------------------
"නාවික හමුදාව විසින් වටකරගෙන තිබෙන කාරයිනගර් ඌරි ගම්මානයේ මුල්ලක ජීවත්වූ පවුලක ඉපැදුනු දුවේ, ඇඟපත වෙව්ලන නුඹේ පියාට රැකියාවක් නැත. මවගේ කුලී රැකියාව විස්වාසකර ජීවත් වන පවුලකි,
දිළිඳුකමින් ජීවිතය ගෙන යන පවුලක අන්තිම දරුවා නුඹයි, නුඹ එකලොස් හැවිරිදි කුඩා මොට්ටුවකි, දුව පැන සෙල්ලම්කර ඉගෙනුම ලබාගත යුතු ළදැරියකි, මිනිසුන් නැති පාළු කැලෑබද පාරකින් දිනපතා පාසල් යන එන නුඹව ඉලක්ක කර නාවික හමුදා සෙබළුන් පැහැරගෙන ගියෝය. ඔවුන් තම ම්ලේච්ඡ කාමාශාවන් සංසිඳවා ගැනීමට තැත්කළ විට නුඹ අඞා වැලපී තිබේ... විරුද්ධවී... ප්‍රතික්‍ෂේපකර තිබේ... නමුත් ඔවුන් නුඹව අතහැරියේ නැහැ, පිහිය පෙන්වා බෙලි කපනවා මරනවා යැයි තර්ජනය කර තිබේ, එම පාරෙන් ගිය වයසක පුද්ගලයකු නුඹේ අඞා වැලපීම දැක “කුමක්ද කරන්නේ පව් ඇයව අතහැරින්න“ යැයි ඉල්ලා තිබේ. නමුත් සෙබළුන් තර්ජනය කිරීමෙන් බියට පත්වූ ඔහුද එතැනින් ඉවත්ව ගොස් තිබේ."
______________________________
පෙරී එන හිරු රැස් යටින් නුඹ
වෙලාගත්තේ බියකරුම වලසෙක්
හැරී බලලා යන්න දන්නැති
දුවේ මලකට පිපෙන්නට තහනම්
කුසේ ගින්දර
ඇසේ පතුලෙන් නොදුටුවට
නුඹේ අම්මා කඳුළුයි දියකලේ
ඇයගෙ හද,
ගිනි ගන්නවා ඇති නොදැක්කට
නුඹේ බර,
ඈම පමණයි ඉහිලුවේ
"ඌරි" ගම් මැද ඌරු ගඳකට
නාස් හකුලන්නට බැරි යුගේ
කාසි බලයට නාකි හිවලට
හැකියි කන්නට තව මිදි වනේ
දෙව් සඳිසි මිත් කැළක් යැයි
කිය කියා පැන් කළ වත්කලේ
හව්හරණ නැති බිම් මලට ඇයි
පා පහස දී උඹ පොඩි කලේ
ලොවේ දහමක් කියා ඇත්නම්
අනේ පල දී උඹ පැලී මැරියන්
දුවේ වැරදුණ තැනින් නැගිටින්
අයුක්තියකට හෙට හඬ නගන්.
විස්තරය කියවන්න මෙතනින්













