Tuesday, June 12, 2012

_________උලලේනියේ___________

වැහි සිරි පොදෙත් හීතලටම දැනෙනවද....
රෑ මැද කළුවරට බියපත් වෙනවාද
අතු ඉති වැනෙන සෙවනැලි ඇස වසනවද
මම මෙන් උඹත් උලලේනියෙ අඬනවද....

හිත වට රැක්ක සිතුවිලි දුර ගියාවද
මල් වට බමරු පියඹන බව නොදත්තෙද
උඹ වට රැක්ක දෙවියන් දුර ගියාවද
අද හෙට ඉතින් ඔය හිත ගිනි ගනීවිද......

සැවොලුන් කෑ ගසාගෙන පණිවිඩ ගෙනිච්චද
මේඝය ළගින් එක පාරක් දුක ලියෙව්වද
පවනේ යනෙන වේගයෙ හිත උඹ කියෙව්වද
ඔය සා දුකක් සගවන්නේ පෙම හින්දමද.....

______________________________දිනිති_______

Sunday, June 10, 2012

මා ප්‍රිය සිත්තරාණෙනි....

මගෙම ඔබට

__________ඔබට___________
( ඒ මට ජිවත් වෙන්න හුස්ම ගෙනාවට )

කිසිම පාටක් සොයන්නට නැති
බොඳවෙලා ගිය ජීවිතේ
නින්ද නැතිමුත් වැසෙන ඇස් යට
එකම සම්පත ආදරේ......

හුස්ම ගන්නට මතක් කර දුන්
පුසුඹ හින්දම දිවි මගේ
නුඹත් නැති හෙටක් කුමටද
සොඳුර ඔබමයි ජීවිතේ....

රැයේ පිපෙනා සියළු මල්වල
ඉලිප්පුනු නෙත් අතින් වහලා
ලොවට රහසින් ළගට ආවේ
සඳයි ඔබ තරු කැටත් මකලා....

විල් දියේ හැඩ වැටුණු සඳවත
දකින විට මුව ඉස්සිලා
බදාගෙන මම සිම්බ හැටි
තවම සිත්තම් හිත පුරා....

ගී ගයන්නට විහඟු නැති මේ
අඳුර රජයන වෙලාවේ
කවි ලියන්නට පද අරන් එන
සොඳුර කවිකම් වුනානේ.....

යන්තමට රතුපාට වුන නෙත්
සඟල ළග තනිවුනානේ
එදා වගෙම අදත් ලෝකය
දකින්නේ ඒ ඇස් නිසානේ.....

සෙත් පිරිත් හඩ ඈත ඇසුනට
සිල් බිඳින්නෑ අවේලාවේ
සිත් තොසින් මට හුස්ම ගන්නට
ළගින් ඉනුමැන හැම වෙලාවේ.....

අතට අසුවන සෑම තැනකම
පන්හිඳත් ඔබ ගැනම කිවුවේ
ඇත්තමයි මට හුස්ම ගන්නට
ඔබයි පණ නල ගෙනාවේ....

_________________________දිනිති_____




Friday, June 8, 2012

එක්තරා කතාවකි. මසිත් මනසේ ඇදුන.

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉදගත් විට පුතු ගෙන යනු ඇත්තේ
ගිනි මද්දහනක සෙයිලම පැත්තේ
සිගිති දෙපා නම් පිච්චෙනු ඇත්තේ...

යකඩ යකා පිඹගෙන ආ හැන්දෑවේ
වැරදි ලෙසයි සටහන් සංඥා තැබුවේ
දණහිස් පහලම මගෙ අරගෙන දිවුවේ
පුතුනි උඹට කරුමෙයි ඒ ගෙන ආවේ

සිල්ලර කාසිය මිට මොලවාලා
මහතුන් දුන්නත් පිය පුතු බලලා
ඉදහිට ඇසුවත් ඇය කෝ කියලා
නොමදනි ලෝකය ඈ ගියෙ පැනලා....

බැරිබර ගාතෙන් වතුර අදින්නේ
සවි නැති මුත් මා ගත දෝවන්නේ
පාසැල කොහෙදැයි නෑ හදුනන්නේ
මා පුතු එලෙසයි උවටැන් දෙන්නේ....

උරුමය මෙය නම් සසරේ ගෙන ආවේ
මිනිසුනි පුතු ගැනමයි හිත ගිනි ලෑවේ
තැවෙන සිතින් එක පැතුමයි මා පැතුවේ
මෙපින් බලෙන් පුතු ඔබ මතු නම් බුදුවේ...

___________________________දිනිති____

Sunday, June 3, 2012

ශිල්ප ලබනට ආවෙමි කොලොම්පුර



මතු රැකෙන ශිල්පය
උගත යුතු යැයි මනා
සිත සිතා වෙහෙසකර
අවසනම ගොඩවැදුණි
තිඹිරිගෙට කොළඹම.....

සතිස් මහා ශිල්පයක්
ඇවැසි නැතිමුත්
සොලොස් කලා ශිල්පයම
නොදත් මුත්
ගෙන්දගම් පොළවෙ
සූ සැටක් නෙක
‍දෑ බොහෝ හමුවුණිය...

රතු පාට ඉර ගිනි ගන්න
හැන්දෑවකදි
ගෝල්ෆේස් මුහුද ළග
සුළග මහන්සියටත්
හුස්ම ගන්නේ සීරුවෙන්
හීරිලා යන හද පතුල
රිදෙයි යැයි බෝ දුකිනි....

ලා කහපාට සඳ තවරද්දි බිම
සීතලක් දෙන්නට රැයේ
බුර බුරා දුම් දමයි
කතා නැතිවම තාර පාරත්....

පොත අතට ගෙන
හීන කන්දක පාමුලක සිට
වට්ටක්කා හොද්දෙ පීනනා
පැතුම් මල්
ගිල ගන්නා
සුදු හාලෙ බෙරි බතට
තල්ලුවක් දෙයි
අද නොවෙයි හෙට පිපෙයි කුසුම්.....

දුක පඳුරු ලන
කොන්ක්‍රිට් පුරවරක
දිසාපාමොක් හමු නොවුන මුත්
ටකරන් වහලෙ යට
බෝඩ්ම් කාමරේ
මුල් අදියි නෙත් මුලක
හැමදාම කොනහමින්
පෙර නිමිති නම් නුග පැළය......

සුවඳ මිනිසුන් නොහමුවුන මුත්
මහළු මැයි මාර ගස්
අළු පාට පොතු ගලවගෙන
කියන්නේ උනුන් පෙර දවසෙ
විඳි ගැහැට අපමණක්.....

වෙල් එළියෙ හමා එන
ගම්මානෙ පොට්ටු කුසුම්
හසරැල්ල සොය සොයා
පිහිනති පෙර මෙන්ම
මතු මතුත්
සිප් කිරි උර උරා
දික් විජය කරන්නට ශාස්ත්‍රයෙ අකුරු.....


______________________________________දිනිති___________

*** සමාකරන් අප්පච්චී *** Part - 07

                       සිහින හැමදාමත් මා රැකියාව නිමාවෙන වේලාවට ඒ අසල රැදී හිදියි. ඉඩලද හැමවිටකම මා ඔහු හා කතා බස් කරයි. එහෙත් බොහෝ දිනවලට මට ඔහු දෙස බලනවා හැර වෙන කරන්නට දෙයක් නැත. මන්ද ලොකු අයියා හෝ අප්පච්චී සමඟ හෝ ඩ්‍රැයිවර් සමඟ මට යන්නට සිදුවෙයි. දෙව්මි මට තේරුම් කර දෙන්නට ගොස් වෙහෙස වූවා සේ නිහඩව හිදියි. ඉතිං හැමදා සිහින අයියා අර මද හසරැල්ල දෙතොල දරාගෙන පාරේ අනෙක් පස හිදියි.

එක දිගට දින කිහිපයක්ම සිහිනයියා ප්‍රැක්ට්‍රිය අසලට නාවේය. මට මැණිකෙ නැන්දාගෙන්
අසන්නටද බැරිය. එදින මා පැක්ට්‍රියට ගියවිට දෙව්මි පැමිණියේ මට පසුය. මා ඇය ආ විට ඇය හා කතා කලේය. 


දෙව්මි...මට සිහින අයියා බලන්න ඕන....

තේරුම් ගන්න රන්මුතු....ඔයාට සිහිනව ගැලපෙන්නෑ.....

ගැලපෙනවා....මං සිහිනයියට ආදරෙයි....එයත් මට ආදරෙයි....ඉතිං තව මොනවද ගැලපෙන්න ඕන....


ආදරේ විතරක් තිබිලා මදි රන්මුතු....එයා ඔයාගෙ පවුලට ගැලපෙන්නෑ...ඔයාගෙ අප්පච්චී අයියලා කැමති වෙන්නෑ....


මං කැමති කර ගන්නවා....

ඒක හිතන තරං ලේසිත් නෑ....කියන තරං ප්‍රායෝගිකත් නෑ....

මට කියන්න ඔයා එනවද සිහිනයියලගෙ ගෙදර යන්න.....


මට බෑ....

    —මං තනියම යනවා....හිතුවක්කාර වූ මා දැකි දෙව්මිගේ දෑස් ව්ශාල විය.

ගෙදරින් එක්ක යන්න ආවම මොනාද කියන්නෙ....

මන්දන්නෑ දෙව්මි....ඔයා මොකක් හරි කියන්න.

පවුකාර වැඩවලට හවුල්වෙලා මටත් පරිසන් දෙනවා.....

ආදරය කරන එක පවුකාර කමක්ද දෙව්මි......ඊට ඇය කිසිවක් නොකියා නිහඩ විය.

                නුවර පැක්ටියෙ වැඩ සදහා කාර්ය බහුලව සිටින අප්පච්චීට දැන් මා ගැන කල්පනාවක් නැත. එය විවෘත කිරිමට තව මාසයක්වත් නැති තරම්ය. ඒ වෙනුවෙන් මාද යමක් කළ යුතුයැයි සිතුවද , එහෙත් කිසිදෙයක් මහිත නොරැදිනි. මගේ හිත දිවුවේ සිහිනයියා පසුපසය. ඔහුට කුමක් සිදුවීද...? අපි හවසට ගෙදර ගියොත් සිහිනයියා ගෙදර හිදීද...? නොයෙකුත් දේ මහිත උඩ පෙරළි කළේය.
           

             වෙනදා සේ අදද ලොකු අයියා හා මට යෑමට සිදුව තිබුණි. ඉතිං මා දෙව්මිගේ පිහිට පැතීමට ඇය දෙස බැලීය. කිසිම කතාවක් නැතිව ඇය මා අතින් අල්ලා ලොකූ ළග නැවතුනි.

ලොකු අයියෙ....අද රන්මුතුව අපේ ගෙදර එක්ක යන්නද...?


ඇයි දෙව්මි නංගි...?


අපේ ගෙදර අද පොඩි පාටියක් අපේ අම්මගෙ අයියෙ....ඉතිං අපෙ අම්මි කිවුවා පුලුවන් නම් රන්මුතුවත් එක්ක එන්න කියලා....

 
එහෙනම් නගින්න මං ගිහින් දාන්නම්.... 


ලොකු අයියා එසේ කී විට නැවතත් මා අසරණ විය.
 
එහෙනම් රන්මුතු.... ලොකු අයියා එක්ක එන්න...මං අපේ කාර් එකේ යන්නම්...කියා දෙව්මි ගියේය.
 

මගේ හිතට තවත් අසරණ කමක්  දැඩිව දැනුනද දෙව්මි පිහිටවන බව සිතා නිහඩ විය.
 
රෝසමල මොකද කල්පනා කරන්නෙ....ලොකු අයියා ඇසීය.
මොකුත් නෑ...

 
ඔයාට මහන්සි නම් ගෙදර යන්....

 
එහෙම එකක් නෑ...


          ලොකු අයියා මා දෙව්මිලාගේ නිවසට ඇරලා නැවත පැය දෙකකින් පමණ ආපසු එනබව
පවසා පිටත්විය.  

       දෙව්මි සුපුරුදු දගකාරකමින් සිනහා වී මාවද ඇදගෙන ඇගේ කාමරයට ගියේය.
 
පාටියට නේද ආවෙ අම්මිගෙ...
දැන් ඉතිං බිපං වතුර...යැයි කියමින් දෙව්මි ඇගේ බෑගය පසෙකින් තැබීය. මගේ දෑසට කදුළු ආවේ ඉබේමය.

 
ඉතිං ඕකට අඩන්න ඕනෙද
.....?මං කිවුවෙ ඇත්තනෙ....දෙව්මි සුපුරුදු විහිළුව පටන් ගත්තේය. ඒ සමගම ඇගේ මව කාමරයට ආවේය.

 
ආනේ...රන්මුතු දුවත් ඇවිත් ඉන්නෙ....කියමින් මා අසලට ආවේය.

 
ඔව් අම්මේ...අපේ යාළුවෙක් hospital එකේ. ඉතිං දෙන්නත් එක්කම බලන්න යන්න කියලා....

 
දෙව්මි කී දෙයට මට සිනහා ආවේය
. ඇය මේ තරම් මට ලෙංගතු බව  නොවැටහුණි. මා සිතුවේ අද මට සිහිනයියා දැකීමට නොහැකිවේදෝයි කියාය. මගේ මිතුරිය සැබෑවටම මට මිතුරියක් වී නොවේදැයි මට සිතිණි.

 
—Oasis එකේ අම්මා... අපි දෙන්නා පයින් ගිහින් එන්නම්...

 
අනේ එපා දුවේ...ඇරත් රන්මුතු දුවත් ඉන්නවනෙ...

 
පවුනෙ අම්මා...ඩ්‍රයිවර් අන්කල් දැන් බත් කනවා ඇති...

 
ඇයි ඔය දෙන්නා කන්නැද්ද ඉතිං....

 
අපිට බඩගිනි නෑ...අම්මා...එහෙනම් taxi එකක යන්නද...

 
හා දුවේ...  

      කියමින් ඇගේ මව නික්මිය. අප තරම් වත් පොහොසත් කම් නොවුනිද දෙව්මිගේ පවුලටද යමක් කමක තිබුණේය.එමෙන්ම ඇගේ මව ඇයට යෙහෙළියක් මෙන් යැයි මට සිතුණි.

         උදේ සිටන් ඇදගෙන සිටි ඇඳුම  ඇදගෙන යන්නට බැරි නිසා දෙව්මිගේ ඇදුමක් ඇය මට දුන්නේය
. Taxi  එකක් මගින් ගන්නවා යැයි ඇගේ මවට කී අපි දෙන්නා පාරට බැස්සෙමු. මට මෙවන් ගමන් නුහුරුය. මන්ද යත් මා පාරෙ ඇවිද ගමන් ගොස් නැත. එහෙයින් දෙව්මි මගේ අතින් අල්ලා අසල ත්‍රීවීලයකට ගොඩවිය.

          හෙමින් හෙමින් අප රැගත් ත්‍රීරෝද රිය නාරාහේන්පිට පේලිවත්ත දෙසට ගමන් කලේය
. පාර දෙපැත්තේ ඇති නිවෙස්වල ගැහැණුන් හිස එළියට දමා බැලු අතර පුංචි ළමයි ත්‍රීවීල් එක පසුපස දිව ආවේය.

          මග සළකුණු නිවැරදිව ආ ත්‍රීරෝද රිය සිහිනයියාගේ නිවස ඉදිරිපිට නතර විය
. මා දෙව්මිගේ අතකින් අල්ලාගෙන ඉන් බැස ගත්තෙමි. හෙමින් හෙමින් ඉදිරියට පය එසවූ මා බාගෙට ඇර තිබූ දොරට තට්ටු කලේය. නිරාවරණය වූ උඩුකයින් යුතුව පොතක්ද අතැතිව සිහිනයියා ඉදිරියට ආවේය.

ඔහුගේ අතරැදි පොත ගිලිහුණි
. බියපත් වූ නෙතකින් වාගේ සිහිනයියා අප දෙස බැලීය.

 
ඇයි නංගි මෙහෙම ගමනක් ආවෙ.....

 
මට ඔයාව දකින්නැතුව ඉන්න බෑ....

 
ඒත් නංගි ගෙදර අය දැන ගත්තොත්....

 
මං දන්නෑ අයියා......ඔයා දවස් ගානකින් පැක්ට්‍රිය ළගට ආවෙත් නෑ...මට ඔයාව ඕන අයියා...

 
මෙහෙම ආපු එක වැරදියි නංගි...

 
ඔය පණ්ඩිත කතා මට තේරෙන්නෑ....

 
මම ආවෙ නැත්තෙ මට මේ දවස්වල කැම්පස් එකේ විභාගෙ...ඒකට පාඩම් කරනවා....

 
ඔයාවත් මෙයාට තේරුම් කරලා දෙන්න නංගි...සිහිනයියා දෙව්මි දෙස බලා කියයි...

 
කොහෙද මොලයක් නෑ....

 
කාටද....?සිහිනයියා ඇසීය...

 
මෙයාට....

 
ඔව් මට මොලයක් නෑ තමයි.....ඒත්...මං ඔයාට ආදරය කරනවා අයියා....පිස්සුවෙන් වගේ....

 
අපි අහසට පොළව වගේ රෝසමල....

 
කමක් නෑ....අහසෙ හඳ පායපුවම මහ පොළවටත් එළියයි....මාත් එහෙමයි...

හැබෑ ජීවිතේ එහෙම නෙමේ නංගි...


මහප්‍රාණ ගැන මං දන්නෑ අයියා...


මෙයා මොනාද නංගි දන්නෙ...?සිහිනයියා දෙව්මි දෙසට හැරී අසයි...


ඕන එහෙකට අඩන්නයි....නෑ....ගාන්නයි විතරයි. එසේ කියමින් දෙව්මි ත්‍රීවීල් එක දෙසට ගියේය. මම හයියෙන් හුස්මක් ගෙන සිහිනයියා දෙස බැලුවෙමි.


රෝසමල....මේ බලන්න මගෙ ගේ දිහා....


 මුළු ගෙටම තියෙන්නෙ මේ ඇද විතරයි...මායි අම්මයි නිදා ගන්නෙ කන්නෙ බොන්නෙ ඔක්කොම මෙතන. අපෙ අම්මා ඔයාලගෙ ගෙදර වැඩ කලේ නැත්නම්....අපිට ජීවත් වෙන්න විදිහක් නෑ...මගෙ තාත්තා ගැන මං දන්නෑ..අම්මා කියන්නෙ වෙන ගෑනියෙක් අරන් ඈත පලාතකට ගිහින් කියලා...මගෙ අම්මා වයසට ගියෙ මං වෙනුවෙන් දුක් විදලමයි...ඉතිං නංගි මම කොහොමද ඔයාට දුකක් දෙන්නෙ....මට පව් පිරෙයි...සිහිනයියා එක දිගට කියවයි. ඒ කතා මැදින් ආයෙමත් පැක්ට්‍රියේ වැඩ කල චලන ගැන මතක් විය. සිහින අයියා කියන්නෙ එයයි අම්මයි විතරයි කියලා. එතකොට මේ නහය කට මුහුණ තියෙන චලන? මා හිතින් ප්‍රශ්න කරයි. සිහිනයියා හමුවෙන හැම මොහොතකම එය අසන්නට බැරිව මා ගොලුවී යයි.

ඒ විතරක් නෙමෙයි
...මම හොදට දුක් විදපු විදින කොල්ලෙක්...ඒත් ඔයා..එහෙම නෙමේ. ඔයා සැප විදපු විදින කෙනෙක්...ඒ තරං සැප මට ඔයාට දෙන්න බෑ නංගි. අපි මේ මුඩුක්කු වල ඉපදුන මුඩුක්කු කොල්ලො විතරයි...එහෙම කොල්ලෙකුට කොච්චර ඉගෙන ගෙන තැනකට ආවත් ඔයා වගේ කෙනෙක්ව ගැලපෙන්නෑ රෝසමල...එසේ කියා ඔහු මා දෙස බැලීය.


අපිට ආදරය කරන්න බැරිද අයියා...?


බෑ නංගි එහෙම වුනොත් අන්තිමට දුක විතරයි...


එහෙම කියලා මේ ආදරේ මරලා දාන්නද අයියා...


කොහොම හරි හිත හදාගමු නංගි...


මට ආපහු හැරෙන්න බෑ අයියා...


පුළුවන් නංගි....


ඒ කියන්නෙ ඔයා මට ආදරේ නැතිද...?


මේ බලන්න මගෙ ඇස් දෙක දිහා.....මගෙ ඇස්දෙක ඇතුලෙ ඉන්නෙ ඔයා. මගෙ හුස්ම ටික ඔයා. මගෙයි කියන හැමදේම ඔයා. ගෙවුන අතීතෙ....වර්තමානෙ...අනාගතේ...මේ හැමදේම ඔයයි මගෙ නංගි.


ඇයි එහෙනම් මට යන්න කියන්නෙ...


මං මගෙ තරම දන්නවා නංගි...ඒකයි...


ඒවා මට වැඩක් නෑ...


ඔයාගෙ අප්පච්චි බනියි අපෙ අම්මට...


ඒ මොකටද....?


ඔයාව රවට්ටගත්තා කියලා....


අප්පච්චි එහෙම කරන්නෑ....මගෙ සතුට දෙයි...


එහෙම නොවුනොත්...


එච්චර දුර හිතන්නෙපා අයියා....


ඔයා හිතුවක්කාරයි නංගි...


ඔව්...මං හිතුවක්කාරයි. එදා මගෙ ඇස් දෙකට ඔයා මුණ නොගැහුනා නම් මං මෙහෙම කෙනෙක් නෙමේ. මේ පපුව පැලෙන්න මං ආදරය කළා. කරනවා. මගේ හැම හීනෙම ඔයයි...එහෙම මට ආපහු හැරෙන්න කියන්න එපා අයියා.... 

             කියමින් මා සිහිනයියාගේ ඒ නිරුවත් පපුවට තුරුල් වුනෙමි. ඉතිං මේ විසල් පපු තුරුලේ මියැදුනත් සැපය.
                          ඒ ආදරය මට මහා සැනසුමක් විය. අමා සුවයක් තරමට සිහිලැල් විය. වෙනදා වාගේ සැහැල්ලුවෙන් ඉන්නට මට හැකිවිය. රන්මුතු බංගලාවෙ පාළු නිහඩ බව මගේ හීන ලොවට තවත් රුකුලක් විය. ඉදහිට කතාතරන මැණිකෙ නැන්දා හැරුනු කොට අප්පච්චි, ලොකු, චූටි අයියලා ව්‍යාපාරවලට කැපවී ඇත. දෙවෙනි අයියා විශ්ව විද්‍යාලයේ විභාගයට සූදානම් විය. මගේ හැම හුස්ම පොදකම සිහිනයියාගේ ආදරේ තැවරී තිබුණි.

                ඒ අතර අලුත් පැක්ට්‍රියේ වැඩ අවසන් වී සියළුම දෙනා වෙහෙසව සිටියහ. එමෙන්ම  සුපුරුදු ලෙස අප සියල්ලන්ම කැටිව සෑම වසරකම නුවරඑළිය යාමට සූදානම් වන දින පැමිණ තිබුණි.  මද්දු අයියා නොමැති බැවින් මෙවර අප්පච්චි,ලොකු, දෙවෙනි, චූටි අයියලා හා මා පමණක් විය. ඊට දින කිහිපයකට පෙර සාලයේ ක්‍රීම් පාට ලොකු සැටියට බරවී හිටි මා අසල අප්පච්චි නතර විය.


මෙදාපාර නුවරඑළි ගමන විශේෂයෙන් පුතා වෙනුවෙන්...දැන් ඉතිං කියන්න බලන්න ඔයාට මොනාද ඕන...දවස් කීයක් එහෙ ඉන්න ඕනිද...?


අපි වෙනදා වගේම සතියක් ඉමු අප්පච්චි...


හ්ම්...ඒක හොදයි....


අප්පච්චි අපි මැණිකෙ නැන්දවත් එක්කන් යමු...


එන්නැතිවෙයි පුතේ...


අනේ අප්පච්චි ඔයා හා කියන්නකො මම අහන්නම් මැණිකෙ නැන්දගෙන්...


බලමු පුතේ.... 


                 එසේ කියාගෙන අප්පච්චි රූපවාහිනිය දෙසට නෙත් යොමු කලේය. මා හෙමින් හෙමින් කුස්සිය දෙසට පිය එසවීය. මැණිකෙ නැන්දා කොහොමත් මේ ගමන නොඑන බව මා දනිමි. හේතුව සිහිනයියාය. අප්පච්චිට නොකීවට මගේ හිත පොර බැද්දේ සිහින අයියාද මේ ගමනට හවුල් කර ගන්නටය. අපේ පවුලේ අය සමග සිහිනයියාට හිතවත් විය හැක. ඔහු උගත් හොද පිරිමි ළමයෙක් වන නිසා අප්පච්චි කැමති වන බව මට සිතේ. එහෙත් පසුගිය වසරේ නුවර එළි ගමනේදි සිහිනයියා විහිළු කල හැටි මතක් වී මට සිනහ ආවේය. ලොකු අයියාට නම් සිහින තියා ඒ කිසි දෙයක් මතක නැති බව මට හොදාකාරවම විශ්වාසය. ඒ මතක නම් බොහෝ හැන්දෑවරුවල පැක්ට්‍රිය අසල ගැවසෙන සිහිනයියාව මෙලහකටත් හදුනාගෙනය.

මැණිකෙ නැන්දෙ...ඔයා එනවද අපිත් එක්ක නුවරඑළි යන්න...


අනේ බෑ රෝසමල...


ඒ ඇයි....?


ඒක කොහොමවත් කරන්න බෑ...


ඉතිං ඇයි කියන්නකෝ....


මං ගියාම මගෙ කොල්ලා තනියමනෙ ගෙදර...ඔය හිටියට කොහේටවත් යන්නෙ එන්නෙ නෑ... 


               මැණිකෙ නැන්දා සිහිනයියා ගැන කියවයි. මටද ඇවැසි ඔහුව රැගෙන යන්නට බව කෙසේ කියන්නද...?

ඉතිං අපි එයාවත් එක්ක යමු...


අම්මේ....දෙයි හාමුදුරුවනේ...ලොකු හාමුගෙන් විසුමක් නැති වෙයි....


එහෙම වෙන්නෑ මැණිකෙ නැන්දෙ... මං අප්පච්චිගෙන් අහන්නම්....


වෙනදා වගේ ගිහින් එන්න රෝසමල...


එහෙ ගියාම මට පාළුයි. ඒකයි ඇහුවෙ මැණිකෙ නැන්දගෙන්...


සතියනෙ රෝසමල...ඔයාට අප්පච්චි, අයියලා ඉන්නවානෙ...


මහ නරකයි...ඔයා නම්...


එහෙම හිතන්නෙපා රෝසමල...


මං කියනවා අප්පච්චිට...මැණිකෙ නැන්දා එනවා කියලා...


තේරුමක් වෙන්නෑ...


මැණිකෙ නැන්දා තේරුමක් නෑ කීවද මගේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට මා සිතට තර කර ගත්තේය.  

ඉතිං ඒ සදහා මා බොහෝ උත්සහා ගෙන අවසන එය සාර්ථක විය. අප්පච්චි මැණිකෙ නැන්දාවත් සිහිනයියාවත් මේ ගමන රැගෙන යාමට කැමති විය.



සිහින් ස්වරයෙන්
පිරිමදියි තත්
හදවතේ අහුමුළු පුරා...
නැවුම් පැතුමින්
සුපිපෙනා ඔබ
කුසුම් යායක සුන්දරත්වේ....

හෙමින් ඇවිදින්

නැවතිලා ඔබ
ආදරේ මුදු සිහිනය වුනේ....
නිමක් නොමැතිව
දිවා රෑ දෙක
වෙහෙස කරවන වෙලාවේ...

සඳවතක් ඔබ
සිහිල් සෙනෙහින්
ජීවිතේ පිටු අලුත් වුයේ....
සියපතයි ඔබ
පිරුණු හිමිදිරියෙ
අලුත් හුස්මක් ගෙනාවේ...



Wednesday, May 30, 2012

***රජරට***


රජරටට හිරු නිතර රැවුවට
සිනාසෙනවා පලු වීර හරියට
බෝසත්ම ගති උරුම ගොවියන්
වියළි සුළගින් හුස්ම ගන්නවා.....

ඉඩැල්ලේ හිත් කනස්සලු නැති
කුරහන්ද සරුසාර වෙන හැටි
ගොඩැල්ලේ පස් සකස් කරමින්
රජරටින් හසරැල් නැගෙන හැටි....

දුරුතු මාසෙදි අතගාන බිම
වෙසක් මාසෙදි දෝත පානව
පොසොන් මාසෙත් ඇසල ආවම
බැතිමතුන් රජරටට වඩිනව....

කලා මින්නේරියේ දිය රැලි
නංවමින් ඉඟසුග වටා
නේක වන්නම් තාල තියමින්
පවනෙ රාවෙන් පාද තියනව....

දමා දළු සිනාසෙන කෝන්
තුරු කොහොඹ දිවුලුත්
තාම සිහිලස සදා නිවනවා
විඩාබර කම් ලෙංගතුව හොඳ...

හෙම්බත්ව හිත් දකින විට
නිරාමිසවම සමිඳු අවුකන
එදා වාගෙම මහා කරුණා
ගුණය විහිදයි කිසිත් නොඅඩුව....

බත බුලත එකිනෙකා බෙදමින්
දහඩියට මුසුවෙච්ච දිරි සවි
මිනිස් කම් හදවතින් විහිදන
සතා සිවුපාවටත් ආදරේ රජරට.....

සේල සළු පිළි වලින් සැරසුණ
සිල් සුවද දෙන රන්වැලිය....
පිං සුවඳ හමනවා මහ බෝධියේ
එදා වගේම හෙටත් රජරට.......

කලාවියෙ නුවර ඇත්තන්
ගැනම කිවුවත් මොනතරම් පද
වත්මනේ කොයිතරම් නීරස
තැනුත් තියෙනවා සබඳ හරියට....

___________________දිනිති________




සොයා එන්නෙමි සිහිලසක් සමිදේ....

Monday, May 28, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 06

      
    දෙවෙනි අයියා පැක්ට්‍රි අසලින් කාරය නැවැත්වීමටත් පෙර මා ඉන් පැන ගත්තෙමි. වෙනදාට අප්පච්චී හෝ ලොකු අයියා එක්ක පැමිණෙන මා අද දෙවනි අයියා එක්ක ආවෙ ආරම්භ කිරීමට නියමිත අනෙක් ශාඛාවේ සාකච්ඡාවකට ඔවුන් නුවර ගොස් ඇති බැවිනි. 
            
          මේ නම් පෙර පින් පල දීමක්මය. ඒ වනවිටත් දෙව්මි පැක්ට්‍රියට පැමිණි මා එකම මිතුරිය මා ඉදිරිපිට සිටියේය. පාසැලේ එකම පන්තියේ එක ළගින් වාඩි වී සිටි ඇය අදත් මගේ ළග රැදෙයි. රැකියාවක් කිරිමට ඇවැසි නැතත් අප්පච්චී මගේ තනියට ඇයටත් අවස්ථාවක් දුන්නේය.
   
 —Good morning දෙව්මි කියාගෙන මා ඇගේ අතක එල්ලුනෙමි.

    —Very good morning මොකද මේ උදේ පාන්දර කම්මුල් පපුරන්න හිනාවේගෙන......
 

    —ඇයි උඹට විතරද හිනාවෙන්න හොද.....?
 

    —නෑ ඉතිං...මේ වලව්වෙ කුමාරිනෙ.....වෙනදට නැති වෙනසක්...ඒකයි...... 

   —මේ උඹට කියන්න දෙයක් තියෙනවා.....
 

    —ඒ මොකක්ද අප්පා....කාර් එකේ එනකොට පාරෙ හිටපු කොල්ලෙක් ඇහැක්වත් ගැහුවද....?
 

    —විහිළු නෙමේ දෙව්මි. මං ඔයාට ඉස්සර දවසක් කිවුවෙ සිහිනයියා.....

    —ආ...මේ....රන්මුතු සදකිරණිගෙ සිහිනයක් වුන සිහිනද....කියමින් දෙව්මි තාලයට කිවුවේය.
 

    —හීනයක් නෙමේ හැබෑවක්... මේ අහනවකො....

    —නෑ....කියපන්කො බලන්න විස්තරේ.....
මා සියල්ල දෙව්මිට පැවසූවෙමි. අනතුරුව ඈ පුදුම වූ දෑසින් මදෙස බලා
 

    —දැං අද හවසට එනවද එතකොට......
 

    —හ්ම්....

    —ඒත් රන්මුතු...ඒක එච්චර හොද වැඩක් නෙමේ... එයා ඔයාලගෙ සේවකයෙක්ගෙ පුතෙක්. අප්පච්චි ඔයාට ඉඩ දෙන්නෑ. අපි ඔන්න ඕක අතැරලා දාමු.

    —අනේ දෙව්මි Please......සිහින අයියා හරි හොදයි....මං දැක්කා එයා එයාගෙ අම්මට සලකපු හැටි....එහෙම අයගෙ හිත හරිම අවංකයි.....මට සිහින අයියා හවසට හමුවෙන්න උදවු කරන්න දෙව්මි......

    —හරි ඉතිං දැං කට පියාගෙන ඉන්නකො. තවම උදේ පාන්දර තව පැය කීයක් තියෙනවද....? 

             එසේ කියා දෙව්මි නිහඩ විය. මම හිතෙන් සිහින අයියා මුණ ගැසෙන හැටි චිත්ත රූප මැවුවෙමි.

    අපිළිවෙල ඒ කොණ්ඩෙ....ලස්සන නිල්පාට ඇස් දෙක...සුදු මුහුණ....සිහින අයියා මගේ හිත උඩ ඇවිද්දේය. සිහින....ඔබ මගේ සිත මෙතරම් සොරකම් කලේද....?ඇත්තටම ඔහුට මා මෙතරම් වශීවී ඇත්තේ ඇයි....?මට තේරෙන්නේ නැත. මෙය ආදරයද....මට හිතාගන්නට බැරිය. එහෙත් සිහිනයියාගේ හැමදේම ලස්සන යැයි මට සිතේ. ඔපිස් කාමරයේ උන්නද කාලය ගෙවී ගියද මගේ මනසට කිසිවක් ඇතුළු වූයේ නැත. පිච්ච මලක් සේ නැලැවිල්ලේ නොකිළිටිව...නොකළැල්ව...සිහින අයියා මගේ හදවතේ ගැඹුරටම ගිලා බසියි.
    

—ඒයි රෝසමල....උඹේ කන් ඇහෙන් නැද්ද...? දෙව්මි මා කොනිත්තයි. ඇය එසේ කරන්නේ මට කේන්ති යන බැවිනි. ඒත් මට කේන්ති නාවේය.
   

 —ඒ පාර හිනාවෙනවා...ඔය ඇස් දෙකෙන් කදුළු පැනලා...ආයිත් දෙව්මි කියවයි.
 

—    දෙව්මි විහිළු නෙමෙයි...දැං දෙවෙනි හරි ඩ්‍රයිවර් කෙනෙක් හරි ඇවිත් ඇති මාව එක්ක යන්න. අනේ මට සිහිනයියා එක්ක කතා කරන්නෝනා...
 

—    ඉතිං උඹළගෙ ගෙදරට එන්න කිවුවම හරිනෙ.....අප්පච්චි මෙයා සිහින. මෙයාට මං ආදරෙයි.....තව හ්ම්...එයා නැතුව මට ඉන්න බෑ....

—    අනේ දෙව්මි...විහිළු නෙමේ...

—    ඉතිං එහෙම නම් කොහොමද....?
—    ඔයා මහ නරකයි...හොද නෑ..එසේ කියමින් මා දෙව්මිට කලින් කාමරයෙන් පිටවුනි. ඇය මට විහිළු කර කර මා පසුපස එනබව දැනුනි.
 

   —ආ...මොකද...රේස් එක ඉවරද...? පැක්ට්‍රියේ ගේට්ටුවට මද දුරක් තියා මගේ ගමනේ වේගය බාල වූයෙන් දෙව්මි අසයි. මා දෙව්මිගේ අතක එල්ලුනෙමි.
  

  —දෙව්මි...අර පාරෙන් එහා පැත්තෙ චෙක් ෂර්ට් එක ඇදලා ඉන්නෙ සිහිනයියා....
 

    —ආ...මේ ඒකද... No problem my dear.....
 

    —පිස්සු කරන්නෙපා දෙව්මි...
 

    —ආ..කවුද දැන් පිස්සු කලේ...ඔය ඉහින් කනින් දාඩිය බේරෙනවා...ආ...මගෙ ලේන්සුව පිහිදා ගන්න....කියමින් දෙව්මි ඇගේ ලේන්සුව මදෙසට දිගු කළේය...
සිත රිදුනු මා ගේට්ටුව අසල නවතා ඇති දෙවෙනි අයියාගේ කාර් එක දෙසට පියවර එසවීය. මා කාර් එකේ දොර අරින විට දෙව්මි දුවවිත්
 

    —කොහොමද දෙවෙනි අයියා.....කියමින් දෙවෙනි අයියා එක්ක කතා කලේය...
 

   —දෙව්මි නංගිනෙ...ඉතිං....ඉතිං...

    —දෙවෙනි අයියේ.....හෙට මගෙ Birthday එක. මට ඇදුමක් අරගන්න ඕන....ඉතිං මං මේ රන්මුතුට කතා කලා...එයා ඔයාලගෙන් ඇහුවෙ නෑ කියලා දුකෙන් වගේ ඇවිත් ඔය ඉදගත්තෙ.....
   

 —ඇත්තද රෝසමල....? කිසිදෙයක් හිතා ගන්නට ඉඩ නොතබා දෙව්මි මට පිහිට විය. එමෙන්ම ඇගේ උපන්දිනය පසුවී දැන් මාස ගණනකි. මා වෙනුවෙන් බොරු කිවූ දෙව්මි දෙසත් දෙවෙනි අයියා දෙසත් මා බැලුවෙමි. ඒ අතරතුර දෙව්මි මට ඇහෙන් ඉගි කලේය. යන්තම් ඔව් යැයි කීමට මා හිස සැළීය.
    —දැං කොහොමද නංගි යන්නෙ....?
    —ආ....අපේ ඩ්‍රයිවර් ඇවිත් ඉන්නෙ...අර....එසේ කියමින් දෙව්මි ඇගේ වාහනය පෙන්වීය.

        —එහෙනම් පැයකින් දෙකකින් රෝසමලව ගෙනත් දාන්න නංගි. කියමින් දෙවෙනි අයියා මගෙ කම්මුලක් සිප ගත්තේය. ක‍ෂණයකින් කාරයෙන් බැස ගත් මා දෙව්මිගේ අත තදට අල්ලා ගත්තේය. දෙවෙනි ගිය පසු මම ඇය දෙස බැලුවේය.
 

   —දැං මොනාද මං දිහා බලන්නෙ....අර ඉන්නෙ ගිහින් කතා කරපන්..මම අපේ ඩ්‍රයිවර්ට බොරුවක් ගහලා එන්නම්....

    —අනේ ....මට කියවිනි.
   

 —ඒ ගමන අනේ හුනේ ගානවද..... පලයන්....ගිහින් කතා කරපන්......
  

  —මට බයයි දෙව්මි....
  

  —ඇයි...?දැන් පණ්ඩිතයා වගේ කියෙවුවෙ සිහිනයියා...සිහිනයියා ගගා....මෙන්න මෙහෙ වරෙන් යන්න....කියමින් මගේ අතින් ඇදගෙන දෙව්මි පාරෙ අනික් පැත්තට පැන්නේය....
   

 —මං අපේ ඩ්‍රයිවර්ට කියන්නම් පැයකින් එන්න කියලා....අර බොක්ස් එකෙන් අම්මට මොනා හරි කියන්නම් කියා දෙව්මි ගියේය.
   

 —කොහොමද.....? ඩෙනිම් කලිසමට ලස්සන චෙක් ෂර්ට් එකක් හැද සිටි සිහිනයියා සොදුරුම සොදුරු විය. යෞවනයේ කඩවසම් බව ඔහු ළග ඕනෑවටත් වඩා වැඩි විය. අර ඇස් දෙක දිලිසෙමින් තිබුණි. මා ලෝභ කලේ මේ රුවට නොවේද...? මට කතා කරගන්නට වචන නැති තරම්ය. මම ඔහු දෙසම බලා හිදියේය.
   

 —ඔයාට මාව මතක නැද්ද....? ඔහු ආයෙත් ඇසුවේය. මතකයි යැයි පැවසීමට මම හිස වැනීය.
   

 —ඔයා රන්මුතු බංගලාවෙ රන්මුතු. අපේ අම්මා කියන විදිහට නම් රෝසමල. මං ඔයාගැන දැනගෙන හිටියේ නෑ නංගි. මට ඔයාව මගෙ හිතට හරියටම මතක හිටියෙ එදා මල්වත්තෙදි. ඔයා රෝසමල් මැද්දෙ රෝසමල්වලටත් වැඩිය ලස්සනට හිටියා. සිහිනයියා කියවයි. මම බෑගය කොනිත්තමින් ඔහු දෙසම බලා හිදියි. එතකොට මේ චලන ලෙස සිටියේත් සිහින අයියා නොවේද..යටි හිත ප්‍රශ්න කරයි. නමුත් සියල්ල හිත යටම තියා ගැනීමට මම සිතුවෙමි. දිවා රෑ මා වෙහෙස කරමින් මගේ තුන් සිතම පෙම් බැඳි සිහින නැති කර ගන්නට මා බිය විය...සොදුරු මොහොත අඳුරු කර ගන්නෙ ඇයි......

    මං හිතුවෙ නෑ ඔයාව ආයිමත් මට මුණ ගැහෙයි කියලා. ඒත් එදා අපේ ගෙදරදී මං ඔයාව දැක්කම මගෙ හදවතට ඔයාව ඕන වුනා. මං හිතට කිවුවා ඔයා උඩ අත්තක පිපුන මලක් කියලා. ඒත් හිත ඒක පිළිගන්නෑ. එදාටත් වැඩිය දැං හිත ඔයා ගැන හිතනවා නංගි....
   

              ඉතිං මේ ආදරයට මා පණ දෙන්නේ කෙසේද....? ඒ සිතුවිලි වලට මා පියාපත් දුන්නෝතින්...අප්පච්චී අයියලා මා හිතඋඩ එකපෙලට මැවුනි. කවියක් තරමට සොදුරුවූ සිහිනයියා හැගුම්බරව මගේ  ඉදිරිපිට හිදියි. ඇසිපිය සැලීමටත් අමතක වූ ගානට මට සිහිනයියාගේ දෑසින් දෑස් ඉවතට ගන්නට නොහිතෙයි. මගේ හිත චංචලය. රන්මුතු බංගලාවේ සිවුමහල මා ඉදිරිපිට සිනාසෙයි. වික්‍රමසිංහ පරම්පාරාව මා ගිල ගන්නට සේ බලා හිදින බව මට දැනුනි. එහෙත්...
   
 මේ මගේ හිරිමල් යෞවනයයි. මා සිතැගි සගවාගෙන කදුළු සලන්නේ කෙසේද.? නොයිදුල් ප්‍රේමයක පැටලෙන්න සැරසෙන නෑඹුල් යුවතියක වූ මා දෙලොවක් අතර අතරමං වූවාය.
 

    —රෝසමල කතා කරන්න නංගි....සිහින අයියා එසේ කියන විට මා පියවි තත්වයට ආවේය.
 

    —මන්දන්නෑ අයියා...මට කියවින.

    —මන්දන්නවා නංගි....ඔයාගෙ ගෙදර වැඩ කරලා අපෙ අම්මා මාව ජීවත් කරවන්නෙ...මට උගන්වන්නෙ...ඉතිං එහෙම අයට ද්‍රෝහි කමක් කරන්න මටත් බැරිවෙයි නංගි..
 

    පළමුවරට සිහින අයියා මට අහිමිවේදෝයි යන සිතුවිල්ල මා සිත තුළට පිවිසියේය. මහිත ගැස්සිණි. මේ මා උදේ හවා සිහින මැවූ මගේ ප්‍රෙමයයි. ඉතිං මා එයට අසාධාරණයක් කර පිටුපාන්නේ කෙසේද...?
 

    —අනේ අයියා....

    —ඒක එහෙම තමා නංගි...මං ඉපදුනේ...හැදුනෙ...වැඩුනෙ පේළි ගෙවල් වත්තක. කලින් මං ඔයා ගැන දැනගෙන හිටියනම් කවදාවත් මං මගෙ හිතට දැනෙන්නෙ දෙන්නෑ. මං දන්නවා මටග අසරණ ජීවිතේ ගාවට ඔයාට එන්න බෑ. ඔයා මන්දිරයක රාජ කුමාරියක්. ඔව් නංගි. මං කොහොම හරි ඉගෙනගෙන තැනකට එන්න බලනවා. ඒත් පේළිවත්තෙම තමයි අපේ ජීවිතේ ගෙවෙන්නෙ. 

සිහිනයියා තවත් කියවයි. මගේ හිත හොදටම හිරිවැටී ඇත.
    මම හිතට ධෛර්ය ගෙන කතා කරන්නට සිතුවේය.


    —සිහිනයියා මට ඔයා නැතුව බැරුවෙයි...මම හැමදාම හිතුවෙ ඔයා ගැන..මේ ඇත්තමයි...


           මගේ හිතට කොහන් හයිය ආවාදැයි නොදනිමි. රන්මුතු සදකිරණී වික්‍රමසිංහ ලැජ්ජා නැති එකියකි යැයි මට සිතුණි. අප්පච්චීට ද්‍රෝහී වූවා යැයි හිත කියයි. ඒත් මට මගේ ප්‍රේමය මිය යන්නට දෙන්නට බැරිය. මේසා හිත තුළ දගලන ප්‍රේමය මගේ දිගු අතැගිලි අතරින් රූරා වැටුනෝතින් මා ළය පැළී මිය යනවා සත්තමයි.
   

 —රෝසමල..මං ඔයාව රවටිට ගත්තා කියයි...ඊයෙ හවස අර විදිහට කියලා මෙහෙම ආපු එක ගැන මං දැන් පසු තැවෙනවා.
   

 —සිහිනයියා.....කියමින් මම ඒ සවිමත් අතක එල්ලුනෙමි. 
                
මෙතරම් හයියක් ලැබීම ගැන හදවතින්ම මං මගේ හිතට පිං දුන්නෙමි. ඒ සමගම අපට මදක් එහායින් අප දෙස බලා හිදින දෙව්මි දැක මගේ ඇස් ඔරලෝසුව වෙතට ගියේය. දැන් පැය එකහමාරක් පමණ ගෙවී ඇත.
  

  —යන්නම් අයියා... කියාගෙන මම දෙව්මි අසලට දිව ගියෙමි. කිසිවක් නොදොඩා ඇය මා අත අල්ලාගෙන ඇගේ කාරය දෙසට පිය මැන්නේය.

මහ වැස්සේ විදුලි කොටයි
මහ පොළවත් නිසොල්මනේ
නුඹ මට දොස් පවරද්දී
පොළව වගේ නිහඩ වෙමි......


මල වටකර කටු ගාලකි
මලත් හිනැහී පිපී වැනෙයි
මට බැන්නට අනේ නුඹත්
ඔබ මට ලෝකයක් වටී....


දුක් වින්දට දුක නොදැනේ
ඔබෙ සිනහවෙ සතුට ගෙනේ
මහමෙරකට පෙම් කෙරුවත්
මට ලැබිච්ච දෙයක් නැතේ....


______________මතු සම්බන්ධයි________________

සිටී මඟ බලා..

Sunday, May 27, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 05

                වසරක් පමණ ගෙවී යන්නට ඇත. පුරුදු ලෙස මා පැක්ට්‍රියට ගියා ආවා පමණි. මේ කාලය තුල මා බොහෝ සැහැල්ලුවෙන් කාලය ගෙවා දැමුමෙමි. වෙනසකට වූයේ චලන නම් වු සිහිනගේ අනුරුව ආගිය අතක් නැතිවීම පමණය. අප්පච්චි ඉඩ ලද හැම මොහොතකම මා කොහේ හෝ රැගෙන යයි. මද්දු අයිය උසස් පෙළ සමත්වී වැඩිදුර අධ්‍යාපනයට ඕස්ටේ්‍රලියාවට ගියේය. චුටි අයියා අප්පච්චිගේ ව්‍යාපාරවලට උදවු කලේය. දෙවෙනි අයියා තවම විශ්ව විද්‍යාලයේය.

                මැණිකෙ නැන්දා දින දෙකකින් අපේ නිවසට නාවේය. වෙනත් සේවකයින් හිදියද මැණිකෙ නැන්දාට දන්නදා සිට මා හිතවත්ය. එමෙන්ම මගේ සියළු කටයුතු කර දුන්නේ ඈය. අප්පච්චිට මේ බව මා කීවිට අප්පච්චි කීවේ හෙට මැණිකෙ නැන්දා බලන්න යමු කියාය. කොතරම් වත් පොහොසත් කම් තිබුණද අප්පච්චිගේ මේ නිරහංකාරකමට මා ලැදිය.


               අද ඉරිදා දිනයක්ය. අප්පච්චිට එතරම් වැඩ කටයුතු නැත. උදේම මුහුණ සෝදා කහපාට දිග සායට සුදුමල් හැට්ටය ඇදගත් මා පොනිටේලයක්ද දමාගෙන අප්පච්චිගේ කාමරයට ගියේය.

—මගෙ මැණික උදේම....ඇයි පුතේ....?

—අනේ අප්පච්චි මැණිකෙ නැන්දා බලන්න යන්...මට පාළුයි....

—මට අමතක වුනා පුතේ...විනාඩි දෙකක් දෙන්න...එසේ කියාගෙන අප්පච්චි තුවාය අතට ගෙන බාත්රූම් එකට ගියේය.
මම හෙමින් සැරේ පඩිපෙළ බැස සාලය දෙසට ආවේය.

—සුරංගනාවියක් වගේ ....උදේම කොහෙද රෝසමල යන්නෙ...චුටි අයියා ඇසුවේය

—මැණිකෙ නැන්දලාගෙ ගෙදර...

—ඔයා යන්න ඕනිද රෝසමල...කාවහරි යැවුවනම් හරිනෙ...

—කමක් නෑ චුටි පුතේ මගෙ මැණිකගෙ ආසාවනෙ....ඇරත් ඒවගේ තැනුත් තියෙන බව රෝසමල දැන ගන්න එක හොදයි...එසේ කියමින් අප්පච්චි අවේය.

            අප්පච්චිගෙ ඉන්ටර්කුල එක හෙමින් හෙමින් නාරාහේන්පිට දෙසට පැදවීය. ඊටපසු අතුරු පාරකින් දමා පුංචි පුංචි ගෙවල් තියෙන පැත්තකට හැරවීය.

—මේ කොහෙද අප්පච්චි...? මැණිකෙ නැන්දා ඉන්නෙ මෙහෙද....?

—මේ හරියෙ නැතිබැරි අය ඉන්නෙ හුගක්. ඒකනෙ මං උදේ චුටි අයියට කිවුවෙ මේවගේ තැනුත් තියෙනවා කියලා ඔයා දැන ගන්න ඕන කියලා.

           අපේ වාහනය ඒ මුඩුක්කු නිවාස දෙසින් යනවිට පුංචි ළමයි කෑ ගසමින් අපේ වාහනය පසුපස ආවේය. එය මට අළුත් අත්දැකීමක් විය.

—මැණිකෙ නැන්දට වෙන තැනකින් ගෙයක් හදලා දෙන්න තිබුණනෙ අප්පච්චි...

—ඔව් මගෙ මැණික. එත් ඒ කාලෙ ඉදන්ම මැණිකෙ නැන්දා ඒකට කැමති වුනේ නෑ....

—ඒ ඇයි....

—එයාගෙ පුතා ඉගෙන ගෙන හොද තැනකට ගේන්න නම් මෙහෙම ඉන්න ඕනලු...මඩේ පිපෙන නෙළුම අමාරුවෙන් උඩට එනවා වගේ එයාගෙ පුතාවත් මේ වත්තෙන්ම ලොකු මිනිහෙක් කරනවලු.

—හරි පුදුමයි නේද අප්පච්චි....

—එහෙම මිනිස්සුත් ඉන්නවා පුතේ....

     හතරැස් පෙට්ටියක් තරම් නිවසක් ඉදිරිපිට අප්පච්චි වාහනය නතර කලේය. ඉදිරිපස කිසිවෙකු පෙනෙන්නට නොසිටිය බැවින් අප්පච්චි වාහනයෙන් බැසීමට සැරසුනි.

—පුතා ඉන්න ඇතුලෙම මං කතා තරලා බලන්නම්....

—නෑ අප්පච්චි මාත් එන්නම් කියමින් මාද බැස ගත්තෙමි.

        සාලයට,කුස්සියට, කාමරයට මේ සියල්ලටම ඇති නිවස මැද කොටසේ තිබුණ ඇදක් මත සිටිය මැණිකෙ නැන්දාව මදක් ඔසවා කිසිවෙකු විසින් යමක් පොවනු මා දුටුවෙමි. මේ මැණිකෙ නැන්දාගේ පුතා වන්නට ඇතැයි මා සිතුවත් ඔහු අපට පිටුපා සිටි බැවින් මුහුණ නොදැක්කෙමි. අප්පච්චි දොරකඩ සිටම සපත්තුව හඩ නැගෙන්නට සද්ද කලේය. අප්පච්චිගේ අඩ් සද්දයට අර පිරිමි ළමයා හැරී බැලුවේය.


             දන්නවද....අද නම් මගේ ඇස් වලට බොරු කර ඔබට පැන යන්නට බැරිය. එදා චලන නමකින් හිටියේ ඔබ කියා මගේ හිත විශ්වාස කරයි. ඔව් සිහින ඔබට තවත් මගේ හිත උඩ සිහිනයක් වී ඇවිදින්නට දෙන්නට බැරිය. මේ සිහිනයේ අයිතිකාරයා සැබෑවක්ම විය යුතුය. නැවත අතරැදි ලේන්සුවෙන් ඇස්දෙක පොඩිකර මම ඔහු දෙස බැලුවේය. මේ ඔහුම නොවේද...? එදා වාගේම මද හසරැල්ලක් රදවා අප ඉදිරියට ඔහු ආවේය.

—මේ කවුද..? අප්පච්චි ඇසුවේය.

—අම්මට හොදටම උණ හැදිලා. රන්මුතු බංගලාවෙ හාමු මහත්තයා නේද...?

—එතකොට මේ මැණිකෙගෙ පුතාද...? දැං ඉලන්දාරියෙක්නෙ....කොහොමද පුතා අම්මට...?

—දැං ටිකක් අඩුයි.වෛරස් උණක් මහත්තයා. ඛෙහෙත් බොනවා.

—මේ සල්ලි ටික අම්මට දෙන්න....මොනාහරි ඕන උනොත් කියන්න පුතා. එසේ කියමින් අප්පච්චි මුදල් නෝට්ටු කිහිපයක් සිහිනයියා අත තැබුවේය.

—එහෙනම් පුතා අපි යනවා. අම්මට හොද වුනාම එන්න කියන්න...මේ මගෙ මැණිකට පාළුයිලු...අපි යන් පුතේ...එසේ කියමින් අප්පච්චි යන්නට ආපසු හැරුණි..

—අප්පච්චි මං මැණිකෙ නැන්දත් එක්ක කතා කරලා එන්නම්....

අප්පච්චි සිනහාවී ඔළුව වැනුවේය.
 

       මම අඩියට දෙකකට මැණිකෙ නැන්දාගේ ඇද අසලට ගියෙමි. මා දැක නැගිටින්නට හැදුවද අපහසුවූ මැණිකෙ නැන්දාට සිහිනයිය කොට්ටයක් ඇද විත්තමට හේත්තු කර දුන්නේය.

—රෝසමල...ඔයාට මේවා පුරුදු නැහැනෙ...මං හොදවුනාම එන්නම්...දැං ආපහු යන්න රෝසමල...

       මට ඇවැසි වූයේ සිහිනයියාගේ දෑස තුළ රැදෙන්නටය. සිහිනයක් වී තිබූ සිතිවිලි දැන් හිත උඩ පොර බදියි. ඒ බව කියා දෙන්නේ කාටද....මේ කිසිවෙකුට එය තේරෙන්නේ නැත. නැවත වරක් ජීවිතයට මුණ ගැසුණු මේ අපූර්ව මිනිසාව මග හැරෙන්නට දෙන්නට බැරිය.

—මේ වගේ තැන් රෝසමලට ගැලපෙන්නෑ රෝසමල....
ආයිමත් මැණිකෙ නැන්දාම කතා කරයි...

—හො...හෝ...මෙයාද අම්මගෙ රෝසමල....

        සිහින අයියා එසේ කියමින් සිනහා විය. මගේ හදවත සැලින. මං යන්නම් කියාගෙන කිගිට්ටේය..

     අප්පච්චී ගාවට දුවන්න හදන විට ඒ අඩි කිහිපය අතරතුර සිහින අයියා මට ඇහෙන හෙමින්,


—රෝසමල...හෙට හවසට ඔයාගෙ පැක්ට්‍රිය ළගට මං එනවා... කියා කිවේය.

දිග හුස්මක් ගත් මා දුවවිත් අප්පච්චීගේ අතක එල්ලුනෙමි. අප්පච්චි වාහනයට යන අතරතුර

—පුතාගෙ අත හීතල වෙලා....යාට හිරිකිත හිතුණද මගෙ මැණික....

—නෑ අප්පච්චි....

එසේ කීවද මගේ දෙතොල් සැලිණ. මා සීතලවී ගොස් ඇත්තේ සිහින අයියා කී දේටය. අප්පච්චීට මගේ පුංචි වෙනසත් දැනේ. ඔහු හිතන්නේ මා මේ මුඩුක්කු ගෙවල් පිළිකුල් ලෙස හිතුණ බවයි...

—මගෙ මැණික ලෝකෙ ගැන දන්නෑ...පොළවෙ පය ගහලා ඉන්න නම් මේවගේ මිනිස්සුන්ගෙත් ජීවිතවලට එබිලා බලන්න ඕන...ජීවිතේ ගැන ටිකක් දැන ගන්න තමා මං මැණිකව එක්ක ආවෙ ඕන...

        එසේ කියමින් අප්පච්චී වාහනයට නැංගේය. මාත් අප්පච්චී අනුව අනෙක් පසින් වාහනයට නැග ගත්තේය. ආපසු එන්න සැරසෙන මොහොතේ මම නැවතත් මැණිකෙ නැන්දාගේ ගේ දෙස බැලුවෙමි. සිහින අයියා අර සුපුරුදු මද හසරැල්ල දෙතොල දරාගෙන දොරකොඩට වී බලා හිදියේය.


        නිවසට ආපසු මා හනිකට මගේ කාමරයට වැදී ඇද උඩ පෙරළුනෙමි. දැන් මට සිතන්නට බොහෝ දේ ඇත. 


          එදා මල්වත්තේදී දුටු සිහින අයියා මැණිකෙ නැන්දාගේ පුතාය. ඔහු මෙපමණ කාළයකට මගේ ඇස ගැසුනේ නැත. එමෙන්ම මැණිකෙ නැන්දාද ඔහු කිසිදිනක මෙහි කැදවාගෙන නාවේය. මැණිකෙ නැන්දා පේලි වත්තේ නෙළුමක් කරන්නට වෙර ගන්නේ සිහින අයියාව බව අද මම දැන ගත්තෙමි. අද නම් චලන වී දෑස් රවටා පැන යන්නට බැරියගඒත් මේ අපූරු පිරිමි ළමයා මගේ හිතේ බොහෝ ඉඩකඩ ගෙන තිබුණි. අද මගේ මුළු හිතම ඔහු ගත්තා සේය. 


එහෙත් මෙතරම් ඉඩක් මා ඔහු වෙනුවෙන් වෙන්කරගෙන හිටියාද....?

එහෙත් සිහින අයියා ගැන සිහින දකිනවා ඇරෙන්න මට ඔහුට ආදරය කරන්නට ඉඩක් ලැබේවිද...?

අප්පච්චීගේ අයියලාගේ මේ ආදරය මට නැතිවේද...?

සිහින ඔබ මෙවෙනි තැනක අයෙකු වූයේ කෙසේද...?

ඔබේ පෙනුම මුඩුක්කු නිවසක දරුවෙකුගේ පෙනුම නොවේය...
රන්මුතු බංගලාවෙ දෝනිට ආදරය අකැපද...?

මා දන්නේ නැත...

එහෙත් මගේ සවන්පත් තුලට රිංගා කතාකල ඒ ආදරණීය හඩ මට මිහිරක් ගෙනාවේය...ලස්සන නිල්පාට ඇස්දෙක මට නොයෙක් දේ කීවේය...දෑස් තුළ කියවුන ඒ ආදරණීය කතාව මා කෙසේ අමතක කරම්ද....?

සිල් ගත්ත සඳවතක
සිල් බිදෙන හීනයේ
සියල් සිරි කැන්දන
සිහින ඔබ නම් අපූරුය....

මේ යැයි කියා නොදැනෙන
ප්‍රේමයේ අමිල වත්කම
මිටින් මොලාව ගනිම්දෝ
ඈත ඈතට විසිකරම්දෝ...

එපා වෙන්නැති සසර ගමනක
ආස හිතෙන ඇස් දෙක ළග
භවුන් වඩමින් නවාතැන් ගන්න
වරම් නම් ලැබේවා රෝසමලකට.....




-----------------මතු සම්බන්ධයි------------

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...