංසුන්. පූස් පැටිය කොච්චර කිවුවත් වැඩිය හිතන්න එපා කියල. එයාට ඕනි වුණේම සුළං කුමාරයයි, සුලං කුමාරිවයි කවුද කියල බලාගන්න. පිපී හිටියෙත් හීන කුමාරි ගැන බයකින්මයි. එයා කොයි වෙලේ මුරණ්ඩු වෙයිද දන්නෑ කියල.

අහස උසට තියෙන මාලිගයක කොච්චර දේවල් තිබ්බත් නැති දේකටම හීන කුමාරි දුක් වුනා. සුළං කුමාරයයි, කුමාරියි දකින හීනයක්ම හිත හිතා හිටියා.
----------------------------------------------------------------------------
ඔන්න එක දවසක් හීන කුමාරි කන්නෙ නැතිව බොන්නෙ නැතිව මේ ගැන හිතන්න ගත්තා. පිපී බලෙන් වගේ හීන කුමාරිගෙ කටට කෑම ජාති දානවා. ඒත් හීන කුමාරි දවස් දෙකක් විතර ඔහොම ඉද්දි,

මාළිගයෙ සද්දයක් නැති බව දැනුන පිපී මාළිඟෙ පුරා ඇවිදලා බැලුවා. ඒ බලද්දි වයසක ආච්චියි සීයයි පේන්න නැති බව දැක්කා. ඒ අයගෙ ඇඳ උඩ ලියුමක් තිබුණා. පූස් පැටිය ඇවිත් හීන කුමාරිට මේක දුන්නා,
ආච්චියි සීයයි මාළිඟයෙන් පිටට ගිහින්.ඒ අතර හීන කුමාරිට හිතුණා ආච්චියි සීයයි දවසක් කියල දුන්න දේ කරල බලන්න.

ඒත් පිපී ඒකට අකමැති වුනා.

" අපිට කිවුවෙ ආච්චියි සීයයි මැරුණම නේද ඒක කරන්නකියල. අපෝ මට නම් බැහැ හීන කුමාරියෙ ඒක කරන්න "

ඔය විදිහට දෙන්නා බහින් බස් වෙද්දි හීන කුමාරිව එක පාරටම වැටුණා. පූස් පැටියා බය වුනා. එයා හිතුවෙ දවස් දෙකක් විතර නොකා නොබී හිටිය නිසා හීන කුමාරිට කලන්තෙ හැදුනා කියලා. එයා දුවගෙන ගිහින් වතුර ටිකක් ගෙනත් හීන කුමාරිගෙ මුහුණට ඉස්සා.

ඒත් ඇස් ඇරියෙ නැහැ. පිපී ගියා ආච්චියි සීයයි ආපහු ඇවිත්ද කියල බලන්න එයාලගෙ කාමරයට. ඒ යනකම් හිටිය හීන කුමාරි
එකපාරටම ඇස් ඇරලා මාලිගයෙ උඩට දුවගෙන දුවගෙන ගියා. හීන කුමාරි ගිය අඩි සද්දෙ ඇහිලා පිපී ආපහු ආව. පිපීත් හීන කුමාරි පස්සෙන් ගියා.

හීන කුමාරි නැවතුණේ අහසෙ ගෑවෙන කවුළුව ගාව. නැවතිලා බලද්දි පිපිත් ඉන්නවා. පිපී කකුළෙ වෙලි වෙලී හීන කුමාරිට කිවුවා

" අනේ කවුළුව නම් අරින්න එපා. ආච්චියි සීයයි මැරිලා නැහැ. ඒ අය දැන් ආපහු එනවත් ඇති. අපි ඒ අය එනකම් ඉමු කියල."

ඒ වුනාට හීන කුමාරිට කවුළුව ඇරලා එයාගෙ හිතට හිතෙන දේවල් හිතන්න ඕනි වුණා. ඒ විතරක් නෙමෙයි ආච්චියි සීයයි කියපු විදිහට සුලං කුමාරයයි, කුමාරියි ඇත්තටම එයාගෙ අම්මයි තාත්තයි ද කියල බලන්න ඕනි වුණා.

පිපී ගවුමෙ එල්ලිලා " එපා " කියද්දි හීන කුමාරි කවුළුව අරින්න හැදුවා. පිපීට වඩා ශක්තිමත් වෙච්ච හීන කුමාරි කවුළුව ඇරියා. සුදු පාට පුළුන් ගුලි ගුලි මාලිගේ ඇතුළට එනවා පිපී දැක්කා. ඒ සුදු පාට ඇතුළෙ හීන කුමාරි හැංගෙනවත් පිපී දැක්කා.

පිපී " හීන කුමාරී " කියල කෑ ගැහුවා. ඒත් ඒවා එයාට ඇහුණෙ නැහැ. එයාව පුළුන් ගුලි එක්ක තව තව ඇතුළට යනව විතරයි දැක්කෙ.

පිපී අඬ අඩ හීන කුමාරිට ඇඬ ගැහුවත් එක පාරටම හයියෙන් කවුළු පියන් වැහුණා. ඒත් එක්කම පිපී නිදාගෙන හිටිය සයනයෙන් අඩි ගානක් උඩට විසික් වුණා.

ඇස් පිසදාල වටපිට බලද්දියි පිපී දැක්කෙ තමන් නිදාගෙන ඉන්නෙ හීන කුමාරි ගාවම කියල. ඒ තද නින්දට දැකපු හීනයක් විතරයි කියල පිපීට තේරුණා.


නිමි




Thursday, January 10, 2019

අප්පච්චි ඊයෙ රෑ යන්නටම ගිහිල්ලා
========================
මේ තරම් වැහි දරුවො අහස් අම්මට බරදැයි අසා
හැමදාම මිහීකත අසන පැනයකි හිත වසා
රෙද්දක්ද, සරමක්ද වෙනසක්ම ⁣නොපෙන්වා
උන් ටිකත් එක පාර පනින හැටි පුදුමයි ඇස් ගසා


තුරු මඬුලු තැනින් තැනකට හිස නමා
මුමුණාවි නෙක කතා ගම්ගොඩේ හැටි ගොතා
කේලමක දිඟ පළල මනින්නට මිම්මක් නැති නිසා
සුළං කිරිලියො යයි, ඇවිලෙනා ගින්නට පිඳුරුත් දමා

දහදියක මිළ ගණන් කැඳවන්න බැරි නිසා
වැව පහළ ගොයම් පැල ඉකිගසයි ලය පලා
කරන්නට දෙයක් නැහැ දරන්නට බැහැ කියා
ගඟත් ඉස්සී මුහුදට ගියා රිසි අතට මාවත් සොයා

ඉල් මහේ පිපිණු මලකින් නටුවෙන්ම උදුරලා
අහස් අම්මා ශාප දෙයි හරි වැරදි නොවිමසා
හිතේ හයියත් අවසානෙ නැතිවෙච්ච බව ලියා
අපේ අප්පච්චි ඊයෙ රෑ මැහි තෙලට ජීවිතෙ පුදා

Wednesday, November 14, 2018

මගෙ හිතෙත් පොඩි සිහින තිබුණා

මොනර පිල්වල හැඩය බල බල ‍‍මොනර නැටුමකට හිටියා
" සළඹ" පත්තිනි දුන්න දවසෙම නැවත අරගෙන ගිහින් තිබුණා
දුවන සලෙළුන් හිතින් අස්කර ආයෙ ආයෙත් අඩිය තිබ්බා
තිත්ත කළුවර එක්ක එළියට නටන නැටුමට හුස්ම වික්කා

තෙවෙනි ඇස කිය කියා බහුතර පිරිමි කලවා පොටෝ ගැහුවා
තිරේ දිලිසෙන විටදි සළුවෙන් තට්ටමත් බේරිලා පෙනුණා
"අනේ නොදකින් " කියා බහුතර ගැහැණු පිරිමින් බනිනවා ඇහුණා
ඇත්තමයි ඒ මමයි කියලා අඳුරනා කවුරුත්ම නොහිටියා

ගියේ ආවේ බස් දෙකක මහ සෙනඟ පොඳියට පිරිල හිටියා
ඒකේ රියදුරු තවත් හයියෙන් සද්දෙ හොඳහැටි වැඩිකලා
"අනේ අම්මපා මෙහෙම ගෑනුත් " කියන හඬවල් මටත් ඇහුණා
ඇත්තමයි ඒ නැටුමෙ නැටුවට මගෙ හිතෙත් පොඩි සිහින තිබුණා


රෙද්දෙ තුත්තිරි හොය හොයා උන් අපේ අම්මට බනිනවත් ඇහුණා
කන්දෙ විස්තර දන්නෙ නැතුවට උන්, කටින් කඳුවල මිම්ම දුන්නා
ඔහොම නට නට ගන්න සොච්චම වේලටත් මදි හිතින් ඇඩුවා
වේදිකාවෙදි රෑට නැටුවට ජීවිතේ කටු තුඩු උල්ව ඇනුණා

පසුවදන‍‍ - ‍‍
සංගීත ප්‍රසංගවල නර්තනයට සහභාගීවන තරුණියක් එම සංගීත ප්‍රසංග ප්‍රචාරය වන පොදු මගී ප්‍රවාහන බස්රථයක ගමන් කරද්දී ඇයට ඇසුණ සිද්ධියක් හා සම්බන්ධය.


2018/11/14

Thursday, August 9, 2018

කවි කියන්නෙ කවියන්ගෙ කඳුළු

රිඳුණු පෑරුණු තුරු අඟිසි අස්සේ
මතක වේලුණු ලකුණු ඔස්සේ
බුහුටි සිතිවිලි ඔතා රිස්සේ
ඔහේ පාවෙයි වලා තිස්සේ
ළඟින් තැවරුණු සුවඳ කුසුමක්
හෙමින් සිම්ඹත් තැවුල් නිවුනේ
අතින් සන්කර වැටෙන වැස්සේ
කොපුල් මැද්දක කවි ද ලිවුවේ
පෙමාදර පිනි දියර සිහිලේ
තෙමාලන කවි පොකුරු ඇතුලේ
වෙලීගෙන පොඩි අකුරු තුරුළේ
හඬන කවියන් වෙස්වලා ගත්තේ

Thursday, July 26, 2018

අම්මා



ආදරේ ගැන හොඳටෝම අඳුරගෙන
ජීවිතේ මුල ඉදන් පහද පහදාදෙන
හාමතේ වැටීගෙන හදවතම දන්දෙන
සාගරේ කොයිතරම් පුංචියි ද "අම්මා" ළඟ

හිසේ සිට ගිනි අරන් ඇවිලෙද්දි
"පුතේ " කියලා සීතලට හිත තවන
අතේ ඇති වත්කමක් කිසිදාක නොබලන
හිතේ හයියට අම්මගේ කළු ගලුත් වෙඬරු වෙන

මුසාබස් දෙස් දොවොල් නෑහිච්ච ගාණකට
අසා ලිවු සටහනෙත් වැරිදි හරි ගස්සවන
පුරා පුන් පොහොයටත් හඳ ඉතින් පරද්දන
සදා හද බිත කැටයමකි අම්මගේ දරු පෙම

සනුහරේ විටින් විට අලුත්වෙයි කවි කතා
කළුවරේ කඳුළු බොයි ඇය සොඳුරු ගීතයක්.
ලෝකයම සමු අරන් ගියත් දවසක මගෙන්
ආදරේ කියා දුන් මියුලැසිය රැඳීයන් හැමදාම

Monday, July 9, 2018



මහන්සිය කැරකිල්ල අතැතිව
ගිලෙයි හිරු මහ මුහුද මැද්දක
හාන්සිය නැළවිල්ල මුසුකර
අඳුර හිනැහෙයි දෙනෙත් අද්දර


රැහැයියන් බකමූණෝ ළංකර
කවිකතා ගොතනව ඇහුණෙ ඉස්සර
පිහි ඇනුම්, වෙඩි තැබිලි මුසුවුණු
සොඳුරු රැය මේ ඩිස්නිලන්තයෙ

වීථිවිල කඩු හරඹ සැණකෙළි අතරතුර
පුංචි උන් පිස්තෝල සෙල්ලමෙ
කපුටො, කොවුලන් මරාගත්තට
ඩිස්නිලන්තය බොහොම පිරිසිඳු

භයානක වෙස්මුහුණ පළදා
ගෝනි බිල්ලන් ආවෙ ඉස්සර
දෙනෝදාහක් ඇස් ඉදිරිපිට
උන්ගෙ සාදය උන්ට රිසිලෙස


මහ රජුන් නිදි සුවයෙ සිහිනෙක
යුව රජුන් හිස් කරයි කහවණු
කේතුමතියත් පැරදිලා දැනටම
වීථි මැද්දේ පුදුම පෙළහර


බැංකු කැඩුවා, සූදු කෙළියා
කේවට්ට රැළ සැනසුවා පැතුලෙස
බදුත් ගැහුවා බතුත් කැවුවා
ඩිස්නිලන්තයෙ මුත්‍රාත් හරි මිල


වැලේ වැල් නැති කුහුඹුවන්ටත්
උන්ට ආදරෙ කරති මහ රජු
හතේ හතවත් නැතිව පොරකන
දනන් පොහොසත් ඩිස්නිලන්තයෙ


2018/07/09

Sunday, March 25, 2018

කල්පාවසානයට පෙර
ඔබේ එක් මිහිරැති හාදුවක්
ස්වප්නයකින් තොරව
ස්පර්ශ කලයුතුව ඇත
ආදරේ යොදුන් ගණනය කල නොහැකි
ආනන්දනීය එක් රාත්‍රියක්වත් මට දෙනු මැනව
ප්‍රිය සම්භාෂණයක අතරමැද
සිහින් සංගීත නාදයක තාලයට
ඔබ උරහිසට වාරුවෙන ඒ ක්ෂණයකදී
චුම්භකව, ආලිංගන හාදුවක් පුදනු මැන
සීසීකඩ විසිරි ගිය සුවඳ ස්වල්ප බැගින්
හදවත් මංජුසාවේ තැන්පත් කරමින්
ඔබේ ස්වරණ නේත්‍රාංගනීය කැල්මට
අලංකෘත වචන එකතුකරමින්
සඳදිය දහරක් යට නැහැවි නැහැවී
සෑම රාත්‍රියකම ඉන්පසු ලියන්නම්
ඈත ඈත හිම කඳුවලට එපිටින්ද
මෑත ස්ටෙපස් තෘණ බිම්වලද තනිවන
සෑම හදවතක්ම මා හමුවද්දී,
අමරණීය කවියෙක් කියනු ඇත.
ඒ සුන්දරාස්වාදයට ඉතින් ප්‍රිය කරමි මම.

Sunday, January 28, 2018

කවියක් ගැන



" රෑ සමනලිය, කාගෙත් සුන්දරිය, ගණිකාව යන ව්‍යවහාරයෙන් ද, ජබ්බා, ගොනා සහ බඩුව යන ව්‍යවහාරයෙන් ද පිරිමින් විසින් අමතනු ලබන ගැහැනිය සිය සේවාව සපයන්නේ පිරිමින්ට ම බව ඒ කාන්තාව සමග යහන්ගතවන පිරිමින් ම නොසිතයි. එමෙන් ම ඇය ද ඇට, මස්, ලේ නහරවලින් සුසැදි මිනිස් ප්‍රාණියකු බව නොසිතයි. ඇය පිළිබඳ ලියැවි ඇති කව් ගී අපමණ ය. ඒ අතරින් වඩාත් සංවේදී ගීතයක් ලෙස අමරසිරි පීරිස් ගයන ‘‘ළය නොපෙනෙන ළැම පමණක් පෙනෙන’’ ගීතය ඉතාමත් සංවේදි ය.
යට සඳහන් දිනිති දිපිකා කිවිඳියගේ කාව්‍ය නිර්මාණය ද ගණිකාවක හෙවත් රෑ සමනලියක පිළිබඳ ලියැවුණ කවියක් බව එය කියැවූ සැණින් ම වැටහෙන බව අරුමයක් නොවේ. එහෙත් මෙම නිර්මාණය නිමැවුම සඳහා කිවිඳිය යොදාගන්නා කාව්‍යාලංකාර පිළිබඳව නම් යමක් සඳහන් කළ යුතු ම ය. මම එය සටහන් කරන්නේ මගේ වීඳීමේ පරාසය අනුව ය. සමස්ත කවිය තුළින් පිළිබිඹු වන්නේ කුමක් ද යන්න වෙසෙසින් සඳහන් නොකරමි. එහෙත් මෙම නිර්මාණයේ පද ව්‍යවච්ඡේදනයට ලක් නොකර සිටින්නට නම් නොහැකි ය.

වර්තමානයේ ගණිකා වෘත්තියට පිවිස ඇති බහුතර කාන්තාවෝ මත් කුඩු හෝ වෙනත් කුමන හෝ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වි ඇති බව නොරහසකි. ඇය එසේ කරන්නේ ඇයිද යන්න ඇය සමග යහන්ගතවන පිරිමි නම් කිසිදු අවධානයක් යොමු නොකරන බව සක් සුදක් සේ පැහැදිලි ය. කිවිදියගේ අනුබූතියට ප්‍රස්තුත වන ගණිකාව ද කුමන හෝ මතුද්‍රව්‍යයක් පානය කර ඇති බව ව්‍යංගාර්ථයෙන් පිළිබිඹු කරන්නට කිවිඳිය යොදාගෙන ඇති රූපක සහ වක් බිණුම් කෙතරම් අපූරුදැයි විමසමු.
‘‘වකුටු වී මලානික අතපය හකුලගෙන
තාරකාවන් නුබ ගැබේ’’
කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතා කර සිටින පිරිමින් සේම කාන්තාවෝ ද මෙම ශරීර ලක්ෂණ (තමන්ගේ සිරුර තමන්ගේ නොවන තරමට නිසලව මෙන්ම දෑස් අඩවන් කරගෙන හෝ අහස දෙස යොමාගෙන) පහල කරන බව වෙසෙසින් සදහන් කළ යුතු නොවේ. කිවිදිය මේ සියල්ල පැවසිම සදහා යොදාගන්නේ වදන් අටකි. ඒ අන් කිසිවක් නොව කවිතාව ම ය.
ඇගේ බොකුටු හිසකෙස් මඳ සුළගට සැලෙන බවත් ‘‘බෝ ගසක්’’ නොව ‘‘කපුටු බෝගසක්’’ යට සිටින ඇගේ දෙනෙතේ දිස්නය හෙවත් ඇය ගොදුරකට ඉව අල්ලන බවත් කිවිඳිය ඉතා සුමට ව්‍යංගාර්ථයකින් පවසන්නී ය. එමෙන් ම ඒ ගණිකාව වෙත පාපි බැලුම් නොහෙලන ලෙස ද කිවිඳිය අයැද සිටින්නී ය. ඒ අන්කිසිවක් නිසා නොව අද රැයේ ඇය සමග යහන්ගතවන පිරිමියා ම හෙට උදයේ ඇය පරිභවයට පත්කරන බැවිනි.

පිරිමින් ඇයට ඇරයුම් කරන බව පසන්නට ද කිවිඳිය යොදාගන්නේ වක්ක්‍රෝක්ති හෙවත් වක් බිණුම් ය. කිවිඳිය කිසිවක් ම ඍජුව නොපවසන්නී ය.

‘‘විදුලි එළි මුණු මුණු ගගා
මඟ දෙපස ඔච්චම් කරන්නේ’’
යනුවෙන් කිවිඳය පවසන්නේ ඉහත යථාර්ථය යි.

ගණිකා ඇසුර පතන බහුතරයක් ම කනිකඩ ජීවිත ගත කරන පිරිමි නොව බිරිදක් සහ දරුවකු, දෙදෙනකු හෝ ඊටත්වඩා සිටික පිරිමියකු විය හැකි ය. ඔවුහු සිය නිවසේ දී මෙන්ම බාහිර සමාජයේ ජිවත්වන්නේ උපාසකයෝ ලෙසිනි. එමෙන් ම ඔවුහු ගනිකාවකට ඇරයුම් කරන්නේ ද ඒ අවට සිටින කිසිවකුට නොදැනෙන පරිදිය. මේ සියලු කාරණා පවසන්නට කිවිඳිය උපස්තම්භක කරගන්නි වදන් හතක් පමණි.
‘‘කැඳලි තිබුණට බෝ ගසුත්
මුණිවතට අත්පුඩි ගසන්නේ’’

ගනිකාවකගේ හදවතෙහි පවත්නා දුක, වේදනාව පිළිබඳ වචනයෙන් පවසා ඇයට පිළිසරණක් නොලැබෙන බවත් එ’නිසා ම ඇය සිය සිරුර පුදකරන බවත් බොහෝ පිරිමි නොසිතති.
‘‘පැතලි හදවත අතට දෙන්නට
බැරි නිසා සියොළඟ පුදන්නේ’’
යන දෙපදයෙන් කිවිඳිය පවසන්නේ මේ ඛේදවාචකය නොවන්නේ ද? අනතුරුව කිවිදිය සමාජයෙන් ආයාචනයක් ද කරන්නී ය.
‘‘කැබලි කර කර ආත්මය ඇගෙ
මිලක් නොදමන් මිනිස්සුන්නේ’’
...යනුවෙන් කිවිඳිය අයැද සිටින්නේ එයයි.

රාත්‍රිය පුරා ඇගේ පහසෙන් සැනහෙන පිරිමියා අලුයම වන්නටත් පෙර ඇය හර දමා යන්නේ කිසියම් පලතුරක යුඹ උරා බීමෙන් ඉක්බිති එය කොතැනක හෝ අතහැර යන වවුලන් සේ ය. එය විද්‍යමාන කරන්නට කිවිඳිය උපස්තම්භක කරගන්නා ව්‍යඞගාර්ථය මෙසේ ය.
‘‘යනෙන වවුලන් පැණි රසය ගෙන
අලුයමට පෙර නෙතු වසන්නේ’’
මෙම දෙපදය කියවන මොහොතේ දී පාඨකයාගේ මනසේ ක්ෂණයකින් අදාළ මතුපිට සිදුවීම චිත්‍රණය වීම අරුමයක් නොවුනද කිවිඳිය මේ වාග් මාලාව තුළින් ප්‍රකට කරන යටි පෙළ ඊට වඩා සංවේග ජනක ය.

සිය පාරිභෝගිකයා සන්තර්පණය කිරීමෙන් ඉක්බිති ඇය මහමගට බසින විට පසුදින පාන්දර විය හැකි ය. එවිට රාත්‍රී තාලයේ අටවා තිබූ රෑ කඩ ද අදාළ ස්ථානවලින් ඉවත් කරගෙන තිබෙන්නට පිළිවන. එමෙන් ම ඇය එසේ සිය පාරිභෝගිකයා සන්තර්පණය කරන්නේ කිසිදු කායික තාප්තියක අවශ්‍යතාවක් උදෙසා නොව සිය දරුවන්, දෙමාපියන් හෝ සොයුරු සොයුරියන් පෝෂණය කිරීම පිණිසම විය හැකි ය. කිවිඳය එය මෙසේ ගම්‍ය කරන්නී ය.

‘‘දුවන ගිරියක වැඩ මුරය ළඟ
නෙළුම් මානෙල් හිරු දකින්නේ
වැවක් වී මල් පුබුදුවන්නට
මඩ ගොහොරුවේ ඈ ලඟින්නේ’’

අවසන කිවිඳිය ඉල්ලා සිටින්නේ මේ කාන්තාව පිළිබඳ කවක් පබඳින ලෙසයි.

‘‘කවක් ලියපන් ඇයගෙ නාමෙට
තුති නැතත් හසරැල් වටින්නේ’’

එවිට ඇය වචනයෙත් ස්තූති නොකළ ද ඇගේ සිත සැනසෙන බවද කිවිදිය පවසන්නී ය.

බොහෝ කව් ගි සදහා ප්‍රස්තුත වි ඇති මෙම චරිතය දෙස තරමක වෙනස් කෝනයකින් දකින්නට මෙන්ම ලාඨකයාගේ හදවතේ ගණිකාව පිළිබඳ සංවේදිතාවක් ඇති කරන්නට මෙම නිර්මාණය බොහෝ සෙයින් උපකාර වන බව සදහන් කළ යුතු ම ය. ගණිකාව යන් ද දරුවන් පෝෂණය කරන මවක්, දෙමාපියන් පෝෂණය කරන දරුවකු හෝ නොයුරු සොයුරියෝ පෝෂණය කරන සොයුරියක් ලෙස සිතන්නනැයි කිවිඳිය පාඨක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නී ය. සැබැ කවියකු හෝ කිවිඳියක නම් කළ යුත්තේ ගණකාව නම් වූ ඇයට ගැරහීම නොව, ඇය දෙස උපහාසයෙන් හෝ අපහාසයෙන් බැලීම නොව ඇය ද මනුෂ්‍ය කාන්තාවක ලෙස සැලකිම ය. දිනිති ඒ වගකිම සහ යුතුකම සිය නිර්මාණය තුළින් ප්‍රකට කර ඇත. "

Jayasiri Alwatta
18/01/08

කවියක් ලියා විඳින සතුට මේ හැර වෙන කුමක්ද ? අපමණක් ස්තුතියි ජයසිරි අලවත්තඅයියේ, ඔබේ වටිනා කාලය වැය කරලා "මම විඳි කවියක්" තුළ මේ අපූර්ව සටහන ලියා තිබුණාට.

වකුටු වී මලානික අතපය හකුලගෙන
තාරකාවන් නුබ ගැබේ
බොකුටු කෙහෙරැලි ආලිංගනයට
මඳනලට ඇරයුම් කොට තිබේ
කපුටු බෝ ගස යට දිලිසෙනා
නෙත් දෙකක් ඇත සබේ
පවිටු හිතකින් නොබලපන් නුඹ
රෑ මනාලිය ඒ සුන්දර හබේ

විදුලි එළි මුණු මුණු ගගා
මඟ දෙපස ඔච්චම් කරන්නේ
කැඳලි තිබුණට බෝ ගසුත්
මුණිවතට අත්පුඩි ගසන්නේ
පැතලි හදවත අතට දෙන්නට
බැරි නිසා සියොළඟ පුදන්නේ
කැබලි කර කර ආත්මය ඇගෙ
මිලක් නොදමන් මිනිස්සුන්නේ

යනෙන වවුලන් පැණි රසය ගෙන
අලුයමට පෙර නෙතු වසන්නේ
දුවන ගිරියක වැඩ මුරය ළඟ
නෙළුම් මානෙල් හිරු දකින්නේ
වැවක් වී මල් පුබුදුවන්නට
මඩ ගොහොරුවේ ඈ ලඟින්නේ
කවක් ලියපන් ඇයගෙ නාමෙට
තුති නැතත් හසරැල් වටින්නේ

Tuesday, January 9, 2018

තුති නැතත් හසරැල් වටියි

වකුටු වී මලානික අතපය හකුලගෙන
තාරකාවන් නුබ ගැබේ
බොකුටු කෙහෙරැලි ආලිංගනයට
මඳනලට ඇරයුම් කොට තිබේ
කපුටු බෝ ගස යට දිලිසෙනා
නෙත් දෙකක් ඇත සබේ
පවිටු හිතකින් නොබලපන් නුඹ
රෑ මනාලිය ඒ සුන්දර හබේ

විදුලි එළි මුණු මුණු ගගා
මඟ දෙපස ඔච්චම් කරන්නේ
කැඳලි තිබුණට බෝ ගසුත්
මුණිවතට අත්පුඩි ගසන්නේ
පැතලි හදවත අතට දෙන්නට
බැරි නිසා සියොළඟ පුදන්නේ
කැබලි කර කර ආත්මය ඇගෙ
මිලක් නොදමන් මිනිස්සුන්නේ

යනෙන වවුලන් පැණි රසය ගෙන
අලුයමට පෙර නෙතු වසන්නේ
දුවන ගිරියක වැඩ මුරය ළඟ
නෙළුම් මානෙල් හිරු දකින්නේ
වැවක් වී මල් පුබුදුවන්නට
මඩ ගොහොරුවේ ඈ ලඟින්නේ
කවක් ලියපන් ඇයගෙ නාමෙට
තුති නැතත් හසරැල් වටින්නේ


2018/01/07

Saturday, November 25, 2017

මලක මළගම

සැතක් කල හදක් අතැතිව
කන්ද නොසැලැයි අරඹකන්දේ
බතක් උයනට හිතක් නැතිවම
සද්ද නොකරම හඳත් පල්ලමට බැස්සේ

මන්න පිහියක් අතින් අරගෙන
ගෙදර වැට පොලු සීරුවෙන් තිබ්බේ
"කන්න දුන්නට ගහපියව් මට"
දෝංකාරෙක හඩක් ඇහුණේ

පියාඹා ගල්ගෙඩි ඇවිත් හැප්පී
එකින් එක උළු කැටයි බින්දේ
සියඹලා කොළ හොරෙන් හප හප
හිටිය කාරණ ගැනයි ඇහුණේ

රෙද්ද තදකර කොණ්ඩෙ උස්කර
අලුත් නෑනයි දොට්ට බැස්සේ
මගේ "තරු හැඩ" හෙව්ව උඹලට
"දෙයියො බලලා" කියනු ඇහුණේ

මලක් කිය කිය පෙතිත් මැද මැද
හුඟක් රැකවල් තිබුණ දවසේ
රැයක් කුමටද වෙන්න අතවර
කියා පරමල් ගැනයි ඇහුණේ

දැන් ඉතින් තව "කුමට පණනල"
කියා සද්දය අන්දෙසින් ඇහුණේ
මුදුන් ලීයට බරක් වැඩිවී
අක්කා දෙව්ලොව යන පාර දැක්කේ

ඉහට අත්දෙක ගස ගසා
දුවන් ආවට පලක් නැත්තේ
පිළුණු හොඳ්දක් කුමට කෑමට
කියා අක්කා ලියල තිබ්බේ.


--------------------------------------------------------------
තම පවුලේ එකම දියණිය අනාචාරයේ හැසිරෙන බව ගමපුරා ගිය කටකතාවක් හේතුකරගෙන ගම්මුන් විසින් නිවසට ගල් ගසන අවස්ථාවකි,
අවුරුදු 11ක් වයසැති ඇයගේ මල්ලී බිරාන්තව බලාසිටි අවස්ථාව හා සම්බන්ධය.


2017/11/25

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...