අලුත පීදුනු නැවුම් ලැම උඩ
ලපටි රැවුලෙන් සිඹපු දවසෙම
පපුවෙ උතුරන ප්‍රේම සිත්තම
උඹට විල්සන් එක හිතින් පිදුවා.
වැල්ල මැද්දට පෝය හඳ ආ
බක්මහේ ගී සිංදු ඇහුණා
රැල්ල එක්කම සේදිලා ගිය
ගැහැණුකම ගැන ලෝභ හිතුණා
" මගේ පණ මාගරට් උඹ දැන් "
අත් අරින්නට බැරි හැගුම් කිවුවා
අතේ සතයක් නැතිවුනත්
සිහින මාළිග විල්සන්ම බැන්දා
යනෙන එන විට විසිල් කරමින්
කොල්ලො වැල්ලෙදි විහිළු කෙරුවා
දුවන මුවෙකුට පලා දුන් බව
ගෑණු හැමතැන කියනවා ඇහුණා
පපුව මැද කුරුසියක් ඇද ඇද
ඉරිදා හතරම සුරුවමට වැන්දා
බඩට හත්මහ පිරෙන විට
ඔරු කඳක් පෙරලිලා තිබුණා
අප්පා නැති දුක දරාගෙන
විලිරුදා මැද යුද්ධ කෙරුවා
කුප්ප පිරිමින් සෙවල පෙර පෙර
නිධානය වගෙ ගේ වටේ පැද්දා
ඉතින් විල්සන්,
බලා ඉදලම බැරිම තැන
ඇන්ටනය එක්කම එකට වැටුණා
දුකින් දුව දෙස බල බලා මම
රැල්ල ජය ගන්නවා හිතුවා
වාරකන් හරි සැරට ඇවිදින්
ජීවිතේ සුළි සුළං හැමුවා
ඇන්ටා එක්කම පැනලා යන්නට
අපේ නංගිට හුස්ම තිබුණා.
හැට්ටෙ මැද්දේ සුරය පැටලී
දැළක නූලක් කැඩිල තිබුණා
ගසාගෙන ආ රැල්ල එක්කම
සිනහ වත නංගිගේ දැක්කා
මේව ඔක්කොම දරාගෙන මම
ප්‍රථම ප්‍රේමය හිතින් බැලුවා
ගෑණු පපුවක හැඩය දකිනට
පිරිමි හිත් අකමැතිද හිතුණා.
2016 ඔක්තෝම්බර් 18
Wednesday, November 16, 2016
Thursday, October 20, 2016
දැළි පිහියෙන් කිරි කෑම
ලෝකය විශ්ව ගම්මානයකි. මෙය අපගේ සවන්පත්වලට බොහෝ කාලයක සිට ඇසෙන්නක් ය. විසිවන සියවසේ අග භාගයේදී පටන් ම මෙය ඇසුණා යැයි කිවහොත් එය අසත්‍යයක් නොවනු ඇත. ලෝකය විශ්ව ගම්මානයක් වී අප සියල්ලෝ ම එක ම ගම්වැසියන් වෙද්දී ඒ ගම්මානය තුළ අප ලබන ඵල ප්‍රයෝජන සහ අප ලබාගෙන තිබෙන ඉඩකඩ අතර බොහෝ සිතන්නට කාරණා ඇත.
මේ විශ්ව ගම්මානය හා අත්වැල් බැඳ ගත් කල ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික, සාහිත්‍ය එකී මෙකී නොකී නිමක් නැති සබ්බ සකල මනාවම අන්තර්ගත බව ඔබත් මමත් දනිමු. ඉදින් මේ තුළට එබී සාහිත්‍යයට ඇති තැන සහ ඉන් අප හරවත්ව උකහා ගන්නා යමක් ඇත්දැයි මොහොතක් හෝ ඔබ සිතුවා ද?
සයිබර් සාහිත්‍යය කිවු සැණින් බොහෝ යාවත්කාලීන නොවූ සාහිත්‍යධරයන්, ලේඛකයන් බියමුසුව, සහ යම් සැකයකින් ඒ දෙස බලන්නට පුරුදු වී ඇත. අප යන්නේ කාලය සමඟ ගමනක් නම් එහිදී මුණගැසෙන දෑ දෙස නොබලා යා හැකි යැයි මම නොසිතමි. හොඳ හෝ නරක සියල්ල සමඟ මනා ගනුදෙනුවක් ඇති කරගැනීම අපගේ දක්ෂතාව විය යුතුය.
සයිබර් අවකාශය යනු දැළි පිහියෙන් කිරි කනවා වැනි මාධ්‍යයක් යැයි කීවොත් වඩාත් නිවැරැදි ය. එවන් තැනකදීම සාහිත්‍ය ගැන අප විපරම් කළහොත් එදා සුළුතරයක් අතට නතුව තිබූ සාහිත්‍ය අද කා අතරත් ප්‍රජාතාන්ත්‍රවාදී අන්දමින් බෙදී ගොස් ඇත. තමන්ට ඇතිවන හැඟීම්, තමන්ට රිසි පරිදි කැමති අයුරකින් නිදහසේ මුදා හැරීමේ වරප්‍රසාදය සයිබරය තුළින් අප කාටත් එක හා සමාන අයිතියකින් ලැබී ඇත. මෙය වඩාත් හොඳ සාධනීය ගුණයකි. මන්ද යත්, යම් යම් බැරියර් දමාගෙන එක එක ගුරු කුලයන්ට යටත් ව පැවති ඒ ඒ අංග අද මුළු මහත් සමාජයට ම බෙදී යාම නිසා අලුත් නිර්මාණාත්මක දේ පිරි මිනිසුන් බොහොමයක් බිහි වී ඇති නිසාය. කොහේට හෝ සැඟවී මුල්ලකට වී වැළලී යන්න ගිය තමාද හඳුනා නොගත් තමාගේ හැකියාවන් වඩාත් සක්‍රීය ව ගුණාත්මක ව ඔප මට්ටම් කරගනිමින් සයිබර් අවකාශය පුරා නෑගම් යන හැකියාවන් පිරි මිනිසුන් අද බිහි වී ඇත. මෙය විශ්ව ගම්මානය තුළ අප ලද විශාලම ජයග්‍රහණයකි.
මේ ලිපියේදී මුඛ්‍ය පරමාර්ථය කරගනු ලැබුවේ අන්තර්ජාලය තුළ සැරිසරන බොහෝ පිරිස් දන්නා ඊ බුක් ගැන ය. ඉලෙක්ට්‍රොනික පොත් වන මෙහි ඇති වෙනස නම් කඩදාසි මත මුද්‍රණය කර නොමැති වීම ය. වෙනත් අයුරකින් පැවසුවහොත් පොතක් ලෙස නොපැවතීම ය. මෙය මූලිකව පරිගණක තිරය මත කියවන්නට හැකි වීම මෙන්ම දැන් වඩාත් දියුණු වී ජංගම දුරකථන වෙත ද පැමිණ ඇත. එපමණක් නොව විශාල පොත් සංඛ්‍යාවක් එනම් පොත් සිය දහස් ගාණක් වුව ඉතාම පුංචි මතක ධාරිතාවක ගබඩා කරගන්නට හැකි වීම මෙහි ඇති තවත් වාසියකි.
ඉඳින් මුද්‍රිත සාහිත්‍යයට තවමත් වැඩි නැඹුරුවක් ඇති ආසියාවේ පළමු ඊ නවකතාව වූයේ 1998 වර්ෂයේ මුදාහරින ලද සාධු ටෙස්ටමන්ට් යන ඊ නවකතාව ය. එහෙත් අවුරුදු 18 ක් ඉක්මවා ගොස් තිබුණ ද අද ඊ පොත් සඳහා තවමත් ආසියාවේ මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ඉඩක් නැති බව අප කවුරුත් දන්නෙමු. බොහෝ දෙනා තවමත් පොතක් කියවීමේ තෘප්තිය විඳින්නේ මුද්‍රිත මාධ්‍ය හරහා ය. එහෙත් අද ලෝකය ඊට වඩා දුර ගොස් ඇත. විශ්ව ගම්මානය ම ප්‍රයෝජනයට ගෙන ඔවුන් තමන්ගේ සිතැඟියාවන් සාහිත්‍ය ලෝකයට එක් කරති. කාලයත් සමඟ විශාල තරගයක නිරත වන අයෙක්ට පොත් සාප්පුවකට ගොස් පොතක් ගෙන කියවන්නට තරම් අවස්ථාවක් ඇතිවීම දුලබ තත්ත්වයට ලෝකයා කාර්යබහුලව ඇත. අද බොහෝ ජාත්‍යන්තර සාහිත්‍ය ඇත්තේ ඊ බුක් ලෙස ය. අපට කැමැති පොත අන්තර්ජාලය හරහා මුදල් ගෙවා හෝ නොගෙවා බාගත කිරීමේ වරම ඇත. එහෙත් ඒ වරමට අප තවමත් බිය වී ඇත්තේ ඇයි?
එදා කටින් කට පවත්වාගෙන ආ සාහිත්‍ය හෝ බොහෝ දෑ කඩදාසි සොයා ගැනීමත් සමඟ ලියන්නටත් මුද්‍රණ යන්ත්‍රය සමඟ අච්චු ගැසීමටත් පුරුදු වූහ. එනම් කාලානුරූපි ව සුදුසු අගෝපාංග යටතේ වෙනස්වීම ම ය. නමුත් අන්තර්ජාලය එසේත් නොමැති නම් සයිබරය පැමිණ මේසා කලක් ගිය ද අප තවමත් ඊ බුක්වලට නැඹුරු නොවන්නේ මන්ද? යමෙක් තර්ක කරනු ඇත්තේ මෙය වෙහෙසකර කාර්යයක් ලෙසය. නමුත් අද ලෝකයේ අලුත් පරම්පරාව මේ වෙනස්වීමත් සමඟ යම් තරමකට අත්වැල් බැඳ ගත්ත ද, ලංකාව වැනි රටක පිළිගත් ආයතන තුළ සාහිත්‍යයට අදාළ වගකීම් දරන තැන්හි ඊ බුක් සඳහා කිසිදු ධනාත්මක සිතුවිල්ලක් නැති බව නම් කිව යුතුමය. බාගදා එය එසේ වනු ඇත්තේ තවමත් යාවත්කාලීන නොවූ පිරිස් ඒ ආයතන තුළ සිටීම ද වන්නට පුළුවන.
පුස්තකාලයක ම දෑ ඔබට කැමති තැනකට රැගෙන ගොස් කැමති අයුරකින් කියවන්නට ඊ - බුක් හරහා මේසා හැකියාව තිබියදී අප ඒ සඳහා යොමු නොවීම එක්තරා අන්දමකට අභාග්‍යයකි. ඊ - බුක් කියැවීම සඳහා දැන් ඊ - බුක් රේඩෙර් ලෙස පරිගණකය තුළ කියැවීමට පහසු ලෙස මෘදුකාංගයක් ද සකසා ඇත.
ඉහත සියල්ල ම කියවා යද්දී යමෙක්ට සිතනු ඇත්තේ සාම්ප්‍රදායික පොත් ක්‍රමයට පයින් ගසන්නට තැනීමක් මේ මඟින් කරනවා කියා ය. එහෙත් මේ එවැන්නක් නොව, අප එදා වැලි පීල්ලේ ගල් ලෑල්ලේ ලියූවත් පසුකාලීනව පොත් පත් තුළ ලියන්නට යොමු වීම මේ සමානම ය. වෙනස මේ මඟින් මනා කාල කළමනාකරණයක් මෙන්ම පහසුවක් අපට ඇතිවීම ය. ඊ බුක්, ඊ සඟරා මෙන්ම නුදුරු දිනක ඇසින් කියවා බලන්නට නොව ශ්‍රවණය කරන්නට ද හැකි වනු ඇත. නුදුරේදීම e-book reader ක්‍රමයට ද පොත් එළි දැක්වීම් ලෝකය පුරා සිදු වනු ඇත.
විශ්වය ම මිටට කර අපේ දෝතට ලබා ගන්නට හැකියාව තිබියදී අප කුමට නම් මේ තාක්ෂණය හා උරණ වන්නේ ද? ඇවැසි වන්නේ කාලයට ගැළපෙන ලෙස අප හැඩගැසීමම නොවේ ද?
දිනිති දීපිකා
2016 ඔක්තෝම්බර් 09 ඉරිදා සිළුමිණ පුවත්පත
Tuesday, October 18, 2016
මටත් තිබුණා ප්‍රේමයක්
මටත් තිබුණා ප්‍රේමයක්,
කිවිසුමක් ගියවිටත්
තැතිගත්ත ඇස් දෙකින් බලන,
කිවිසුමක් ගියවිටත්
තැතිගත්ත ඇස් දෙකින් බලන,
මහා හුස්ම රැල්ලකටත්
ගැස්සිලා අත තබා බලන,
ගැස්සිලා අත තබා බලන,
තනිමඟක යන්න හැර
පිටුපසින් යනෙන යුරු බලා සිටින,
පිටුපසින් යනෙන යුරු බලා සිටින,
පුංචි අව්රැලි පොදටත්
හිසට අත්ල තියා රැකවරණ සදන,
හිසට අත්ල තියා රැකවරණ සදන,
බත් පිඩක් ගානේ ආදරේ
තවර තවරා කවන,
තවර තවරා කවන,
අාදරේ කියන්නෙම
දුන් දෙයක්මයි කියන,
දුන් දෙයක්මයි කියන,
මටත් තිබුණා ප්‍රේමයක්
කවියක ඉගිලිලා මඟ හැරුණ
යලි කිසිම දවසක හමුනොවන.
කවියක ඉගිලිලා මඟ හැරුණ
යලි කිසිම දවසක හමුනොවන.
Monday, September 12, 2016
හැරවුමක්
බයිසිකලයේ යකඩ ගොඩ උඩ
හයේ කණිසමෙ පස්ස තිබ්බා
වේලපහ නැහැ වෙලාවට මම
ගරාජයෙ දොර ඇරල දැම්මා
මුහුණු ඇද කරගත්තු එක එක
පුදුම වාහන රවන් හිටියා
රුහුණු කිරි මීපැණිත් එක්කම
බෙදන හැටි මම දැනන් උන්නා
දවල් බත බංකුවක් උඩ
කන්න ඉදගත් පොඩිම කොල්ලා
අවුල් හිතකින් මගේ දෙස
බලා මොනවද ඇහෙන් කිවුවා,
මජන් පොඩ්ඩක් ගෑ වෙච්ච වතෙ
අලුත් ලස්සන කියා කියලා
පරණ වාහන හදන බාසත්
උකුසු ඇහැ කරකවල දැම්මා
ගිලන් ඇද උඩ නිදන අම්මගෙ
රුවත් හද යට තදට තියලා
රුවන් මහතගෙ කාර් එක
අදම ඕනැයි යකා නැටුවා
දුම් ගඳයි, කළු තෙලුයි, ඩීසල්
ගඳට පෙට්‍රල් සුවඳ දැනුණා
හම් පටිය ඉණ වටේ හන්දා
ඇවැසි තැන ආයුධය වූවා
කළුවරත් මැද තරුවලත් එළි
වැහි වලාකුළු ණයට ඉල්ලා
හරියටම වැඩ ඉවර වුනු විට
ගෙදර යන්නද මමත් ඇහුවා
ටිකක් හිටපන් වාහනේ අඩු
පාඩු මොනවද හොදට බලලා
යන්න ඉඩ දෙමි එතෙක් මෙතනින්
ඉන්න බැරිදැයි ලොක්කා ඇහුවා
ඉහ කණත් රත් වෙලා ඇඟ ලේ
ගොජ ගොජව නටනවා දැනුනා
නාකි හිවලට පයින් ඇනලා
ගෙදර එන්නට අම්මෙ හිතුණා
ලඳක් බන් උඹ මොකද මේ හැටි
යකඩ බඩු අල්ලගෙන ඉන්නේ
සුමුදු අත් දෙක දියන් මා හට
සුර සැපය පෙන්නන්න කිවුවා
ඉතින් ඉවසල බැරිම තැන තව
ටිකක් ඉවසන ගතිය බුදු බණක තිබුණේ
අනේ අම්මේ වේස බල්ලට
මදන ගායයි ඉහේ තිබුණේ
ගැහැණු, පිරිමින් කියා මොකටද
වැඩේ වෙනවා නේද ඇහුවේ
හිතට ආවෙම මුගේ තට්ටය
පළල දුවපන් ගෙවල් පැත්තේ
අතට අහුවුණ යතුරු පෙට්ටියෙ
ලොකුම නියනක් අතට ගත්තේ
නාකියා තෝ යන්න දෙනවද
මැරුම් කනවද කියා ඇහුවේ
ආයෙ රස්සා එතන නැහැ මම
ගෙදර ආවම හිතට ගත්තේ
අම්මා එක්කම ගෙදර දොරකඩ
යකඩ වැඩපල අදයි ඇරියේ
හයේ කණිසමෙ පස්ස තිබ්බා
වේලපහ නැහැ වෙලාවට මම
ගරාජයෙ දොර ඇරල දැම්මා
මුහුණු ඇද කරගත්තු එක එක
පුදුම වාහන රවන් හිටියා
රුහුණු කිරි මීපැණිත් එක්කම
බෙදන හැටි මම දැනන් උන්නා
දවල් බත බංකුවක් උඩ
කන්න ඉදගත් පොඩිම කොල්ලා
අවුල් හිතකින් මගේ දෙස
බලා මොනවද ඇහෙන් කිවුවා,
මජන් පොඩ්ඩක් ගෑ වෙච්ච වතෙ
අලුත් ලස්සන කියා කියලා
පරණ වාහන හදන බාසත්
උකුසු ඇහැ කරකවල දැම්මා
ගිලන් ඇද උඩ නිදන අම්මගෙ
රුවත් හද යට තදට තියලා
රුවන් මහතගෙ කාර් එක
අදම ඕනැයි යකා නැටුවා
දුම් ගඳයි, කළු තෙලුයි, ඩීසල්
ගඳට පෙට්‍රල් සුවඳ දැනුණා
හම් පටිය ඉණ වටේ හන්දා
ඇවැසි තැන ආයුධය වූවා
කළුවරත් මැද තරුවලත් එළි
වැහි වලාකුළු ණයට ඉල්ලා
හරියටම වැඩ ඉවර වුනු විට
ගෙදර යන්නද මමත් ඇහුවා
ටිකක් හිටපන් වාහනේ අඩු
පාඩු මොනවද හොදට බලලා
යන්න ඉඩ දෙමි එතෙක් මෙතනින්
ඉන්න බැරිදැයි ලොක්කා ඇහුවා
ඉහ කණත් රත් වෙලා ඇඟ ලේ
ගොජ ගොජව නටනවා දැනුනා
නාකි හිවලට පයින් ඇනලා
ගෙදර එන්නට අම්මෙ හිතුණා
ලඳක් බන් උඹ මොකද මේ හැටි
යකඩ බඩු අල්ලගෙන ඉන්නේ
සුමුදු අත් දෙක දියන් මා හට
සුර සැපය පෙන්නන්න කිවුවා
ඉතින් ඉවසල බැරිම තැන තව
ටිකක් ඉවසන ගතිය බුදු බණක තිබුණේ
අනේ අම්මේ වේස බල්ලට
මදන ගායයි ඉහේ තිබුණේ
ගැහැණු, පිරිමින් කියා මොකටද
වැඩේ වෙනවා නේද ඇහුවේ
හිතට ආවෙම මුගේ තට්ටය
පළල දුවපන් ගෙවල් පැත්තේ
අතට අහුවුණ යතුරු පෙට්ටියෙ
ලොකුම නියනක් අතට ගත්තේ
නාකියා තෝ යන්න දෙනවද
මැරුම් කනවද කියා ඇහුවේ
ආයෙ රස්සා එතන නැහැ මම
ගෙදර ආවම හිතට ගත්තේ
අම්මා එක්කම ගෙදර දොරකඩ
යකඩ වැඩපල අදයි ඇරියේ
Friday, September 9, 2016
අතීතය - වත්මන - නංගි සහ මම
පරපුරෙන් පිළිවෙලට ආපු දන් සීට්ටුව
අම්මගෙ ඉහ ඉද්දරක තියෙනවා
පන්සලේ නමට ඇති ඉඩ කඩම් කුඹුරු මැද
කුස්සියේ ලිප අතීතය දන්නවා
ගිලන්පස ගෙනියන්න සීනි කොච්චර ද
පැත්තකින් නංගි ඇල් වතුර ගිලිනවා
හතර පෝයට සිල් නැතත් උතුරු සළුවෙන්
වහගත්ත කුණු කයක් බොහෝ උන් දරනවා
පුංචි දා විසි කරපු පන්සලේ දානෙ මලු
දෙස බලා හීල්ලුව පොඩි උනුත් ලොකු වෙලා
අව්ව වැස්සට කිසිම වෙනසක් නැතිව
බල්ලා පන්සලෙ බුර බුරා ඉන්නවා
හන්දියේ කඩේකට මලු පිටින් පූජාවෙන
දැහැත් වට්ටිය අතින් අත ගැටෙනවා
නංගියේ පන්සලේ පොල් වත්තෙ බිම වැටුණ
අතීතයෙ අපි තාම ඉන්නවා
අම්මගෙ ඉහ ඉද්දරක තියෙනවා
පන්සලේ නමට ඇති ඉඩ කඩම් කුඹුරු මැද
කුස්සියේ ලිප අතීතය දන්නවා
ගිලන්පස ගෙනියන්න සීනි කොච්චර ද
පැත්තකින් නංගි ඇල් වතුර ගිලිනවා
හතර පෝයට සිල් නැතත් උතුරු සළුවෙන්
වහගත්ත කුණු කයක් බොහෝ උන් දරනවා
පුංචි දා විසි කරපු පන්සලේ දානෙ මලු
දෙස බලා හීල්ලුව පොඩි උනුත් ලොකු වෙලා
අව්ව වැස්සට කිසිම වෙනසක් නැතිව
බල්ලා පන්සලෙ බුර බුරා ඉන්නවා
හන්දියේ කඩේකට මලු පිටින් පූජාවෙන
දැහැත් වට්ටිය අතින් අත ගැටෙනවා
නංගියේ පන්සලේ පොල් වත්තෙ බිම වැටුණ
අතීතයෙ අපි තාම ඉන්නවා
ඝණ්ඪාර කුළුණ ළඟ සොරකමෙහි අනුහස්
තඩිම තඩි ලොකු අකුරු නටනවා
හැන්දෑවෙ දේවාලෙ දෙවියො ඇවිදින්
සිකිපිලින් ඔළු මතට තළනවා
අඳනකඩ ඇදන් ක්‍රිකට් පිටි සිරි මවන
හිමිවරුන් තවම එහි වැඩ වසනවා
බඳුනකට ගන්න බැරි ජීවිතේ අතරමං
කවි කතා උඹ එක්ක මම හොයනවා
පෝය දොළහට පන්සලේ සල්පිලේ
යකඩ කටකින් වතගොතය ඇහෙනවා
පැත්තකින් බිම ඉදන් ඒ දෙසට කණ යොමන
අපිත් උන්නද මම තාම හොයනවා
තඩිම තඩි ලොකු අකුරු නටනවා
හැන්දෑවෙ දේවාලෙ දෙවියො ඇවිදින්
සිකිපිලින් ඔළු මතට තළනවා
අඳනකඩ ඇදන් ක්‍රිකට් පිටි සිරි මවන
හිමිවරුන් තවම එහි වැඩ වසනවා
බඳුනකට ගන්න බැරි ජීවිතේ අතරමං
කවි කතා උඹ එක්ක මම හොයනවා
පෝය දොළහට පන්සලේ සල්පිලේ
යකඩ කටකින් වතගොතය ඇහෙනවා
පැත්තකින් බිම ඉදන් ඒ දෙසට කණ යොමන
අපිත් උන්නද මම තාම හොයනවා
Tuesday, September 6, 2016
හෙටයි හොඳ කුසුම්
කළුවෙච්ච අත් දෙකට කරගැටත් රවනවා
ගැලවිච්ච තැන් වලින් බඩ වියත පිරෙනවා
ඇඹරිච්ච නණ එක්ක අතැගිලිත් රිදෙනවා
තැම්බිච්ච අව්වටත් දැන් වෙහෙස දැනෙනවා
ගැලවිච්ච තැන් වලින් බඩ වියත පිරෙනවා
ඇඹරිච්ච නණ එක්ක අතැගිලිත් රිදෙනවා
තැම්බිච්ච අව්වටත් දැන් වෙහෙස දැනෙනවා
බාටා කඩයක් ළඟ පියැස්සක ඉඩෙ නැවතිලා
බාධා වෙන්නට එපා,යන හඬ එයි කැරකිලා
කාට කාටත් බයාදුවෙ සිනහවක් දල්වලා
පාට පාටින් සපත්තුත්, කුඩ හදමි පේවිලා
හයි හීල්ස් දාපු කණ්ණඩිය කළුම කළු නෝනගේ
දෙයියොවත් දන්නෙ නැහැ කොච්චි පරදින සැර ඇගේ
හයිය හත්තිය තියෙන ලොකු උන්ගෙ පුරාජේරුව තොගේ
ඉරුණු ගැලවුන තැන් මැහැහුවත් බැහැ උන් හරි රගේ
ලයිට් බිල් වතුර බිල් අතර, කෙල්ල ගවුමක් ඉල්ලලා
ෆයිට් කර කර ඇඟිලි තුඩු යයි ඉතා වේගෙන් වෙව්ලලා
රයිට් කියමින් දිවුවා මතකයි ජීවිතේ දුර හති හළ හළා
බයිට් ඩිංගක රහ බලන්නත් බැරි තරම් හිත බරවෙලා
බාධා වෙන්නට එපා,යන හඬ එයි කැරකිලා
කාට කාටත් බයාදුවෙ සිනහවක් දල්වලා
පාට පාටින් සපත්තුත්, කුඩ හදමි පේවිලා
හයි හීල්ස් දාපු කණ්ණඩිය කළුම කළු නෝනගේ
දෙයියොවත් දන්නෙ නැහැ කොච්චි පරදින සැර ඇගේ
හයිය හත්තිය තියෙන ලොකු උන්ගෙ පුරාජේරුව තොගේ
ඉරුණු ගැලවුන තැන් මැහැහුවත් බැහැ උන් හරි රගේ
ලයිට් බිල් වතුර බිල් අතර, කෙල්ල ගවුමක් ඉල්ලලා
ෆයිට් කර කර ඇඟිලි තුඩු යයි ඉතා වේගෙන් වෙව්ලලා
රයිට් කියමින් දිවුවා මතකයි ජීවිතේ දුර හති හළ හළා
බයිට් ඩිංගක රහ බලන්නත් බැරි තරම් හිත බරවෙලා
ලෝක ධර්මය වගේ පාටින් තියෙන කුඩයක් ඉහළලා
සෝක වෙන අඩි නැති සෙරෙප්පුවෙ කඳුළු පිහිමින් හැඩකලා
කෝක කිවුවත් පැත්ත මාරුව තියෙන රටකම ගල්වෙලා
සෝමෙ අයියත් ඡන්දෙ ඉල්ලුව බාර් එක ළඟ රජවෙලා
සෝක වෙන අඩි නැති සෙරෙප්පුවෙ කඳුළු පිහිමින් හැඩකලා
කෝක කිවුවත් පැත්ත මාරුව තියෙන රටකම ගල්වෙලා
සෝමෙ අයියත් ඡන්දෙ ඉල්ලුව බාර් එක ළඟ රජවෙලා
Sunday, September 4, 2016
ඒ මහා බය අදටත් තියෙනවා.
හිතන්නත් බැරිම මොහොතෙදි
පාසැලේ කොටු දැලෙන් එබිලා
වෙරළු අහුරක් මෙමට පාලා
ආදරේ හැටි මේ වගේමයි
කිවුව ඇස් දෙක මැවෙනවා
බිදුණු වීදුරු කැබලි වාගේ
දස අතේ විසිරිච්ච සිතුවිලි
නුඹේ නොඉදුල් විකසිතව ගිය
හදවතේ හැටි අහනවා
එදා වාගෙම ආදරේ බර දැනෙනවා
හොරණ නගරෙට ඉහළ අහසේ
සරණ විහගුන් කෑගසනු ඇහුනේ
පරණ හැගුමන් අලුත් කර කර
අපේ පෙම යලි යලිත් ලිවුවේ
බිදෙන් බිද මීවිතට කිට්ටුව
හිස් කරද්දී පෙම් සිහින ඔක්කොම
දවා අළුවී දුම් කැරලි මැද
නුඹේ උවනත තමයි මැවුනේ
ඉකිගසන්නට උරහිසක් නැති දා
මගෙ කියන්නට ප්‍රේමයත් නැතිදා
පොරබදින හුස්මකත් දැල්වෙන
ආදරේ ගිනි තමයි තිබුණේ
අතීතයෙ හිල්වෙච්ච හදවත
හිතින් වහගෙන සයනයට වැද
දම්මියේ මම තාම බෝඩිමෙ
නුඹේ සිතුවම පාට කරනවා
නැතිවෙලා ගිය බැල්ම හොයනවා
ආදරේ හැටි මේ වගේමයි
කියන්ට එන්නට හිතෙනවා
සමාවෙන්නැයි නුඹ කියයි මට
මහා බය අදටත් තියෙනවා
පාසැලේ කොටු දැලෙන් එබිලා
වෙරළු අහුරක් මෙමට පාලා
ආදරේ හැටි මේ වගේමයි
කිවුව ඇස් දෙක මැවෙනවා
බිදුණු වීදුරු කැබලි වාගේ
දස අතේ විසිරිච්ච සිතුවිලි
නුඹේ නොඉදුල් විකසිතව ගිය
හදවතේ හැටි අහනවා
එදා වාගෙම ආදරේ බර දැනෙනවා
හොරණ නගරෙට ඉහළ අහසේ
සරණ විහගුන් කෑගසනු ඇහුනේ
පරණ හැගුමන් අලුත් කර කර
අපේ පෙම යලි යලිත් ලිවුවේ
බිදෙන් බිද මීවිතට කිට්ටුව
හිස් කරද්දී පෙම් සිහින ඔක්කොම
දවා අළුවී දුම් කැරලි මැද
නුඹේ උවනත තමයි මැවුනේ
ඉකිගසන්නට උරහිසක් නැති දා
මගෙ කියන්නට ප්‍රේමයත් නැතිදා
පොරබදින හුස්මකත් දැල්වෙන
ආදරේ ගිනි තමයි තිබුණේ
අතීතයෙ හිල්වෙච්ච හදවත
හිතින් වහගෙන සයනයට වැද
දම්මියේ මම තාම බෝඩිමෙ
නුඹේ සිතුවම පාට කරනවා
නැතිවෙලා ගිය බැල්ම හොයනවා
ආදරේ හැටි මේ වගේමයි
කියන්ට එන්නට හිතෙනවා
සමාවෙන්නැයි නුඹ කියයි මට
මහා බය අදටත් තියෙනවා
Thursday, July 28, 2016
ඕල්ඩ් ලයිෆ් එක
( හේතුව —අ පො ස (සා. පෙ. ) ප්‍රථිපල එනතුරු හොරණ පෞද්ගලික ඇගලූම් කර්මාන්ත ශාලාවක මාස කිහිපයක් වැඩ කිරීමේ දී මා ලබා ගත් ජීවිත කමටහන් සිහිවීමෙන් උපන් හැඟුමකි.)
ඔතා ගෙන බත් එකක් උස්සන්
හතාමාරට පාරටම දිවුවා
හිතාගන්නට බැරිම මොහොතක
කතා නැතිවම කතා කෙරුනා
බොසා එන්නේ උදේ දහයට
කොකා කන්නේ හරියටම අටටය
නවා හිස බිම බලා හෙමිහිට
ඇසේ තියනා කවිය වැටුණා
බාටැක් එකේ කෝකිලා
හාවෙක් වගේ අත් උස්සලා
කාටත් හිනා ඛෙද ඛෙද වෙන්කලා
පෑහුනත් නැති වුනත්
හා කියා හිස සන් කලා
ඇගේ එල්ලෙන ජිප්සි ජෝඩුව
කම්මුලට හාදුව මුසු කලා
රඟේ දම දම එහෙම මොහොතක
ඇසේ තියෙනා කවිය වැටුණා
කංස මැෂිමට කකුළ දිඟ නැහැ
ඒකෙ වැඩ ගැන දන්නෙ දෙන්නයි
හංස ගමනින් ලයින් එක මැද
බොස්ගෙ පුතු එයි සුදුම මුහුණයි
කෙල්ලො දෑතින් රෙද්ද අල්ලන්
පපුව ඇතුලෙන් සද්ද කර කර
හිතෙන් එක එක කතා ගොත ගොත
බොස්ගෙ පුතුටම ලෝබ එමටයි
මැෂින් එක යට දෑත් උස්සන්
වැටුණු කවි වල අකුරු බොහොමයි
එක්කෙනෙක් පොඩ්ඩක් ලෙඩ වුනොත්
පේලියක් හිර වෙනව එක්ස්ප්‍රස්
මල්ලිකා මිස් කියන්නේ සුපවයිසර්
හැම වෙලේටම කට පුරා
ටාගට්...ටාගට්..ටාගට්...
තුන් සුත්‍රය වගේ තුන්වරුවම
තුසිතා මිස් කියන්නෙම
"කෙල්ලනේ අත ඉක්මන්ම කරපන් "
බැරිවෙලා හරි වුනෝතින් ඩැමේජ්
එදා දවසම හදවතත් ඇම්බියුලන්ස්
සයිරන් හඬක් පිට කර කරම
ඇස් වලින් වුනත් විසික් වෙයි
මාකටින් නෝනගෙන් මිසයිල
"ඕඩරේ හඳිසියි
ඕවර් ටයිම් ඉන්න වෙයි
චෙකින් එක ෆයිනල් බලන්නට
කෝ එන්න කටින් එකෙ අය "
කෑ ගහන්නේ බොස්ගෙ නෝනා
රෑ කියන්නෙත් දහවල වෙලා
දෑගිලිත් වෙහෙසට කොරවෙලා
කිරිත් නැති කිරි තේ හිරවෙලා
කෙල්ලො ටික ඕඩරේකට යටවෙලා
කවියකට එල්ලපු අකුරු යට කිමිදිලා
යෞවනය උන් රහසින්ම ගොලූ කලා
ජීවිතය ගැන මොනවද මුමුණලා
කවි කතා නොකියම ඉගිලූණා
ඔතා ගෙන බත් එකක් උස්සන්
හතාමාරට පාරටම දිවුවා
හිතාගන්නට බැරිම මොහොතක
කතා නැතිවම කතා කෙරුනා
බොසා එන්නේ උදේ දහයට
කොකා කන්නේ හරියටම අටටය
නවා හිස බිම බලා හෙමිහිට
ඇසේ තියනා කවිය වැටුණා
බාටැක් එකේ කෝකිලා
හාවෙක් වගේ අත් උස්සලා
කාටත් හිනා ඛෙද ඛෙද වෙන්කලා
පෑහුනත් නැති වුනත්
හා කියා හිස සන් කලා
ඇගේ එල්ලෙන ජිප්සි ජෝඩුව
කම්මුලට හාදුව මුසු කලා
රඟේ දම දම එහෙම මොහොතක
ඇසේ තියෙනා කවිය වැටුණා
කංස මැෂිමට කකුළ දිඟ නැහැ
ඒකෙ වැඩ ගැන දන්නෙ දෙන්නයි
හංස ගමනින් ලයින් එක මැද
බොස්ගෙ පුතු එයි සුදුම මුහුණයි
කෙල්ලො දෑතින් රෙද්ද අල්ලන්
පපුව ඇතුලෙන් සද්ද කර කර
හිතෙන් එක එක කතා ගොත ගොත
බොස්ගෙ පුතුටම ලෝබ එමටයි
මැෂින් එක යට දෑත් උස්සන්
වැටුණු කවි වල අකුරු බොහොමයි
එක්කෙනෙක් පොඩ්ඩක් ලෙඩ වුනොත්
පේලියක් හිර වෙනව එක්ස්ප්‍රස්
මල්ලිකා මිස් කියන්නේ සුපවයිසර්
හැම වෙලේටම කට පුරා
ටාගට්...ටාගට්..ටාගට්...
තුන් සුත්‍රය වගේ තුන්වරුවම
තුසිතා මිස් කියන්නෙම
"කෙල්ලනේ අත ඉක්මන්ම කරපන් "
බැරිවෙලා හරි වුනෝතින් ඩැමේජ්
එදා දවසම හදවතත් ඇම්බියුලන්ස්
සයිරන් හඬක් පිට කර කරම
ඇස් වලින් වුනත් විසික් වෙයි
මාකටින් නෝනගෙන් මිසයිල
"ඕඩරේ හඳිසියි
ඕවර් ටයිම් ඉන්න වෙයි
චෙකින් එක ෆයිනල් බලන්නට
කෝ එන්න කටින් එකෙ අය "
කෑ ගහන්නේ බොස්ගෙ නෝනා
රෑ කියන්නෙත් දහවල වෙලා
දෑගිලිත් වෙහෙසට කොරවෙලා
කිරිත් නැති කිරි තේ හිරවෙලා
කෙල්ලො ටික ඕඩරේකට යටවෙලා
කවියකට එල්ලපු අකුරු යට කිමිදිලා
යෞවනය උන් රහසින්ම ගොලූ කලා
ජීවිතය ගැන මොනවද මුමුණලා
කවි කතා නොකියම ඉගිලූණා
Saturday, July 23, 2016
ජීවිතේ ඉතින් සොඳුරු වෙද
දකුණින් දැකුම්කළු මුහුදය
ගුවනින් ගුවන් කරණම්ය
හදවතින් ලංසු තැබූ සිතුවිලිය
දෙපයින් ලේ ගලන ගමනක
බඩ ගගා ඇවිදින මරණයකි
ජීවිතේ ඉතින් සොඳුරු වෙද ?
ජංගමය මිතුරු සුමිතුරෙකි
කඳුළු අහුලන හිතවතෙකි
අලුතින් කැකෑරෙන පෑරුමකි
අම්මා නගන හඬ දරු ස්නේහයකි
අත් හරින්නට බැරි බැඳීමකි
ජීවිතේ ඉතින් සොඳුරු වේවිද ?
බඩු මිල දිය සුළියකිය
වේතනය පෙන බුබුළකිය
කටවල් ගණන හතකිය
අත් දොලොසක් නැතිමය
දෙවියන් නොවූ අරුමෙකි
හුස්ම අල්ලන නිලයකි
ජීවිතේ සොඳුරු වේවිද පැනයකි
ගුවනින් ගුවන් කරණම්ය
හදවතින් ලංසු තැබූ සිතුවිලිය
දෙපයින් ලේ ගලන ගමනක
බඩ ගගා ඇවිදින මරණයකි
ජීවිතේ ඉතින් සොඳුරු වෙද ?
ජංගමය මිතුරු සුමිතුරෙකි
කඳුළු අහුලන හිතවතෙකි
අලුතින් කැකෑරෙන පෑරුමකි
අම්මා නගන හඬ දරු ස්නේහයකි
අත් හරින්නට බැරි බැඳීමකි
ජීවිතේ ඉතින් සොඳුරු වේවිද ?
බඩු මිල දිය සුළියකිය
වේතනය පෙන බුබුළකිය
කටවල් ගණන හතකිය
අත් දොලොසක් නැතිමය
දෙවියන් නොවූ අරුමෙකි
හුස්ම අල්ලන නිලයකි
ජීවිතේ සොඳුරු වේවිද පැනයකි
Monday, June 20, 2016
තම සැමියාට බයිපාස් සැත්කමක් කරන්න වුනු හදවත් වෛද්‍යවරිය මොහොතකට
පිරිමි පපුවක අලුත් උණුසුම
වින්ද සුන්දර සවස් යාමෙක
කිති කැවෙන ඝන ලෝම අස්සෙන්
ඇඟිලි තුඩු මං යැවුවෙ තිස්සේ
එහෙම මොහොතක ඇස් වසාගෙන
නුඹත් වින්දා හිතින් සුවසේ
ඔහොම දවසක් දෙකක් නොව
සිය ගණන් අපි ගෙවී ගිය විට
මෙහෙම දවසක් කොහොම ආවද?
පුංචි දහදිය බිංදු ඇවිදින්
මගේ කම්මුල සිඹින විටකදි
නුඹේ පපුමත තියා හෙමිහිට
මගේ හිස පිරිමැද්ද මිහිරෙන්
අවදි වී මං අරන් කතුරක්
කොහොම ඔය පපුවට තියන්නද?
එදා මා දෙස විහිළු කියමින්
හාදු වැසි මට නිතර දුන් නුඹෙ දොතොළ පියවී තියෙන විට මං
දරාගන්නේ කොහොම හිමියනි
එකම වදනක් කියනවානම්
හිතේ බර මගෙ ටිකක් අඩුවෙයි
මාව දැනුනත් නොදැනුනා සේ
ඔහොම ඉන්නට ඔබට හැකිමද ?
කොළම කොළ පාට තිර රෙදි
නුඹ ආස කළ පාට කොළමයි
අතින් ඇද ඇස්වලින් කඳුළු පොඩි
දුර ගමන් මගෙ කොපුල් මැද්දෙන්
ලයිට් එළියට කිසිත් නොකියම
දෑස් යුග ඔබ තදින් පියවා
ඉන්න විට කටු ඇණෙන හදවත
නුඹෙ නොවෙයි මගෙ දන්නවද ?
හදවතට හදවතක් දෙන්නට
තිබුණ නම් මම නොයමි පස්සට
පපුව මැද්දෙන් දෙකට පැලුවම
නහර අස්සෙත් ආදරය කඳු කඳු
තියෙන විට අහකටම පෙරලා
කොහොම අල්ලන් සීරුවට
තවත් ගැටයක් දමන්නද අද?
Thursday, June 9, 2016
මතක දැවිල්ලයි - පැණි රහයි
නාවල වුනත් තැන
නාගන්නවත් ඉඩ නැති
නාකි ඇන්ටිගෙ ගෙදර
නම් හද හදා ඇන්ටිටම බැනපු
නම ගිය නඟරවල ගම කියපු
නැහැදිච්ච වැනි හැදිච්චම කෙල්ලන්
නැමි නැමී හිනාවුන දවස් තිබුණා එකල
නාගන්නවත් ඉඩ නැති
නාකි ඇන්ටිගෙ ගෙදර
නම් හද හදා ඇන්ටිටම බැනපු
නම ගිය නඟරවල ගම කියපු
නැහැදිච්ච වැනි හැදිච්චම කෙල්ලන්
නැමි නැමී හිනාවුන දවස් තිබුණා එකල
කාමරේ තුන් දෙනයි
මාසෙකට තුන්දහයි
තුන් වරක් තුන එක වරයි
ඇන්ටිටම තුප්පහි වචන
මාසෙ මුල සතියෙම රහසින් බෙදන
නැමි නැමී හිනාවුන දවස් තිබුණා එකල
මාසෙකට තුන්දහයි
තුන් වරක් තුන එක වරයි
ඇන්ටිටම තුප්පහි වචන
මාසෙ මුල සතියෙම රහසින් බෙදන
නැමි නැමී හිනාවුන දවස් තිබුණා එකල
කැඩුණු සිංහල විහිළු දොඩවන
දමිල අයියගෙ අලුත් එලවලු
සුප් එකට විතරක් ජාති
කළු අතින් සුදු අතට මාරුවෙන
ගාන රුපියල් විස්සයි
ගෑණු වුන පලියට ඒ දවස එහෙමයි
නැමි නැමී කඳුළු වක්කරන
දමිල අයියගෙ අලුත් එලවලු
සුප් එකට විතරක් ජාති
කළු අතින් සුදු අතට මාරුවෙන
ගාන රුපියල් විස්සයි
ගෑණු වුන පලියට ඒ දවස එහෙමයි
නැමි නැමී කඳුළු වක්කරන
භූමිතෙල් මොනතරම් සුවඳද
භූමියක් නැති උන් වුනේ මොකටැයි
බීඩියක් උරන එකෙක්වත් නොහිටියැයි
බන්ටියත් සැලුන් විස්තර පවසයි
භූමිතෙල් ලිපෙන් අලුත් බත් ඇට ලස්සනයි
භූමියක් නැති උන් වුනේ මොකටැයි
බීඩියක් උරන එකෙක්වත් නොහිටියැයි
බන්ටියත් සැලුන් විස්තර පවසයි
භූමිතෙල් ලිපෙන් අලුත් බත් ඇට ලස්සනයි
ප්ලේන්ටියවත් නැති මාසෙ අන්තිම දවස්
හාංකවිසියක්වත් නොදන්නා බව දැන දැන
රඟපාන රඟමඩල ජීවිතය උලුප්පන
"ලයිට් බිල හරි සැරයි දැන් නිදාගන්නකො ළමයි"
අල්ලපු වැටෙන් ආටානාටියයි, රතිඤ්ඤයි
සැර බීම බිපු උන් වගේ කෙල්ලන් නිදයි
නැමි නැමී හිනාවුන දවස්වල තිබුණ දේවල් ඔහොමයි
හාංකවිසියක්වත් නොදන්නා බව දැන දැන
රඟපාන රඟමඩල ජීවිතය උලුප්පන
"ලයිට් බිල හරි සැරයි දැන් නිදාගන්නකො ළමයි"
අල්ලපු වැටෙන් ආටානාටියයි, රතිඤ්ඤයි
සැර බීම බිපු උන් වගේ කෙල්ලන් නිදයි
නැමි නැමී හිනාවුන දවස්වල තිබුණ දේවල් ඔහොමයි
බස් එකට රුපියල් පහක් මොකටද
හිස් වෙච්ච පොකට්වල ලස්සන විතරමද
ඇස් අස්සෙ හංග ගත් කවි පොකුරු
උස් සිනාහඩ මව මවා පයින් යන දවස්වල
කඩාගත්තා නම් එකමෙක මලක්වත්
මේ වගේ පිපේවිද කවි වෙලා අද
කුණු ඇල දිගේ දික් අතට කැම්පස් කුලුණුවල
රතු අකුරු පාන්දර ඔච්චමම දුන්නෙත් අපිට
හිස් වෙච්ච පොකට්වල ලස්සන විතරමද
ඇස් අස්සෙ හංග ගත් කවි පොකුරු
උස් සිනාහඩ මව මවා පයින් යන දවස්වල
කඩාගත්තා නම් එකමෙක මලක්වත්
මේ වගේ පිපේවිද කවි වෙලා අද
කුණු ඇල දිගේ දික් අතට කැම්පස් කුලුණුවල
රතු අකුරු පාන්දර ඔච්චමම දුන්නෙත් අපිට
පඩි දාට තඩි ටෝක් එක්කලා
තෝසෙ, සම්බල්, කරි ජාති පිරිලා
වටකරන් එක මේසෙ ඉඟි බිගිය පාමින්
බෝඩිමේ බෝඩරෙන් ඇන්ටිගේ පුතාටම
වීසි කර කර මායමින් මායමට හැට හතර වැඩිකර
ජීවිතේ අමුණාපු තැන්වලින් හිරවෙච්ච
මතක එනවා උගුරට දැවිල්ලට පැණි රහට
තෝසෙ, සම්බල්, කරි ජාති පිරිලා
වටකරන් එක මේසෙ ඉඟි බිගිය පාමින්
බෝඩිමේ බෝඩරෙන් ඇන්ටිගේ පුතාටම
වීසි කර කර මායමින් මායමට හැට හතර වැඩිකර
ජීවිතේ අමුණාපු තැන්වලින් හිරවෙච්ච
මතක එනවා උගුරට දැවිල්ලට පැණි රහට
Friday, May 13, 2016
ලිමසෝල්
මුහුද කවදත් වඩාගෙන
උණුසුමෙන් හාදු දෙන
නඟරයක් ලිමසෝල්
උණුසුමෙන් හාදු දෙන
නඟරයක් ලිමසෝල්
වෙරළ කෙහෙරැලි විසිරන
සළෙලු සුළගක් මඟ රකින
අලුත් පෙම්බරු කැන්දා එන
ලිමසෝල් තියෙන්නෙම අනුරාගයක්,
සළෙලු සුළගක් මඟ රකින
අලුත් පෙම්බරු කැන්දා එන
ලිමසෝල් තියෙන්නෙම අනුරාගයක්,
නැංගුරම් ලූ නෞකා කෙවිලියන්
නානා ගීත කියමින් බැලේ රඟනා
හැඩ කෝපි බඳුන් අතැඟිලි බැදෙන
ලිමසෝල් කියන්නෙම ප්‍රේමයක්
අතැර යන අය ආයෙ ආයෙත් එන
මතක විතරක් මේ බලන්නකො කියන
නානා ගීත කියමින් බැලේ රඟනා
හැඩ කෝපි බඳුන් අතැඟිලි බැදෙන
ලිමසෝල් කියන්නෙම ප්‍රේමයක්
අතැර යන අය ආයෙ ආයෙත් එන
මතක විතරක් මේ බලන්නකො කියන
Wednesday, March 2, 2016
යශෝදරා ඔබ නොදනී
"කැලේ තියෙන කොයි දේවත් රස වේවා"
යශෝදරා ඔබ කීවත් සුසුම් දරා
වැලේ පල බරව උහුලනු නොහැකි පෙමා
හැපේ ලඳුන් මිහිබට දුක් හොඳට උරා
යශෝදරා ඔබ කීවත් සුසුම් දරා
වැලේ පල බරව උහුලනු නොහැකි පෙමා
හැපේ ලඳුන් මිහිබට දුක් හොඳට උරා
සඳේ සොමි කැළුම් විහිදෙන රැස්මාලා
ඔබේ සැමිය වෙත පුදනා හැටි ඇහුණා
හිතේ ගින්න ඇවිලෙන යුරු යශෝදරා
දුටිද ඔබත් බැල මෙහෙවර දුක කොහොමා
ඔබේ සැමිය වෙත පුදනා හැටි ඇහුණා
හිතේ ගින්න ඇවිලෙන යුරු යශෝදරා
දුටිද ඔබත් බැල මෙහෙවර දුක කොහොමා
ගව්වෙන් ගව්ව දිව මාළිඟ කුමට පතා
වියතින් වියත ලන්ඳූ ඇත හිසත් වසා
අල්ලෙන් අල්ල පුරවයි උන් ඇඟිටි කියා
ඇසඟින් පනින කඳුළැල් නොමැත නිමා
වියතින් වියත ලන්ඳූ ඇත හිසත් වසා
අල්ලෙන් අල්ල පුරවයි උන් ඇඟිටි කියා
ඇසඟින් පනින කඳුළැල් නොමැත නිමා
සිල්වත් සුවඳ ,රහමෙර ළඟ දණින් වැටී
වල්මත් හැඟුම් මැද සැමියන් ඔටුණු ගනී
ගුණවත් කමින් පිරිපුන් සොඳ ගැහැණු සොයා
පොත්පත් වලින් උන් දොඩවති සිහින මවා
වල්මත් හැඟුම් මැද සැමියන් ඔටුණු ගනී
ගුණවත් කමින් පිරිපුන් සොඳ ගැහැණු සොයා
පොත්පත් වලින් උන් දොඩවති සිහින මවා
කාරණාව බුදු වෙනවා ලකුණු නැතී
පාරවනා හද ගින්දර උන්ම දනී
ජීවිතේම බැල මෙහෙවර මැදින් ගෙවී
වාලුකාවෙ ඇත ගැහැණුන් ඔබ නොදනී
පාරවනා හද ගින්දර උන්ම දනී
ජීවිතේම බැල මෙහෙවර මැදින් ගෙවී
වාලුකාවෙ ඇත ගැහැණුන් ඔබ නොදනී
Saturday, February 20, 2016
කතාවක් - කවියක් වගේ
අභිෂේක්ගෙ හිනාවට ආස කරන මං
බොළඳියක් කියල කිවුව ඇසලයියා
දන්න නොදන්න කතා ගොඩාක්
පපුව මැද්දෙන් කන්දක් වගේ ඉස්සිලා කියල
පෙන්වන්න හදනකොට
"අද බිසි හෙට යමු" කියන
sms පණිවිඩය සංගීතය නැගුව
බොළඳියක් කියල කිවුව ඇසලයියා
දන්න නොදන්න කතා ගොඩාක්
පපුව මැද්දෙන් කන්දක් වගේ ඉස්සිලා කියල
පෙන්වන්න හදනකොට
"අද බිසි හෙට යමු" කියන
sms පණිවිඩය සංගීතය නැගුව
ආඳ දොළ කියන්නෙ ආඳෙ ඉන්න හින්ද
විතරක් නෙමෙයි
හීතල නිල් කැටේට වතුර ටික දැක්කම
කුමරුන් පැන්න ගලෙන් පැන්න වගේ
සංතෝසයක් මට දැනෙන්නෙ
ක්ලෝරීන් වතුර මල යට ගැට ගැහිච්ච
කෙස් ගුලි පේනකොට
" මේ මං පැතුව ජිවිතේද ඇසලයියෙ, "
විතරක් නෙමෙයි
හීතල නිල් කැටේට වතුර ටික දැක්කම
කුමරුන් පැන්න ගලෙන් පැන්න වගේ
සංතෝසයක් මට දැනෙන්නෙ
ක්ලෝරීන් වතුර මල යට ගැට ගැහිච්ච
කෙස් ගුලි පේනකොට
" මේ මං පැතුව ජිවිතේද ඇසලයියෙ, "
ඕලු නෙළුම් මානෙල් කුමුදු
අත වනල අඬගහන හැටි පේන්නෙ
එකම පෝච්චිය අස් කර කර පුරවන
කඩෙන් ගේන මල් මිටිය දැක්කම
වැවේ මල් මං නැතුව දුකෙන් ඇති කියල
ඔයාට කියන්න හිතද්දි
"හෙටත් ඔෆිස් ධරණී" කියද්දි
"මේ මං පැතුව ජීවිතේද ඇසලයියෙ"
අත වනල අඬගහන හැටි පේන්නෙ
එකම පෝච්චිය අස් කර කර පුරවන
කඩෙන් ගේන මල් මිටිය දැක්කම
වැවේ මල් මං නැතුව දුකෙන් ඇති කියල
ඔයාට කියන්න හිතද්දි
"හෙටත් ඔෆිස් ධරණී" කියද්දි
"මේ මං පැතුව ජීවිතේද ඇසලයියෙ"
ලේනෙක් කාපු අඹ කොටයක්
ඉත්තෑවෙක් හළල ගිය ඉත්තැ කූරක්
වදුරෙක් කාපු වරකා ගෙඩියක්
හිතෙන් අත ගගා සුවඳ අල්ල අල්ල
ඔයා ගේන පෙයාර්ස් ඇපල් ගෙඩි අතර
මං පැද්දෙන්නෙ
" මේ මං පැතුව ජිවිතේ ද ඇසලයියෙ "
ඉත්තෑවෙක් හළල ගිය ඉත්තැ කූරක්
වදුරෙක් කාපු වරකා ගෙඩියක්
හිතෙන් අත ගගා සුවඳ අල්ල අල්ල
ඔයා ගේන පෙයාර්ස් ඇපල් ගෙඩි අතර
මං පැද්දෙන්නෙ
" මේ මං පැතුව ජිවිතේ ද ඇසලයියෙ "
අන්නාසි පිත්තක් උල්පතකට තියල
කොළපතකටම ඉරිච්ච පස්ස පැත්තක්
දණක් ඉපනැලි හැපි හැපි එල්ලෙ ගහන
අයියගෙ කොට කලිසමක් ඇදන්
පිඳුරු ගොඩේ බඩ පිනුම් ගගහ සර්කස්
සංදර්ශන කියා දඟලපු මං
ඔයාගෙ ළඟින් ඇවිදින්නෙ
ලයිට් එලි මැද දිලිසෙන විනෝද උද්‍යනයෙදි
හදවත අහන්නෙම
"මේ මං පැතුව ජීවිතේම ද ඇසලයියෙ "
කොළපතකටම ඉරිච්ච පස්ස පැත්තක්
දණක් ඉපනැලි හැපි හැපි එල්ලෙ ගහන
අයියගෙ කොට කලිසමක් ඇදන්
පිඳුරු ගොඩේ බඩ පිනුම් ගගහ සර්කස්
සංදර්ශන කියා දඟලපු මං
ඔයාගෙ ළඟින් ඇවිදින්නෙ
ලයිට් එලි මැද දිලිසෙන විනෝද උද්‍යනයෙදි
හදවත අහන්නෙම
"මේ මං පැතුව ජීවිතේම ද ඇසලයියෙ "
" අපේ ළමයි මං ගිය ඉස්කෝලොටම දාගන්න
ඔයත් පදිංචිය මෙහෙටම ගේන්න" කියල
ඔයා කිවුව දවසෙ මං මගෙ පාසැල ගාව
ලොකු කඳුළක් තියල ආවෙ "මං වගේ කෙනෙක්
ඔයාට දුන්නෙ මේ දුප්පත් ඉස්කෝලෙන් "
කියල හිත හිතම තනියමම
හීන කඳු ගොඩ ගැහෙන්නෙ මේ පපුවෙ ඇසලයියෙ
ඔයාට කියාගන්න බැරි, අභිෂේක්ගෙ හිනාවට
වශීවෙච්ච කෙල්ල හූල්ලන්නෙ තාමත්
"මේ මං පැතුව ජිවිතේ ද ඇසලයියෙ "
ඔයත් පදිංචිය මෙහෙටම ගේන්න" කියල
ඔයා කිවුව දවසෙ මං මගෙ පාසැල ගාව
ලොකු කඳුළක් තියල ආවෙ "මං වගේ කෙනෙක්
ඔයාට දුන්නෙ මේ දුප්පත් ඉස්කෝලෙන් "
කියල හිත හිතම තනියමම
හීන කඳු ගොඩ ගැහෙන්නෙ මේ පපුවෙ ඇසලයියෙ
ඔයාට කියාගන්න බැරි, අභිෂේක්ගෙ හිනාවට
වශීවෙච්ච කෙල්ල හූල්ලන්නෙ තාමත්
"මේ මං පැතුව ජිවිතේ ද ඇසලයියෙ "
ජීවිතේ කියන්නෙ,
මැක්ඩොනල්ඩ්, පාර්ටි, ඩිනර් ඩාන්ස්
හිප් හොප්, මැජෙස්ටික් සිටි නෙමෙයි
කවි කතා කියන ගහ කොළට
ගී සිංදු ගයන කුරුළු කෙවිලියන්ට
ඇස් වහගෙන හුස්ම පුදන මඳ නලට
අව්ව, වැස්ස එක්ක රන්ඩු කරන
ගල් වැලි පස් එක්ක යටි පතුල පෙම් කරන
සුන්දරම හීන පිරුණ ලෝකයක්
විතරමයි මං පැතුවෙ ඇසලයියෙ.
මැක්ඩොනල්ඩ්, පාර්ටි, ඩිනර් ඩාන්ස්
හිප් හොප්, මැජෙස්ටික් සිටි නෙමෙයි
කවි කතා කියන ගහ කොළට
ගී සිංදු ගයන කුරුළු කෙවිලියන්ට
ඇස් වහගෙන හුස්ම පුදන මඳ නලට
අව්ව, වැස්ස එක්ක රන්ඩු කරන
ගල් වැලි පස් එක්ක යටි පතුල පෙම් කරන
සුන්දරම හීන පිරුණ ලෝකයක්
විතරමයි මං පැතුවෙ ඇසලයියෙ.
Tuesday, January 26, 2016
අපේ ඒ මහා කන්ඳට
පහළ සිට බැලූ කළ හිස නවාගෙන
මුහුණෙ කඳුළැලි හංගගෙන
නොයා බැරි හන්දා නම්
ගිහින් එන්නකො කිය කියා
අපේ ඒ මහ කන්ද මට
අත වනපු හැටි තවම මතකයි
මුහුණෙ කඳුළැලි හංගගෙන
නොයා බැරි හන්දා නම්
ගිහින් එන්නකො කිය කියා
අපේ ඒ මහ කන්ද මට
අත වනපු හැටි තවම මතකයි
පුහුලන් පුරවගෙන හිටි කජු ගහේ අතු
එක පොඳියෙ එකටම තුරුළු වීගෙන
අදින් පසු කවුරුන්ද දුක සැප අහන්නේ
මහා ශබ්දය පිට කරන් ඉකියකින්
සමු දුන්නෙ මටම විතරද ?
එක පොඳියෙ එකටම තුරුළු වීගෙන
අදින් පසු කවුරුන්ද දුක සැප අහන්නේ
මහා ශබ්දය පිට කරන් ඉකියකින්
සමු දුන්නෙ මටම විතරද ?
කැන්ද ගහ තරහක් නැතිවාම
හැලප කන්නට කියා කොළ
දරට කියමින් වියලි අතු ගන්න
ඔහුගෙ බඳ මම දෙපයින්ම පාග පාගා
තැලූවත් රැකවරණයෙන් මා බලා
ගත්ත හැටි අමතකම නැහැ අදත්
හැලප කන්නට කියා කොළ
දරට කියමින් වියලි අතු ගන්න
ඔහුගෙ බඳ මම දෙපයින්ම පාග පාගා
තැලූවත් රැකවරණයෙන් මා බලා
ගත්ත හැටි අමතකම නැහැ අදත්
බටදොඹ ගහේ ඇඹුල් පැණි රසට
ලොබ බැදන් කෙළ හැලූ
රඹුටන් ගහේ ලේනුන් අත නිකටෙ තියාගෙන
අාපහු එනව නේදැයි අසමින්
බලා හිටි හැටි අද වගෙම මතකයි
ලොබ බැදන් කෙළ හැලූ
රඹුටන් ගහේ ලේනුන් අත නිකටෙ තියාගෙන
අාපහු එනව නේදැයි අසමින්
බලා හිටි හැටි අද වගෙම මතකයි
මහා වැස්සට හෝදගෙන ගියත් මහ කන්ද
බොහෝ දුක් පීඩා පිස දැම්මා මගේ හිස මත
එදා වාගේ දණ නමා නුඹ කරට නඟින්නට
මෙදා පාරත් මම එනව දුක සැප අසන්නට
එතෙක් තරහක් නොගෙන පෙර ලෙසට
මගේ අම්මව බලාගනු මැන ආදරෙන් හොඳටම.
බොහෝ දුක් පීඩා පිස දැම්මා මගේ හිස මත
එදා වාගේ දණ නමා නුඹ කරට නඟින්නට
මෙදා පාරත් මම එනව දුක සැප අසන්නට
එතෙක් තරහක් නොගෙන පෙර ලෙසට
මගේ අම්මව බලාගනු මැන ආදරෙන් හොඳටම.
Thursday, January 21, 2016
ගඟක සැනසුම සයුරම ද ?
සියුම් ඉසියුම් තැනද දැනගෙන
රැවුම් ගෙරවුම් බැනුම් විදගෙන
නැවුම් සැනසුම් පැතුම් අරගෙන
හෙමින් ගලනව ගඟක් තතුදැන
රැවුම් ගෙරවුම් බැනුම් විදගෙන
නැවුම් සැනසුම් පැතුම් අරගෙන
හෙමින් ගලනව ගඟක් තතුදැන
පෙත්තො හඳයොද ලූලො කනයොද
කිඹුලො දිය නයි රවුම් සුලි මැද
පොල් පුවක් හල් ගෙඩි කරට බැඳ
ගඟක් යන්නේ දෙපස ඇස් මැද
කිඹුලො දිය නයි රවුම් සුලි මැද
පොල් පුවක් හල් ගෙඩි කරට බැඳ
ගඟක් යන්නේ දෙපස ඇස් මැද
සිහින් ඉඟරැලි සිඹින පාසිද
හෙමින් සිපගත් සුමුදු සුළඟද
හිතින් විඳගත් පැතුම් පොදි මැද
ගඟක සැනසුම සයුර විතරද ?
හෙමින් සිපගත් සුමුදු සුළඟද
හිතින් විඳගත් පැතුම් පොදි මැද
ගඟක සැනසුම සයුර විතරද ?
Friday, January 15, 2016
හැර නොයමි නුඹ මං නංගියේ
සසර බියකරු මංසන්ධියේ
අපල හිඟ නැහැ නංගියේ
විපුල මිණි කැට නැති පංගුවේ
උඩට පිපියන් උඹ ඔය දියේ
සත් රුවන් බුදුවරු ද පිටදෙන
කපුටු බෝගහ රැකවලේ
හිඹුටු මාදං කොහිල කටුවැල්
උඹට පෙම්වත් ගී ගයන්නේ
අපල හිඟ නැහැ නංගියේ
විපුල මිණි කැට නැති පංගුවේ
උඩට පිපියන් උඹ ඔය දියේ
සත් රුවන් බුදුවරු ද පිටදෙන
කපුටු බෝගහ රැකවලේ
හිඹුටු මාදං කොහිල කටුවැල්
උඹට පෙම්වත් ගී ගයන්නේ
ඇතින්නිය මහ බර අඳින
සිගිත්තිය මගෙ හදවතේ
කැහැටු තනයෙන් කිරිශිරා පෑදී
ලපටි මල්පෙති ඇස් අැරේ
දුක සැපට එක කවිය කියනා
බලවත්ම හදවත නුඹේ
සිගිත්තිය මගෙ හදවතේ
කැහැටු තනයෙන් කිරිශිරා පෑදී
ලපටි මල්පෙති ඇස් අැරේ
දුක සැපට එක කවිය කියනා
බලවත්ම හදවත නුඹේ
සිකිපිලින් සැරසුනු අංගනාවෝ
ඇස්වලින් පහරයි ලද සැණේ
පිලිවෙලින් උඹ ඔය වංගියේ
හැරවියන් නිසි ලෙසින් පන්තියේ
සිහිනයෙන් හෝ නුදුටු හිස්තැන්
අවදියෙන් ඇත මයෙ නංගියේ
ඇස්වලින් පහරයි ලද සැණේ
පිලිවෙලින් උඹ ඔය වංගියේ
හැරවියන් නිසි ලෙසින් පන්තියේ
සිහිනයෙන් හෝ නුදුටු හිස්තැන්
අවදියෙන් ඇත මයෙ නංගියේ
පෙර සමෙන් වැසුණු හැඟුමන් ලයේ
අර සමන් ගිර වගේ පැතුමන් නුඹේ
දුර නිවන් මඟ, අත්වැල මේ භවේ
හැර නොයමි නුඹ මං නංගියේ
අද මේ දැනුත් කළුවර ඇත සඳ වටේ
මද සිනා ඇති හෙට පිපෙයි කෙකටිය වැවේ
අර සමන් ගිර වගේ පැතුමන් නුඹේ
දුර නිවන් මඟ, අත්වැල මේ භවේ
හැර නොයමි නුඹ මං නංගියේ
අද මේ දැනුත් කළුවර ඇත සඳ වටේ
මද සිනා ඇති හෙට පිපෙයි කෙකටිය වැවේ
Wednesday, January 6, 2016
බැරියර් කැඩූ සයිබර් කවිය
රසය ආත්මය කොටගත් වැකිය කවිය යැයි භාරතයෙ විශ්වනාථ පඪිවරයා විසින් පවසා ඇත. රමණිය අර්ථ ප්‍ර තිපාදය කරන වචන කවි යැයිද පැවසූවේ භාරතිය ජගත්නාථ නම් පඩිවරයෙකි. ඉදින් කෙසේ හෝ හදවතේ උපන් හැගුමක් අනෙකාට වඩා වෙනස් ලෙස දකිමින් සුන්දරව එකතු කරන්නේ නම් එය තව අයෙකු හට විද ගැනීමට හැකිය. කවියෙකුගේ හිත පුරා පෙළ ගැසුණ අපුර්වතම හැගිමක් කමනීය බවෙහි එකතුවක් ලෙස සමාජය තුළට තිළිණ කරන්නේ මහත් බැතියකිනි.
එම කවෙහි රුව කවියාට කිව හැකි නම් කොතරම් දෙයක්දැයි රොබට් ෆ්‍රොස්ට් අසා සිටි. මන්ද යත් අන් අයෙකුට කවියෙහි මහා ආත්මය ස්පර්ශ කළ නොහැකි යැයි මෙහිදි ඔහු නොකියා කියන බැවිනි. සැබැවින්ම කවියක් තමාම විදිමෙන් මිස වෙන අන් කවර අයුරකින්වත් කවියෙහි රුව ගුණ කදම්බය ඥානනය කළ නොහැකිය. එහෙත් කවිය තුළ කවියාම විඳි රස සුවය සමාජයට දුන් පසු ඔහු කියවීමක් නොකරයි. ඒ අප්‍රමාණව , එය උපද්දැවීම තුළ කවියා එය විඳිමින්, සැනෙහෙමින්, සියළු රස නහර තුළට උරා ගෙන හමාර වූ පසු දායද කරන්නක් බැවිනි.
එසේ නම් එම කවිය අනෙකා දැකීම තුළ විවිධාකරී හැඟීම් සමඟින් නානාප්‍රකාර කෝණයක් තුළට හැරෙමින් දකින්නට හැකි අවස්ථා එමටය. එතනදී ද කවියා කරන්නේ නිහඩ බවේ ප්‍රතිපත්තියම දැරීම යැයි මගේ පුද්ගලික අදහසය. මන්ද යත් සමාජය තුළ විචාරකයෙක් යැයි කියා ගන්නා පුද්ගලයකු නිර්මාණය වන්නේ මේ හරහාමය.
සුසාධිත සාහිත්‍යයක් තුළ කවියට හිමිවන්නේ ප්‍රබලම ස්ථානයකි. එසේ වන්නේ එය මහා විශාල පොතක් කියවා ලබන තරමේ තෘප්තියක්, දැනුමක් එක කවියක් තුළ ගැබ් කර තබන්නට හැකි බැවිනි. කවියක අංග ලක්ෂණ කතා කිරීම මගේ අරමුණ නොවූවත් සඳස් හෝ නිසඳස් හෝ වේවා මේ තුළ ගලා යෑමේ යම් රිද්මයක් සහ සමාජයට මතුපිටින් කියනා දෙයට වඩා ගැඹුරු යථාර්තයක් පොවා තිබෙනවා නම් එය මුළු මහත් සමාජයක් වෙනස් කරලන්නට හැකි තත්වයකට වුවද පත්විය හැකිය. සෑම අවස්ථවකම කවියක් තුළ යටි පෙළ අරුත එසේ නොමැති නම් ව්‍යංගය තිබෙනා තරමට එම කවිය අලංකෘතය. සාධනීය ලෙස වින්දනයට නතු කරගත හැක.
කවියෙහි එදා සහ අද අතර බොහෝ වෙනස්කම් ඇත. අතීතයට හිස නමමින් අප වත්මනෙහි සිට අනාගතයකට පා තැබිය යුතුමය. එබැවින්ම අද කවිය දික් විජය කරන්නට සයිබර් ලෝකය තුල බොහෝ අයට හැකි වී ඇත. මේ ලියුම්කරුද සයිබරය තුලින් කවිය දිගේ දිගේලි වෙමින් අතු මුල් නාරටි හොයමින් සොය සොයා යන්නෙකි. මේ නූතන තාක්ෂණික මෙවලම් නිසා එදා බැරියර් දමා යම් යම් පිරිස් අතර පමණක් සීමා වෙමින් තිබු බොහෝ දේ කැමති පුද්ගලයකුට මනාප අයුරින් කළ එළි බසින්නට අවස්ථාව උදා විය. සයිබරය ගත් විට, ෆේස් බුක්හි වැඩිපුරම කවි, කවි පිළිබද විවිධ කණ්ඩාම් ඇත. එමෙන්ම තනි තනිව සහ කණ්ඩායම් විශයෙන් බ්ලොග් අවකාශය තුළද කවි පළ කිරීමට හැක. විවිධ වෙබ් අඩවි තුළද මෙසේ කවි සඳහා බොහෝ ඉඩකඩ ලබා දී ඇත.
මේ නිසාම මේ ලියුම්කරුද කලක් සිට සයිබර් කවිය පිළිබඳව බොහෝ තෘප්තිමත්ව සිටින්නියකි. ඒ කෙසේ වෙතත් ඕනෑම දෙයක හොඳ මෙන්ම නොහොඳත් අප්‍රමාණව ඇත. එය තිසිදු තර්කයකින් තොරව පිළිගත යුතු සත්යමයකි. මෙයටද එම ඉරණම නැතුවා නොව.
මාගේ අරමුණ එයකක් නොව. එදා පුවත් පතක කවියක් පළ කර ගැනීමට බොහෝ වෙර විරිය ගත යුතුව තිබුණි. එහෙත් අද පුවත්වලද පිටු පුරා වෙන් කරන්නේ කිසිදු පැකිලීමකින් තොරවමය. මින් හැඟෙන්නේ නව තාක්ෂනය එක්ක අපද යාවත්කාලීන වී ඇති බව නොවෙද.. සයිබර් අවකාශය තුළ අප්‍රමාණ ඉඩකඩ ගනිමින් එකිනෙකා තම විවිධ කුසලතාවයන් ඔප් නංවති. ගායන, වාදන, ඇදීම, ලිවීම මෙකී නොකී බොහෝ දක්ෂතාවයන් සඳහා මෙය තෝතැන්නක් වී ඇත.
ඉහතින් ඔබට මා කිවු කරුණට සමගාමීව මෙහිද කණගාටුවට කරුණ නම් පුවත් පතකට ෆිල්ටර් වී නිර්මාණයක් යද්දී සයිබරය තුළට කිසිදු පෙරහනයක් නොමැතිව පළ කිරිමට හැකිවීමය. මේ තුලින් යම් යම් හානිද සිදු නොවනවා කියා කියන්නට තරම් මාගේ හෘදය සාක්ෂිය පක්ෂපාතී නැත.
එසේ වුවද මේ අතර බොහෝ දේ තෝරා බේරා කට පුරා කවියෙක් කියා කියන්නට පුලුවන් දක්ෂයින් සිටීමත් අමතක නොකළ යුතුමය. ඒ සදහා ප්රයථමයෙන් මා උදාහරණ ලෙස පහතින් කවි කිහිපක් සටහන් තබා ඇත්තෙමි.
"අඹා සෙල් වඩුවන්ගෙ සිතැඟිය මගේ උකුලේ ගෙන ඉඩක්
කියා සාලිය මවා ලෝකෙට කියන මුත් මම වෙන එකෙක්
අශෝකා නුඹ මගේ කකුලට වගේ හිතටත් දෙන බරක්
සමාවෙනු මම එදා ඉඳලම ප්‍රේමයට අකමැති ගලක්..
පලා පෙති ඇඳ වැසූ සඳ කඩ පහන නිරුවත් ගැහැනියක්
හිනා වෙනවා දෙපස මුරගල් වෙලාවක හරි කෝලමක්
දෙපා දැවටෙන දූලි අතරේ කොහේ රකිමිද පතිවතක්
එදා මේ කරුමය නොවන්නට මාත් අද වැදගත් ගලක්..."
(සම්පත් කුරුප්පු ආරච්චි කවියාගේ " ගල් කල හිතක් " කවි පන්තියෙන් )
" වලාකුළු
කොයි තරම්
පෙරෙව්වත්
සළුව
සඳ කැමති
පෙන්නන්නම
හෙළුව !"
කැලුම් විජේවර්ධන කවියාගේ නිමැවුමකි.
"ඇස් දාහක හිවල් බැල්ම තද කරගෙන ඇස් දෙහෙකට
මනුස්සකම ආවෙ විමලෙ මස් ඉල්ලං පීරිසියට
මධුරාපුර ගිනි තියන්න හයියක් කෝ ගෑණු අපිට
තිබුණු භූමිතෙල් ඒකයි හලාගත්තෙ මං පපුවට "
"අග්නි පරික්ෂාවකට පසු "කවි පන්තියෙන් දිනේෂ් සිල්වා කිවිදුගේ..
ඉහත කවි තුලින් ඔබට යම් නිගමනයකට එන්නට පමණක් සරලව පෙන්නුවා පමණි. පත්තර පිටු මත ඉඩකඩ සීමිත නිසා තවත් උදාහරණ දෙන්නට තරම් අවස්ථාවක් නොමැති බව මා දනිමි.
මොවුන්ගේ සියළු නිර්මාණ කළ එළි බැස්සේ ෆේස් බුක් හරහාය. එසේ නැත්නම් ඩිජිටල් තිරය මතය. එහෙත් එදා මේ දෙය බහුතරයක් සාහිත්ය්කාරයින් යැයි කියා ගන්නා අය දුටුවේ පුස්සක් ලෙසය. එසේ නොමැති නම් යමෙක් කවි ලියනවා කිවු විට කොහේද කවි ලියන්නේ ෆේස් බුක් එකේද කියා අසා ඔවුන් දෙස සමාජ රෝගීන් දෙස බලනවා සේ බැලීමට ඔවුන් නොපැකිලි විය. තුඩ තුඩ දන අතර බැන බැන ගිය එවැනි සාහිතඥයන් ගැන අලුත් මෙවලම් හරහා බිහි වූ පරපුරට දුකක් ඇති වුවද ඔවුන්ගේ වෑයම ඔවුන් අත් නොහැරියහ. එය දිගටම කරගෙන ගියහ. මීට පසර හය හතකට ඉහතදී ෆේස් බුක් තුළ කවි ලියූ එවුන් දෙස පහත් මානසිකත්වයකින් බැලූ සිරිලක සාහිත විශේෂඥයෝ අද ඔවුන් ගැන වරුණා වනන්නට තරම් ඉදිරිපත්වන අවස්ථාද නැතුවා නොව.
කවිය නැමැති කුඹුර පුරන් වී ගොස් තිබුණ කලක ෆේස් බුක් හරහා එය වපුරන්නට ඇප කැප වූ කවියන්ට පින්සිදු වන්නට අද කවි කෙතට සතිපතා තරමට කවි පොත් එකතු වෙති. එමෙන්ම ඒවා ගන්නටද ෆේස් බුක් තුළින්ම කවි කියවන්නට ලෙංගතු වූ රසිකයින් සිටිති. මගේ සිතැඟිවලට දැනෙනා පරිදි අද ෆේස් බුක් තුළ කවි ලියන ඔවුන් හට කවි පොත අලෙවි කරගන්නට බාධාවක් ඇත කියා කන්කෙදිරිගාන අවස්ථා නම් බොහොම අල්පය. එය අපේ සාහිත්යට යේ සාධනීය ධනාත්මක වර්ධනයකි.
අද සමාජීයිය, සාහිත්යස, දේශපාලනීය සියල්ලෙහි පෙරලිකාර මූලිකත්වය මේ තාක්ෂණික මෙවලම හරහා සිදුවන බව දැන් බොහෝ දෙනා පිළිගෙන අවසන්ය. අතරින් පතර එකා දෙන්නා ගලක් ගැසුවද දැන් බොහෝ දෙනාගේ අත් එසවෙන්නේ අත්පුඩියක් ගසන්නටය.
එදා කී බෝඩ් වීරයින් කියා හංවඩු ගැසූ උන් අද සමාජය පුරා යමක් කළ හැකි චරිත වී හමාරය. එය පිළිගන්නට මැලි වුවද පිළිගත යුතුමය. අද අපේ ගී කෙත පිරෙන්නේද ෆේස් බුක් තුළින් බිහි වූ නිර්මාණ කරුවන්ගෙන්ය. ඒ දෙස බලා සිට ගල් මුල් ගසා අවසන අර සාහිතඥයන්ද මේ තුළට දැන් දැන් සිදුරු තුලින් එබෙන්නට පුරුදු වී ඇත. එදා ඔවුන් සිතා සිටියේ ගැලෙන් ගිය අපි හැමදාම ගැලෙන් යා යුතුම මිස කාර් එකෙන් යෑම නුගුණය කියාය. එහෙත් සමාජය පරිවර්තනය වෙන දියුණු රටාව හා සමගාමීව අපද හුවමාරු වී වෙනස් විය යුතුමය. එවිට අපට නෙලා ගත හැකි ඵලවැල බොහෝමය.
සටහන - දිනිති දීපිකා.
අපමණක් තුති #සිසිර තාත්තාට #ගයාන් #අබේසිංහ මල්ලීට සහ#රංජිත් #සමරකෝන් සොයුරාට
2015 10 29 ලක්බිම පුවත්පත
ඔන්ලයින් බලන්න පත්තරේ
Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...

