Thursday, February 13, 2014

අත් හැරුණ රෝස මල



   
     මම නංගී දෙස බැලුවෙමි. ඇය චතුස් පුතාව තුරුල් කරගෙන කිරි පොවයි.මාස 3ක් වයසැති සිගිති සුරතල් පුතා දෑත් දෙපා විහිදවමින් සතුටින් කිරි උරයි.  

අද මගේ නංගි ආදර බර බිරිදකි. සෙනෙහෙබර මවකි. ඇය දරු සුරතල් බලයි. ඇගේ කැදැල්ල දැන් සම්පුර්ණ යැයි මම සිතමි. මට වඩා අවුරුදු 4ක් බාල වුවද ඇය අද පතිනියක් වී හමාරය. මා තවමත් අම්මාගේ සුවදට ඉව අල්ලමින් ඇගේ තුරුල්ලේ දැවටෙන්නට ප්‍රි කරමි.  

මට අතීතය සිහිවේ.  

ආදරණීය ඔබ මා ළග සිටියානම් අද මමද බිරිදක්, මවක් යැයි මට හිතෙන්නෙමි.  

එහෙත් කාළය බොහෝ දේ වෙනස් කලේය. මා දුරු රටක රැකියාවට ගියේ ඔබ විවාහ වූවා යැයි සැලවීමෙන්ය. ඉතිං අතීතය හරි අවුස්සා මිහිරි රසයක් විදින්නට හැකිනම් කියා මට සිතෙන්නෙමි.
 
  ....ඒයි නිම්මියේ...මොනාද කල්පනා කරන්නෙ... 
මා පියවි සිහියට ආවෙ අක්කාගේ හඩිනි. ඇය දොරකඩ සිට මට කතා කරයි. මම ගල් පඩිය උඩට වෙලා නංගී දෙස බලා සිටිමින්ම හිත දුර ගොස් ඇති බව වැටහුනේ පසුවය


...මොකුත් නෑ හලෝ...පොඩි එකා දිහා බලන් හිටියා...


...ඇයි ඔයාට ආස හිතුනද...?  ඒක තමයි අම්මා හැමදාම කියන්නෙ කසාදයක් බදින්න කියලා...ගෑණු ළමයෙකුට තනියම ඉන්න බෑ...


...ඔය බොරු අක්කා...මට අම්මා ඉන්නවා...ඔයාලා ඉන්නවා...ඉතිං මට තනි නෑ...


  ඔයා හිතන්නෙ අම්මා හැමදාම ඉන්නවා කියලද?...එයා හැමදාම ඔයාගෙ තනි රැකලා හරි යන්නෙ නෑ. ඔයා අවුරුදු 2කට වතාවක් ලංකාවට එනවා මාසයක් ඉදලා ආපහු යනවා. අනික් කලෙ අම්මා තනියමනෙ..දැන් අපි අම්මව බලාගන්න ඕනි කාලෙ...


   මම ඇස් උස්සා අම්මා දෙස බැලුවෙමි.ඇයගේ මුහුණේ එය අනුමත කරන සලකුණක් ඇද්දැයි සෙවුවෙමි..එහෙත් එවෙනි වෙනසක් නැතත් අක්කා කිවුවෙ සත්‍යයක් යැයි මට සිතුණි.



 ..දැන් නිම්මි කොයිකාලෙ විතරද බදින්න ඉන්නෙ...?


  අම්මාගේ පැනයෙන් මා අසරණ වූවා පමණක් නොවේ, මගේ හිත අතීතය අවුස්සන්නට වූයේය..අද මගේ නංගී මවක් වී ඇති ලෙස ඔබ ආදරණිය පියෙකු වී ඇතැයි සිතමි
 එහෙත් සියල්ල ගැන පෙරපර ගලපන්නට මම වෑයම් කරමි. ඔබට රිසි හෝ නිරිසි වූවත් මට මහමෙරක් තරම් සදිසි ප්‍රේමය ගැන ලියන්නෙමි. ආදරණිය කතා කරන ඇස් දෙක ගැන මට කල්පයක් තරමට ලිවිය හැකි වුවද මගේ ජීවිතයේ සදානුස්මරණ සිහිවටනය වූ ...මගේ ප්‍රේමය ...ගැන මම ඔබට අකුරු කරන්නෙමි...





මහ හුගක් පෙරුම් පුරලා

පිපෙන්න අර අදින පෙම් කැකුළ

අතැගිලි අතරින් රූරා වැටෙන්න

ඔන්න මෙන්න යැයි මට හිතෙනවෙ...

වැටෙන්න පෙර පෙම් කැකුලු

දෝතින් නෙලන්න ඇයි ඔබ නාවෙ

නොපිපී පරවී කඩා වැටෙන විට

ඇහිදින්නද ඔබ බලා හිදින්නේ...

ඔබටත් හිමි නැති මටත් අහිමි

සුවදැති පෙම් මල් කැකුලු

දෑස් අගින් දිලිසෙන කදුලැලි අතරින්

බොදවුන සිතුවම ලෙසින් පෙනේවිද...?



                                   අල්මාරියේ වූ සියලු ඇදුම් එළියට අදිමින් මා ඇදුමක් සෙවුවෙමි. ලා නිල්පාට මල් වැටුන පිනපෝ ගවුමට මගේ හිත ගිය බැවින් ඒකට ගැලපෙන ටී ෂර්ට් එකක් සෙවුවෙමි. මට අහස් නිලට හුරු ටී ෂර්ටයක් තිබුනා මතකය. ඒත් එය කොහිදැයි නිච්චියක් නැත. හැම තැනම හෙවුවද එය හමුවුනේ නැත. තවත් විපරම් කර
 

...අම්මා...මගෙ අර නිල්පාට ටී ෂර්ට් එක දැක්කද...?


...ඇයි ඒක අර වැල් තියෙන්නෙ...ඔයා පෙරේදා පන්ති ඇදලා තිබුනෙ. ගමන මං හේදුවා.



මා පෙරේදා පන්ති ඇන්දේ ටී ෂර්ටය මට නිකමටවත් මතක් වූයේ නැත


..දැන් ඔය කොහේ යන්නද ලැහැස්ති වෙන්නෙ...?


..අම්මා මං ආච්චි බලන්න ගිහින් එන්නම්...


     අම්මාට ආච්චී බලන්න යනවා කීවට මගේ හිත උඩ හිටියේ විසල් අයියාය. විසල් අයියාගේ බසය හැමදාම දහයාමාර වන විට අපේ ගේ ළග ඇති බස් නැවතුමෙන් යයි. බස් නැවතුම් පලට විනාඩි 10යක දුරක් යායුතුය. ඉතිං මා කලබලයෙන් ලැහැස්ති වූයේ විසල් අයියා මග ඇරෙයිදෝ යන හිතේ සැකයෙනි. ඇදුම් අදින අතරතුර මම දහස් වාරයක් හිතෙන් දෙවියන් යැද්දෙමි. විසල් අයියාගේ බසය මට මග ඇරෙන්න එපා යැයි කියමිනි.



...හදිස්සියෙ දුවන්නෙ අතේ සල්ලි තියෙනවද...? 
 මා ගේට්ටුව ගාවට ගියාටත් පසු අම්මා නැවතත් ඇසුවේය...


...ඕන්නෙ නෑ...අම්මෙ..මගෙ අතේ තියෙන ගාන හොදටම ඇති...


...ආච්චිට මොනාහරි අරන් යන්න පුතේ...


...හා අම්මේ... 

කියාගෙන ගේට්ටුවත් වසා පාරට පැන ගතිමි. දැන් මට ප්‍රශ්න වලට උත්තර බදින්නට ඇවැසි නැත. ඒත් අම්මා රවටා මා ආදරය පසු පස්සේ දුවනවා නේදැයි යන සිතුවිල්ල හිතට ආවද විසල් අයියා මතක් වී හැම අමතක කලෙමි.


                   මා විනාඩි 10 ක් පමණ යාමට ඇති දුර විනාඩි 5ක් තරම් අඩු වෙලාවකින් ආවායැයි සිතුනේ අතබැදි ඔරලෝසුව දුටු විටය. දහයාමාරට තවත් විනාඩි 20 ක්ම ඇත. මෙතරම් කලබලයෙන් දිවුවෙ ඇයිදැයි මම සිතමි. ඒත් බැරි විමකින් හෝ 10.30 කලින් බසය මතුගම බලා ගියොත් මට විසල් අයියා මග ඇරෙනවායැයි සිතා මම හිත හදාගත්තෙමි.


      මට විසල් අයියා හමුවු හැටි සිහිවෙමි. ලස්සන කතා තරන ඇස් දෙකට මා වශී වූයේ බහිරව කන්ද පන්සලේදීය. මගේ යාලුවා මලිති අක්කාගේ ගෙදර අයත් සමග බහිරව කන්ද පන්සලට දානයක් රැගෙන ගිය අවස්ථාවෙදීය.එදා අපි නුවර ගියේ විසල් අයියාගේ බසයෙනි. විසල් අයියා බසයේ අයිතිකරු වූවත් ඔහුගේ මාමා රියදුරු වශයෙන් කටයුතුකලේය. අපි දානය පිළිගන්වා අවසන් වූ පසු අවට සිරි නරඹමින් පොටෝ ගැසුවෙමි. කවදත් දගකාර කෙල්ලක වූ මා එකපාරටම අතවූ කැමරාවෙන් විසල් අයියාගේ පින්තූරයක් ගත්තෙමි. ඉන්පසු කිසිවක් නොවූ ලෙස ඈතින් පේන නුවර වැව දිහාත් මාළිගාවත් ඇතුලු නුවර නගරයේ සිරි නැරඹුවෙමි.


      .....ඔයා හරිම දගයි... 

මගේ කණ ගාවින් ඇසුණ කටහඩකින් මම හැරී බැලුවෙමි. විසල් අයියා හිනාවේගෙනම මා දෙස බලා හිදියි


 ....නංගි මං ඔයාට ආදරෙයි... 

එකපාරටම විසල් අයියා කී දෙයින් මම බිරාන්ත වී ගියෙමි. මට කිසි දෙයක් හිතා ගන්නට පවා නොහැකිය...


 ...ඇයි බයවෙලා...මං කිවුවෙ ඇත්ත. හැමදාම උදේට බස් එක හොරණ යනකොට මම දකිනවා ඔයා ඉස්කෝලෙ යන්න පාරෙ අනික් පැත්තෙ ඉන්නවා. කොච්චර ආසාවෙන්ද ඔයත් එක්ක කතා කරන්න බලා ඉදියෙ. හැමදාම හිතින් ආදරෙ කලේ. අද ඔන්න ඔයාටත් කිවුවා...මොකද කියන්නෙ...?


   එතකොටම වාගේ හිනැහීගෙන මලිති අක්කා ආවේය.


  ...මොකද නිම්මි ඔයාට පැනලා යන්නවත් කතා කළාද විසල්...



   මලිති අක්කා මට වඩා අවුරුදු 5ක් පමණ වැඩිමල් වුවද ඇය මගේ යෙහෙලියයි. ඇය රැකියාව කලේ ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයේය


 ...මේ විසල්ගෙ බස් එකේ තමයි අපි හැමදාම හවසට වැඩ ඇරිලා එන්නෙ...


 ...අම්මෝ බලන්නනි මලිති අක්කලගෙ කට්ටියගෙ කටවල් වල සද්දෙ...


  ..හා...හා..අපේ සද්දෙ පරදින්නත් එක්ක ඔයාගෙ එකම විලාපයයි. බලන්න ඕනි කොහොම හරි ඔක්කොම ටික පටව ගන්න ලස්සන...


 ....එහෙම කියන් එපා. අපිත් ජීවත්වෙන්න ඕනි...ලීසිං ගෙවන්න ඕන...තව කීයක් ජාතිද... 
විසල් අයියා උත්තර බැන්දේය..


 ...ඇති...ඇති.. දැන් යමු බත් කන්න.. 
කියමින් මලිති අක්කා ඉස්සර විය. විසල් අයියා මාහා පෙළට වැටුනි.


   ...නංගි මං කිවුවෙ ඇත්ත. ඔයා දැක්ක දා ඉදන් මට මොකක්ද හුරු පුරුදු ගතියක් දැනෙනවා... විතරක් නෙමෙයි මගේ හිතේ හිටපු කෙල්ලව දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් හම්බවුනා.


 හැමදේටම කියවන කෑගහන මගේ කටට උත්තර නොවීය. මා විසල් අයියාගේ පා දෙස බලමින් ඔහු හා දාන ශාලාව දෙසට ගියෙමි.


 ..අපි දෙන්නටම එක පිගානකට ඛෙදා ගන්න....
 තවත් මට ළංවී කියූවෙන් මගේ මුලු ඇගම හීගඩු නැංවීය. විතරක් නෙමෙයි කන්පෙති රතුවී මුහුණට ලේ පුරා ඇතැයි මට සිතුණි. ඇගට හොදටම දහඩිය දමා තිබුණි.


   ...මොකද ඔහොම බලන් ඉන්නෙ...? ඇත්ත මං කිවුවෙ.


මට කරකියා ගන්නට දෙයක් නැත. සරණක් සොයමින් මගේ ඇස් මලිති අක්කා සෙවුවේය


...ඇයි නිම්මි කන්නෙ නැද්ද...? මොකද නිකන් බයවෙලා වගේ...?


...මට දෙන්නට උත්තරයක් හොයාගන්නට බැරිවිය.

 .....දග මල්ලට මොකද වුනේ...?  
කියමින් මලිති අක්කා මගෙ අතින් ඇද්දේය. විසල් අයියා දුරසිට බලා හිදින බව මම යටැසින් දුටුවෙමි.


...මලිති අක්කා...මෙ....මේ...විසල් ...යි...යා...


...ඇයි විසල් ඔයාව ගිලිනවා කිවුවද...? ඕකගෙ හැටි මං දන්නෙ නැද්ද...? ඔය කට ඇරියොත් ඉවරයි.


... නිම්මි මෙ බත් කන්න.. 
කියමින් මලිති අක්කාගෙ අම්මා මා දෙසට බෙදූ බත් පිගානක් දික් කලේය..එය අතට ගත්තද මගේ අත වෙවුලමින් තිබුණි. තරතියා ගන්නට දෙයක් නැතිව වටපිට බැලූවිට විසල් අයියා මා ළග බව දැක්කෙමි.


 ...එන්න යන්න ...බස් එකට ගිහින් කමු... 
කියමින් ඔහු මගේ අතින් ඇදගෙන ගියේය...


 ...ඉතිං මුහුණ දිහි බලාගෙන ඉන්නෙ කවනවා මටත්...

 මා තවත් බියපත් වුනෙමි. නිවසේදී නම් බත් කන්නට බෑ කියමින් ඇදේ ගුලිවී සිටිනවිට අම්මා බත් පංගුව ඛෙදා ගෙනවිත් මට කවයි...දැන්..මට තව කෙනෙක්ට බත් කවන්නට සදුවී ඇත. කුමක් කරන්නදැයි සිතමින් මම ඇස් දෙස බැලුවෙමි...


   විශ්වාස කරන්න.. කතා කරන ඇස් දෙක ලස්සනට දිලිසෙමින් තිබුනි. ඇස්වලින් කතා කරනවා විතරක් නොවෙයි හිනාවෙනවාත් කියා මට සිතුණි.


...ඔය හොදි දාලා අනලා මටත් කවන්නකෝ... 
විසල් අයියා මට පෙරැත්ත කරයි. මම බත් පිගාන දෙසම බලා හිඳියි
 
 ...හා මට කවන්න එපා...මං මෙ පැත්තෙන් කන්නම්...ඔයා ඔය පැත්තෙන් කන්න.  

එහෙම කියා ඔහු අත දමා බත් අනන්නට ගත්තේය. මම දෑතින් බත් පිගාන තද කර ගත්තෙමි.


 ...මං ඔයාව කන්නෙ නෑ...ඔය පැත්තෙන් අනාගෙන කන්න.. 

කිසිවක් නොවූ ගානට ඔහු මගේ දෑත මත ඇති බත් පිගානෙන් බත් අනාගෙන කන්නේය. හිටිගමන් බත් පිඩක් අතට ගත් ඔහු
 

...ඔයාටනෙ කවන්න බැරි එහෙනමම් ඔන්න මං කවනවා කට අරින්න... 
කියමින් ඔහු මගේ මුවට බත් පිඩ ළං කලේය. කිසි දෙයක් හිතා ගන්නට නොහැකිව මගේ දෑසට කදුලු ඉනුවේය.


  ...ඕකට අඩන්න ඕනි නෑ...කට අරින්න බැරි නම් මටත් එපා...මං යනවා... 

එහෙම කියා ඔහු යන්නට සැරසුනි. සැනින් මගේ අතින් ඔහු වැලැක්වුයේය. ඔහු පුදුම වුනු දෑසින් මා දෙස බලා ලස්සන හිනාවකින් මුව පුරවාගෙන යලිත් මගේ මුවට බත් පිඩ ළං කලේය. කීකරු වූ දරුවෙකු මෙන් මගේ මුව විවර වී බත් පිඩ කෑවෙය. ඔබ දගකාර දෑස්වලින් මා දෙස බලා හිනැහෙමින් උන්නේය.


 ...ඉතිං කියන්න...දැන් මට ආදරෙයිද...?  

ඔහු යලිත් ඇසුවේය..මම කිසිවක් නොකියා ඔබ දෙස බැලුවෙමි... ඇසඒවල ලස්සන මට කියා ගන්නට බැරි තරමට චමත්කාර බවකින් පිරි ඉතිරී තිබුනි.


( මෙය මා මීට වසර හයකට හතකට ඉහතදී ලියුවකි. _
______මතු සම්බන්ධයි ____

Tuesday, February 11, 2014

කොහොම නම් ඉවසනවද මන්දා

අතින් අත අල්ලගෙන පේළිය‍ට
උදෑසන හිරුට සිඹින්නට ඉඩ දී
ඉස්සි ඉස්සී කඳුකරයෙ නැළවෙනා හැටි,

හිස් මුදුන අත ගා සිනිදුවට
බෙල්ලෙන්ම කඩන විට
කිසිත් නොඳොඩා බලා ඉන්නා හැටි,

කඳුළු කැට හෙමිහිට බේරුණත්
ආපසු නොහැරීම යනෙන උන්හට
හදවතින් තුටු වෙනා මව්ගසක හැටි,

උරයක, කූඩයක තල්ලු කර
ඔබාගෙන පණ ගියපු හිස්
එල්ල එල්ලා බලන්නට දෙන හැටි,

රත් වෙච්ච තැටියක ගිනි වැදී
ඇඹරිලා දුක් විඳ විඳ යද්දිත්
නොවැළපෙන පුදුමයක හැටි,

ලෝදිය තරම් රත් වතුරෙ
දම දමා ගන්නා විටත්
කාටවත් කිසි වගක් නැති හැටි,

ආයෙමත් මව්කඳ හුස්ම ගන්නා විට
කාගෙ හෝ දෑගිලිවලට බිලි දෙන්න
කිසිත් නොවු ලෙස බලා ඉන්නා හැටි,

සංසාරෙ ගමන් මඟෙ
සා පිපාසා කී දෙනෙකුගේ
"තේ දල්ල" නිව නිවා සැනසෙනව ඇතිද..?



අද උදෑසන තේ එකක් හදාගන්න ගියහම හදවතට ආපු සිතුවිල්ලක්. තේ එක හදන එක පැත්තකින් තිය මම ඇවිත් ඒක ලිවුව. 



ඡායාරූපයත් මගෙ. මෙදා සැරේ නිවාඩුවට ලංකාවට ආපු වෙලේ නුවරඑළි යද්දි ගත්තෙ. 
 

Tuesday, February 4, 2014

පැංචියේ නුඹට මෙය.

අනුරාධපුරයෙ සිට කොළඹ දක්වා දුම්රියෙන් එනකොට ම'සිත සසල කළ ඒ පුංචි නංගි. දෙහි මලු කිහිපයක් අත්දෙකේ එල්ලගෙන දුම්රියට ගොඩවෙච්ච දසුන තාමත් මගෙ හිතේ තියෙනව නංගියෙ. හැමදාමත් තියේවි. ඒ නුඹ වගෙම මාත් ජිවිතය ගැටගසා ඉරුණු තැන් මහමින් යනෙන නිසාම.
____________________________________
හුස්ම පිඹිනට සිය දහස් පාරක්
සිනසෙයි දෙහි පිරුණු මල්ලක්
උඩරටින් පහලට ඇදෙන මැණිකෙගෙ
දසුනකින් ගේනවද සැනසුමක්

පුංචි කිරි දත හැලී ඉදිරියෙ
නුඹේ හිත ළපටියි පැංචියේ
දෙහි වගෙම ඇඹුලමයි දිවිමඟ
දන්න හින්දයි හසරැල් වියැකුණේ

"මල්ලකට සියයයි නෝනා"
කියන විට දොරටුවෙන් එබිලා
එන්න තහනම් සැප මැදිරියට
උකුසු මුරකා ඇස් ඉඟිකළා..

ගැටගැසී ඇති හිසකෙස් නුඹේ
සංසාරෙ වගෙ පැටලිලා
ඒත් ඒදඬු තනයි වෙහෙසිව
එතෙර වෙන්නට පැතුමන් පතා..

Wednesday, January 29, 2014

දන්නෙහිද නුඹලා

හිරු එළිය විත් වැදෙයි
නෙළුම් පොකුණේ පෙති මතට
සෙවනැල්ල යට ඉදන්
ජීවිතය හොයන උන් හැම තැනම.

සඳ කිරණ වැටෙන විට
වික්ටෝරියා උයන මැද
බඩ මහත උන්දලා
දඟලලා උඩ පනියි පේලියට

බිඳ දමා තාප්පය මේ බලන්
රෑ සිරිය කිවුවාට
දන්නවද අඬන පොඩි උන්
තාම ඉන්නවා පුරහල අවට.

Monday, January 20, 2014

"ආරුක්කු කවියක් යටට එන්න" තුතිය

පැද්දිලා වළාකුළු කොහේ හෝ යනෙන විට
ඉස්සිලා බලන් ඇති තාරකා හතර කොන
මාවතක් සොය සොයා ගගන මත සරණ සිතෙ
සරස්වති දුන් දෑවැද්ද මෙයයි මට...

තත්පරෙන් වෙනස්වෙන මිනිස් සිත ගාව
මතකයක් වී ඉන්නෙ කීයකින් කී දෙනෙක්මද
වරමකින් ලැබෙන කවි කමයි මඳහාස
නැවතුමක් බැහැ දෙන්න ගලන්නේ ඒ නිසයි

අයන්නක් ලියන්නට අතක් හුරු කළ පිනම
මවක් හට තව කොහිද ලබන්නට සැනසුමක්
පොතක් පෑනක් ගෙනත් දුන් සහෝදර ප්‍රේමයට
නව අරුත් බෑ දෙන්න මගෙ ලොවේ අක්කාට අයියාට...

හැමදාම එකම ලෙස ගලා යාවිද දිවි ගඟක්
දිය සිදී වේලිලා යනෙන බැව් දන්නවද
ඒ වගේ කර්කශව ගියපු දා මගෙ ලොවත්
රැකපු දෙවිවවරු අපමණයි හදවතට නැගෙයි දැන්

මලක් වී පිපෙනකොට දියත මත නිදහස්ව
නොවක් ගැරහුම් ලැබෙන බව දන්නවද
නොසෙල්වී හයියටම ඉන්න වෙර ගත්තාම
ගැහැණු හිත කිය කියා බිය වෙන්නෙ කුමකටද

ඇස් ඇරන් දකින කොට සිහිනයක් එකම ලෙස
එබෙනවා ලපටි දල්ලක් කොයිම හෝ දිනක ලොව
එකින් එක පෙති විදහා බලන්නට පොහොර දිය
දමපු අය තමයි මේ ඉන්නෙ ඇස් ඉදිරිපිට...

නංගියේ ලියාපුව එකතු කරපන් ඉතින් දැන්
දන් දුන්න ඇති නේද කාලයක් සයිබරයෙ
එහෙම කිවු  පළිගු කැට ඇස් ඇත්ති එදවසක
අක්කාට උපේක්ෂා තුති මලක් තියමි මම

අමායා නංගි ළග මගේ ඇස් නතර වී
මේ තුතිය ඔයාටයි කියනවා දැන් ඉතින්
සඳලි වී වත පොතේ මම ම වෙස් ගත්තාම
අලුත් වි විකසිතව පැමිණියා කවි හිතම..

පුංචියට ලියා යන පුංචි පද පේලි ළග
මහා ලොකු වදන් දී සවිය දුන් සර්ය මධුරංග
ඒ වඳන් සඳලි හා දොඩමළුව නිතරෝම
වාදයට ආවෙ නම් සිසුවාය සරසවියෙ...

"හිතට එන සිතුවිල්ල මරා යන්නේ මොටද
ඔන්න ඔහේ දානව කාට හෝ බලන්නට
මට එපා පොත් ලියා වදවෙන්න"
කියන විට බැන්න මල්ලියෙ ප්‍රසාද්
ඔයා අද නොවුන නම් මගේ ලග
මට කොහිද කවි පොතක්
මේ වගේ ලෝකයට පුදන්නට....

ඒ වගෙම නිලීකා නංගියේ ඔයාවත්
මතකයට ආවාය මේ දැනුත් හොදද මට
පියෙකුගේ පිය සෙනෙහෙ දැනෙනකොට
අප්පච්චි කියා මං කටපුරා කියද්දී
කිසිම දවසක විරසකව
නොගිය ඒ සහෝදර ප්‍රේමයට
හිස නමා තුති මලක් පුදනවා නිමේෂ් මං
ඔයාටත් ඔබේ ඒ සෙනෙහෙබර පියාටත්..

පාට පාටින් ලෝකයම පිරෙන්නේ
වෙනස් වී කාහටත් සුවය විඳගන්නමයි
ඒ වගේ විවිධ පැති තල වලින්
මගේ කවි බලා දුන් හැමෝටම ස්තුතියි...

කිසිම දවසක නොදන්නා මාව
දන්න අදුනන කෙනෙක් ලෙස බදා වැළඳන්
පොත් වැඩේ සියළු නිර්මාණයන්
හැඩදමා නිමැවුමක් කළ මල්ලියේ මානව
නුඹ නොමැති නම් තනි මෙමං
කොහොම අද සිනා මල් නඟන්නද
"පුරුදු හිත අරන් මව් රටට
අක්කා එන්නකො" කියා
මගේ හිත නිදහස් කල පිනට
තුතියි මල්ලියෙ හුගක්...

තෙත් බවක් හිත් තුලින්
සොයන්නට බැහැ අද ලෝකෙ
විෂ ඝෝර  රළු කමයි
පැතිරෙන්නෙ හැම අතම
එවන් මිනිසුන් පිරුණු මේ පොළව මත
මිනිස්කම් සොය සොයා ගෙනාවේ ඇයයි මට...
සහෝදර ප්‍රේමයේ පිවිතුරක් ගැන
අවැසි නම් මේ ලොවට
නංගි නුඹ පවිත්‍රා යැයි කියනවා මම එවිට
එපමණක් මගේ බර දරාගෙන
ගිය ..යනෙන දෙයට මං මොනව නම් කියන්නද.

හුරු පුරුදු ගහ කොලද නොමැති දුරු ඈත රට
සබඳකම් හරි හිගයි මිනිස් හැගුමන් තියෙන
නොදන්නා මගෙ අකුරු දිගෙ ඇවිදිමින්
මහත් වූ සෙනෙහසින් පෙරවදන ලියා දී
නේක බහුශ්‍රැත අය මැද්දෙ අතින් ඇද ළගට ගෙන
"කිවිදියක් මේ ඇයයි නම දිනිති..."
තිගැස්මක් හදවතේ තියාගෙන
ඔබේ පා කමල් වැද ගනිමි මම ඉතින්
දයාබර ගුරු පියාණෙනි
සුවහස් නැණ පහන් දල්වන
අදත් මේ මෙතන අසුන්ගෙන
දිරිය ශක්තිය පුංචි මට දෙන
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
දයාබර ගුරු පියාණෙනි
ආයෙ ආයෙත් ඔබෙ පා කමල් වදිමි මං..

එපමණක් නොව සීතා මහේන්ද්‍ර මෑනියන්..
සචිත්‍ර මහේන්ද්‍ර අයියා සමඟ
ඒ සියල්ලන්වම එක පෙළට හදවතේ
ඉහළින්ම සිහිවේවි මෙමට..

කවි ලොවේ දිග්විජය කළ
කිවිවර බුද්ධදාස ගලප්පත්ති
දයාබර පියාණෙනි හදවතින් තුති
ඔබට ඒ බෙදාගත් සෙනෙහසට..

දැනෙන දේ හැගෙන දේ
නුඹ ඉතින් ලියාපන්
කාටවත් ඇවැසි ලෙස නොනැමියන්
කිය කියා ඔවදන් දෙමින්
දයාබරවම නංගියේ කියාගෙන
ඇවිත් ගොස් දිරිය ශක්තිය දුන්
අමිල තේනුවර අයියේ ඔයාටයි මගෙ තුතිය.

කොහේ හෝ යන අතරමං සුළඟක්ව
කැරකෙන්න නොදී මට
රැකවල් යෙදූ අය තව අපමණයි..
ඇස් රතුකරන් අඩන විට උණුසුම්ව
දුක බෙදාගන්නට දුවන් යන්නට
බයක් නැති බැදීමක් ඇතොත් මට
ඒ තමයි කුරුල්ලා...විකියා..සහ ගමයා...
නුඹලා මැද මං
එකම සහෝදරිය කරන් රැකගන්න ඒ ප්‍රේමයට
කුමක් නම් කියන්නද...

ලයාන්විත ඈ හඬින්
ගුවන් විදුලියේ මහ ගෙදරදී
සෙනෙහසින් වැළදගත්
උණුසුමේ හැගුමක් තියේවි නම් ඒ ප්‍රියන්තනී ගමගේ මිස්...
හිස නමමි මං ඔබ ළඟත්...

බයක් නැතිවම මහ සෙනඟ මැද
කෙළින් සිටගන්නට මට
හයිය හත්තිය පෙවුව
තරුණ සේවා සභාවට හා මේ පැමිණ සිටින
තරුණ සේවා නිළධාරීන් ආදි යෞවනයන්
සැමට මගෙ ප්‍රණාමය හිස නමා පුද කරමි.

ප්‍රේමයේ අපිරිමිත නිමැවුමක්
මට ගෙනත් දී
සෙවනැල්ල සේ ළඟ ළඟින් හිඳ
මඟ නොමඟ පෙන්වමින්
අතින් අල්ලා එක්ක යන
මගේ නුඹටත් ඒ අම්මටත්
තාත්තා නංගීහටත් සෙනෙහසින් හදවතේ
ආදරය පුද දෙමිය මං...

ඈත රට තනිවෙලා යයි දැනෙන්දී
මව් රටේ සුවඳ යාකළ "ශ්‍රී ටීවී" නාලිකාව
කොහොම නම් අමතක කරන්නද...
අනුර හෙන්නායක මා මිතුර
ඔබට මේ තුති මලක්...

මගේ ගැන ලෝකයට කියන්නට
"ආරුක්කු කවියක් යටට එන්න"ට
කියා සැමටම ආරාධනා කළ;
නවලිය, අද, ලංකාදීප
පුවත්පත් කතුවරුන් ඇතුළු සියල්ලන්ටම
මගෙන් තුති මින් පුද කරමි.

තරු පිරුණු අහස් ගැබ මත
එකම තරුවක් වෙන වෙනම
කොහොම නම් මං කියන්නද
ඒ වුනත් මතක් වෙන තරු කැට
අතර අමතක තැනුත් ඇති.
එපා වෙන්නට අමනාපයක්
කිසිම විට මා එක්ක.

රසික නානායක්කාර...
කැළුම්..උමන්දා..තිලිණි අක්කා..
හර්ෂ අයියා..ප්‍රනීත් අයියා..
බිම්සර මල්ලී...කවීෂා නංගී...
ඔයාලට තුතියි මහ ගොඩක්.
සයිබර් අහසයට දුටු නොදුටු
නුඹලා සැමට හිස නමා අචාර
කරමි මම දැන් ඉතින්.







" ආරුක්කු කවියක් යටට එන්න " ඉතින් කවි පොත දොරට වඩින මොහොතට එන්න කිවුවට පසු වදනක් ලියන්න මට බැරි වුනා. එදා ඒ මොහොතෙ හඳිස්සියෙම ලියාගෙන පැවැත්වූ ස්තුති කතාව මගෙ අතට හමුවුනා. එය ඔබ වෙනුවෙන් පලකරන්න මට හිතුණ. 

නානාවිධි ලෙස මට උදව් උපකාර කළ ඔබ සියල්ලන්ටම අප්‍රමාණව ආදරෙයි. හැමෝටම තෙරුවන් සරණයි.

දැන් අහයි කවි පොත ගන්නෙ කොහොමද කියල...

ඉතින් කවි පොත ගන්න පුලුවන් ගුණසේන පොත් සමාගමේ කොළඹ කොටුව ශාඛාවෙන්. එය කියවා බලා ඔබට දැනෙන දේ මට කියන්න. එය මට අපූර්වතම ශක්තියක් වෙයි.










Wednesday, January 15, 2014

සඳට වුව දුක හිතෙනවද...?



ඉතින් ආයෙත් අහසට සඳ නැගන්
ඔච්චමයි හරි මැදින් හදවතට
නෙතින් නෙත බලා වරු ගණන්
ගෙවුන හැටි පුදුමයක් තාම මට

හිම පොකුරු ඇස් පියාගෙන
සිඹිනවා අතු ඉතිත් මල් ථලද
මම මෙතන හිස නවාගෙන
ආයෙමත් කවි ලියනවා දුකට

අයාලේ යන තුනී නල රැල්ලකට
බිඳින්නට හැකි වුනත් සිතුවිල්ල
පමාවේ නම් වළාකුළු එන්න අහසට
දකින්නට හැකියි නුඹටත් සඳ මඬල

පේන තෙක් මානයේ දුර අනන්තෙට
ශ්වේත කඳු විතරමයි පේළියට
කාත් කවුරුත් නැති හිත් අඟිස්සට
පෝය හඳ වුනත් සුවයක් තනිකමට

හිතුමතේ ඉඟිල්ලෙන සිහින අතරින්
ජීවිතේ අත වනනවා කඳු මුදුනතින්
කෑගසා වැටී යන තාරකාවක් වෙමින්
මාවතේ අතරමඟ නවතින්න බෑ ඉතින්

තෙතමනය දැනෙනවිට කම්මුලට
අතගසා නිකට මත හිඳිමි ඒ වෙලාවට
ගැඹුරු තැන් පෙනෙනකොට දිවි මඟට
සඳට වුව දුක හිතෙනවද රෑ මැදට..

_______2014/01/15_______



( ඡායාරූපය අන්තර් ජාලයෙන් )

Friday, January 3, 2014

" ආරුක්කු කවියක් යටට එන්න "

ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු දැක්කහම..

හුගාක් ලියන්න පුලුවන් මොහොතක නෙමෙයි මං ඉන්නෙ... ඒත් බ්ලොග් ලෝකෙ හැමදාම දුක සැප බෙදාගත්ත ඔයාලට පුංචි ආරාධනයක් කරන්නයි මගේ මේ සුදානම...

මගෙ කුළුදුල් කවි පොත එළි දක්වන මංගල දිනය ජනවාරි 05 වෙනිදට යෙදිල තියෙනව. ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයෙදි උදේ 10 ට. ඊට සමගාමීව මගේ අලුත්ම ගීත නිර්මාණ දෙකකුත් ඔබට පිදෙනව. 

පුලුවන්කමක් තියෙනව නම් ඔයාටත් එන්න කියල පුංචි ආරාධනාවක් මගෙන්...




Saturday, November 16, 2013

උඹත් දන්නැති වෙයි

වැටමාර ඉණි හරහට දාල
සංසාර මඟ පටලවන්න හැදුවට
මැටි කළයක් ඉනේ ගහගෙන
ගල් පර්වතයට බඩ ගෑවෙ
උඹට ඔටුන්න පළදවන්න

දියසෙවල දියපාරෙ අඩි තිබ්බෙ
කටු ඇනිච්ච දෙපාවලට
සීතලක් දැනුන හින්දම නෙමෙයි
දැවෙන ගින්නට නිදහසක් දෙන්න

එහෙන් මෙහෙන් කාරල වීසි කරන
ගමේ ගැහැණුන්ගෙ ඔල්වරසන්
බීරි අලින්ට වීණ ගැහුව වගේ වුනත්
පපුව මැද්දෙ උණු දිය හැළියක් නටන්නෙ

තම්බපු මඤ්ඤොක්කා කෑල්ලක්
බැදපු වඩේ ටිකක් එක්ක
සුදු වීදුරුවකට මිලක් දීල
චීත්තෙ පොටේ ගැට ගහන්නෙ
උඹේ ඔටුන්නට ගල් අල්ලන්න

රබර් කොපුවක් ගැන කියන්න
පෙත්තක් ගැන කොළ බෙදන්න
මීසී ආවට "මට මිනිස්සු ඕනි නෑ" කියන්න
දිව නැමෙන්න නැත්තෙ උඹ හින්ද

"මුලක් නැති ගහ කොයි වෙලේ පෙරලෙයිද ? "
නිකටෙ අත තියාගෙන කවුරු කවුරුත් හීල්ලුවට
ගෙදර ලිපේ ගින්දර පත්තුවෙන්න නම්
පොලීසියෙ රාලහාමිට කළුවරේ කළව අල්ලන්න
නොදුන්නොත් බැහැ කියල උඹ දන්නෙ නෑ

කොයි මිනිහත් ඇවිත් සුද්දවන්තයො වෙලා
හන්දියෙ කරක් ගගහ හිනැහුනාට
"වේස ගෑනි මුලිච්චි වෙන්න හොඳ නෑ" කිවුවට
හැන්දෑවට මං ගාවට ඇවිත්
කෙඳිරි ගාන බලුකුක්කො ගැන හිතන්නෙ
උඹව සැඩ රළ මැදින් පිහිනවන්න

"කසිප්පු ගෑණි" "වේස ගෑණි" මං වුනාට
කොලිජියෙ උඹව නැවැත්තුවෙ
ආදරේ නැතිව නෙමෙයි
තුප්පහි කාලකණ්නි ඇස්වලට උඹව
මුණ නොගස්සන්න කියල උඹටම තේරෙන දවසට
මං කනත්තෙ අරලිය පදුරක් යට
නිදන බව උඹටවත් මතක්වෙන්නැති වෙයි

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...