Friday, October 16, 2015

මිස්ටර් වෙලින්ටන් රහස් මන්ත්‍රය


(සේරි ඇලේ ජීවත් වීමේ අරගලය වෙනුවෙන් මානුෂිකව යුධ වැදි නායකයා)


ආහ් වෙලින්ටන්, කොහෙ යන ගමන්ද මේ

මං යනව ක්‍රිස් අල්ලපු ගමේ අපේ මැම්බර් මහත්තය හමුවෙන්න.

අර මොකද ප්‍රශ්ණයක්ද

ප්‍රශ්ණයක්ම නෙමේ කියන්නත් බැහැ. ඒත් මේ සේරි ඇල දිගටම ඉන්න ක්වින් ලේඩිගෙ නෑදෑ ගෙම්ඹන්ගෙන් හරිම කරදරයි

දෙවියනේ එයාල ඔහේලටත් කරදර කරන්න ආවද

කරදර කරන්න ආව විතරක් නම් කියමුකො, ඊයෙ හවස ෆුට්බෝල් පැක්ට්‍රිස් ගිහින් එමින් හිටිය ගෝල්ඩ් ෆිෂ්ගෙ ලොකු පුතාගෙ වරලකට හානි කරල. එයාව වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරල

ඔය ක්වින් ලේඩිගෙ උණේ කර තියන් ඉන්න සුපර් ගෙම්ඹන්ව අප විනාශ කළ යුතුමයි. ඒකට කොහේද ඔයාල අපිත් එක්ක එකමුතු වෙන්නැහැනෙ

කොහොම එකමුතු වෙන්නද? මිස්ටර් ක්‍රිස්ල හැමදාමත් බලා හිටියෙ අපිව අල්ලන් හොටේ තියන් අහසෙ පා කරන්නමනෙ

ඔන්න ඔය පරම්පරා ගානක් තිස්සෙ එන මිථ්‍යා විශ්වාසය අපිවත් දුරු කරමු වෙලින්ටන්.

ක්‍රිස් නම් ඔහොම කියයි. ඔහේල තර වෙයි අපි වඳ වෙයි.

මිස්ටර් වෙලින්ටන් අපි ඒකට ගිවිසුමක් ගහමු. එතකොට ඒක ක්‍රියාත්මක කරන්නම වෙනවනෙ.

හරි හරි ක්‍රිස් මං මේ ගමන ගිහින් එන්නම්කො. නැත්නම් මට මඟ ඇරෙනව.

හරි හරි වෙලින්ටන් මගෙ අදහස හිතේ තියන් යන්නකො.

_____________________________________________________
වෙලින්ටන් කියන්නෙ සේරි ඇලේ රියල් ෆ්‍රිෂ් පරම්පරාවේ දැන් භාරකාර නායකය. එයා තම පරම්පරාව රැකගන්න තම ජිවිතය හරි පරදුවට තියෙන කෙනෙක්. ඒ අයට දැන් තියෙන විශාලතම ප්‍රශ්නය ක්වින් ලේඩි කසීන්ස්ල වෙන ගෙම්ඹන්ගෙන්. ඒ අය දියයි ගොඩයි දෙකේම එකම විදිහට බලය පතුර ගන්නව. රටේ භාරකාරත්වය ක්වින් ලේඩිට නිසා වෙලින්ටන් හරි අසරණයි. අන්න ඒ නිසාම තමයි අල්ලපු ගමේ රියල් ෆිෂ් පරම්පාරාවෙ මැම්බර්ව හමුවෙන්න යන්නෙ.


ඒත් අතරමඟදි මිස්ටර් ක්‍රිස් කියපු වචනත් හිතේ නින්නාද වෙවී ඇහුණ. වෙලින්ටන් හිතුවෙ ක්‍රිස් කිවුව දේ ඇත්තක්ම කියල. ඒත් ඒක ක්‍රිස් ඉදිරියෙදි පිළිගන්න තරම් වෙලින්ටක් අඥාණ වුනේ නැහැ.
ක්‍රිස් කියන්නෙ සේරි ඇළ වටා පරපුරවල් ගණනක් තිස්සෙ ජීවත් වෙන කොක් රෑනක්. එයාල හැමදාමත් ජීවත් වුනේ සේරි ඇල පරිශ්‍රෙය්ම තමයි. ක්‍රිස්ලගෙ ආහාරය වුනේ සේරි ඇලේ ජීවත්වෙන වෙලින්ටන්ලගෙ මාළු පරපුර ආහාර කරගනිමින් ජිවත්වෙන එක.

ක්‍රිස් ලගෙන් විතරක් තිබුණ කරදර වලට පිලියම් යොදන්න දැනගෙන හිටිය වෙලින්ටන්ලට දැන් අලුත්ම කරදරය තමයි ක්වින් ලේඩිගෙ පරපුරේ ගෙම්ඹන්. ගෙම්ඹන් කියනවට වඩා මෙයාල තමන්ව අදුන්වන්නෙ ක්වින් ලේඩි කසීන්ස් කියල. කලින් වතාවෙ මෙයාල ඒ පාලනය කරපු අයට එකතු වෙලා ඒ අය තමන්ගෙ අය කරගත්තා. මේ පාරත් සිද්ද වුනේ හැම පාරම වගේ නෑදෑකමක් ඇතිවන විදිහට වැඩ සිද්ද වීම. එදා ඉදන් එයාල ක්වින් ලේඩ් කසින්ස්ල. එයාලට වඩා ඉහළින් කාටවත් සේරි ඇල වටා ජීවත් වෙන්න බැහැ.

මේ හැමදේකින්ම බැට කෑවෙ වෙලින්ටන්ල. පැත්තකින් ක්‍රිස්ල එක්ක ජිවිතය ගෙවාගන්න දගලද්දි පැත්තකින් ක්වින් ලේඩි කසින්ස්ල. හරියට ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ. එහෙම නැත්නම් කොයි වෙලෙත් හප කරන චුයින්ගම් එකක් වගේ. ක්වින් ලේඩි කසින්ස්ලට ඕනි තමන් විතරක් ජිවත්වෙන බව අගවන්න. එවගෙම මුළු සේරි ඇළ අවට සියළු රාජකාරි තමන් විතරක් ඉෂ්ඨ කරන බව පෙන්වන්න.

හැමදාම සේරි ඇළ අවට ගස්වලින ්වැටෙන කොළ ඇහිදන් එක්කාසු කරන්නෙ ක්‍රිස්ල. ඒක රටේ නීති පොතින්ම ආපු දෙයක්. ඒත් ක්‍රිස්ල මේ දේ කලාට එයාලගෙ හම යනව විතරයි. නම යවාගන්නෙ ක්වින් ලේඩි කසීන්ස්ලගෙ.

ඒ විතරක්ද, බොහොම අමාරුවෙන් දියෙන් ගොඩට යවල තම පරපුරේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න රියල් ෆ්‍රිෂ්ල අපමණ වෙහෙස වෙනව. දිවා රෑ නොතකා තම දරුවන් වෙනුවෙන් ආරක්ෂාව යොදවන්නෙ රටේ නීතියටත් හිස නවමින්. ඒත් මිස්ටර් ක්‍රිස්ලගෙ සහ ක්වින් ලේඩිලගෙ මතය හැමදාම අපි දියටම වෙලා ඉන්න ඕනි කියන එකයි. ඒ අය හිතන්නෙ එතනින් එහා ලෝකයක් අපිට අකැපයි කියල.

එහෙම කොහොමද මේ අසාධාරෙණේ , අයුක්තිය රජ කරන ලෝකෙන් මං අපේ පරම්පාරෙ දරුවන් එගොඩ කරනවමයි. තනි හිතට හිතාගත්ත වෙලින්ටත් යන ගමන ඉක්මන් කලා.

බ්‍රේකින් රිවර් පෙදෙසෙ හිටිය රියල් ෆ්‍රිෂ්ලගෙ මැම්බර්ගෙ ගෙදරට ගිහින් වෙලින්ටන් තට්ටුවක් දැම්මා,

ආහ් කොහොමද වෙලින්ටන් කියාගෙනම ඔහු දොර ඇරිය.

ඔහෙන් ඈදි ගන්න. ආපු කාරණාව මං දන්නව. මටත් ආරංචියි ගෝල්ඩ් ෆිෂ්ගෙ පුතෙක් අද හවස පැක්ට්‍රිස් ගිහින් එනකොට රිද්දවල කියල.

මේකට අපි මොකද කරන්නෙ මැම්බර් මහත්තයො..

අපි හැමෝම මෙතනදි අසරණයි වෙලින්ටන්.

එහෙම කියල කට පියන් ඉන්න පුලුවන්ද මැම්බර් මහත්තයො.

අපි ක්වින් ලේඩිට කම්ප්ලේන් කලත් ඒකෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන්නෑ. මොකද සියළු රාජකාරි කටයුතුවල ඉන්නෙ ක්වින් ලේඩිගෙ කසීන්ස්ලම නිසා.

තමන්ගෙ අය කිය කියා මැම්බර් මහත්තයො අපි මේක ඉවසන්නද? එතකොට වෙන්නෙ අපේ පරම්පරාවල් හැමදාමත් දිය යටම හැංගෙන එක විතරයි නේද?

වෙලින්ටන්....වෙලින්ටන්.. හීයක් විඳින්න වුනත් ඕනි නියම තැනට ස්ථාන ගත වෙනව නම් විතරයි. එහෙම නැත්නම් ඒ හීය විතරක් නෙමෙයි ඒක විඳින්න යොදවපු මහන්සියත් අපරාධෙ.

මේකට මැගෙ ප්ලෑනක් තියෙනව මැම්බර් මහත්තයො.

කියනවකො බලන්න වෙලින්ටන්..

දැම්ම කියන්න බැහැ.. අපි වෙනම රහසින් එකතුවෙන වෙලාවක කියන්නම්

මේ ගලන් යන වතුරටත් කණ් තියෙනව මැම්බර් මහත්තයො

හරියට හරි වෙලින්ටන්. තමුසෙ නම් ශූරම මොළයක්නෙ වෙලින්ටන්.

ශූරද නැද්ද දන්නැහැ. අපි මැම්බර් මහත්තය කිවුව වගේම කලට වෙලාවටම එහෙනම් ඊය විඳිමුකො.

ඔව් ඔව් එහෙම තමයි වෙලින්ටන්

එහෙනම් මං ගිහින් එන්නම් මැම්බර් මහත්තයො..

හොදා හොදා

වෙලින්ටන්ට තම ප්ලෑන් එක කියන්න තරම්වත් මැම්බර්ව විශ්වාස නැතිවුනා. වෙලින්ටන් හිතුවෙ මිස්ටර් ක්‍රිස්ව විශ්වාස කළත් මැම්බර් මහත්තයව විශ්වාස කොරන එක භයානකයි කියල. මොකද මැම්බර් මහත්තයත් හැමදාම බැලුවෙ බ්‍රේකින් රිවර් පැත්තටම හොඳ හොද වරප්‍රසාද ටික ලබාගන්න. ඒ වෙනුවෙන් මැම්බර් රහසින් ක්වින් ලේඩි කසීන්ලට තෑගි බෝගත් දෙනව කියල කටකතාවට වෙලින්ටන් දැනගෙන ඉදිය.

දවසින් දවස කාලෙ ගෙවිල යනව. වෙලින්ටන් තනියම කල්පනා කරනව. ක්වින් ලේඩි කසින්ස්ලගෙන් එන්න එන්නම හිරිහැර වැඩියි. එයාල සමහර දාට දියේ ඉන්න අලුත උපන් පැටවුන්ව උස්සන් ගිහින් ගොඩ තියනව. ගොඩ ඇවිදගන්න බැරිව දඟල දඟල ඉදල හුස්ම යන හැටි වීඩියෝ කරල සතුටු වෙනව. ඒවයින් වීඩියෝ ගේම් එකක් හදන්න යනව කියලත් කටකතාවක් තියෙනව.

සේරි ඇළ දිගට ගොඩ දිය දේකේම නවීන පන්නයේ ගෙවල් දොරවල් යානවාහන තිබුණෙ ක්වින් ලේඩිලගෙ අයටමයි. ඒ අය ගෙයි දොරකඩින් වාහනට නඟින්නෙ. සියළු යස ඉසුර ඒ අයට පිරෙනකොට දින දින වෙලින්ටන්ලගෙ රියල් ෆ්‍රිෂ්ල දුක්ඛදායකව බලන් ඉන්නව.

ක්වින් ලේඩි කසින්ලගෙන් සිද්ද වෙන අනික් බරපතලම දේ තමයි රියල් ෆ්‍රිෂ්ලගෙ ගෙවල් වලට කඩා වැදිල දක්ෂ ජව සම්පන්න පිරිමි ළමයින්ව රවටන් යනව. මේ ගැන තමන්ගෙ අයව දැනුවත් කරන්න කියල දවසක් වෙලින්ටන් හිතුවත්, ඒක ආරංචි වෙලා කඩාකප්පල් කරන්න සියළු වැඩ කරල තිබුණ හොර රහසෙම ක්වින් ලේඩිගෙ කට්ටිය.

රට පාලනය විතරක් දරාගන්න  පුලුවන් වුනා නම් කමක් නැහැ. ඒත් මේ බක බක ගාන ක්වින් ලේඩිගෙ කසීන්ස්ලත් දෙන සියළු බාධක දිහා බලා ඉදීම නුවණට හුරු නැහැ කියල හිතපු වෙලින්ටන්, දවසක් කල්පනා කලා මිස්ටර් ක්‍රිස්ව හමුවෙන්න.

කෙස් ගසක් දෙකක් පැහැච්ච තළතුනා මනුස්සයෙක් වෙච්ච වෙලින්ටන් හිතුව විසෙන් විස නසනව මිසක් වෙන කරන්න දෙයක් නැහැ කියල. මේ අතුරෙ යනව වගේ වැඩක් වුනත් වෙන කරන්න දෙයක් නැහැ.
ඔහොම කල්පනා කරල හැන්දෑ වරුවක වෙලින්ටන් ගියා මිස්ටර් ක්‍රිස්ව හමුවෙන්න.

ආහ් වෙලින්ටන්, බොහොම කාලෙකින්..

ඉතින් ඉතින්

හොඳින් කියන්න බැහැ මිස්ටර් ක්‍රිස්.. දන්නවනෙ අපේ පරම්පරාව එන්න එන්නම අඩුවෙනව.

ඔව් ඔව්. කොහෙද ඉතින් වෙලින්ටන් මං කිවුව අදහසට එකඟවුනේ නැහැනෙ

මම අපේ පරම්පරාවෙ බාරකාරය වෙච්චි, මට පුලුවන්ද මිස්ටර් ක්‍රිස් එකපාරම තීන්දුවකට එන්න.

එහෙමයි එහෙමයි. ( ඒ කිවුවට වෙලින්ටන් කියන්නෙ බොහොම පරිස්සමෙන් තමන්ගෙ වැඩේ කොරගන්න කෙනෙක් කියල ක්‍රිස් දන්නව )

වෙලින්ටන් මේ ගමන ගියෙ කිසිම කෙනෙක් එක්ක කතා නොකර කියල දන්නෙ වෙලින්ටන් විතරයි. වෙලින්ටන්ගෙ හිතේ තනියම ගෙනියන වැඩ පිලිවෙලක් තිබුණ. ඒක ලේසියෙන් එළියට දාන්න තරම් අඩු බුද්ධියක් වෙලින්ටන්ට තිබුණෙ නැහැ. වෙලින්ටන්ගෙ ඒකායන බලාපොරොත්තුව වුනේ සේරි ඇලේ තව කාලාන්තරයක් තම පරම්පරාව ජීවත් කරවන එක වගේම කොහොම හරි ක්වින් ලේඩි කසින්ස්ලගෙන් සහ ක්‍රිස්ලගෙන් තම පරම්පරාව යටත් කරන් ඉන්න තත්වය මුදවන එක. ඒකට දිවා රෑ නොබල විවිධ ප්ලෑන් හිතින් හදමින් හිතින්ම ක්‍රියාත්මක කරල තමයි වෙලින්ටන් මේ ගමන ගියෙ. මේක සුහද ගමනක් නෙවෙයි කියල දන්නෙ වෙලින්ටන් විතරයි.

මිස්ටර් ක්‍රිස්ලගෙ කොක් පරම්පරාව දන්නෙ ජබොග් ගාල ඇදල අරන් කොහේට හරි පැත්තකට ඉගිළිලා ගිහින් කිසිවක් සිද්ද නොවුන වගේ ආපහු එන්න. මේ කාලෙට තමන්ගෙ අය කොච්චර අහිමි වුනාද කියල වෙලින්ටන් දැනගත්තෙ සේරි ඇලේ යට වෙනම තැනක එක එක වැලි කැට එකතු කරපු නිසයි.

ක්වින් ලේඩි කසින්ස්ලගෙනුත් වෙච්ච දේවල් වෙනම එක්කහු කලා. ඒ ප්‍රමාණය මිස්ටර් ක්‍රිස්ලගෙ වගේ දෙගුණයක් ගොඩ ගැහුණ. මේ සියල්ලකම අවසානය හොදින් හරි නරකින් හරි අවසනක් දත යුතුයි කියල අදිටනෙන් අද එළියට බැස්ස වෙලින්ටන් රහසින් වගේ ක්‍රිස්ට කියනව

මං ළඟ ප්ලෑනක් තියෙනව ක්වින් ලේඩි කසින්ස් බක බක පරම්පරාව නැති බංගස්ථානම කරල දාන්න.

හා හා කියනවකො බලන්න වෙලින්ටන්.

ඒක කියන්න තමයි මං මේ තකහනියක්ම ආවෙ.

ඒකට හැබැයි අපේ අල්ලපු ගමේ මැම්බර්ගෙනුත් අහල බලලම ක්‍රියාත්මක කරමු. ( වෙලින්ටන් මේක ක්‍රිස්ව පරීක්ෂා කරන්න අටවන උගුලක් කියන එක දන්නෙ වෙලින්ටන්ම තමයි. )

එකට දහපාරක් අහන්න බැරියෑ ඕයි. කියනවකො බලන්න.

මේකයි මිස්ටර් ක්‍රිස්. අපි හැමෝම එකතු වෙලා ක්වින් ලේඩිලගෙ කසින්ස්ලගෙ බිත්තර විනාස කරල දමමු. ( ප්ලෑන මේක නොවෙයි කියල දන්නෙ වෙලින්ටන් වුනත් ක්‍රිස් ඒක ඇත්තක් විදිහට පිලිගන්න හැටි වෙලින්ටන් බලන් හිටිය )

දැන් තමුසෙ කියනවකො බලන්න වෙලින්ටන් කොහොමද ඔය බත බක බිත්තර විනාස කරන්නෙ.

ඒක වෙන්නෙ මෙහෙමයි මිස්ටර් ක්‍රිස්., ලබන මාසෙ එන්නෙ සේරි ඇල උතුරන්න වහින කාලෙ . ඒ කාලෙදි අපි දියද ගොඩද ඉන්නෙ කියල කාටවත් හොයාගන්න බැහැ. අපි ක්වින් ලේඩිලගෙ කට්ටියගෙ ගෙවල් වලට රහසින් ඇතුළු වෙලා ඒ අයගේ බිත්තර තියෙන තැන්වල විස වායුවක් දානව. ඒක එක පාර නෙමෙයි එන්නෙ. ඒකට මිස්ටර් ක්‍රිස්ලගෙත් උදව් ඕනි. මිස්ටර් ක්‍රිස්ල ඒ වායුව යන නල වහළවල් උඩින් දෙන්න අපි කාමරවලට හොරෙන් ඇතුළු කරන්නම්. ඊට පස්සෙ ඒ නාලවල විස වායුව යන කරාමය ඇරපු ගමන් එක පාර සියළුම බක බක බිත්තර විනාසයට පත්වෙනව.

ඕ මයි ගෝඩ් වෙලින්ටන්, තමුසෙ නම් මහ මොළකාරයෙක්නෙ.

ක්‍රිස් එහෙම කියනකොට වෙලින්ටන් හිතුව හිටපන්කො විසෙන් විස නසන්නම් කියල.

දැන් කොහොමද වෙලින්ටන් ඔය විස නිෂ්පාදනය කරන්නෙ.

ආහ් ඒකට ඕන සියළු පහසුකම් මං දන්නව මිස්ටර් ක්‍රිස්. අර සේරි ඇල මැද හරියෙ ක්වින් ලේඩිලගෙ කම්හලේම තියෙනව වෙනම විස වායු එලියට යවන තැනක්. ඒක ප්‍රයෝජනයට ගන්න එක තමයි අපේ යුතුකම.

දැන් කවද දිහාටද මේක කරන්නෙ, මේ එන මාසෙ වැහි සමය එක්කම සේරි ඇළ උතුරද්දි අපි ඒක වහ වහා ක්‍රියාත්මක කරන්න ඕනි.

තමුසෙ තමයි වෙලින්ටන් මිනිහා. අපේ සියළු උදව් මේ සදහා දෙනව. 

මිස්ටර් ක්‍රිස් ඔහොම කිවුවට අවුරුදු ගානක ජිවිත අත්දෑකිම් එක්කම මිස්ටර් ක්‍රිස්ලගෙ හැටි වෙලින්ටන් දැන උන්නෙ.

එහෙම නම් මං ගිහින් එන්නම් ක්‍රිස්.

හොඳයි හොඳයි. අපි මේක එක පයින් ක්‍රියාවට නගමු මිත්‍රයා..

මිත්‍රයා.. මිත්‍රයා කවුද කියල මං හොයාගන්නම්කො ක්‍රිස්ගනේම කියල වෙලින්ටන් තනි හිතෙන් හිතුව.

____________________________________________________

කාලය ගෙවිල යද්දි. නොදැනුවත්වම වැහි සමය ආව. ඒත් ක්‍රිස්ල තවම ප්‍රමාද ඇයි කියල වෙලින්ටන් කල්පනා කලා. එදා වෙලින්ටන් ගියාට පස්සෙ අද වෙනතුරු ක්‍රිස්ලගෙන් කිසිම හෝඩුවාවක් නැහැ. වෙලින්ටන් දන්නව ක්‍රිස් ක්වින් ලේඩි කසින්ස්ල එක්ක එකතු වෙලා තමන්ගෙ රියල් ෆ්‍රිෂ් පරම්පරාවම මේ උගුලට අහු කරන බව. ඊට කලින් වහ වහා වෙලින්ටන් ක්‍රියාත්මක වුනා.

මුලින්ම වෙලින්ටන් කලේ මැම්බර් හම්බවෙන්න ගිය එක. බ්‍රේකින් රිවර් පෙදෙස්වලටත් වැසි සමය තදින්ම තිබුණත් මැම්බර් කිසිම හාවක් හූවක් නොදන්නව වගේ වෙලින්ටන්ව පිළිගත්තා. ඒත් වෙලින්ටන් දන්නව තමන්ගෙම වර්ගය වුනත් බලන් ඉන්නෙ නසන්න කියල. දත් තිස්දෙක මැද්දෙ දිව තියෙන්න වගේ ජිවත්වෙන විදිහ වෙලින්ටන් දැනන් හිටිය. ඔය කාල සීමාව අතර තුර රියල් ෆ්‍රිෂ් පරම්පරාව බොහොම බරපතල විදිහට අඩු වෙවී ගියා. ඒ හැමදේම දරාගෙන

මැම්බර් මහත්තයා..මෙදා පාර වැස්ස සාරයි වගේ නේද

නැතුව නැතුව වෙලින්ටන්

අපි මේ ගෙවල් දොරවල් අස් කලා

අර මොකෝ මැම්බර් මහත්තයො

දැන් අපේ පරම්පරාවත් සෑහෙන්න කාලයක් තිස්සෙ ජිවත්වුනේ එකම විදිහටනෙ. ඒ පුරුද්ද පොඩ්ඩක් වෙනස් කරන්න මේ කාලය හරිම අගෙයි. ( මැම්බර් එහෙම කිවුවෙ ක්‍රිස්ගෙන් දැනගත්ත තොරතුරු අනුව මැම්බර් මහත්තයලයි, ක්‍රිස්ලයි, ක්වින් ලේඩි කසින්ස්ලයි හැමෝම එක්ක ගහල තිබුණ සම්මුතිය දන්න නිසා. කාගෙත් ඒකායන බලාපොරොත්තුතව තම බල ප්‍රදේශය වැඩි කරගන්න එක මිසක් අනේ මේ අපේ එකෙක් කියල ගොඩ දාන එක නෙමෙයි )

වෙලින්ටන් පුරුදු බයාදු කමක් එක්ක හිනාවෙලා, මං මේ ආවෙ මේ පැත්තෙ අලුත් රස්සා එහෙම තියෙනවද බලන්න.

මොන රස්සාද වෙලින්ටන් , අපේ අයත් ජිවත් වෙනවට ජිවත් වෙනව. ( හනේ මගෙ කට, ඒක හන්දා වෙන්න ඇති තුන් කට්ටිය එකතු වෙලා වරප්‍රසාද වලට ඉදන් අත්සන් කරල තියෙන්නෙ. වෙලින්ටන්ගෙ හිත මිමිණුව. ඒ සියල්ල වෙලින්ටන් දැනගත්තෙ තමන්ගෙ රහස් ඔත්තු සේවය හරහා )

තෙපිරිසක් එකතු වෙලා දඟලන්නෙ වෙලින්ටන්ගෙ භාරකාරත්වයෙන් යුතු රියල් ෆ්‍රිෂ් පරපුර සමූල ඝාතනයකට. ඒක කරන්න ඔවුන් යොදාගන්නෙත් වෙලින්ටන් දුන්න මොලයමයි. ඔවුන් විස වායු වෙනුවට කම්හලෙන් පිටවන විස ජලය සේරි ඇලට මුදා හරින්න ක්වින් ලේඩි කසින්ස්ල එක්ක එකතුවෙලා.

මේකට බ්‍රේකින් රිවර්ස් පෙදෙසෙ මැම්බරුත් ඉන්නව කිවුවම කවුරු පිලිගනියිද ? තමන්ගෙම පරපුරේ නොවුනත් තම වර්ගයාවම නසන්නට උදව් වෙනව කිවුවම අහස පොළව නුහුලන අපරාධයක් නේද? ඒත් ඒව හිතන්න ගියෙ නැහැ මැම්මබර් මහත්තය. මේ අහස යට ඔයිට වඩා තව කොච්චර දේ වෙනවද කියලයි.
මේ කවුරුත් නොදන්න රහසක් සිද්ද වුනා. ඒ තමයි වෙලින්ටන් තම පරපුර එක්ක මේ සියළු අභියෝග වලට මුහුණ දෙන විකල්පයක් සැලසුම් කලා. වෙලින්ටන්ට තමන්ගෙ ඔත්තු සේවයෙන් නැවත දැනගන්න ලැබුණා මේ විස ජලය සම්බන්ධව. ඒකට විකල්පයක් විදිහට සේරි ඇලට බ්‍රේකින් රිවස්වල ඉදන් අලුත් පැලෑටි වර්ගයක් බෝ කරන්න අවසර ගත්තා වෙලින්ටන්. මේකෙ යටි අරුත තමයි හඳිසියේවත් විස ජලයක් ආවොත් තමන්ගෙ ප්ලෑනට කලින් තමන්ගෙ මුළු පරපුරම මේ පැලීටිය උඩට නැගල විස ජලයෙන් ආරක්ෂා වීම.
ඊගාව සතියෙ උදෑසනක වෙලින්ටන් ගියා පුරුදු විදිහටම මැම්බර් මහත්තය හමුවෙන්න බ්‍රේකින් රිවර්ස් වලට. ගිහින් ආරාධනාවක් කලා ඊට දවස් තුනකට පස්සෙ කෑමකට එන්න කියල රියල් ෆ්‍රිෂ්ලගෙ සේරි ඇලට.
ඒ ආරාධනාවම බක බක ගෙම්ඹන්ටත් මිස්ටර් ක්‍රිස්ලටත් කරපු වෙලින්ටන් තමන්ගෙ ප්ලෑනෙ පළමු අදියර ක්‍රියාත්මක කලා.  

වෙලින්ටන් මෙතනදි අනික් හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නව කියල දැන ගත්තෙ වෙලින්ටන් විතරයි.

හරියටම දවස් තුනකට පස්සෙ උදාවෙච්ච දා දහවල් කෑමට බ්‍රේකින් රිවර්ස්වල මැම්බර් මහත්තයා එයාගෙ වයිෆ් එක්කම ආව. මිස්ටර් ක්‍රිස් සහ ක්වින් ලේඩි කසින්ස්ලත් එහෙමයි. හැමෝවම හොඳින් පිළි අරගෙන පුද සත්කාර කරන්න පටන් ගත්තා.

වෙලින්ටන් බොහොම සුහද ලීලාවෙන් හරිම සතුටින් ආදර සංග්‍රහ කලා. කාගෙත් හිත දිනායන විදිහට වැඩ කරන වෙලින්ටන් රියල් ෆ්‍රිෂ් පරපුරේ තරුණියන් ලවා නැටුම්ද සුදානම් කරල තිබුණ.

කෑමද, බීමද, නැටුම්ද ගැයුම් ද මේ කිසිවක් අඩුවක් නැතිව සර්ව සම්පූර්ණ කරන්න වෙලින්ටන් ගත්ත මහන්සියෙ ප්‍රථිපලය වඩාත් සාර්ථක වෙන්නෙ තමන්ගෙ පරපුර රැක ගැනීමේ ප්ලැනෙ දෙවන අදියරට බව දන්න නිසාම වෙලින්ටන් වඩ නඩාත් කුළපඟ වුනා. හරියට මලක් රකින ගසක් වගේ.

මේ කෑම සංග්‍රහයෙන් පස්සෙ හැමෝටම තම දුක් ගැනවිල්ලත් රඟපෑමෙන් පෙන්වපු වෙලින්ටන් තම අසරණ බාවය වඩ වඩාත් ප්‍රදර්ශනය කලා. හැබැයි වෙලින්ටන්ලව නැතිම කරන්න හිතේ කොනක තිබුණ අදහස මැම්බර්ගෙන් නම් පොඩ්ඩක් හෙල්ලුනා. එහෙට මෙහෙට දෝලනය වෙන හැඟුමක් එවක් පටන් මැම්බර්ගෙ තිබුණෙ.

නමුත් කාලයක් තිස්සෙ ක්‍රිස්ලගෙ සහ බක බක ක්වින් ලේඩි කසින්ස්ල නම් තමන්ගෙ ස්ථිර අධිෂ්ඨානෙ ඉදිය.
දැන් වෙලින්ටන් තමන්ගෙ දෙවන අදියර ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත‍. ඒක තමයි තමන්ගෙ අසරණ භාවය ගැන ලිඛිත ලියවිල්ලක් රාජ්‍ය පාලනය කරන ක්වින් ලේඩිට බාර දීම. මේක තරමක් දුෂ්කර කාර්යයක් වුනත් වෙලින්ටන් එක දවසින් ඒ  දේ කරගන්නට සමත් කම් දැක්වුවා.

කොහොමින් කොහොම හරි දෙවන අදියරත් ක්‍රියාවට නංවපු වෙලින්ටන්ට දැන් තියෙන්නෙ අවසාන අදියර එහෙම නැත්නම් තුන්වප පිම්ම. මේක ජයග්තොත් නිදහසේ සේරි ඇලේ තව පරම්පරා ගානකට හුස්ම ගන්න පුලුවන් කියල රියල් ෆ්‍රිෂ් බාරකරු වෙලින්ටන් හිතුව. ඒත් ඒ දුෂ්කරම අවස්ථාව කොහොම ක්‍රියාවට නංවන්නද කිය කියා ගෙවන හැම තත්පරයක්ම ගත කළ වෙලින්ටන්ට තිර සාර නිගමනයකට එන්න පුලුවන් වුනේ නැහැ.

එයාගෙ ඒකායන අරමුණ වුනේ විසෙන් විස නැසීම පමණයි. දැන් මේ විසෙන් විස නැසීමේ ක්‍රියාවලිය කොහොම අරඹන්නද කියල කල්යල් ගෙවපු වෙලින්ටන් තව තවත් හිතන්න දෙයක් නැහැ. පහුවදා උදෑසනම ක්‍රියාත්මක විය යුතුයි කියල එදා නින්නට ගියා.

ඒක මහ පුදුම රාත්‍රියක්. ඇස් දෙක අත්වලින් තද කරල වැහුවත් වෙලින්ටන්ට නිදිමත අහලකවත් නැහැ. වෙලින්ටන් ඒ මේ අතට පෙරලි පෙරලි හිටිය. හරියට සිරුර පුරා කැසීමක් ඇති වුනා වගේ ගතියකින් වෙලින්ටන් පෙලුනෙ.

ඔය අතර හදිසියේම වෙලින්ටන්ට නින්ද ගියා. ඒක පැය භාගයක් වගේ සුළු කාලෙකට. ඒ වෙලාවෙ වෙලින්ටන් සිහිනයක් දකිනව.

හරිම ලස්සන දෙවි කෙනෙක් ඇවිත් වෙලින්ටන්ට මැජික් පොල්ලක් දෙනව. ඒක දෙන්නෙ මෙන්න මෙහෙම කියල.

වෙලින්ටන්, මේ මැජික් පොල්ල අතේ තියන් ඔබ කැමති දෙයක් හිතන්න. එවිට ඒ දේ ඔබට ලැබෙනව. හැබැයි කිසිම විදිහකින් මේ පොල්ල ඔබ අතින් ගිලිහුනොත් ඔබට ඒ මොහොතේම සිට මෙහි බලය නැතිව යනව. ඒ කියනකොටම ගැස්සිලා වගේ ඇස් ඇරිය වෙලින්ටන් තමන්ගෙ අත දිහා බලනව. එතකොට තමන්ගෙ අත හිස් කියල දැක්ක වෙලින්ටන් කණගාටු වෙනව. ඇස් පොඩි කරල නැවත අත දිහා බැලුවම වෙලින්ටන්ට තේරුණා මේක තමන්ගෙ හිතේ තියෙන නොසන්සුන්කමට දැක්ක සිහිනයක් කියල.

තුන්වන අදියර බලාත්මක කරන්න ඉදිය වෙලින්ටන් ඒ මොහොත පටන් නිදා ගැනිල්ල පැත්තක් දාල කල්පනා කරන්න පටන් ගන්නව.

විසෙන් විස නැසිය යුතුයි. ඒ වගේම තම පරපුරත් රැකිය යුතුයි. මේ වගේ රාත්‍රියක් වෙලින්ටන්ගෙ ජිවිතේ කවමදාවත් ඇවිත් නැහැ. ඒ නිසා පාන්දර යාමෙ වතුර ටිකක් එහෙම බීපු වෙලින්ටන් තම අවසන් මෙහෙයුමට සුදානම් වෙන්න කරුණු කාරණා ගලපනව. වෙලින්ටන් මේ කරන්න යන දේ දන්නෙ වෙලින්ටන්ම විතරයි.
ඒත් ඔය අතරෙදි එක පාරට ආයෙමත් අර සිහිනෙ වෙලින්ටන්ගෙ හිතට එනව. තමන් කරන්න ගිය දේ ගැන පොඩ්ඩක් අමතක කරල අත නිකටෙ තියාගෙන වෙලින්ටන් හෙමින් හෙමින් අදියරෙන් අදියර මේ සිහිනයෙ මතක තියෙන දසුන් තනිවම වමාරගත්ත. මේක හිතේ කැළඹිල්ලටම පෙනුන දෙයක් කියල බැහැර කරන්න හැදුවත්, කවදත් ශූරයෙක් වෙච්ච වෙලින්ටන්ට "  ජබොග්" ගාලදියට ගලක් වැටෙනව වගේ අපූරු අදහසක් ආව.

එදා උදේ යස අගේට ඇඳ පැළගෙන තමන්ගෙ ගෙදර තිබුණ බොහොම වටින ලී පොල්ලකට දිලිසෙන වර්ණයක් තවරල ඒකත් දකුණු අතට අරගෙන වෙලින්ටන් ගෙදරින් පිටත්වුනා. දකින දකින අය, අහන අහන අයට වෙලින්ටන් කිවුවෙ   
       
ඊයෙ රෑ සේරි ගඟට අධිපති දෙවියන් ඇවිත් තමන්ට වරයක් දුන්න බව. ඒකෙන් රටේ රජකම වුනත් ගන්න පුලුවන් කියල වෙලින්ටන් කිවුව.  විනාඩි ගානක් වගේ සුළු වෙලාවක් ඇතුලත මේ ආරංචිය ගියා එහා ගමේ මැම්බර්ගෙ කණටත්. මැම්බර් ක්‍රිස් ඇතුළු ත්‍රිපුද්ගල  පිරිස එදා දවල්ට සේරි ඇළට විස ජලය මුදාහරින්න ඉදියෙ.
මේකඇහිල තුෂ්ණිම්භූත වුන මේ අය මේක ඇත්තක්ද බලන්න ආවම වෙලින්ටන් හරිම ආදරෙන් මේ අයව පිලි අරගෙන එක එක්කෙනාව වෙන වෙනම අඬගහන් කණට රහසින් යමක් කිවුව. ඒක අහන අය ආපහු අනික් අය ඉන්න තැනට ආවෙ නැහැ. ඒ අය යන්න ගියා.

කොහොම හරි ක්වින් ලේඩි කසින්ස්ල, බ්‍රේකින් රිවර්ස් මැම්බර්, මිස්ටර් ක්‍රිස් ඇතුළු පිලිගන්නා පුද්ගලයින් කිහිප දෙනෙක්ටම මෙහෙම වෙලින්ටන් කණට කරල රහසක් කිවුව.

ඉතින් එදා භෝජන සංග්‍රහය ඉවර වෙලා පහුවෙනිදට එළිවෙන ජාමෙ

වෙලින්ටන්, වෙලින්ටන්,  
කියල කවුද වෙලින්ටන්ගෙ දොරට තඩිබාන ශබ්දෙට තමා වෙලින්ටන් අවදි වුනේ..

එක අතකින් ඇහැක් පොඩි කර කර වෙලින්ටන් දොර ගාවට ගිහින් දොර අරින්න හදනකොට පොඩ්ඩක් කල්පනා කලා. ඊයෙ රෑ ගෙවුණෙ කොහොමද කියල.

ඔන්න එතකොට එකපාරට ගැස්සිලා වගේ වෙලින්ටන් නිදිමත ගතිය නැතිවෙලා සියළු දේ මතක් වුනා. 

දුවගෙන දුවගෙන ගිහින් මැජික් පොල්ල කියල කාටත් අඟවපු බොරු පොල්ලත් අරගෙන උඩට කමිසයකුත් දාගෙන වෙලින්ටන් ගරු ගාම්භීරව දොර ඇරිය.

දොර අරිණකොට එතන හිටියෙ අල්ලපු ගමේ මැම්බර්. බ්‍රේකන් රිවර්ස් පෙදෙසෙ පාලනය ගෙන ගිය වෙලින්ටන්ලගෙම වර්ගයෙ කෙනෙක්.

සුබ උදෑසනක් මැම්බර් මහත්තයො

වෙලින්ටන් සුබ උදෑසනක් ගානව. අන්න අරෙහෙ යුධ පිටියක් වෙලා. මුළු සේරි ඇළ දිගටම එකම කලබලයක්.

හැබෑටම. මට හොදටම නින්ද ගියා මැම්බර් මහත්තයො ඊයෙ රෑ පොඩ්ඩක් වැඩියෙන් ගත්ත නිසා.

මං මේ ආවෙ තමුසෙගෙන් අපේ පැත්තෙ මිනිස්සුන්ව බේරගන්න උදව් ඉල්ලන්න.

දැන් මොකක්ද මැම්බර් මහත්තයො වෙලා තියෙන්නෙ.

ක්‍රිස්ලයි ක්වින් ලේඩි කසින්ස්ලයි රන්ඩු කරනව. අන්තිමට රටේ නායිකාව ලගටම යන්න තත්වය බරපතල වෙලා මේ පැය ගානට.

නෑ..හ්...

නෑ නෙමෙයි ඕයි ඔව්..

අපේ රියල් ෆ්‍රිෂ්ලට ?

ඒ අය අතර කිසිම දෙයක් නැහැ. දැන් ක්වින් ලේඩි කට්ටියට සැකයි ක්‍රිස්ල ගැන. ක්‍රිස්ලට සැකයි ක්වින් ලේඩි කසින්සල ගැන

ගිනි විජ්ජුම්බරයයි...

මැම්බර් මහත්තයට ?

අපේ පැත්තෙ පදිංචියට ක්‍රිස්ලට යන්න කියල.  ( ඒක ඇහෙනකොට හිත යටින් සතුටක් දැනුන වෙලින්ටන්ට. ඇති යන්තම් එක කරදයක් ඉවරයි කියල )

ඊට පස්සෙ ඊට පස්සෙ...

ඊට පස්සෙ ක්වින් ලේඩි කසින්ලටත් තමන්ගෙ ගම් පලාත වෙච්ච උතුරු දිශාවට යන්න කියල. මොකද රටේ ඊළගට අලුත් පාලන තන්ත්‍රයකට කාලෙ ළග නිසා

දැන් ඔය කිවුව විදිහටම ඕව වෙයිද ?

නොවී කොහොමද වෙලින්ටන්, රටේ නායිකාව කැමති නැහැ තමන්ගෙ ප්‍රතිරූපෙ වෙනස් වෙලා අවනම්බු වෙනවට.

එහෙනම් අපි යමු ඒ පැත්තට,

යන් යන් වෙලින්ටන්, දැනටමත් කට්ටිය ගිහින්ද දන්නෙත් නැහැ.

එහෙම කියල ක්‍රිසලගෙයි ක්වින් ලේඩි කසින්ලගෙයි පදිංචිය තිබුණ පැත්තට වෙලින්ටනුයි මැම්බරුයි යනකොට තම ගෙවල් දොරවල් හැරදාල යන්න බැරි කමින් පසුවෙන බොහෝ ජනයා වෙලින්ටන් දැක්කා.
මේ සියල්ලටම හේතුව මැජික් පොල්ල නේද කියල වෙලින්ටන් ඒක සිඹගන්න ගමන් එදා කිවුව රහස ආයෙමත් සිහිපත් කලා.

මේ මැජික් පොල්ල මට දුන්නෙ සේරි ගඟට අධිපති දෙවියා. එයා දුන්න වර 3 න් කැමති එකක් මං මිස්ට ක්‍රිස්ලට දෙන්නම්. මොකක්ද වෙන්න ඕනි කියන්නකො.

ක්වින් ලේඩි කසින්ස්ල එලවල දාන එක තමයි වෙලින්ටන් ලොකුම උදව්ව.

ඕකම ක්වින් ලේඩි කසින්ස්ලගෙනුත් එදා රහසින් වෙලින්ටන් ඇහුව. එයාල දුන්න උත්තරෙත් ක්‍රිස්ලව පන්නල දෙන්න කියල.

මේ දෙගොල්ලන්ටම වෙලින්ටන් දුන්න උත්තරය තමයි,

ඒ ගොල්ලො හෙට හවසට ඔබට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න ඉන්නෙ. ඒක මං දැනගත්තෙ මේ මැජික් පොල්ල ලැබුණ නිසා. මේ දැන්ම මේ මොහොත ඉදන්ම ඒකට විරුද්ධව නැගී සිටින්න. හැබැයි මේක අහල දැන් එයාල ඉන්න තැනට යන්න එපා. එයාලට මේක ඔබේ කටින් පිටවෙන්න ඉඩ තියෙනව. ඒක නිසා ඒ පැත්තවත් නොබල ආපහු යන්න.

ඔන්න ඔය ටික තමයි වෙලින්ටන් ඊයෙ රෑ භෝජන සංග්‍රහය වෙලාවෙ මැජික් පොල්ල අතේ තියන්න කාටත් කිවුවෙ.

පහුවදාට එලිවෙනකොට විසෙන් විස නැසෙන හැටි දැක බලාගන්න වෙලින්ටන්ට හැකිවුනා.

__________________නිමි __________________________
                                                                                                            

Friday, October 9, 2015

මා ජීවත් කරවන කමිසක් ඔබ

අල්මාරිය තුළ සුවඳ කව කවා ඇති
වටිනාම කමිසය ඔබ
කාටවත් දකින්නට ඉඩක් නැති
හදවතේ සියුම් හැඟුම් පොම්ප කරමින්
රෝම කූප කෙලින් කරවන
සඟවා ඇති කමිසයක් ඔබ
නින්දට පෙර දෑත මත සැතපෙන
තොල් මතින් උණුසුම්ම හාදුවක් ලබන
පපුවට තියන් තද කරන්
වෙනම ලෝකෙට මා අරන් යන
සුවඳවත් කමිසයක් ඔබ
උදෑසන පිබිදුමේ අලුත් හුස්මට
කොනිති ගසමින් මා අවුස්සන
යන යන තැන් අරන් යන්නට
හිත කෑ ගසා ඉල්ලන
අල්මාරියට දා ආයෙමත් අරිමින්
නැවතත් නැහැයට සුවය උරාගන්නා
මගේ පපුවටම ගී සිංදු කියන
ගැහැණු ඇදුම් ගොඩක් මැද
උඩින්ම තියෙන කමිසයක් ඔබ

Monday, September 28, 2015

මොනිකා රුවන් පතිරණ වෙත ලියමි

පියුම් විලෙන් කවි මල් වැල් නෙලාගෙන
සියුම් තැනින් හිත් පතුලට ඔබාලන
නැවුම් රසෙන් පිරි නිමැවුම් පුරෝගෙන
වැදුම් ලබන කිවිඳිය ඔබ සදාතන


කිරණ රැසින් දකුණු ලකේ බබලාන
පහන නුඹයි සිරිලක අපෙ කවියාන
නුවණ පිරුණු දුව විය නොම වරදාන
මුහුණ මතක අය වෙති තව අපමාණ


හෙළ කවි වලින් හැමතැන නුඹ වපුරාම
පළකල තෙපුල් මිහිරිය අපහට හැමදාම
පරපුර නූතනේ යයි නුඹ ගිය පාරේම
ඉඳහිට අයකු අසනව කවුරුද කියලාම


පිලිකා මාරයා ඇවිදින් ගියෙ කැන්දාන
නොනිදා ඉන්න නොහිතුවෙ ඇයි තව කල්ම
හැර දා ගියපු එක යහපති යැයි හිතුනේද
කිසිදා නොඑන් මෙහෙ බොරු මුහුණුයි බෝම

සරතැස නිවන්නට සක්වල තෙර සිටිනවද
මඳහස නුඹේ කවි තුළ සිට අත වනනවද
පෙර කළ නොවේ දැන් කිවිවරු දුටුවාද
ගිය එක හොඳයි "මොනිකා" ඔහෙ සුවයෙන්ද ?

Sunday, August 30, 2015

ලණු ඇඳයි - තාත්තයි


පෝය දවසට හඳත් ආවම පරණ ලණු ඇද හඬනවා
කාට කාටත් නොමැති දුකකින් පපුව රිදෙනව කියනවා
බලා ඉන්නට බැරිව හඳ දෙස විදුලි එළි ගැන අහනවා
කොහේවත් සඟවන්න බැරි දුක් කන්ද ඇඳ උඩ තියෙනවා



එකින් එක කොටු තුළට පුරවා ලණු ඇදේ හැඩ පෙනෙනවා
දිනෙන් දිනයට වාරු නැති හිත කියපු කව් ගී දන්නවා
පොතින් පත නැති දැනුම් සයුරක් ඇදේ සැතපී සිටිනවා
ලොවින් උත්තම පදවි අරගෙන පියෙක් තනියම නිදනවා

පාලු මකනට රෑට තරුවැල් ඇවිත් දුක සැප අහනවා
බාල කෙලි ඇස් කරකවාලා බලන හැටි එහි හැදෙනවා
තාර කළුවෙන අමාවක දා හීන් සීපද ගැයෙනවා
රෑට සීතල එද්දි බීඩිය උණුහුමක් ළඟ තියනවා

කාටවත් නැති සේද ඇතිරිලි ලණු ඇදේ සුව සදනවා
ලෝබයක් නැති දරු සෙනේ පපු මැදින් උඩහට දුවනවා
ප්‍රේමයක් නැති යුඟ දිවියෙ දැන් සොලොස් වසරත් පිරෙනවා
පාදමක් නැති ගෙයක් වාගේ බිරිඳ ගිය හැටි හිතනවා

සෙමක් හිරවුණ බවක් කියමින් ඉකිලුමත් සිර කරනවා
පවක් කරනැති බවක් වූවත් උරුම කරුමෙයි කියනවා
දතක් සෙලවෙන විටදි ඇතිවන හැඟුම් එලෙසම විඳිනවා
පියෙක් තනියම දරුවො නලවන අයුරු ලණු ඇද දන්නවා

ගින්දරක් හද ඇතුළෙ සිරකර නොහිම් දරු පෙම බෙදනවා
බුදුබවක් නැති දිඟු මඟක් එළි පෙහෙළි කරමින් සිටිනවා
කප්පරක් දුක් නොවිද සසරින් එතෙර වෙනු ඈ පතනවා
කරඬුවක් නැති ඇත් රජෙක් අද ලණු ඇදෙන් සිරි බලනවා

Tuesday, August 4, 2015

සීගිරි අප්සරාවට හෙවත් නැට්ටුක්කාර තාවකාලික පෙම්වතියට

එදා විනිවිද යන්න බැලුවිට නුඹේ ඇස් කරකවා වටයක් 
හදා ගන්නට බැරිව හිත මගෙ පිච්චුණා පැයකට කල්පයක් 
කදෝ පැණියෙක් වෙම්ද කියලා කිරා බැලුවට දවස් දහයක්
පුදා දෝතින් ගලවලා හද දුන්න පුදුමයි මටම රහසක්

විදුලි වේගෙන් නුඹේ අතකින් මලක් විද්දා අමුතු එළියක්
කැඳලි සීයක් හැදුව කියලා දන්නෙ මම මයි සිනා දෝතක්
පැතලි ගල උඩ සිනා කට නුඹෙ පරදවයි දෙව්ලියන් රෑනක්
කැරලි ගහ ගහ සරැලි නැංවුවෙ මගේ සිතුවිලි එකම සයුරක්

බලා අවසර රජුන් කස්සප හිතේ හැටියට නුඹව සිම්බද 
සලා සැලමුතු පෙමක් යම්දින නුඹේ දිවියට එයින් ලැබුනද 
කළා සොලොසම අරන් පුරහඳ වඩින දවසක් එහෙම තිබුණද
ගලා ගිය පෙම සිංහ නියපොතු වලින් රිදි රිදි සැරව ගැලුවද

නිදහසේ හිස් අතින් එන උන් නුඹේ තිසරුන් සුවේ සෙව්වද
මඳහසේ කිසි අඩුව නැතිවම මිටින් ගෙන ඉඟ සුඟේ වැනුවද
උරහිසේ හිස තියා උන් වෙනම ලෝකෙට පියඹලා ඇදුණද
කිතුගොසේ නංවලා කැන්දන් යයිද කියලා සිහින දැක්කද

මං වගෙම එන එවුන් සේරම රිසි පරිද්දෙන් උඹව අතඟා 
රං වගේ හම උඩින් කියලා හිතින් පැණි හඳ බලයි උරගා 
ළං වෙලා දිවි තලේ හිටි උන්  මතක් කර කර කඳුළු හංගා 
සුං වෙලා ගිය ප්‍රේම බන්ධන පවුරෙ කැටපත් ලියන් නංගා



Saturday, August 1, 2015

අන්දරේ තවමත් හිනාවෙනවා ඇති


කටින් කට පතලව ගිය නමක්, වේද රජුවෙත කන්ද උඩරට 
මැතින් ඇමතින් සිනා ගන්වා තමා වෙත හරවාවි බැල්මට 
ඉහින් කණ්වල රක්ත වර්ණෙන් නිති රජුගෙ උවනත පිරෙනකොට 
ඇසින් ඉඟිකර සිනා කවියක් කියන ඔහු  නමය අන්දරයට

දකුණු ලක් රට කිරලවැල්ලේ දෙපොලකම ඔහු උපන් කිවුවට 

පුරුදු වයසට අකුරු දැනගනු පිනිස යැවුවලු ගැටමාන්නෙට 
හොරෙන් පැනලා ගෙදර ඇවිදින් ගුටිත් කාලා වැස්සෙ තිබ්බට
අම්ම අප්පට දුක හිතෙන්නට කවිය කිවුවලු බොහොම සද්දෙට

කුඩා කල සිට අලස ගති ඇති අන්දරේ හට පිය පස විසින්
කියා පාඩම් කරව ගන්නට බුද්ධ ගජ්ජය බැරි වුනි රිසින්
දමා අතහැර නොතිබ්බත් ඔහු මුඛරි හිටිවන කවි කිවු ඇසින් 
හඬා වැලපෙන අයත් යහමින් සිට තළයි අත්පුඩි එක ලෙසින් 

”සද්ද විද්ද පළඟ පතිර” නාමවලින් පිදුම් ලබා 
කන්ද උඩින් පහතරටට ගියෙ දවසක් ඔහු හේබා 
වස්ත්‍ර භරණ රජුන් ලෙසින් සැරසී සිටියට සෝබා
අන්ත්‍ර වෙලා ගිහින් අතරමඟදි හිටිවන කවි බඹා 

කරගම්ආර වැව් මත්තේ එක කොනක සිට 
කරනම් ගැසූ විලසට ඔහු ඇත පිළිරුවට 
සියඹල පලු වීර ගස් යට සුව විඳිනකොට
තවමත් සිනා යනවා ඇති අන්දරේ හට

ප. ලි. 
අන්දරේගෙ සොහොන උඩට වෙලා නෙළුම් ඇට කකා සියඹලා කරල් කකා අතීතයේ දවසක් සිටි අන්දම හඳිසියේ සිහිවීමෙන් පසු ඔහු ගැන උපන් සතුටට ලියූවකි. 


( ඡායාරූපය අන්තර්ජාලයෙනි )



Thursday, July 30, 2015

ඇමති ආරක්ෂක මතක වත



බල්ටි දහයක් එකට ගහනා
පැනිලි පිමි හා හමුදාවෙ හිටියා
කලටි පොල්වල රසය විදිනා
ඇමති රැකවල් සෙනෙවි වූවා

අරක්කුද බී සිගරැට්ටු ඇද්දා
විෂ්කි බ්‍රැන්ඩිය නා කියා ගත්තා
අරිෂ්ඨය හා වලිප්පුව මැද
ඇමති බිරිඳගෙ පණ වුනා

ළපටි කරලක් කිරි වැදී ඇති
ඉරිඟු යායෙන් ගෙන ගියා
කරටි වෙන්නට ගැසූ දිනයට
කැකිරි පල පල හපය කෙරුවා

කෙනෙක් අත්සන දෙන්න බැරි විට
බෙල්ල මුලටම ලංසු තිබ්බා
එකෙක් දෙන්නෙක් නෙමෙයි බෝ විට
හිතේ හැටියට මූනිස්ස වැදුණා

සුදු ඇදන් මල් අරන් හිස මත
වඳින ඇමතිට ලංවුනා
කඳු පිටින් කුඩු ගොඩ බසින 
තැන මගේ අණ නතුවුනා

කුරුළු නාදය දෙතොල් අඟකින්
මුමුණ මුමුණා පිටු පෙරලුනා
අරළු කෑ බව මතක් වෙන්නට
කලක් ගිය බව වැටහුණා

වසර පහ, දහය හෝ බල
සිඳෙන තෙක් රැකවරණෙ දුන්නා
වරද කළ ඒ ඇමති නාමෙට
පෝරකය මගෙ නමට ලිවුවා

මගේ දරුවන් බිරිඳ හැපි හැපි
ඇමති පාමලු වැටිල තිබුණා
තෝපේ කවුරුත් දන්නෙ නෑ මං
කියා පන්නා යවා තිබුණා

ලොකු කෙලී කොටහලු වෙලා 
මාස තුනවත් නොපිරිලා තිබුණා
පොඩි එකී කිරි බිබී හඬන විටදිම
මගෙ ගෑණි බඩ කරල තිබුණා

යකඩ පොලු මැද ගෙවෙන කළ මගෙ
මරණෙ ගැන දින දිනය ගෙවුණා
වඳපු දරු දුක දරාගන්නට බැරිම තැන
පපුව පැළිලා මව් මැරිල තිබුණා

රජුන් විලසට ගමට හයිරන්
දමන් හිටි මට මොකද වූයේ
දිට්ඨධම්මය කියා බුදු බණ
දෙසන හිමියෙක් මෙහෙට වැඩියා

Tuesday, July 21, 2015

බෙදීම - පිළිතුරක් නැත

කෝපි සුවඳට හුස්ම හිරවෙන
වීථි පසුකර යනෙන විට මට
ග්‍රීක දෙවඟන බලා හිනැහෙන
ප්‍රීති ගෝසා ඇසෙයි නිතරම

ලවණ සුවඳක් ගෙනෙන සුළඟක
මිලින පැතුමන් කොතෙක් තිබුණද
පරණ වෙන්නැති හිතේ සිතුවිලි
දුවන ගමනක තබා දිවුවද


මාර ගස් යට කාක් හඬ මැද
පාර අද්දර සිඟිති ඇස් වට
පිපී මියැදෙන සිහින කොපමණ
තියෙද සිරිලක මෙහෙට හුරු නැති


බුදු පසේ බුදු නිර්වාණ පතමින්
අතක් පෑවට සසර පාපෙට
හුදු විනෝදය කිය කියා මුන්
කොතෙක් විපරිත දේ කරනවද

කොහේ හෝ හැප්පිලා විසිවෙන
විටදි පෙරලා එමිය හුන් තැන
අහෝ ලෝකය බෙදුවෙ ඇයි
ඇති එකා නැති එකා විලසට

-------------2015/07/20 -----------

Monday, July 20, 2015

මගෙ බිසවුනේ රිදෙයි මේ තනි යහන්

පිපි වැටෙන පිනි බිඳු මිළ කරන්
සිසි උවන ගැන කවි කිව් තරන්
නැගි සුසුම් ලය තුල තද කරන්
මගෙ බිසවුනේ රිදුම් මේ තනි යහන්

තෙත මුහුල නුඹෙ වැදුන, කිති මැදින්
ගඟ ගලා ගිය හැටි සෙනේ, පපුවත් පලන්
මඳ අඳුර එන විට වැට මායිම පැනන්
මගෙ බිසවුනේ රිදුම් දෙයි තනි යහන්

සව්සිරි යස ඉසුරු ගැන තුන්සිත මවන්
නුඹ ගිහින් දුර තනියම නැව් නැගන්
හිත පිපෙන ආදර කුසුම් සුරැකිව තියන්
හිටි මුත් නැහැ සතුට බිසවුනේ තනි යහන්

ගුලිවෙලා රැය එවන සීතලට නුඹ ගැන සිතන්
පාවෙලා යන තුට පමණි සිහිනෙක ඉදන්
බැරිවෙලා හරි පොඩි කුසුම් අපෙ මැල වුනොත්
හිනැහිලා ඉවරයි දැන් වරෙන් අපුලයි තනි යහන්


Monday, July 13, 2015

======කෝ මා ====

පුරුදු විදිහට කෝපි කෝප්පය තොල ගාන්න ගත්ත ගමන් එයා , මං ඇස් දෙක ඈත එපිට මුහුදෙ පාවෙන නෞකාවක් වටා රාමු ගත කරගෙන හිටිය.
---එහෙම නොවෙන්න තිබුණ..
--ඒත් එහෙම වුනේ ඇයි?
ඕනවට වඩා හිතන්න යන හන්දා
------හිතන එකේ වැරැද්දක් නැහැ
--මොකද නැත්තෙ. ඒ හිතපු හන්දනෙ මෙච්චර දෙයක් වුනේ
--ජීවිතේ කෙටියි,
--ආසාවන් වැඩියි
---නෑ ඒක බොරුවක්, බොරුවක්, බොරුවක්
බොරු නම් එනව යන්න.
කොහේ යන්නද? ඒ මං බලා හිටිය මාළිගාව..
එතන ඇති මාළිගාවක් නැහැ.
මාළිගාවක් නැහැ..? මොකක්..

මගේ හිතම මට කතා කරද්දි මං ආයෙම මගේ ඇස් පිල්ලම් සොලවා අර නෞකාව දිහා බලා හිටිය.

වෙලින්ටන් පුරුදු සිගරට්ටුව අතේ තියන් කෝපි බඳුනෙ ඉහළ, දබරගිල්ල යව යවා තවත් දිශාවක කියල මට තේරුණා.
ඔහුගෙ පෙරැත්තට කෝපි බොන්න ආවට මට ඒ ගැන ආසාවක් නැති බව වෙලින්ටන්ට කියන්න බැරි වුනා.

කෝපි කුඩු ටිකක තියෙන සුවඳයි , උණු උණු කෝපි කෝප්පෙක තියෙන සුවඳයි අතර ලොකු වෙනසක් තියෙනව කියල මං හොඳට දන්නව. එදා හිටන් කෝපි සුවඳට ආස කරපු තරම කොච්චරද කිවුවොත් විවිධ වර්ගයේ කෝපි පොඩි පොඩි වීදුරුවලට දාල මගේ කාමරයෙ මේසෙ පුරා තිබුණ. සමහර වෙලාවල් වලට මේ අසීමිත ආසාවන්ගෙන් මං වෙනත් ලෝකෙකට යනව කියල මට දැනෙනවා. එහෙම දවසක,

මේ ලයිට් එලියක්ද ?
නෑ ඒ මේ පරිසරයෙ හැටි
මෙහෙම එළි වැටෙන්නෙ කොහොමද?
ඈත පේන දුර අර ස්තම්බය මුදුනෙ කුමාරිකාවක් ඉන්නව. ඒ කුමාරිකාව ඇස් පිය ගහන පාරක් ගානෙ මේ පරිසරයෙ පාට වෙනස් වෙනව
මට ඒ කුමාරිකාව බලන්න යන්න පුලුවන්ද ?
ඒ ස්තම්බය මුදුනට යන හැමෝම යනව විතරයි. ආපහු ඒමක් නැහැ.
ආපහු නාවට කමක් නැහැ. මට ආසයි ඒ කුමාරිකාව එක පාරක් දැක ගන්න.
එතකොට අම්මා, තාත්තා, යාළුවො ඔයාට නැති වෙනව.
ඒ කුමාරිව මුණු ගැහිල දැක්කට පස්සෙ මං එයාව කැමති කරගෙන ආපහු එනව.
හිතන තරම් ලේසි නැහැ.
ජීවිතේ පහසුත් නැහැ
අපහසුත් නැහැ.

කණ ගාවින් විසිල් පාරක් ගහගෙන දිශානතිය වෙනස් කළ සුළඟ එක්ක අරියාදුවක් ආව මට. අර ඉස්සර මතකය නෙෘකාව කේන්ද්‍ර කරගෙන ඇවිලෙද්දි නැවතත් මාව මෙහාට කැන්දන් ආව. වෙලින්ටන් කෝපි බදුන හිස් කරල වතුර බෝතලයකුත් ගෙන්න ගෙන කියල මං දැක්කෙ දැන්. ජෙල් ගාල මුහුණට වැටෙන්න කෙහෙරැල්ලක් දෙකක් තියෙන වෙලින්ටන්ගෙ පෙනුම හරිම දුක්බරයි කියල මට හිතෙනව. ඒත් මේ අවස්ථාව වඩාත්ම හොඳ නිශ්ශබ්ද බව කියල අර පාවෙන නැව ටිකක් ඈත් වෙලා කියන හැඟීම දැනුනත් ආයෙම ඒ දෙස මං බලා ඉන්න පටන් ගත්තා.

රැල්ලක් එක්ක ගමනක් කියන්නෙ දුෂ්කරයි. 
ඔව් අර කුමාරිකාවගෙ ස්තම්බයට යන ගමන වගේ. 
ඒ කුමාරිකාව වගේ මටත් ඇසිපිය සලන වෙනසට පරිසයරය නෙමෙයි මාව වත් වෙනස් වෙනව නම් කියල මට හිතුණ. 
අලුත් අලුත් රැලි හද හද වෙරළට එවන එක මුහුදෙ වගකීමක් ියල මට හිතුණ.
දැන් ඒ කුමාරි කොහේ ඉන්නව ඇද්ද?
කෝපි සුවදක් ඉව කරන්න හිතුණ නිසාම හයියෙන් හෙමිහිට හුස්මක් ගනිමින් මං ඉව කලා.
කෝපි සුවඳක් එක්ක මාව මේ තරම් වෙනස් කරන්න පුලුවන් කමක්
ඔව් කෝපි කියන්නෙ ඔයාගෙ ආත්ම ගත දෙයක්
හරියට හරි මං ඒක පිළිගන්නව
ඕකෙන් මිදෙන්න හදන්න එපා.
ඇයි?
එතකොට ඔයාට කවදාවත් කුමාරිකාව ඉන්න ස්තම්බයට යන්න බැරිවෙනව. 
මගේ අරමුණ ඒ කුමාරිකාව මුණ ගැහෙන එක.
ඒ ඇස් ලැබුණ හැටි අහන එක
එහෙම නම් කෝපි සුවදෙන් මිදෙන්න එපා
ඔව් මට මේ කෝපි සුවඳෙන් මිදෙන්න බැහැ තමා

වෙලින්ටන් එක්ක අකමැත්තෙන් හරි කෝපි බොන්න ආවෙ ඇයි කියන එක මට මතක් වුනේ දැන්.. 

ඒත් කෝ මගේ ඒ කාමරය.. විවිධනම් වලින් විවිධ සුවඳ වර්ග මැද්දෙ දුම් ගොඩාක් මැද්දෙන් කුමාරිකාවකගෙ ස්තම්බයට යන්න පාර එළි පෙහෙලි කරපු තැන.

ඇන්ජෙලා...ඇන්ජෙලා... එක පාරට මගෙ අතිට සීතලක් දැනුන නිසා මං බලද්දි වෙලින්ටන් යතුරු කැරැල්ලත් අතේ තියන් යන්න නැගිටල.
අපි යන් ඇන්ජෙලා.. ඔයාගෙ බෙහෙත් බොන්න වෙලාව හරි. ඒක මඟ ඇරුනොත් ආයෙම ඔයාට අර සෙනග මැද්දෙ වට කරල තියෙන කාමරයක ඇදක් උඩ පැය 24 ම නිදාගෙන ඉන්න වෙන්නෙ. ඔයාගෙ අවශ්‍යතාවත් ඔයා දන්නෙ නැතිව.

Saturday, July 11, 2015

කන්දක් වුනත් දඟලනවා බෝම

පයින්ස් ගස්වල පත් අග කිනිසි වැනි
තැන් වැදෙනකොට තුරුණු කන්දක
අනුබදී සිහිල් දිය බිඳු හඳන්නට
මිහිපල් කමක් වැනි වරමකි එයද

සකියනි වලාකුළු වැටෙනා විට සිරුරට
කෝමල කමක් ගයි නිරතුරු ලෝචන
කියුඹු ලතා කිති කැවි කැවි වැදෙන විට
මින්දද සිඹින මල්වැනි කදු මුදුනකට

මැසිවිලි දැනෙන බව හිතුවත් හිතවතුණි
ඇසිපිය සලන දේදුනු සඟවයි නිරතුරුම
වයිරම සිඹින අඟලක් අඟලක් නෑර
සෙයිලම වගේ කන්දක් දඟලයි බෝම

2015/07/09 

Thursday, July 9, 2015

තැවීම තැනීමක් ඇවැසිමද ?

ඉකිබිඳුම් ඉකි ගස ගසා සිරවෙයි
නුඹට විතරක් ඇහෙනවද
මේ බැදුම් තව පොඩිම පොඩි කාලයයි
ඉතින් මේ හැටි හිත් රිදෙනවද

වසත් කාලය සිසිර සෘතුවත්
එක තැනක නෑ රැදෙන්නේ
සිතින් උපදින අපේ හැඟුමන්
ඒ වගෙයි මට දැනෙන්නේ

සියුම් ඉසියුම් තැන් සොයා
හැඩුම් වැළපුම් ඇයි තැනෙන්නේ
නැවුම් උදයක් හෙටත් පිබිදේ
කුමට විරසක කම් සිතන්නේ

Saturday, June 27, 2015

තාත්තා ගල් බිදිනවා

අරඹකන්දට ගල් වළට හිරු වළලු වැටුණාට
සරඹ සන්දර්ශන වගේ තාත්තේ ඈතට
ඉහළ ඉස්සෙන කුළු ගෙඩිය අරන් දෑතට
වැටෙන අතරේ බිමට කියන කවි දැනෙනවා හදවතට

ගල්ලින්න හයියකට පසාරුව කරනවා
පපු කැනතු අස්සටම ගිරි ශිඛරෙ වැදෙනවා
කිරි ගහේ කිරි වරල වසර ගණනක් ගෙ‍ෙ
වැහිලිහිණි පැටික්කිය මාර ගහයට නිදනවා

හාර හාරා බඩ බොකුත්
සොය සොයා ගල් කුලේ ඇතුළටම
දමන වෙර අනන්තෙට පේනවා
සීර සීරා දාඩියෙහි වැහි
මුළු ගත තෙමනෙවා
පාට පිච්චුණු ඔබේ සිරුරෙන්
දේදුන්නෙ වර්ණයන් මැවෙනවා
ඒ දිගේ සිහින අල්ලන්
අහස මුදුනට ඇතැඟිලි යොමනවා

බිදින්නට නම් පර්වතේ
ඇට නහර කැඩී පොඩිවී යන්න
වෙඩි දමා තැළිය යුතුමයි හිසට
පිට දිගේ රිදෙන්නට
සැත්කමක් තනියමම කරන් යනකොට
ලේ නහර නැවතුණොත්
වතුර බිදු ඉස ඉසා බලනවා
යකඩෙකට වුනත් මහන්සිත් දැනෙනවා

අවසානෙ පොල් මුඩු අරන්
පපුවෙ හිල වසනවා
සංසාරෙ අවසානෙට ඇසෙන්නට
"බෝරෙ " යැයි කෑ ගහනවා

කණ් අඩිය පුපුරන්න ගල් කුළත්
නෙතු පියන් මහ පොළව සිඹිනවා
පැන් බිඳක් සොයන්නට බුලත් කහටක
රහට විවේකය ඔබ බලනවා

ගිනියමට දැවි දැවී තුරු පතුත් හැකිළිලා
මැදියමට රිදි රිදී කරගැටක තෙල් හලනවා
හැරවුමක හැඩරුවක් අන් නෙතක සොයනවා
පිළිරුවෙන් පිළිරුවට තාත්තා ගල් බිඳිනවා
_____2015/06/27_____දිනිති දීපිකා_____

Saturday, June 20, 2015

මහින්දාගමනය අභිමානවත් ලෙස සයිප්‍රසයේදී සැමරූ වගයි


පොසොන් සුළගට හැපි හැපී එහෙ මෙහෙට දඟලන තුරු ලතා මැදින් මිස්සක පව්ව මසිතෙහි මැවේ. ඝණ්ඨා නාදය හා ශ්‍රද්ධා සිත් මුදුන් කරන් කුහුඹුවන් පෙළක් සේ ඒ වටා කැරකෙමින් හදවතේ බුද්ධාලම්බන ප්‍රිතිය වඩ වඩාත් තිවුර කරගන්නා බැතිමතුන්ද මට මැවෙමින් මැකෙමින් යයි. 

—සමණා මයං මහා රාජ
ධම්ම රාජස්ස ශ්‍රවකා
තමේව අනුකම්පාය
ජම්බු දීපා ඉධාගථා ˜

බුද්ධ වර්ෂ 236 දී පොසොන් පුන් පොහෝ දා මිස්සක පව්ව මුදුනතෙහි සිට මේ උදාන පාඨය නෑසෙන්නට අප තවමත් මිථ්‍යාදෘෂ්ඨිකයන් නොවී ඉන්නට තිබුණා යැයි කාට නම් පැවසිය හැකිද ? බල තණ්හාවේ උපරිමයට යමින් ජව සම්පන්නයේ සද්දන්ත්වය පෙන්වමින් අශෝක අධිරාජ්‍යයා චණ්ඩාශෝක වෙමින් තළා පෙළා මරා ලේ පිපාසිත හැඟුම් දොළදුකින් මෙන් පිනවීමම ඔහුට එපා වී ගිය දවසක සත් අවුරුදු සාමනේර නමකගේ වදනකට හිස නමන්නට තරම් මේ බුද්ධ ධර්මය ප්‍රබල විය. එතැන් පටන් අසූහාර දහසක් වෙහෙර විහාර තනවමින් ධර්මාශෝක නම් වූ එතුමාණන්ගේ ධර්මයේ මල් ඵල විඳින්නට අප ද වාසනාවන්තයෝ  වූහ. 

අශෝක අධිරාජයාණන්ගේ එකම පුතු වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස එදා මිස්සක පව්ව අභියසදී දේවානම්පියතිස්ස රජුන් හමු වී, එතුමන් තිසරණය සහිත පංච ශීලය සමාදන් කරවීමෙන් මෙරට ආරම්භ කරන ලද සම්බුද්ධ ශාසනය සමරනු වස්, සයිප්‍රසයේ ශ්‍රීලංකාරාමයේ පොසොන් පින්කම ජුනි මස 07 වන දින පාපෝස් නගරය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ෂවත් අන්දමින් සිදු කරන ලදි. දාන ශීල භාවනාදී පින්කම් වලින්ද සමන්විත මෙම ආගමික වැඩසටහනෙහිදී සියල්ලන්ම නිවුනු සිතින් ධර්ම කරුණු අසා සිටියා කියතහොත් එය නිවැරදිමය. 

සිහිල් සුළං හමන මිගදාය, මහමෙවුනාව වැනි ශාන්ත පරිසරයක් තුල කිචි බිචි ගාන කුරුළු නාදයන් පරයා ඇසෙන සාදු නාදය අපට අපේම පින්බිමක ඉන්නා වැනිය. 

එදා මිහිදු මා හිමියන් සිරිලකට සම්බුද්ධ ධර්මය රැගෙන පැමිණියා සේම සයිප්‍රසයට ධර්මයේ පණිවිඩය රැගෙන පැමිණි සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායකාභිධාන මොරවක සෝරත අපේ ලොකු හාමුදුරුවන් සමඟ වහන්තරේ සිද්ධාර්ථ හිමියන් දෙසූ යුගාසන කාව්‍යමය ධර්ම දේශනය කාලෝචිතමය. 

එලොව මෙලොව දෙලොවටම වැඩදායී ලෙස ජීවිතය ගත කරන්නට හුරු වූ සහ හුරුවෙන මෙන්ම හුරු කරවන සිරිලක් වැසියන් සිටින සයිප්‍රසයේ බෞද්ධ සංගමය සමඟ එක් වී පාපෝස් නගරයේ සියළු කුදු මහත් පිරිස එකාවන්ව එක්වී පිදිය යුත්තන් පිදීම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ කළහ. 

සටහන - දිනිති දීපිකා.
 ලිමසෝල් / සයිප්‍රස්

2015 ජුනි 21 ඉරිදා ලංකාදීප පුවත්පත







Friday, June 5, 2015

දිවියක ගමන

කොපුලත රැදෙන සිහිලස් උණුසුම් පහස
ලවණත රසය දැනිලා යයි බැස විගස
උරමත ගැහෙන ඉස්සෙන බර කඳෙ රහස
කවිමත නොමැත සසරක උහුලන වෙහෙස

පෙරපස නැගෙන හිරුටත් උරුමය බැස යාම
අහසක කොහෙද අපිටම අයිතිය පැතිරීම
මඳහස රකින පිනිබිඳ මොහොතින් වියලීම
දස අත දුවන ගමනක කොතනද නැවතීම

විනිවිද පෙනෙන හදවත් නැතිවිට හමුවීම
සිද බිද යෑම අත්වැල් නැවතිය බැහැ කෝම
කඩු තුඩ මතට ගෙල තියමින් නිති හිනැහීම
ලෙස දැක ගත හැකිය දිගු මේ ගමනක යෑම

Monday, June 1, 2015

ඔලිව් ගස දුක්බරව

අතර පතරින් රොස්වෙච්ච බත් හට්ටියක අඩියක් තරම්
හරවගෙන හිස පහළටම අද ඔලිව් ගස අමනාපයෙන්
සතර අත ඇවිදලා නම නොදන්නා කුරුලෙකු ඇවිත්
කොනිත්තා නිය තුඩෙන් ඇන්නා සොඳුරිට හොරෙන්

ඇගේ අත පතන් ඇරයුම දී තවම හරියට සති පහයි දවසයි
හිතේ හැටියට කියන්නට බැරි වෙච්ච ලතැවුම රිදීමයි
කොහේ හෝ ඇවිදලා යන එන විහඟයින් පිරි කාලයයි
අනේ ඈ රැක ගන්න වැළපෙන හදවතේ දුක මහ මෙරයි

අලුයමම ඈ පිපෙන පිනි බිදි විසික් කරමින් මගේ මුහුණට
කිතිකවන එක හරිම සුවයයි වැළඳගන්නේ පුදුම පෙමකින්
දෙළොවකම තිබු හිත එකක් කරමින් ඈ හා වසන්නට
සිහිනයට මගෙ වැට බදින්නට කුරුල්ලෙක් ඇයි තරහකින්

සුදෝ සුදු පොඩි සුවඳ මල් පිරි ඇගේ සියොළඟ බදා ඉන්නට
ඔහුම තරමට වෙන කෙනෙක් මේ තුන් ලොවට නෑ උපන්නට
නියේ පහරක් වැදී සීරුණු ඇගේ බඳ මැද පෙනෙන තරමට
අනේ ඉපදී මියෙන තරමක් දැනේ සෙනෙහස පිච්ච පඳුරට.

Monday, May 18, 2015

සයිප්‍රසයේ අවුරුදු ගම්මානය.

2015 මැයි මස 03 වන දින ඉරිදා ලංකාදීපය. 

( වේදිකාව සඳහා යොදා ඇති ඡායාරූපය අපගේ එකක් නොව. එය ඔවුන් විසින් පැටලීමක් සිදුවී ඇතිව පලවී ඇත්තකි. අපේ වේදිකාවේ ඡායරූපය මෙයයි. 



කවර රටකට වුව, රටට අනන්‍ය වූ භාෂාවක් , සංස්කෘතියක් සහ හා බැඳුනු නොයෙකුත් උප සංස්කෘතීන් රාශියක් ඇත. එය නිසි ගෞරවය ලබමින් සීමාවන් හඹා යමින් විවිධ දෙස් විදෙස් තුළත් තම අභිමානය පෞඩව සනිටුහන් කරද්දී ජාතික හැඟීමකින් එවන් තැන්වල ජීවත්වන දනන් තම හැඟීම් තුළ කිදා බැස යති. එකට එකාවන් හමුවී, අත්වැල් බැඳ සිත් මල් තුළින් නැගෙන අපේ කම වගා කිරීම තම අරමුණ කරමින් එපසුපස යෑම සතු දනවන කරුණකි.

ලෝකය තරඟකාරිත්වයට මාරුවීමත් සමග ගෝලීයකරණය හා සමගින් සමස්ත ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වීමත් සමග අප සැමගේ සයිප්‍රස් ආගමනය යනු විවිධ රැකියාවන් තුලින් තම තමන්ගේ ආර්ථිකය සවි බල ගැන්වීමේ ඒකායන අරමුණ මුදුන් පමුණුවා ගැනීම වුවද අප තුල ඇති නිසග හැකියාවන් විදහා පෑමට කිසි විටෙකත් පසුබට නොවීම සතුටට කරුණකි.

බත බුලත පිරි සිරිලක අතමිට හිඟ කම තදින් නොතිබුණ යුගයක් තිබුණද සංවර්ධනයේ ඉලක්ක වෙත ධාවනය වන ජීවන ගමනක තම දේශ සීමා පසු කර මාතෘ භූමියටත්, එහි තමන්ගේ සහ තමන් නමින් සිටින්නවුන්ගේත් මුව මත හසරැලි පුබුදවන්නට වැර ගන්නා පිරිස් අද වන විට මෙහිද බොහෝය. මධ්‍යධරණී මුහුදින් වට සයිප්‍රසය නැමැති පුංචි  දූපතේ සිනාපිරි තෝතැන්න සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමයයි. ඇත්තෙන්ම අපට නම් එය කතරට වට වැසි බිඳක් බඳුය. මන්ද බෞද්ධාගමික හා සිංහල සංස්කෘතියේ පුනර්ජීවනයේ කෙන්ද්‍රස්තානයද එයම වන බැවිනි.තමන් ආවේ විවිධ රැකියාවන් තුළින් ආර්ථිකය ජය ගන්නට වුවද හැකියාවන් ද පොහොසත්ව ළෙලදෙවන්නට අමතක නොකිරීම අපේ භාග්‍යයකි.

සිල්සුවඳ පතුරුවමින් සෑම මසකම ගුණ දම් පිරුණු මිනිසුන් සමාජයට දායාද කිරීමට දේශගුණික විපර්යාසයන් හමුවේ වුව නොසැලී අධිෂ්ඨාන හා වීර්ය පාරමිතා සපුරමින් කටයුතු කරන සයිප්‍රසයේ ප්‍රධාන සංගනායක මොරවක සෝරත අපේ ලොකු හාමුදුරුවන් අපට මහත් ශක්තියකි.උන්වහන්සේගේ අනු දැනුම හා මග පෙන්වීම මත සයිප්‍රසයේ අවුරුදු ගම්මානය" මෙවරද උත්සවශ්‍රීයෙන් පැවැත්වීම අප සැම ලද ජයග්‍රහණයකි.

සයිප්‍රසයේ අවුරුදු ගම්මානය කිවු සැණින් දැන් සිරිලක් වාසීන් පමණක් ලොව පුරා විසිරී සිටින සියළු ලක්වැසියන් පෙරුම් පුරා බලා සිටින්නට තරම් පුරුදු වී ඇත. ඒ මන්ද යත් එදා අපේ හෙළ සංස්කෘතියේ සියළු දේ කැටි කරගනිමින් සැදුම් ලත් විශේෂ අවුරුදු ගම්මානයක් මේ යුරෝපයේ මැවෙන නිසාමය. හෙළයේ මහා මංගලයේ අවුරුදු නෑගම් එන සිව් දෙස දන කදමලු බැදන් මහ ගෙදරට පැමිණීමත් සමඟ අවුරුදු චාරිත්‍ර මහ ගෙදරදී සිදුවූයේ දෙස් විදෙස් ආරාධිතයින් අතිනි. නැකතට ලිප ගිනි මොළවා සෞභා්‍යෙය් සංතේකයෙන් හදවත් පුරවාගෙන සාදා පිළියෙල කරගත් සියල්ලෙහිම අග්‍රබාගය අප ගෞතම සම්මා සම්බුදුන් හට බුද්ධ පූජාව තබමින් ආරම්භ වූ අප අවුරුදු ගම්මානයේ, විශාල කඹ ආධාරයෙන් තනාගන්නා ඔංචිල්ලා දෙක සහ ඒ මත ඔංචිලි වාරම් ගයමින් රෙදි හැට්ට ඇද හිස මල් ගවසා එහෙට මෙහෙට පැද්දෙන ලලනාවන් හරිම සුන්දර දසුනක් ගෙන දුන්නේය.  මේ අතර විදෙස් රටවල යුවතියන්ද අපේ ස්ස්කෘතියට ඇද පැළද ගෙන පැමිණ මේ රසයේ උපරිමය අත් විඳීම කාටත් සුපුරුදු දසුනක් වුවද හදවත පුරා දිවෙන අපේකම තුලින් දැනෙන වින්දනය වචනයෙන් කිව නොහැකි තරම්ය

මහ ගෙදරට නුදුරින් තනන වී බිස්ස යට සිට පංච දමන, ඔළිද කෙලින ළමා ළපටියෝ විතරක් නොව රබන් සුරල් වයමින් ආසියාවේ අන්‍යනතාව ලොවට පෙන්වීම ආඩම්බරය මුසු හැඟීමක් විය. . සියළු නැකැත් චාරිත්‍ර හැකි උපරිමයෙන් ඉෂ්ට සිද්ද කළ සයිප්‍රසයේ ලක්වැසියෝ පැළ සිටුවීම පමණක් නොව දෙමාපිය වන්දනාව ද අපේ ලොකු හාමුදුරුවන්ගේ ඒ මධුර ස්වරයෙන් ඇසෙන මාතෘ ප්‍රේමයෙන් පිතෘ ප්‍රේමයෙන් හදවත් තෙත් වී ඇස් වලින් ගලා යන ස්නේහයේ මුසු කඳුළු වැල්  මුළු අවුරුදු ගම්මානයම මීයට පිම්බා සේ නිහඩතාවයක ගිල්ලී සියල්ලෝම හදවතින් මව් රටේ තම නිවෙස්වල දෙමාපියන් අසල වැද වැටී හෙලන සුසුමේ බර මෙපමණ යැයි මේ ලියුම්කරුටද කිව නොහැකි තරම් තදින් දැනීම මහා පුදුමයකි.

සිරිලක දේශීයත්වයට ලැදී ශ්‍රී ලාංකික කලාකරුවෙක් වන මහින්ද  පතිරගේ ( පුරෝහිත ) නම් කලාකරුවා මෙවරද සයිප්‍රස් අවුරුදු සිරිය ඔප නැංවීමට පැමිණි බව දනවනුයේ හද පිරි සතුටිනි. ඔහුත් සමඟද අවුරුදු සිරි බෙදා හදාගනිමින් ගත කළ මෙවර අවුරුදු ගම්මානයටද සයිප්‍රසයේ ශ්‍රිලංකාරාමය සහ බෞද්ධ සංගමයෙන් ඉෂ්ඨ සිද්ද වූ වගකීම් ඒ අයුරින්ම ලාංකියන්ට දීම කෘතගුණ සැලකිය යුතුමය.  විවිධ නගරවල වැසියන් විවිධ අංගයන් බාර ගනිමින් එකාවන්ව මේ අත්වැල් බැදගෙන නිමාව දුටුවේ හෙළයේ ඒ මහා මංගල්ලයේ සිරි අසිරියමය.


දිනිති දීපිකා - සයිප්‍රස් සිට





ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...