Sunday, February 15, 2015

මීයෙක්ගේ අභිෂේක්ය (බළලුන්ගේ පරමාධිපත්‍යයට එරෙහිව ගෙන ගිය විප්ලවයට ජයවේවා )



මෙන්න විශේෂ නිවේදනයක්,

ජනාකීර්ණ ප‍්‍රදේශවල මීයන් ගහණය අවම කිරීම සඳහා ඉදිරි දින කිහිපයේදී විශේෂ මෙහෙයුමක් සිදුකරන බව මහ නගර සභාව පවසනවා. අප නිවුස් කණ්ඩායමට දැනගන්නට ලැබුණ පරිදි ඉකුත් 19 වෙනිදා අනාවරණ කළේ ගුවාක් සංවිධානය විසිනි., ස්ටැක්ච්, දිමිත්‍රියෝස් හා ස්කෙවි යන ප‍්‍රදේශවල මීයන් ගහණය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බවයි. එලෙස මීයන් ගහණය වැඩි වී ඇත්තේ ගොවි පළවල් වලින් බැහැර කෙරෙන ඇතැම් ද්‍රව්‍යන් සහ අවිධිමත් ගබඩා නිසා බව සහ පූසන් තව රාජකාරි මට්ටම පැහැර හැරීම තුල බව එහිදී අනාවරණ කෙරුණි.

මේ සඳහා කඩිනමින් ක්‍රියා මාර්ග ගන්නා බවට රජයද ගොවිපළවල් හිමිකරුවන්ගේ සංගමයට පොරොන්දු වූහ.

ඔන්න වින්ස්ටන් කොලුවො, උඹට ඇහුණද..? එහෙම කිවුවෙ ක්වික්ගෙ අම්මා සෙලීනෝස්. ක්වික් වින්ස්ටන්ගෙ තාත්තා.

උඹ අපි කරපු විදිහට හැමදාම නොවැරදිම රාජකාරිය කරන්න කියපන් ක්වික් මයෙ මුණුපුරාටත්.

සෙලීනෝස් එහෙම කිවුවත් ක්වික් අත නිකටට තියාගෙන කල්පනාවට වැටුණා

වින්ස්ටන් කියන්නෙ උඩු රැවුල් ගස් උස් වූ දික් වූ, ඉඳිරි පස දත් උල් වූ , මුවහත්ව සවිමත් වූ , චන්ද්‍රිකාවක් කක්ෂගත කර රහස් තොරතුරු සොයනවා වැනි සහ ඉතාම සියුම්ම සියුම් ස්වරයත් විසි හතර  පැයම ඇසෙන කණ් දෙකක් ඇති, හරියටම හිසත් , කඳත් අතර මැද විශේෂිත වූ සුදු පාට රුලියක් කැරකී ගිය ලොම් ගුලියක් පිහිටා ඇති, ඉතාමත් අලංකාර වූ පරපුරේ අනෙකුන්ට වඩා පෘෂ්ඨිමත්ව සහ දිග්ව සෑදුනු වල්ගයක් ඇති, නිතරෝම පිරිමදිමින් රකින නිය පෙළක් හිමි කඩවසම් මී පරපුරේ අනාගත ඔටුන්න හිමි තරුණයාය.

අනාගත ඔටුන්න හිමි වන්නේ ඔහුට තම පියාගෙන්ය. රජ පවුලේ උපන් වින්ස්ටන්ගේ පරපුර  රුසියාවේ පදිංචියට ආවේ මීට සියවස් ගණනකට පෙරය. වැඩවසම් ක්‍රමය සහ නොයෙක් විප්ලව අතර රුසියාව පෙරලුනත් මී පරපුරෙහි පාලනය තවම රාජත්වයෙන් මීදී නැති නිසා වින්ස්ටන්ලාට බොහොමත්ම රාජකාරිය.

අප මීයන් වඳ කිරීම සඳහා ගොවි පළවල් වලට බෙහෙත් ලබා දී තිබෙන අතර මේවා කුකුල් කෑම සමඟ මිශ්‍ර කර මී ගුල්වල දොර අසල සහ මීයන් යන එන පාරවල් අවට තබන ලෙස දැනුවත් කරද තිබෙනවා.

ආයෙමත් ගුවන් විදුලියේ හඩින් ක්වික්ගෙ කල්පනාව බිදුණා.

රොමිකින් බළල් න්‍යායට අනුව අපිට පැවරෙන්නෙ ගොවි පළවල්වල ඉන්න කැරපොත්තන්, කක්කුට්ටන්, පනුවන්, මෙරුවන් දුටු තැන මරණීය දණ්ඩනය දෙන්න. ඒ සඳහා අපට රොමිකින් බළල් න්‍යායට අනුව ජීවිත දානය ලැබිල තියෙනව. කිසිම දවසක රොමිකින් බළල් න්‍යයට අත්සන් තැබූ කිසිම සංවිධානයකින් අපට හිරිහැර කරන්නෙ නැහැ. ඒත් මේ සිද්ද වුන නස්පැත්තිය කුමක්ද?

ක්වික් අහස පොළව ගැටලන්න කල්පනා කරනව. කකුල් කෑම කියන්නෙ අපි එළිමහනෙදි අසාවෙන් කර තියාගෙන ඇවිත් වැසි කාලෙට ගන්න ධ්‍යානගාරයෙ තැන්පත් කරන ධනස්කන්ධය. ඔන්න ස්ටීවින්ස්ලගෙ කුස්සියෙ චීස් පෙත්තක, මස් කෑල්ලක දැම්ම නම් අපි සෝදිසියෙන් ඉඳල ඉඳල කැත්ලින්ගෙ එහා මෙහා වීම දැකල අරගෙන පනින දෙයක්. ඒත් මේ දේට මොකද කරන්නෙ. සෙලීනෝස් මහලු නිසා ඇගේ වැඩකටයුතුත් දැන් කරන්නෙ ක්වික්. වින්ස්ටන් පුතා තාම සෙල්ලක්කාරයි. විවාහයක් එහෙම කර දීලා ඔහුගෙ ඔටුනු පැළදීමේ උත්සවයත් ජයටම අරගෙන ක්වික්ද විවෙක සුවයෙන් ඉන්න හිතපු අතරෙ සියල්ල උඩු යටිකුරු වුනා නේද කියල ඔහුට දැන් තදින්ම දැනෙනව

ඉක්මනට මී සනුහරේ කැඳවන්න ඕනි... අපි මේ සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවල අපේ ප්‍රජාව ආරක්ෂා කරගත යුතුයි කියන එක ක්වික්ගෙ හිසට කුළු ගෙඩියකින් ගසනව වගේ වේදනාවකුත් එක්ක ආව.
ඔහු මේ සඳහා තම ජව සම්පන්න පුත්‍රයට සියළු වගකීම් දෙන්න හිතුවා. ඔහුගේ දැන උගත්කම මැන බලන්නට ත් සූර වීර දස්කම් පෑම ගැන හොද අධීක්ෂණයකටත් මෙය අවස්ථාවක් කරගන්න බව ක්වික් තනියම හිතුව. හැබැයි කෙස් ගසක් තරමට වැරදෙන සැණින් තම සියළු රාජ රාජ පාරම්පරික සනුහරේම අතුගා යනෙන බවත් ක්වික්ට හීසර වේගයකින් හිතට පැමිණියා. කෝකටත් කියා, ඒ සඳහා ඔහු වින්ස්ටන්ව ඇමතුවා.

වින්ස්ටන්, වින්ස්ටන්, කෝ ඒ පාර මේ වින්ස්ටන්

යර්ස් ඩැඩී,

යර්ස් ඩැඩී නෙමෙයි දැන් නිවුස් ඇහුණ නේද..?

ඇහුණා ඇහුණා. මං මේ අපේ ගිනිපිග් වර්ගය ගැන ඉතිහාස පොතක් කියව කියව හිටියෙ.

ඉතිහාසය හදාරණ එක හොඳයි වින්ස්ටන්. ඒවගෙම ආනගතය රැකීමත් විශාල භාරදූර කාර්යයක්.

යර්ස් ඩැඩී. ඕකට අපි අපේ ඉල්ලීම් වැඩි කරල රොමිකින් සංවිධානයෙ සභාපති ස්ටීවින්ට කියමු.


Good idea වින්ස්ටන්. නමුත් අපේ ඉල්ලීම් ඉෂ්ඨ කරයිද?
අපි ඩැඩී මුලින් ඉල්ලීමක් කරමුකො.
_______________________________________________________

ස්ටීවින් යනු රොමිකින් බළල් න්‍යාය තැනූ ග්‍රේව්ගේ මුණුපුරාය. රොමිකින් බළල් න්‍යාය යනු , ගොවිපලට හානි කරන සියළු කෘමි සතුන් විනාශ කිරීමය. කෘමීන් අතර  විශේෂ සහ වඩාත්ම උපක්‍රමශීලිව ඇල්ලා මැරිය යුත්තේ කැරපොත්තන්ය. මන්ද ඔවුන් ගුවන් කරනම් සහ බිම් පුහුණුව උපරිමව ලබා ඇති වීමය. බොහෝවිට කැරපොත්තෙක් ඇල්ලීමට අසල මාර්ගයක රැකවල් දා සිට හොඳ පුහුණුවක් ඇති මීයෙකු විසින් පැන ගෙළ මුලින්ම අල්ලා ජීවිතක්ෂයට පත්කරනු ලයි. මෙය  පාරම්පරිකව මී පරපුරේ ඇත්තන් විසින් සිදුකළ යුතු රාජකාරියකි. එය පැහැර හරින්නේ කොයි විටද, එවිට ස්ටීවින් ඇතුළ සියළු දඩයම් බළලුන් විසින් මීයන් මරා ආහාරයට ගනු ලබයි.. මෙයට අත්සන් කෙරුනේ ග්‍රේව්ගෙ අලුත් අදහසක් අනුව අපේ අනාගත පරපුරත් රැකගැනීම සඳහාය.

වත්මන් සභාපති ස්ටීවින්, බොහෝ හැඩකාර, ලෝම බූසියක් ඇති, විවිධ මෝස්තර තරඟ සඳහා ඉස්පාසුවක් නැතිව සහභාගිවෙන, නිවසේ සිටින සෑම අවස්ථාවකම හුන් තැනම ගොර ගොරවා නිදා ගන්නා අයෙකි. ඔහුට නිසි වෙලාවට කිරි වීදුරුව, කෑම පිගාන, අතුරුපස කිසිවක් වරදින්නෙ නැත. රස්නෙ සෘතුවට ස්නානය සඳහා පොකුණක් තනා දී ඇති අතර සීත සමයට ස්ටීවින්ට කාමරය උනුසුම් කිරිමේ යන්ත්‍රයක්ද ඇත.
කැත්ලින් නිතරෝම කුස්සියට එනවිට ස්ටීවින්ට හින්ට් ගසති.

ආහ්..රාජ කුමාරය ආවද..

පුදුම සැප නේද

කරට උඩින් මහ මුහුද ගැලුවත් පේන බළලෙක්යැ

හපොයි මුට කන්න දෙනවට මට ගහන්න ඕනි

ඇයි කැත්ලින්ට ගහන්නෙ. කැත්ලින්ගෙ රස්සාවට මට කන්න හදල දෙන එකත් අයිතිනෙ. ඒකටනෙ කැත්ලින්ට පඩි ගෙවන්නෙ.

හනෙ අම්මපා ආවද මෙතන මගෙ වැඩ ගැන කියන්න.

කවුද එතකොට මේ ගෙදර ඒව මං නැති වෙලාවට හොරා කන්නෙ. කෑවෙ කවුද කියල ඇග පතින් නම් පේනව.

අනේ මේ කැත්ලින්, ඔබ ප්‍රමාණය ඉක්මවා යනව. මම බොහොම අනුකම්පා සහගතව ඉන්නෙ ඔබට. 

දන්නවනෙ අපේ පරම්පරාවම එදා ඉදන් අපේ සේවය පැහැර හැරල නැහැ. ඒවගෙම මම දැන් අපේ පරම්පරාවෙ පෞඪත්වය ලෝකයටම ගෙනියන්න මේ මෝස්තර නිර්මාණවලටත් යන්නෙ.

පෞඪත්වය..හනේ මගෙ කට..පෞඪත්වය පේනව ගොවි පලේ ගෝවා කොළ ටික දිහා බැලුවම. එක එක මෝස්තර වලට  කොළ ඉරිල. අලුත් ඉරිගු කරල්වල ඇට වල කිරි නෑ. ඒව ගැට කාලෙදිම උරල, පල්ලෙහා සූරියකාන්ත වගාවෙ හැම පෙත්තක්ම අංශභාගෙ හැදිල වගේ. අතපය නෑ. එච්චරද මේ කුස්සියෙ චීස් කුට්ටි කීයක් නම් නැති වෙලා තියෙනවද.. පෙරෙයිද ගෙනාපු එළුවගෙ ගාතෙ හොඳම ටික හෝදල හට්ටියෙන් තිබ්බෙ රෑට පුච්චන්න ලුණු අත ගාල. අගුරු දාල ගිනි අවුළල මස් කුට්ටි බලනකොට හතරෙන් එකක්ම අතුරුදහන්. මේව සිද්දවෙන්නෙ කොහොමද කියල ස්ටීවින්ට වඩා කවුද දන්නෙ.

කැත්ලින් , ඔබ මගේ සේවය හෑල්ලුවට ලක් කරනව. මගේ තාත්තා, සීයා, මුත්තා අපි හැමදාම කලේ මේ ගොවිපළවල් ආරක්ෂා කිරීම. ඒක හරියාකාරව සිද්ද නොවුන නම් අද මට වුනත් මෙතන ඉන්න බැහැ.

හෙට අනිද්දට පද්ද පද්ද ඉණ හොල්ලල කරන විගඩම් අත්ඇරල කොහේ හරි පාරක් අයිනක හිගාකන්න වෙයි ස්ටිවින්ටත්.

මොකක්ද කැත්ලින් ඒ කතාව. එන්න එපා ඕවට නම්. දන්නවනෙ මං ගැන. පත්තරවල මහත්තුරු ගෙන්වල මං කියනව මේ ගෙදර සේවිකාව මෙන්න මෙහෙමයි මේ ස්ටිවින්ට සළකන්නෙ කියල.

සළකන්නෙ මෙන්න මෙහෙමයි, ආහ්..දුප් යන්න බළල් තඩියා. 

එසේ කියමින් කැත්ලින් සමෝචාරයෙ තිබුණ වතුර ටිකෙන් ගැහුව. වෙලාවට ඒ වතුර රත්වෙලා නොතිබුණේ.
______________________________________________________

මොකක්ද මේ සිද්ද වුනේ. ස්ටිවින් අහස පොළව ගැටලන්න කල්පනා කරන අතර ඔහුට ඔහුගේ සීයා වුන ග්‍රේව්වත් මතක් වුනා. ඉතාමත් ඥාණවන්ත ක්‍රියාවක් කරමින් සීය හදපු රොමිකින් බළල් නයාය වරදින්න විදිහක් නැහැ. ඒත් මේ කැත්ලින් කියන කතාවලත් මොකක් හරි ඇත්තක් තියෙන්න ඕනි කියල ස්ටිවින් කල්පනා කලා ගොවිපළ වටේ රවුමක් යන්න.

එදා ටිකක් ඉර ඇවිත් තිබුණ දවසක්. කම්කරුවො හිස් වැසුම් දාගෙන ලහි ලිහියෙ ගොවිපලේ වැඩ. හෙමින් හෙමින් අඩි තිය තිය ගිය ස්ටිවින් නැවතුණේ අශ්ව ගාල ළග. එතන හිටිය අශ්ව ගාලෙ නායකය මිස්ටර්  හිත්ක්‍රින්.

හලෝ හිත්ක්‍රින්, කොහොමද

හොදයි හොදයි ස්ටිවින්. මොකද මේ කාලෙකින් මේ පැත්ත මතක් වෙලා

අද මෝස්තර නිරුපනවලට නිවාඩු දවසක් නිසා මං මේ රාජකාරි වැඩ ගැන පොඩ්ඩක් බලන්න ආව.

හපොයි..හච්...හච්..චීන්

මොකෝ හිත්ක්‍රින් අසනීපෙන්ද? නෑ මේ ඊයෙ ස්ටේසමට ගිහින් එනකොට ටිකක් රෑ වුනා. පොඩි පින්නක් වගේ වැදිල.

ආහ්..කොහොමද ගොවිපලේ අස්වැන්න එහෙම. මගේ සේවය ගැනත් එනගමන් ප්‍රශංසා මුඛයෙන් පැවසුවද..?

ස්ටීවින්ගෙ රාජකාරියට පින්සිද්ද වෙන්න මෙදාපාර ස්ටේසමට යන්න එන්න තිබුණ වාර ගාන ටිකක් අඩුවුන අපිට. ඒක නිසා අපේ වෙහෙසකර ගති අඩුයි මේ කාලෙ.

බලා හිටිද්දි ස්ටිවින්ගෙ මුහුණ වෙනස් වුනා. යන යන තැනින් ලැබෙන්නෙ වැරදිච්ච තැනක් ගැනමයි. ඒත් අපේ සීයට වරදින්න විදිහක්  නැහැ. උඩ පිනුම්, දඟ පිනුම්, නැට්ට පිම්බිලි, හොම්බෙන් හැප්පිලි, ඉතා තද නිය පහරදීම්, සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීම්, මුහුණට මුහුණ සටන් කලාව, අති වේගවත් ධාවන ශුරයෙක් වුන සීයට වරදින්න විදිහක් නැහැ. 

එදා ටක්කෙටම තිතටම රොමිකින් බළල් න්‍යාය හදල ඒ සඳහා සියළු පාර්ශවකරුවන් සමඟ එකඟතාවයකට ඇවිත් දැන් තුන්වෙනි පරම්පරාවකුත් යන්නෙ. ඒත් මේ අසුබ නිමිත්ත මොකක්ද ? ස්ටිවින්ට නොදැනුවත්වම ගෙලෙහි ලෝම ඉස්සිලා වල්ගය පිම්බුණා.  ස්ටිවින්ට එහෙම වෙන්නෙ දැඩි ආවේගයක් ආවම.

තොපි මේ න්‍යායට පිටින් ගිහින් තිබුණොත් ලේ විලක් මැද සනහරෙම සෝදල දමනවා කියා දත්මිටි කමින් ස්ටීවින් වේගයෙන් දුවන්න ගත්තා.
_______________________________________________________

ඒ වේගෙන්ම මහ පාර මැද්දෙන් දකුණට හැරලා කෝපි හළ ළඟින් පඩිපෙළ බැහැල ගබඩා කාමරේ බිත්තිය දිගේ ගිහින් සොල්දරයෙ අයිනට වෙන්න තිබුණ ක්වික්ගෙ ඔෆිස් එක ඉස්සරහ පෙනී සිටිය. කල් තියාම ප්‍රවෘත්තිය අහල තිබුණ ක්වික් මේවගේ නස්පැත්තියක් එන බව දැනගෙන හිටියෙ.

ක්වික්, ක්වික්

ස්ටීවින් මහත්මයාණෙනි,

මං තමුසෙලට පවරපු රාජකාරි හරියට කරනවද ?

එහෙමයි. අපේ සියළු නිළධාරීන්, සේවකයින්, සුළු සේවකයින් සියල්ලම නොපිරිහෙලා අකුරටම එදා සිට උදේ සිට රෑ දක්වා රෑ සිට උදේ දක්වා තත්පරයට ඉටු කරනව.

ඒ වගෙම මං මේ ඔබතුමාව හමුවෙන්න හිටියෙ.

කාරණාව... 

( එය ඇසු අහංකාර විලාසයට කිවික්ට යටි සිතින් තරහ ආවත් ඔහු බොහොම ඉවසිවන්තයෙක් නිසා නොදැනුනා සේ හිටියත් පපුව ඩිග් ඩිග් ගගා ගැහෙන වාර ගැන වැඩියි. ඒ කොයි මොහොතක හෝ වින්ස්ටන් ඒවිදෝ කියා. එසේ වුවහොත් සිද්දවන්නේ ලොකු විපතක්මය. තරුණ ජව සම්පන්න වුවත් මා පුතා මියෙන බව සහතිකම නිසාය. )

කාරණාව මේකයි ස්ටිවින් මහත්තයො, නගර සභාවෙන් අපිව විනාශ කරන්න වැඩ පිළිවෙලක් සකස් කරනව. ඒකට විරුද්ධව නැගී සිටින්න ඔබ තුමා එක්ක සාකච්ඡාවක් දාගන්න.

මගෙත් එක්ක සාකච්ඡා නෙමෙයි. ගිහින් බලනව මේ නගරයෙ සියළු ගොවි පළවල් විනාශ කරල. තමුසෙල මෙහෙමද රස්සාව කරන්නෙ

ක්වික් අඩියක් පස්සට වීසිවුනා ඒ ගෙරවිල්ලට.

සමාවෙන්න මහත්මයො. අපි අපේ රස්සාව කරනව. ඒත් පමණට වඩා ඔවුගේ ගහනය පවතිනව.

තමුසෙල ඒකට හේතුව දන්නෙ නැද්ද

දන්නව

කියමු බලන්න

ගියපාර අස්වැන්න වැඩිවෙච්ච වෙලාවෙ හදපු ගබඩාවල ඉතිරිවෙච්ච ධ්‍යාන බෙදාදෙන්න කවුරුත් නැතිව ඔවුන් අසල්වැසි රටින් තමන්ගෙ අය ගෙන්න ගෙන. ඉතින් ඒ ප්‍රමාණෙට අපේ ඉන්න නිළධාරීන් මදි.

තමුසෙ දැන් නිදහසට කරුණු කියන්න එපා. රාජකාරිය අකුරට කළානම් මෙහෙම වෙන්නෑ. දැන් බලනව මෙයින් අපි හැමෝටම වෙන්නෙ ප්‍රශ්ණ ගොඩක්. 
හෙට මට මෝස්තර නීරුපණයකට යන්න තියෙනව. තවම වල්ගෙ හරියට පීරුවෙත් නැහැ. මගෙ මේ මුහුණෙ වැඩිපුර තියෙන රැවුල් ගස් ප්‍රමාණෙට හැඩ කරගන්න ඕනි, අලුතින් ලෝම වල වර්ණ ගන්වන්න ඕනි. දහසක් වැඩ තියෙද්දි මේ ආවෙ .

ක්වික්ට ඈතින් වින්ස්ටන් එන බව ඡායාවකින් පෙනුනා. ස්ටිවින් වගේම වින්ස්ටන්ද ඉක්මන් කේන්තිකාරයෙක්. මේ අවස්ථාවෙ හොදම දේ හැකි ඉක්මනින් ස්ටිව්න්ගෙන් සමගන්න අවස්ථාවක් හදාගන්න බව ක්වික්ට තේරුණා. ඒ සඳහා ඔහු තැනට සුදුසු නුවණ පාවිච්චි කරල

ස්ටිවින් මහත්මයෙ අපේ අම්මල ඔබතුමාගෙ සීයල එකතුවෙලා එදා හිටින් මිතුරො වගේ ජිවත්වුනේ. කට වහරෙට බළලෙක්ට මීයෙක් පේන්න බැහැ කිවුවත් ඔබලා අපි සතුටෙන් ජීවත්වෙනවනෙ. මම මේක මී සනුහරෙත් එක්ක කතා කරල ඉක්මනින් පියවර ගන්නම් 
කියල පොරොන්දු වුනා.

ඒකට ටිකක් හිත නැමිලා ස්ටිවින්

හෙට හැන්දෑවෙ හරියටම මේ වෙලාවට ගොවිපලේ ලිං බැම්ම ගාවට එනව. මේ ප්‍රශ්ණය විසදල නොතිබුණොත් තමුසෙ දන්නවනෙ ක්වික් 

කියා ඔහුගේ කාර්යාල උළුවස්සටම මුත්‍රා පහරක් විද ස්ටිවින් යන්න හැරුණා. ස්ටිවින් යන පැත්තට විරුද්ධ පැත්තෙන් වින්ස්ටන් එනව. මේ සිද්ද වුන සිද්දිය දැකපු වින්ස්න්ට තරහට ඇස් ලොකු කරගෙන දත් විලිස්සගෙන තාත්ත ගාවට ආව

මොකද අරූ කියන්නෙ..

හා හා එහෙම කියන්න එපා. රොමිකින් න්‍යායට පින් සිද්ද වෙන්න අදත් අපි මෙහෙම හුස්ම ගන්නෙ.

හැන්දෑවෙ කැරපොත්තන්ගෙ අලුත් සංගීත සන්ධ්‍යාවක් හදුන්වා දෙනවලු අද ගොවිපලේ බිම් මල් වගා තට්ටුවෙදි.

දෙයි හාමුදුරුවනේ, කවුද විනිස්ටන් පුතාට ඒක කිවුවෙ.

අපේ රහස් තොරතුරු ඒකකයෙන්

දැන් මොකද අපි ඒකට කරන්නෙ. 

ඒවට බයවෙන්න එපා තාත්තෙ. ගොවි පළ විනාශ කරන කැරපොතු කෘමීන්ටත් එක්ක අපි කෑම එකතු කර කර අවුරුදු ගාණක් තිස්සෙ බලා හිටිය විප්ලවයට නේද මේ පාර තැනිල තියෙන්නෙ.

ඒත් පුතේ ස්ටිවින් ඔහොම වුනාට එයාගෙ සීය හරිම හොඳයි. එතුමා නොවන්න උඹවත් ඉපදෙන්නෑ.

අනේ ඩැඩී ඕව හොදයි ඉස්සර කාලෙට. දැන්වත් ඔය යටත් විජිතෙන් මිදෙන්න. අපිත් නිදහස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදිමු.

එහෙම කියල ස්ටිවින්ලගෙන් මිදුණත් මේ නගර සභාව අපිව ඉතුරු කරන්නෑ පුතේ. 

නගර සභාව එන්නෙ ලබන සතියෙනෙ ඩැඩී. මුලින් මේ ස්ටිවින්කාරයට පාඩම් උගන්වමු. මොකද මට ඕකව පේන්න බැහැ.

හා හා පුතේ අහගෙන ඉන්නවද දන්නැ. කට පරිස්සම් කරගනින්.
_______________________________________________________

වින්ස්ටන් ගෙදරට නොගොස් පුහුණු වීම් මධ්‍යස්ථානයට ගොස් සියළු තරුණ කණ්ඩායම් එක්රැස් කෙරෙවුවා.

ඊටපස්සෙ ඒ පිරිස අමතල

සහෝදර සහෝදරවරුණි, මේ විප්ලවය අපි දිනිය යුතුමයි. රොමිකින් න්‍යාය නිසා අපිට සාධාරණයක් සිද්ද වුනත් හැමදාමත් අපි ස්ටීවින්ලගෙ අතවැසියන් නොවිය යුතුයි. අපිටත් කියා ආඩම්බරයක් අපේ ලකුණක් ඇති කරගත යුතුයි.

ඔබ සියළු දෙනාම මෙතැන් පටන් ඔබේ දිග් වු දත් ශක්තිමත් කරගන්න, නිය හොදින් සමෙන් එළියට එන ලෙස පහසුවෙන් සාදාගන්න. අවශ්‍ය අවස්ථාවක වල්ලගය තුලින්ද ප්‍රහාරයක් හෝ සහායක් ගැනීමට සුදානම් වන්න. විශේෂයෙන් සෑම අවස්ථාවකම ඉස්සරහ අත් දෙක තම ගෙලෙහි ආරක්ෂාවට තබා ගනිමින් පසුපස පාදවලින් ශක්තිමත් බාවය රැකගන්න.

එමෙන්ම අපේ නිළධාරින්, සේවකයන් නොවන සියළුම දෙනාට හෙට හවසට ගොවිපලෙහි ළිඳ ළගට එන බවට දන්වන්න. ඒ ඇවිත් කිසිවෙකුගේ ඇස නොගැසෙන ලෙස අවශ්‍ය අවි ආයුධ ද සමඟ සැඟව සිටින්න.

මොකක්ද වින්ස්ටන් කරන්න හදන්නෙ

ක්වික් කතාව අතර මැද්දෙන් පැන්නා.

ඩැඩී බය නැතිව ඉන්න. මෙදා පාර ස්ටිවින්ලගෙ රොමිකින් බළල් න්‍යාය පතුරා තිබෙන පරමාධිපත්‍යය අහෝසි කරනව.
___________________________________________________

ස්ටීවින් මොස්තර නිරූපණයට ගිහින් වේලපහින්ම ආව. ඒ සඳහා සුදුසු මානසිකත්වයක් තමන්ට නැහැ කියල ස්ටිවින්ම දන්නව. 
ගොවිපලේ දවසින් දවස සිද්ද වෙන දේවල් එක්ක කැත්ලින්ගෙ වෙනස්වීම් සියල්ලම පුපුරා ගිය විට තමන්ට සියල්ල හැරපියා ජීවිතය මරණයට බාරදෙන්න වෙන බව ස්ටිවින්ට දැනෙනව. 
ඉතින් කන්නෙවත් නැතිව ස්ටිවින් මුහුණ ටිකක් යන්තම් වම් අතින් පිසදාගෙන ළිඳ ළගට ගියා.

ඒ යනකොටත් ක්වික් එක්ක නිළධාරින් සේවකයන් සියල්ල පැමිණ සිටිය.

වින්ස්ටන් සහ අනෙක් සනුහරේම සැඟවී සිද්ද වෙන දේ බලා හිටිය.

තමුන්ල දන්නව ඇති මං එන්න කිවුව කාරණේ මොකක්ද කියල

ස්ටිවින් අමුතු පෙනුමක් මවාගන්නට උත්සහ ගනිමින් රංගනයක යෙදුණා.

එහෙමයි සභාපතිතුමා.

එහෙනම් තමුසෙල මේක දැන දැන කලේ

පරාණ බිය දැනුන ක්වික් වහාම ඉදිරිපත්වී 
අපිට සතියක් කල් දෙන්න අපි මේක විසඳල දෙන්නම් සභාපති තුමා.

සතියක්, සතියක් යනකොට මටත් මැරෙන්න වෙන්නෙ.

එහෙම කියමින් එතන සිටි මී නිළධාරියෙකුගේ බොටුව දෑතට හිරකරගන්නට ගොරවාගෙන පැනගත් ස්ටිවින් එය සාර්ථක කරගෙන ඉදිරිපස දෑත් වලින් ඔහුව සිරකරන් ක්වික්ට මෙසේ ඇමතුවා.,

මේ දැන් පැයක් ඇතුළත තමුසෙල සියළු සතුරන් විනාශයට පත් කලොත් මම තමුසෙලට ජීවිත දානය දෙනව. එහෙම කියා ගෝරනාඩු කරනවිට,

මේ අහන්න සභාපතිතුමා අපිට මේවගෙම තර්ජනයක් නගර සභාවෙන් ඇවිත්. 
ඒක නිසා අපේ කාටවත් එළි පහලියට යන්න විදිහක් නැහැ. ඔබ තුමා දැන්ම නගර සභාවට ගිහින් මේ මී ප්‍රශ්ණය නැති කිරිමේ සියළු වගකීම් ඉදිරි වසර දහයට තමන් වගකීමෙන් බාරගන්නව කියල පොරොන්දු කරගෙන අත්සන් පත්‍රයක් අරන් දෙන්න.

බළලෙක්ට මීයන්ගේ සියළු පරමාධිපත්‍ය පැවරෙන බව තමන්ට තම පියා මෙය බාරදෙන වෙලාවෙ කිවුව බව මතක් කරමින් එහෙනම් තමුසෙල පොඩ්ඩක් ඉන්නව අල්ලපු වැටේනෙ නගර සභාව මං දුවල එන්නම්
ඒ අතරතුර වින්ස්ටන් පමණක් තම පියා අසලට ඇවිත් රහසින් යමක් පැවැසු විට,

ඔය වැඩේ හරි යයිද පුතේ.

ඩැඩී බයවෙන්න එපා. තව විනාඩි ගණනකින් පසු අපි නිවහල් සාඩම්බර මීයන් ලෙස විරාජමාන වෙනව.  ඩැඩී මං කියපු විදිහටම ඉතිරි ටික් කරන්න.

මගෙ හිතට මොකක්ද වගේ පුතේ කොච්චර වුනත්.

ඔහොමද ඩැඩී මට ඔය ඔටුන්න භාරදෙන්නෙ. අපි අමරණිය මීයන් ලෙසින මගේ ඔටුණු පැළඳවීම සිදුවිය යුතුයි නේද..? 

ඩැඩී කිවුව විදිහටම ඉතිරි ටිකත් කරන්නකො.
__________________________________________________
ස්ටිවින් අසතුටු මුහුණකින් ඈත එනව ක්වික් දුටුව. ඒ අතර නැවතත් වින්ස්ටන් රහසිගතව සැඟවිලා.

සභාපති තුමා මොකද වුනේ.

හහ්...හහ්...හා...

ඤා...............ව්...................මි.....ඤා..........ව්......................

ක්වික් බොහොම බියගුලුව ස්ටිවින් දෙස බලා උන්නා.

ඔන්න මගේ ලෝක ප්‍රසිද්ධකමටත් සලකල නගරසාබාවෙන් අවසර දුන්නා. මීයන්ගේ පරමාධිපත්‍යය එදා සිට පැවරුණේ අපිට නිසා රොමිකින් න්‍යාය පත්‍රයක් බොහොම ඉහළින් පිළිගන්න නිසා ඉදිරි වසර දහය සඳහා මීයන් වඳ කිරිමේ රාජකාරිය අපිටම පැවරුවා. එය එලෙසෙම සිද්ද වෙනව. දැන් තමුන්ලා හරියට මේ මොහොතෙම වැඩ පටන් ගන්නව.

එහෙම කියද්දිම ළිඳ ළග ගහ මුදුනෙ ඉදන් දැළක් වැටුණා ස්ටිවින්ගෙ ඇගට. ඒ දැළ මාළු කඩේ පිටිපස්සෙ ඉදන් රාත්‍රි කාලයන් කිහිපයකදිම අරන් ඇවිත් තිබුණෙ වින්ස්ටන් ඇතුළු තරුණ පිරිස.

ස්ටිවින්ට කරකියාගන්න දෙයක් නැතිව ගොරව ගොරවා පනිද්දී වින්ස්ටන් එළියට ආව

උඩ පිම්මක් ගහල කකුළ් දෙකෙන් හිටගෙන චීස් පෙත්තක් හප හපා ස්ටිවින් දිහා බලාගෙන

ලොක්කා දැන් සිහිකරගන්න අද පටන් ඔබේ වීර වික්‍රමාධිපති පූස් පරමාධිපත්‍රය අහෝසියි.

දත් විලිස්සාගෙන දැල පහුරු ගාන්නට ස්ටිවින් දැගලුවා.

ඔහොම දැඟලුවොත් ඔබට වෙන දේ පේනවනෙ

කියා විසිල් එකක් ගැසු වින්ස්ටන් බොහොම ආඩම්බරෙන් වටපිට පෙන්නුව.

මී සනුහරේ සියළු ජවසම්පන්න තාරුණ තරුණියන් යුධ පෙරමුණෙහි සීරුවෙන් හිටගත්තා.

ස්ටිවින් දැනගත්තා තමා උගුලකට අහුවෙලා බව.

වින්ස්ටන් කිවුවා ඔබ මෙතෙක් අප වෙනුවෙන් කළ සේවයට අප ඔබට ජීවිත දානය දෙනව. නමුත් ඔබ ඔබේ පිරවර සමඟ මේ නගරයෙන් පිටවිය යුතුයි පැය හතලිස් අටක් ඇතුළත.

මේ දැලෙන් බේරුණොත් මී සනුහරේ පෙති පෙති කෑලි කර කා දැමිය හැකි බව දැන සිටියත් ස්ටිවින් වින්ස්ටන් ලේසියෙන් යමක් නොකියන බව ඔහුගේ පෙනුමෙන් තේරුම් ගත්හ.

ළිද වට සිටි මීයන්ගෙන් පිරිසක් අතට ස්ටිවින්ගේ අත්සනින් යුතු ලිපි ලබා දී ඒ සියල්ලන්ම රොමිකින් න්‍යායය අදාල සාමාජිකයන්ට බෙදාදෙන ලදි.

අද රෑ ස්ටේසම ළඟ රාත්‍රි දුම්රියෙන් අප වෙනත් නඟරයක් සඳහා පිටත්ව යායුතුය. 

කියා සඳහන්ව තිබුණි.


ඉතිරි සියළු දෙනාම වැර වීරිය සියල්ල දමා දැළ ඇදගෙන ගොස් ළිඳට දමා බොහෝ අපහසුවෙන් නිවෙස් බලා ගියහ. 

පසුදින අලුයමට වින්ස්ටන් තුන්වෙනි පරම්පරාවේ රජු ලෙස ඔටුනු පැළදූ අතර බළලුන්ගේ පරමාධිපත්‍යෙයන් සහ නඟර සභාවෙන් ඉදිර දස වසරට මීයන් නිදහස් විය. 

වින්ස්ටන් ලෝක පූජිතව තම මී පරපුර ස්වර්ණමය යුගයකට ගෙන යන්නට අදිටන් කරගත්හ. 

________ අහවරයි ඈහ් _______
ලිවුවෙ දිනිති
___________________________________________________

  Yashodha Sammani නංගිගෙ බළලෙකුගේ පරමාධිපත්‍යය කියවීමෙන් අනතුරුව සිතෙහි උපන්නකි. 
බස්සිගෙ ඒ කතාව මෙතනින් 

Wednesday, February 11, 2015

වෙබ් අඩවියේ තැනක හමුවුණොත් දන්වන්න මැටි ගෙදර අපේ කිරි අම්මා

අපේ කිරි අම්මා මැටි ගේක ඉඳියෙ නැහැ. ඒත් මේ කවිය එක්ක, එහෙම නැත්නම් ගීතය එක්ක මගේ හිත දුවනව ඈ උන්නු කාලෙට. අපිට අපේ කියන්න නෑයෙක්ට අපේ ගෙදරට ආවෙ, අපිට පහුසුවෙන්න යන්න තිබුණෙ අපේ කිරි අම්මගෙ ගෙදර විතරයි.

ඇයගෙ ගෙදර ඉස්තෝප්පුවෙ ඉදන් බණ පොත් කියව කියල ඉද්දි ඉස්කෝලෙ බෑග් එකත් කරේ එල්ලන් පෙරේතයො වගේ යද්දි බත් මුට්ටියෙ බත් ඇති කාල ඉඳපන් කිවුවෙ ලෝබ නැතිව අපේ කිරි අම්මා විතරමයි.

ගහක වැල ගෙඩියක්, වරක ගෙඩියක් , කුරුම්බා ගෙඩියකට කුරුමාණම අල්ලල ගහ බදාගෙන බඩගාද්දි පොල් පිත්තක් අරගෙන බැහැපිය ගහෙන් බිමට කිය කියා කෑගැහුවෙ අපේ කිරි අම්මා විතරයි.

ගෙදරට චීත්තෙ හැට්ටෙ අදින, නාපු වෙලාවට සුදු දිග කෙස් වැටිය කඩා දාගෙන ඉන්නකොට රූප සුන්දරිය පරාදයිනෙ කියල හිනාවුනේ අපි.

ඔසරියක් පටලවගෙන ගිනි මද්දහනෙ අපේ ගෙදරට හැරෙන කන්ද පාමුල ඉදන් අපිට අඩ ගගහා කන්ද නැග්ගෙ අපේ කිරි අම්මා විතරමයි.

අපිට මොනව හරි අත මිට මොලවන් ආවෙ ඇය විතරමයි.

වැඩියෙන් සල්ලි තියෙන සල්ලිකාර මාමා කෙනෙක්ගෙ හරි ලොකු අම්මා කෙනෙක්ගෙ හරි ගෙදරට ගිහින් කිරි අම්මගෙ වියදමට දෙන සල්ලි මෙන්න බන් උඹලට කියල හැට්ටෙ අස්සෙන් අරගෙන දුන්නෙ අපේ කිරි අම්මා විතරමයි.

ඇයට තිබුණ ඒ ලතෙක් හදවත සමහර වෙලාවට මං අපෙ අම්මගෙන් හොයනව.
හරිම පින්බර මුහුණක් තිබුණ ඈ නිවන් පුරේ අපිට කලින් යන්න යයි කියල හිතෙන්නෙ ඒකමයි මට.

ඉතින් ඔය ඔක්කොම වැල් වටාරම් එක්ක හිත ගියේ මෙන්න මේක නිසයි. ඔබත් විඳින්න. අපේ කාලයේ අයගෙ අතීතය මේ අස්සෙ ඇති අනිවාර්යයනේම. අපිත් කිරි දත හොල්ලල හොල්ලල ගලවල ලේනෝ ...ලෝනෝ..මේ දත අරගෙන වෙන දතක් දීයෝ කියල වීසි කරපු පරම්පරාවෙ අය නිසා. smile emoticon ස්තුතියි රජී වසන්ත වෙල්ගම නම් ගේය පද රචකයාට.

බිම වැටුණ කිරි දතට
අඬන මගේ ළපටි හිත
අඹ ගහේ ලේනකුට දුන්නා
අහිමි වී ගිය දිනෙක
සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා
මැටි ගෙදර අපේ කිරි අම්මා

රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තියෙන
සිටුවරුන් සිටු ගෙදර උන්නා
මා නමට ගෙයි ඉදෙන
කැවුම් අහුරෙන් එකක්
හඬන කෝඳුරුවන්ට දුන්නා
මැටි ගෙදර අපේ කිරි අම්මා

මැටි ගෙදර තිබුණු තැන
ගමක කුසගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්න
වෙබ් අඩවියේ තැනක
හමුවුණොත් දන්වන්න
මැටි ගෙදර අපේ කිරි අම්මා


ගීතය අහන්න මෙතනින්...

Saturday, January 31, 2015

උදුරාගත් අයිතිය

දුනු හී සම වදන් නැතිවම
කුමරුන් සමඟ සරණව යනෙන විට
අතර මඟ පර්වත මුදුනකින්
පෙරලූ පව බර ද කරුමයට


ඵල බර වනස්පති පිරි ලැහැබෙ
සැලමුතු පෙම තිබුණි හද මඩලෙ
ගඟ දිය මත පිපුණු කොඳ කමලෙ
පිනි බිදු සැලුණෙ කිම හිමිදිරියෙ


තුනු සිහිනිගිටි සොඳුරු සියොළඟ
හුනු වී ගලන ස්නේහය අපමණ
කුණු වී ගඳ ගහන මඩ ගොහොර
හමු වී සිප ගත්තෙ කිම විගස


රන් රිදී නෙක වෛවර්ණ
යයි සැලී ගහ කොළද ඈ සමඟ
මං මුලා වැල් ඇතිරු ගමනක
උන් සොරාගත්තා ඇගෙ සිහින


Saturday, January 24, 2015

මගෙ දුවේ..

ඉෂ්ඨවෙන්නැති සිහින සඟවන්
ගලා යන ගඟක් ළඟ නැවතුනොත්
මගේ හදවත පතුළෙ ඇත
වරක් හෝ බලපන් දුවේ


සින්න කරගත් මේ ජීවිතේ
බලා හිටි තැනක් නුඹ දැක්කොතින්
ඒ නුඹේ ඇස් දෙකයි
සත්තමයි මගෙ දුවේ


කැඳැල්ලක් නැති කිරිල්ලියො
ආකහේ යට පැටවු රකිනව
නොදැක්කා නම් නුඹ
මගේ වත බලපන් දුවේ


වියරණ කිසිත් සම නැති
නිමාවක සළකුණක් පේන්නැති
තාලයක් නැතිවම ගයන
ගීතයක් මං මගෙ දුවේ


කාලයට ඉඩ දී බලා හිටපන්
පාපයට දඬුවම් එපා කියපන්
සාපයට කිසි දිනක නොගොසින්
හීනියට ජීවිතේ නුඹ වියාපන්.

Saturday, January 10, 2015

මගේ අක්කා

මහා වැස්සක හබරල පත්‍රයක් ගෙන
මගේ හිස මත දිය බිංදු පන්නා
වහා ඇවිලෙන කුස ගින්න මතදී
නුඹ අතේ බත් පිඩක් තිබුණා

රාත්‍රියකදි තරු එළිය අරගෙන
වරෙන් කියමින් අත්ලතින් ඇද්දා
කාත් කවුරුත් නැති දිහාවක
මගේ කියමින් බදා ගත්තා

කෝටියක් දේ ගැන කියන්නට
බෝම අසමත් වුනත් දිවියේ
කාසියක් නැති ජීවිතය අස්සේ
මගේ අක්කා ළඟින් රැදුණා


Thursday, December 11, 2014

ආදරණිය අහස්ට.

2005  අවුරුද්දෙ සයිප්‍රස්වල සොඳුරු සර පුවත්පතට ලිවුව කතාවක්. මේක මගෙ කලින් වර්ඩ්ප්‍රේස් බ්ලොග් එකේ දැම්මා. ඒත් ඒක හිටපු ගමන් අතුරු දහන් වුන නිසා මේකට දාල තියන්න හිතුණ. 
______________________________________________
 
ආදරණිය අහස්........
    නොදැක්ක ගානට....නාදුනන ව්දිහට අහක බලාගෙන
යන්නෙපා....
ඔයාට නපුරෙක් වෙන්න...... නපුරුකම් කරන්න බෑ.....,
මහමෙරක් තරමි මං ඔයාට ආදරෙයි.......,
ආපහු එන්න අහස්......සාව් තනියම......

—    කිරිකෝඩු හිතට ¤ ආල නුඹේ දෑස යාවුණා......˜

  භාතිය සන්තුශ්ගෙ ඒ ගී පදය ඇහෙනකොට සාව්ගෙ හිත අතීතෙට දුවගෙන යනවා. අහස් හුගක් ආස කළ සිංදුව. ඒ වගේමයි සාව් ඒ සිංදුව මුලින්ම ඇහුවෙ අහස් එක්ක දුරකථනෙන් කතා කරන අවස්ථාවක.
    මං ආස ලස්සන සිංදුවක් තියෙනවා. ඔන්න අහගන්න..... එහෙම කියලා computer එකේ speker එක ගාවට phone එක තිබ්බා. සාවි අහගෙන ඉඳියා.
    ඇත්තටම ලස්සනයි අයියේ.... මටත් දෙන්න....
    හරි ඉතිං මං දැන් ගෙනත් දෙන්නම්.....ඔයාට නොදෙන දෙයක් මං ගාව නෑ සාව්,
    දැන් එපා, හෙට උදේට ගෙනත් දෙන්න,හා නේද?
    හා තමයි ඉතිං මං බොරු කියනවයැ...
    අයියේ මම පොතක් බැලූවා....ගොඩක් ලස්සනයි....ෂෝක්....
පොත් ගුල්ලියෙක් වෙන්නද හදන්නෙ....?
මං පොත් ගුල්ලියෙක් වුනාම ඔයා පොත් ගුල්ලෙක් වෙයි.....ඒකට අහස් හයියෙන් හිනා වුනා. ඒ සිනාහඩ හැමදාම සාව්ගෙ ලෝකෙ සුන්දර ව්දිහට තැන්පත් වෙලා....
ඉතිං සාව්යො වැඩ තියෙනවා. හෙට දෙන්න computer එකක් හදනවා.
ඔයා නිදි මරාගෙන වැඩ කරන්න එපා ලෙඩ වෙයි.
නෑ...නෑ...සාවියො මං ලෙඩ වෙන්නෑ....ඉතිං නිදාගන්න ඔයා Good night.
good night මගෙ අයියට බුදු සරණයි.
    අහස්, මගෙම සුදු අයියේ....ඔයා ආස කළ ආදරේ කළ ඒ සිංදුව අදත් මම අහනවා. හැමදාම මම අඩනවා. ඔයාගෙ සිනාහඩ, කතාහඩ මගෙ හිතේ රැව් පිළිරැව් දෙනවා. පොත් කියවන්න පුරුදු වෙලා පොත් ගුල්ලියෙක් වෙන්න එපා කිවුවෙ ඔයාමයි මට. ඒත් අද මගෙ තනිකම පාළුව මකාගන්න තියෙන්නෙත් පොත් කියවන එකම විතරයි. හැම මොහොතෙම හිත ඉල්ලන්නෙ ඔයාවමයි. මගෙ අම්මට ඇරෙන්න වැඩියෙන්ම මම ආදරේ කරන්නෙ, කලේ ඔයාට....එහෙව් ආදරයකට මේ තරම් දුක්දෙන්න එපා අහස්....

    —ලියවෙන හැම අකුරකම .....   පිටවෙන හැම වදනකම
     සිහිවෙන හැම සිතුවිල්ලකම.....ඔබ හිඳියි.....˜

    ලස්සන හිමිදිරියක මල් පොකුරකුත් තුරුල් කරගෙන ඔයත් එක්ක දෙව්මැදුරට ගිය හැටි මට මතක් වෙනවා. හුරුබුහුටි සුනදර ඒ දේවස්ථානයට ලංකාවෙ හුග දෙනෙක් කියන්නෙ —වතුර පල්ලිය˜ කියලා.පුජ කරන්න ගත්ත මල් පොතුරෙන් ඔයාටත් භාගයක් දිලා අපි දෙන්නම දෙවියන් ඉදිරියෙන් මල් තිබ්බා.


    යන් වතුර ටිකක් හිසේ ගාගෙන එමු.
    එහෙම කියලා ඔයා ඉස්සර වෙලා ගල් පඩිපෙළ බැස්සා. මාත් ඒ පසු පස්සෙ ආවා. ඔයා වතුර බාල්ඳියක් අරන් මගෙ හිසෙත් ගාලා ඔයාගෙ හිසෙත් ගා ගත්තා.
    හෙමින් සැරේ ආපහු උඩට ඇව්ත් දේව මෑණියන්ගෙ පිළිරුව සිපගෙන එළියට එන්න ආවා.
    —මොනාද සාව්යෙ ප්‍රාර්ථනා කලේ.....?˜


    —හැමදාමත් මට මේ වගේම අයියා ළගින් ඉන්න ලැඛෙන්න කියලා....˜


    මං යන්නෑනෙ මගෙ සාවිව දාලා....˜


    —ඇත්තමද ඔය....?˜


    —ඇත්තමයි සාවියෙ මට උඹව ලෝකයක් තරං වටිනවා....˜


මාව ලෝකයක් තරං වටිනවා කිවුව ඔයා අද මං දිහා ඇහැක් ඇරලා බලන්නැති විත්තිය මං කොහොම විශ්වාස කරන්නද? ඒත් ඇත්ත ඒකමයි. ඔයා එන්න අහස් මම හරි දුකෙන්.......
මේ විදිහට කාලෙ ගෙවිලා ගියත් මට මගෙ හිත හදා ගන්න බෑ අහස්.....අල්මාරිය අස්කරන කොට ඔයා එවපු ලියුමක් හමුවුනා.....


2005/11/13
මගෙම සාවියේ....,
මං මේ ලියුම ලියන්න ගත්තෙ මට පාළුවක් දැනුන නිසා. හැමදාමත් වයර් ගොඩවල් මැද්දෙ ගෙවෙන මගෙ ජීවිතේට උඹ පායපු දා ඉදන් මං අළුත් මිනිහෙක් වුනා. ඔයා එක සතියකට ඔයාගෙ අක්කා බලන්න ගියාම තනිකම මට මෙච්චරම දැනෙයි කියලා හිතුනෙ නෑ. ආව ගමන් මට call කරන්න පැටියෝ.
ඔයා දන්නවද සාවියේ, අද අපේ නවාතැනට ලංකාවෙ ගැහැණු ළමයි දෙන්නෙක් ආවා මගෙ යාළුවා රුවන් හමුවෙන්න. ඒ ගෑණු ළමයි දිහා මට බලන්න අප්පිරියා හිතුනා.
යන්තම් රෙදි කෑල්ලකින් ඇග චුට්ටක් වැහිලා තිබුණා. අඩි ගානක් උස පාවහන් පැළඳලා තිබුණා. හැම පාටක්ම මූණෙ කොතනක හරි ගාලා. එA විතරක් නෙමේ, කොටියෙක් වගේ දිග නියපොතුයි, කෑළි, කෑළි ඛෙදලා පාට කරලා තිබුණ කොණ්ඩෙයි දැක්කම මට පුදුම හිතුණා. ඒ අය මැද්දෙ ඔයා ඉදියනම් අපේ සිංහල කම කොච්චර වටිනවද කියලා මං එයාලට කියලා දෙනවා.
    ඒ අයගෙ අම්මා තාත්තා බටහිර මිනිස්සු නෙමේ. අහිංසක ගැමි සිංහල මිනිස්සු කියලා මං දැන ගත්තෙ රුවන්ගෙන්. තමන්ගෙ මොකක් හරි අරමුණක් වෙනුවෙන් මේ දුරු රටට ආපු ඒ යුවතියන්නට කවුරි හරි කොතනකින් හරි වරද්දලා ඇති. ඒ නිසා තමයි ඒ අය ඒ විදිහෙ වෙනස්වීමකට ලක්වෙන්න ඇත්තෙ.  මට හිතෙන හැටි සාවියේ.
    ඉතිං මං මගෙ සාවිට මෙහෙම කියන්නම්, ගෑණු ළමයෙක් ලස්සන පංච කළ්‍යාණිය රැකගෙන හොඳ චරිතවත් විදිහට ඉඳියොත් විතරයි. ඔයාගෙ ඔය දිග කොණ්ඩෙ කපන්න එපා. මං හුගක් ආදරෙයි සාවිගෙ ඔය දිග කොණ්ඩෙට. ඒ විතරක්ද ඔයා කවදාවත් නියපොතු වවන්නෑ. කිසිම වර්ණයක් ආලේප කරන්නෑ. ගැහැණු ළමයෙකුට ලස්සන ඇදුම් විතරයි අඳින්නෙ. ඒ අතින් ඔයා කොච්චර හොඳද....? ඔයා කොළඹ ඉපදිලා,හැඳිලා, වැඩිලත් ඔය තරම් අහිංසක කෙනෙක් වුන එක ගැන වෙලාවකට මට පුදුමත් හිතෙනවා. සාවියෝ.....මම නවතින්නම්. ඔයා වගේ හොඳ ලස්සන කෙල්ලෙක් ලැබුන එක ගැන මම ආඩම්බර වෙනවා.... බුදු සරණයි.
                                ඔයාගෙ අහස්.

    අයියේ....ඔයා ගියා කියලා මට වෙනස්වෙන්න හිතුණෙ නෑ. ඔයා ආදරේ කළ මගෙ දිග කොණ්ඩෙ ඒ විදිහටම අදත් තියෙනවා. ඒ විතරක් නෙමේ මා නිසා ආඩම්බර වෙනවයි කිවුව ඔයාම අද මාව දාලා ගිහින්.....මං කොහොමද හිතන්නෙ.....බැහැ අයියේ බැහැ.....ආපහු එන්න අහස්......

        —ජීවිත මහ ගිරි දඹට        
        අත්වැලක් වෙන්නම් කියූ නුඹ
        එ් මහගිරි දඹේ අතර මග 
        කඩා බිද දමා යන්න ගිහින්.....
        එන්න...අහස්...යළිත් ඒ මග තනා දෙන්න
        මේ දුර සාවිට තනියම යන්න බෑ
        එන්න....අහස්....එන්න
        මං බලන් ඉන්නවා..... ˜

අවුරුද්දෙන් බාගයක්ම දරන්න බැරි කටුක සීතලට ගෙවිල යන අපේ ජීවිතේ ඉතිරි මාස හය ගෙවිලා යන්නෙ උහුල ගන්න බැරි තරම් දැඩි හිරු රශ්මියෙන්. උපන් බිමේ හිගා කාලා ජීවත් වුනත් හොදයි කියල හිතෙන්නෙ මෙරටේ ස්වදේශිකයන්ගෙන් වෙන හිත් රිදීම්වලදි. ඒ අතරට ඔයත් මට මෙහෙම කරන කොට මේ හැමදේම දාලා ලංකාවට යන්න හිතෙනවා. ගිය අවුරුද්දෙ මේ වගේ දවසක මට මතකයි හදිස්සියෙම වගේ ඔයා දුවගෙන ඇවිත්


—    මගෙ තාත්තා නැතිවෙලා. ඒත් මට ලංකාවට යන්න විදිහක් නෑ. දුකයි සාවි....˜


—    දුක තමයි අයියෙ. ඔයාගෙ තාත්තව නොදැක්කට මාත් හරි ආදරෙයි. අයියා කැමති නම් ලංකාවට යන්න. ආපහු එන්න බැරි බව මං දන්නවා.ඒ වුනාට කමක් නෑ ඔයා යන්න....,˜


—    බෑ සාවි මම මෙහෙන් ගියොත් පස්සෙ මගෙ අම්මයි මල්ලියි ජීවත් කරන්නෙ කොහොමද ? මල්ලි තාම ඉගෙන ගන්නවා. ඒ හින්දා මං පුළුවන් විදිහට පුළුවන් දෙයක් මෙහෙ ඉඳන් කරනවා.˜


—    අයියා කැමති දෙයක්. අපි ජීවිතේ එන දෙයක් බාර ගමු.˜


—    ඔව් සාවි ලැඛෙන දේ දුක වුනත් සැප වුනත් අපිට එපා කියන්න බැහැනෙ. ඒත් ඔයා මාව දාලා යන්න එපා....˜


—    නෑ අයියෙ හීනෙකින්වත් මං ඔයාව දාලා යන්නෑ....˜


දැනුත් මට හොඳටම මතකයි අහස්, එදා ඔයා පොඩි දරුවෙක් වගේ ඇඩුවා. ඒක එඓම වෙන්න ඕන කියලා මං දන්නවා. මොකද තමන්ව මේ ලෝකෙට ගේන්න පිහිට වුන ආදරණීය පියාට අන්තිම මොහෙතෙ සමුදෙන්න බැරි වුන එකට. ඒත් එදා ඔයා කිවුවෙ දාලා යන්න එපා කියලා මට. නමුත්....,


    අද ඔයා මාව දාලා මේ ජීවිත ගමනෙ හුගක් දුර ගිහින්. අතරමං වුන තැන ඉදන් මං බලන් ඉන්නවා. ඉස්සර වගේම මගෙ අතින අල්ලන් මාව එක්ක යන්න එන්න. එදා වගේම එකට මේ ජිවිතේ දුක සැප ඛෙදා ගමු අහස්.....,

    —ඔබ නොමැති සොවින්
    හිත හඩන තරම්....ඔබ දන්නවනම්
    පෙර පුරුදු ලෙසින්, මගෙ තොලට උඩින්
    මුදු සුසුම් සෙමින් ඔබ තවරාවි.......
    ඔබ ගැන මතකෙන් නෙතු හඩන තරම්
    ඔබ දන්නවනම්.......,
    නෙතු නිදන සරින් රෑ සිහින මැදින්
    ඔබ පැමිණේවි.....˜

හුගක් ඉස්සර මං කියවපු පත්තර පිටුවක තිබුණ පද පේළියක් එ්. මොකක්දෝ මන්දා හේතුවකට එදා මම ඒ පද ටික ලියා ගත්තා. ඒ ගැන දැන් බලනකොට මට හිතෙන්නෙ එදා මං ආසාවට ලියාගත්තට අද මට හැබෑවටම ඒ දුක ලැබිලා නේද කියලා. මට තේරෙන්නෑ අහස්....., 

 ඉස්සර මං කිරිල්ලියක් වගේ නිදහසේ උන්න කෙල්්ලෙක්. ඔයා මගෙ ජීවිතේට එබිකම් කරපු දා මං හිතුවෙ මං හුගක් වාසනාවන්ත කෙනෙක් කියලා. ඒත් ඒ වාසනාවත් එක්ක අවාසනාවත් මේ තරම් ඉක්මනට මගෙ ජිවිතේට එයි කියලා මං හිතුවෙ නෑ. 

    දවසක් ඔයා මාත් එක්ක මුහුද අයිනට වෙලා ඉන්නකොට කිවුව දෙයක් මට මතකයි. එක ගෑණු ළමයෙක් අපිට ට්කක් එහායින් ඉඳිය හයියෙන් හිනාවෙලා එයත් එක්ක ඉඳිය අනික් යාළුවන්වත් පෙරලගෙන දිවුවා. ඒ ගෑණු ළමයා දුවලා තියෙන්නෙ එයාගෙ යාළුවගෙ අතේ තිබුන photo එකක් උදුරගෙන.


 —ගෑණු ළමයි ඕනවට වැඩිය දගකාර කම් තියෙන්න හොඳ නෑ˜ කියලා.

    —ඇයි ඒ ?˜ මම ඇහුවා. එතකොට ඔයා දුන්න උත්තරේ තමයි,
    ඕනවට වැඩිය දගකරන ගෑණු ළමයි ගාව එයාලට උරුම ගැහැණුකම නැතිවෙනවා. එතකොට ඒ අයගෙ කැපිලා පේන්නෙ පිරිමිකම. එහෙම ගෑණු ළමයෙකුට ආදරේ කරන්න පිරිමියෙකුට හිතෙන්නෑ.


    මට හරි පුදුම හිතුනා අහස්. ඇයි දන්නවද? ඉස්සර මමත් දග මල්ලක්. ඕන දේටත් එපා දේටත් හයියෙන් හිනාවෙලා කෑගහනවා. අපේ ඉස්කෝලෙ සර් කෙනෙක් දවසක් කිවුවා අලියටයි, පොඩි ළමයටයි එක ඉරියව්වක මොහොතක්වත් ඉන්න බැහැනෙ, සාවිටත් ඒ වගේම තමයි කියලා.
    ඒත්.....කාළය කොච්චර දේවල් වෙනස් කරලද? ඔයා මගෙ දෑසට එබුන දා ඉදන් මං පුදුම තරං සංසුන් කෙනෙක් වුනා. ඔයාගෙ ආදරේ රැකවරණය මාව වෙනස් කලා.


    අහස්.....මට මෙහෙම හිතෙනවා,මගෙ ලෝකෙ හැමදේම වෙනස් වුනේ ඔයා හින්දා කියලා. ඒත්....,අද....

    —නිල්වන් දෑසක් එබිකම් කර පෙරදා
     කිවුව කතා මා සිත් අහසට.......
     අදත් ඇහෙනවා....මේ දැන් වාගේ
     දුකත් හිතෙනවා.....කුමක් කරන්නද?
     යන්න ගියත් නූඹ මා හැරදා
     ආපහු එන්නැයි මං ඉල්ලනවා....˜

—ඉන්දියන් කඩේ ලස්සන සල්වාර් ඇදුමක් දැක්කා මං ඒක ඔයාට අරගෙන ආවා අළුත් අවුරුද්දට අදින්න˜


—ලස්සනයි අයියේ, හැබැයි ඉතිං මං දෙමළ වගේ පෙනෙයිනෙ˜


—මොකටද දෙමළ වගේ පේනනෙ, ඔය නළල මැද්දෙ තිළකෙකුත් තියෙන්නෙ, කොණ්ඩෙට මලකුත් ගඅහැවම දෙමළම තමයි˜


—ඔය ඉතිං මොකටද දෙමළිත් එක්ක යාළු වුනේ˜


—මං ආදරේ කළෙත් මේ දෙමළ කමටමයි˜ කියලා ඔයා මගෙ නහය මිරිකුවා.


—ඌයි මට රිදෙනවා. තරහ වෙන්න හදන්නෙ අළුත් අවුරුද්දෙ....˜


—හා ඉතිං මං දන්නවා යාළු කර ගන්න.˜


එහෙම කියලා එදා දවස ගෙවිලා ගියා. ඒත් අද? 


අදත් ඉන්දියන් කඩේ ලස්සන සල්වාර් ඇදුම් තියෙනවා. තව ටික දවසකින් අළුත් අවුරුද්ද එනවා. ඒත් අහස් ඔයා මං ගාව නෑ. අඩු ගානෙ ඔයාට අළුත් අවුරුද්දට ඔයාට wish කරන්න මම කී පාරක් ඔයාගෙ mobile එකට ring  කළාද? ඒත් ඔයා Answer කරන්නෑ. ඒ මම බව දන්න හින්දද අහස්? බැරිම තැන තමයි මං sms එකක් එවුවෙ. මං දන්නවා ඔයා ඒක කියවන්න ඇති. ඒත් ඇයි ඔහොම ඉන්නෙ අහස්......


    ඔයාගෙ දෙමළ කෙල්ල තරහ වුනාම යළු කර ගන්න ඔයා දන්නවා කිවුවා. ඒත්, මට අහගන්න බැරි වුනා ඔයා තරහා වුනාම මං කොහොමද යාළු කර ගන්නෙ කියලා....

        —රෑ සද නැගුණ - පසලොස්වක දා
        මා අත අරගෙන - නුඹ පියමැන්නා....
        ඒ පිය සටහන් - අදත් තියෙනවා
        කාටත් නොපෙනන - මගෙ හිත් මළුවේ....
        ඇවිත් බැලූවොතින් - ඔබට පෙනේවි
        මගෙ හිත ගැන - නුඹ     දන්න නිසා...˜

    —අම්මා ලියුමක් එවලා. ගෙදර අම්මා තනියම කියලා තිබුණම මට දරා ගන්න බැරි වුනා. මේ හැමදේම දාලා මට ගෙදර යන්න හිතෙනවා. ආපහු ඉස්සර වගේම අම්මගෙ තුරුල්ලෙ උණුසුම විඳගන්න ලෝභ කමක් දැනෙනවා. මං ගියොත් ඔයාවත් දාලා තමා යන්න වෙන්නෙ. ඔයා කතා නොකලට, ඔයාව නොදැක්කට ඔයා හොඳින් බව මම දන්නවා. මං ලංකාවට ගියාම මට ඒ දේවත් දැනගන්න විදිහක් නෑ. ඒ විතරක් නෙමේ 


අහස්,
    අම්මා අහලා තියෙනවා ඇයි අහස් පුතා කතා කරන්නෙ නැත්තෙ කියලා. මං මොකකද අහස් කියන්නෙ. ඔයා මාව දාලා ගිහින් කියලා මං කොහොම කියන්නද? අම්මට දෙන්න උත්තරයක් හොයා ගන්න බැරිව මං අසරණ වෙලා අහස්. අම්මා තව අහලා තියෙනවා අහස් පුතා හොද කෙනෙක් නේද? කියලා. ඔයාට නරක කෙනෙක් වෙන්න බෑ අහස්. ඔයා ඔයාගෙ අම්මව වගේම මගෙ අම්මවත් ආදරෙන් බලාගන්නවා කියලා කිවුව කෙනෙක්. ඔයා යාළුවන්ට එකතු වෙලා දගයෙක් වෙලා. ඒ නැතුව ඔයා නරක කෙනෙක් නෙමේ.


    සයිප්‍ර්‍රස් ආව හුගක් පිරිමි ළමයි ගැණු ළමයි එක්ක යාළුවෙලා ඒ අයගෙ ජිවිතෙත් එක්ක සෙල්ලම් කරලා ගැණු ළමයව අමතක කරනවා. ඒක දැන් මෙහෙ ඉන්න අපේ අයට ස්ටයිල් එකක් වගේ්. ඒත් ඔයා මාව මලක් වගේ පරිස්සම් කලා. ඔයා අවස්ථාවාදියෙක් වුනේ නෑ. හැම තිස්සෙම ඔයා කියන්නෙ විවාහ ජිවිතේදි කරන්න තියෙන දේවල් අපිට දැන්ම ඕන නෑ කියලා. 


    ඉතිං බලන්න අහස්, ඔයා කොච්චර හොඳ කෙනෙක්ද? හරි අපූරුවට ආදරේ කලා. ඒ ආදරේ ඔයා ගාව තාම තියෙනවා. 


    අහස්, බුදුන් වඳින අත් දෙක තරං වටින දෙයක් මට තව නැහැ. ඒ අත් දෙකෙන් වැදලා කියන්නම්.....,ආපහු එන්න මං බලන්  ඉන්නවා,

    —නෙලාගත් මල් දෝත - පුදසුනට තබන කළ
    සිහිවෙනවා නිරතුරුව - හිමි සදුනි නුඔව මට......
    පාරමී පුරාගෙන - සංසාරෙ පුරාවට
    නුඹේ වෙන්නයි අවෙ මං.....
    එපා නම් ඔබට මා - මේ තරම් දුක් දෙනු එපා
    උහුලන්න බැරි තරං - දැවිල්ලක් එයි හදින්
    ඔය තරම් නපුරු වී - රිදවන්නෙ කාට නුඹ......?˜

දරන්න බැරි මේ දුක් විද විද මං තවත් ජිවත්වෙන්නෙ ඇයි කියලා හිතෙනවා. මේ හැමදේටම වඩා හිතේ සතුට, සැනසීම කොයිතරම් වටිනවද කියලා දැනෙනවා. ඒ හැමදේම හමා ආ සුළි සුළගකට පාවෙලා පාවෙලා ඈතට ගිහින්. ඒ සුළගට මං කියනවා ගිය මගේම ආපහු එන්න කියලා. ඇයි දන්නවද? ඒ සුළං කෝඩයකට අහුවෙලා කැබලි වුන මගෙ සෙනෙහස් කුඩුව යළි තනා ගන්න. 


    දකින හැම දෙනාටම මුවපුරා හිනා වුනත් හදවතින් උහුලන්න බැරි මේ නික්ම යාම කාට කියන්නද? 


අහස්, මගෙම සුදු අයියේ, ඔයා ඔය තරම් හිතුවක්කිර ගති පැවතුම් තියෙන කෙනෙක් වුනේ කොහොමද? ඔයාව ඔහොම දකින්න මගේ ඇස් මේ තරම් පව් පුරලා තියෙනවද? කියන්න අයියේ, මං අහම්ඛෙන් වගේ ඈතට දැක්කෙ ඔයාව. මත්පැන් බෝතලයක් කටේ තියාගෙනම බොනවා. මට උන්හිටි තැන් අමතක වෙලා දුවන් ආවෙ ඔයා ළගට.  ඒත්, ඔයා මාව ප්‍රතික්ෂේප කලා. තත්පර ගානක් ඇතුළත යන්න ගියා. මාස ගණනකින් දැක්ක ඔයා මට ඇයි ඔහොම සළකන්නෙ? මං මොන වරදක් කලාටද? ඒ විතරක්ද ඔයාගෙ හැටි බලන්න? දවස් ගාණකින් රැවුල කපලා නෑ. කොණ්ඩෙ තට්ටෙම ගාලා. වැරදීමකින්වත් මත්පැන් තොල ගාන්නෑ කිවුව ඔයාම අද මත්පැන් බෝතලේ තුරුල් කරගෙන. මතකද දවසක්දා ඔයා කිවුවා ඔයා වගේම බීගත් මිනිහෙක්ව දැකලා

—දන්නවද සාවි , මේ මිනිස්සු බොන්නෙ ඇයි?˜


—ඒ මිනිස්සුන්ට මොනාහරි ප්‍රශ්න ඇති ඇයි˜


—මග යන්න බැරි තරම් බීගත්තම ප්‍රශ්ණ විසදෙනවද?˜


—නෑ මොහොතකට හරි අමතක වෙනවනෙ˜
—ඒක වැරදියි සාව්, මං ඒක ව්සදුමක් හැටියට දකින්නෑ. මට නම් හිතෙන්නෙ ඔය බොන මිනිස්සුන්ට ආත්ම ශක්තියක් නෑ කියලා. ඒවට මුහුණ දෙන්න හයිය හිතක් නැතිව ඇති ඒකයි. මං නම් ඔය වගේ දේවල් කරන්නෑ. හැමදේම දරාගන්න මට හයිය හිතක් තියෙනවා.


ආදරණීය අහස්,
    ඕනම දෙයක් දරාගන්න හයිය හිතක් තියෙනවා කිවුව ඔයත් අද මීවිත තොළ ගානවා. ඔය විදිහට බොන්නෙ ආත්ම ශක්තියක් නැති අය නම් අද ඔයාටත් හරියට ආත්ම ශක්තියක් නෑ නේද? කියන්න අහස්, අපි දෙන්නා අතරෙ ගැටලූවක් නම් ඒක කතා බහ කරලා විසදගමු. ඇයි ඒ දේවල්වලට මුහුණ දෙන්න බැරි ? ඔයා ඔය විදිහට ජිවත් වුන කෙනෙක් නෙමේ. මේ දේවලට ඔයා කොහොම හුරු වුනාද?  අහස්.......? එක මොහොතකට මං කියන දේ අහන්න, අර ඉස්සර වගේම ලස්සනට ජීවත්වෙන්න. මට ආදරේ නැති වුනත් කමක් නෑ. ඒ හැමදේම මං දරාගන්නම්. ඔයා හොඳින් ඉන්න සුදු අයියෙ.

    සඳ කුමරි පීදිලා - ඛෙදන විට එළිය විහිදලා
    පිපෙනවා මාලතී මල් - ලොවම ලස්සන වන්න කියලා.....
    වෙලාගත් සදකැන් වලින් - හොරාගෙන මං ටිකක්
    එවන්නම් මුදු සුසුම් තවරා - පා කරලා ඔබ ඉන්න තැනකට.....
    තියෙන විට සද වතුර පෑදිලා - දකින විට ඔඛෙ ඇස් ඇහැරිලා
    හැගීයයි නුඹහට පැහැදිලා - සාවි තාමත් සෙනේවන්තයි.....

—අළුතින් ආව CD ටිකක් copy කරලා රුවන්ට දුන්නා ඉල්ල ගන්න.˜
                        —අහස්˜
අද උදේ මගෙ ජංගම දුරකථනෙට ආව sms පණිවිඩය. අළුත් අවුරුද්දට සුභ පතන්න ඔයාට කතා කලත් පිළිතුරක් නැතිවුන ඔයාගෙන් අද මේ වගේ දෙයක් ලැබුනම දැනෙන සතුට මෙච්චරයි කියලා කියන්න මට බෑ. හැමදාමත් ඔයාගෙ mobile එකට ring කරල කරල Answr කරන්නැති ඔයාගෙන් මේ වගේ පුංචි දේත් මට කොච්චර වටිනවද?

    —ගිලන් වූු මගෙ හදට - ඔබ එවූ හසුන් පත
    අමා සුවයක් ගෙනෙන - පිරිත් පැන් පොදක් විය˜

අහස්, අපි ජිවිතේ කොයිතරම් දුරට එකිනෙකා තේරුම් ගත්තද? මොන තරං කැප කිරීම් කරලද මේ තරං දුරක් ආවෙ. ඒත් අතරමග මෙහෙම වෙයි කියලා මං හිතුවෙ නෑ. ඒකයි මට මේ දුක උහුලන්න බැරි. මම හැමදාමත් නිදා ගන්නෙ , ඇහැරෙන්නෙ ඔයා ගැන සිතුවිල්ලෙන්. ඒ තියා හුස්ම පොදක් ගානෙ , ඇසිපිය සැලෙන වාරයක් පාසා හිතට නැගෙන්න ඔයාව. මේ තරම් හිත ඔයාව ඉල්ලද්දි , මේ තරම් ඔයාට සෙනෙහස පාද්දි ඇයි ඔයා ගොළුවෙක් , බිහිරෙක් වගේ හැගීමක් නැතිව ඉන්නෙ?


    බලන්න අහස් ඉස්සර ඔයා අළුත් සිංදුවක් ආවත් , ඇදුමත් ගත්තත් මටත් දෙනවා. අදත් එහෙමයි. වෙනසකට තියෙන්නෙ ඔයා මාව දකින්න කතා බහ කරන්න එන්නැති එක විතරයි. මට දැනෙනවා ඔයා තාමත් එදා වගේම මට ආදරෙයි. නමුත් කියා ගන්න බැරි මොකක් හරි දෙයක් ඔයාට තියෙනවා. ඒත් නැත්නම් ඔයාට ඔය යාළුවො එක්ක සෙල්ලක්කාර ගති පැවතුම් තියෙන කෙනෙක් වෙන්න ඕන ඇති. ඒ මට හිතන හැටි. ඒත් අහස් ඔයාට එහෙම දේවල් ගැලපෙන්නෑ. ඔයාට තියෙන්නෙ උතුම් නිවුණු ඇවතුම් පැවතුම්. අනුන්ගෙ දුකත් තමන්ගෙම කියලා එකට දුක්වෙන ඔයාට ඒ වගේ කි්‍රයා හරියන්නෑ. ඒ හින්දා ඔයා ඔයාගෙ හිත රවටිට ගන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාට තවත් රිදෙන එත. මමත් මේ දේවල් තව කොච්චරක් නම් බලන් ඉන්නද? මේ විදවන තරම කොයිතරම්ද? ඒ දේවල් ඔයා දන්නවා. ඔයාට තේරෙනවා. පිං සිද්ධ වෙයි අහස්, ආපහු එන්න, අපි නැවතුන තැන ඉදන් මේ ගමන ආයිමත් යමු.

    —ආදරය ගංගාවක් වී ගැළුවදා
    සෙනෙහස කවියක් වී ගැයුනදා
    ප්‍රේමය සුවඳක් වී හැමුවදා
    හිතුනෙ නැහැ මේ තරම් ලසොවක් වෙයි කියා.......
    තනුවක් අහිමි ගීයක් සේම
    වෙරළක් නොමැති සයුරක් සේම
    තරුවක් නොමැති අහසක් සේම
    දැනෙනවා මගෙ හිතට පාළුවක්, තනිකමක්......˜


ඉතිං අහස් ,මගෙම සුදු අයියේ මේ ඔයාගෙ අසරණිට කාත් කවුරුත් නැති මේ දුරු රටෙදි හමුවුන ඔයාගෙන් තමා ආදරේ ගැන ජිවිතේ ගැන ඉගෙන ගත්තෙ. එහෙව් මං ඔයාට ණය ගැතියි. 


    සෙනෙහස නිකළැල්ව පිවිතුරුව රැකගන්න කොයිතරම් දුකක් වේදනාවක් විදින්න ඕනද කියලා මං දන්නවා. ඒ තරම් දුක් විඳලා කැප කිරිම් කරලා ගොඩ නගාගත්ත මගේ පෙම අදත් හුගක් පරිස්සමට තියාගන්න මම වෙන මහන්සිය මෙච්චරයි කියලා කියන්න බෑ. දෙදෙනෙක් එක්ක ගොඩ නගපු පැතුම් ගොන්නක් තනියම එක් අයෙකුට රැකගන්න වුනාම ඒ කෙනා කොය තරම් වෙහෙසක් විඳින්න ඕනද කියලා දැන් මට තේරෙනවා. 


අහස් මගෙම අයියේ.....,
    මේ ගමන මට තවත් තනියම යන්න බෑ. මේ බර උහුලන්න මට අමාරුයි. මගෙ ලෝකෙට පසලොස්වක සඳක වුන ඔයාම අද අමාවකක් වෙලා. ඒ අමාවක කළුවරේ ගැහි ගැහී මං බලන් ඉන්නෙ මේ ආදරේට අසාධාරණයක් කරන්න බැරි කමට. 


    දරුවෙකුට අම්මා කෙනෙක් කොච්චරක් නම් අදරේද? ඒ තරමටම මමත් ඔයාට ආදරෙයි. ඔයාගෙ අම්මා ඇරුනම මේ ලෝකෙ ඔයාට වැඩියෙන්ම ආදරේ කරන ගැහැණිය මමයි කියලා මට හිතෙනවා. ඔය විදිහට වෙනස්කම් කරන්න එපා. මම ඔයාව දැක්කෙ මේ ලෝකෙ හොදම පිරිමියා විදිහට. ඒ තැන අදත් ඔයාට තියෙනවා. ඒ මොකද...? එච්චරටම ඔයාව මගෙ ලෝකෙට වටින හින්දා. දෙවියන් බුදුන් තරමටම මං ඔයාව විශ්වස කරන හින්දා.හැමදාමත් මේ විදිහට ඉන්න බෑ. තනියම, තනිමග, තනිකම මට දැන් එපා වෙලා. තවත් නම් දුර යන්න බෑ. 


    අපි අර ඉස්සර වගේ ලෙංගතුකමින් ආදරෙන් ඉමු. මං ඔයාට ආදරේ වගේම ඔයත් මට ආදරෙයි. ඒත් මේ තේරුම් ගන්න බැරි නිහැඩියාවක් ඇයි.....?
        පාට පාට හීන ඇහිද - ගෙත්තම් කල පැතුම් පොඳිය
        තුරුල් කරන් මං ඉන්නවා - ඔබ එනතුරු පෙන්වන්නට.....
        උහුලගන්න බැරි කදුළක් - වැලපේ මගෙ හද ඇතුලෙම
        කාට කොහොම පවසන්නද - දුර ගියාම ඔබත් ඔහොම
        පණමෙන් රැකගමි - ඔඛෙ මගෙ මේ පෙම
        නපුරක් වෙන්නට කළියෙන් - හැකි විගසින් ඇවිත් යන්න......˜

                                ඔයාගෙ සාවි.
     




Thursday, December 4, 2014

ආදරණීය ටුකු ටුකු ( හදවත එක්ක ගණුදෙනුවක් )

 ආදරණිය ටුකු ටුකු, 2014 සැප්තැම්බර් 10 ( පළමු පිම්ම)

ඔයාගෙ නම අනික් අය දැක්ක ගමන් අහයි මේ කවුද කියල. ඒ වුනත් ඔයා කවුද කියල හා හා පුරා මං කියන්නෑ කියල මුලින්ම ඔන්න පොරොන්දු වෙනව. අද ඉදන් ඉඩ ලැබෙන හැම දවසකම අතීතය වමාරනව මතක තියෙන තැන්. ඔයා මට උදව් වෙයි කියල හිතනව.

ටුකු ටුකු,
ඔයා දන්නෑ බැදීම් වලින් ඈත් වෙනකොට හිතෙන දැනෙන වේදනා. මට මුලින්ම බැදීමක වේදනාවක් තේරෙන දවසක දැනුනෙ අපේ ගෙදර හදපු බල්ලා , ( ඌට අම්මා දාල තිබ්බෙ * ගෝරා * කියල ) මියැදුණ දවසෙ. එදා බිම පෙරලි පෙරලි ඇඩුව මං. ඒවගේම අඩපු දවසක් ලොකු වෙච්ච මට ආවෙ මීට අවුරුදු දහයකට කලින්. එදා 2004 ජුලි මාසෙ 04 වෙනිදා. කටුණායක ගුවන්තොටුපොල රෑ දොළහටත් මහ දවල් වගේ. එකම කලබලයයි. මිනිස්සු එහෙට යනව මෙහෙට යනව. එක පැත්තක හිනා පිරුණු මුහුණු. තව පැත්තක කඳුළු පිරුණු කනාටුවෙච්ච මුහුණු.

'මම නම් අඬන්නෙ නැහැ' කියල චණ්ඩිකම් දාල ගෙදරින් පිටවුන මගෙ කකුල් දෙක වෙවුලගෙ බඩ පපුව හීතල වේගෙන උගුර හිරවෙනව වගේ මුලින්ම දැනුණෙ ඇතුල්වීමේ දොර ගාවදි. ඊට පැය බාගෙකට විනාඩි 40 කට විතර පස්සෙ මහ පොළව පෙරලගෙන අම්මගෙ , අයියගෙ කකුල් දෙක ගාව මං පෙරළුනා. පස් නැතත් බිම ටයිල් හිල් කරන්න පුලුවන් තරමට හැපුණා. ඒත් අන්තිමට මට බැදීම් වලින් ඈත් වෙන්නම වුනා ටුකු ටුකු.

අන්තිම එළියත් පේන කටුනායක ගුවන් තොටුපොළ දිහා මං එමිරේට්ස් ගුවන් යානයෙ කවුළුවෙන් හැරි හැරි බැලුව. ඒ මොහොත කියන්න බැරි තරම් දුකක් ටුකු ටුකු. ඔයා ගල් පිළිමයක් වගේ බලන් ඉන්නකොට අද මට හිනාත් යනව. ඒත් ජීවිතය කියන්නෙ හැමදාමත් අවින්ශ්චිත දේවල්වලට අවිනිශ්චිත වෙලාවල් වල මුහුණ දෙන්න වෙන එකක්. ඒකට තැනක්, වෙලාවක්, දිනයක් නැහැ ටුකු ටුකු. හරියට ළිඳක් ඇතුළට පනිට්ටුවක් වේගෙන් බොලොක්කයක් දිගේ යනව වගේ අපි නොහිතන අගාධයකට අපිව යන්න පුලුවන්. එතකොට වතුර පිරුණු බාල්දියක් දෑතෙම වෙර යොදාගෙන ළිඳකින් උඩට ගන්නව වගේ හෙමින් හෙමින් අපිට ජීවිතට ගොඩට ගේන්න වෙනව. මාත් ඒවගේ ආපු හැටි හැරිල බලන තැනක දැන් ඉන්නෙ ටුකු ටුකු. ඔයාට මේ කියන ඒව කාලයක් යනකොට තේරෙයි. අද පටන් ගත්ත විතරයිනෙ. පරිස්සමට අහගන්න දස වසරක මතක තැන් අවුස්සන හැටි. හැබැයි මං එක දෙයක් කියනව මේ හැම තැනදිම නොසැලි ඉන්න මට ශක්තිය දුන්නෙ ඔයා ටුකු ටුකු. ඔයා කවුද කියල අවසාන දවසට මේක බලන අයට කියන්න ඉඩ තියල අදට මං නවතිනව.

මෙහෙට උණුසුම් සෘතුවෙ අන්තිම දවස්. ඒකත් හෙමින් හෙමින් බැඳීම් ලිහනව වගේ. නිරුවත් ගස් කොළන් අත පය දිග අරින්න වටපිට බලනව මේ දවස්වල. හීන් හුළඟක් තුනීයට ඇවිදින් මඟෙ කෙහෙ රොදක වැදෙනව. ඔයාට පේනව නේද ඒක.. ඉතින් අත් අරින්න බැරි බැදීම් වුනත් තාවකාලිකව හරි අත් අරින්න වුනාම කාලයක් ගියාට පස්සෙ අපිට ඒව සාමාන්‍ය වෙනව. දැන් ඔයාට තේරෙන නේද. එහෙනම් අදට නවතින්නම් මං.
.
.
,
මං
දිනිත



ආදරණීය ටුකු ටුකු, 2014 දෙසැම්බර් 03 දෙවනි කොටස
__________________________________________

ඔයාව අමතක වෙලා නෙමෙයි. මතක් කරලම ලියන්න හිතුනට වෙලාවක් නැතිවුනා. අදත් මේ වෙලාව තියෙනවට නෙමෙයි. ඒත් අතර මැදින් කතාව වෙනස් කරන්න වුනත් මේක ඔයාට කියන්නම ඕනි කියල හිතුණා.


ඉතින් ටුකු ටුකු අපි එදා නැවැත්තුවෙ මධ්‍යධරණී මුහුදෙන් වටවුණු මේ කුඩා දූපතට පය ගහපු තැන. එතන ඉදන් එකපාරටම අවුරුදු දහයක්ම මං ඉස්සරහට අද ගේනව. ඇයි දන්නවද? හරියටම මේ දූපතට ඇවිදින් සති 3ක් වෙන නැගණියක් අද අහම්බෙන් මට හම්බවුනා.

ඉතින් ඒක ඔයාට දැන්මම කියල තියන්න ඕනි කියල මගෙ හිත කිවුවා. අකීකරු නොවී හිතට ඕනි විදිහට ඔන්න මං දැනුත් හැසිරුණා හොදේ.


හෙලෝ.., Are You From india

ආහ් නෑ නංගි මං ලංකාවෙ

අම්මේ සිංහල කතා කරන අපේ රටේ කෙනෙක් හම්බවුනාමයි

ඔව්. මේ විලේජ් එකේ ලංකාවෙ අය නැහැ.

ඔයා මේ ළඟද?

නෑ නංගි. මං ටවුන් එකේ. අපේ සර්ගෙ ගෙදර එනව නිවාඩු වෙලාවට.

ආහ්..ඒ කියන්නෙ ඔයා ආයෙ හම්බවෙන්නෑ

ඒව කියන්න බෑ

අනේ අක්කි.

තමන්ගෙ අයව දාල හැතැම්ම දාස් ගාණක් දුරට එන්න පුලුවන් නම් මේ එකම විනාඩියකට හමුවුන කෙනෙක් මොකක්ද නංගි.

ඒත් අක්කි ජිවිතේ අලුතෙන් පටන් ගනිද්දි තමන්ගෙ කියල කවුරි හරි දකින්නවත් ඉන්නව නම්.

ඒව එහෙම තමයි. ඒත් හිත හයිය කරගන්න.

හිත කොච්චර හයිය කරන්ද අක්කෙ මේ ගමන ආවෙ. උපන් දා ඉදන් හිත හයියයි. ඉස්කෝලෙ යන්නෙ උදේම කඩයප්පන් කඩවලට දාල. ගෙදර එන්නෙ ආයෙත් ඒ කඩවලට ගිහින්.

නංගිගෙ පවුලෙ කවුද ඉන්නෙ?

අම්මයි මායි මල්ලිලා දෙන්නයි නංගිලා දෙන්නයි.

තාත්තා?

තාත්තා අපිව බලන්නෑ අක්කා

මෙහෙ ආවෙ

ගෙවල් ළග කෙනෙක් උදව් කලා . එයාට ණය ගෙවන්න ඕනි

හ්ම්

අක්කෙ මාව දැන් හොයයි. කඩේට ආවෙ. මං යන්නම්.

ආහ් හරි නංගි.

අක්කා මේ පැත්තෙ ආයෙ එනවද

හුගක් වෙලාවට එයි

මං යන්නම් අක්කෙ.

හරි නංගි. ජීවිතේ අත් අරින්න එපා.

මේ අද අවුරුදු දහයකට පස්සෙ මට හමුවුන අමුත්තියක්. ඈ කාගෙ කවුද ලංකාවෙ කොහේද කියලවත් මට අහන්න බැරිවුනා

ටුකු ටුකු. ඔයා තරහ නැහැ නේද ඒකට. ඒත් ඒ නංගි නිසා මට මාව මතක් වුනා. ඔයා දන්නෑ නේද? මාත් ජීවිතේ ගැට ගහගන්න අනන්ත දේවල් කළා. අපේ අම්මා පුදුම වීර්යයකින් ජීවිතේ කරේ තියන් අපිවත් ඇඳගෙන යන්න දත කෑවෙ. ඒ දවස්වල මං හිතුවෙ අම්මා යෝධයෙක් කියල. අපි හැමෝටම පිගන් වලට බත් බෙදල දීල අම්මා නෑඹිලියට බත් කටක් දාගෙන කනව. ඒකත් බල්ලට පූසන්ට ගියාම අම්මා කනවද කියල දැක්කෙ නැති තරම් ටුකු ටුකු. 


ඉතින් මට මාව මතක් වුනා කියල මං ඔයාට කිවුවෙ ඇයි දන්නවද? මට මතකයි මං සාමාන්‍ය පෙළ ලියල අහවර වෙච්ච දාට පහුවදාම අපේ නගරෙ ගාමන්ට් එකක වැඩට ගියා. හෙල්ප කෙනෙක් විදිහට හරි කියල ගියාට මට එතන ලැබුණෙ නූල් කපන අයව බලන්න , එයාලගෙ ටාගට් දාන්න, එයාල නූල් කපල දෙන ඇදුම් චෙක් කරන්න වගේ. මට හැමදාම පස් හය දෙනෙක් ඒ මේසෙ ඉන්නව. එයාල කවුරුත් හිත හොදින් ඉදිය කියල හිතන්න අමාරුයි. එයාලගෙ මුහුණවල් තරහෙන් තිබුණෙ. ඒ මම අලුතින්ම ගිය ගමන් ලැබුණ රස්සාවට.

ඒ දවස්වල වැඩ වැඩි වුනාම ඕටී කරන්න ඕනි. පාන්දර හතරට , පහට ගෙදරට ගෙනත් දාන අපි ආයෙම උදේ අටට වැඩට යන්න ඕනි. මගෙ අම්මා මොනව වුනත් එක හොද්දක් එක්ක හරි බත් බැදල දෙනව.
ඔයා දන්නවද ටුකු ටුකු..හා හා පුරා කියල මට මුලින්ම රු තුන්දාස් ගාණක වැටුපක් ලැබුණෙ. ඒක අම්මගෙ අතේ තිබ්බම මගෙ අම්ම ඇස්වල කඳුළු පුරවගත්ත. වෙන ළමයි විභාගෙ ලියල ගෙදර ඉද්දි මගෙ එකි රස්සාවකට ගිහින් හම්බකරල ගෙනත් දුන්නා කියල.


ඔයා දන්නැ ටුකු ටුකු ඒ ගෙවුන ජිවිතේ පුදුම රහයි කියල අද හිතෙනව. අර නංගි මාව මගෙ අතීතෙටම ඇදගෙන ගියා. අන්න ඒකියි ටුකු ටුකු මං එයාට කිවුවෙ ජිවිතේ අත් අරින්න එපා කියල.


එදා නූල් කපන තැන මේසෙ හිටපු අය තරහ මුහුණු පෙන්නන්න පෙන්නන්න මං ආදරෙන් හිටිය. ඒක මං පොඩි දා ඉදන් පුරුදු වෙච්ච දෙයක් ටුක ටුකු. අම්ම බනින හුගක් වෙලාවල් වලට වුනත් මං කලේ නිහඩව ඉන්න එක. බැරිම වුනොත් කතා කරනව වගේ. මට කෙනෙක්ට තරහ මුහුණ පෙන්නන්න අමාරුයි. මං මේ රටේදි නම් හමුවෙන හුගක් අය කතා කලත් සිංහල තේරෙන්නැතිව වගේ ඉන්න අවස්ථාවලුත් අනන්ත තියෙනව. ඒ මේවයෙ ගැවසිලා මේ අය අතරින්ම පාඩම් ඉගෙන ගෙන මං හොදට තැම්බිලා නිසා ටුකු ටුකු. මගේ පෙනුමත් එක්ක හුගක් අය මං ලංකාවෙ කියලත් හිතන්නැ. අර නංගිත් මං ඉන්දියාද කියල ඇහුවෙ ඒකයි. ඒත් මගෙ හිත ඒ නංගා එක්ක කතා කරන්න පෙළඹුණා. 

මට ඒ නංගිට කියන්න බැරි වුන මගේ කතාව මං ඔයාට කිවුවෙ මගෙ හිත හදාගන්න ටුකු ටුකු. ඉතින් ආයෙම කලින් නවත්තපු තැනට පස්සෙ දවසක යන්නම්. දැන් හිතේ බර අඩු වුනා.


Sunday, October 19, 2014

මූසල සිතුවිල්ලක් විඳපු හැටි.

ඊයෙ රාත්‍රියෙ සිට මහ මූසල හැඟීම් එක්ක ජීවිතය ගණුදෙණු කරනව කියල මට දැනෙනවා. මෙන්න මෙතන, මෙන්න මෙහෙමයි කියල කියන්නට බැරි තැනක රිදවුමක් දැනෙනව. කියන්නට බැරි වුනත් ගුප්ත සිතුවිලි මා අාක්‍රමණය කරමින් අතික්‍රමණයකට ගොස් හමාරයි. හැම හුස්මකටම කතා කරන්න බැරි වුනත් හැම හුස්මකම කතාවක් තියෙනව කියල මං විශ්වාස කරනව. අලුත් වෙන හැම හුස්ම පොඳකම ජීවිතේ අලුත් වෙනව කියන අධිෂ්ඨානයෙ මං පසුවෙනව.

ආදරණිය ඔබ, දන්නවද අකුරුවලට කතා කරන්න බැරි වුනාට වචන වලට පණ දෙන්න මං පුරුදුවුනේ නොතේරෙන දා ඉදන්.  ඒ ඉස්සර අම්මා රැකියාවකට විදේශගතවෙලා, පුංචි මං ගෙදර මිදුලෙ වැලි ගොඩේ ඉදගෙන කොස් ගහේ "අම්මා" කියල ලිවුවා. අක්ක ඇවිදින් කණ මිරිකල " හැදෙන පැලේ පොත්ත කෑව නේද  " කියල මට ගැහුව. ගහක පොත්තෙන් එලය රැකෙනව කියල මං දැනන් උන්නෑ. අම්ම නැති අඩුව අක්කට කවමදාවත් පුරවන්න බැරිවුනා මගෙ පුංචි හිතේ. හා හා පුරා කියල මට මතකයි මං කවියක් ලිවුවා මගෙ දහම් පාසලේ බිත්ති පුවත්පතට. එදත් ලිවුවෙ
"අනේ අම්මේ ඉක්මනින් ගෙදර එන්නකො" කියල. කොහොම වුනත් අම්මා ආවෙ මං ශිෂ්‍යත්වයත් ලියල අහවර වෙලා තවත් අවුරුද්දක් විතර ගියහම. එදා මට අර තරම් අම්ම ගැන ඕනි වුන් නෑ. ඒ මං අවුරුදු 3ක් 4ක් විතර අක්කගෙ අණසකට යටත්වෙලා ජීවිතේ උහුලගන්න පුලුවන් බරක් තනියම බාර අරගෙන හිටිය නිසා.

 අම්ම ගැන,මං ගැන මෙහෙම ලිවුවෙ අර ඊයෙ රෑ ඉදන් පැටලෙන මූසල සිතුවිල්ල තෝරා බේරාගන්න බැරිකමට. උදෑසනත් ඒකටම හරියන්න කළුකරගෙන. දැන් වෙලාව උදේ දහයයි දහයයි. ඒත් කළුවරම කළුවරක හෙමින් හෙමින් වැහි පොද වැටෙනව. මගේ හිත හිරිවට්ටන ගතියක් තියෙන්නෙ. අම්මව හොයාගෙන දුවගෙන ගිහින් අම්මගෙ උකුලෙ වැටිල හයියෙන් හුස්ම පාරක් අරක් පපුවෙ තියෙන මූසලකම් නැතිකරගන්න හිතුණ වාර අනන්තයි අප්‍රමාණයි.

ඇට, ලේ , මස්, නහර පුරා විතරක් නෙමෙයි කේෂ නාලිකා, අනු නාලිකා හැම අංශුවකම මේ තුප්පහි, අප්‍රිය, ජුගුස්සාජනක සිතුවිලි වෙලාගෙන. එකින් එක ලෙහල මොකක්ද කියල හොයාගන්න පුලුවන් වුනා නම් ප්‍රතිකාරයක් කරන්නට තිබුණ මට. කොහොම වුනත් ඒ හිතත් එක්ක උදේ මුහුණු පොත් සැරිසරනකොට #music #lanka ගෘප් එකේ අපේ #Tharu #Gmage අක්කා සිංදුවක් ෂෙයාර් කරල තිබුණ. මොබයිල් එකෙන්ම ඒක ඇහුව. වෙනදත් අහල තිබුණට අද හිතත් එක්ක ඒක තව තව අහන්න හිතුණ. ප්‍රේමයේ ගිිවිසුම් ලිහායෑමක්වත්, අහිමි වීමක්වත් විරහවක එළියක්වත් මං අසලක නැතිබව දිවුරා කිව හැක. එහෙත් මේ දුක්බර ගීතය මා වශී කරගත්තා. දැන් අනුමානව විසි තිස් පාරක් විතර ඇහුව. මේ දැනුත් අහන ගමන්.


කඳුළු මන්දාකිණියෙ ආදරයේ
නුඹේ ඇස් දෙක තමයි ආදරියේ
තාරකා දුන් කඳුළු ආලෝකේ
වේදනාවේ අඳුර දුරු කරනා
වේදනාවේ අඳුර දුරු කරනා
වේදනාවේ අඳුර දුරු කරනා...

කවමදාවත් සිනහ සඳකැන් නුදුටු ජීවිතයේ
කොපුළෙ දිදුලන තරු රටා
මකන්නද කෙලෙසේ...මකන්නද කෙලෙසේ

කඳුළු මන්දාකිණියෙ ආදරයේ.....

එළිය කඳුළක් දුන්න දෑසට අඳුර හුරු පුරුදුයි
නුඹට එළියක් නුදුන්නොත් හෙට
ඒ පවත් මටමයි...ඒ පවත් මටමයි...

කඳුළු මන්දාකිණියෙ ආදරයේ....


බලන්න මොනතරම් දුක්බර වචන ටිකක්ද? හැම සංවේදී හදක පත්ලටම දැනෙනව නේද? ඒ සංවේදි රට ලියන අය අතුරින් #අමිල #තේනුවර අයියා කවදත් ඉදිරියෙන් මගෙ හදවතේ. වචන කතා කරන තත් රට #දර්ශන අයියගෙ. මහළු නොවූ ආදරයේ, විරහවේ හඩ #පණ්ඩිත් #ඩබ්ලිව් #ඩී #අමරදේවයන්ගෙ. ඉතින් මගේ මූසලකම තව තවත් හදවත වෙලාගනිද්දි මේ පදවලට මං අම්මව ගාව ගත්තෙ ඇයි කියන්නම්,

මුලින්ම හිත හොරාගත්තෙ

"කවමදාවත් සිනහ සඳකැන් නුදුටු ජීවිතයේ
කොපුළෙ දිදුලන තරු රටා
මකන්නද කෙලෙසේ...මකන්නද කෙලෙසේ"

මේ පද ටික මටමයි. මමයි ඒ ඇතුලෙ ඉන්නෙ. සිනහවෙන්න කොච්චර හැදුවත් දුෂ්කර ජීවිතයේ සිනහව උදුරගෙන යන හැටි අනන්ත අප්‍රමාණව මං විඳල තියෙනව. ඒක කවමදාවත් ලියා කියා අහවර කරන්න බැරි හැගීමක්. ඊලගට මගේ අම්මව මැවිල පෙනුන මට මේ වචන වලදි

"නුඹට එළියක් නුදුන්නොත් හෙට
ඒ පවත් මටමයි...ඒ පවත් මටමයි..."

මගේ අම්මට කොයිතරම් ඈ රිසි දේ දුන්නත් ඒ මදියි කියන දේ මට හැමදාම දැනෙනව. විරහවේ ගීතයක් වුනත් මා විඳි විදිහ ඔබට කිවුවෙමි. එය ඔබට වෙනස් ලෙස දැනේවි. අහල බලන්න.

අහන්න මෙන්න මෙතනින් සිංදුව

Thursday, October 16, 2014

හිමි අහිමි වීම් ප්‍රේමයේ හැටිය.

ප්‍රේමයේ මුදු සබඳකම් කොයිතරම් සිනිදුවට තිබුණත් පෑරවෙන හැටි දන්නේ ඔවුනොවුන්මය. ජීවිතය කියා හුස්මක් ඉහළට ඇද්දද අතරමංවෙන හුස්ම වාර කොයි තරම් ඇතිද කියාත් දන්නේ ඔවුන්මය. ලොව තියෙනතාක් කල් නතරවෙන්නැති සබඳකම් ළඟ හිමි අහිමිකම් අප්‍රමණව ඇත. ඒ සියල්ල එක ලෙස දකින්නට බැරිකමම පෘථජ්ජන අපේ ස්වභාවමය. ලැබීම් හෝ නොලැබීම් උරුම වීමත් ප්‍රේමයක ස්වභාවමය








Friday, October 10, 2014

යහමින් මිතුරුකම ඉගිලුවා, සකි සඳුනෙ නුඹ දුරට


වන්දනාවක් වගෙ මතක් වෙන අතීතෙන්
පනින්නට බැහැ කුමරු පැන ගිය ගල මතින්
ආඳ දොළ ගලා යනවා අදත් ආඳන් එක්ක
පෑගු දිය අපෙ දෙපා දැන් දුරයි ඒ දෙසට

රෙමුණෙ වැවෙ මල් පිපී අත වනනකොට
බෑ කියා ගලා යයි කළු ගඟේ දිය රැල්ල
සාදු කියමින් යන සමනලුන් සිරිපාදෙට
අදත් ඉගිලෙනව ඇති අපේ ගම මැද්දකින්

යායකට පැහී එන නිල් ගොයමෙ සුවඳකින්
හාදුවක් අරන් එන සුළඟවත් නෑ ළඟ පාතකින්
පාරුවක් තනාගෙන යන්න යන හිත අාපසට
බෑ කියා නවතන්නෙ නුඹ නිසා හීනියට

මොළවගෙන මිට අත් තියා එකක් උඩ එක
පෙරලගෙන කරපු සෙල්ලම මතකයිද උඹට
පහේ පන්තියෙ ඉලක්කම් අරගෙන වැඩිය
සිදාදියෙ ගිය නුඹ පාරවල් තව හොයනවද

සිනාවක සැඟවිච්ච අර්ථයක් දකින්නට
නොදන්නා දා හිනාවුන හැටි අපි මතකයිද
දන්න හිත් එක්ක හැප්පෙන්න බැරිකමට
යන්න ගියෙ වෙන්වෙලා ඒකමයි වෙනනතකට

පැහැදුල් සුරන් සිල්වත් වත්කම් පුරවගෙන යසට
මහනෙල් දෙනෙත් විය බාලෙදි නුඹ ළඟ රුවට
කහවන් කාසි මිටි බැද බැද ගෙයි පිරෙනකොට
යහමින් මිතුරුකම ඉගිලුවා,සකි සඳුනෙ නුඹ දුරට

* ප. ලි
කුමරු පැන = කළුතර - හොරණ, නෑබඩ පාර මතුගම- හොරණ බස් මාර්ගයේ රෙමුණෙ හන්දියට පේන කුමරුන් පැන්න ගලයි.

ආඳ දොළ = කුමරුන් පැන්න ගල පාමුලින් ගලා යන දොළයි

_____________________________________________

ගම් තුලානෙ ඉඩමක් ඉඩමක් ගානෙ දුව පනිමින් වැටවල් ගසා සීමාවක් නැතිවුන ළමා කාලෙය මා මිත්‍රෙයක් අද අහම්බෙන් මුහුණුපොතෙන් හමුවුණා. ඒත් මුදල් කොයිතරම් යාලුකම් අමතක කරනවද කියල මට ආයෙ ආයෙ මතක් කෙරව්වා ඒ හමුවීම. රිදිච්ච මගෙ හිතට නොරිදෙන්න කියල අකුරු ගැලපුව දුක වැහෙන්න.

මේ මහා ජීවිත ගමනෙ එකිනෙකාට මුණ ගැසී වෙන්වෙලා ගිය අය කොයි තරම්ද? එවන් තවත් එක් අයෙක් පමණක් නුඹ කියා සිතට පහදමින් මෙය නුඹේ ඇස ගැසේවායි මං තනිව පතමි.

Thursday, September 25, 2014

තාම පඩි අරන් නෑ ඉවසාපන් පුතුණේ.


කලා සොලොස අරගෙන පුන්සඳ ගම නාවේ
උනා සළුව ගගනත මැද තරු මල් රැඟුවේ
බලා නොඉද වැඩපන් දෙවියනි මං කිවුවේ
මුසා මොටද ඒ දුක නෑ කවුරුත් ඇහුවේ...

නපුරු සිහිනෙ දුටු දා හිත මළගම වැටුණේ
රුදුරු වන සතුන් කවදත් මිනිසුන් වන්නේ
සොඳුරු සිරින් පිරි හෙට තනනට මයෙ පුතුණේ
අතුරු කතා නෑ ඒකයි කතරට ඇදුණේ...

හෙමින් හෙමින් පත් සිඳිලා යන වදුලේ
තැනින් තැනින් කටු විතරයි මැද මිදුලේ
දුවන පනින නුඹ සිහිවෙන හිත ඇතුලේ
ඉහෙන් කණින් බේරෙන දුක මගෙ කමුලේ...

උදේ රැයින් දුරකථනෙන් ඔය හඬ ඇහුනේ
පානෙ එළිය විතරයි හරියට ගෙයි තිබුණේ
රෑට බතට නැති බවකුයි සවනත වැකුණේ
තාම පඩි අරන් නෑ ඉවසාපන් පුතුණේ.


 

Sunday, September 14, 2014

පියාසරවන්තියන්








වතක් සුන්දර මලක් වෙයි නම් ළඳක් එයි මුදු බවම වෙයි. උපතින්ම සියුමැලි ලද බොළද කම් හමුවේ සිනාසෙන ළඳුන් ජිවිතය හමුවේ අනේක විදි සිද්දි දාමයන්ගෙන් පරිණතව යහපත්වත්,අයහපත්වත් සුන්දරවත් අසුන්දරවත් ගලා යන ජීවන ගඟක පිහිනන්නට වෙර දරයි. දරු නැළවිලි ගී ගැයෙන මුවින් ලොව පාලනය කරන වඳන්ද ඈ සතුව ඇත. දරාගැනිමේ අපිරිමිත ජිව ගුණය සොබා දහමින් නිරායාසයෙන්ම උරුම කර  ගත් සුකුමොල ලියන් ගැන අඳුරු තැන්ද නැතුවා නෙමෙයි.  එහෙත් මේ කතා කරන්න යන්නේ ඈ කොඳු නාරටියක් තරම් සවියෙන් රටක බර දරාගෙන යන ගමනක පුංචිම සටහනක් තබන්නටය.

විවිධ අභිමාර්ත හමුවේ නේක විද අවස්ථාවන් නිසා ඇතිවු ප්‍රතිපලයන් නිසා කාන්තාවද අද මුදල් කියන දේ හමුවේ සක්‍රීයව දායක වන කොටස් කරුවන් වී හමාරය. එදා නිවසට වී දරුවන් පෝෂණය කරමින් ගේ දොර රැකබලාගත් ස්ත්‍රිය අද එයද කරමින් තම ආර්ථිකයටද හවුල්වෙන හවුල් කාරිණියකි. අත්කම් විස්කම් වල සිට ලොව ඇති සියළුම ක්ෂේත්‍රයන් අතික්‍රමණය කරමින් ස්ත්‍රිය දික්විජය කළත්, දන්නදා සිට තුන්වන ලෝකයේ දියුණුවන රටක් වුන අපේ රටේ මෙන්ම අනෙකුත් දකුණු ආසියාතික රටවල ස්ත්‍රිය උසුලන බර යුරෝපයේ කාන්තාවකට වඩා හාත්පසින් වෙනස් යැයි මට හැඟෙයි. මෙය ලියන මාත් කාන්තාවක් වුවද මෙය ගැන මට දැනෙන ලෙස මැදහත්ව ගලපන්නට මා වැර දරමි.
පියෙකුගේ සෙවණෙහි සොහොයුරෙකුගේ ඇසුරෙහි හැදෙන වැඩෙන කාන්තාවන්ද, මවක් පියෙක් නැතිව කුමක් හෝ හේතුවකට තනිවම හුස්ම ගන්න අයද මෙලොවෙහි ඇත. මේ කුමක් වුවත් නිවසක සියළු බර පැණ පිරිමියෙකු මෙන් දරන්නට සිදුවන අවස්ථාවන්හිදි යම් දුරකට අධ්‍යාපන මට්ටම ලබා ඇති නැති කවුරුත් දැන් විදේශයකට සංක්‍රමණය කරන්නට පුරුදු වී ඇත. මෙය අද ඊයේ නොව දශක ගණනක් ඈතක සිට පැවත එන්නකි. එහෙත් එදාට වඩා අද එය එන්න එන්නම ඉහළ යයි.

වැටෙන පෑගෙන රිදෙන ඇවිලෙන දුක්ඛ දෝමනස්සයන් හමුවේ දෙපයින් දිරියෙන් නැගිටින්නට වැර ගන්නා සියුමැලි ලඳුන් තම දෑතින් තනන සිරිලක අසිරිය මෙපණයි කියන්නට බැරිය. වසර දෙදහස් දොලහදී සවුදි අරාබියෙන් පමණක් ඩොලර් කෝටි දෙසීයක පමණ ආදායමක් තම මව් රටට හරවන්නට කතුන් සමත් වී ඇත.  ලේ කඳුළු දහදිය සුවඳින් හැමූ ඒ රුපියල් කෝටි 226400 ක් පමණ ධනස්කන්දය ඈ සුසුම් ලමින් ඉපැයූ බව අප කවුරුත් දන්නා සත්‍යයකි. දැඩි ආගමික නීතියක් යටතේ ජිවත්වෙන සමාජයක අත් පා පමණක් නොව ජිවිතයෙන්ද වන්දි ගෙවා එන කාන්තාවන්ද මේ අවස්ථාවේදී මතක් කළ යුතුමය. තම සෙනෙහස උකස් කොට සත් සමුදුරු තරණයට වීර්යය පාරමිතා පුරන්නෙ‍් උපතින්ම ලැබෙන දරා ගැනීම මතය. හදවතින් ඇවිලෙමින් වසරේ වැඩි හරියක් අධික උෂ්ණත්වයෙන්ද බැට කමින් මේ කරන මෙහෙවර අමිලය.  අනුනටද බරක් නොවී රටටද බරක් නොවී ජීවත් වන්නට කරන මේ කැප කිරීම සුළු පටු නැත. සවුදිය හැරුණ කළ තවත් මැද පෙරදික , යුරෝපා සහ ලොව විවිධ රටවල ශ්‍රිංලාංකිකක ශ්‍රමිකයන් සිටිති.  අපේ රටේ මුළු ජන ගහනයෙන් 21% ක් පමණ මෙසේ විදේශයන්ට යන අතර එයිනිදු 46%ක් පමණ කාන්තාවන්ය. මේ කාන්තාවන් බොහෝ දුරට රැකියාව ලෙස ගෘහසේවයෙහි නිරත වෙති. ( වෙනත් වෙනත් වෘත්තින්වල නියැලෙන්නන්ද නැතුවා නොවෙයි )

පිරිමියෙකු යටතේ ආදරය ලබමින් ජීවත්විය යුතු කතක් මෙලෙස දුරු කතරක යෑම මොනතරම් සාධාරණ නොවේදැයි ඔබට මට නොවැටහෙන්නට පුලුවනි. එහෙත් නිවී සැනසිල්ලේ සිතා බැලවහොත් එමඟින් මුළු මහත් සමාජයට පමණක් නොව රටටම සිදුවන්නේ අයහපතකි. විවාහක ස්ත්‍රියක නම් ඈ උණුසුම ලබමින් ලෝකය දකින්නට වැර දරණ දරුවන්ට මව් සෙනෙහස අහිම්වේ. මවකගෙන් ලැබිය යුතු සියළු වරප්‍රසාද නැතිවී යාමෙන් සමාජයට ලැබෙන පුද්ගලයා ගැන අපට යහපත් අන්දමින් සිතිය නොහැක. මෙය 100% ක් නොවුවද බොහෝ දරුවන්ට සිදු වී සහ සිදුවෙන අයහපත් ශාරීරික සහ මානසික පීඩාවන් ගැන අපි සිතුවාද.? 

ඉඳින් ඈ දේශ දේශයන්හි කරක් ගසමින් නැළවිලි ගී වෙනුවට වැළපිලි ගී ගයද්දී සැනසිලි සුසුම් පිටුවහල් වනවා නම් අපට නිදහසේ මඳහසක් නැඟිය හැකිවෙද? මා මෙය අසද්දී ඔබ කියාවී නොගිහින් නිකා ඉන්නට හැකිය කියා. එසේත් නොමැති නම් නැති නිසානෙ යන්නෙ කියා, මේ සියල්ලම අපි අපේ හදවත් රවට්ටා ගැනීමක් නොවන්නේමද..? ඈ වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම අපතින් වූවාද යන්න අප අප තනි තනිව සිතමු.

Thursday, September 4, 2014

අතරමං හිතත් එක්කම, මං වගෙම මගෙ එකෙක් හට

හදවතට රිදුමක් ගෙනෙන විට
අතැගිලි වලින් ගසනෙමි අකුරකට
කඳුළකට ඉඩ හදන කවියකට
සිනාසෙන එකත් පුදුමයි නොහිතුවට


උෂ්ණ සෘතුවට හැකිලිච්ච ගස් වැල්
නග්න සිරුරින් අයදියි සැනසුමක්
විශ්ව ශක්තිය කියා ඉර හඳ තරුවලට
පෙම් කරන එක හොඳයි හුදකලාවට


ග්‍රීසියේ ගිරිස්මය වැදෙනකොට මුහුණට
සයිප්‍රසය සර්ප්‍රයිස් දෙන්නෙ නැහැ කිසිමවිට
කුරුසියේ හැඩ ඇද ඇදම පපු මැදක රටාවට
තුර්කියේ උන් හටම වදිනවා බිය ගුලුකමට


කොහේ හෝ අතරමං හන්දියක සිට
මාලිමා නෑ දිශානතියට ඔබ මාව හරවන්න
ජීවිතේ කාසියක් වෙලා පෙරලෙන විටක
හඳිසියේ මළගම් ගියපු පැතුම් කොච්චරද


සිනාවක් නැති ගසක සිනාමල් පළදන්න
කතාවක් නැති මුවට කතන්දර අමුණන්න
නිමාවක් නැති ගමනෙ ඇරඹුම්ම ගන්න
වෙලාවක් නැතිව දිවුව සැතපුම් මැනගන්න


දෙතොල් පෙති මුමුණමින් කාටවත් නොඇසෙන්න
කිවු කතා මොනතරම් දුක්බරද හදවතින් අහගන්න
ප්‍රේමයක් නැති උන්ට ප්‍රේමයක් ගැන පහදන්න
දුෂ්කරය හැගුම් එක්කම දිවි ගමන පිහිනන්න


ගැලවිලා විසික් වෙන සිතුවිල්ලකට ලංවෙන්න
බැරි නිසා තියා යමි අකුරකින් විදවනා විදවිල්ල
හැරපියා යන්න බැරි දුර සිටන් පැවසුවත් ලතැවිල්ල
නුඹ වගෙම මාත් අසරණවෙලා නොදන්නා උන් අතර


ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...