Wednesday, July 23, 2014

පැරදුමෙන් දිනපන් දුවේ.

නිමිත්ත -
------------------
"නාවික හමුදාව විසින් වටකරගෙන තිබෙන කාරයිනගර් ඌරි ගම්මානයේ මුල්ලක ජීවත්වූ පවුලක ඉපැදුනු දුවේ, ඇඟපත වෙව්ලන නුඹේ පියාට රැකියාවක් නැත. මවගේ කුලී රැකියාව විස්වාසකර ජීවත් වන පවුලකි,

දිළිඳුකමින් ජීවිතය ගෙන යන පවුලක අන්තිම දරුවා නුඹයි, නුඹ එකලොස් හැවිරිදි කුඩා මොට්ටුවකි, දුව පැන සෙල්ලම්කර ඉගෙනුම ලබාගත යුතු ළදැරියකි, මිනිසුන් නැති පාළු කැලෑබද පාරකින් දිනපතා පාසල් යන එන නුඹව ඉලක්ක කර නාවික හමුදා සෙබළුන් පැහැරගෙන ගියෝය. ඔවුන් තම ම්ලේච්ඡ කාමාශාවන් සංසිඳවා ගැනීමට තැත්කළ විට නුඹ අඞා වැලපී තිබේ... විරුද්ධවී... ප්‍රතික්‍ෂේපකර තිබේ... නමුත් ඔවුන් නුඹව අතහැරියේ නැහැ, පිහිය පෙන්වා බෙලි කපනවා මරනවා යැයි තර්ජනය කර තිබේ, එම පාරෙන් ගිය වයසක පුද්ගලයකු නුඹේ අඞා වැලපීම දැක “කුමක්ද කරන්නේ පව් ඇයව අතහැරින්න“ යැයි ඉල්ලා තිබේ. නමුත් සෙබළුන් තර්ජනය කිරීමෙන් බියට පත්වූ ඔහුද එතැනින් ඉවත්ව ගොස් තිබේ."
____________________________________________

පෙරී එන හිරු රැස් යටින් නුඹ
වෙලාගත්තේ බියකරුම වලසෙක්
හැරී බලලා යන්න දන්නැති
දුවේ මලකට පිපෙන්නට තහනම්

කුසේ ගින්දර
ඇසේ පතුලෙන් නොදුටුවට
නුඹේ අම්මා කඳුළුයි දියකලේ
ඇයගෙ හද,
ගිනි ගන්නවා ඇති නොදැක්කට
නුඹේ බර,
ඈම පමණයි ඉහිලුවේ

"ඌරි" ගම් මැද ඌරු ගඳකට
නාස් හකුලන්නට බැරි යුගේ
කාසි බලයට නාකි හිවලට
හැකියි කන්නට තව මිදි වනේ

දෙව් සඳිසි මිත් කැළක් යැයි
කිය කියා පැන් කළ වත්කලේ
හව්හරණ නැති බිම් මලට ඇයි
පා පහස දී උඹ පොඩි කලේ

ලොවේ දහමක් කියා ඇත්නම්
අනේ පල දී උඹ පැලී මැරියන්
දුවේ වැරදුණ තැනින් නැගිටින්
අයුක්තියකට හෙට හඬ නගන්.


විස්තරය කියවන්න මෙතනින් 

Monday, July 14, 2014

සයිප්‍රසයේ ලංකාරාමයේ අතීතාවලෝකනය

" චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය...බහුජන සුඛාය අත්තාය හිතාය "

හිමිදිරියේම ලා හිරු රැස් දහරින් සම්බුදු සිරි පතුල් සිප නහවමින් දිනිසුරු පියමන් කරන්නේ ලොවම ආලෝකමත් කිරීමටමය. අතුපතර විදාලූ සුවිසල් තුරුහිසේ සිට භූමස්තකයෙහි පෙනෙන නොපෙනන තරමින් හිස ඔසවන්නා ලපටි පැලෑටිය තෙක් පළබර වන්නේ ලොවටම පුදන්නටය.. මිහිමව සනහාලමින් සිසිල ඛෙදමින් දිය කඳුරක් පවා ගලා බසින්නේ ලොවක පවස සංසිඳුවන්නටය.. ස්වභාවදහමේ සියලු සංසිද්දීන් තුලින් බැලූ බැල්මට ගම්‍ය වන්නේ සරල සුගම බවක් වූවත් ඒවා සාක්ශාත්වීම තුල ගැඹුරු හේතුඵලරූපී බවක් ඇත. එනම් හුදෙක්ම පරාර්ථචරියාවමය. එයින් ලොවට පුදනවා මිස ඉන් ලබාගන්නා දෙයක් නැති තරම්ය.

එලෙසම ලොවට දීම මිස ඉන් ගනු ගැන නොසිතන උත්තුංග පාරමිථාවේ පරාර්ථ සිතුවිල්ල ගැන ලොවට දේශනා කලේ අප ගෞතම සම්මා සම්බුදුරදුන්මය.. ඒ සම්බුද්ධත්වය ලබාගෙන ප්‍රථම ධර්මදූත කණ්ඩායම ලෙස රහතුන් වහන්සේලා සැට නමක් අමතමිනි.. —මහනෙණි බොහෝ ජනයාගේ හිත සුව පිණිස ගම් නියම්ගම් සිසාර ධර්ම චාරිකාවේ වඩින ලෙසද දෙදෙනෙකු එක මග නොයන ලෙසද උන්වහන්සේ දේශනා කල සේක.. බුද්ධ අනුසාශනාව එලෙසම ඉෂ්ට කරමින් අද්‍යතනයේද  බුදු පුතුන් එමග යන්නේය.. දේව වාදී යුරෝපයේ ග්‍රීක දෙවඟනගේ සුරතලිය වන් සයිප්‍රසයටද එවන් එක් බුදු පුත්‍රයාණෝ නමක් වැඩම කළහ. අපට දැනෙන ලෙස පැවසුවහොත් සයිප්‍රසයට බුදුන්ගේ දහම් පනිවුඩය රැගෙන ආවේ බුදු පුතෙක්මය..


මෙතැන් සිට ඇරඹෙන්නේ ඒ සදහම් චාරිකාවේ සුවඳ දිගහැරුමයි.. මොරවක සෝරත හිමියන් සයිප්‍රසයට ගොඩබැස්සේ අප මෙන්ම කිසිවක් සතුව නොවේ.. හිස් අතින් වූවත් උන් වහන්සේගේ සිත පිරී තිබුන්නේ උතුම් බලාපොරොත්තු ගොන්නකිනි.. ඒ 2005 වසරයි.. උන් වහන්සේගේ ආගමනයත් සමග සයිප්‍රසයට දහම් වසන්තයේ පෙරනිමිති පහල වන්නට විය.. 2005 වසරේ ජූලි මස 10 වන දින සයිප්‍රයසයේ සීතා උද්‍යානය අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගියේ සදහම් සුවඳක් සොයමින් සිටියවුන් කෙතරම්දයි පසක් කරමිනි.. ඒ ආනුභාවයෙන්  සයිප්‍රසයේ බෞද්ධ සංගමයක්ද ස්තාපිත කෙරිනි.. ස්විස්ටර්ලන්තයේ වැඩවසන ස්වාමීන් වහන්සේ නමක් ඇතුලුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එදින සයිප්‍රසය බුදු සසුනේ තවත් කේන්ද්‍රස්ථානයක් විය.. සයිප්‍රසයට අමා වැසි වසින්නට වූයේ එතැන් සිටය..


සුදු වතින් සැරසුනු දස දහස් ගනනක් සෙනග පිරිවරාගෙන සීතා උයනේ ඉදිකල දම් මණ්ඩපයක බුදු සුවඳ පතුරවන මල් පිපුනි.. කුලී පදනමට ගත් ස්ථානයක බුදු කුටියක් නිමවා ලක්දිවෙන් වැඩම කල බුදු පිළිම වහන්සේ තැම්පත්කොට පුද සත්කාර සියල්ලද ඉටුකෙරිනි.. සෙත් පිරිත් සජ්ජායනා මැද රෝපණය කල පැලය අද නාඹර රුක්ෂයක් විලසින් අතු විහිදුවා නැගී සිටී.. මූල බීජය රෝපණය කිරීමේ සිට අතුපතර සිලිසිලිය නගමින් වැජඛෙන අද දින දක්වාම ඒ දෙස බලා සිටි මාගේ හිතට දැනෙන ශාන්තිය මෙපමනැක්යැයි කිව නොහැකි තරම්ය.. රටක බුදු සසුනක් පිහිටවීමේ එවන් පූජණිය මොහොතකට සම්පත් දායකත්වයෙන් ශ්‍රම දායකත්වයෙන් සහභාගීමට  වරම් ලැඛෙන්නෙ පෙර පිනක් නිසාම බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.. ඒ මොහොත මා සන්තානයේද සදාතනික දහම් සමරුවක් ලෙස තැම්පත්වී හමාරය.. එය මතක් වන වාරයක් පාසා සිත නිරාමිස ප්‍රීතියෙන් ඇලලී යයි..


තමන් ශීලයේ පිහිටමින් අනෙකාවද ශීලයට යොමුකරවන්නට මහ හෙලි කරමින් ක්‍රිස්තියානිය මූලික කරගත් රටක සමාජයක ඇවිදීම උඩුගං බලා පිහිනීමකි.. බැලූ බැලූ අත කඳු මිස පල්ලමක් දක්නට නොලැබිණි.. එහෙත් ඒ අවදානමට මනා සූදානමකින් යුතුව ඉවසිලිමත්ව බුද්ධිමත්ව අපේ හාමුදුරුවන් පිය නගන සැටි ලෝකවාසී සියලු බෞද්ධයන්ට අපූරු ආදර්ශයකි..


සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය පන්සල බව නොරහසකි.. අවිඳු අඳුර දුරලමින් එයින් දැල්වුන බුදු දහම නම් පහන්සිලේ ආලෝකය අද විශ්වය පුරාම විහිදෙමින් පවතී.. ලක්දිවේ චතුර ධර්ම කථිකයන් වහන්සේලා මෙන්ම අර්ථයෙන් දහමෙන් පෝශිත ස්වාමීන් වහන්සේලාවද සයිප්‍රසයට වැඩම කරවමින් එදා මෙදා තුර සිදුවූ විදු ඇස අවදිකරවීමේ මහා ක්‍රියාදාමය අද සුවහසක් ජනී ජනයාගේ ආලෝකයටම හේතුවී ඇති බව පැහැදිලිය..
එපමනක් නොව කලා රස හඳුනන ලක්දිවේ දක්ශ පරිනත කලාකරුවන් කැන්දාගෙනවිත් වසරකට වරක් පවත්වන සිංහල අවුරුදු ගම්මානය මුලු ලෝකයේම ජීවත් වන්නන්න්ට පමනක් නොව සිංහල අවුරුද්ද නාඩගමක් කරගෙන ඇති ලංකාවටද කදිම ආදර්ශයකි.. ලක්දිවේ පවා වියැකී දියැවී ශේෂවී යන ජන ක්‍රිඩා ජන ගායනා ඇතුලු සියලු හරවත් තෙදවත් හෙළ දේශීය අභිමානය සයිප්‍රසයේ ලංකාරාමයට හිමිවී ඒතුල ආරක්ෂාවී ඇති බව ආඩම්බරයෙන් පවසන්නට අවශ්‍යමය.. ඒ අරුමය පිළිබඳ තුඩ තුඩ රැව් පිලිරැව් දෙමින් දනන්ගේ ප්‍රසාදය හිමිවන විට රහසින් කඳුලක් පිස දමමින් සතුටු වන අවස්ථා මෙය ලියන මටද නැතුවාම නොවේ..


මේ වසරේ දසවන වරටත් වස් ආරාධනාවට සූදානම් වී සිටින සයිප්‍රසයේ ශ්‍රිලංකාරම දායකයින් අද තමන්ගේම කියන තැනක හයියට විරාජමානව ස්ථාපිත වී හමාරය.. කුලී පදනමේ බර කලක සිට කර තියාගෙන යමින් තමන්ටම කියා තැනක්ද ගන්නට තරම් මෙහි සිටින ශ්‍රිලාංකිකයින්ගේ එකමුතුවත් ධෛර්යයත් සමත්විය.. 


අව්වට වැස්සට දියවෙන යෞවනත්වය පමණක් නොව වින්ටර් සම්මර් ඍතු වලට දෑත්වල පිපෙන කර ගැට රටාවලින් ඔවුන් මේ පුදබිම සවිමත් කරවු බව කවුරුත් දනිති.. සමගියේ සවියෙන් අර්ථ සම්පන්න පුෂ්පයක් ඇත්නම් ඒ සයිප්‍රසයේ ශ්‍රිලංකා බෞද්ධ සංගමයයි.. නොහැක්කක් නොමැති බව ඔවුන් බොහෝ අවස්ථාවල පෙන්වා දී හමාරය.. ඒ සියල්ලට පෙරගමන්කරු වන්නේ පන්සලේ වැඩ වසන නායක ස්වාමීන් වහන්සේත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාත්ය..

ධර්මය පිපාසිත දනන්ගේ විඩාව සංසිදුවමින් පුස්තකාලයක්ද මනාව කලමණාකරනය කරමින් ධර්මඥනය ඛෙදීමේ කර්තව්‍යයද මෙහිදී සිහිපත් කළ යුතුමය. එයින් ඵල නෙලා ගත්තෝ සිය දහස් ගණනකි. මනා ගිහි පැවිදි සම්බන්ධයක් පවත්වා ගනිමින් සියල්ලන්ගේම අධා්‍යාත්මය පෝෂණය කරමින් කාර්ය බහුල ජිවිතවලට සැනසිල්ලේ අමා වැසි පුරා වසර නවයක් පුරාවට වැස්සිනි. දිනෙන් දින මේ කර්තව්‍යය වැඩි දියුණු වුවා මිස අඩු වුයේ නැත. ගිහියන්ගේ දිවි මග සාධනීයව ඉහළ ස්තරයක රඳවන්නට දිවා රෑ නොබලා වෙහෙසවන පෑලැම්පිටියේ මහින්ද පොඩි හාමුදුරුවන්වද මෙහිදී නමස්කාර පූර්වකව සිහි කළ යුතුමය.


මෙලොව අවිද්‍යාව ඇසුරු කරන බහුතරයක් සහ නොයෙකුත් ප්‍රාතිහාර්ය වදන් පවසමින් දනන් මං මුලා කරවන මිනිසුන් පිරි යුගයක මේ බුදු පුතුන් සයිප්‍රසයේ ශ්‍රිලංකාරමය තුල සිදු කරන හරවත් සමාජ සත්කාරයන් අභිමානනීයය.. ප්‍රශංසනීයය.. ඇගයුම් කළ යුතුමය.. විදේශිකයින් පවා පැමිණ දහම් සුවඳ විඳගෙන යන සයිප්‍රසයේ පිංකෙත චිරාත් කාලයක් පවතීවායි යන්න අප කාගේත් පැතුමය.. පැහැදුණ වුන්ගේ පැහැදීම වැඩි කරමින් නොපැහැදුණ උන්ගේ පැහැදීම ඇති කරමින් සම්බුද්ධ ශාසනය පවතින තාක් කල් මේ බිමද පවතීවා...

වසර නවයක සාංවත්සරික පිය සටහන් සවිස්තාරාමකව ලිවීමට හැකි වුවත් එය ඔබට මෙසේ පෙළ ගස්වා තබමින් මෙම සටහන මා නිම කරමි. තෙරුවන් සරණයි.
01)   2005 වසරේ ජුලි මස 10 වන දින තෙරුවන් වැඩ සිටින පන්සලක් ආරම්භ වීම


02)   2005 වසරේ පළමු වරට සඟරුවනක් සයිප්‍රසයේ වස් වැසීම ඇරඹිම.


03) ශීල භාවනා වැඩසටහන් ආරම්භ කිරීම
      ( සෑම පොහෝ දිනක්ම සයිප්‍රසට නිවාඩු දිනයක් නොවුවත් සෑම මසකම පොහොයට සමගාමීව එළඹෙන ඉරු දින පැවැත්වේ. දැනට පසොලොස්වක දින 84 ක් මෙය නොකඩවා ක්‍රියාත්මක කර ඇත.)


04) ලංකාරාම පුද බිමට බෝධින් වහන්සේ නමක් වැඩම කරවීම


05) සමාධි පිළිම වහන්සේ නමක් වැඩම කිරිම.


06) ගර්භ නිධානයත් අටවිසි බුදු මැදුර විවෘත කිරීමත් එක දා සිදු විය


07) දැනුම කුශලතාවය දියුණු කරවන්නට පුස්තකාලය පිහිටුවීම


08) දුකේදී මෙන්ම ඇවැසි අවස්ථාවක පන්සල උපදේශන මධ්‍යස්ථානයක් වීම


09) විවිධ හේතුන් මත අසරණ වුවන්ට හැකි සීමාවේ සිට පිහිට වීම


10) ගුවන් අනතුරින් මියගිය අයට පුන්‍යනුමෝදනා කිරිම ( ලොවම කම්පා කරවමින් සයිප්‍රස් ජාතිකයින් 

එකසිය පනහක් පමණ ජිවතක්ෂයට පත් කරවමින් සිදුවු ගුවන් අනතර)

11) සයිප්‍රසයේ කඨින මහා පිංකමත් වීථී සංචාරය කරමින් කෙරන කඨින පෙරහරත් සෑම වසරකම නොකඩවා සිදු කිරිම. දැනට වසර නමයක් සිදු කර ඇති අතර දසවන වස් ආරාධනාව මෙම මස සිදුවේ. )


12) සයිප්‍රසයෙ ශ්‍රි ලංකාරාමය තුළ දහම් පාසැල ක්‍රියාත්මක වීම (දෙස් විදෙස් සියළුම දරුවන්ට )


13) දෙවන බෝධි රෝපණයද ලිමසෝල් නගරයේ අපේම බිම් කඩක රෝපණය කිරිම.

සටහන - දිනිති දීපිකා


2014/ජුලි 13 ඉරිදා සිළුමිණ  

මෙන්න ඔන්ලයින් බලන ලින්ක් එක මෙතනින්







2014 ජුලි 14 සදුදා ලක්බිම.  



මේ අපේ පන්සලේ ඡයාරුප කිහිපයක්.





අපේම කියන පන්සල



සමාධි ප්‍රතිමාව



බෝධින් වහන්සේ.



චෛත්‍ය වහන්සේ සහ අටවිසි බුද්ධ මන්දිර

                                    ආගමික වැඩසටහනකදි




                                                දහම් පාසැලේ අවස්ථාවක්.


            දහම් පාසැල් දරුවන් සමඟ ස්වාමීන් වහන්සේලා


                    

 අපේම තව ඉඩමක තවත් බෝධින් වහන්සේ නමක් රෝපණයකිරිම.

Tuesday, July 8, 2014

ලොවේ හැටි ඔහොමයි.

පැතලි වැතිරුණු නෙලුම් කොලයට
ඇඟිළි ඇන ඇන පිනි බිඳක්
කැරලි ගසමින් සිනහ එක්කොට
සරැලි නංවයි ලද ඉඩෙන්..

අසල ගැවසුණ දිගැටි හොටකින්
නිසල දිය වෙත පහර ගැසුමෙන්
සසල පත්‍රය බියෙන් වෙව්ලා
ගසල දැම්මා උඩඟු කරුවන්.

එසැණ ළඟකින් ඇවිඳ ගිය නල
විගස අත්පුඩි තාල තියමින්
කරන්නට බැරි හරිය මේ මට
කරපු විහඟට තුති නඟයි

සියල් හැරවුම් එකම ලෙසකට
දරාගෙන සිටි දිය කඳම්බය
විසල් ලෝකයෙ රැදුණු පැතිකඩ
ඔන්න ඕකයි කීවෙ නිහඩව.

Thursday, July 3, 2014

කට කහනවට


හේමමාලා කොණ්ඩෙ අස්සක සඟවගෙන ආ වට දතක්
කිසිම දවසක අල්ලන්න බැහැ වුනෝතින් නුඹ නම් ළඳක්
හතර පේරුව දණ ගසාගෙන කියන විට පම්පෝරියක්
අතුරෙ යන බොදුනුවන් අපෙ නොදුටුවේ ඇයි සැණකෙලි බිමක්


දන්ත කුමරුගෙ අතින් අල්ලා නටන රෂියන් සුදු කතක්
තිසර තණපට තිබුණ එකවත් කියන්නට බැරිවෙන සැකක්
පුංචි සමනල පැටවු ඉගිලෙන විටදි මළුවෙන් දිස්නයක්
දැකපු උන් දණ ගසා වදිනවා හැරි හැරි පුදුම ගතියක්

වැවේ සැනහුනු මාළු ඇවිදින් මත් වෙලා ඇස් පියවෙන බවක්
අනේ කවුරුත් දන්නෙ නැහැ නිතර ඇහෙනා පිරිතේම බලයක්
ඇසේ රිදවුම් දරා බහිරව කන්දෙ පිළිමය හිටියට රැයක්
වනේ වන හතුරෙකුටවත් ඔය ලෙස වෙනු එපා කිසිදු නපුරක්

සිව් දෙසින් සීරුවෙන් හිටියට මහා හිමිවරු පුටුවට බරක්
ඇස් ඇරන් හිස දන් දුන් මද්දුම කුමරුට වුනේ නම් කැළලක්
ගුණේ පිහිටයි ඇතා නිතරම ඉන්නෙ දම්වැල් දමා ගොන්නක්
ලොකු පුතා රජවෙච්ච දවසට දායි ඔතනම තව පාටියක්

Tuesday, July 1, 2014

එන්න ගීතයක් අහමු..

"ගැහුණු ළමයි කවදත් අහංකාරයි. ඒත් පිරිමි ළමයෙක් අහංකාර වුනාම තරහයි ..දුකයි..රිදෙනව. ඔව් අයියෙ මටත් හොඳටම දුකයි.

ඔහොම ලොකු කම් පෙන්වන්නෙ කාටද ඔයා..?
ඔයාටනෙ....
මං නිසාම හොදයි නේද...
ඔව් ඔයා හින්දම තමයි...
අනේ යනව යන්න....
මං තියනවා...
හා... බුදුසරණයි.

හප්පේ ආයෙමත් පපුව රිදෙන්න ගන්නව. රෑ එළිවෙනකම් ආයෙ රෑ වෙනකම් දකින සිහින ඔක්කොම කඩා වැටෙනව. මොකක් හරි හේතුවක් හදාගෙන කතාකරන්න අවස්ථාවක් ගන්නෙ මං කොච්චර අමාරුවෙන්ද.. ඒ අවස්ථාවත් විනාඩියක්වත් නැහැ. මේකා නම් පුදුම පිරිමියෙක්.. ගලක්ද මන්දා පපුවෙ තියෙන්නෙ. මං මටම කියාගන්නව.
කොච්චර මෙලෙක් කරන්න හැදුවත් තව තවත් ගනන් උස්සන හැටි.

නටාගන්නව. මං අද ඉදන් මොනම හේතුවකටවත් කතා කරන්නෙ නැහැ. ඔයාව හමු වුනත් මඟ අරිනව. ඔව් ඇත්තමයි. එයාට විතරක්ද ලොකු කම් පෙන්වන්න පුලුවන්. හුහ් .. මටත් පුලුවන්. හරි බලමුකො කවුද දිනන්නෙ කියල. දවසක ඔයාටම කතා කරන්න වෙයි. එතකන් මං ඉවසගෙන ඉන්නව. දින සති මාස අවුරුදු ගණන් ගියත්. මගෙ හිත රිදෙයි ඉතින් ඇතුලින්..මගෙ ඇස් ඔයා පස්සෙ පන්නයි. මං දන්නව මගෙ හිතේ තියෙන හැම දේම මුහුණෙන් පේනව කියල. ඒ වුනාට කමක් නැහැ. මං දරාගන්නව ගන්නවමයි.
ඔන්න ඉතින් මං මගෙ හිතටම කියා ගත්ත"

අද වත්මනේ ඉදන් සිහිවෙද්දි පුදුමත් හිතෙනව. ඒ අහංකාර ප්‍රථම ආදරේ. අපි කාගෙත් නොමැරෙන සිහිවටනයක්. එකී ප්‍රේමයේ වියෝව ගැන සරල දැනෙන බසින් මේ සුගායනීය ගීතයෙහි පද රචනය ධම්මික බණ්ඩාරයන්ගෙන්ය. සුමියුරු සංගීතය ඩෙනිෂ්ටර් පෙරේරාගේය. එදත් අදත් කවදත් මා වශීවන ගායන හඬ අමරසිරි පීරිස්ගේය. වචනින් වචන මා පැහැදිලි කරන්න යන්නේ නැත. මගේ ප්‍රථම ප්‍රේමයේ වචන අතරින් ඔබ ඔබේ ප්‍රථම ප්‍රේමය සිහියට නංවා ගන්න. ඔබෙ ්මනසින් ඔබ විදියි කියා මා සිතමි.

හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....

පාසැලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේලියක්
තවම වටහා ගන්න බැරිවුණි
ඇසුරු කෙරුවත් කාලයක්..

හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....

මතක ගොක්කොළ රැහැන් අතරින්
යලි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදාගන්නට
දෙන්න අරලියා මල් මිටක්...

හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....



ගීතය මෙතනින් අහන්න. මේ යූ බටේ..

Sunday, June 29, 2014

පසුතැවුම් මොනතරම් රිදෙනවද

ගිම්හානෙ කොයි තරම් රළුදැයි
මලානික කුරුල්ලෙක්ගෙන් අහන්න
සන්තානෙ මොන තරම් දේ ඇතිද
තනිවෙච්ච හිතකින් දැනගන්න

කෝඩුකාර සමනලුන් නැති අවකාශයක
පුරුදුකාර මල් පිපෙයි පෑවිල්ලෙ
වැරදිකාර සිතුවිල්ල තියෙනකන්
සංසාර ගමන දිඟයි කැරකිල්ලෙ

අත්ලකට පුරුදු ස්පර්ශ වැදෙනකොට
හද පත්ල නින්නාදදෙයි ඇතුළතට
පත්‍රයකට පිනි බිඳක් වැටෙනකොට
සිනාසෙන්නෙත් ඒ වගෙයි පුරුද්දට

කවිකාර බැල්මක් තියෙන වලාකුළකට
අත වනා එන්නැයි කියන්නට පුළුවන්ද
මඳහාසෙ නැතිවෙලා යන දේදුන්නකට
රවා රවා ඉන්න එක හොඳ නැහැ නේද

පසුකරන් යන සෙවනැලි පේනකොට
හරි හමන් දුකක් එන්නේ කී දෙනෙක්ටද
මඟහැරුණු තැන් පසුපසින් කෑගසනකොට
දුවන් යන්නට බැරි අය කොච්චරද

Friday, June 27, 2014

සදා වැජඹෙන සිරි අසිරි මේකද..?

පුරසඳට ආවඩන මඟියෙක්
තරු එළිය දැක බැන වඳිති
මට සිලිටු කම් ගිය දෑතකට
කඩු කිණිසි හුරුයි හරියට

කුසගිනි කාටත් පොදු දහම
ඇවිලෙන විටදි ඉවසනු බැරිම
මදුවිත හිස් කරන කුසලානම
කෙළ ගිලිති දුගියට හැමදාම

මැදුරු මන්දිර සීත කාමර
උකුසු ඇස් කැරකෙන අතර
ලපටි දළු එන මල් පොකුර
කඩති අතකොළු සිතා බොහොවර

කිරි පැණි එක්ක සුර යහන් මැද
තිර රෙදි වලින් සැඟවෙයි දුඟද
කුණු කානු පල්ලක තියෙන එළියද
බොඳ කර සිනාසෙයි විල්ලුද

සොබා දම් නියතිය මොටද
සබාගැබ් මැද තිබෙයි අවජාත
සදා මනදොල පිනයි සාරෙට
අපේ සුරපුර මෙයයි අසිරිය

අතකින් කිසිත් නොගනියි
යටකින් කුරුමාණ අපමණයි
"අඩෝ මං පුතෙක් අරයගෙ" කියයි
සාදු කියමින් එහෙයියන් නැමෙයි

පින් කරයි වෙහෙර බැබලෙයි
අනාගතයක පපු නහර දියවෙයි
වැරදිලා කොතනකට යන්නද
පැරදිලා පොඩි උන් පෙරෙසේම

කැරකිලා රුයිතෙට ඔය බඹර
අනේ යන්නේ නැතිද ආපිට
සිංහයෙක් කැණහිලෙක් කර
සදා වැජඹෙන සිරි අසිරි මේකද..?

Saturday, June 21, 2014

නැවුම් බංකුව වෙමියි මං හැමදාම මිතුරු බෝතලයට


ප්‍රේමයේ වර්ණය හොයන නෙක සිරිය පිරි උයන් මැද
බංකුවක් වෙලා මං නොකියන කතාවක් නොදැක්කද
සිනහවේ බරත් සම කදුළු හා රසයක් අතර මැද
දන්නෙ කවුරුද ඉතින් මොනතරම් සැඟවුම් මා ළඟද

නිල්, රතු පාට කමිසම යති සති මැද සහ මුලට
සුදු කහ පාට යති පෝයට සහ සෙනසුරාදට
බිම බලා පොඩි ඇස් තියෙන මල් පිපෙයි ඉරිදාට
අනේ මගෙ ඇඟ රිදෙයි බර උසුලලා හැමදාට

මහන්සිය කොයිතරම් කීවත් අසන්නෑ කවුරුවත් කිසිමවිට
හාන්සිය විතරක්ම ඉල්ලනා හැටි යන එන බවක් නොකිවුවට
කොනිත්තන විට සමහරක් දිග නියපොත්ත අරගෙනම හයියකට
නාඩ ඉඳියත් මං ඉකි ගැසෙයි පෙනෙන දුර සිටිනා මගෙ සොඳුරියට

රැය එද්දි සියොළඟම මගෙ ගැහෙනවා එක සීරුවට‍
මහත උන්දලා අපුල්ලයි කුණු පිට උඩ පෝලිමට
කෙලෙහි ගුණ නොදන්නා උන් පයින් පාගා පදමකට
කෙළත් විසිකර යනෙන එක කොහෙන් ආවද උනුන්හට

එකම මල් විවිධ වෙස් ගෙන ඇදෙයි එලෙසට බඹරු එක්කම
"අනේ මෙහෙමත් ලෝකයක්" කියා යයි ඇස් මගෙ නළලටම
අතැර මැද යම් දුරක් තිබුණත් මගේ පෙම්වතිය සමඟම
කතාවෙයි මිනිස්සුන් කරන තරමක් රැවටුම තමන්ටම

උයන්පල්ලා විසිල් කරමින් ගැස්සෙනා උන් හදවතට
ගවුම් කර ඉස්සිලා යන හැටිත් පුදුමයි ඒ වෙලාවට
සියුම් තටු ගසමින් ඉඟිළිලා එන කුරුල්ලන් රෑනකට
නැවුම් බංකුව වෙමියි මං හැමදාම මිතුරු බෝතලයට

Tuesday, June 10, 2014

සීදේවී

ඇපල්වත්තෙ මාගරට්ගෙ බාල දුවත් සීදේවියි
කුරුඳුවත්තෙ අස්වැන්නට හුඟක් පරාදයි
දහය දොළහ අතර රෑට නිතර නිතර බිසී වැටෙයි
හැපෙන රසය මස් පිරිලා කටු යට හින්දයි

ගාන මොනරු කී දෙනාද
ටැක්සි එකට හයර් දෙන්නෙ මාසෙ අඟට
පාන ලීලෙ කොයි වගේද
දස්සි ඇයයි දත් ගලවන ගජරාමෙට

තොල් සායම් නිය දේදුණු
රතට රතේ රතු කිකිළි
කුණු කාණුවෙ ගඳ වැහෙන්න
පැරිස් යනව හරි පුසුඹයි

ඕකි එක්ක මොන කතාද, යන්න එපා කිය කියා
එහා ගෙදර චන්ද්‍ර අක්කා රකුසු මුහුණ දික්කලා
පන්දාහයි හයදාහයි ගාන ඩබල් සැප අනුවයි
නාකි හිපොටු මනමාලයො නිතර නිතර සෙවල පෙරයි

"හිතේ ඇත්තෙ පත්තිනි" යැයි නිතර ගැයෙන තාලයයි
ගතේ ඉතින් "හොරිත් ඇතෙයි" පිටින් වහපු සෝබනයයි
පුතේ අනේ ඔය හැතිරිට අහුවෙන්නට එපා එපා එපා තමයි
අතේ සතේ නැතිම දාට කොයි කාටත් සීදේවිගෙ පිහිටමයි

ළමයි ටවුමෙ ඉස්කෝලෙට දාගන්නට
වීල් එකක් පාර්ක් එකේ ගාල් කොරන්ට
ණයක් ,අලුත් රස්සාවක් හදාගන්නට
කොයි කාටත් සීදේවියි ඉන්නෙ ළඟකට

"උලත් එකයි පිළත් එකයි ළමයි මොටද බන්
මාස දෙකේ, තුනේ බඩත් හිස් කරනව මන් "
වැඩකාරයො කොයි කවුරුත් දණ ගැහුවා බන්
කොහොම වුනත් සීදේවිත් අපේ එකෙක් බන්

Thursday, May 29, 2014

ආදරේ පිරෙයි..ඔබ එන්න ප්‍රියේ



සංසාර කෙතේ අස්වැන්න වෙලා
නුඹ බලා සිටී මුදු සිනා සලා
ඉසිඹුවක් ලබා මම ඇදෙමි සොයා
පෙම් කවක් ලියා මුළු හිතම පුරා...

සෙනහසින් අරුණැලි ගලා
පුබුදුවයි හැගුමන් නුරා
නුඹේ හදවත් ආරණ්‍යයේ
ගී ගයමි ගිරවිය වෙලා...

සදා පැදකුණු කරන බෝමැඩ
වගෙම ඔය හිත නැමදලා
නෙළා දෝතට ගන්න අවසර
එන්න පෙරඹර දසුනක් වෙලා



Thursday, May 15, 2014

මා මනස අතරමං කළ " මාගම් සෝලිය "



"කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි "
කල්පනා ලෝකය
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර

ආරම්භක පිටු අතරම මෙය දැමීමෙන් කියවන්නා එය දැකීමෙන් කර්තෘ කියන දේ ගැන තර්ක කිරීමට අවස්ථාවක් පාඨකයාට අහිමි කර ඇතැයි මං සිතමි. පන්සල කේන්ද්‍රීය සාධකය කරගනිමින් පවුලක් වටා ගෙතුන මොහාන් රාජ් මඩවලගේ මාගම් සෝලිය නැමති නව කතාව මා ප්‍රශුස්ථය කර ගනිමින් විවරණයක යෙදෙන්නට හදවතට එකඟ වෙමි.

1818 දී ඉංග්‍රීසින්ගෙන් රට බේරා ගැනීම අරඹයා ඌව වෙල්ලස්ස කැරැල්ල ඇරඹිණි. ලොව දරුණුම ත්‍රස්තවාදීන්ද පරාජය කළ අප ශ්‍රිලංකා හමුදාව අද මෙන්ම එදාද අති බිහිසුණු ලේ ඟගක් මැද බැස තිර සාර අදිටනින් විමුක්තිය සොයා සටන් කළහ. වැටෙමින්ද වැඩෙමින්ද දන දන තුඩ තුඩ රැව් දෙමින් ගමක් ගමක් පාසා ඇවිලෙමින් එය විකාශනය විය. ඕනෑම අයෙකුගේ අවධානය නිතැතින්ම ඇදී යන්නට සලස්වන ඉතිහාසයයෙහි ලොම් ඩැහැ ගැන්වෙන දෙයක්ද කතාව ආරම්භයට පෙර මුල් පිටු ගොන්නට එකතු කරන්නට මොහු දක්ෂය. එම දැකීම් දිගේ ගියද අවසන හදවතෙහි ඉතුරු වන්නේ මෙලොවදී මිහිපිටදී සිදුවිය හැකිදැයි යන සිද්දිදාමයක් කරපින්නාගත් ප්‍රශ්ණාර්ථ ගොන්නකි. කාගෙත් කියවිල්ලට මාද මටම කියා පොතක් ගෙන හති දම දමා කියවා අහවර කලෙමි. මා දෙලොවක අතරමං විමි. ඒ මෙවන් ලොවක මේ දේවල් වේදෝ යන මනෝ විකාරයයි.

පුංචි රාලගේ අනාදරයට නතු වු ගෝමරී නම් බිරිඳත් තම දියණිය හා පවුල් කන සැමියාත් ගිහියෙක් වුද නමුත් පැවිද්දෙකු සතු යුතුකම්ද කරන ගනින්නාන්සේ කෙනෙකුත්ද මැණිකා, පුංචා, ටිකිරි ආදී දරුවන් සමඟින්ම පොඩිනා, ආරච්චිල, සුරඹා, සොබනී යන වෙනත් චරිතද මෙයට ඈදාගෙන ඇත. විවිධ දේ අතින් ලොව නොහිතන දේ වෙද්දී තම දියණිය සමඟ පවුල් කන පියා යන චරිතයට පුදුමයක් නොවේ යැයි යමෙක් තර්ක කළ හැක. එහෙත් එය උලුප්පා පෙන්වන විදිහට අප්පිරියා හිතේ. 

අද ලිංගිකත්වය ගැන කතා කිරීම එතරම් දෙයක් නොව. එය මෙලොව සත්වයා බිහිවිම අරඹයා එදා සිට අදත් හෙටත් ලොව පවතින තුරුත් සිදුවන්නකි. නමුත් මෙකී ක්‍රියාව ගැන ලිවීම ප්‍රමාණය ඉක්මවා ගියා යැයි මට සිතේ. ඕනෑම දේක සීමාවක් තිබිය යුතුය. එහෙත් ජුගුස්සාජනක ලෙස එකම දේ විවිධ චරිත වටා පුන පුනා ඉලිප්පීම මත පාථකයාගේ මනස දිගේ ගලා එන්නේ ඔක්කාරයකි. වල්ලී සහ ආරච්චිගේ පුතා දේවාලය තුල හැසිරෙන අවස්ථාව ලියා ඇති ආකාරයත් තව ඕනැ තරම් උදාහරණත් කතාව පුරාම ඇත. 




සම්ප්‍රදායික පන්සල යන රමුවෙන් පිට පැන ගත් පන්සලක වින්‍යසය ගෙතන මෙහි ධ්‍යාන ලබා ගත් ලොකු හාමුදුරුවන් අනාගතය දකිමින් පල්ලේගම හාමුදුරුවන්ව ගමින් පිට කර සටන් සදහා වෙහෙස වන්නට යවයි. මෙය පිලිගන්නට හැකිය. මන්ද චිරාත් කාලයක් ගමත් පන්සලත් බද්ධ වෙමින් බුදු දහමත් සිංහල ජනයාත් රකිනු ලැබුවේ ගමේ විහාරස්ථානයේ හිමි නම විසිනි. මෙකී හිමි නමද තම යුතුකම් ඉටුකලා යැයි මට සිතේ. එමෙන්ම උන්වහන්සේ නිවුණු මිනිස් දහමින් පරිපූර්ණ චරිතයකි. ලොකු හිමි ගැන කතාව තුලදි කිසිම අකැමත්තක් ඇති නොවේ. උන්වහන්සේ විය යුතු දේ වෙන්නට ඉඩ හසර තනා දී ඇස් පියාගත්තා යැයි මට සිතේ. නමුත් එතැන් පටන් පන්සල බාරගන්නා සුදු බණ්ඩා එසේත් නොමැති නම් ඇබිත්ත උන්නාස්සේගේ ක්‍රියා කලාපය කෙසේවත් පිළිගන්නට බැරිය. එම චරිතය මවද්දි මෙකී කතුවරයා පැටලිලා ගියාදෝයි මට නොසිතෙනවා නොවේයි. එහෙත් අපට පිළිගන්නට බැරි අධි තාත්වික ලොවක් කරා අප රැගෙන යන්නට වෙහෙසෙන කතුවරයා පාථකයා අතට දෙන්නේ උක් දණ්ඩකි. එය සපන වාරයක් පාසා පැණි රස අඩුවෙනවා සේ මෙයද කියවා යද්දී රසද්දීපනය හීන වී යයි.

මෙලොවෙහි වටිනාම දියරය මව් කිරිය. එයද කිසිදා දරුවෙක් නොවඳපු එහෙත් දරුවන් වඳන්නට උදවු දුන් පොඩිනා නැමැති ගැහැණියට අසීමිතව උරුම වේ. ලොව මවිත කරන රහස් බෙහෙත් තනමින් ඇය මුදල් උපයා ගන්නවා පමණක් නොව බිංදු තනිකරම ජිවත්වන්නේ මව් කිරෙන් පමණි. වෙන යම් අහරක් කිසි විටක ඔහුට නොදෙයි. ඔහුගේ පුරුෂ ලිංගය ස්වාභාවිකත්වය පරයා යමින් විහිළුවක් තරමට පත්වී ඇත. එහි හොඳම සිනා යන තැන නම් පොඩිනා පසුව රහස් බෙහෙතක් තනා පිරිමින්ට එම බෙහෙත අලෙවි කිරිමයි. අද සමාජයේද මෙවැනි චරිත ඇත. තම ලිංගේන්ද්‍රිය ගැන සෑහිමකට පත් නොවු කළ විවිධ වෙද හෙදකම් කරමින් ඒ ගැන සෑහීමකට පත්වෙන්නට වෙර දරණ අවස්ථා නැතුවා නෙවෙයි. වාජීකරණ බෙහෙත් ගැන අදද පුවත්පත් වල ඕනෑ තරම් දැන්වීම් ඇත. එහෙත් මෙතන සිදුවන විහිළුව නම් මෙය මව්කිරෙන් තැනීමය. දොවන්න දොවන්න උණන කිසිදා නොසිදෙන මව්කිරි හරියට මැජික් ඇල්ලක් වැනිය. එක දිගටම කඩා වැටේ. කළයක් දෙකක් නොව ඇතිවෙනතුරු දොවා තැබිය හැක. මේ තරම් දුරට පාඨකයා නූල් බෝලයක මෙන් පටලවා අතරමං කලේ මන්දැයි මට සිතා ගන්නට බැරිය.
එහෙත් මේ සියල්ලන්ගේම ප්‍රධාන අරමුණ මාකටින් විය හැක. අද හොදට විකුණන්නට පුලුවන් දේ ලිංගිත්වය වු නිසා මොහු එය විකිණිමට යොදා ගත්තාදැයි සැක සිතේ. ඕනෑම දෙයක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඔසවා තබන්නට ගිය විට එම පුද්ගලයා අසාර්ථක වේ. මොහාන් රාජ් මඩවල නැමැති මේ කතුවරයාද නොගැලපෙන ලෙස ලිංගිකත්වය කරපින්නාගෙන උස්සා තබන්නට යෑමෙන් ඔහු අච්චාරුවක් කර ගත්තා දැයි මට සිතේ.

යථාර්තය ඉක්මවා ගිය රීතියක් ඔස්සේ යමින් මෙය රචනා කරමින් එදා වෙල්ලස්සේ අහිංසක ගැමියන් ගැන වැරදි රූපයක් සමාජය ඉදිරියේ මවා පෙන්වීම දුක්ඛදායක කරුණකි. අනික් දෙය නම් කතාව ආරම්භ වීමට පෙර 1818 කැරැල්ල ගැන කියන තරම් කිසිවක් කතාව තුල නැත. අවසාන හරියේදි යන්තම් කතාවට එය ඔබා ඇත. අසාර්ථක ෆැන්ටසියක සිට විකෘති, සමාජ විරෝධී, පාඨක මනස නිවී සැනසී සන්තෘෂ්ඨියක් ලබනවා වෙනුවට අප්‍රිය වී අප්‍රසාදය වැපිරී කියවු අපරාධය යැයි යන හැගීම ඉපදීම දුකට කරුණකි.

ප්‍රාථමික ලිංගික අරගලයක් ගෙනයමින් අභුත විකාරයක් තුල හිරවූ කර්තෘ තුමා ඔහුගේ ප්‍රථම නවකතාව හොඳම හොඳ මාකටින් න්‍යායක් බව පමණක් සඳහන් කළ යුතුය. එය පොත මුද්‍රණය කළ දින සිට අද වන තුරු ඔහු දක්ෂ ලෙස හසුරුවා ගෙන යන්නට මෙහි ගැබ් කර ඇති දේ මනා ලෙස පිටිවහල් වී ඇත. පාඨකයා සර්ව බලධාරියා කියමින් ඔහු ඇරඹුමේම අත පිස දමා ගන්නේ එබැවිනි.


Tuesday, May 6, 2014

හිතන්න...ඔබට බාරයි.

ජීවිතය කියන්නෙ නවාතැනක්..සංසාරෙ කියන්නෙ ගමනක්.. මේ ගමන යනවිට අපි විවිධ විෂම විපර්යාසයන් මැද ඉපදීම, ඇවිදීම, මිය යෑම ආයෙමත් ඉපදීම ලෙස නානප්‍රකාර ලෙස යන්නෙමු. කොහේ හෝ සංධිස්ථානයක ගැලපුමක් ලෙස මේ මනුසත් ලොව උපත ලබා ඇත. එහි ඇරඹුමේ සිට අවසන දක්වා වැඩෙමින්ද, වැටෙමින්ද අප යන්නෙමු. හමුවෙන, ලැබෙන,දැනෙන, වැරදෙන, හරියන මේ කෝකත් හිමි අහිමි කම යැයි බොහෝ දෙනා කියන ඇත. එහෙත් හිමි අහිමි කමටද හඬක් නඟන්නට අයිතියක් ඇද්දැයි දැන් මට සිතෙන වාර අනන්තය. එය ඔබටත් එසේම යැයි මා සිතමි.


මා මේ කියන්න යන්නේ සොඳුරු සෞන්දර්යාත්මක පැතිකඩක් නොව. අඳුරු දුක්බර යථාර්ථයක කැඩපතකි. මා උදාහරණයට මා ගනිමි. මගේ අම්මා කෙසේ හෝ මාසෙ මුලදීම පාසැල් යෑම සඳහා මට මාසික වාර ප්‍රවේශ පත්‍රය ( සීසන් එක ) අරන් දෙමි. එය නොපිරිහෙලා පුරා වසර 12 ක් ඈ අතින් සිදු විය. ඉඳින් කුසට අහරක් වැටුණද නොවැටුණද මගේ පාසැල් ගමන ස්ථිරය. අසනීපයක් නැහැදුනා නම් එය අනිවාර්යය. අපේ භාෂාවෙන් කිවුවොත් බුදු ෂුවර්ය. පයට සපත්තු දෙකක් සෙරෙප්පු දෙකක් තිබුණා නැතා දෙවියනේ කියා අපේ පාසැලේ ගේට්ටුව අපිට විවෘතය. උදෑසන රැස්වීමේදි අනන්තවත් මහ පොළව මහපට ඇඟිල්ලෙන් හාර හාරා උන්නු අවස්ථා අපමණය. එය ආපසු හැරි බලද්දී සිනහ යන්නේය. නිදහස් අධ්‍යාපනයේ පියාට පින්සිදු වන්නට අච්චු පොත් ටික නිළ ඇඳුම ලැබෙද්දී අකුරු කරන සිහිනය අපට සිහිනයක් නොවුණි. හැක වෙර යොදා දුප්පත් මව් පියන් වෙහෙස ගත්තේ තමන් නොදැකපු ලෝකයට තම දරුවන් ඔසවා තබන්නටය. ඒවා සාර්ථක විය. ඒ අහිංසක දුප්පත් අම්මලා තාත්තලා සිනහ විය. සතුටු විය. ඒ ඔවුන්ගේ දරුවන් සිප් කිරි බී නැණැති දනන් වී සමාජගත වන හන්දා.



එහෙත් අද අපේ රටේ නිදහස් අධ්‍යපනයක් ඇද්දැයි මට සිතේ. එය හුදෙක් ව්‍යාපාරයක් බව නොකියාම බැරිය. ජනාකීර්ණ කොළඹ සහ නගර අපි අපමතක කරමු. එහෙත් ඈත දුර හම්බන්තොට වැනි ප්‍රදේශයක දුප්පත් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තම දරුවාට අකුරු ඉගැන්වීම අද සිහිනයක් වී හමාරය. මෙවැනි තත්වයක සිට එම දෙමාපියන්ගේ දරුවන් සමාජයට එද්දී මොනතරම් විපර්යාසයන් අනාගතයේදී වේදැයි මට සැක සිතේ.



මේ හොඳම සත්‍ය සිද්දියකි. දරුවා තුන්වන වසරේ ඉගෙනුම ලබයි. ඔහුට තිබෙන එකම සපත්තු දෙක දැන් දාන්නට බැරිය. ඒ පුංචි කකුල් තරමක් දික් වී ඇති නිසා. අම්මාට සපත්තු දෙකක් අරන් දෙන්නට බැරිය. හරියට කන්න නැතිව ඉන්න හිටින තැනත් මහ වැස්සට ගංගාවක් සේ වතුර පිරෙද්දී අර අම්මාට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්නට හැකියාවක් නැත. " අනේ අම්මෙ බනින්න එපා. මට මේ සපත්තු දෙක දාගෙන යන්න බැහැ. මේ මගෙ චුටි ඇඟිල්ල බලන්න. රිදෙනව." දරුවා දිය පට්ට ඇවිති ඇති කකුළ් දෙකම තම මවට පවසමින් පවසා ඇත. එහෙනම් පුතා හෙට සෙරෙප්පු දෙක දාගෙන යන්න කියා අම්මා පවසා ඇත. පහුවදා සෙරෙප්පු දෙක දාගෙන ගිය පුතුට පන්තියේ ගුරුවරිය සෙරෙප්පු දාගෙන එන්නට එපා කියා ඇත. පසු දිනත් දරුවා එසේ ගිය විට අම්මාට එන්න කියා ඇත පාසැලෙන්.. අම්මා කාරණය දන්නේය. එහෙත් ඇයට කරන්න දෙයක් නැත. අවසන ඇය දරුවාට පවසා ඇත්තෙ පුතේ ඔය සපත්තු දෙක අමාරු වුනත් දාගෙන යන්න. මයෙ පුතා පන්තියෙදි සපත්තු දෙක ගලවගෙන ඉන්න. මිස්ට කියන්න අම්මට සපත්තු දෙකක් අරන් දෙන්න විදිහක් නැහැ කියල. මෙහෙම මේ සිද්දිය වෙද්දි අහම්බෙන් මා ඒ මවට දුරකථනයෙන් කතා කලෙමි. ඒ මා ඇයට කාලයක් තිස්සේ උදව් උපකාර කරන බැවිනි. සිද්ධිය පැවසූ විට අවශ්‍ය සපත්තු දෙක මිළදී ගැනීමට මා මුදල් යොමු කලෙමි.



ඉන්පසු නැවත සතියකින් පසු මම එම මවට කතා කළෙමි. ඒ දරුවා දැන් සතුටෙන් පසැල් යනවද කියා අසන්නටය. අනේ අද දරුව පාසැල් ගියෙ නැහැ. ඒ මොකද කියා මා ඇසු විට ඉස්කෝලෙන් රුපියල් දෙසීයක් ගෙනෙන්න කියල. මේ වහිනව මෙහෙ හොදටම. දරුවව මම වෙන ගෙදරකට පිටත් කරල යවල තෙමෙන ගේ ඇතුලෙ මං ඉන්නෙ. ඊයෙ රැ ඉදන් උයාගෙන කෑවෙ නැහැ. උයන්න දේකුත් නැහැ. මුළු ගේම ගංවතුර වගේ..මැටි බිත්තිය දැන් වැටෙයි කියන බයකින් ඉන්නෙ. ඈ පැවසුවේ මෙයට සමාන වඳන්ය. ඉකි ගස ගසා හූ කිය තියා ඇයි මටම මෙහෙම වෙන්නෙ කිය කියා ඈ පැවසූ දේ අසා සිටින්නට මගෙ හදවත වාරු නැහැ. එහෙත් මා ඇයට කිවුවෙ අඩන්න එපා. ජිවත්වෙන්න තියෙන හයිය දියවෙලා යනව. කොහොම හරි ජිවිතේට මුහුණ දෙන්න කියාය.



ඉතින් මම අසන්නේ මෙයයි...



සපත්තු දෙක දාන්න බැහැ දරුවගෙ කකුළ ලොකු නිසා දිය පට්ට එනව. සෙරෙප්පු දෙක දාල යැවුවම දරුවගෙ අම්මව ඉස්කෝලෙට ගෙන්වනව. ප්‍රින්සිපල් ලගට දරුවව ගෙන්නල තරවටු කරවනව. ඊලග දවසෙ දරුව බැනුම් අහන්න බැරි නිසා ඉස්කෝලෙ යන්න බැහැ කියනව.



ඊට පස්සෙ හැමදාම රුපියල් පනහයි, විස්සයි , සීයයි, දෙසීයයි අරක මේක. සතියෙ දවස් පහට මොනව හරි පස් දෙයක් තියෙනව. . ඉන්න ගේ දණක් වතුර පිරෙද්දි දරුවගෙ ඉස්කෝලෙන් රුපියල් දෙසියක් ඉල්ලද්දි ඒ අම්මගෙ තත්වය කොහොම ඇද්ද...



ඇයි අද දරුවෙක්ට නිදහස් අධ්‍යපනය ලබාගන්න අවස්ථාවක් නැත්තෙ... මෙහෙම බිස්නස් මට්ටමට අධ්‍යාපනය වැටුනෙ ඇයි...හැමදේම යමක් කමක් තියෙන මිනිස්සුන්ට විතරමද.. ලෝකෙට කෑගසා කියන ආශ්චර්යය මෙයමද.. ලෝක තරුණ සමුළුව හම්බන්තොට පවත්වද්දි හම්බන්තොටම අනාගතයෙ තරුණයෙක් වෙන්න ඉන්න දරුවෙක්ට උරුමය වී තියෙන්නෙ මේකද...? හිතන්න ඔබට බාරයි. 

Thursday, April 24, 2014

" ඔබ මේඝයක් "



කිසි දිනක සිත් අහසෙ නොරැදුන

ඝණ සළුවෙ කළු පැහැය පැතිරුණ

ඔබ මේඝයක්....මේඝයක්

චණ්ඩ ගෙරවුම් අකුණු සැරයෙන්

හිත් අහස ඉරිතලා දෙපසට කෙරූ

එක තැනක නොරැදුණ

ඔබ මේඝයක්....මේඝයක්...



විසිරිලා සී සී කඩව යන්නට  සැදූ

පැරදිලා හඬන පොළවටම කඳුලෙන් ගැසූ

ජීවිතේ හුස්මටත් ඉරෙහිව බිය ගෙනා

ඔබ මේඝයක්....මේඝයක්..

ඝණ සළුවෙ කළු පැහැය ඇතිරුව

ඔබ මේඝයක්...මේඝයක්..



කැඩී අතපය රිදෙන මල් පෙත්තේ

විලාපය කිසි දිනක නොඅසා

කැඩූ කූඩුවෙ නටබුන්ද උදුරලා ගත්තේ

විනාසයෙ හැඩ වැඩ බල බලා
සිනාසුණු ඔබ මේඝයක්...මේඝයක්...මේඝයක්... 

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...