සයනයේ උඩුකුරුව
වැතිර හිඳිමි මං
ගලා එයි පිළිවෙලට
මගේ ගම සැරසෙනා'යුරු
මට අහිමි අවුරුද්දට
මා නැතිව "
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලම අවුරුද්ද ගැනම
බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුණ. හැමදාමත් අප්‍රෙල් 14 කියන්නෙ මගෙ පපුව පිහියක් අරගෙන හාර හාර එළියට දානව වගේ. ඒ වගේ අවුරුදු දවස් 11 ක්
එහෙම නැත්නම් 2004 අප්‍රෙල් 14 සිංහල අවුරුද්ද සැමරුවට පස්සෙ
අදටත් සිංහල අවුරුද්දක් සමරන්න වාසනාවක් මට නැතිවුනා. ඒත් මේ දැන් සිද්ද වෙනව වගේ අපේ ගෙදර අවුරුද්ද මගේ හිත මැද්දෙම තියෙනව. සමහර දාකට රෑට හිනෙනුත් පේනව වගේ. එහෙම ආත්මීයව බැදුන අපේ ගෙදර සිංහල අවුරුද්දයි මේ.
අප්‍රෙල් පළමුවැනිදා ලබනව කියන්නෙ අපේ ගෙදර මම අක්කා අයියා අපි කවුරුත් අකමැතිම දවසක්. එදා ඉදන් තමයි අපේ අම්මා සියල්ල පටන් ගන්නෙ. අප්‍රෙල් දෙවෙනිදට යෙදි තියෙන මගේ උපන් දිනය කවදාවත් සමරන්නෙ නැහැ. මගේ තියා අපේ ගෙදර කාගෙවත්. අපෙ අම්මා එදාටකරන්නෙත් බුද්ධ පුජාව තියල මල් පහන් පත්තු කරන්න පුරුදු කරපු එක. බත් මුලක් දෙකක් ඔතල හිඟන්නෙක්ට බෙදල එන්න කියල අපිව යවපු එක විතරයි. අම්මා හැමදාමත් කිවුවෙ උපන් දින සමරන්නෙ සුද්දො. උඹල ධර්මයෙන් ජිවිතය ඉගෙන ගනින් කියල. ඈ තදින් සිරිත් විරිත් ගරු කළ තැනැත්තියක්. අන්න ඒ නිසයි අපි අකමැති අප්‍රෙල් ලබනකොට.
ඉතින් ඔන්න අප්‍රෙල් 01 වෙනිදා ඉදන් පටන් ගන්නව අපෙ අම්මා දොඩන්න. වත්ත පිටිය සුද්ද කරපන්. කිය කියා. ඉතින් ගෙට බරවෙච්ච ගස් වල අත කපල පෑහල ඒව දරට අඩුක් කරන අරව මේව වැඩ තමයි මුල් දවස්වල තියෙන්නෙ. අපේ වත්තෙ වැටට ඒ දවස්වල එරබොදු සහමල්ලින්න කියන ඒව හිටවල තිබ්බෙ.
ඉතින් මේ වෙද්දි දේට පාර පිරෙන්නම රතුයි රෝසයි මල් වැටිල. ඒ මදිවට කොස් කොළ පිරිල, වැල වරකා හැමදාම ඉදිල වැටෙනව ගෙඩි තුන හතරක් වත්තෙ කොහේ හරි. අපේ ගෙදර මිදුල අතුගානව කියන්නෙ ඉතින් පැය දෙකක තුනක රාජකාරියක්. මිදුල අතුගාන කෙනා පාරත්
අතුගාන්න ඕනි. අද කොන්ක්‍රිට් කරල රිටක් වගේ කරල තිබ්බට එදා බොහොම ලස්සන පාරක් අපිට තිබුණ.
ඔන්න වත්ත පිටිය සුද්ද කරන වැඩ මුල් දවස් දෙක තුනේ ඉවර වුනහම ඊලගට අම්මා කියවන්න පටන් ගන්නෙ ගේ සුද්ද කරපල්ලා කියල. ගෙදර මකුළු දැල් කඩන්නත් ඕනි කැප්පෙට්ටියා කොළ වලින්. අපේ වතුවල ඉස්සර නිතර තිබුණ කැප්පෙනට්ටියා කොල. ඔය කැප්පෙට්ටියා
අතු ටිකක් දිග පොල්ලක ගැට ගහල ඕකෙන් මුළු ගෙයිම මකුළු දැල් කඩන්න ඕනි. ඔය මකුළු දැල් කඩනකොට රංකුඹල් ගෙවල් වලට එහෙම අනින්න බැහැ. ඒවයේ මැටි පොඩ්ඩක් එහෙම කැඩිල තිබුනොත් අම්මගෙන් හොද බැනුම්. ගෙවල් සුද්ද කරල හමාර වෙනකොට ඇද ඇතිරිලි , දොර රෙදි අරව මේව සියල්ල සුද්ද කරල නැවත දාන්න ඕනි.
ඒ වැඩ ඉවර වේගෙන එනකොට අම්මා කොත්තමල්ලි, සුදුරු, මාදුරු, මිරිස් අරව මේව හෝදල අව්වෙ දාල හරිගස්සල තියනව. ඒව මෝලට ගිහින් කොටන් ඇවිත් බෝතල්වලට අහුරන වැඩ මට තමයි පැවරෙන්නෙ. අක්කා අපි පොඩි දවස්වල ඉදන් හිටියෙ පිටරට නිසා. ඊට පස්සෙ ආයෙ
පටන් ගන්නව හාල් දියේ දාන්න. ඒ කියන්නෙ අම්මා කෑම හදන්න ලැහැස්තිය. ඒ එක්කම වත්තෙ කෙසෙල් කැනක් දෙකක් අනිවාර්යෙන්ම අයියා කපල වළකට දාල දුම් පිඹින්න ඕනි මේ වෙද්දි. මොකද එහෙම නොවුනොත් අවුරුදු දාට කෙසෙල් ලැහැස්ති වෙන්නැහැ.
අපේ අම්මා ගෙදරම තමා හාල් කොටල පිටි හදාගත්තෙ. ගල් වංගෙඩියක් නෙමෙයි අපිට අදටත් තියෙන්නෙ අවුරුදු හතලිහක් පනහක් පරණ ඒ ලී වංගෙඩියම තමා. අම්මා හාල් කිලෝ හතරක් පහක් තනියම කොටනව. අපිත් ආසාවට මෝල් ගස් ගහන්න පුරුදු වෙන්නෙ එතකොට. අම්ම
ඉතින් ආහ් කොටපන් කියල දිල බලන් ඉන්නව. අනිවාර්යෙන් අම්ම කොටන පිටි හළන්න සිද්ද වෙන්නෙ මට. කුල්ලට පත්තර පිටු දෙක තුනක් එළල ඒකෙ පෙනේරෙන් දෙපැත්තට පද්ද පද්ද හලන්න ඕනි.
ඔය වෙලාවට කොහේ හරි ඉදන් අපේ පූස කුරුමානම් අල්ලලා අතට පනිනව. එතකොට නම් අර හලපු පිටි කුල්ලම හබක්. අම්මගෙන් පූසටයි මටයි හොදට අහගන්න පුලුවන් එහෙම වෙලාවල් වලදි. ඔහොම පිටි ලැහැස්ති කරගත්තට පස්සෙ අම්මා කෑම හදන්න ලැහැස්තිවෙනව. හුගක් වෙලාවට මුලින්ම හදන්නෙ මුං කැවුම් තමා. ඔය වෙලාවල් වලට අම්මා තාච්චියට තෙල් දානකොට කාටවත් කතා කරන්න බැහැ. කතා කර කර තෙල් දැම්මම තෙල් වැඩියෙන් වැය වෙනව කියල තමා අම්මා කියන්නෙ. හදන පලවෙනි කැවුම ලිප්ගල උඩ තියා තියනව. ඒකට කෝදුරුවො අරුන් මුන් වහ වහ තියෙනව.
එතන ඉදන් එක කැවුමක් රස බලන්නවත් අපිට කන්න බැහැ. කෑවොත් අම්මගෙන් ලැබෙනව හොද තෙල් හැඳි පාරක්. මෙහෙම බදින බදින කැවුම් කොකිස් අම්මා මැටි මුට්ටිවල දාල පත්තර
පිටුවලින් කැට ගැට ගහල කුස්සියෙ අටුව වගේ එකෙන් තියන්නෙ. මේව හොරෙන් කන්නවත් බැහැ. ඒව අරින්නෙ අම්මා නැකතට කෑම මේසෙට තියන්න තමා. කැවිලි පෙවිලි හදල ඉවර වුනාම මට තියෙන අමාරුම රාජකාරියක් තමා රතුලූණු සුද්ද කරන්න සහ වක් පිහිය අරගෙන ගම වටේ ගිහින් හොද මුරුංගා පොත්තක් හොයන් එන එක. ඒ අපෙ අම්මා දාන අච්චාරු මුට්ටිය ලැහැස්තිවෙන්න. අච්චාරුවත් දාල කෙසෙල් කොලේකින් කට බැදල තියා තියනව.
ඊට පස්සෙ තමා ගෙදර කැන්ද ගස් දෙකක් අල්ලල ලොකු තේඩාවකින් බැන්ද ඔංචිල්ලාවට යන්නෙ . ඕකෙ ඩබල් නෙමෙයි ට්‍රිබල් ඉදන් දාල ගමේ ඉන්න අපි හැමෝම පදිනව. අපි එක එක්කෙනාගෙ ගෙයින් ගෙට ගිහින් හැමෝගෙම ඔංචිල්ලා පදිනව. ඔය අතරෙ අයියල කැට ගහනව.
අපිත් පොඩියට දෙක පහ ගහනව. රුපියලට දෙකට තමා. තව ගමේ කඩේ ගාව ලොකු කැට පොළක්. එතන ඉතින් බඩු වලට කැට ගහන්නෙ. අපි පොඩියට කැට ගහන තැන්වලින් දිනුවම ඒව අරගෙන ලොකුවට කැට ගහන තැනට යනව. එතන දහ අට කැටයකින් ගහන්නෙ. අඩු වැඩි අල්ලනව.. දිනයි පරදියි අල්ලනව. හම්මේ ඉතින් ඔය ඔක්කොම සෙල්ලම් නොනගතයට ලබනකම් විතරයි. නොනගතය ලබන්න කලින් ගෙදරට ඇවිත් කාල බිල අහවර වුනේ
නැත්නම් ආයෙ අවුරුදු නැකත ලබනකම්ම බඩගින්නෙ තමා. මොකද අම්මා කැම වළං හෝදල ලිපේ අළුත් අයින් කරල මැටි ගානව ලිපේ.
ඊට පස්සෙ සාලෙ මැද්දෙ කිරි උතුරවන්න ටකරන්න කෑල්ලකත් ලිපක් හදල හැමදේම ලංක කරල අම්ම වැඩ නවත්තනව. ඊට පස්සෙ අපිටවත් වැඩක් කරන්න බැහැ. අපේ අයිය කරන එකම වැඩේ උණ වෙඩි සහ රතිඤ්ඤා දදා ඉන්න එක.
ඊට පස්සෙ අම්ම එක්කම අපි හැමෝම පන්සල් ගිහින් ඒ වැඩ කරල ගෙදර ඇවිත් වැඩ ඇල්ලීමේ නැකතට ලැහැස්ති වෙනව. එතකොට ගෙදර හරිම බිසි. පැය එකහමාරක් වගේ ඇතුලත හාල් කිලෝ එකක විතර කිරිබත් මුට්ටියක් හදනව අම්මා. ඒ අතරෙ අපි කිරි උතුරවනව.
අම්මා කිරිබත් කපල කැලි කපල කෑම මෙසේ හදනව. පොල්තෙල් පහනක් තියනව. තව කෙසෙල් කොලේකට වෙනම හැම කෑම ජාතිම තියනව. ඒක පහනක් පත්තු කරල ගෙයින් එළියෙ තියෙනව. නැකතට අම්මා පිළිවෙලට වැඩිමහල් කෙනාගෙ ඉදන් කෑම කවනව. ගෙදර ඉන්න පූස, බල්ලව ඉදන් නිවැරදි දිශාවට හරවල අම්ම කිරිබත් ටිකක් කවනව. ඊට පස්සෙ අපිට ඇතිවෙන්න කන්න කියල අම්ම කිරිබත් පොඩ්ඩක් කටේ තියන් දුවනව වත්තට. ඒ ගිහින් උදැල්ලෙන් මොකක් හරි දෙයක කරනව. හුගක් වෙලාවට අම්මා පොල් පැලයක් හිටවනව.
ඒ හති දාගෙන දුවගෙන ඇවිත් අම්මා කළෙත් අරන් ළිඳට දුවනව. ඒ යන්නෙත් ඊට කලින් හදල තිබුණ රෙදි පොට්ටනියක් එහෙම අරගෙන ඊට අමතරව සුදු මල් ටිකක් අගුර කෑල්ලක් එහෙම ගෙනියනව. අර පොට්ටනියෙ සියළු කළමනා ( සුදුරු/ හාල්/ අරව මේවා සහ කාසියක් ) එක්ක ළිදට දානව. දාල වතුර කලේ පුරවගෙන ලිදට සුදු මල් ටිකයි අගුරු කෑල්ලයිත් දානව. ඊට අමතරව වෙනම බෝතලේකට ( බිදෙන ) වතුර එකක් ගේනව. ඒක අම්මා අවුරුද්දක් ගේ ඇතුලෙ තියාගෙන ආයෙ වීසි කරන්නෙ ඊලග පාර ගණුදෙනු කරන්න ලිඳට ගියහම. ඒකෙන් ගෙදර වියදම් පෙන්වනව
කියල තමා අම්මලගෙ විශ්වාසෙ.
ඔහොම වැඩ ඉවර වුනාම අම්මා කෑම පිගන් හදල අපිට දෙනව. අපි අහල පහල ගෙවල් වලට ඒව අරගෙන යනව. ඒවයෙ අයත් අපිට කෑම පිගන් අරන් එනව. ඔය ගෙවල් වලට ගියහම ඉන්න හැමෝටම පෙරලි පෙරලි වදින එක අනිවාර්යෙන් කරනව. ඒ මොනව හරි අවුරුද්දටලැබෙන හින්දා. ඊට පස්සෙ අම්මා ගණුදෙනු කරන්න ගමේ කඩේට සහබැංකුවට යනව. අපිට එතන ඉදන් ගම පුරා යන්න අවසර තියෙනව. ඕන දෙයක් කන්න බොන්න අවසර තියෙනව. අම්මා හැමවෙලේම වැඩිපුර උයල තියනව. කවුරුහරි එයි කියල. ඒ වගේම අර නැකතට උතුරපු කිරි මුට්ටියෙ ඉතිරි ටික නිවුනට පස්සෙ දෙහි ගහක් යටට දානව. වෙන තැන්වලට දාන්න හොද නැහැ කියල අම්ම කියන්නෙ.
ඊට පස්සෙ එන්නෙ තෙල් ගාන දවස. එදාටත් මගේ රාජකාරි තමා තියෙන්නෙ. අම්මා බෝතල් දෙකයි හිසට සහ පයට මොන කොළද කියල ලිත බලල කියනව. මං බයිසිකලෙත් අරන් පන්සලට යනව. ඒ පන්සල් යනකොට අම්මා වෙනම මලු දෙකකට ගෙදර හදපු කැවිලි ජාති
දාල දෙන්නෙ. පොඩි හාමුදුරුවො අපේ දහම්පාසලේ යාලුවො නිසා පොඩි හාමුදුරුවන්ට දෙන්න කියල. කැවිලි පාර්සලෙත් දිල සල්ලි කියක් හරි නානු දෙන තැන වට්ටියට දාල මං ආයෙත් ගම පුරා යනව කොළ දෙජාතිය හොයන්න. ඔය අතර නානු ගෙන්න නොගිය අයටත් අර මං
ගේන ඒවයින් ටික ටික බෙද බෙද තමා මං ගෙදර එන්නෙ.
ඊට පස්සෙ ගෙදර එනකොට අම්ම තෙල් ගාන තැන හදල. පුටුවකට සුදු රෙද්දක්
දාල. හිසට උඩින් සුදු රෙද්දකින් වියනක් බැදල. බිමටත් සුදු රෙද්දක් දාල .
ඒකෙ හාල් අරව මේව ඉහල. එතනම කැවිලි මේසයක් එහෙම හදල. ඊට පස්සෙ නැකතට අම්මා
වැඩිමල් කෙනාගෙ පටන් තෙල් ගානව. අර නැකතට කෑම කැවුව වගේ අපේ ගෙදර ඉන්න බල්ල
පූසගෙ ඉදන් හිස තෙල් ගානව. ඊට පස්සෙ ගිහින් නාගෙන එන්න ඕනි. ඒ නැකැත්
වෙලාවල් අතරම නාන්න ඕනි. නැත්නම් ලෙඩදුක් හැදෙනව කියල තමා අම්මා කියන්නෙ.
අම්මත් තෙල් ටිකක් ගාගෙන පූසගෙත් ඔලුව හෝදල බල්ලවත් අරගෙන යනව නාන්න.
ඊට පස්සෙ අලුත් ඇදුම් ආයෙ ඇදගෙන අපි යනව අපෙ අම්මගෙ මහ ගෙදර බුලත් දෙන්නෙ. ඔන්න ඔහොම තමා මූලිකවම අපේ ගෙදර අවුරුදු සිද්ද වෙන්නෙ. හිතේ දුකට ලිවුවා. අදත් මේ දේවල් මේ විදිහටම අපේ ගෙදර වෙනව. අම්ම කතා කලහම කියන්නෙ සිරිත් විරිත් ගෙදරක
කරන්න ඕනි නැත්නම් මූසලයි කියල.
Tuesday, April 14, 2015
Wednesday, April 1, 2015
එකදු මොහොතක් තිබුණ නම්
වේගෙයන් තටු ගසා ළංවුන
ගුවන් බසයේ අවසාන හුස්මට
ප්‍රේමයෙන් ඈතට මඳක් යන්නට
තිබුණ නම් කියා හිතෙනව ඇති
ඇල්ප්ස් කන්දට
ගුවන් බසයේ අවසාන හුස්මට
ප්‍රේමයෙන් ඈතට මඳක් යන්නට
තිබුණ නම් කියා හිතෙනව ඇති
ඇල්ප්ස් කන්දට
කෙනෙක් දෙන්නෙක් නෙමෙයි
සියයකුත් තව බාගයක්
දුකක් වැළපුම් නොවේ හදවත
පැලෙන රිදවුම නින්නාදයන්
ගෙනනව ඇති තවම
එකම අඩියක් තියා පස්සට
හෝ නැමී පහතට හිස සඟවගෙන
ඉන්න විදිහක් කොහොම හරි
අනේ තිබුණාම නම් ඒ
ඇල්ප්ස් කන්දට
කප්පරක් හිම මිදී තිබුණත් මුදුනතේ
ලංසුවක් නැතිව "අම්මේ" කියපු හඬවල්
අංශුවක් වත් ඇසුණ නම් එක මොහොතකට
"බොන්සුවා" කියා කියනව උන් තවත්
2015/03/31
සියයකුත් තව බාගයක්
දුකක් වැළපුම් නොවේ හදවත
පැලෙන රිදවුම නින්නාදයන්
ගෙනනව ඇති තවම
එකම අඩියක් තියා පස්සට
හෝ නැමී පහතට හිස සඟවගෙන
ඉන්න විදිහක් කොහොම හරි
අනේ තිබුණාම නම් ඒ
ඇල්ප්ස් කන්දට
කප්පරක් හිම මිදී තිබුණත් මුදුනතේ
ලංසුවක් නැතිව "අම්මේ" කියපු හඬවල්
අංශුවක් වත් ඇසුණ නම් එක මොහොතකට
"බොන්සුවා" කියා කියනව උන් තවත්
2015/03/31
Thursday, March 26, 2015
පස් වසක් සපිරීමෙහි සතුටය මේ
තරඟයක් යනු හුදෙක් රසක් අහිමි වීමය. මා හැමදාමත් හුඳකලාවිමි. මට මා හැරෙන්නට අනෙක් අය දුවනා ලොව දුවන්නට ඇවැසි නොවීම අදටත් මා තනිවම බුක්ති විදින සින්නක්කර සතුටකි. යමෙක් පස් වසරක් සම්පූර්ණ වී යැයි ඇසූ විට ජනප්‍රියත්වය ගැන සිනාසෙති. එසේ නැති නම් ආගිය ඉලක්කම් ගැන අසති. එහෙත් එදා සිට අදටත් මට තිබුණේ තනියම යෑමේ උණකි. හදේ වින්දනයට අකුරින් කැන්දන රසඥතාවය මටම හුරු වූ ඌරුවකි. ඉදින් මා එයට පෙම් කරමි.
රැඩිකල් නමක් නැති නිසා විටෙක සිනහ වූවෝ අපමණය. එහෙත් නමේ හැටියටම මේ අාලවඩන හුඳකලාවට මම රිසිය. එදත් ෆේස් බුක් එකට ඇබ්බැහි වී සිටයා සේම අදත් මා ෆේස් බුක් එකට ඇබ්බැහි වූවෙකි. එහෙත් හිතෙන වෙලාවක දැනෙන ලෙස බ්ලොග් එක තුල සැරි සැරීම මගේ පුරුද්දය.
මේ පිටු පුරා මගේ දේවල් කියා දැනෙන්දී මට දැනෙන්නේ සුවයකි. අකුරක් ගානෙ අමුණපු සුවඳකි. යමෙකුට ප්‍රිය නොවුවත් මට මනාප වූ දේ දුරු රට තද දුක ජීවිතයෙහි කොටස් කරුවන් වූ මේ අකුරු මට සිනහ කැන්දවූවන්ය.
සිංහල බ්ලොග් ලෝකය තුල විවිධ මිතුරන් හදුනා ගැනීමට ලැබීමත් මා මේ පස් වසර තුළ ලැබූ භාග්‍යකි. ඒ අතර සමකය වටේ ගිය නලින් අයියා, සඳහන් කළ යුතුමය. එමෙන්ම අස්වැන්න, අවන්හල, වර්ණ, ස්වයාක්ත, අලි සිතුවිලි, සිතක සංකල්පනා , වැසි වැටෙන තැන, දේශක යා ,ඉවාන් ෆවූලූශා බිනරිගේ ලෝකය, වැව් ඉස්මස්ත, කළ්‍යාණ මිත්‍ර වැනි තව බොහෝ අය සිටිති. ඒ සැවොම ඇතුළු අනෙකුත් සහෝදර බ්ලොග්කරුවන් ද ආදරණීයවම මේ අවස්ථාවේ සිහිපත් කරමි.
විවිධ බ්ලොග් හමු තබමින් සිංහල බ්ලොග් කලාව ඉදිරියට ගෙන යන්නට කැප වන්නෝද අප්‍රමාණය. කිසිම සාදයට හමුවකට බ්ලොග් ලෝකය තුළ යාමට අවස්ථාවක් මට නැතත් මෙතුලින් මා ලද ආත්ම සැනසුම අමිලය.
එයට තුති ඔබලාට.
විඩෙන් විඩ වියපත්ව
ලබන විට පරිණත බවක්
මුවෙන් මතුවන හසරැල්
ඇතිව හද සැනසෙමිය මං
වලාකුළු විසිරිලා යන්නට
හැකිය නුබ ගැබ පුරා
අතරමං නොකර අකුරක්
රකින්නට හැක දිවි තුරා
යන එන අයද අතර මැද
ගිහින් එන්නම් කියු අය අපමණය
සුබ අසුබ මත සම සමව
යනෙන එක මටම පමණක් හුරුය
කවි කතා දළුලනා විටක
හද පුරා සිනාසුන උන් උතුම්මය
අවි දරා වනසපු තැනක
බිම හෙලන්නට දැරු උන්ද මතකය
ගලා යන විට දිය කඩක්
නැවතුම බලා දිශානතියට
සලා ආසිරි ඇති නැති වුනත්
හුඳකලාවම හුරුය ගමනට
ඉදින් සැනසෙමි ආ මඟ දෙස බලා
හදින් තුති මල් ඔබ සැම වෙත බෙදා
පුරා පස් වසක් දුක සැප මගෙ බලා
ඉඳින් දුන් සවියට ඇත දැන් හිස නමා
____________දිනිති 2015 මාර්තු 26 ___________
Tuesday, March 24, 2015
Face Book එකේ විටින් විට Status විදිහට දාපු පුංචි පුංචි කවි ටිකක්
සියුම් තෙත බිඳු මෘදු නේද අසමින්
වැයුම් වනමින් හිත තනිකර දමා
ගැයුම් ගැයු කොවුලා තටු ගසා
ගිහින් එන්නන් කියමින් ගියා
+++++++++++++++++++++++++++++
කිරිපිරි ලැමක ස්නේහයෙ මුසු හැඟුම් එතී
හරිමැද දැනෙන සිතුවිල්ලක මුදු සුවඳ වෙතී
බැරි බර දරන ගොම්මනෙ බෝ හුවමාරු ඇතී
සඳගල මුදුනෙ හැමදාටම සා පැටවු වෙතී
වැයුම් වනමින් හිත තනිකර දමා
ගැයුම් ගැයු කොවුලා තටු ගසා
ගිහින් එන්නන් කියමින් ගියා
+++++++++++++++++++++++++++++
කිරිපිරි ලැමක ස්නේහයෙ මුසු හැඟුම් එතී
හරිමැද දැනෙන සිතුවිල්ලක මුදු සුවඳ වෙතී
බැරි බර දරන ගොම්මනෙ බෝ හුවමාරු ඇතී
සඳගල මුදුනෙ හැමදාටම සා පැටවු වෙතී
ඇසිපිය සලන ගහකොළ නැළවිල්ල දෙතී
පිනි දිය එක්ක ගගනත සුව යහන වෙතී
කරදිය සිඹින නල රැළි පණිවිඩය දෙතී
කරදහි මතක ගැසු අත්සන් වෙනස් වෙතී
++++++++++++++++++++++++++++++++++++
විලියෙන් සැඟව යන නෙතකට එබී බලා
වැනුමෙන් සපිරි ගී කළසක් තබයි එලා
සැවුළන් නොඑන මැදියම අත්පුඩිය තළා
වවුලන් පෙමින් දඟලති ජීවිතය නෙලා
++++++++++++++++++++++++++++++++++++
පැහැඳුල් පැහැය අතරින් පවනටද රිසී
මහනෙල් මලක් විලියෙන් ඇස් හකුල ගතී
කිවිසුම් එක්ක වෙහෙසුම් දෙන අතර මැදී
රාගෙන් වෙලෙන දිය හට ඔච්චමම දෙතී
++++++++++++++++++++++++++++++++++++
දුම් දමන කෝපි බඳුනක කිදා බැස
හොයන්නට හැකිවේද රස තැන් ජීවිතේ
තිත්ත ගතියක් වහන්නට සීනි හැලුවාට
අතරමඟ මුහුණ බෙරිවෙන තැන් කොච්චරද..
++++++++++++++++++++++++++++++++++++
හිම කැටිති දියකරල පන්නන්න හිරුට හැකිනම් හැමදාම
ගහ වැලට රිද්දන්න, සුළඟ ඉස්සර වෙන්නෙ ඇයි නොකියාම
මලට, බඹරට දොස් කියන හිත් එක්ක නිරතුරුව ගැටුනාම
කුමට මදුවිත පිරුණු වීදුරු මැව්වෙ අකැප නම් බීගන්න
++++++++++++++++++++++++++++++++++++
හදවතට ඇමිණිච්ච දේට
රිද්දන්න ලේසිය
බැස යන ඉරෙත් නොකිවුවට
කඳුළු පිරිලා ඒකය
++++++++++++++++++++++++++++++++++++
ගිරිහිසෙන් ගිරි හිසට පා තියා
සමුදුරෙන් සමුදුරට පිහිනලා
දුරකථන කුටියක සිරවෙලා
කෑගසා ආදරය අමුණයි "අම්මලා"
++++++++++++++++++++++++++++++++++++
සුළඟ ඇවිදින් කැමති විදිහට
පරාගනයට අත වනනකොට
රිසි ලෙසින් පිබිදෙන්න බැරි නම්
එපා මල් පෙති විහිදන්න කිසිවිට
++++++++++++++++++++++++++++++++++++
තැන තැන යනෙන බඹරුනි වැට බදින්නද
එහෙ මෙහෙ පනින සාවුන් ඇද බදින්නද
යන එන සුළඟ හැපුනම දොස් කියන්නද
රහ ගුණ දන්න අය අත්පුඩි ගහන්නද ?
++++++++++++++++++++++++++++++++++++
හිම බැදුණු පැගිරි අත්තක
උල උලා හොට මහන්සියෙ
කෑගසා පොඩි පැටවු ඉල්ලන
ආදරේ වමාරනවාද කිරිලියෙ ?
දිය පිටක පිපි සහස් මල් වල හැඩය වින්දට සැම දිනේ
විලක් වී ඒ බෙදන සෙනෙහස මවකගේ බව අද දැනේ
විය යුතුම දේ අත් හලොත් මේ මොහොත යලි නැතේ
ගව් දහස් දුර ගෙවාගෙන දුවන් යමි ඒ මව් වෙත මගේ
++++++++++++++++++++++++++++++++++++
නොන්ඩි මේසෙක
ෂැන්ඩි නොකරම
බ්‍රැන්ඩි උඟුරෙන්
හැන්ඩි වූයෙමි
පිනි දිය එක්ක ගගනත සුව යහන වෙතී
කරදිය සිඹින නල රැළි පණිවිඩය දෙතී
කරදහි මතක ගැසු අත්සන් වෙනස් වෙතී
++++++++++++++++++++++++++++++++++++
විලියෙන් සැඟව යන නෙතකට එබී බලා
වැනුමෙන් සපිරි ගී කළසක් තබයි එලා
සැවුළන් නොඑන මැදියම අත්පුඩිය තළා
වවුලන් පෙමින් දඟලති ජීවිතය නෙලා
++++++++++++++++++++++++++++++++++++
පැහැඳුල් පැහැය අතරින් පවනටද රිසී
මහනෙල් මලක් විලියෙන් ඇස් හකුල ගතී
කිවිසුම් එක්ක වෙහෙසුම් දෙන අතර මැදී
රාගෙන් වෙලෙන දිය හට ඔච්චමම දෙතී
++++++++++++++++++++++++++++++++++++
දුම් දමන කෝපි බඳුනක කිදා බැස
හොයන්නට හැකිවේද රස තැන් ජීවිතේ
තිත්ත ගතියක් වහන්නට සීනි හැලුවාට
අතරමඟ මුහුණ බෙරිවෙන තැන් කොච්චරද..
++++++++++++++++++++++++++++++++++++
හිම කැටිති දියකරල පන්නන්න හිරුට හැකිනම් හැමදාම
ගහ වැලට රිද්දන්න, සුළඟ ඉස්සර වෙන්නෙ ඇයි නොකියාම
මලට, බඹරට දොස් කියන හිත් එක්ක නිරතුරුව ගැටුනාම
කුමට මදුවිත පිරුණු වීදුරු මැව්වෙ අකැප නම් බීගන්න
++++++++++++++++++++++++++++++++++++
හදවතට ඇමිණිච්ච දේට
රිද්දන්න ලේසිය
බැස යන ඉරෙත් නොකිවුවට
කඳුළු පිරිලා ඒකය
++++++++++++++++++++++++++++++++++++
ගිරිහිසෙන් ගිරි හිසට පා තියා
සමුදුරෙන් සමුදුරට පිහිනලා
දුරකථන කුටියක සිරවෙලා
කෑගසා ආදරය අමුණයි "අම්මලා"
++++++++++++++++++++++++++++++++++++
සුළඟ ඇවිදින් කැමති විදිහට
පරාගනයට අත වනනකොට
රිසි ලෙසින් පිබිදෙන්න බැරි නම්
එපා මල් පෙති විහිදන්න කිසිවිට
++++++++++++++++++++++++++++++++++++
තැන තැන යනෙන බඹරුනි වැට බදින්නද
එහෙ මෙහෙ පනින සාවුන් ඇද බදින්නද
යන එන සුළඟ හැපුනම දොස් කියන්නද
රහ ගුණ දන්න අය අත්පුඩි ගහන්නද ?
++++++++++++++++++++++++++++++++++++
හිම බැදුණු පැගිරි අත්තක
උල උලා හොට මහන්සියෙ
කෑගසා පොඩි පැටවු ඉල්ලන
ආදරේ වමාරනවාද කිරිලියෙ ?
දිය පිටක පිපි සහස් මල් වල හැඩය වින්දට සැම දිනේ
විලක් වී ඒ බෙදන සෙනෙහස මවකගේ බව අද දැනේ
විය යුතුම දේ අත් හලොත් මේ මොහොත යලි නැතේ
ගව් දහස් දුර ගෙවාගෙන දුවන් යමි ඒ මව් වෙත මගේ
++++++++++++++++++++++++++++++++++++
නොන්ඩි මේසෙක
ෂැන්ඩි නොකරම
බ්‍රැන්ඩි උඟුරෙන්
හැන්ඩි වූයෙමි
සන්දි බිඳගෙන
හන්ඳි ගානෙම
"සුද්දි" නැතුවම
වන්දි ගෙවුවෙමි
++++++++++++++++++++++++++++++++++++
හුඟක් කවියන් රෑට තනියම
සඳට ප්‍රේමෙන් ලියනවා
මමත් ඉඳහිට පාළු දැනුනම
පුරුදු කවුළුව අරිනවා.
හන්ඳි ගානෙම
"සුද්දි" නැතුවම
වන්දි ගෙවුවෙමි
++++++++++++++++++++++++++++++++++++
හුඟක් කවියන් රෑට තනියම
සඳට ප්‍රේමෙන් ලියනවා
මමත් ඉඳහිට පාළු දැනුනම
පුරුදු කවුළුව අරිනවා.
Sunday, March 1, 2015
පියසටහන්
වෙලේ පන් නෙලන කොට මහ දවල්
හිස බිමට හරවගෙන රහසින්
අතරින් පතර බලනා එක කුමුදු
කුසුමක් තිබුණ අම්මේ,
එකින් එක පෙති විහිදගෙන
තනියමම සඳ එක්ක හිනැහී
විල් දියක් නැති වුනත් තුටකින්
නිතර ගීයක් රෑපුරා කිවුවා
එදා වාගෙම අදත් අම්මේ
නුඹත් එක්කම එකට වැටිලා
දවල්ටත් නොනිදාම සෙවනැලි
අඳින හැටි නුඹ නම් නොදැක්කා
මතක මංපෙත පෙරළලා අම්මේ
බලන්නට හිතුනොතින් දවසක
මතක් වෙයි ඒ කුමුදු මල ළඟ
නුඹේ කඳුළක කැළලකුත් තිබුණා
හිස බිමට හරවගෙන රහසින්
අතරින් පතර බලනා එක කුමුදු
කුසුමක් තිබුණ අම්මේ,
එකින් එක පෙති විහිදගෙන
තනියමම සඳ එක්ක හිනැහී
විල් දියක් නැති වුනත් තුටකින්
නිතර ගීයක් රෑපුරා කිවුවා
එදා වාගෙම අදත් අම්මේ
නුඹත් එක්කම එකට වැටිලා
දවල්ටත් නොනිදාම සෙවනැලි
අඳින හැටි නුඹ නම් නොදැක්කා
මතක මංපෙත පෙරළලා අම්මේ
බලන්නට හිතුනොතින් දවසක
මතක් වෙයි ඒ කුමුදු මල ළඟ
නුඹේ කඳුළක කැළලකුත් තිබුණා
Sunday, February 15, 2015
මීයෙක්ගේ අභිෂේක්ය (බළලුන්ගේ පරමාධිපත්‍යයට එරෙහිව ගෙන ගිය විප්ලවයට ජයවේවා )
මෙන්න විශේෂ නිවේදනයක්,
ජනාකීර්ණ ප‍්‍රදේශවල
මීයන් ගහණය අවම කිරීම සඳහා ඉදිරි දින කිහිපයේදී විශේෂ මෙහෙයුමක් සිදුකරන බව මහ නගර සභාව
පවසනවා. අප නිවුස් කණ්ඩායමට දැනගන්නට ලැබුණ පරිදි ඉකුත් 19 වෙනිදා අනාවරණ කළේ ගුවාක් සංවිධානය
විසිනි., ස්ටැක්ච්, දිමිත්‍රියෝස් හා ස්කෙවි
යන ප‍්‍රදේශවල
මීයන් ගහණය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බවයි. එලෙස මීයන් ගහණය වැඩි වී
ඇත්තේ ගොවි පළවල් වලින් බැහැර කෙරෙන ඇතැම් ද්‍රව්‍යන් සහ අවිධිමත් ගබඩා නිසා බව සහ පූසන්
තව රාජකාරි මට්ටම පැහැර හැරීම තුල බව එහිදී අනාවරණ කෙරුණි.
මේ සඳහා
කඩිනමින් ක්‍රියා මාර්ග ගන්නා බවට රජයද ගොවිපළවල් හිමිකරුවන්ගේ සංගමයට පොරොන්දු
වූහ.
ඔන්න
වින්ස්ටන් කොලුවො, උඹට ඇහුණද..? එහෙම කිවුවෙ ක්වික්ගෙ අම්මා සෙලීනෝස්. ක්වික්
වින්ස්ටන්ගෙ තාත්තා.
උඹ අපි කරපු
විදිහට හැමදාම නොවැරදිම රාජකාරිය කරන්න කියපන් ක්වික් මයෙ මුණුපුරාටත්.
සෙලීනෝස්
එහෙම කිවුවත් ක්වික් අත නිකටට තියාගෙන කල්පනාවට වැටුණා
වින්ස්ටන්
කියන්නෙ උඩු රැවුල් ගස් උස් වූ දික් වූ, ඉඳිරි පස දත් උල් වූ , මුවහත්ව සවිමත් වූ
, චන්ද්‍රිකාවක් කක්ෂගත කර රහස් තොරතුරු සොයනවා වැනි සහ ඉතාම සියුම්ම සියුම්
ස්වරයත් විසි හතර පැයම ඇසෙන කණ් දෙකක්
ඇති, හරියටම හිසත් , කඳත් අතර මැද විශේෂිත වූ සුදු පාට රුලියක් කැරකී ගිය ලොම්
ගුලියක් පිහිටා ඇති, ඉතාමත් අලංකාර වූ පරපුරේ අනෙකුන්ට වඩා පෘෂ්ඨිමත්ව සහ දිග්ව
සෑදුනු වල්ගයක් ඇති, නිතරෝම පිරිමදිමින් රකින නිය පෙළක් හිමි කඩවසම් මී පරපුරේ
අනාගත ඔටුන්න හිමි තරුණයාය.
අනාගත
ඔටුන්න හිමි වන්නේ ඔහුට තම පියාගෙන්ය. රජ පවුලේ උපන් වින්ස්ටන්ගේ පරපුර රුසියාවේ පදිංචියට ආවේ මීට සියවස් ගණනකට පෙරය.
වැඩවසම් ක්‍රමය සහ නොයෙක් විප්ලව අතර රුසියාව පෙරලුනත් මී පරපුරෙහි පාලනය තවම
රාජත්වයෙන් මීදී නැති නිසා වින්ස්ටන්ලාට බොහොමත්ම රාජකාරිය.
අප මීයන් වඳ
කිරීම සඳහා ගොවි පළවල් වලට බෙහෙත් ලබා දී තිබෙන අතර මේවා කුකුල් කෑම සමඟ මිශ්‍ර කර
මී ගුල්වල දොර අසල සහ මීයන් යන එන පාරවල් අවට තබන ලෙස දැනුවත් කරද තිබෙනවා.
ආයෙමත්
ගුවන් විදුලියේ හඩින් ක්වික්ගෙ කල්පනාව බිදුණා.
රොමිකින්
බළල් න්‍යායට අනුව අපිට පැවරෙන්නෙ ගොවි පළවල්වල ඉන්න කැරපොත්තන්, කක්කුට්ටන්,
පනුවන්, මෙරුවන් දුටු තැන මරණීය දණ්ඩනය දෙන්න. ඒ සඳහා අපට රොමිකින් බළල් න්‍යායට
අනුව ජීවිත දානය ලැබිල තියෙනව. කිසිම දවසක රොමිකින් බළල් න්‍යයට අත්සන් තැබූ කිසිම
සංවිධානයකින් අපට හිරිහැර කරන්නෙ නැහැ. ඒත් මේ සිද්ද වුන නස්පැත්තිය කුමක්ද?
ක්වික් අහස
පොළව ගැටලන්න කල්පනා කරනව. කකුල් කෑම කියන්නෙ අපි එළිමහනෙදි අසාවෙන් කර තියාගෙන
ඇවිත් වැසි කාලෙට ගන්න ධ්‍යානගාරයෙ තැන්පත් කරන ධනස්කන්ධය. ඔන්න ස්ටීවින්ස්ලගෙ
කුස්සියෙ චීස් පෙත්තක, මස් කෑල්ලක දැම්ම නම් අපි සෝදිසියෙන් ඉඳල ඉඳල කැත්ලින්ගෙ
එහා මෙහා වීම දැකල අරගෙන පනින දෙයක්. ඒත් මේ දේට මොකද කරන්නෙ. සෙලීනෝස් මහලු නිසා
ඇගේ වැඩකටයුතුත් දැන් කරන්නෙ ක්වික්. වින්ස්ටන් පුතා තාම සෙල්ලක්කාරයි. විවාහයක් එහෙම
කර දීලා ඔහුගෙ ඔටුනු පැළදීමේ උත්සවයත් ජයටම අරගෙන ක්වික්ද විවෙක සුවයෙන් ඉන්න
හිතපු අතරෙ සියල්ල උඩු යටිකුරු වුනා නේද කියල ඔහුට දැන් තදින්ම දැනෙනව
ඉක්මනට මී
සනුහරේ කැඳවන්න ඕනි... අපි මේ සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවල අපේ ප්‍රජාව ආරක්ෂා කරගත
යුතුයි කියන එක ක්වික්ගෙ හිසට කුළු ගෙඩියකින් ගසනව වගේ වේදනාවකුත් එක්ක ආව.
ඔහු මේ සඳහා
තම ජව සම්පන්න පුත්‍රයට සියළු වගකීම් දෙන්න හිතුවා. ඔහුගේ දැන උගත්කම මැන බලන්නට
ත් සූර වීර දස්කම් පෑම ගැන හොද අධීක්ෂණයකටත් මෙය අවස්ථාවක් කරගන්න බව ක්වික් තනියම
හිතුව. හැබැයි කෙස් ගසක් තරමට වැරදෙන සැණින් තම සියළු රාජ රාජ පාරම්පරික සනුහරේම
අතුගා යනෙන බවත් ක්වික්ට හීසර වේගයකින් හිතට පැමිණියා. කෝකටත් කියා, ඒ සඳහා ඔහු
වින්ස්ටන්ව ඇමතුවා.
වින්ස්ටන්,
වින්ස්ටන්, කෝ ඒ පාර මේ වින්ස්ටන්
යර්ස් ඩැඩී,
යර්ස් ඩැඩී
නෙමෙයි දැන් නිවුස් ඇහුණ නේද..?
ඇහුණා ඇහුණා.
මං මේ අපේ ගිනිපිග් වර්ගය ගැන ඉතිහාස පොතක් කියව කියව හිටියෙ.
ඉතිහාසය
හදාරණ එක හොඳයි වින්ස්ටන්. ඒවගෙම ආනගතය රැකීමත් විශාල භාරදූර කාර්යයක්.
යර්ස් ඩැඩී.
ඕකට අපි අපේ ඉල්ලීම් වැඩි කරල රොමිකින් සංවිධානයෙ සභාපති ස්ටීවින්ට කියමු.
Good idea වින්ස්ටන්. නමුත් අපේ ඉල්ලීම් ඉෂ්ඨ කරයිද?
අපි ඩැඩී මුලින් ඉල්ලීමක් කරමුකො.
_______________________________________________________
ස්ටීවින් යනු රොමිකින් බළල් න්‍යාය තැනූ ග්‍රේව්ගේ
මුණුපුරාය. රොමිකින් බළල් න්‍යාය යනු , ගොවිපලට හානි කරන සියළු කෘමි සතුන් විනාශ
කිරීමය. කෘමීන් අතර විශේෂ සහ වඩාත්ම උපක්‍රමශීලිව
ඇල්ලා මැරිය යුත්තේ කැරපොත්තන්ය. මන්ද ඔවුන් ගුවන් කරනම් සහ බිම් පුහුණුව උපරිමව
ලබා ඇති වීමය. බොහෝවිට කැරපොත්තෙක් ඇල්ලීමට අසල මාර්ගයක රැකවල් දා සිට හොඳ
පුහුණුවක් ඇති මීයෙකු විසින් පැන ගෙළ මුලින්ම අල්ලා ජීවිතක්ෂයට පත්කරනු ලබයි.
මෙය පාරම්පරිකව මී පරපුරේ ඇත්තන් විසින්
සිදුකළ යුතු රාජකාරියකි. එය පැහැර හරින්නේ කොයි විටද, එවිට ස්ටීවින් ඇතුළ සියළු
දඩයම් බළලුන් විසින් මීයන් මරා ආහාරයට ගනු ලබයි.. මෙයට අත්සන් කෙරුනේ ග්‍රේව්ගෙ
අලුත් අදහසක් අනුව අපේ අනාගත පරපුරත් රැකගැනීම සඳහාය.
වත්මන් සභාපති ස්ටීවින්, බොහෝ හැඩකාර, ලෝම
බූසියක් ඇති, විවිධ මෝස්තර තරඟ සඳහා ඉස්පාසුවක් නැතිව සහභාගිවෙන, නිවසේ සිටින සෑම
අවස්ථාවකම හුන් තැනම ගොර ගොරවා නිදා ගන්නා අයෙකි. ඔහුට නිසි වෙලාවට කිරි වීදුරුව,
කෑම පිගාන, අතුරුපස කිසිවක් වරදින්නෙ නැත. රස්නෙ සෘතුවට ස්නානය සඳහා පොකුණක් තනා
දී ඇති අතර සීත සමයට ස්ටීවින්ට කාමරය උනුසුම් කිරිමේ යන්ත්‍රයක්ද ඇත.
කැත්ලින් නිතරෝම කුස්සියට එනවිට ස්ටීවින්ට හින්ට්
ගසති.
ආහ්..රාජ කුමාරය ආවද..
පුදුම සැප නේද
කරට උඩින් මහ මුහුද ගැලුවත් පේන බළලෙක්යැ
හපොයි මුට කන්න දෙනවට මට ගහන්න ඕනි
ඇයි කැත්ලින්ට ගහන්නෙ. කැත්ලින්ගෙ රස්සාවට මට
කන්න හදල දෙන එකත් අයිතිනෙ. ඒකටනෙ කැත්ලින්ට පඩි ගෙවන්නෙ.
හනෙ අම්මපා ආවද මෙතන මගෙ වැඩ ගැන කියන්න.
කවුද එතකොට මේ ගෙදර ඒව මං නැති වෙලාවට හොරා
කන්නෙ. කෑවෙ කවුද කියල ඇග පතින් නම් පේනව.
අනේ මේ කැත්ලින්, ඔබ ප්‍රමාණය ඉක්මවා යනව. මම
බොහොම අනුකම්පා සහගතව ඉන්නෙ ඔබට.
දන්නවනෙ අපේ පරම්පරාවම එදා ඉදන් අපේ සේවය පැහැර
හැරල නැහැ. ඒවගෙම මම දැන් අපේ පරම්පරාවෙ පෞඪත්වය ලෝකයටම ගෙනියන්න මේ මෝස්තර
නිර්මාණවලටත් යන්නෙ.
පෞඪත්වය..හනේ මගෙ කට..පෞඪත්වය පේනව ගොවි පලේ ගෝවා
කොළ ටික දිහා බැලුවම. එක එක මෝස්තර වලට
කොළ ඉරිල. අලුත් ඉරිගු කරල්වල ඇට වල කිරි නෑ. ඒව ගැට කාලෙදිම උරල, පල්ලෙහා
සූරියකාන්ත වගාවෙ හැම පෙත්තක්ම අංශභාගෙ හැදිල වගේ. අතපය නෑ. එච්චරද මේ කුස්සියෙ
චීස් කුට්ටි කීයක් නම් නැති වෙලා තියෙනවද.. පෙරෙයිද ගෙනාපු එළුවගෙ ගාතෙ හොඳම ටික
හෝදල හට්ටියෙන් තිබ්බෙ රෑට පුච්චන්න ලුණු අත ගාල. අගුරු දාල ගිනි අවුළල මස් කුට්ටි
බලනකොට හතරෙන් එකක්ම අතුරුදහන්. මේව සිද්දවෙන්නෙ කොහොමද කියල ස්ටීවින්ට වඩා කවුද
දන්නෙ.
කැත්ලින් , ඔබ මගේ සේවය හෑල්ලුවට ලක් කරනව. මගේ
තාත්තා, සීයා, මුත්තා අපි හැමදාම කලේ මේ ගොවිපළවල් ආරක්ෂා කිරීම. ඒක හරියාකාරව
සිද්ද නොවුන නම් අද මට වුනත් මෙතන ඉන්න බැහැ.
හෙට අනිද්දට පද්ද පද්ද ඉණ හොල්ලල කරන විගඩම්
අත්ඇරල කොහේ හරි පාරක් අයිනක හිගාකන්න වෙයි ස්ටිවින්ටත්.
මොකක්ද කැත්ලින් ඒ කතාව. එන්න එපා ඕවට නම්.
දන්නවනෙ මං ගැන. පත්තරවල මහත්තුරු ගෙන්වල මං කියනව මේ ගෙදර සේවිකාව මෙන්න මෙහෙමයි
මේ ස්ටිවින්ට සළකන්නෙ කියල.
සළකන්නෙ මෙන්න මෙහෙමයි, ආහ්..දුප් යන්න බළල්
තඩියා.
එසේ කියමින් කැත්ලින් සමෝචාරයෙ තිබුණ වතුර ටිකෙන් ගැහුව. වෙලාවට ඒ වතුර
රත්වෙලා නොතිබුණේ.
______________________________________________________
මොකක්ද මේ සිද්ද වුනේ. ස්ටිවින් අහස පොළව ගැටලන්න
කල්පනා කරන අතර ඔහුට ඔහුගේ සීයා වුන ග්‍රේව්වත් මතක් වුනා. ඉතාමත් ඥාණවන්ත ක්‍රියාවක්
කරමින් සීය හදපු රොමිකින් බළල් නයාය වරදින්න විදිහක් නැහැ. ඒත් මේ කැත්ලින් කියන
කතාවලත් මොකක් හරි ඇත්තක් තියෙන්න ඕනි කියල ස්ටිවින් කල්පනා කලා ගොවිපළ වටේ රවුමක්
යන්න.
එදා ටිකක් ඉර ඇවිත් තිබුණ දවසක්. කම්කරුවො හිස්
වැසුම් දාගෙන ලහි ලිහියෙ ගොවිපලේ වැඩ. හෙමින් හෙමින් අඩි තිය තිය ගිය ස්ටිවින්
නැවතුණේ අශ්ව ගාල ළග. එතන හිටිය අශ්ව ගාලෙ නායකය මිස්ටර් හිත්ක්‍රින්.
හලෝ හිත්ක්‍රින්, කොහොමද
හොදයි හොදයි ස්ටිවින්. මොකද මේ කාලෙකින් මේ පැත්ත
මතක් වෙලා
අද මෝස්තර නිරුපනවලට නිවාඩු දවසක් නිසා මං මේ
රාජකාරි වැඩ ගැන පොඩ්ඩක් බලන්න ආව.
හපොයි..හච්...හච්..චීන්
මොකෝ හිත්ක්‍රින් අසනීපෙන්ද? නෑ මේ ඊයෙ ස්ටේසමට
ගිහින් එනකොට ටිකක් රෑ වුනා. පොඩි පින්නක් වගේ වැදිල.
ආහ්..කොහොමද ගොවිපලේ අස්වැන්න එහෙම. මගේ සේවය
ගැනත් එනගමන් ප්‍රශංසා මුඛයෙන් පැවසුවද..?
ස්ටීවින්ගෙ රාජකාරියට පින්සිද්ද වෙන්න මෙදාපාර
ස්ටේසමට යන්න එන්න තිබුණ වාර ගාන ටිකක් අඩුවුන අපිට. ඒක නිසා අපේ වෙහෙසකර ගති
අඩුයි මේ කාලෙ.
බලා හිටිද්දි ස්ටිවින්ගෙ මුහුණ වෙනස් වුනා. යන යන
තැනින් ලැබෙන්නෙ වැරදිච්ච තැනක් ගැනමයි. ඒත් අපේ සීයට වරදින්න විදිහක් නැහැ. උඩ පිනුම්, දඟ පිනුම්, නැට්ට පිම්බිලි,
හොම්බෙන් හැප්පිලි, ඉතා තද නිය පහරදීම්, සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීම්, මුහුණට
මුහුණ සටන් කලාව, අති වේගවත් ධාවන ශුරයෙක් වුන සීයට වරදින්න විදිහක් නැහැ.
එදා
ටක්කෙටම තිතටම රොමිකින් බළල් න්‍යාය හදල ඒ සඳහා සියළු පාර්ශවකරුවන් සමඟ එකඟතාවයකට
ඇවිත් දැන් තුන්වෙනි පරම්පරාවකුත් යන්නෙ. ඒත් මේ අසුබ නිමිත්ත මොකක්ද ? ස්ටිවින්ට
නොදැනුවත්වම ගෙලෙහි ලෝම ඉස්සිලා වල්ගය පිම්බුණා.
ස්ටිවින්ට එහෙම වෙන්නෙ දැඩි ආවේගයක් ආවම.
තොපි මේ න්‍යායට පිටින් ගිහින් තිබුණොත් ලේ විලක්
මැද සනහරෙම සෝදල දමනවා කියා දත්මිටි කමින් ස්ටීවින් වේගයෙන් දුවන්න ගත්තා.
_______________________________________________________
ඒ වේගෙන්ම මහ පාර මැද්දෙන් දකුණට හැරලා කෝපි හළ
ළඟින් පඩිපෙළ බැහැල ගබඩා කාමරේ බිත්තිය දිගේ ගිහින් සොල්දරයෙ අයිනට වෙන්න තිබුණ
ක්වික්ගෙ ඔෆිස් එක ඉස්සරහ පෙනී සිටිය. කල් තියාම ප්‍රවෘත්තිය අහල තිබුණ ක්වික්
මේවගේ නස්පැත්තියක් එන බව දැනගෙන හිටියෙ.
ක්වික්, ක්වික්
ස්ටීවින් මහත්මයාණෙනි,
මං තමුසෙලට පවරපු රාජකාරි හරියට කරනවද ?
එහෙමයි. අපේ සියළු නිළධාරීන්, සේවකයින්, සුළු
සේවකයින් සියල්ලම නොපිරිහෙලා අකුරටම එදා සිට උදේ සිට රෑ දක්වා රෑ සිට උදේ දක්වා තත්පරයට ඉටු කරනව.
ඒ වගෙම මං මේ ඔබතුමාව හමුවෙන්න හිටියෙ.
කාරණාව...
( එය ඇසු අහංකාර විලාසයට කිවික්ට යටි
සිතින් තරහ ආවත් ඔහු බොහොම ඉවසිවන්තයෙක් නිසා නොදැනුනා සේ හිටියත් පපුව ඩිග් ඩිග්
ගගා ගැහෙන වාර ගැන වැඩියි. ඒ කොයි මොහොතක හෝ වින්ස්ටන් ඒවිදෝ කියා. එසේ වුවහොත්
සිද්දවන්නේ ලොකු විපතක්මය. තරුණ ජව සම්පන්න වුවත් මා පුතා මියෙන බව සහතිකම නිසාය.
)
කාරණාව මේකයි ස්ටිවින් මහත්තයො, නගර සභාවෙන් අපිව
විනාශ කරන්න වැඩ පිළිවෙලක් සකස් කරනව. ඒකට විරුද්ධව නැගී සිටින්න ඔබ තුමා එක්ක
සාකච්ඡාවක් දාගන්න.
මගෙත් එක්ක සාකච්ඡා නෙමෙයි. ගිහින් බලනව මේ නගරයෙ
සියළු ගොවි පළවල් විනාශ කරල. තමුසෙල මෙහෙමද රස්සාව කරන්නෙ
ක්වික් අඩියක් පස්සට වීසිවුනා ඒ ගෙරවිල්ලට.
සමාවෙන්න මහත්මයො. අපි අපේ රස්සාව කරනව. ඒත් පමණට
වඩා ඔවුගේ ගහනය පවතිනව.
තමුසෙල ඒකට හේතුව දන්නෙ නැද්ද
දන්නව
කියමු බලන්න
ගියපාර අස්වැන්න වැඩිවෙච්ච වෙලාවෙ හදපු ගබඩාවල
ඉතිරිවෙච්ච ධ්‍යාන බෙදාදෙන්න කවුරුත් නැතිව ඔවුන් අසල්වැසි රටින් තමන්ගෙ අය ගෙන්න
ගෙන. ඉතින් ඒ ප්‍රමාණෙට අපේ ඉන්න නිළධාරීන් මදි.
තමුසෙ දැන් නිදහසට කරුණු කියන්න එපා. රාජකාරිය
අකුරට කළානම් මෙහෙම වෙන්නෑ. දැන් බලනව මෙයින් අපි හැමෝටම වෙන්නෙ ප්‍රශ්ණ ගොඩක්.
හෙට මට මෝස්තර නීරුපණයකට යන්න තියෙනව. තවම වල්ගෙ හරියට පීරුවෙත් නැහැ. මගෙ මේ
මුහුණෙ වැඩිපුර තියෙන රැවුල් ගස් ප්‍රමාණෙට හැඩ කරගන්න ඕනි, අලුතින් ලෝම වල වර්ණ
ගන්වන්න ඕනි. දහසක් වැඩ තියෙද්දි මේ ආවෙ .
ක්වික්ට ඈතින් වින්ස්ටන් එන බව ඡායාවකින් පෙනුනා.
ස්ටිවින් වගේම වින්ස්ටන්ද ඉක්මන් කේන්තිකාරයෙක්. මේ අවස්ථාවෙ හොදම දේ හැකි
ඉක්මනින් ස්ටිව්න්ගෙන් සමගන්න අවස්ථාවක් හදාගන්න බව ක්වික්ට තේරුණා. ඒ සඳහා ඔහු
තැනට සුදුසු නුවණ පාවිච්චි කරල
ස්ටිවින් මහත්මයෙ අපේ අම්මල ඔබතුමාගෙ සීයල
එකතුවෙලා එදා හිටින් මිතුරො වගේ ජිවත්වුනේ. කට වහරෙට බළලෙක්ට මීයෙක් පේන්න බැහැ
කිවුවත් ඔබලා අපි සතුටෙන් ජීවත්වෙනවනෙ. මම මේක මී සනුහරෙත් එක්ක කතා කරල ඉක්මනින්
පියවර ගන්නම්
කියල පොරොන්දු වුනා.
ඒකට ටිකක් හිත නැමිලා ස්ටිවින්
හෙට හැන්දෑවෙ හරියටම මේ වෙලාවට ගොවිපලේ ලිං බැම්ම
ගාවට එනව. මේ ප්‍රශ්ණය විසදල නොතිබුණොත් තමුසෙ දන්නවනෙ ක්වික්
කියා ඔහුගේ කාර්යාල
උළුවස්සටම මුත්‍රා පහරක් විද ස්ටිවින් යන්න හැරුණා. ස්ටිවින් යන පැත්තට විරුද්ධ
පැත්තෙන් වින්ස්ටන් එනව. මේ සිද්ද වුන සිද්දිය දැකපු වින්ස්න්ට තරහට ඇස් ලොකු
කරගෙන දත් විලිස්සගෙන තාත්ත ගාවට ආව
මොකද අරූ කියන්නෙ..
හා හා එහෙම කියන්න එපා. රොමිකින් න්‍යායට පින්
සිද්ද වෙන්න අදත් අපි මෙහෙම හුස්ම ගන්නෙ.
හැන්දෑවෙ කැරපොත්තන්ගෙ අලුත් සංගීත සන්ධ්‍යාවක්
හදුන්වා දෙනවලු අද ගොවිපලේ බිම් මල් වගා තට්ටුවෙදි.
දෙයි හාමුදුරුවනේ, කවුද විනිස්ටන් පුතාට ඒක
කිවුවෙ.
අපේ රහස් තොරතුරු ඒකකයෙන්
දැන් මොකද අපි ඒකට කරන්නෙ.
ඒවට බයවෙන්න එපා
තාත්තෙ. ගොවි පළ විනාශ කරන කැරපොතු කෘමීන්ටත් එක්ක අපි කෑම එකතු කර කර අවුරුදු
ගාණක් තිස්සෙ බලා හිටිය විප්ලවයට නේද මේ පාර තැනිල තියෙන්නෙ.
ඒත් පුතේ ස්ටිවින් ඔහොම වුනාට එයාගෙ සීය හරිම
හොඳයි. එතුමා නොවන්න උඹවත් ඉපදෙන්නෑ.
අනේ ඩැඩී ඕව හොදයි ඉස්සර කාලෙට. දැන්වත් ඔය යටත්
විජිතෙන් මිදෙන්න. අපිත් නිදහස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදිමු.
එහෙම කියල ස්ටිවින්ලගෙන් මිදුණත් මේ නගර සභාව
අපිව ඉතුරු කරන්නෑ පුතේ.
නගර සභාව එන්නෙ ලබන සතියෙනෙ ඩැඩී. මුලින් මේ
ස්ටිවින්කාරයට පාඩම් උගන්වමු. මොකද මට ඕකව පේන්න බැහැ.
හා හා පුතේ අහගෙන ඉන්නවද දන්නැ. කට පරිස්සම්
කරගනින්.
_______________________________________________________
වින්ස්ටන් ගෙදරට නොගොස් පුහුණු වීම් මධ්‍යස්ථානයට
ගොස් සියළු තරුණ කණ්ඩායම් එක්රැස් කෙරෙවුවා.
ඊටපස්සෙ ඒ පිරිස අමතල
සහෝදර සහෝදරවරුණි, මේ විප්ලවය අපි දිනිය යුතුමයි.
රොමිකින් න්‍යාය නිසා අපිට සාධාරණයක් සිද්ද වුනත් හැමදාමත් අපි ස්ටීවින්ලගෙ
අතවැසියන් නොවිය යුතුයි. අපිටත් කියා ආඩම්බරයක් අපේ ලකුණක් ඇති කරගත යුතුයි.
ඔබ සියළු දෙනාම මෙතැන් පටන් ඔබේ දිග් වු දත්
ශක්තිමත් කරගන්න, නිය හොදින් සමෙන් එළියට එන ලෙස පහසුවෙන් සාදාගන්න. අවශ්‍ය
අවස්ථාවක වල්ලගය තුලින්ද ප්‍රහාරයක් හෝ සහායක් ගැනීමට සුදානම් වන්න. විශේෂයෙන් සෑම
අවස්ථාවකම ඉස්සරහ අත් දෙක තම ගෙලෙහි ආරක්ෂාවට තබා ගනිමින් පසුපස පාදවලින් ශක්තිමත්
බාවය රැකගන්න.
එමෙන්ම අපේ නිළධාරින්, සේවකයන් නොවන සියළුම දෙනාට
හෙට හවසට ගොවිපලෙහි ළිඳ ළගට එන බවට දන්වන්න. ඒ ඇවිත් කිසිවෙකුගේ ඇස නොගැසෙන ලෙස
අවශ්‍ය අවි ආයුධ ද සමඟ සැඟව සිටින්න.
මොකක්ද වින්ස්ටන් කරන්න හදන්නෙ
ක්වික් කතාව අතර මැද්දෙන් පැන්නා.
ඩැඩී බය නැතිව ඉන්න. මෙදා පාර ස්ටිවින්ලගෙ
රොමිකින් බළල් න්‍යාය පතුරා තිබෙන පරමාධිපත්‍යය අහෝසි කරනව.
___________________________________________________
ස්ටීවින් මොස්තර නිරූපණයට ගිහින් වේලපහින්ම ආව. ඒ
සඳහා සුදුසු මානසිකත්වයක් තමන්ට නැහැ කියල ස්ටිවින්ම දන්නව.
ගොවිපලේ දවසින් දවස
සිද්ද වෙන දේවල් එක්ක කැත්ලින්ගෙ වෙනස්වීම් සියල්ලම පුපුරා ගිය විට තමන්ට සියල්ල
හැරපියා ජීවිතය මරණයට බාරදෙන්න වෙන බව ස්ටිවින්ට දැනෙනව.
ඉතින් කන්නෙවත් නැතිව
ස්ටිවින් මුහුණ ටිකක් යන්තම් වම් අතින් පිසදාගෙන ළිඳ ළගට ගියා.
ඒ යනකොටත් ක්වික් එක්ක නිළධාරින් සේවකයන් සියල්ල
පැමිණ සිටිය.
වින්ස්ටන් සහ අනෙක් සනුහරේම සැඟවී සිද්ද වෙන දේ
බලා හිටිය.
තමුන්ල දන්නව ඇති මං එන්න කිවුව කාරණේ මොකක්ද
කියල
ස්ටිවින් අමුතු පෙනුමක් මවාගන්නට උත්සහ ගනිමින්
රංගනයක යෙදුණා.
එහෙමයි සභාපතිතුමා.
එහෙනම් තමුසෙල මේක දැන දැන කලේ
පරාණ බිය දැනුන ක්වික් වහාම ඉදිරිපත්වී
අපිට
සතියක් කල් දෙන්න අපි මේක විසඳල දෙන්නම් සභාපති තුමා.
සතියක්, සතියක් යනකොට මටත් මැරෙන්න වෙන්නෙ.
එහෙම කියමින් එතන සිටි මී නිළධාරියෙකුගේ බොටුව
දෑතට හිරකරගන්නට ගොරවාගෙන පැනගත් ස්ටිවින් එය සාර්ථක කරගෙන ඉදිරිපස දෑත් වලින්
ඔහුව සිරකරන් ක්වික්ට මෙසේ ඇමතුවා.,
මේ දැන් පැයක් ඇතුළත තමුසෙල සියළු සතුරන් විනාශයට
පත් කලොත් මම තමුසෙලට ජීවිත දානය දෙනව. එහෙම කියා ගෝරනාඩු කරනවිට,
මේ අහන්න සභාපතිතුමා අපිට මේවගෙම තර්ජනයක් නගර
සභාවෙන් ඇවිත්.
ඒක නිසා අපේ කාටවත් එළි පහලියට යන්න විදිහක් නැහැ. ඔබ තුමා දැන්ම
නගර සභාවට ගිහින් මේ මී ප්‍රශ්ණය නැති කිරිමේ සියළු වගකීම් ඉදිරි වසර දහයට තමන්
වගකීමෙන් බාරගන්නව කියල පොරොන්දු කරගෙන අත්සන් පත්‍රයක් අරන් දෙන්න.
බළලෙක්ට මීයන්ගේ සියළු පරමාධිපත්‍ය පැවරෙන බව
තමන්ට තම පියා මෙය බාරදෙන වෙලාවෙ කිවුව බව මතක් කරමින් එහෙනම් තමුසෙල පොඩ්ඩක්
ඉන්නව අල්ලපු වැටේනෙ නගර සභාව මං දුවල එන්නම්
ඒ අතරතුර වින්ස්ටන් පමණක් තම පියා අසලට ඇවිත්
රහසින් යමක් පැවැසු විට,
ඔය වැඩේ හරි යයිද පුතේ.
ඩැඩී බයවෙන්න එපා. තව විනාඩි ගණනකින් පසු අපි
නිවහල් සාඩම්බර මීයන් ලෙස විරාජමාන වෙනව.
ඩැඩී මං කියපු විදිහටම ඉතිරි ටික් කරන්න.
මගෙ හිතට මොකක්ද වගේ පුතේ කොච්චර වුනත්.
ඔහොමද ඩැඩී මට ඔය ඔටුන්න භාරදෙන්නෙ. අපි අමරණිය
මීයන් ලෙසින මගේ ඔටුණු පැළඳවීම සිදුවිය යුතුයි නේද..?
ඩැඩී කිවුව විදිහටම ඉතිරි ටිකත් කරන්නකො.
__________________________________________________
ස්ටිවින් අසතුටු මුහුණකින් ඈත එනව ක්වික් දුටුව.
ඒ අතර නැවතත් වින්ස්ටන් රහසිගතව සැඟවිලා.
සභාපති තුමා මොකද වුනේ.
හහ්...හහ්...හා...
ඤා...............ව්...................මි.....ඤා..........ව්......................
ක්වික් බොහොම බියගුලුව ස්ටිවින් දෙස බලා උන්නා.
ඔන්න මගේ ලෝක ප්‍රසිද්ධකමටත් සලකල නගරසාබාවෙන්
අවසර දුන්නා. මීයන්ගේ පරමාධිපත්‍යය එදා සිට පැවරුණේ අපිට නිසා රොමිකින් න්‍යාය පත්‍රයක්
බොහොම ඉහළින් පිළිගන්න නිසා ඉදිරි වසර දහය සඳහා මීයන් වඳ කිරිමේ රාජකාරිය අපිටම
පැවරුවා. එය එලෙසෙම සිද්ද වෙනව. දැන් තමුන්ලා හරියට මේ මොහොතෙම වැඩ පටන් ගන්නව.
එහෙම කියද්දිම ළිඳ ළග ගහ මුදුනෙ ඉදන් දැළක්
වැටුණා ස්ටිවින්ගෙ ඇගට. ඒ දැළ මාළු කඩේ පිටිපස්සෙ ඉදන් රාත්‍රි කාලයන් කිහිපයකදිම
අරන් ඇවිත් තිබුණෙ වින්ස්ටන් ඇතුළු තරුණ පිරිස.
ස්ටිවින්ට කරකියාගන්න දෙයක් නැතිව ගොරව ගොරවා
පනිද්දී වින්ස්ටන් එළියට ආව
උඩ පිම්මක් ගහල කකුළ් දෙකෙන් හිටගෙන චීස් පෙත්තක්
හප හපා ස්ටිවින් දිහා බලාගෙන
ලොක්කා දැන් සිහිකරගන්න අද පටන් ඔබේ වීර වික්‍රමාධිපති
පූස් පරමාධිපත්‍රය අහෝසියි.
දත් විලිස්සාගෙන දැල පහුරු ගාන්නට ස්ටිවින්
දැගලුවා.
ඔහොම දැඟලුවොත් ඔබට වෙන දේ පේනවනෙ
කියා විසිල්
එකක් ගැසු වින්ස්ටන් බොහොම ආඩම්බරෙන් වටපිට පෙන්නුව.
මී සනුහරේ සියළු ජවසම්පන්න
තාරුණ තරුණියන් යුධ පෙරමුණෙහි සීරුවෙන් හිටගත්තා.
ස්ටිවින් දැනගත්තා තමා උගුලකට අහුවෙලා බව.
වින්ස්ටන් කිවුවා ඔබ මෙතෙක් අප වෙනුවෙන් කළ සේවයට
අප ඔබට ජීවිත දානය දෙනව. නමුත් ඔබ ඔබේ පිරවර සමඟ මේ නගරයෙන් පිටවිය යුතුයි පැය
හතලිස් අටක් ඇතුළත.
මේ දැලෙන් බේරුණොත් මී සනුහරේ පෙති පෙති කෑලි කර
කා දැමිය හැකි බව දැන සිටියත් ස්ටිවින් වින්ස්ටන් ලේසියෙන් යමක් නොකියන බව ඔහුගේ
පෙනුමෙන් තේරුම් ගත්හ.
ළිද වට සිටි මීයන්ගෙන් පිරිසක් අතට ස්ටිවින්ගේ
අත්සනින් යුතු ලිපි ලබා දී ඒ සියල්ලන්ම රොමිකින් න්‍යායය අදාල සාමාජිකයන්ට බෙදාදෙන
ලදි.
අද රෑ ස්ටේසම ළඟ රාත්‍රි දුම්රියෙන් අප වෙනත්
නඟරයක් සඳහා පිටත්ව යායුතුය.
කියා සඳහන්ව තිබුණි.
ඉතිරි සියළු දෙනාම වැර වීරිය සියල්ල දමා දැළ
ඇදගෙන ගොස් ළිඳට දමා බොහෝ අපහසුවෙන් නිවෙස් බලා ගියහ.
පසුදින අලුයමට වින්ස්ටන්
තුන්වෙනි පරම්පරාවේ රජු ලෙස ඔටුනු පැළදූ අතර බළලුන්ගේ පරමාධිපත්‍යෙයන් සහ නඟර
සභාවෙන් ඉදිර දස වසරට මීයන් නිදහස් විය.
වින්ස්ටන් ලෝක පූජිතව තම මී පරපුර
ස්වර්ණමය යුගයකට ගෙන යන්නට අදිටන් කරගත්හ.
________ අහවරයි ඈහ් _______
ලිවුවෙ දිනිති
___________________________________________________
Yashodha Sammani නංගිගෙ බළලෙකුගේ පරමාධිපත්‍යය කියවීමෙන් අනතුරුව සිතෙහි උපන්නකි.
බස්සිගෙ ඒ කතාව මෙතනින්
___________________________________________________
Yashodha Sammani නංගිගෙ බළලෙකුගේ පරමාධිපත්‍යය කියවීමෙන් අනතුරුව සිතෙහි උපන්නකි.
බස්සිගෙ ඒ කතාව මෙතනින්
Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...

